මල්ලිකා සූත්‍රය

අංගුත්තර නිකාය - චතුක්ක නිපාතය - මහාවර්ගය

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තා ය. එකත්පස් ව හුන් මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් අවලක්ෂණ වෙයි ද, විරූපිනී වෙයි ද, දැකීමට අප්‍රසන්න වෙයි ද, දිළිඳු වෙයි ද, අල්ප ධනධාන්‍ය ඇත්තී වෙයි ද, අල්ප භෝග ඇත්තී වෙයි ද, අල්පේශාක්‍ය වෙයි ද එයට හේතු කුමක් ද? ප්‍රත්‍ය කුමක් ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් අවලක්ෂණ වෙයි ද, විරූපිනී වෙයි ද, දැකීමට අප්‍රසන්න වෙයි ද, ආඪ්‍ය වෙයි ද, මහා ධනය ඇත්තී වෙයි ද, මහා භෝග ඇත්තී වෙයි ද, මහේශාක්‍ය වෙයි ද එයට හේතු කුමක් ද? ප්‍රත්‍ය කුමක් ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් අභිරූපවත් වෙයි ද, දර්ශනීය වෙයි ද, දුටුවන් පහදන්නී වෙයි ද, උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නී වෙයි ද, එනමුත් දිළිඳු වෙයි ද, අල්ප ධනධාන්‍ය ඇත්තී වෙයි ද, අල්ප භෝග ඇත්තී වෙයි ද, අල්පේශාක්‍ය වෙයි ද එයට හේතු කුමක් ද? ප්‍රත්‍ය කුමක් ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් අභිරූපවත් වෙයි ද, දර්ශනීය වෙයි ද, දුටුවන් පහදන්නී වෙයි ද, උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නී වෙයි ද, ආඪ්‍ය වෙයි ද, මහා ධනය ඇත්තී වෙයි ද, මහා භෝග ඇත්තී වෙයි ද, මහේශාක්‍ය වෙයි ද එයට හේතු කුමක් ද? ප්‍රත්‍ය කුමක් ද?”

“මල්ලිකාවෙනි, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ ඇත්තී වෙයි. බොහෝ සෙයින් කිපෙන සුළු වෙයි. සුළු දෙයක් පැවසුව ද ගැටෙයි. කිපෙයි. තරහා ගනියි. දැඩිවෙයි. කෝපය ත්, ද්වේෂයත් නොසතුට ත් පහළ කරයි. එමෙන් ම ඇය ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස පහන් ආදිය නොදෙන්නී වෙයි. ඊර්ෂ්‍යාවෙන් යුක්ත සිත් ඇත්තී වෙයි. අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව, වන්දන, පූජා කෙරෙහි ඊර්ෂ්‍යා කරයි. ද්වේෂ කරයි. ඊර්ෂ්‍යාව බැඳ ගනියි. ඉදින් ඇය ඒ ලොවින් චුත වූයේ මෙලොවට පැමිණෙන්නී නම් ඇය යම් යම් තැනක උපදියි ද, අවලක්ෂණ වෙයි. විරූපී වෙයි. දැකීමට අප්‍රසන්න වෙයි. දිළිඳු වෙයි. අල්ප ධාන්‍ය ඇත්තී, අල්ප භෝග ඇත්තී, අල්පේශාක්‍ය වෙයි.

මල්ලිකාවෙනි, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ ඇත්තී වෙයි. බොහෝ සෙයින් කිපෙන සුළු වෙයි. සුළු දෙයක් පැවසුව ද ගැටෙයි. කිපෙයි. තරහා ගනියි. දැඩිවෙයි. කෝපය ත්, ද්වේෂයත් නොසතුට ත් පහළ කරයි. එහෙත් ඇය ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස පහන් ආදිය දෙන්නී වෙයි. ඊර්ෂ්‍යාවෙන් තොර සිත් ඇත්තී වෙයි. අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව, වන්දන, පූජා කෙරෙහි ඊර්ෂ්‍යා නොකරයි. ද්වේෂ නොකරයි. ඊර්ෂ්‍යාව නොබැඳ ගනියි. ඉදින් ඇය ඒ ලොවින් චුත වූයේ මෙලොවට පැමිණෙන්නී නම් ඇය යම් යම් තැනක උපදියි ද, අවලක්ෂණ වෙයි. විරූපී වෙයි. දැකීමට අප්‍රසන්න වෙයි. ආඪ්‍ය වෙයි. මහා ධනය ඇත්තී වෙයි. මහා භෝග ඇත්තී වෙයි. මහේශාක්‍ය වෙයි.

මල්ලිකාවෙනි, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නැත්තී වෙයි. බොහෝ සෙයින් නොකිපෙන සුළු වෙයි. බොහෝ දෙයක් පැවසුව ද නොගැටෙයි. නොකිපෙයි. තරහා නොගනියි. දැඩි නොවෙයි. කෝපය ත්, ද්වේෂයත් නොසතුට ත් පහළ නොකරයි. එහෙත් ඇය ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස පහන් ආදිය නොදෙන්නී වෙයි. ඊර්ෂ්‍යාවෙන් යුක්ත සිත් ඇත්තී වෙයි. අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව, වන්දන, පූජා කෙරෙහි ඊර්ෂ්‍යා කරයි. ද්වේෂ කරයි. ඊර්ෂ්‍යාව බැඳ ගනියි. ඉදින් ඇය ඒ ලොවින් චුත වූයේ මෙලොවට පැමිණෙන්නී නම් ඇය යම් යම් තැනක උපදියි ද, අභිරූපවත් වෙයි. දර්ශනීය වෙයි. දුටුවන් පහදන්නී වෙයි. උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නී වෙයි. දිළිඳු වෙයි. අල්ප ධාන්‍ය ඇත්තී, අල්ප භෝග ඇත්තී, අල්පේශාක්‍ය වෙයි.

මල්ලිකාවෙනි, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නැත්තී වෙයි. බොහෝ සෙයින් නොකිපෙන සුළු වෙයි. බොහෝ දෙයක් පැවසුව ද නොගැටෙයි. නොකිපෙයි. තරහා නොගනියි. දැඩි නොවෙයි. කෝපය ත්, ද්වේෂයත් නොසතුට ත් පහළ නොකරයි. එමෙන් ම ඇය ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස පහන් ආදිය දෙන්නී වෙයි. ඊර්ෂ්‍යාවෙන් තොර සිත් ඇත්තී වෙයි. අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව, වන්දන, පූජා කෙරෙහි ඊර්ෂ්‍යා නොකරයි. ද්වේෂ නොකරයි. ඊර්ෂ්‍යාව නොබැඳ ගනියි. ඉදින් ඇය ඒ ලොවින් චුත වූයේ මෙලොවට පැමිණෙන්නී නම් ඇය යම් යම් තැනක උපදියි ද, අභිරූපවත් වෙයි. දර්ශනීය වෙයි. දුටුවන් පහදන්නී වෙයි. උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නී වෙයි. ආඪ්‍ය වෙයි. මහා ධනය ඇත්තී වෙයි. මහා භෝග ඇත්තී වෙයි. මහේශාක්‍ය වෙයි.

මල්ලිකාවෙනි, යම් හෙයකින් ඇතැම් ස්ත්‍රියක් අවලක්ෂණ වෙයි ද, විරූපිනී වෙයි ද, දැකීමට අප්‍රසන්න වෙයි ද, දිළිඳු වෙයි ද, අල්ප ධනධාන්‍ය ඇත්තී වෙයි ද, අල්ප භෝග ඇත්තී වෙයි ද, අල්පේශාක්‍ය වෙයි ද එයට හේතුව මෙය යි. ප්‍රත්‍ය මෙය යි.

මල්ලිකාවෙනි, යම් හෙයකින් ඇතැම් ස්ත්‍රියක් අවලක්ෂණ වෙයි ද, විරූපිනී වෙයි ද, දැකීමට අප්‍රසන්න වෙයි ද, එනමුත් ආඪ්‍ය වෙයි ද, මහා ධනය ඇත්තී වෙයි ද, මහා භෝග ඇත්තී වෙයි ද, මහේශාක්‍ය වෙයි ද එයට හේතුව මෙය යි. ප්‍රත්‍ය මෙය යි.

මල්ලිකාවෙනි, යම් හෙයකින් ඇතැම් ස්ත්‍රියක් අභිරූපවත් වෙයි ද, දර්ශනීය වෙයි ද, දුටුවන් පහදන්නී වෙයි ද, උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නී වෙයි ද, එනමුත් දිළිඳු වෙයි ද, අල්ප ධනධාන්‍ය ඇත්තී වෙයි ද, අල්ප භෝග ඇත්තී වෙයි ද, අල්පේශාක්‍ය වෙයි ද එයට හේතුව මෙය යි. ප්‍රත්‍ය මෙය යි.

මල්ලිකාවෙනි, යම් හෙයකින් ඇතැම් ස්ත්‍රියක් අභිරූපවත් වෙයි ද, දර්ශනීය වෙයි ද, දුටුවන් පහදන්නී වෙයි ද, උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නී වෙයි ද, ආඪ්‍ය වෙයි ද, මහා ධනය ඇත්තී වෙයි ද, මහා භෝග ඇත්තී වෙයි ද, මහේශාක්‍ය වෙයි ද එයට හේතුව මෙය යි. ප්‍රත්‍ය මෙය යි”

මෙසේ වදාළ කල්හී මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, යම් බඳු මම් වෙනත් ජාතියක දී ක්‍රෝධ සිත් ඇත්තී ව සිටියෙම් ද, බොහෝ සෙයින් කිපුණෙම් ද, සුළු දෙයක් පැවසුව ද ගැටුනී වෙම් ද, කිපුනී වෙම් ද, තරහා ගත්තී වෙම් ද, දැඩි සිත් ඇත්තී වෙම් ද, කෝපය ත්, ද්වේෂයත් නොසතුට ත් පහළ කළා වෙම් ද, ස්වාමීනී, ඒ මම මේ ආත්මයෙහි අවලස්සන ය. විරූපී ය. දැකුමට ප්‍රසන්න නොවන්නී ය.

ස්වාමීනී, වෙනත් ජාතියක දී ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස පහන් ආදිය දුන්නී වෙමි. ස්වාමීනී, ඒ මම් මේ ආත්මයෙහිදී ආඪ්‍ය වූ ත්, මහා ධන ඇත්තී වූ ත්, මහා භෝග ඇත්තී වෙමි.

ස්වාමීනී, මම වෙනත් ජාතියක දී ඊර්ෂ්‍යාවෙන් තොර සිත් ඇත්තී ව සිටියෙමි. අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව, වන්දන, පූජා කෙරෙහි ඊර්ෂ්‍යා නොකළෙමි. ද්වේෂ නොකළෙමි. ඊර්ෂ්‍යාව නොබැඳ ගතිමි.

ස්වාමීනී, ඒ මම මේ ජීවිතයේ දී මහේශාක්‍ය වෙමි. ස්වාමීනී, මේ රාජ කුලයෙහි ක්ෂත්‍රිය කන්‍යාවෝ ත්, බ්‍රාහ්මණ කන්‍යාවෝ ත්, ගෘහපති කන්‍යාවෝ ත් සිටිති. ඔවුන් සැමට වඩා මම ඉසුරුමත් බවින්, අධිපති බවින් කටයුතු කරවමි.

ස්වාමීනී, ඒ මම අද පටන් ක්‍රෝධ නැත්තී වන්නෙමි. බොහෝ සෙයින් නොකිපෙන සුළු නොවන්නෙමි. බොහෝ දෙයක් පැවසුව ද නොගැටෙන්නෙමි. නොකිපෙන්නෙමි. තරහා නොගන්නෙමි. දැඩි නොවන්නෙමි. කෝපය ත්, ද්වේෂයත් නොසතුට ත් පහළ නොකරන්නෙමි. එමෙන් ම ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස පහන් ආදිය දෙන්නී වෙමි. ඊර්ෂ්‍යාවෙන් තොර සිත් ඇත්තී වෙමි. අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව, වන්දන, පූජා කෙරෙහි ඊර්ෂ්‍යා නොකරමි. ද්වේෂ නොකරමි. ඊර්ෂ්‍යාව නොබැඳ ගනිමි.

ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, ඉතා මනහර ය. ….(පෙ)…. අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසිකාවක වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක්වා !”

සාදු! සාදු!! සාදු!!!