අශ්‍රැතවත්

පෘථග්ජනයා ගැන

වදාළ දෙසුම

'අත්තෙන් අත්තට පැන පැන යන වඳුරු හිත'

- සංයුත්ත නිකාය | නිදාන වර්ගය -

(අස්සුතවන්තු සූත්‍රය)

මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේය. එහිදී …. (පෙ) …. මෙය වදාළා.

“පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාට සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරය ගැන නම් කළකිරිලාත් යනවා. එපාත් වෙනවා. නිදහස් වෙන්නත් හිතෙනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරයේ වැඩීමත්, පිරිහීයාමත්, අල්ලා ගැනීමත්, අත්හැරීමත් දකින්නට ලැබෙනවා. අශ්‍රැතවත් පෘථග්ජනයා මේ ශරීරය ගැන කළකිරෙන්නෙත්, එපා වෙන්නෙත්, නිදහස් වෙන්න හිතන්නෙත් ඒ නිසාමයි.

නමුත් පින්වත් මහණෙනි, මේ හිත කියල, මනස කියල, විඤ්ඤාණය කියලා යම් දෙයකට කියනවා නම්, අන්න ඒ ගැන නම් අශ්‍රැතවත් පෘථග්ජනයා කළකිරෙන්නට විදිහක් නෑ. එපා වෙන්නට විදිහක් නෑ. නිදහස් වීමට හිතන්නට විදිහක් නෑ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ ‘මේක මගේ, මේ තමයි මම, මේ තමයි මගේ ආත්මය’ කියලා ඒ කෙරෙහි බැසගෙන ඉන්නවා. මමත්වයෙන් ඉන්නවා. වැළඳගෙන ඉන්නවා. පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාට ඒ ගැන කළකිරෙන්නට බැරි, එපා වෙන්නට බැරි, නිදහස් වීමට හිතන්නට බැරි ඒ නිසාමයි.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාට ආත්මය කියලා යමක් ඕනම නම් සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරය ගැන එහෙම සළකන එක හොඳයි. නමුත් සිත එලෙස ගැනීම සුදුසු නෑ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරය එක අවුරුද්දක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු දෙකක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු තුනක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු හතරක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු පහක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු දහයක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු විස්සක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු තිහක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු හතළිහක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු පනහක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු සීයක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු සීයකට වැඩිය තියෙනවා වුණත් දකින්නට ලැබෙනවා.

නමුත් පින්වත් මහණෙනි, මේ හිත කියලා, මනස කියලා, විඤ්ඤාණය කියලා යම් දෙයකට කියනවා නම් අන්න ඒ දෙය දවල්ටත්, රෑටත් වෙන එකක්ම උපදිනවා. වෙන එකක්ම නිරුද්ධ වෙනවා.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. මහා වනාන්තරයක හැසිරෙන වඳුරෙක් ගැන හිතමු. ඔය වඳුරා වනයේ හැසිරෙද්දී අත්තක් අල්ල ගන්නවා. ඒ අත්ත අත්හැරලා ඊළඟ අත්ත අල්ල ගන්නවා. ඒ අත්ත අත්හැරලා වෙන අත්තක් අල්ල ගන්නවා. පින්වත් මහණෙනි, මේ හිත කියලා, මනස කියලා, විඤ්ඤාණය කියලා යම් දෙයකට කියනවා නම්, අන්න ඒකත් ඔය වගේම දෙයක්. දවල්ටත් රෑටත් එකක්ම උපදිනවා. වෙන එකක්ම නිරුද්ධ වෙනවා.

ඔය ගැන පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා කරන්නේ පටිච්චසමුප්පාදයම මනා කොට සිහි කිරීම මයි. ඔය විදිහට මෙය තිබුණොත් තමයි මෙය ඇතිවන්නේ. මෙය ඉපදීමෙන් තමයි මෙය උපදින්නේ. මෙය නැති වුණොත් මෙය නැති වෙලා යනවා. මෙය නිරුද්ධ වෙන කොට මෙය නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. ඒ අවිද්‍යාවම සහමුලින්ම නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.

පින්වත් මහණෙනි, ඔය විදිහට දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඳීම ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. කළකිරීම නිසා ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ තමන් අවබෝධයෙන්ම දන්නවා තමන් නිදහස් වුණ බව. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. වෙන කළ යුතු කිසිවක් නැතැ’යි දැනගන්නවා.