දම්වැලෙන් ගැට ගැසූ
සුනඛයා ගැන
වදාළ දෙසුම
'සිත කිලිටි වීම නිසයි සත්වයන් කිලිටි වෙන්නේ. සිත පිරිසිදු වීමෙනුයි සත්වයන් පිරිසිදු වෙන්නේ'
- සංයුත්ත නිකාය | ඛන්ධක වර්ගය -
(දුතිය ගද්දූලබද්ධ සූත්‍රය)
සැවැත් නුවර දී ………………………….
පින්වත් මහණෙනි, අවිද්‍යාවෙන් වැහිල, තණ්හාවෙන් බැඳිල උපතකින් උපතකට දුවන්නා වූ උපතකින් උපතකට සැරිසරන්නා වූ මේ සත්වයන් ගේ මේ මැරෙමින් ඉපදෙමින් පවතින ස්වභාවය (සංසාරය) යනු අනවරාග්ර දෙයක්. ආරම්භක කෙළවරක් නම් දැකගන්න බෑ.පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දම්වැලෙන් ගැට ගැසූ සුනඛයා සවිමත් හුලක හරි, කණුවක හරි බැඳලා තියෙන කොට ඒ සතා යන කොට ඒ හුල හෝ කණුව ඇසුරු කරගෙන ඒ වටේමයි යන්නේ. ඒ සතා ඉන්න කොට ඒ හුල හෝ කණුව ඇසුරු කරගෙන ඒ වටේමයි ඉන්නේ. ඒ සතා හිඳින කොට ඒ හුල හෝ කණුව ඇසුරු කරගෙන ඒ වටේමයි හිඳින්නේ. ඒ සතා ලගින කොට ඒ හුල හෝ කණුව ඇසුරු කරගෙන ඒ වටේමයි ලගින්නේ.
පින්වත් මහණෙනි, ඔය විදිහට ම අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. රූපය ගැන මුළාවෙන් දකින්නේ ‘මේක මගේ, මේ මම, මේක තමයි මගේ ආත්මය’ කියලයි …. (පෙ) …. වේදනාවත් මේක මගේ …. (පෙ) …. සඤ්ඤාවත් මේක මගේ …. (පෙ) …. සංස්කාරත් මේක මගේ …. (පෙ) …. විඤ්ඤාණය ගැන මුළාවෙන් දකින්නේ ‘මේක මගේ, මේ මම, මේක තමයි මගේ ආත්මය’ කියලයි. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා යන කොට පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ඒ වටේමයි යන්නේ. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා ඉන්න කොට පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ඒ වටේමයි ඉන්නේ. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා හිඳින කොට පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ඒ වටේමයි හිඳින්නේ. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා නිදන කොට පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ඒ වටේමයි නිදන්නේ.
පින්වත් මහණෙනි, අන්න ඒ නිසා භික්ෂුව විසින් හැම තිස්සේම තමන්ගේ සිත ගැන නුවණින් විමස විමසා ම යි ඉන්න ඕන. බොහෝ කාලයක් මුළුල්ලේ මේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙලා තියෙන්නේ කියලා. පින්වත් මහණෙනි, සිත කිලිටි වීම නිසයි සත්වයන් කිලිටි වෙන්නේ. සිත පිරිසිදු වීමෙනුයි සත්වයන් පිරිසිදු වෙන්නේ. පින්වත් මහණෙනි, ඔබ ‘චරණ’ කියන චිත්‍රය දැකලා තියෙනවාද?”
“එසේය, ස්වාමීනි.”
පින්වත් මහණෙනි, ඔය චරණ චිත්‍රය කියන්නේ සිතෙන් ම විචිත්‍ර කරපු එකක් නෙව. ඉතින් පින්වත් මහණෙනි, ඒ චරණ චිත්රයටත් වඩා සිත ම යි අතිශයින් ම විචිත්‍ර. පින්වත් මහණෙනි, අන්න ඒ නිසා භික්ෂුව විසින් හැම තිස්සේ ම තමන්ගේ සිත ගැන නුවණින් විමස විමසා ම යි ඉන්න ඕන. බොහෝ කාලයක් මුළුල්ලේ මේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙලා තියෙන්නේ කියලා. පින්වත් මහණෙනි, සිත කිලිටි වීම නිසයි සත්වයන් කිලිටි වෙන්නේ. සිත පිරිසිදු වීමෙනුයි සත්වයන් පිරිසිදු වෙන්නේ.
පින්වත් මහණෙනි, මා නම් මේ තිරිසන්ගත සතුන් තරම් මෙතරම් විචිත්‍ර වූ අන්‍ය එකම සත්ව කොට්ඨාසයක්වත් දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ඔය තිරිසන්ගත සතුන් විචිත්‍ර වෙලා තියෙන්නේ සිත කරණ කොට ගෙන ම යි. පින්වත් මහණෙනි, ඒ තිරිසන්ගත සතුන්ටත් වඩා සිත ම යි අතිශයින් ම විචිත්‍ර. පින්වත් මහණෙනි, අන්න ඒ නිසා භික්ෂුව විසින් හැම තිස්සේ ම තමන්ගේ සිත ගැන නුවණින් විමස විමසා ම යි ඉන්න ඕන. බොහෝ කාලයක් මුළුල්ලේ මේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙලා තියෙන්නේ කියලා. පින්වත් මහණෙනි, සිත කිලිටි වීම නිසයි සත්වයන් කිලිටි වෙන්නේ. සිත පිරිසිදු වීමෙනුයි සත්වයන් පිරිසිදු වෙන්නේ.
පින්වත් මහණෙනි, රදවෙක් ඉන්නවා. එහෙම නැත්නම් සිත්තරෙක් ඉන්නවා. ඔහු රතු පාට වේවා, නිල්පාට වේවා, මදටිය පාට වේවා සායම් තිබුණොත් ලාටු තිබුණොත් හොඳ මටසිලිටි වූ පුවරුවක හරි, බිත්තියක හරි, වස්ත්‍රයක හරි සියලු අඟපසඟින් යුතු ස්ත්‍රියකගේ රූපයක් හරි පුරුෂයෙකුගේ රූපයක් හරි ලස්සනට අඳිනවා. පින්වත් මහණෙනි, ඔය විදිහට ම අශ්‍රැතවත් පෘථග්ජනයාත් විශේෂයෙන් උපදවනවා නම් රූපයක් ම යි උපදවන්නේ …. (පෙ) …. වේදනාවක් ම යි …. (පෙ) …. සඤ්ඤාවක් ම යි …. (පෙ) …. සංස්කාර ම යි …. (පෙ) …. විශේෂයෙන් උපදවනවා නම් විඤ්ඤාණයක් ම යි උපදවන්නේ.
පින්වත් භික්ෂුව, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍යයිද? අනිත්‍යයිද?”
“අනිත්‍යයි ස්වාමීනි.”
“විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය නිත්‍යයිද? අනිත්‍යයිද?”
“අනිත්‍යයි ස්වාමීනි.”
“එනිසා පින්වත් භික්ෂුව …. (පෙ) …. පින්වත් භික්ෂුව, ඔය විදිහට දකින ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා …. (පෙ) …. නැවත ඉපදීමක් නැතැයි අවබෝධ කරගන්නවා.”