සිත යටපත් කොට

තිබෙන කරුණ ගැන

වදාළ දෙසුම

'අපව රිදවන්නේත් අපට සතුට ගෙන දෙන්නේත් මනසයි'

- අංගුත්තර නිකාය -

(චිත්තපරියාදාන වර්ගය)

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා අමතා වදාළා. ඒ භික්ෂූන් වහන්සේලාත් “එසේය, ස්වාමීනී” කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළා.

“පින්වත් මහණෙනි, යම් විදිහකින් පුරුෂයෙකුගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් රූපයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ ස්ත්‍රී රූපය තරම් වෙන එක රූපයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රී රූපය හැම පැත්තෙන්ම පුරුෂයාගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

“පින්වත් මහණෙනි, යම් විදිහකින් පුරුෂයෙකුගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් හඬක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ ස්ත්‍රියගේ හඬ තරම් වෙන එකම හඬක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රී හඬ හැම පැත්තෙන්ම පුරුෂයාගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

“පින්වත් මහණෙනි, යම් විදිහකින් පුරුෂයෙකුගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් ගන්ධයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ ස්ත්‍රී ගන්ධය තරම් වෙන එකම ගන්ධයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රී ගන්ධය හැම පැත්තෙන්ම පුරුෂයාගේ සිත ග්‍රහණය කර ගෙනයි තියෙන්නෙ.”

“පින්වත් මහණෙනි, යම් විදිහකින් පුරුෂයෙකුගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන විදිහේ යම් රසයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ ස්ත්‍රී රසය තරම් වෙන එකම රසයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රී රසය හැම පැත්තෙන්ම පුරුෂයාගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

“පින්වත් මහණෙනි, යම් විදිහකින් පුරුෂයෙකුගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් ස්පර්ශයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ ස්ත්‍රී ස්පර්ශය තරම් වෙන එකම ස්පර්ශයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රී ස්පර්ශය හැම පැත්තෙන්ම පුරුෂයාගේ සිත ග්‍රහණය කර ගෙනයි තියෙන්නෙ.”

“පින්වත් මහණෙනි, යම් විදිහකින් ස්ත්‍රියකගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් රූපයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ පුරුෂ රූපය තරම් වෙන එකම රූපයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, පුරුෂ රූපය හැම පැත්තෙන්ම ස්ත්‍රියගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

“පින්වත් මහණෙනි, යම් විදිහකින් ස්ත්‍රියකගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් හඬක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ පුරුෂ හඬ තරම් වෙන එකම හඬක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, පුරුෂ හඬ හැම පැත්තෙන්ම ස්ත්‍රියගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

“පින්වත් මහණෙනි, යම් විදිහකින් ස්ත්‍රියකගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් ගන්ධයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ පුරුෂ ගන්ධය තරම් වෙන එකම ගන්ධයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, පුරුෂ ගන්ධය හැම පැත්තෙන්ම ස්ත්‍රියගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

“පින්වත් මහණෙනි, යම් විදිහකින් ස්ත්‍රියකගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් රසයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ පුරුෂ රසය තරම් වෙන එකම රසයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, පුරුෂ රසය හැම පැත්තෙන්ම ස්ත්‍රියගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”

“පින්වත් මහණෙනි, යම් විදිහකින් ස්ත්‍රියකගේ සිත හැම පැත්තෙන්ම ග්‍රහණය කරගෙන තියෙන යම් ස්පර්ශයක් ඇත්නම්, පින්වත් මහණෙනි, මේ පුරුෂ ස්පර්ශය තරම් වෙන එකම ස්පර්ශයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, පුරුෂ ස්පර්ශය හැම පැත්තෙන්ම ස්ත්‍රියගේ සිත ග්‍රහණය කරගෙනයි තියෙන්නෙ.”