සිත පිරිසිදු වීම ගැන

වදාළ දෙසුම

'දෙව්ලොවට යන්න පිරිසිදු සිතක් ඇතිකර ගන්න'

- ඛුද්දක නිකාය | ඉතිවුත්තක පාළි -

(පසන්නචිත්ත සූත්‍රය)

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ ලෝකයේ ඉන්න පිරිසිදු වෙච්ච සිත් ඇති සමහර පුද්ගලයන්ගේ සිත මගේ සිතින් මේ විදිහට දැනගන්නවා. මේ පුද්ගලයා මේ කාලෙ මිය පරලොව ගියොත්, හරියට හිසින් ගත් බරක් බිමින් තියනවා වගේ දෙව්ලොව තමයි උපදින්නේ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ඒ ඔහුගේ සිත පිරිසිදු වෙච්ච නිසා. පින්වත් මහණෙනි, සිත පිරිසිදු වීම නිසාම මේ ලෝකයේ සමහර උදවිය කය බිඳිලා මැරුණට පස්සේ සැප තියෙන දෙව්ලොව උපදිනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“පසන්නචිත්තං ඤත්වාන ඒකච්චං ඉධ පුග්ගලං,
ඒතමත්ථං ච ව්‍යාකාසි බුද්ධෝ භික්ඛූන සන්තිකේ

“මෙහි ඇතැම් පුද්ගලයන්ගේ පිරිසිදු සිත ගැන දැන වදාළ බුදුරජාණන් වහන්සේ ඒ ගැන භික්ෂූන් සමීපයෙහි පවසා වදාළා.

ඉමම්හි චායං සමයේ කාලං කයිරාථ පුග්ගලෝ,
සුගතිං උපපජ්ජෙය්‍ය චිත්තං හිස්ස පසාදිතං

මේ පුද්ගලයා මේ වෙලාවේ කළුරිය කළොත්, ඔහු දෙව්ලොව තමයි උපදින්නේ. ඒ ඔහුගේ සිත පිරිසිදු වෙච්ච නිසා.

යථා’හරිත්වා නික්ඛිපෙය්‍ය ඒවමේව තථාවිධෝ,
චේතෝපසාදහේතු හි සත්තා ගච්ඡන්ති සුග්ගති”න්ති

හරියට ගෙන ආපු යම් දෙයක් බිමින් තබනවාද, අන්න ඒ වගේමයි. මේ සිත පිරිසිදු වීම කියන හේතුව නිසාම තමයි සත්වයන් දෙව්ලොව යන්නේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.