උග්ගහ සූත්‍රය

අංගුත්තර නිකාය - පංචක නිපාතය - සුමනා වර්ගය

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ භද්දිය නගරයෙහි ජාතියා වනයෙහි වැඩවසන සේක. එකල්හී මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ හෙට දිනයෙහි තමන් වහන්සේ සිව්වෙනි කොට ඇති සේක් මාගේ දානය ඉවසා වදාරණ සේක්වා !”

භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් ඉවසා වදාළ සේක. එකල්හී මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඉවසීමෙන් ඇරයුම පිළිගත් බව දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට, පැදකුණු කොට පිටත් ව ගියේ ය.

එකල්හී ඒ රාත්‍රිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුරු ගෙන මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටුතුමාගේ නිවසට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එකල්හී මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් ම සැතැප්පුවේ ය. මැනැවින් පැවරුවේ ය. ඉක්බිති මෙණ්ඩක මුනුබුරු උග්ග සිටු තෙමේ දන් වැළඳා ඉවතට ගත් ශ්‍රී හස්තය ඇති භාග්‍යවතුන් වහන්සේ දැක එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මෙණ්ඩක මුනුබුරු උග්ගහ සිටුතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මේ මාගේ දූ කුමරියෝ පතිකුලයට යන්නාහ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෑලාට අවවාද කරන සේක්වා! මේ දියණිවරුන් හට බොහෝ කල් හිතසුව පිණිස පවතින්නේ ද, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෑලාට අනුශාසනා කරන සේක්වා!”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඒ කුමාරිකාවන් ඇමතූ සේක.

“එසේ නම් කුමාරිකාවෙනි, මේ අයුරින් හික්මිය යුත්තීහු ය. ‘යහපත කැමති වූ හිතෛෂී වූ අනුකම්පාවෙන් යුතු වූ ඔබගේ මව්පියවරු අනුකම්පාව උපදවා යම් ස්වාමියෙකුට පෙන්වා ආවාහ කොට දෙත් නම්, ඔහුට පළමු නැගිටින්නෙමු, ඔහුට පසු ව නින්දට යන්නෙමු, තමාගෙන් ඉටු විය යුතු යුතුකම් විමසන්නෙමු, ස්වාමියාගේ සිත සතුටු වන පරිදි හැසිරෙන්නෙමු, ප්‍රිය තෙපුල් පවසන්නෙමු’ යි මෙසේ කුමාරිකාවෙනි, ඔබ හික්මිය යුත්තීහු ය.

එසේ වී නම් කුමාරිකාවෙනි, මේ අයුරින් හික්මිය යුත්තීහු ය. ‘ඔබගේ ස්වාමියාගේ ගුරුන් වන මව් වේවා, පියා වේවා, ශ්‍රමණබ්‍රාහ්මණයෝ වෙත්වා ඔවුන්ට ද සත්කාර කරන්නෙමු, ගෞරව කරන්නෙමු, බුහුමන් කරන්නෙමු, පුදන්නෙමු, මුණගැසුණු කල්හී අසුනෙන් පවරන්නෙමු, පා දොවනා දියෙන් පුදන්නෙමු’ යි මෙසේ කුමාරිකාවෙනි, ඔබ හික්මිය යුත්තීහු ය.

එසේ වී නම් කුමාරිකාවෙනි, මේ අයුරින් හික්මිය යුත්තීහු ය. ‘ඔබගේ ස්වාමියාගේ නිවසෙහි අභ්‍යන්තර කර්මාන්ත ඇද්ද, එළුලොම් ගෙතීම වේවා, කපු කැටීම වේවා, එහිලා දක්ෂ වන්නෙමු, අනලස් වන්නෙමු, නුවණින් යුතුව කරුණු සොයා බලා කටයුතු කරන්නෙමු, පිළිවෙළකට මැනැවින් කටයුතු කරන්නෙමු’ යි මෙසේ කුමාරිකාවෙනි, ඔබ හික්මිය යුත්තීහු ය.

එසේ වී නම් කුමාරිකාවෙනි, මේ අයුරින් හික්මිය යුත්තීහු ය. ‘ඔබගේ ස්වාමියාගේ නිවසෙහි අභ්‍යන්තර ජනයා වෙත් නම්, දාසයින් හෝ දූතයින් හෝ කම්කරුවන් හෝ සිටිත් ද ඔවුන්ගේ කළ දෑ කළ දෑ වශයෙන් දැනගන්නෙමු. නොකළ දෑ නොකළ දෑ වශයෙන් දැනගන්නෙමු. ගිලන් වූ තැනැත්තන්ගේ වැඩට ඇති ශක්තිය ඇති නැති බව දැනගන්නෙමු. ඒ ජනයා හට කෑම් බීම් ආදියෙන් ලද මනා කොටස් මැනැවින් බෙදා දෙන්නෙමු’ යි මෙසේ කුමාරිකාවෙනි, ඔබ හික්මිය යුත්තීහු ය.

එසේ වී නම් කුමාරිකාවෙනි, මේ අයුරින් හික්මිය යුත්තීහු ය. ‘ඔබගේ ස්වාමියා යම් ධනයක් වේවා, ධාන්‍යයක් වේවා, රිදී වේවා, රත්‍රන් වේවා නිවසට ගෙනෙයි නම් ඒවා ආරක්ෂා කොට සුදුසු ලෙස වසා තබා රකින්නෙමු යි, එහිලා සොර සැමියන්, සුරාව, සූදුව ආදියට ධූර්තී නොවන්නෙමු යි, නොසෙර වන්නෙමු යි, සුරා සොඬ ආදී නොවන්නෙමු යි, විනාශ කරන්නියෝ නොවන්නෙමු’ යි මෙසේ කුමාරිකාවෙනි, ඔබ හික්මිය යුත්තීහු ය.

කුමාරිකාවෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ කාන්තාව කය බිඳී මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නී ය.

(ගාථා)

යෝ නං භරති සබ්බදා නිච්චං ආතාපි උස්සුකෝ
සබ්බකාමහරං පෝසං භත්තාරං නාති මඤ්ඤේති

යම් ස්වාමියෙක් හැම කල්හි නිතර දැඩි වීර්යයෙන් යුතුව, උත්සාහයෙන් යුතුව ඇය පෝෂණය කරයි ද, සිය බිරිඳ කැමති සියල්ල ලබා දෙන, පෝෂණය කරන, තම ස්වාමියා ව යටකොට ඇය කිසිදා නොසිතන්නී ය.

න චාපි සොත්ථි භත්තාරං ඉච්ඡාචාරේන රෝසයේ
භත්තු ච ගරුනෝ සබ්බේ පටිපූජේති පණ්ඩිතා

ඒ යහපත් ස්ත්‍රිය හිතුවක්කාර හැසිරීමෙන් තම ස්වාමියා කුපිත නොකරන්නී ය. නුවණැති ඕ තම ස්වාමියාගේ ගරු කළ යුතු වැඩිහිටියන් පුදන්නී ය.

උට්ඨාහිකා අනලසා සංගහීතපරිජ්ජනා
භත්තු මනාපා චරති සම්භතං අනුරක්ඛති

හැමට පළමු අවදිවන්නී, කම්මැලි නැත්තී, පරිවාර ජනයා හා එක් ව වසන්නී, තම ස්වාමියාගේ සිත සතුට වඩමින් හැසිරෙන්නී ය. ඕ ඉපැයූ දෑ රකින්නී ය.

යා ඒවං වත්තතී නාරි භත්තුච්ඡන්දවසානුගා
මනාපා නාම තේ දේවා යත්ථ සා උපපජ්ජතී ති

මෙසේ යම් ස්ත්‍රියක් තම ස්වාමියාගේ කැමැත්තට අනුව ගිහි ගෙදර වසන්නී ද, ඕ යම් දෙව්ලොව උපදින්නී නම් ඒ දෙවියෝ මනාපකායිකා හෙවත් නිම්මාණරතී නම් වන්නාහු ය.

සාදු! සාදු!! සාදු!!!