ප්‍රභාෂ්වර සිත ගැන

වදාළ දෙසුම

'පැහැසර සිත නසාගන්නා කුසීතයා'

- අංගුත්තර නිකාය -

(පභස්සර වර්ගය)

“පින්වත් මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එනමුදු මේ සිත වනාහී ආගන්තුක උපක්ලේශවලින් කිළුටු වෙලා තියෙන්නේ. අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා මේ කාරණය ඒ අයුරින් දන්නෙ නෑ. ඒ නිසා අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා හට ‘චිත්ත භාවනාවක් නැහැ’ කියලයි මා කියන්නේ.”

“පින්වත් මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එනමුදු මේ සිත වනාහී ආගන්තුක උපක්ලේශවලින් නිදහස් වෙලා තියෙන්නේ. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මේ කාරණයත් ඒ අයුරින්ම දන්නවා. ඒ නිසා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට ‘චිත්ත භාවනාව තිබෙනවා’ කියලයි මා කියන්නේ.”

“පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සැණක් ගසන මොහොතක්වත් මෛත්‍රී සිත සේවනය කරනවා නම් පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ ‘භික්ෂුව ධ්‍යාන භාවනාවෙන් හිස් නැතුව වාසය කරනවා, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව ඉටු කරනවා, අවවාදය පිළිපදිනවා, ගුණදහමින් හිස් නොවී සැදැහැවතුන් දෙන දන්පැන් වළඳනවා’ කියල. ඉතින් යම් කෙනෙක් මෙත් සිත බහුලව ප්‍රගුණ කරනවා නම්, ඒ ගැන කවර කතාද?”

“පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සැණක් ගසන මොහොතක්වත් මෛත්‍රී සිත ප්‍රගුණ කරනවා නම් පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ ‘භික්ෂුව ධ්‍යාන භාවනාවෙන් හිස් නැතුව වාසය කරනවා, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව ඉටු කරනවා, අවවාදය පිළිපදිනවා, ගුණදහමින් හිස් නොවී සැදැහැවතුන් දෙන දන්පැන් වළඳනවා’ කියලා. ඉතින් යම් කෙනෙක් මෙත් සිත බහුලව ප්‍රගුණ කරනවා නම්, ඒ ගැන කවර කතා ද?”

“පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සැණක් ගසන මොහොතක්වත් මෛත්‍රී සිත මෙනෙහි කරනවා නම් පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ ‘භික්ෂුව ධ්‍යාන භාවනාවෙන් හිස් නැතුව වාසය කරනවා, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව ඉටු කරනවා, අවවාදය පිළිපදිනවා, ගුණදහමින් හිස් නොවී සැදැහැවතුන් දෙන දන්පැන් වළඳනවා’ කියල. ඉතින් යම් කෙනෙක් මෙත් සිත බහුලව ප්‍රගුණ කරනවා නම්, ඒ ගැන කවර කතාද?”

“පින්වත් මහණෙනි, යම් දෙයක් අකුසල් නම්, අකුසලයට අයත් නම්, අකුසල් පැත්තට නම් වැටෙන්නෙ, ඒ හැම දෙයක්ම සිත මුල් කරගෙන තමයි තියෙන්නෙ. සිත තමයි ඒ දේවල්වලට මුලින්ම උපදින්නෙ. ඒ සමඟමයි අකුසල් උපදින්නෙ.”

“පින්වත් මහණෙනි, යම් දෙයක් කුසල් නම්, කුසලයට අයත් නම්, කුසල් පැත්තට නම් වැටෙන්නෙ, ඒ හැම දෙයක්ම සිත මුල් කරගෙන තමයි තියෙන්නෙ. සිත තමයි ඒ දේවල්වලට මුලින්ම උපදින්නෙ. ඒ සමඟමයි කුසල් උපදින්නෙ.”

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ ප්‍රමාදය තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ප්‍රමාදී පුද්ගලයාට නූපන් අකුසල් උපදිනවා. උපන් කුසල් දහම් පිරිහිලා යනවා.”

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ අප්‍රමාදය තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, අප්‍රමාදී පුද්ගලයාට නූපන් කුසල් උපදිනවා. උපන් අකුසල් දහම් පිරිහිලා යනවා.”

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ කුසීතකම තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ප්‍රමාදී පුද්ගලයාට නූපන් අකුසල් උපදිනවා. උපන් කුසල් දහම් පිරිහිලා යනවා.”