භද්දකාපිලානි මහ රහත් තෙරණින් වහන්සේ

ඇගේ අතීත ප්‍රාර්ථනය

පදුමුත්තර බුදුරදුන් දවස භද්දකාපිලානි හංසවතී නුවර මහා ධනවත් පුද්ගලයෙක් වූ වේදේහගේ භාර්යාව වශයෙන් උපත ලැබීය. ඇය බුදුරදුන්ගේ දේශනයක් ශ්‍රවණය කරමින් සිටින විට ‘පෙර ජීවිත ගැන සිහි කිරීමේ කුසලතා ඇති භික්ෂුණීන් අතුරින් අග්‍ර භික්ෂුණිය’ ලෙස එක්තරා භික්ෂුණියක් නම් කරනු දුටුවා ය. එය දුටු විට ඇය ද එවැනි භික්ෂුණියක් වීමට ප්‍රාර්ථනා කළ අතර, මහා පූජාවක් කිරීමෙන් පසු, තම ස්වාමිපුරුෂයා (මේ ජීවිතයේදී අපගේ මහා කස්සප මහ රහතන් වහන්සේ) ධුත ගුණයෙන් අග්‍ර භික්ෂුව වීමට ප්‍රාර්ථනා කරන අතර තුර, බුදුන් වහන්සේ ඉදිරියෙහි ඇය ද තමාගේ ප්‍රාර්ථනාව සඳහන් කළා ය. ඒ ජීවිතයේ දී ඔවුන් එක්ව බොහෝ පින් රැස් කර දෙව්ලොව උපත ලැබුහ.

ගෘහපතියෙකුගේ බිරිඳ ලෙස ඇයගේ ජීවිතය

විපස්සී බුදුරදුන්ගේ කාලයේ ස්වාමිපුරුෂයා ඒකසාටක නම් ඉතා දිළිඳු බ්‍රාහ්මණයකු වූ අතර ඇය ඔහුගේ භාර්යාව විය.

ඔවුන්ගේ ඊලඟ ජීවිතයේදී ස්වාමියා බරණැස රජු වූ අතර ඇය ඔහුගේ අග බිසව විය. ඔවුන් එක්ව පසේ බුදුරජාණන් වහන්සේලා අට නමකට ඉතා සැදැහැ සිතින් උපස්ථාන කළහ.

බරණැස් රජුගේ අග බිසව ලෙස ජීවිතයෙන් සමුගත් ඇය නැවත දෙව්ලොව ද පසුව මනුලොව ද වශයෙන් කල්පය පුරා සුගති ලෝකවල උපත ලදහ. අවසානයේ ඇය බරණැස ප්‍රදේශයේ ගෘහපතියකුගේ භාර්යාව වී නැවත ඉපදුණාය. (ඇගේ පෙර ජීවිතයේ සැමියා මේ ජීවිතයේ ද සැමියා විය)

දිනක් සැමියාගේ නිවසේ දී සැමියාගේ සහෝදරිය සහ ඔහුගේ බිරිඳ අතර ආරවුලක් හට ගත්තේ ය. ඔවුන් කලහ කරමින් සිටින අතරතුර දී පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතය පිණිස ඔවුන්ගේ නිවස ඉදිරිපිට වැඩසිටි සේක.

ඉක්බිති ගෘහපතියාගේ නැගණිය පසේ බුදුරජාණන් වහන්සේට දානය පිළිගන්වා මෙසේ කීවා ය.

“ස්වාමීනී, යොදුන් සියයක් දුරින් වුව ද මට මැයව මඟහැරීමට හැකිවේවා”

දොරකඩ සිටගෙන සිටින විට ගෘහපතියාගේ බිරිඳට නැගණියගේ ප්‍රාර්ථනාව ඇසින. ඇය මෙසේ සිතුවාය.

“පසේ බුදුරජාණන් වහන්සේ මේ ස්ත්‍රියගේ ආහාරයෙන් නොයැපේවා!”

පසේ බුදුරජාණන් වහන්සේ වෙත වහා දිව ගිය ඇය දාන පාත්‍රය ගෙන එහි ආහාර ඉවත දමා පාත්‍රයෙහි මඩ පුරවා නැවත  එය පසේ බුදුරජාණන් වහන්සේට දුන්නා ය.  ඇය කළ දුෂ්ඨ ක්‍රියාව දුටු සහෝදරිය ඇයට බැණ වදිමින් මෙසේ කීවා ය.

“ඒයි මෝඩ ගැහැනිය, ඔබට අවශ්‍ය නම් මට චෝදනා කරන්න, පහර දෙන්න, නමුත් පසේ බුදුරජාණන් වහන්සේට දුන් දානය අනතුරු කිරීම හොඳ දෙයක්නම් නෙවෙයි. පාත්‍රයේ ආහාර විසිකර එහි මඩ පුරවා දීමෙන් නුඹ කළේ මහම මහ පව්කාර ක්‍රියාවක්”

එවිට ගෘහපතියාගේ භාර්යාව මහා සංවේගයකට පත්ව, “ස්වාමීනි, කරුණාකර ඉන්න” කියා පැවසුවා ය.

ඇය සමාව අයැද පාත්‍රයේ තිබූ මඩ ඉවතට විසි කර හොඳින් සෝදා සුවඳ කුඩුවලින් ඇතුල්ලුවා ය. ඉන්පසු පාත්‍රය ප්‍රණීත චතුමධුරින් පුරවා  සුදු නෙළුම් මල් පැහැයෙන් යුතු  පිරිසිදු ගිතෙල් එහි වත්කොට ආපසු පසේ බුදුරජාණන් වහන්සේට පාත්‍රය පූජාකොට මෙසේ කීවා ය.

“ස්වාමීනී! මේ පිරිසිදු ගිතෙල් නිසා මේ අහාරය බබළන්නේ යම් සේද, මගේ ශරීරය ද එසේ බබළාවා…දීප්තිමත් වේවා.”

පසේ බුදුරජාණන් වහන්සේ පුණ්‍යානුමෝදනා වදන් වදාරා ආශිර්වාද කොට අහසට නැගී වැඩම කළ සේක.

ස්වාමිපුරුෂයා සහ භාර්යාව පසුව බොහෝ පින්කම් කොට කාලයාගේ ඇවෑමෙන් එම ජීවිතයෙන් මිය ගිය පසු දිව්‍ය ලෝකයේ උපත ලැබූහ.

බරණැස වෙළෙන්දෙකුගේ භාර්යාව ලෙස....

නැවත ඔවුන් දිව්‍ය ලෝකයෙන් සමුගෙන, ගෘහපතියා කස්සප බුදුරදුන් ජීවමානව වැඩ සිටින සමයෙහි අසූ කෝටියක් වටිනා ධන සම්පත් ඇති ධනවත් වෙළෙන්දෙකුගේ පුත්‍රයෙකු ලෙස බරණැස නුවර උපන්නේ ය. ඔහුගේ බිරිඳ තවත් ධනවත් වෙළෙන්දෙකුගේ දියණියක් ලෙස උපන්නා ය.

වෙළඳ පුත්‍රයා වැඩිවිය පැමිණි පසු ඒ දියණිය ම ඔහුගේ බිරිඳ ලෙස ඔහුගේ නිවසට ගෙන ආවා ය. ඇයගේ අතීත අකුසල කර්මය එතෙක් සැඟවී තිබූ නමුත්, මංගල දිනයේ දී ස්වාමියාගේ නිවසට ඇතුළු වන විටදී ම එළිපත්ත පසු කළ සැණින් ඇගේ සිරුරෙන් කුණු ගඳ හමන්ට ගත්තේ ය. හරියට  වැසිකිළියක් විවෘත කළාක් මෙන් විය. වෙළඳ පුත්‍රයා ඒ කුණු ගඳ කුමක්දැයි විචාළේ ය. එය දැන් පැමිණි මනාලියගේ සිරුරින් වහනය වන ගඳ බව දැනගත් හේ මනාලියව එළවා දමා පැමිණි අයුරින්ම ඇයගේ මවුපියන්ගේ නිවසට යවන ලෙස නියෝග කළේ ය. ඒ ආකාරයෙන් සත් වතාවක් ම සිදු විය. ඇය පැමිණි විට මේ ආකාරයට තම සැමියාගේ නිවසේ එළිපත්තට ඇතුළු වූ සැණින් හමා එන දුර්ගන්ධය නිසා ඇයට තැන් හතකින් මවුපියන්ගේ නිවසට පැමිණීමට සිදු විය. ඇත්තෙන්ම ඇය පෙර ජීවිතයේ දී (පසේ බුදුරජාණන් වහන්සේගේ දානයට අනතුරු කිරීමෙන්) කරගත්තේ මහ භයානක ක්‍රියාවකි!

ඒ කාලයේ දී කස්සප බුදුරදුන් පිරිනිවන් පෑ බැවින් මිනිසුන් ලක්ෂයක් වටිනා රන් ගඩොල් ඇති යොදුනක් උසැති ධාතු මන්දිරයක් (ධාතු සෑයක්) කරවන්නට පටන් ගත් හ. ධාතු සෑය ඉදිවෙමින් පවතින අතරවාරයේදී කාන්තාවට මෙසේ සිතුණි.

“මට තැන් හතකින්ම ආපහු එන්න වුණා. මා තවත් මේ ශරීරය අලංකාර කිරීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද?”

ඇය ඇගේ සියළු ස්වර්ණාභරණ විකුණුවා ය. එසේ ලබාගත් මුදලින් රියනක් දිග, රියන් භාගයක් පළල සහ ඇඟිලි හතරක් ඝනැති රන් ගඩොලක් සාදා ගත්තා ය. ඉන්පසු ඇය රන් ගඩොල සහ නෙළුම් මල් මිටි අටක් රැගෙන ධාතු සෑය පිහිටි ස්ථානයට ගියා ය.

ඒ මොහොතේ දී, රනින් කරවන ධාතු සෑයේ කොටසක ඇති වූ හිඩැස පිරවීමට ගඩොල් අවශ්‍ය විය. ඉතින් ඇය ඒ මොහොතේම තමා ගෙනා රන් ගඩොල දී මෙසේ කීවා ය.”අනේ මගේ රන් ගඩොලින් හිඩැස පුරවන්න.”

“ආර්‍යාවනි, ඔබතුමිය පැමිණියේ සුදුසුම මොහොතකයි. එනිසා එය ඔබම කරන්න. ”

අතිශයින්ම ප්‍රීතියට පත් ඇය පෙදරේරු තැනගේ උපකාරය ද ඇතිව තම දෑතින්ම සිමෙන්ති මිශ්‍රණය අනා රන් ගඩොල තබා මැනවින් බදාම තවරා රන් සෑයේ අඩුව පුරවාලී ය. අනතුරුව රන් සෑයට නෙළුම් මල් පුදා ගෞරව උපහාර දැක්වූ ඇය මෙසේ ප්‍රාර්ථනා කළා ය.

“මතු සංසාරයේ කුමන ජීවිතයක් ලැබුනත්, මගේ ශරීරයෙන් සඳුන් සුවඳත්, මගේ මුඛයෙන් නෙළුම් සුවඳත් නික්මේවා!”

සැදැහැ සිතින් රන් සෑය වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඇය නිවසට ගියා ය.

ඒ මොහොතේ කාන්තාව මුලින්ම විවාහ වූ ධනවත් වෙළෙන්දාගේ පුත්‍රයාට ඇයව සිහිපත් විය. එදා උත්සවය දිනයකි. වෙළඳ පුත්‍රයා තම මිනිසුන්ගෙන් මෙසේ ඇසී ය.

“එක දවසක් මගේ ගෙදරට ගැහැණු ළමයෙක් ගෙනාවා නේද?. ඇය දැන් සිටින්නේ කාගේ නිවසේද?”

තරුණිය තවමත් ඇගේ පියාගේ නිවසේ සිටින බව සේවකයන් පිළිතුරු දුන් විට, වෙළඳ පුත්‍රයා මෙසේ පැවසී ය: “මිත්‍රවරුනි, ගොස් ඇයව රැගෙන එන්න. අපි ඇය සමඟ එක්ව උත්සවය සමරමු.”

ඔහු ඇය වෙනුවෙන් ඔහුගේ මිනිසුන් යැවීය.

තරුණියගේ නිවසට පැමිණි ඔවුහු ඇයට ගෞරවාදර දක්වා එකත්පස්ව සිටගත්හ. තරුණිය ඔවුන්ගේ පැමිණීම ගැන විමසූ විට, ඔවුන් ඔවුන්ගේ ස්වාමියා කී කාරණය දන්වා සිටියහ.

“සහෝදරවරුනි, මම මගේ සියලු ආභරණ සෑයට ගෞරව පිණිස පූජා කළෙමි. මට තවත් ඇඳීමට හෝ පැළඳීමට දෙයක් නැත.”

මිනිසුන් තම ස්වාමියාට කාරණය සැල කළහ. එවිට වෙළඳ පුත්‍රයා මෙසේ කීය.

“ඔබ තරුණියව රැගෙන එන්න. ඇයට ආභරණ ලැබේවි.”

ඔහුගේ මිනිසුන් විසින් තරුණිය ඔහු වෙත ගෙන එන ලදී. තරුණිය නිවසට ඇතුළු වූ වහාම මුළු නිවසම සඳුන් සුවඳින් මෙන්ම නෙළුම් සුවඳින් ද පිරී ගියේය.

විශ්මයට පත් වෙළඳ පුත්‍රයා මෙසේ ඇසී ය: “ඔබ මෙහි පැමිණි පළමු වතාවේදී ඔබේ ශරීරයෙන් දුර්ගන්ධයක් පිට විය. නමුත් දැන් ඔබේ ශරීරයෙන් සඳුන් සුවඳක් සහ ඔබේ මුඛයෙන් නෙළුම් සුවඳක් වහනය වෙයි. එයට හේතුව කුමක්ද?”

ඇය ඇගේ කුසල කර්මය පිළිබඳ මුළු කතාවම පැවසූවා ය. “අහෝ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇත්තෙන්ම දුකින් නිදහස් කිරීමට සමත් වේමැයි!” සතුටට පත් වෙළඳ පුත්‍රයා කීය.

ශ්‍රද්ධාවෙන් ඔද වැඩීගිය හේ යොදුනක ප්‍රමාණයෙන් යුත් රන් සෑය වටා වටිනා ඇතිරිලිවලින් කංචුකයක් සාදවා පූජා කළේ ය.  එහි සමහර ස්ථානවල ඔහු රන් නෙළුම් මල් ආකාරයෙන් සැරසිලි කළේ ය. එමඟින් සෑයට විශිෂ්ට අලංකාරයක් එක් කරන ලදී, රන් නෙළුම් මල්, රෝදයක් තරම් විශාල විය. රන් නෙළුම් මල් වල එල්ලෙන රේණු සහ දන්ඩ රියන් දොළහක් දිග ය.

මෙසේ ඔවුන් දෙදෙන එක්ව බොහෝ පින් කළහ.

නන්ද රජුගේ අග බිසව ලෙස ඉපදීම

ඒ භවයේදී ජීවිත කාලය පුරාම පින්කම් කරමින් සිට මිය ගිය පසු ඔවුන් නැවත දිව්‍ය ලෝකයක උපත ලැබූහ. නැවත  ඒ දිව්‍ය භවයෙන් සමුගත් කල්හි ස්වාමි පුරුෂයා බරණැස් නුවරින් යොදුනක් දුර ප්‍රභූ කුලයක නන්ද නමින් ඉපදුනේ ය. බිරිඳ බරණැස් නුවර මාලිගාවේ (රජ පවුලේ ) වැඩිමහල් කුමරිය ලෙස ඉපදුනා ය.

දිනක් නන්ද ජීවත් වූ ගමේ උත්සවයක් පවත්වන බවට නිවේදනයක් නිකුත් විය. එවිට නන්ද තම මවගෙන් උත්සවයට ඇඳීම සඳහා සළුවක් ඉල්ලා සිටියේ ය. මව දුන් සළුවට හේ අකමැති විය.
“මට ගොරෝසු නැති සලුවක් දෙන්න” ඔහු කීවේ ය. මව නැවතත් දෙවෙනි සළුවක් දුන්නා ය. ඔහු එයද ප්‍රතික්ෂේප කළේ ය. ප්‍රතික්ෂේප කිරීම මේ ආකාරයෙන් කිහිප වතාවක්ම නැවත නැවතත් කළ විට මව මෙසේ පැවසුවා ය.

“මා ප්‍රිය පුත්‍රය, අපි මෙවැනි සළු ලබන ගෘහයක ජීවත් වෙමු. මීටත් වඩා අනගි සළු මේ ලෝකයේ තිබේ යැයි හැඟේ නම් ඔබ යන්න, එවැනි සළු ඇති තැනෙකින් අරගන්න”

“එහෙනම් මෑණියනි මම දැන්ම යනවා මගේ හිතට වදින සළු ඇති තැනක් සොයාගෙන” හේ දැඩිව කී ය. පුත්‍රයා සුරතල් බස් දොඩනවායි සිතා මව මෙසේ කීය.

“ආදරණීය පුතේ ඔබට අදම බරණැස රජකම ලැබේවා”

නන්ද තරුණයා තම මවට වැඳ යාමට අවසර ඉල්ලා සිටියේ ය. අම්මා කැමැත්තෙන්ම අවසර දුන්නා ය. නමුත් ඇය සිතුවේ මෙසේ ය

‘මගේ පුතා කොහේ යන්නද? ඔය කොහේ හරි ගිහිල්ලා හවසට ගෙදරට ඒවි’

එහෙත් නන්ද සිටියේ දැඩි තීරණයක ය. එය මව නොදැන සිටියා ය. නන්ද තම ගමෙන්  බරණැස බලා පිටත් වීය. එහි ගොස් රාජකීය උද්‍යානයේ පිහිටි මනරම් ගල් සයනය මත හිස වසා නිදා ගත්තේ ය. ඒ බරණැස රජුගේ අභාවයෙන් පසු සත්වැනි දිනයයි.

ඇමතිවරු අවමංගල්‍ය කටයුතු සිදු කර මළුවේ රැස්වීමක් පවත්වමින් ඔවුනොවුන් අතර සාකච්ඡා කළහ:  “රජුට සිටින්නේ දියණියක් පමණි. ඔහුට පුතෙක් නැත. රජෙක් නැති රාජ්‍යයක අරුත කිම? කවුරුන් හෝ රජ විය යුතු ය. නමුත් ඊට සුදුස්සා කවුද?”

“ඔබ අපේ රජ වන්න!”…..“අපේ රජ වන්න…” කියා ඔවුන් එකිනෙකාට රජකම සඳහා යෝජනා කළහ. එවිට පුරෝහිත බ්‍රාහ්මණ තෙමේ මෙසේ කීවේය: අප අතරින් සුදුස්සෙකු සොයා ගැනීමට උත්සාහ නොකළ යුතුයි. අපි මංගල අශ්වයන් බැඳි රජුගේ මංගල රථය යවමු. එය විසින් එහි උරුම කරුවා සොයා ගනීවි.” පුරෝහිත බමුණාගේ තීරණයට සියල්ලෝ එකඟ වූහ. සියල්ලෝම එකඟ වූ පසු, ඔවුහු පංචවිධ සංගීත භාණ්ඩ වාදනය කරමින් චතුරංගනී සේනා සහිතව රථය මුදා හැරිය හ.

රථය, නුවර නැඟෙනහිර දොරටුවෙන් පිටත් වී රාජකීය උද්‍යානය දෙසට එය පෙර පුරුද්දට රාජකීය උද්‍යානය දෙසට ඇදෙතීයි සිතා ඇතැම් ඇමතිවරු රථය නවතන මෙන් ඇණ කළේ ය. නමුත් පුරෝහිත බමුණාගේ තීරණ වූයේ ඔවුන් රථයට රිසි සේ යාමට ඉඩ දිය යුතු බවයි. නැවත වරක් ඒ සියළු දෙනා ඔහුට අවනත වූහ,

උයනට ඇතුළු වූ රථය, නන්ද වටා තෙවරක් කැරකී නන්ද ඉදිරිපිට ඉන්නක් ගැහුවා සේ නතර විය. පුරෝහිත තෙමේ සිරුර වසා සිටි වස්ත්‍රය මදක් මෑත් කොට ඔහුගේ යටිපතුල් පිරික්සන්නට ගත්තේ ය. බොහෝ සතුටින් හේ මෙසේ ප්‍රකාශ කළේ ය.

“ජම්බුදීපය පසෙක තැබේවා,  විශාල, කුඩා, අනු කුඩා, දූපත් දෙදහසක් ඇති මේ සතර මහාද්වීපයම පාලනය කිරීමට මේ පුරුෂයා සුදුස්සෙක් ය.”

ඔහු තුන් වරක් වාදනය කරන ලෙස සංගීතඥයින්ට නියෝග කළේය.

එවිට නන්ද තමාගේ මුහුණ වසා තිබූ සළුව ඉවත් කර ඇමතිවරුන් දැක මෙසේ ඇසී ය:

නන්ද: ඔබ මෙහි පැමිණියේ කුමන අරමුණක් සඳහාද?

ඇමතිවරු: ස්වාමීනී, බරණැස රජකම ඔබ වහන්සේ වෙත පැමිණ ඇත.

නන්ද: රජතුමා කොහෙද?

අමාත්‍යවරු: ස්වාමීනී, එතුමා අභාවප්‍රාප්ත වුණා.

නන්ද: ඔහු මිය ගොස් දින කීයක් ගත වී තිබේද?

ඇමැතිවරු: අද හත්වැනි දවස ස්වාමීනී.

නන්ද: දිවංගත රජුට පුතෙක් හෝ දුවෙක් සිටියේ නැද්ද?

ඇමතිවරු: ස්වාමීනී, ඔහුට සිටියේ එකම දියණියකි, නමුත් පුතෙක් නැත.

ඇමතියන් මෙසේ කී කල්හි “එසේ නම් මම රාජ්‍යත්වය පිළිගනිමි” යි කියා රජකම පිළිගත්තේය.

ඉක්බිති අමාත්‍යවරු අභිෂේක මංගල්‍ය සඳහා මණ්ඩපයක් සාදා, අංගසම්පූර්ණව ඇඳ පැළඳ සිටි කුමරිය ගෙනවුත්, නියමාකාරයෙන් රාජකීය අභිෂේක කර්මය පවත්වා නන්ද ව බරණැස රජ කරවූහ.

ඉක්බිත්තෙන් ඇමතියෝ අභිෂේක ලත් නන්දය රජුට රන් කහවනු දහසක් වටිනා සළුවක් පිරිනැමූහ. “මිත්‍රවරුනි, ඒ මොන වගේ ඇඳුමක්ද?” නන්ද රජු ඇසුවා.

“මහ රජතුමනි, එය ඔබ වහන්සේට පෙරවීම සඳහායි”

“මිත්‍රවරුනි, මෙය රළු ඇඳුමක් නෙව. ඔබට මීට වඩා හොඳ එකක් නැද්ද?”

“මහ රජතුමනි, මීට වඩා හොඳ සියුම් එකක් මිනිසුන් පරිහරණය කරන වස්ත්‍ර අතර නැතැ”යි අමාත්‍යවරු පිළිතුරු දුන්හ.

“ඔබේ දිවංගත රජතුමා ඇන්දේ මෙවැනි රළු වස්ත්‍රද?” නන්ද රජු ඇසී ය. ඇමතිවරුන් ‘එසේය මහ රජතුමනි’ කියා පිළිතුරු දුන් විට, නන්ද රජු මෙසේ පැවසීය.

“ඔබේ දිවංගත රජතුමා මහා භාග්‍යවන්තයෙකු ලෙස නොපෙනෙයි. රන් පැන් කෙන්ඩිය ගෙනෙන්න. අපි ඉතා හොඳ ඇඳුම් ලබා ගනිමු. ” ඇමැතිවරු එය ගෙනැවිත් රජුට දුන්හ.

අසුනෙන් නැඟිට, රජු තම අත සහ මුඛය සෝදා, තම පැන් කෙන්ඩියෙන් ජලය රැගෙන, නැගෙනහිර දිශාවට විසි කළේය. ඉක්බිති, ප්‍රාර්ථනා ඉටු කරන මහා යෝධ කල්ප වෘක්ෂ අටක් මහ පොළව බිඳගෙන පොළොවෙන් මතු විය. දකුණ, බස්නාහිර, උතුරු දිසාවන්හි ද එසේ කළ විට එක් දිශාවකින් අට බැගින් යෝධ කල්ප වෘක්ෂ මතු විය. මේ ආකාරයට සතර දිසාවේ ප්‍රාර්ථනා ඉටු කරන යෝධ කල්ප වෘක්ෂ තිස් දෙකක් විය. නන්ද රජු ඒ කල්ප වෘක්ෂයන්ගෙන් ලබා ගත් දිව්‍ය වස්ත්‍රයක් හැඳ තවත් දිව්‍ය වස්ත්‍රයක් පොරවා ගත්තේ ය. එවිට ඔහු බෙර කරුවන් ලවා නිවේදනයක් නිකුත් කළේ ය. එම නිවේදනය මෙසේ ය.

“මින් මතු නන්ද රජුගේ රාජ්‍යයේ කිසිම ස්ත්‍රියක් නූල් කැටීම් හෝ රෙදි විවීම් හෝ කළ යුතු නොවෙයි. කල්ප වෘක්ෂ‍යන්ගෙන් සියල්ලෝ සිත් සිත් සේ වස්ත්‍ර ලබත්වා!”

ඔහු ද රාජකීය ශ්වේත ඡත්‍රය ඔසවා, විසිතුරුව ඇඳ පැළඳ, රාජකීය මංගල හස්තියා පිට නැගී නගරයට ඇතුළු වී, මාලිගාවට පිවිසියේ ය. හේ එහි බොහෝ සැපවත් ජීවිතයක් ගත කළේ ය.

නන්ද රජ ජීවිතය සතුටින් ගත කළේ ය. මෙසේ වසර කීපයක් ගෙවී ගියේ ය. කෙළිලොල් ව ගෙවීයන ඔහුගේ ජීවිතය දෙස බලා සිටි රැජින මෙසේ සිතුවා ය:

“සැබවින්ම මේ රජ පින් ඇත්තෙකි. බොහෝ දුර්ලභ  පින් කළ අයෙකි.නමුත් දැන් හේ කිසිඳු පිනක් නොකර ලද පින් අනුභව කරමින් පමණක් ම සිටී. හේ ප්‍රමාදීව වසයි”

රජ පිළිබඳ අනුකම්පාව පළ කරමින් ඇය ඇගේ සංවේගය රජුහට දැනෙන්න සැලැස්සුවා ය.

ඇය ඒ බව විමසූ විට ඇය මෙසේ සිහිපත් කළා ය: “ඔබේ සුඛෝපභෝගී ජීවිතය ඇත්තෙන්ම විශිෂ්ටයි. ඒ ඔබ සත්‍ය වශයෙන්ම අතීතයේ ශ්‍රද්ධාවෙන් යහපත් ක්‍රියා සිදු කර ඇති බැවිනි. නමුත් දැන් ඔබ අනාගත සතුට වෙනුවෙන් කිසිවක් නොකරයි. ඔබ දන් නොදෙයි. පින් නොකරයි.”

“ඉතින් අපි දානය දිය යුත්තේ කාටද? ගුණවත් ප්‍රතිග්‍රාහකයන් දැන් මේ ලෝකයේ නැත!” යනුවෙන් රජු තර්ක කළේ ය.

“මහ රජතුමනි, ජම්බුදීපය රහතන් වහන්සේලාගෙන් හිස් නොවේ. ඔබ දිය යුතු දේවල් සකස් කිරීම වඩා හොඳය. මම පිළිගැනීමට සුදුසු පුද්ගලයන් රැගෙන එන්නෙමි” රැජින නිර්භීතව පැවසුවාය.

පසුදා රජතුමා නගරයේ නැඟෙනහිර දොරටුව අසල දානය පිණිස කටයුතු සූදානම් කළේ ය. බිසව,“නැගෙනහිර දිශාවේ රහතන් වහන්සේලා වැඩ සිටිනවා නම්, උන් වහන්සේලා පැමිණ අපගේ දානය පිළිගන්නා සේක්වා!” යි නැඟෙනහිර දෙසට මුහුණලා වැඳ වැටී ඇරයුම් කරන කළාය.

එම දිශාවේ රහතන් වහන්සේලා නොසිටි නිසා කිසිවකු නොපැමිණියේ ය. එම නිසා එදින දානය අනාථයින් සහ යාචකයින් විශයෙහි දන් දෙන ලදී. පසු දින දකුණු දොරටුව අසල ද එවැනිම වැඩපිළිවෙලක් සිදු විය. තුන්වෙනි දින බටහිර දොරටුව අසල ද එවැනිම වැඩපිළිවෙලක් සිදු විය. එහෙත් ඒ දිසාවන්ගේ රහතන් වහන්සේලා නොසිටි නිසා නොවැඩි සේක.

සතර වන දින උතුරු දොරටුවේ පූජා කටයුතු සම්පාදනය කර, බිසව පෙර පරිදිම ආරාධනා කළ විට, පදුමාවතී බිසවගේ පුත්‍රයන් වූ පන්සියයක් පසේ බුදුරජාණන් වහන්සේලාගෙන්  වැඩිමහල්  මහා පදුම පසේ බුදුරජාණන් වහන්සේ තම බාල සොහොයුරන් වූ හාරසිය අනූනවයක් පසේ බුදුරජාණන් වහන්සේලා අමතා මෙසේ කී සේක, නන්ද රජු ඔබට ආරාධනා කර ඇත. ඔහුගේ ආරාධනය සතුටින් පිළිගන්න!”

පසේ බුදුරජාණන් වහන්සේලා ඒ ආරාධනාව සතුටින් පිළිගත්හ. උන් වහන්සේලා අනෝතත්ත විලෙන් මුහුණ සෝදා එතැනින් නොපෙනී ගොස් බරණැස් නගරයේ උතුරු දොරටුව අසලට පැමිණිය හ.

රටවැසියෝ රජු වෙත ගොස් “මහ රජතුමනි, පන්සියයක් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩම කළහ” යි දැන්වූහ.

රජතුමා බිසව සමඟ පසේ  බුදුරජාණන් වහන්සේලා වෙත ගොස් බොහෝ සැදැහැ සිතින් උන් වහන්සේලා පිළිගත්තේ ය. පාත්‍රය අතැතිව පන්සියයක් පසේ  බුදුරජාණන් වහන්සේලා මහා දානමය පුණ්‍යකර්මය උදෙසා මාලිගාවේ උඩුමහලට වැඩම කළ සේක. දානය අවසන් වූ පසු රජු, වැඩිමහල් පසේ  බුදුරජාණන් වහන්සේගේ පාමුල ද, බිසව බාලම පසේ  බුදුරජාණන් වහන්සේගේ පාමුල ද ගත් හ. හිඳගෙන රජතුමා මෙසේ ඉල්ලීමක් කළේ ය.

“ස්වාමීනී, ඔබ වහන්සේලා අප ගැන අනුකම්පාවෙන් අපගේ උද්‍යානයේ වැඩ සිටින සේක්වා. එය අපට බොහෝ කල් හිත සුව පිණිස පවතීවි. ඔබ වහන්සේලා විශයෙහි උපස්ථානයන් සිදු කිරීමෙන් අප බොහෝ පින් රැස් කර ගැනීමට කැමති”

පසේ  බුදුරජාණන් වහන්සේලා නිහඬව ආරාධනය පිළිගත් සේක.

එතැන් පටන් පන්සියයක් පසේ  බුදුරජාණන් වහන්සේලා රජ උයනෙහි  නවාතැන් ගත් සේක. රජතුමාත් බිසවත් නිරන්තරයෙන් කැපවෙමින් උන්වහන්සේලාගේ සියළු අවශ්‍යතා සොයා බලමින් බොහෝමත් ම සෙනෙහසින් උපස්ථාන කළෝ ය. එසේ කරමින් බොහෝ පින් රැස් කර ගත් හ.

ටික කාලයකින් රාජධානියේ මායිම් ප්‍රදේශවල නොසන්සුන්තාවක් හා කැළඹීමක් හට ගත්තේ ය. දේශසීමාවේ හටගත් කැරැල්ල මැඩපැවැත්වීම සඳහා රජු එහි යා යුතු විය. එහෙයින් තමා නොමැති කාලය තුළ පසේ බුදුරජාණන් වහන්සේලා රැකබලා ගන්නා ලෙස රජු තම බිසවගෙන් ඉල්ලා සිටියේ ය.

රජතුමා උපදෙස් දුන් පරිදිම බිසව පසේ බුදුරජාණන් වහන්සේලාට අවශ්‍ය සියල්ල සොයා බලා මැනවින් උපස්ථාන කළා ය. දින කීපයකට පසු, රජු කැරැල්ල මැඩපැවැත්වා නැවත පැමිණීමට පෙර, පසේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පා වදාළහ. වැඩිමහල් පසේ බුදුරජාණන් වහන්සේ වන මහාපදුම පසේ බුදුරජාණන් වහන්සේ රාත්‍රිය මුළුල්ලේ ධ්‍යානයට සමවැදී සිට ආසනයේ ඵලකයට හේත්තු වී සිටින ආකාරයෙන්ම පිරිනිවන් පෑ සේක. එලෙසම සෙසු පසේ බුදුරජාණන් වහන්සේ ද පිරිනිවන් පෑ සේක.

පසුදා බිසව පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා අසුන් පිළියෙළ කර, බිම පිරිබඩ ගා, මල් සුවඳ විලවුන් ඉස, පසේ බුදුරජාණන් වහන්සේලා දානයට වඩිනතුරු බලා සිටියා ය. පසේ බුදුරජාණන් වහන්සේලා වඩින ලකුණු කිසිවක් ඇය නොදුටු බැවින්, ඇය සේවකයෙකු කැඳවා මෙසේ කීවාය.

“යන්න පුත, පසේ බුදුරජාණන් වහන්සේලා නොවැඩීමට හේතුව සොයා බලන්න. උන් වහන්සේලා යම් මානසික හෝ කායික අපහසුවකින් පීඩා විඳීදැයි සොයා බලන්න”

සේවකයා උයනට ගොස් මුලින්ම මහාපදුම පසේ බුදුරජාණන් වහන්සේ සොයා ගියේ ය. උන්වහන්සේගේ කුටියේ දොර විවෘත කළ බැලුවත් ඔහුට උන්වහන්සේ එහි දක්නට නොලැබුණි. සක්මන් මළුව දෙස බලද්දී එහි ආසනයට හේත්තු වී භාවනා ඉරියව්වෙන් සිටින මහාපදුම පසේ බුදුරජාණන් වහන්සේ හේ දිටී. ඔහු එහි ගොස් පසේ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කිරීමෙන් පසු උන්වහන්සේට ආරාධනා කර සිටියේ ය: “ස්වාමීනි, මේ දානයට කාලයයි!” පසේ බුදුරජාණන් වහන්සේගෙන් පිළිතුරක් ලැබුනේ නැත.

පසේ බුදුරජාණන් වහන්සේ සැතපී සිටින බව සිතමින් සේවකයා පසේ බුදුරජාණන් වහන්සේ සමීපයට ගියා ය. ස්පර්ෂ කරමින් වන්දනා කළේ ය. එවිට ඒ පා සීතල වී දැඩි වී ඇති බව ඔහුට දැනුනි. ඒ ලකුණෙන් පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා ඇති බව ඔහු දැන ගත්තේ ය. ඔහු දෙවන, තෙවන, සිව්වෙනි වශයෙන් අවසාන පසේ බුදුරජාණන් වහන්සේ දක්වා ගියේ ය. මෙසේ විමසා බලන විට පසේ බුදුරජාණන් වහන්සේලා සියල්ලෝම පරිනිර්වාණයට පත්වී ඇති බව ඔහුට තෙරුම් ගියේ ය. මාලිගාවට ආපසු ඔහුගෙන් බිසව මෙසේ ඇසුවා ය.

“කොහේද පුතේ පසේ බුදුරජාණන් වහන්සේලා?”

“ආර්‍යාවනී, ඒ සියලු පසේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාලා” සේවකයා පිළිතුරු දුන්නේ ය.

බිසව දැඩි ලෙස හඬා වැලපෙමින් නගරයෙන් පිටත රාජකීය උද්‍යානයට ගොස්  වැසියන් සමඟ අවමංගල්‍ය චාරිත්‍ර හා ආදාහන කටයුතු සිදු කළා ය. ඇය පසේ බුදුරජාණන් වහන්සේලාගේ ධාතු නිදන් කර ධාතු සෑයක් ඉදි කළා ය.

කැරැල්ල මැඩපවත්වමින් ප්‍රත්‍යන්ත ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පත් කළ රජතුමා නැවත නගරයට පැමිණියේ ය. තමා හමුවීමට පැමිණි බිසව අමතා මෙසේ ඇසුවේ ය; “පින්වත් බිසවුනි, ඔබ සැලකිලිමත් ලෙස පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කළාද? ඒ උත්තමයන් වහන්සේලා නීරෝගිව වැඩ සිටිනවාද?”

පසේ බුදුරජාණන් වහන්සේලා පරිනිර්වාණයට පත් වූ බව බිසව පිළිතුරු දුන් විට, රජු කම්පනයට පත් වී මෙසේ සිතුවේ ය: “මෙවන් මහා සෘෂීන් වහන්සේලාත් මරණයට පත් වුණා! කෙසේනම්  අපට මරණයෙන් මිදීමක් වේද!”

රජතුමා නගරයට නොගොස් වහාම රාජකීය උයනට ගියේ ය. ඔහු තම වැඩිමහල් පුත්‍රයා කැඳවා ඔහුට රජකම පවරා තමා හුදකලා ජීවිතයක් සහිත බඹසර වාසය ආරම්භ කළේ ය.

බිසව ද මෙසේ සිතුවා ය: “රජු ගිහි සැප අත් හැරිය විට මම තනිව ම ගිහි සැප විඳීමේ අරුත කුමක් ද? මමත් බඹසර වසමි, තාපසියක් වෙමි” ඇය ද එම රාජකීය උද්‍යානයේ ම වෙනත් කෙලවරක තාපසවරියක් ලෙස පැවිදි වු බඹසර සිල් රකිමින් සිල්වත්ව ගත කළා ය. ධ්‍යාන වඩා දෙදෙනාම දෙදෙනාම බ්‍රහ්ම ලෝකයේ ඉපදුණහ.

අවසාන ජීවිතය

ඔවුන් බ්‍රහ්ම ලෝකයේ සිටිය දී අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වන කාලය පැමිණ තිබුණා. එකල රජු ‘පිප්පලි’ නමින්, මගධ රටේ මහාතිත්ත නම් බ්‍රාහ්මණ ගමෙහි කපිල නම් ධනවත් බ්‍රාහ්මණයෙකුගේ භාර්යාවගේ කුසෙහි පිළිසිඳ ගත්තා. රජ බිසව ‘භද්දකාපිලානි’ නමින් මගධ රාජ්‍යයේ සාගල නුවර ධනවත් බ්‍රාහ්මණයෙකු වන කෝසිය පරම්පරාවේ බ්‍රාහ්මණයෙකුගේ බිරිඳගේ කුසෙහි පිළිසිඳ ගත්තා.

පිප්පලි තරුණයාට, වයස අවුරුදු විස්සක් වන විට, භද්දකාපිලානි දහසය හැවිරිදි වියේ පසුවූ වුනා, පිප්පලි තරුණයාගෙ දෙමව්පියන් තම වැඩිවිය පැමිණ ඇති පුත්‍රයාට විවාහක් කර දීමට කාලය පැමිණ ඇති බව සළකා ඔහුට මෙසේ කීවා

“ආදරණීය පුතේ, ඔබ දැන් විවාහ වෙන වයසට පැමිණිලයි ඉන්නෙ. කෙනෙකුගේ පරම්පරාව දිගු කලක් පැවතීමට නම්හෙ විවාහ විය යුතුයි, පුත්‍රයන් ලැබිය යුතුයි. ඉතින් අපි තීරණය කළා ඔබේ විවාහයත් ඉක්මනටම කරල දෙන්න.”

පිප්පලි බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි බැවින් විවාහ ජීවිතයකට කිසිසේත්ම සතුටු වූයේ නැත. දෙමාපියන්ගේ යෝජනාව තරයේ  ප්‍රතික්ෂේප කරමින්, “කරුණාකර මෙවැනි වචන මගේ කනට ඇසෙන්න නොකියන්න. ඔබ ජීවත්ව සිටින තාක් කල් මම ඔබට උපස්ථාන කරන්නෙමි, ඔබ නැති වූ විට මම හුදෙකලා තවුස් ජීවිතයක් ගත කරමි.”

දින දෙක තුනකට පසු දෙමාපියෝ නැවතත් ඔහුට විවාහය පිළිබඳ යෝජනාව කළහ. හේ අධිෂ්ඨානශීලීව සිටියේ ය. යෝජනාව ප්‍රතික්ෂේප කරමින් තවුස් ජීවිතයක් ගැන අනාගත බලාපොරොත්තුව ම ඔහු ඉදිරියට ගත්තේ ය. නමුත් දෙමාපියන්ගේ බල කිරීමේ අවසානක් නොවීය, එන්න එන්නම අවස්ථා ගණන් වැඩි වූවා මිස.

බල කිරීම් වල අවසානයක් පෙනෙන බවක් නොදුටු විට, පිප්පලි මෙසේ සිතුවේය: “මම පැවිදි වීමට කොතරම් කැමති ද යන්න මමම මගේ මවට ඒත්තු ගන්වන්නම්!”

එසේ සිතා ඔහු රන්කරුවන්ට රන් බර දහසක් ලබා දී එයින් තරුණියකගේ රන් පිළිමයක් නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටියේ ය. ප්‍රතිමාව නිර්මාණය කර ඔප දැමූ පසු ඔහු ප්‍රතිමාව රතු පැහැති වස්ත්‍රවලින් සරසා වර්ණවත් මල්වලින් හා දීප්තිමත් ආභරණවලින් එය අලංකාර කළේ ය. ඉන්පසු ඔහු තම මව අමතා මෙසේ කීවේ ය.

“අම්මේ, මේ පිළිමය තරම් ලස්සන ගැහැණු ළමයෙක් ලැබුණොත් විතරක්  මම ගෙදර ඉන්නම්! එසේ නොවේ නම්, මම මහණ වෙමි.”

බ්‍රාහ්මණ මාතාව ප්‍රඥාවන්ත වූ බැවින් ඇය මෙසේ සිතුවා ය.“මගේ පුත්‍රයා අතීත ඒකාන්තයෙන්ම ජීවිතවල යහපත් ක්‍රියා කළ, දානමාන පුරුදු කළ, උතුම් ප්‍රාර්ථනා ඇති අයෙකි. ඔහු අතීත භවයේ කුසල් ක්‍රියාවන්හි යෙදී සිටිය දී ඒවා තනිවම කළා යැයි සිතිය නොහැක. ඇත්තෙන්ම මගේ පුතාට පින්කම් කළ රන් පිළිමයට සමාන ඉතා ලස්සන විශිෂ්ට කාන්තාවක් සිටිය යුතුයි.”

එසේ සලකා ඇය බ්‍රාහ්මණයන් අට දෙනෙකු කැඳවා ඔවුන්ට මහත් උපස්ථාන කර ගෞරව දක්වා රන් පිළිමය රථයක තබා මෙසේ කීවා ය.

“යන්න, සහෝදරවරුනි! කුලයෙන්, වංශයෙන්, ධනයෙන් අපට සමාන පවුලක මේ රන් පිළිමයට සමාන ගැහැණු ළමයෙක් ඔබ දුටුවහොත් ඇය වෙනුවෙන් ඇයගේ මා පියන්ට මේ රන් ප්‍රතිමාව තෑග්ගක් ලෙස දෙන්න. ඒ දියණිය අපගේ පුත්‍රයාට යෝජනා කරන්න.”

ඇය බමුණන් පිටත් කළා ය.

බ්‍රාහ්මණයන් අට දෙනා බ්‍රාහ්මණ මාතාවගේ උපදෙස් පිළිගත්හ, “මෙය ඇත්තෙන්ම අප වැනි ප්‍රඥාවන්තයන් විසින් කළ යුතු කාර්යයක්.” ඔවුන් කීහ.

එසේ පවසමින් ඔවුන් ගමෙන් පිටවී තම ගමනේ ගමනාන්තය පිළිබඳව ඔවුනොවුන් අතර සාකච්ඡා කළහ. ඉන්පසු ඔවුහු ඒකමතිකව මෙසේ තීරණය කළහ: “මේ ලෝකයේ මද්ද රට ලස්සන කාන්තාවන්ගේ නිවහන වෙයි. අපි මද්ද රටට යමු.”

එහෙයින් ඔවුහු සාගල නුවරට ගියහ. ප්‍රතිමාව එම නගරයේ නාන තොටුපළේ තබා යම් ස්ථානයක සැඟවී සිට බලා සිටියහ.

එකල්හි ධනවත් බ්‍රාහ්මණයකුගේ දුවක් වූ භද්දකාපිලානිගේ උපස්ථායිකාව, ඇයව නාවා, ආභරණවලින් සරසවා, ඇයට පහසුවෙන් සිටීමට සලස්වා නාන තොටුපලය ආවා ය. එවිට නාන තොටුපළ අසළ තුබූ පිළිමය දුටු ඇය මෙසේ සිතුවා ය.

“මගේ හිතුවක්කාර කෙල්ල මට කලින් ඇවිත්!” ඇය බැණ වදිමින් නොයෙක් ආකාරයෙන් මැසිවිලි නැඟුවා ය. “ඒයි පුංචි හිතුවක්කාර කෙල්ල! ඇයි ඔයා තනියම මෙතනට ආවේ?ඉක්මනට ගෙදර යන්න!” ඇය දියණිය යැයි සිතා පහර දීමට අත එසවූවා ය. ඇත්ත වශයෙන්ම ඇය පිළිමයේ පිටුපසට පහර දෙන විට ඇගේ මුළු අත්ලම ගල් ලෑල්ලක වැදුණාක් මෙන් බොහෝ සෙයින් තුවාල විය. සේවිකාව වේදනාවෙන් පසුබැස ගියා ය, දැඩිව කීවා ය:

“අනේ! මෙතරම් දරුණු ස්පර්ශයක් සහ ඝන බෙල්ලක් ඇති මේ කාන්තාව මා දුටුවත්, ඇයව මගේ දියණිය ලෙස වරදවා වටහා ගැනීමට මම කොතරම් මෝඩද! මගේ දියණියගේ සෙවනැල්ල අල්ලන්නවත් මෙයා සුදුස්සෙක් නෙවෙයි!”

එවිට බ්‍රාහ්මණයන් අට දෙනා සේවිකාව වටකර ගත් හ. මෙසේ ඇසූ හ.“ඔබේ ස්වාමිදුව මෙතරම් ම රූමත් ද?”

“මේ කාන්තාවගේ අලංකාරය කුමක්ද? අපේ දියණියගේ රූ සපුව මේ කාන්තාවට වඩා සිය දහස් ගුණයකින් උසස්. ඇය රියන් දොළහක කාමරයක වාඩි වී සිටින්නේ නම්, එහි පහනක් පත්තු කිරීම අවශ්‍ය නොවේ. ඇගේ චවි පැහැයෙන් ම අන්ධකාරය දුරු කළ හැකියි”

“එසේ නම්, එන්න, අපි යමු. කරුණාකර අපිව ඔබගේ ස්වාමි දියණියගේ නිවසට එක්කරගෙන යන්න” යි බ්‍රාහ්මණයෝ කීහ. ඔවුන් සේවිකාව ද සමගින්  රන් පිළිමය රැගෙන කෝසිය වංශයේ ධනවත් බ්‍රාහ්මණයාගේ නිවසට ගොස් දොරකඩ නතර වී තම පැමිණීම ප්‍රකාශ කළ හ.

බ්‍රාහ්මණයා ඔවුන්ට ආගන්තුක සත්කාර කරමින් හොඳින් සැලකූ අතර මදක් කල් වේලා ගෙන ඔවුන් පැමිණියේ කොහේ සිටදැයි විමසී ය. තමා මගධ රාජධානියේ මහාතිත්ථ නම් ගම්මානයේ ධනවත් කපිල නම්  බ්‍රාහ්මණයාගේ නිවසින් පැමිණි ධූතයන් බව ඔවුන් කීහ. පැමිණි කාරණා විමසූ විට, ඔවුන් ඔවුන්ගේ පැමිණීමේ අරමුණ ඔහුට කීවෝ ය.

“මිත්‍රවරුනි,” බ්‍රාහ්මණ කෝසිය කීය: “අපි යෝජනාව පිළිගන්නෙමු. කපිල බ්‍රාහ්මණයා අප උපතින් ද සම්භවයෙන් ද ධනයෙන් ද සම වේ. මම අපේ දුවව මනාලිය ලෙස දෙන්නමි.”

මෙසේ පොරොන්දු වී කෝසිය බ්‍රාහ්මණයා ප්‍රතිමාව භාර ගත්තේ ය. එවිට පැමිණි බ්‍රාහ්මණයෝ කපිල බ්‍රාහ්මණයාට පණිවිඩයක් යැවූහ: “මනාලිය සොයාගෙන ඇත. ඉදිරියට අවශ්‍ය දෑ පිළිබඳ සොයා බලන්න”

ආරංචිය ලද පිප්පලිගේ සේවකයෝ ප්‍රීතියෙන් ඒ පණිවුඩය ඔහුට කීහ. “ස්වාමීනි, ඔබගේ රන් පිළිමයට සමාන මනාලිය හමු වූවාලු!”

උපාය වැරදීගිය බව දැනගත් පිප්ඵලී මෙසේ සිතුවේ ය. “මම හිතුවෙ ප්‍රතිමාව හා සමාන තරුණියක් ලබාගන්න බැහැ කියලා. දැන් ඔවුන් කියනවා ‘මනාලිය හම්බුණා’ කියලා. මට ඇයව අවශ්‍ය නෑ.  එනිසා මම ඇයට ලිපියක් ලියා යැවිය යුතුයි”

එබැවින් ඔහු හුදෙකලා ස්ථානයකට ගොස් පහත පරිදි ලිපියක් ලිවීය.

“මගේ ආදරණීය සොයුරියනි, ඔබ, උපතින්, පරම්පරාවෙන් හා ධනයෙන් සමාන වෙනත් නිසි පුරුෂයෙකු හා විවාහ වෙනවාට මම කැමතියි. මම වනයක හුදකලා තාපස ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක්. ඔබ පසුව විපතට පත් වෙනවාට මම කැමති නැහැ.”

ඉක්බිති භද්දකාපිලානිය ට රහසින් ලිපිය යැවීය.

භද්දකාපිලානි, මගධ රටේ මහාතිත්ථ ගමේ ධනවත් කපිල නම් බ්‍රාහ්මණයාගේ පුත් පිප්පලි තරුණයාට තමාව සරණ පාවා දීමට දෙමාපියන් කැමැත්තෙන් සිටින බව දැනගත් විට ඇයද හුදෙකලාව ගොස් පහත ලිපිය ලිව්වා ය.

“මම කැමතියි මගේ සහෝදරයා වෙනත් කුලය, පවුල සහ ධනය ඇති සමාන කාන්තාවක් සමඟ විවාහ වෙනවාට. මම වනයට ගොස් හුදකලා තාපසියක් කැමැත්තෙන් සිටිමි. මම කැමති නෑ ඉන් පසුව ඔබට අසතුටින් ජීවත් වෙන්න සිදුවෙනවාට.”

ඉන්පසු ඇය පිප්පලිට රහසේ ලිපිය යැව්වා ය.

අතරමගදී පණිවිඩකරුවන් දෙපිරිස එකට මුණගැසුණෝ ය. භද්දකාපිලානිගේ මිනිසුන් මෙසේ ඇසූ හ: “මිත්‍රවරුනි, ඔබ රැගෙන යන ලිපිය කාගෙන් ද?, එය ගෙන යන්නේ කාටද?” පිප්පලිගේ තරුණයාගේ මිනිසුන් අවංකව පිළිතුරු දුන්හ: “මේ ලිපිය අපේ ගුරු පිප්පලි විසින් භද්දකාපිලානියට යවන ලිපියක්.” ඔවුන් ද පෙරළා මෙසේ ඇසුහ: “ඔබ යවන ලිපිය කාගෙන්ද, එය යවන්නේ කා සඳහාද?” භද්දකාපිලානිගේ මිනිසුන් සෘජු පිළිතුරක් දුන්නා: “ඒ අපේ භද්දකාපිලානිගෙන් පිප්පලිට.”

දෙපාර්ශ්වයේම පණිවිඩකරුවන් ලිපි විවෘත කර කියවීමට එකඟ වූ විට, එම ලිපිවල සඳහන් සමාන නෛෂ්කර්මීය අදහස දැන ගැනීමෙන් ඔවුන් පුදුමයට පත් වුනා “බලන්න මේ මනාලයා සහ මනාලිය හිතනදේ!” ඊට පස්සේ ඒ ලියුම් දෙකම ඉරා කැලේට විසි කළා. ඔවුන් අන්‍යෝන්‍ය එකඟතාවය සහ සතුට ප්‍රකාශ කරමින් නව ලිපි දෙකක් ලියා ඔවුන් විසින් එවූ අයට යැව්වා. මේ ආකාරයට ධනවත් වෙළෙන්දෙකුගේ පුත් පිප්පලි සහ තවත් ධනවත් වෙළෙන්දෙකුගේ දියණියක් වූ භද්දකාපිලානී ගෘහ ජීවිතයට අකමැත්තෙන් සිටියේ නමුත් දෙමාපියන් සහ අතරමැදියන් විසින් ඔවුන් අතර විවාහට සියලු ඉඩ කඩ සැකසුවා.

මැලවී නොගිය මල් මාලය

විවාහ වූ දිනයේ ඔවුන් දෙදෙනාම මල් මාලයක් බැගින් ගෙන ආහ. ඔහු හා ඇය ඒවා ඔවුන්ගේ ඇඳ මැද තැබූහ. රාත්‍රී ආහාරය ගත් දෙදෙනා එකවර තම ඇඳට නැග්ගේය, පිප්පලි  දකුණු පසින්ද, භද්දකාපිලානි  වම් පසින්ද වූහ. අනතුරුව ඔවුන් ගිවිසුමක් ඇති කර ගත්තෝ ය. ඒ මෙසේයි,

“අප අතරින් කිසිවෙකු තුල කාම සිතිවිලි ඇති වුවහොත් ඒ කෙනාගේ පැත්තේ මල් මාලය පරවී යනු ඇත. ඒ සඥාවෙන්ම ඒ කෙනාගේ සිතිවිලි අපවිත්‍ර බව අවබෝධ කර ගත හැකීයි”

දෙදෙනාම රාත්‍රිය පුරා, එක් අයෙක් නොදැනුවත්වම හෝ අනෙකා ස්පර්ශ වේයැයි බියෙන් නොනිඳා ගත කළහ. මල් මාලා නොමැළ වී පැවතුනි. එතැන් පටන් ඔවුන් සහෝදරයෙක් හා සහෝදරියක් ලෙසින් එක නිවසේ ජීවත් වූහ. මල් මාලා කිසි දින මැළ වූයේ ද නැත. 

ඉමහත් ධනවත් ජීවිත

ධනවත් පුත්‍රයා සහ ධනවත් දියණිය යන දෙදෙනාම කම් සැප (ලෝකාමිසය) ගැන තෘෂ්ණාවෙන් ඈත් වූ අතර ඔවුන් තම නිවසේ කටයුතු හෝ ව්‍යාපාර කටයුතු හෝ ගැන සැලකිල්ලක් දැක්වූයේ ද නැත. නමුත්  දෙමවුපියන් කළුරිය කලපසු ඔවුන් ව්‍යාපාර වල සහ ගෘහයේ කළමනාකරණ කටයුතු කරගෙන ගියහ.

පිප්ඵලියගේ ධනය මහත් විය: ඔහු සතු රන් රිදී වල වටිනාකම පමණක් අසූහත් කෝටියක් විය. ඔහු තම සිරුර පිරිමැදීමෙන් පසු දිනපතා ඉවතලන රන් කුඩු පවා එකතු කළහොත් මගධ කෝප්ප දොළහක් (පත්තු හයකට සමාන) විය. ඔහුට යාන්ත්‍රික වේලි හැටක් හිමි විය. ඔහුගේ ගොවිපල දිග යොදුන් දොළහකි. ඔහුට තම සේවා හා සේවකයන්ගේ ජනපදය වශයෙන් විශාල ගම් දාහතරක් ද ඇත් සේනා දහහතරක් ද අශ්වාරෝහක සේනාංක දහහතරක් ද රථ සේනාංක දහහතරක් ද විය.

පිප්පලි තරුණයාගේ සහ ඔහුගේ බිරිඳ භද්දකාපිලානියගේ අධ්‍යාත්මික සිතිවිලි

දිනක් ධනවත් පිප්පලි තෙමේ මැනවින් සරසන ලද අශ්වයෙකු පිට නැගී තම ගොවිපළට ගොස් ගොවිපළ අද්දර නැවතී සිටින විට කපුටන් කුරුල්ලන්, පස් තුළ සිටින පණුවන් හා කෘමීන් අහුලාගෙන ඒවා අනුභව කරනු දුටුවේ ය. ඔහු තම සේවකයන්ගෙන් කපුටන් සහ කුරුල්ලන් කන්නේ මොනවාදැ යි ඇසූ අතර සේවකයෝ පිළිතුරු දුන්නේ ඔවුන් කන්නේ පස් පණුවන් සහ කෘමීන් බවයි. නැවතත් ඔහු මෙසේ ඇසීය.

“කපුටන් සහ කුරුල්ලන්ගේ නපුරු ක්‍රිරියාවන්ට වගකිව යුත්තේ කවුද?”

“ස්වාමීනී, ඔසී සෑම කරන්නේ ඔබ උදෙසා නිසා එහි අකුසල කර්මවලට ඔබ වගකිව යුතුයි,” සේවකයෝ පිළිතුරු දුන්හ.

පිළිතුර පිප්පලිගේ අධ්‍යාත්මික හැඟීම් අවුස්සමින්, බැරෑරුම් ලෙස මෙනෙහි කිරීමට ඔහු පෙළඹවී ය: “කපුටන් සහ කුරුල්ලන් විසින් කරන ලද අකුසල කර්මවලට මම වගකිව යුතු නම්, අසූහත් කෝටියක් වටින මගේ රන් රිදී වලින් ඇත්ත වශයෙන්ම කුමක් කරන්නද?! දොළොස් යොදුන් සුවිසල් ගොවිපළ, යාන්ත්‍රික වේලි හැට සහ මගේ සේවකයන්ගේ විශාල ගම් දාහතර ආදී මාගේ ධනයෙන් ප්‍රයෝජනයක් ද නැත. ඇත්ත වශයෙන්ම, ඒවා සියල්ලම උපකාර රහිතය! ඒ නිසා මම මේ ධනය මගේ භාර්යාව වූ භද්දකාපිලානියට භාර දී පැවිදි වීමට යන්නෙමි!”

එකෙණෙහිම ඔහුගේ භාර්යාව වූ භද්දකාපිලානිය විශාල භාජන තුනක තල, පැදුරු එළා ඒ මත දමා ඒවා අව්වේ වේලමින් සිටියා ය.  තම සේවිකාවන් වටකරගෙන අසුන්ගෙන සිටින විට ඇය දුටුවේ කපුටන් සහ වෙනත් පක්ෂීන් තල පණුවන් අහුලා කන අයුරු ය. ඇය තම සේවිකාවන්ගෙන් කුරුල්ලන් කන්නේ මොනවාදැ’යි විමසුවා ය. එහි පාපය කාටදැයි ඇය ප්‍රශ්ණ කළා ය. පිළිතුර වශයෙන් ඇයට මෙවැනි දෙයක් අහන්නට ලැබුනි.
“තල වේලන්නේ ආර්‍යාවනී ඔබගේ ප්‍රයෝජනය පිණිසයි. එනිසා එහි පාපය නුඹ සතුයි” ඇය බැරෑරුම් ලෙස මෙසේ කල්පනා කළාය.

“අනේ මට අඳින්න රෙදි රියන් හතරකුත් කන්න බත් කෝප්පයකුත් ලැබුණොත් ඇති. (මට රෙදි රියන් හතරකට වඩා අඳින්න බැහැ; පිසූ බත් කෝප්පයකට වඩා මට කන්න බැහැ.) අනුන් කරන මේ වැරදිවලට ​​මම වග කිව යුතු නම්, නිසැකවම මට සංසාර චක්‍රයෙන් එතෙර වීමට නොහැකි වනු ඇත. දස දහස් ගණන් ජීවිතවල දුක් විඳින්න සිදු වනු ඇත. මගේ ස්වාමිපුරුෂයා පැමිණි විට, මම මගේ සියලු ධනය ඔහුට දී ගෘහ ජීවිතය අත්හැර හුදකලා තවුසියක් වන්නෙමි.

යුවල ගිහි සැප අත්හරී

ධනවත් පිප්පලී තරුණයා නිවසට පැමිණ ස්නානය කොට උඩුමහලට ගොස් උස් වූ අසුනක හිඳ ගත්තේ ය. රාත්‍රී ආහාර ගැනීමට කාලය එලඹෙන තෙක් හේ එහිම සිටියේ ය.

පිප්පලි සහ ඔහුගේ භාර්යාව වූ භද්දකාපිලානී යන දෙදෙනාම ආහාර අනුභව කර, ඔවුන්ගේ සේවකයෝ පිටත්ව ගිය පසු, ඔවුන් උඩුමහලේ එක්තරා විවේකී ස්ථානයකට ගියහ.

ඉන් අනතුරුව දෙදෙනා අතර මෙසේ වූ සාකච්ඡාවක් ඇති වූයේ ය.

පිප්පලි: භද්දා මෑණියනි, ඔබ මේ නිවසට එන විට කොපමණ ධනයක් ගෙන ආවද?

භද්දා – කරත්ත පනස් පන්දහසකින් ධනය ගෙනාවා.

පිප්ඵලී – ඔබ ගෙන ආ ධනයත්, මේ නිවසේ පවතින ධනයත්, අසූහත් කෝටියක ධනය, හැටක් යාන්ත්‍රික වේලි, යනාදී සියල්ල මම ඔබට භාර කරමි.

භද්දා: ඔහ්, නමුත් ඔබ කොහෙද යන්නේ?

පිප්පලි: මම හුදකලා වෙන්න යනවා මැණියනි,

භද්දා: අනේ ස්වාමීනී, මමත් ඔබතුමා නැවත එන වෙලාව එනකම් බලාගෙන හිටියා. මමත් හුදකලා තවුසියක් බවට පත් වෙනවා.

පාරමී ධර්මයන් මුහුකුරා ගොස් සිටි මේ පුණ්‍යවන්තයන් දෙදෙනාට කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය යන තුන් පැවැත්වම ගින්නෙන් ඇවිලෙන පත්‍රිකා තුනක් ලෙස ප්‍රකඨ විය. සිවුරු සහ පාත්‍ර වෙළඳපොළෙන් මිලදී ගෙන ගෙන්වා ගන්න ලදී. එක් කෙනෙකුගේ හිසකෙස් අනෙකා විසින් කපන ලදී. ඔවුන් මෙසේ කියමින් සිය ගිහි වෙස් අතහැර ප්‍රවෘජා වෙස් ගත් හ.

“මේ ලෝකයේ යම් තැනක උතුම් රහතන් වහන්සේලා වැඩ සිටිත් ද, අපගේ මේ පැවිද්ද උන් වහන්සේලා සඳහා වේවා!”

ඔවුන් ප්‍පාත්‍රය තවිකයේ දා වම් උරයේ එල්ලාගෙන පඩිපෙළ බැස පහළ මාලයට ආහ. නිවසේ සිටින කිසිම සේවකයෙකු දෙදෙනා හඳුනා නොගත් හ.

ඉන්පසු එම යුවළ මහාතිත්ත නම් බ්‍රාහ්මණ ගම හැරදා සේවක ගම් දොරින් නික්ම ගියහ. එහිදී සේවකයෝ ඔවුන් ඔවුන්ගේ ස්වාමියා සහ ස්වාමි දියණිය බව හඳුනා ගත් හ. ඔවුන් දැඩි ලෙස ශෝකයෙන් හඬමින් වැපෙමින් ඔවුන්ගේ පාමුල වැටී මෙසේ ඇසූහ.

“ස්වාමිනී… ආර්‍යාවනී, ඇයි ඔබ අපිව අසරණ කර යන්නේ?

යුවළ මෙසේ පිළිතුරු දුන්නේ ය: “ගිණි ගන්නා ජීවිතයත් තුන් භවයත් දැක අපි තැතිගෙන සිටිමු. අපි ඔබව වහල්භාවයෙන් නිදහස් කළත්, වසර සියයක් ගත වූවත් මේ දුකෙහි අවසානයක් නැත. ඉතින් දැන් පටන් ඔබේ හිස සෝදාගෙන වහල්භාවයෙන් නිදහස් වී නිදහසේ ජීවත් වන්න.

එසේ කියමින් සේවකයෝ හඬා වැටෙද්දී ම ඔවුන් පිටත්ව ගියහ.

එකිනෙකා එකිනෙකාගෙන් වෙන්වීම

පෙරට යද්දී පිප්ඵලී තෙමේ මෙසේ කල්පනා කළේ ය.

“මුළු ජම්බුදීපය තරම්ම අගනා වූ මේ මනරම් භද්දකාපිලානි තවුසිය මා අනුව යමින් සිටී. එනිසා අපව වරදවා වටහා ගැනීමට ඕනෑම කෙනෙකුට හේතුවක් තිබේ: ‘මේ දෙදෙනා හුදෙකලා වී සිටියත් එකිනෙකාගෙන් වෙන් විය නොහැක; ඔවුන් කරන්නේ ඔවුන්ගේ තාපස වේශයට නොගැලපෙන දෙයක්.’ යි ඔවුන් සිතිය හැක. යමෙක් අපව වරදවා වටහා ගන්නේ නම්, ඔහු දුක්ඛිත තත්වයකට වැටී දුක්ඛිතව ඉපදීමේ අනතුරකට පත් විය හැකී. එබැවින් භද්දකාපිලානි නම් වූ මේ රූමත් විය හැකී මා හැර යා යුතු යි”

ඉදිරියේ හමුවූ දෙමංසලෙ දී ඔහු නතර වූයේ ය. පිටුපසින් පැමිණි භද්දකාපිලානිය ද  එහි නතර වූවා ය, නතර වී ගෞරවයෙන් දෑත් බැඳගෙන සිටියා ය. ඉක්බිති පිප්පලී මහණ තෙමේ එතුමියව මෙසේ ඇමතුවේ ය.

“භද්දාවනි, ඔබ වැනි රූමත් කාන්තාවක් මා පසුපස එනු දකින මිනිසුන්, ‘මේ පුද්ගලයන් දෙදෙනා තපස් ජීවිතයක් ගත කළත් එකිනෙකාගෙන් වෙන් විය නොහැකි නිසා දුක්ඛිත තත්ත්වයකට පත්ව තිබේ’ කියා වැරදි ලෙස සිතා අපව පිළිකුල් කළ හැකියි. ඒ නිසා මේ මාවත් දෙකෙන් ඔබ කැමති මාවත තෝරා ගන්න. ඉතිරි මාවතෙන් මම යන්නෙමි.”

භද්දකාපිලානිය මෙසේ පිළිතුරු දුන්නා ය.: “අනේ ස්වාමීනි, එසේය! ස්ත්‍රිය යනු භික්ෂුවකට කැළලකි. තවුසන් උනත් අප දෙදෙනාට තවමත් වෙන්වෙන්ට බැහැයි කියමින් මිනිසුන් බොහෝ පවු රැස් කරගනීවී. ස්වාමීනි, ඔබ එක් මාර්ගයක් අනුගමනය කරන්න. මම අනෙක අනුගමනය කරන්නම්. අපි වෙන්වෙමු.”

ඉක්බිති ඇය පිප්පලී මහණ තෙම වටා තෙවරක් ප්‍රදක්‍ෂිණා කර, ඔහුගේ ඉදිරි පස, පිටුපස, වම, දකුණ යන සතර ස්ථානවලදී පසඟ පිහිටුවා වන්දනා කළාය. ගෞරව දැක්වුවා ය. දෑත් එකතු කර ඔසවා මෙසේ කීවාය.

“කල්ප දස දහස් ගණන් ඈත ජීවිතවල සිට එන අපගේ ආදරය හා සමීපභාවය අදින් අවසන් වේ” ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: “ඔබට උතුම් උපතක් ඇති නිසා දකුණු පස ඇති මාර්ගය ඔබට ගැලපේ. අපි කාන්තාවන් බැවින් අපට ඇතිතේ පහත් උපතකි. ඒ නිසා වම් පස මට ගැලපේ.” එසේ කියමින් ඇය වම් පස පාරෙන් ඉදිරියට ගියාය.

දෙදෙනාම වෙන් වෙන්ව ගමන් කරන විට, මහා පොළොව කම්පා විය, එය උජ්ජායනා කරන්නාක් මෙන් දෝංකාර දෙමින් ගර්ජනා කළේය: “මට මහා හිමාල පර්වතය හා සහ මේරු කන්ද දරාගත හැකි වුවද, මෙම විස්මිත පුද්ගලයින් දෙදෙනාගේ ගුණය  මට දරාගත නොහැක!” යනු සෙයින් පොළොව ගුගුලේ ය අහසේ ගිගුරුම් සහිත ශබ්ද ද ඇති විය. මහා හිමාල පර්වතය සහ මේරු කන්ද භූමිකම්පාවක් සේ  ඉහළට, ඉහළට කැරකී ගියේ ය.

මෙසේ ස්වාමිපුරුෂයා වූ පිප්පලී මානවක තෙමේ දෙමං සන්දියෙන් යුත් මාර්ගයේ දකුණු පැත්ත ගත් අතර ඔහුගේ භාර්යාව වූ භද්ධකාපිලානි වම් මාර්ගයේ ගියා ය.

පිප්පලී තෙමේ මාර්ගයේ ඉදිරියෙන් වූ බහුපුත්තක නම් වූ මහා නුග ගස යට වැඩ සිටි අපගේ බුදුරජාණන් වහන්සේ  මුණ ගැසුනු අතර හේ මහත් ශ්‍රද්ධාවෙන් ශාස්තෲන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ඉල්ලා සිටියේ ය. බුද්ධෝවාදයකින් පැවිදි උපසම්පදාව යන දිවිත්වයම එකවර ලැබූ එකම ශ්‍රාවකයා බවට පත් වෙමින් පිප්පලී මානවක තෙමේ ඒ මොහොතේම පැවිදි උපසම්පදාව ලැබුවේ ය. ඒ අන් කිසිවෙකුත් නොව අපගේ ගෞතම සම්බුදු රජණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ තෘතීය මහා ශ්‍රාවකයාණන් වහන්සේ වූ අපගේ ‘මහා කස්සප මහා රහතන් වහන්සේ’ යි.

ඒ වන විට අපගේ ප්‍රජාපතී මහරහත් තෙරණින් වහන්සේගෙන් ආරම්භ බූ භික්ෂුණී පැවිද්ද බුද්ධ ශාසනය තුල තවමත් ආරම්භ වී නොතිබුන නිසා භද්දකාපිලානියට වසර පහක් අන්‍ය ආගමික ආරාමයක තාපසියක ලෙස ගත කිරීමට සිදු විය.

වසර පහකට පමණ පසු මහා ප්‍රජාපතී ගෝතමිය භික්ෂුණී සංඝයා අතර ප්‍රථමයා ලෙස බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවිද්ද සහ උපසම්පදාව ලදින්, භද්දකාපිලානිය අපගේ ප්‍රජාපතී මහරහත් තෙරණින් වහන්සේගෙන් පැවිදි බව ගත්තා ය. පැවිදි බව ලබා වැඩි කල් නොගොස් විමුක්තිය ලබා අරහත්වයට පැමිණ පෙර ජීවිත සිහි කිරීමේ කුසලතාවයෙන් යුත් භික්ෂුණින් අතර අග්‍ර භාවයට පැමිණි සේක.

*****(මෙවැනි දක්ෂ බවකින් යුත් භික්ෂූන් අතර අග්‍ර බාවය හෙබවූයේ අපගේ සෝභිත මහ රහතන් වහන්සේ ය.)

භද්දකාපිලානි තෙරණිය අග්‍ර භික්ෂුණියක ලෙස

ඇයගේ අතීත අභිලාෂයට අනුව, භද්දකාපිලානී තෙරණිය රහත්භාවයට පත්වීමෙන් පසු අතීත ජීවිත සිහිපත් කිරීමට සුවිශේෂී ලෙස සමත් විය.

එහෙයින් එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ජේතවන ආරාමයේ වැඩ වසමින් ඒ ඒ විශයෙහි අග්‍ර කීර්තිමත් භික්ෂුණීන් වහන්සේලා නම් කරන විට මෙසේ ප්‍රකාශ කළ සේක..

“පින්වත් මහණෙනි, අතීත භවයන් සිහිපත් කළ හැකි මාගේ භික්ෂුණී ශ්‍රාවිකාවන් අතර, භද්දකාපිලානී භික්ෂුණිය අග්‍ර වේ.”