නීවරණ

ප්‍රහාණය කිරීම ගැන

වදාළ දෙසුම

'සිත වනසන සතුරන් පස් දෙනා හඳුනාගන්න'

- අංගුත්තර නිකාය -

(නීවරණප්පහාණ වර්ගය)

සැවැත් නුවරදී ……………..

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් කාමච්ඡන්දය (රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන ඇති ආශාව) උපදිනවා නම්, උපන් කාමච්ඡන්දය බොහෝ සෙයින් වැඩිවෙනවා නම්, වඩාත් වැඩිවීමට හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ සුභ නිමිත්ත (අරමුණු ගැන සුභ හැටියට සිතීම) තරම් එයට හේතු වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සුභ නිමිත්ත ගැන රාගය ඇතිවෙන අයුරින් සිහි කරන කෙනාට නූපන් කාමච්ඡන්දය උපදිනවා. උපන් කාමච්ඡන්දය බොහෝ සෙයින් වැඩිවීම පිණිසත් හේතුවෙනවා.”

“පින්වත් මහණෙනි, යම් දේකින් නූපන් තරහ උපදිනවා නම්, උපන් තරහ බොහෝ සෙයින් වැඩිවෙනවා නම්, වඩාත් වැඩිවීමට හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ පටිඝ නිමිත්ත (තරහ ඇතිවෙන කරුණ) තරම් එයට හේතුවන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, පටිඝ නිමිත්ත ගැන තරහ ඇතිවෙන අයුරින් සිහිකරන කෙනාට නූපන් තරහ උපදිනවා. උපන් තරහ බොහෝ සෙයින් වැඩිවීම පිණිසත් හේතුවෙනවා.”

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් ථීනමිද්ධය උපදිනවා නම්, උපන් ථීනමිද්ධය බොහෝ සෙයින් වැඩිවෙනවා නම්, වඩාත් වැඩිවීමට හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, ඒකට මේ කුසල් දහම්වල සිත නොඇලීමත්, අලසකමත්, ඈනුම් අරිමින් ඇඟමැලි කැඩීමත්, බත් මතයත්, සිතේ හැකුළුණු බවත් තරම් එයට හේතුවන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, හැකුළුණු සිතක් තියෙන කෙනාට නූපන් ථීනමිද්ධය උපදිනවා. උපන් ථීනමිද්ධය බොහෝ සෙයින් වැඩිවීම පිණිසත් හේතුවෙනවා.”

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් උද්ධච්චකුක්කුච්ච (නොසන්සුන්කමත් පසුතැවීමත්) උපදිනවා නම්, උපන් උද්ධච්චකුක්කුච්ච බොහෝ සෙයින් වැඩිවෙනවා නම්, වඩාත් වැඩිවීමට හේතුවෙනවා නම්, පින්වත් මහණෙනි, සිතේ නොසන්සිඳීම තරම් එයට හේතුවන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, නොසන්සිඳුණු සිතක් තියෙන කෙනාට නූපන් උද්ධච්චකුක්කුච්ච උපදිනවා. උපන් උද්ධච්චකුක්කුච්ච බොහෝ සෙයින් වැඩිවීම පිණිසත් හේතුවෙනවා.”

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් සැක උපදිනවා නම්, උපන් සැක බොහෝ සෙයින් වැඩිවෙනවා නම්, වඩාත් වැඩිවීමට හේතුවෙනවා නම්, පින්වත් මහණෙනි, නුවණින් තොරව හිතන එක තරම් එයට හේතුවන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, නුවණින් තොරව හිතන කෙනාට නූපන් සැක උපදිනවා. උපන් සැක බොහෝ සෙයින් වැඩිවීම පිණිසත් හේතුවෙනවා.”

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් කාමච්ඡන්දය උපදින්නේ නැත්නම්, උපන් කාමච්ඡන්දය ප්‍රහීණ වෙලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ අසුභ නිමිත්ත තරම් එයට උපකාරී වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, අසුභ නිමිත්ත නුවණින් සිහිකරන කොට නූපන් කාමච්ඡන්දය වුනත් උපදින්නේ නෑ. උපන් කාමච්ඡන්දය පවා ප්‍රහීණ වෙලා යනවා.”

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් තරහ උපදින්නේ නැත්නම්, උපන් තරහ ප්‍රහීණ වෙලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ මෛත්‍රී චිත්ත විමුක්තිය තරම් එයට උපකාරී වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මෛත්‍රී චේතෝ විමුක්තිය නුවණින් සිහිකරන කොට නූපන් තරහ වුනත් උපදින්නේ නෑ. උපන් තරහ පවා ප්‍රහීණ වෙලා යනවා.”

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් ථීනමිද්ධය උපදින්නේ නැත්නම්, උපන් ථීනමිද්ධය ප්‍රහීණ වෙලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ පටන් ගැනීමේ වීරියත්, දිගටම පවත්වා ගැනීමේ වීරියත්, දැඩි ලෙස දියුණු කර ගත් වීරියත් තරම් එයට උපකාරී වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ පටන් ගත් වීරිය තියෙන කෙනාට නූපන් ථීනමිද්ධය පවා උපදින්නේ නෑ. උපන් ථීනමිද්ධය වුනත් ප්‍රහීණ වෙලා යනවා.”

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් උද්ධච්ච කුක්කුච්චය උපදින්නෙත් නැත්නම්, උපන් උද්ධච්ච කුක්කුච්චය වුනත් ප්‍රහීණ වෙලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ සිතේ සංසිඳීම තරම් එයට උපකාරී වන, වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සංසිඳී ගිය සිතක් ඇති කෙනාට නූපන් උද්ධච්චකුක්කුච්චය වුනත් උපදින්නේ නෑ. උපන් උද්ධච්චකුක්කුච්චය පවා ප්‍රහීණ වෙලා යනවා.”

“පින්වත් මහණෙනි, යම් දේකින් මේ නූපන් සැක උපදින්නේ නැත්නම්, උපන් සැක ප්‍රහීණ වෙලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ ධර්මයට අනුව නුවණින් යුතුව මෙනෙහි කිරීම තරම් එයට උපකාරී වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ධර්මයට අනුව නුවණින් සිතන කෙනාට නූපන් සැක උපදින්නේ නෑ. උපන් සැක පවා ප්‍රහීණ වෙලා යනවා.”