අප

ගැන

ABOUT US

මහමෙව්නාව අනගාරිකා අසපුව - උඩුපිල

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් සහ මග පෙන්වීමෙන් ව්‍යවහාර වර්ෂ 2013 මාර්තු මස 17 වන දින මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරමින් මහ සෑ රජුන්ගේ ඉඳිකිරිම් කටයුතු ආරම්භ විය. ව්‍යවහාරික වර්ෂ 2014 ජුනි මස 14 වන දින යසෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන්ගත කරමින් සියලු වැඩ නිමා කරමින් ‘සිරි යසෝදරා මහ සෑ රජාණන් වහන්සේ’ ගරුතර මහා සඟරුවනේ සහභාගීත්වයෙන් බොහෝ දෙව් මිනිසුන් හට පින් අස්වනු නෙලා ගනු පිණිස ගෞතම බුදු සසුනට පූජා කරන ලදී.

ඉන් වසර හයකට පමණ පසු, ව්‍යවහාරික වර්ෂ 2020 මාර්තු මස 04 වන දින ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කාරුණික මගපෙන්විමෙන් සහ ආශිර්වාදයෙන් අතිශය සුන්දර ජීවමානව වැඩ සිටින්නාක් බඳු වූ ‘යසෝදරා මහ රහත් තෙරණි පිළි රූ වහන්සේ’ අසපුවෙහි විචිත්‍රවත් තෙරණි මන්දිරය තුල වඩා හිඳුවන ලදී.

එතැන් පටන් මේ දක්වාම දහස් ගණන් සැදැහැති උවසු උවැසියෝ උත්තම යසෝදරා අරහත් තෙරණි නාමය සිහි කරමින්, තෙරණි ගුණ උදෙසා මල් ගඳ සුවඳ දුම් පූදමින්, දෝත නළල තබා සිරසින් වැඳ වැටෙමින් උපස්ථාන කරමින් පෙහෙවස් රකිමින් බෝහෝ වත් පිළිවෙත් කරමින් සුදුර්ලභ වූ බොහෝ පින් රැස් කර ගනිති.

මහා අභිඥාලාබී මහා ඉර්ධිමත් යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා නිධාපිත ලොව එකම මහ සෑ රජාණන් වහන්සේ සුපිහිටි පින් බිම

ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මහා අභිඥාලාබී භික්ෂුණීන් අතරින් අග්‍ර භාවයට පත් උතුම් යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ ජීවමානව වැඩ සිටින්නාක් බඳු 'සිරි යසෝදරා මහ සෑ රජාණන් වහන්සේ' ත් උතුම් 'යසෝදරා අරහත් තෙරණි පිළිරූ වහන්සේ සහිත විහාර මදිරයත්' සුපිහිටි ලොව එකම පින් බිමයි.

මහමෙව්නාව අනගාරිකා අසපුව

මේ ලෝකයේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නෙ සාරවත් විදිහටමයි. සීල, සමාධි, ප්‍රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට පේන්නෙ. මිථ්‍යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නෙ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නෙ නෑ.

'මහමෙව්නාව' අසපු සංචිතයේ නිර්මාතෲවර අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කාරුණික අනුශාසනාව පරිදි , දඹදෙණිය-මුතුගල ග්‍රාමයේ 'මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුව' බිහි විය. ඒ ව්‍යවහාරික වර්ෂ 2003ක් වූ සැප්තැම්බර් මාස 10 වන දිනයි.

පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා 05 නමකගෙන් ආරම්භ වූ ‘මහමෙව්නාව අනගාරිකා අසපුව’ මේ වන විට ශාඛා අසපු 11කින් සමන්විතය. දඹදෙණිය-මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුව මූලික කර ගනිමින් විහිදී පවතින ඒ සියලු ශාඛා අසපු, ගෞතම බුදු සසුනේ රැකවරණය සොයා පැමිණෙන පින්වන්ත කුළ දියණියන් බොහෝ පිරිසකට සෙවන සළසනා කළ්‍යාණ මිත්‍ර මිතුරියක් සේයි.

ධම්ම පදය (ගාථාව-11)

සම්මා දිට්ඨිය නිසා, සම්මා සංකප්ප ඇති කරගත්ත උදවිය ඉන්නවා. ඔවුන් සීල, සමාධි, ප්‍රඥා ආදී සාරවත් දේ, සාරවත් දේ හැටියටම අවබෝධයෙන් දන්නවා. නිස්සාර දේ නිස්සාර දේ හැටියටත් දන්නවා. ඒ නිසා ඔවුන් සාරවත් වූ නිවන අවබෝධ කරගන්නවා.

සැදැහැති උපාසක උපාසිකා පින්වතුන් උදෙසා පොහෝ දින සහ මාසික සීල භාවනා වැඩසටහන් හා සති භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වන අතර යොවුන් දරු දැරියන් උදෙසා යොවුන් දහම් වැඩසටහන් සහ කුඩා දරුවන් උදෙසා සිඟිති ළමා වැඩසටහන් පොදු වශයෙන් ක්‍රියාත්මක වෙයි. මීට අමතරව විශේෂ භාවනා සහ නොයෙකුත් දහම් වැඩසටහන් ඒ ඒ ශාඛා අසපුවල වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වෙයි.

මේ ආකාරයෙන් මහමෙව්නාව අනගාරිකා අසපු මගින් සිදු කෙරෙනා සදහම් සේවාවන් හා දහම් ප්‍රචාරක කටයුතු සමග එක් වී සිටින දහස් ගණන් වූ උවසු උවැසියන් සමගින් ‘මහමෙව්නාව අනගාරිකා අසපුව’ ගෞතම බුදු සසුනේ සදහම් සංදේශය ලංකා ධරණිතලය තුල තවත් බොහෝ කාලයක් ආරක්ෂා කරගැනීම පිණිස දායකත්වය සපයනවා ඇති.

ධම්ම පදය (ගාථාව-12)

'මහමෙව්නාව' අසපු සංචිතයේ ගෞරවනීය

නිර්මාතෘවරායාණෝ

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වනාහී අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ය

ව්‍යවහාර වර්ෂ 1961 ජූලි මස පළමුවැනිදින ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ වයස අවුරුදු 17 දී සේරුවිල මංගල රාජමහා විහාරයේදී එවකට ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක හා සේරුවිල මංගල රාජමහා විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බිමට පත් විය.

සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනයෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලත් වී සිංහල ගෞරව උපාධිය හදාරමින් සිටියදී අහඹු ලෙස ත්‍රිපිටක ග්‍රන්ථ ඇසුරින් බුද්ධ දේශනා කියවන්නට ලැබීම නිසා දිවි පුදා දහමේ හැසිරීමේ බලවත් ආසාවෙන් පන්සල් ජීවිතය අත්හැර අරණ්‍යවාසීව වැඩ වාසය කරන්නට පටන් ගත්තේය.

අනතුරුව දස අවුරුද්දක් පුරා තවදුරටත් ත්‍රිපිටක ධර්මය හදාරමින් තියුණු ධර්මඤාණයක් ඇතිකරගත් උන්වහන්සේ ඉන්දියාවේ හිමාල අඩවියේ ද සිරිපා හිමයේ ද කල්ගත කරමින් අනේක වූ අත්දැකීම් තම ජීවිතයට එකතු කරගත් සේක. අවුරුදු ගණනාවක් පැවිදි ජීවිතයේ ලද අත්දැකීම් පාදක කොටගෙන මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කළ උන්වහන්සේ දිවයිනේ නොයෙක් ප්‍රදේශවලට වැඩම කොට ධර්ම දේශනා පවත්වමින් දහම් වැඩසටහන් සිදුකරමින් මහත් ශාසනික ප්‍රබෝධයක් ඇති කළ සේක.

ත්‍රිපිටකය ඇසුරින් බුද්ධ වචනය ඉස්මතු කොට දක්වමින් උන්වහන්සේ විසින් ලියා පළකොට ඇති ග්‍රන්ථ සංඛ්‍යාව මෙතෙකැයි කිව නොහැක. එම දහම් ග්‍රන්ථ සහ උන්වහන්සේගේ බුද්ධ දේශනා සරල බසින් විග්‍රහ කරන සුමධුර ධර්ම දේශනා හා වන්දනා කවි ඇතුලත් සංයුත්ත තැටි ද ජනතාව අතර මහත් ප්‍රසාදයට පත්ව තිබේ. සමාජයේ ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයෙකුට කියවා තේරුම් ගත හැකි ආකාරයෙන් සරල සිංහලයට ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තනය කිරීම ද මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් උන්වහන්සේ අතින් සිදුවූ මහානීය ශාසනික සේවාවකි.

පුද්ගලික මතිමතාන්තරවලින් තොරව නිර්මල පිරිසිදු බුද්ධ වචනය ම ඉස්මතු කරමින් ධර්මය දේශනා කිරීම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළේ ඇති සුවිශේෂත්වය යි.