නකුලපිතූ සූත්‍රය

අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය - සාරාණීය වර්ගය

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. එසමයෙහි නකුලපිතු ගෘහපති ත් රෝගී වූයේ, දුකට පත් වූයේ, දැඩි ලෙස ගිලන් වූයේ වෙයි. එකල්හී නකුලමාතා ගෘහපතිනිය නකුලපිතු ගෘහපතියාට මෙය පැවසුවා ය.

1. “ගෘහපතිය, අප ගැන අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මාගේ ඇවෑමෙන් දරුවන් පෝෂණය කරන්නට, ගෙදර කටයුතු කරන්නට, නොහැකිවන්නී ය යනුවෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, මම කපු කටින්නට, එළු ලොම් වෙළුම් නෙළන්නට දක්ෂ වෙමි. ගෘහපතිය, ඔබගේ ඇවෑමෙන් දරුවන් පෝෂණය කරන්නට ත්, ගෙදර කටයුතු කරන්නට ත් හැක්කී වෙමි. එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

2. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මාගේ ඇවෑමෙන් අන්‍ය වූ සැමියෙකු කරා යන්නී ය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, යම් කලක අප විසින් සොළොස් වසක් පුරා ගෘහස්ථ බ්‍රහ්මචරිය සිල් සමාදන් වූයේ ද, එය ඔබ ද දන්නෙහි ය. මම ද දනිමි. එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

3. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මාගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ දකින්නට කැමති නොවන්නී ය. භික්ෂු සංඝයා දකින්නට කැමති නොවන්නීය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, ඔබගේ ඇවෑමෙන් මම වඩ වඩා ත් භාග්‍යවතුන් වහන්සේ දකින්නට කැමැත්තී වෙමි. වඩ වඩා ත් භික්ෂු සංඝයා දකින්නට කැමැත්තී වෙමි. එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

4. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මාගේ ඇවෑමෙන් සිල් පිරිපුන් නොකරන්නී ය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකා වූ සුදු වත් හඳින සිල් පිරිපුන් කරන්නියෝ යම්තාක් සිටින්නී ද, මම් ද ඔවුන් අතර එකියක් වෙමි. යමෙකු හට මෙය පිළිබඳ ව සැකයක් හෝ වේවා විමතියක් හෝ වේවා ඇත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකල භග්ග ජනපදයෙහි සුංසුමාරගිර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ අසත්වා! එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

5. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය තම සිතෙහි සංසිඳීමක් නොලබන්නී ය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකා වූ සුදු වත් හඳින ආධ්‍යාත්මයෙහි චිත්ත සමථය ලබන්නියෝ යම්තාක් සිටින්නී ද, මම් ද ඔවුන් අතර එකියක් වෙමි. යමෙකු හට මෙය පිළිබඳ ව සැකයක් හෝ වේවා විමතියක් හෝ වේවා ඇත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකල භග්ග ජනපදයෙහි සුංසුමාරගිර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ අසත්වා! එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

6. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මේ ධර්ම විනය තුළ ස්ථිර පිහිටකට නොපැමිණියා ය. ගැඹුරු අවබෝධයට නොපැමිණියා ය. සැනසුමට නොපැමිණියා ය. විචිකිච්ඡාවෙන් එතෙර නොවුණා ය. කෙසේ ද කෙසේ ද යන සැකය දුරු නොකළා ය. විශාරද බවට පත් නොවුණා ය. ශාස්තෘ ශාසනයෙහි බාහිර උපකාර රහිත බවට නොපැමිණ වසන්නී ය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සුදු වත් හඳින ගිහි ශ්‍රාවිකාවෝ මේ ධර්ම විනයෙහි ස්ථිර පිහිටකට පැමිණියාහු ද, ගැඹුරු අවබෝධයකට පැමිණියාහු ද, සැනසුමට පැමිණියාහු ද, සැකයෙන් එතෙර වූවාහු ද, කෙසේ ද කෙසේ ද යන සැකය දුරු කළාහු ද, විශාරද බවට පත්වූවාහු ද, ශාස්තෘ ශාසනයෙහි බාහිර උපකාර රහිත බවට පැමිණ වසන්නාහු යම්තාක් සිටින්නී ද, මම් ද ඔවුන් අතර එකියක් වෙමි. යමෙකු හට මෙය පිළිබඳ ව සැකයක් හෝ වේවා විමතියක් හෝ වේවා ඇත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකල භග්ග ජනපදයෙහි සුංසුමාර ගිර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ අසත්වා! එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.”

ඉක්බිති නකුලමාතා ගෘහපතිනිය විසින් මේ අවවාදයෙන් අවවාද කරනු ලබන කල්හී නකුලපිතු ගෘහපතියාගේ ඒ ආබාධය සැණෙකින් සංසිඳී ගියේ ය. නකුලපිතු ගෘහපති තෙමේ ඒ ආබාධයෙන් නැගිට්ටේ ය. නකුලපිතු ගෘහපතියාගේ ඒ ආබාධය ඒ අයුරින් ම ප්‍රහාණයට පත්වූයේ ය.

එකල්හී නකුලපිතු ගෘහපති තෙමේ ගිලන්බවින් නැගී සිටියේ, ගිලන් බවින් නැගිට සුළු කලකින් සැරයටියක ආධාරයෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් නකුලපිතු ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ගෘහපතිය, ඔබට ලාභයකි. ගෘහපතිය, ඔබට මනා වූ ලැබීමකි. යම්බඳු වූ ඔබට නකුලමාතා ගෘහපතිනිය අනුකම්පා ඇත්තී ය. යහපත කැමැත්තී ය. අවවාද දෙන්නී ය. අනුශාසනා කරන්නී ය.

ගෘහපතිය, මාගේ ගිහි ශ්‍රාවිකා වූ සුදු වත් හඳිනා සිල් පිරිපුන් කරන්නියෝ යම්තාක් සිටිත් ද, නකුලමාතා ගෘහපතිනිය ඔවුන් අතර එකියකි. ගෘහපතිය, මාගේ ගිහි ශ්‍රාවිකා වූ සුදු වත් හඳිනා තමා තුළ චිත්ත සමථය ලබන්නියෝ යම්තාක් සිටිත් ද, නකුලමාතා ගෘහපතිනිය ඔවුන් අතර එකියකි. ගෘහපතිය, සුදු වත් හඳින මාගේ ගිහි ශ්‍රාවිකාවෝ මේ ධර්ම විනයෙහි ස්ථිර පිහිටකට පැමිණියාහු ද, ගැඹුරු අවබෝධයකට පැමිණියාහු ද, සැනසුමට පැමිණියාහු ද, සැකයෙන් එතෙර වූවාහු ද, කෙසේ ද කෙසේ ද යන සැකය දුරු කළාහු ද, විශාරද බවට පත්වූවාහු ද, ශාස්තෘ ශාසනයෙහි බාහිර උපකාර රහිත බවට පැමිණ වසන්නාහු යම්තාක් සිටිත් ද, නකුලමාතා ගෘහපතිනිය ඔවුන් අතර එකියකි.

ගෘහපතිය, ඔබට ලාභයකි. ගෘහපතිය, ඔබට මනා වූ ලැබීමකි. යම්බඳු වූ ඔබට නකුලමාතා ගෘහපතිනිය අනුකම්පා ඇත්තී ය. යහපත කැමැත්තී ය. අවවාද දෙන්නී ය. අනුශාසනා කරන්නී ය.

සාදු! සාදු!! සාදු!!!