වී නංඩුව ගැන

වදාළ දෙසුම

'තමන්වත් නසා අනුන්වත් නසන, දුගතියටම පාර කපන කැළඹුන හිත'

- අංගුත්තර නිකාය -

(සූක වර්ගය)

සැවැත් නුවරදී….

“පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. හැල් වී නංඩුවක් හරි, යව වී නංඩුවක් හරි, වැරදි විදිහට තැබුවොත් අතින් වේවා, පයින් වේවා තද වුනොත් ඒ අත හෝ පය හෝ තුවාල වී ලේ උපදින්නේය යන කරුණ, සිදුවන දෙයක් නොවේ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, වී නංඩුව වැරදි විදිහට තැබීමයි. පින්වත් මහණෙනි, මෙකරුණත් එවැනිම දෙයක්. නොමගක පිහිටුවා ගත් සිතකින් යුතු ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම අවිද්‍යාව බිඳ හෙළන්නේය, විද්‍යාව උපදවන්නේය, අමාමහ නිවන සාක්ෂාත් කරන්නේය යන කරුණ සිදු වන දෙයක් නොවේ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, සිත නොමගක පිහිටුවා ගැනීමයි.”

“පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. හැල් වී නංඩුවක් හරි, යව වී නංඩුවක් හරි, නිවැරදි විදිහට තැබුවොත් අතින් වේවා, පයින් වේවා තද වුනොත් ඒ අත හෝ පය හෝ තුවාල වී ලේ උපදින්නේය යන කරුණ, සිදුවන දෙයක්. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, වී නංඩුව නිවැරදි විදිහට තැබීමයි. පින්වත් මහණෙනි, මෙකරුණත් එවැනිම දෙයක්. හරි මගෙහි පිහිටුවා ගත් සිතකින් යුතු ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම අවිද්‍යාව බිඳ හෙළන්නේය, විද්‍යාව උපදවන්නේය, අමාමහ නිවන සාක්ෂාත් කරන්නේය යන කරුණ සිදු වන දෙයක්. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, සිත හරි මගෙහි පිහිටුවා ගැනීමයි.”

“පින්වත් මහණෙනි, මා මේ ලෝකයේ මගේ සිතින් සමහර නපුරු සිත් ඇති පුද්ගලයන්ව හොඳින් අවබෝධ කර ගන්නවා. ‘මේ පුද්ගලයා නම් මේ වෙලාවේදී මිය පරලොව ගියොත්, හරියට ඔසවා ගෙන පැමිණි බරක් බිමින් තබනවා වගේ නිරයේ උපදිනවා. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඔහුගේ සිත දූෂිතව තිබීමයි. පින්වත් මහණෙනි, ඔය විදිහට සිත දූෂිත වීම හේතුවෙන් මෙහි සමහර සත්වයන් කය බිඳිලා මැරුණට පස්සේ අපාය, දුගතිය නම් වූ නිරයේ උපදිනවා.”

“පින්වත් මහණෙනි, මා මේ ලෝකයේ මගේ සිතින් සමහර පහන් වූ සිත් ඇති පුද්ගලයන්ව හොඳින් අවබෝධ කර ගන්නවා. ‘මේ පුද්ගලයා නම් මේ වෙලාවේදී මිය පරලොව ගියොත්, හරියට ඔසවා ගෙන පැමිණි බරක් බිමින් තබනවා වගේ සුගතියේ උපදිනවා. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඔහුගේ සිත ප්‍රසන්නව තිබීමයි. පින්වත් මහණෙනි, ඔය විදිහට සිතේ පැහැදීම හේතුවෙන් මෙහි සමහර සත්වයන් කය බිඳිලා මැරුණට පස්සේ සුගතිය නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදිනවා.”

“පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. වතුර විලක් තියෙනවා. ඒක කැළඹිලා, බොර වෙලා, මඩ වෙලයි තියෙන්නේ. ඉතින් එතැන ඉවුරේ සිටින ඇස් ඇති පුරුෂයෙක් (ඒ ජලය දෙස බලා සිටිද්දී) සිප්පි බෙල්ලන් හෝ හක් බෙල්ලන් හෝ මාළු රංචු හෝ සිටින බව හෝ පිහිනන බව හෝ දකින්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ජලය කැළඹී තිබීමයි. පින්වත් මහණෙනි, අන්න ඒ වගේම තමයි කැළඹී ගිය සිතකින් යුතු වූ ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම ‘තමන්ගේ යහපත දැනගන්නේය, අනුන්ගේ යහපත දැනගන්නේය, තමාගේත් අනුන්ගේත් යන දෙපසෙහි ම යහපත දැනගන්නේය, මනුෂ්‍ය ගුණධර්මවලට වඩා උත්තරීතර වූ ආර්ය වූ ඤාණදර්ශන විශේෂයක් අවබෝධ කරන්නේය කියන එක සිද්ධ වෙන දෙයක් නොවෙයි. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, සිත කැළඹී තිබීමයි.”

“පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. වතුර විලක් තියෙනවා. ඒක කැළඹිලා නෑ. බොර වෙලා නෑ. මඩ වෙලා නැතුවයි තියෙන්නේ. ඉතින් එතැන ඉවුරේ සිටින ඇස් ඇති පුරුෂයෙක් (ඒ ජලය දෙස බලා සිටිද්දී) සිප්පි බෙල්ලන් හෝ හක් බෙල්ලන් හෝ මාළු රංචු හෝ සිටින ආකාරයත්, හැසිරෙන ආකාරයත් දකිනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ජලය නොකැළඹී තිබීමයි. පින්වත් මහණෙනි, අන්න ඒ වගේම තමයි නොකැළඹී ගිය සිතකින් යුතු වූ ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම ‘තමන්ගේ යහපත දැනගන්නේය, අනුන්ගේ යහපත දැනගන්නේය, තමාගේත් අනුන්ගේත් යන දෙපසෙහි ම යහපත දැනගන්නේය, මනුෂ්‍ය ගුණධර්මවලට වඩා උත්තරීතර වූ ආර්ය වූ ඤාණදර්ශන විශේෂයක් අවබෝධ කරන්නේය කියන එක සිද්ධ වෙන දෙයක්. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, සිත නොකැළඹී තිබීමයි.”

“පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. යම් තාක් ගස් වර්ග තිබෙනවා නම්, ඒවා අතරින් මෘදු බවෙනුත්, ප්‍රයෝජනයට ගැනීම අතිනුත් මේ ‘බුදුරුදමුනු’ ගහ තමයි වඩාත්ම අග්‍ර වෙන්නේ. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් දෙයක් සමථ විදර්ශනා වශයෙන් දියුණු කළ විට, බහුල වශයෙන් දියුණු කළ විට මෘදු වෙයි නම්, කර්මණ්‍ය වෙයි නම්, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ සිත සමථ විදර්ශනා වශයෙන් දියුණු කළොත්, නැවත නැවත දියුණු කළොත් මෘදු වෙනවා. අවබෝධයට සුදුසු පරිදි සකස් වෙනවා.”

“පින්වත් මහණෙනි, යම් ආකාරයෙන් සැණෙකින් වෙනස් වෙලා යන්නා වූ දෙයක් ඇත්නම්, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ සිත කොතරම් සැණෙකින් වෙනස් වෙලා යන්නා වූ දෙයක්ද යත් එයට උපමාවක් සොයාගන්න එක පවා ලේසි දෙයක් නොවෙයි.”

“පින්වත් මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එනමුදු ආගන්තුක වූ උපක්ලේශ (අකුසල් සිතුවිලි) වලින් තමයි කිළුටු වෙලා තියෙන්නේ.”

 “පින්වත් මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එනමුදු මේ සිත මනාකොට නිදහස් වුනේ ඒ ආගන්තුක උපක්ලේශවලින් තමයි.”