මහා ප්‍රජාපතී ගෝතමී
මහ රහත් තෙරණින් වහන්සේ
2 - කොටස
බුදුරජාණන් වහන්සේගේ කපිලවස්තුවට වැඩම කිරීම
බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙන් කපිලවත්ථුවට වැඩම කළේ අංග මගධ දෙරට කුලවත් පවුල්වලින් පැමිණි දස දහසක් රහතන් වහන්සේලාගෙන් ද කපිලවත්ථුවේ කුලවත් පවුල්වලින් පැමිණි දස දහසකින් යුත් රහතන් වහන්සේලාගෙන් ද සැදුම්ලත් විසි දහසක් රහතන් වහන්සේලා විසින් පිරිවරන ලදුව ය. රජගහනුවර සිට කපිලවස්තුවට ඇති යොදුන් හැටක දීර්ඝ මාර්ගයේ දිනකට යොදුනක් බැගින් වඩිමින් මාස දෙකක් ඇතුළත ගෙවා දමමින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ විසිදහසක මහා සඟ පිරිස, මැදින් පුන්පොහෝ දිනක දී කපිලවස්තු නගරයට වැඩි සේක. එතරම් වේගවත් නොවන එවැනි චාරිකා ‘අතුරිත චාරිකා’ ලෙස හැඳින්වේ.
සුද්ධෝදන මහ රජු බුදුරජාණන් වහන්සේට දානය පූජා කරයි
බුදුරජාණන් වහන්සේ අතුරිත චාරිකාවේ යෙදෙමින් කපිලවත්ථු නුවරට වැඩම කරමින් සිටින අතරතුර කාළුදායි තෙරුන් වහන්සේ මෙසේ සිතූ සේක: ‘බුදුරජාණන් වහන්සේ කපිලවත්ථුවට වැඩම කළ බව සුද්ධෝදන රජුට දන්වා බුදුරජාණන් වහන්සේගේ මහානුභාව සම්පන්න බුද්ධානුභාව බලය පිළිබඳ මම් රජ පවුල පහදවාලන්නෙමි. බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවට වැඩීමට පෙරාතුව මම් එහි වඩිමි”, තෙරුන් වහන්සේ ක්ෂණිකව රාජකීය මාළිගාවේ පෙනී සිටි සේක.
කාළුදායි තෙරුන් වහන්සේ දුටු සුද්ධෝදන මහ රජතුමා ප්‍රීතියෙන් ඔදවැඩී ඉතා ආදරණීය වචනවලින් තෙරුන් වහන්සේව පිළිගත්තේ ය.
“ඕහෝ ! මාගේ ප්‍රිය පුත්‍ර කාළුදායි, නුඹ වහන්සේව අපි සාදරයෙන් පිළිගනිමු, මා ගැන අනුකම්පාවෙන් මේ රාජකීය සිංහාසනයේ වැඩ සිටින සේක්වා!” (උතුම් පුද්ගලයන්ට සුදුසු ආසනය බැවින්) තෙරණුවෝ එහි වැඩසිටි සේක. මහ රජු තෙරුන් වහන්සේට වැඳ තෙරුන් වහන්සේ අතින් පාත්‍රය ගත්තේ ය. තමා සඳහා සකස් කරන ලද විශේෂයෙන් රසවත් ආහාර සහිත රාජ භෝජනය පාත්‍රයට පුරවා හේ බොහෝමත්ම ගෞරවයෙන් එය තෙරුන් වහන්සේට පූජා කළේ ය.
තෙරණුවෝ නික්ම යාමට සූදානම් වන ලකුණු පහළ කළ විට සුද්ධෝදන රජු මෙසේ ඇසී ය.
“මාගේ පුතණුවන් වහන්ස, බැහැරට වඩින්නද සූදානම් වෙන්නේ? සිංහාසනය මත වැඩ සිටිද්දීම දානය වළඳන සේක්වා”
එවිට තෙරුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “රජතුමනි, මම මේ ආහාර දානය බුදුරජාණන් වහන්සේ ඉදිරියෙදි ගන්නෙමි.”
එවිට රජතුමා “පුතණුවන් වහන්ස, බුදුරජාණන් වහන්සේ දැන් කොහි දැ”යි ඇසී ය.
“බුදුරජාණන් වහන්සේ විසි දහසක් රහතුන් පිරිවරා ඔබ දැකීම පිණිස වඩින සේක” යි කාළුදායි තෙරුන් වහන්සේ පිළිතුරු දුන්හ.
මෙම පුවත අසා අතිශයින් ම සතුටු වූ රජතුමා මෙසේ පැවසීය.
“එසේනම්, මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි, මාගේ ශ්‍රේෂ්ඨ පුතණුවන් වහන්සේ, අපගේ සම්බුදුරජාණන් වහන්සේ මේ කපිලවස්තුවට වඩිනා තෙක්ම මාගේ රාජ භෝජනය ම වළඳත්වා! මා පුත්‍ර කාළුදායින් වහන්සේ ද මාගේ නිවසින් දන් වලඳා අන්තයෙහි මාගේ පුතණුවන් වහන්සේ පිණිස දන් රැගෙන යන සේක්වා!”
තෙරුන් වහන්සේ නිශ්ශබ්දව සිට කැමැත්ත පළ කළ සේක.
මාලිගාවේ දී තෙරුන් වහන්සේට ආහාර පූජාකොට උපස්ථාන කර අවසන් වූ විට මහරජු තෙරුන් වහන්සේගෙන් පාත්‍රය ගෙන එය සුවඳ කුඩින් අතුල්ලා සුවඳ පැනින් සෝදා ප්‍රණීත රාජ භෝජණයෙන් පාත්‍රය පුරවා දෝතින්ම පාත්‍රය අල්වා නළලත තබා දකුණු දණ මඩල පෙරට ගෙන හිඳ මෙසේ කී ය.
“ස්වාමීනී, මාගේ පුත්‍ර කාළුදායින් වහන්ස, මේ අහාර පාත්‍රය අපගේ බුදුරජාණන් වහන්සේට පූජා කරන සේක්වා!”
තෙරුන් වහන්සේ පාත්‍රය අහසට දැමූ සේක. එය තෙරුන් වහන්සේ ඉදිරියෙන් පෙරගමන් යමින් නැවතී ගත්තේ ය. තෙරුන් වහන්සේ නැඟී සිට, මහ රජු, මහාමාත්‍යන් සහ සියලු රජගෙදර ජනයා බලා සිටියදී ම අහසට පැන නැඟී අහසින් ගමන් කළ සේක. තෙරුන් වහන්සේට ඉදිරියෙන් දාන පාත්‍රය යන්නේ ය. තමන් වහසේ බුදුරජාණන් වහන්සේ වෙත යන අයුරු, බුදුරජාණන් වහන්සේට දාන පාත්‍රය පිළිගන්වන අයුරු… මේ සියල්ල රජ ගෙදර ජනයෝ මැනවින් දකීවායි තෙරනුවෝ අදිෂ්ඨාන කළ සේක. එය ඒ අයුරින්ම සිදු විය. මහ රජු ඇතුළු සියලු ජනයා ප්‍රීති ප්‍රමෝදය පත් සිතින් ඒ සියල්ල තමාගේ ඇස් ඉදිරිපිට සිදුවන්නාක් සේ බලා සිටිය හ.
තෙරනුවෝ, සිය රාජකීය පියාණන් විසින් එවන ලද රාජ භෝජන සහිත දාන පාත්‍රය බුදුරජාණන් වහන්සේට පූජා කළේ ය. මෙසේ සම්පූර්ණ මාස දෙකක කාලය පුරාවට, මුළු ගමන පුරාවටම කාළුදායි තෙරුන් වහන්සේ දිනපතා රජුගේ මාලිගාවට ගොස් බුදුරජාණන් වහන්සේ උදෙසා රජු විසින් පූජා කරන ලද ආහාර රැගෙන ආහ. කාළුදායි තෙරුන් වහන්සේ කපිලවත්ථු මාලිගාවේ වැඩ හිඳිමින් ම දානය වැළඳුහ. දන් වළඳා අවසානයේ ‘අද දවසේ බුදුරජාණන් වහන්සේ මෙතෙක් මෙතෙක් දුර වැඩි සේක. තව මෙපමණ කලකින් මෙහි වැඩම කරන සේක’ යි කියමින් රජ ගෙදර ජනයා බුදුරජුන් දැකීමෙහි උත්සහවත් කළ හ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගුණ ප්‍රකාශ කරමින් තව තවත් සිත් පැහැදවූහ.
(මේ කරුණ මුල් කරගෙන අපගේ බුදුරජාණන් වහන්සේ ඉන් පසු කාලයකදී මෙසේ වදාල සේක, “පින්වත් මහණෙනි, මේ පින්වත් කාළුදායීන් වනාහී දායක පවුල් පහදවන්නා වූ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”)
දෙමසක් තුළ යොදුන් හැටක පමණ දුර ගෙවා බුදුරජාණන් වහන්සේ විසි දහසක් රහතන් වහන්සේලා පිරිවරා මැදින් පුන් පොහෝ දින දී සිය ඥාතීන්හට අනුග්‍රහ පිණිස, ශක්‍යය ඥාතින් හට විමුක්තිය ලබා දෙනු පිණිස, කපිලවස්තුවට වැඩි සේක.
බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පා වදාල සේක
සුද්ධෝදන මහ රජු ප්‍රමුඛ ශාක්‍ය වංශයේ සියලු දෙනාම කපිලවත්ථු නුවරට වැඩම කළ තම ශ්‍රේෂ්ඨ ඥාතියා වන සම්බුදුරජාණන් වහන්සේ දැක ගැනීම පිණිස සැරසුන හ.
සුද්ධෝදන මහ රජු ප්‍රමුඛ ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේ සහ මහ සඟරුවන උදෙසා නවාතැන් පහසුකම් පිළිබඳ ප්‍රශ්නය සලකා බලා අවසානයේ දී ශාක්‍ය කුමාරයෙකු වූ නිග්‍රෝධ ශාක්‍යයාගේ වනෝද්‍යානය ප්‍රියජනක බවත් සුදුසුම ස්ථානය එය බවත් ඔවුන් ඒකමතිකව තීරණය කළහ. සෙවන සහිත ගස්, ජල මූලාශ්‍ර, නගරයට සමීප වීම, හුදකලා බව, බණ භාවනා කටයුතු වලට යෝග්‍ය බව එහි හොඳින්ම පිහිටියේ ය. ඒ නිසා ඔවුන් එම උද්‍යානය කලින්ම බුදුරජාණන් වහන්සේ සහ මහ සඟරුවන උදෙසා සම්මත කරගත් හ. සියලු කටයුතු සූදානම් කර අවසන් වූ පසු ඔවුන් මල් සහ සුවඳ ද්‍රව්‍ය රැගෙන බුදුරජාණන් වහන්සේ පිළිගැනීමට පහත අනුපිළිවෙලින් පිටත් වූහ.
1) අංගසම්පූර්ණ ඇඳුම් ආභරණාදියෙන් සැරැසුනු ළමුන් (නගර වැසියන්ගේ දූ පුතුන්) පෙරහැරේ පෙරමුණ ගත්හ.
2) ඔවුන් පසුපස සම්පූර්ණ චාරිත්‍රානුකූල ඇඳුම් ආභරණාදියෙන් සැරැසුනු කුමාරවරු සහ කුමාරිකාවන් ගියහ.
3) ඔවුන් පසුපස ශාක්‍ය වංශයේ සෙසු පිරිස ගියහ.
ඔවුන් සියළු දෙනා මල් සහ සුවඳ ද්‍රව්‍ය දෝත දරා සිටියහ. බුදුරජාණන් වහන්සේ පිළිගැනීමේ දිගු පෙරහැර මේ අකාරයෙන් නිග්‍රෝධ උද්‍යානය දෙසට ගමන් කළේ ය.
බුදුරජාණන් වහන්සේ විසි දහසක් රහතුන් පිරිවරා නිග්‍රෝධ වනෝද්‍යානයට වැඩම කර, එහි පනවා තිබූ බුද්ධාසනය මත වැඩහුන් සේක. විසිදහසක සඟ පිරිස බුදුරජාණන් වහන්සේ පිරිවරා වැඩහුන් සේක.
උපන් උඩඟුකම නිසා දැඩි වූ ශාක්‍ය පවුලේ උදවිය මෙසේ සිතූහ: “සිද්ධාර්ථ කුමාරයා අපට වඩා වයසින් බාලය, අපේ බාල සහෝදරයා ය, බාල බෑණා ය, තරුණ පුතා ය, මුනුපුරා ය”; එබැවින් ඔවුහු තරුණ කුමාරවරුන්ට මෙසේ පැවසූහ.
“තරුණයෙනි, මුලින් ගොස් බුදුරජාණන් වහන්සේට උපහාර දක්වන්න, අපි ඔබ පිටුපසින් එන්නෙමු.”
ශාක්‍යයන්ගේ උඩඟුකම සහ බලවත් ආඩම්බරය දුටු බුදුරජාණන් වහන්සේ මෙසේ සිතූ සේක,
“මගේ උඩඟු නෑදෑයෝ ඔවුන් වැඩිමහල් යයි සලකා මට ගරුබුහුමන් නොකරති. මේ අහංකාර පර්වෂ නෑයෝ ස්ව්‍යංභූ ඥානයෙන් සියල්ල අවබෝධ කරගත් තථාගතයන් වහන්සේගේ ගුණ නොහඳුනති. බුදුරදුන්ගේ බල මහිමය නොහඳුනති. සම්බුද්ධත්වය කෙඹදු එකක්දැයි නොදනිති. එනිසා නොවඳිති, මෙයම ඔවුන්ට ධර්මාවබෝධය පිණිස ඇති බාධාවයි ; ශරීරයෙන් එකවර ගිනි සහ ජල ධාරා විහිදුවන බුද්ධඥානයට පමණක්ම සාධාරණ යමක මහා ප්‍රාථිහාර්‍ය පාන්නෙමි. ශාක්‍යන්ගේ මන් බිඳින්නෙමි.”
බුදුරදුන්ගේ මෙම සිතිවිල්ලත් සමග දස දහසක් සක්වල සියලු දෙවිවරු සහ බ්‍රහ්මයෝ එකපැහැර සාදුකාර දුන්හ.
බුදුරජාණන් වහන්සේ සතරවැනි ධ්‍යානයට සම වැදුනු සේක. ක්ෂණයකින් බුදු සිරුරේ සෑම අඟලක් පාසා රන්වන් හිරු රැස් කදම්බයන් පැන නැගී දිලෙන්නාක් සේ බුද්ධරශ්මි ධාරාවෝ විහිදෙන්න ගත්හ. ඒ දුටු දසදහසක් සක්වල දෙව් බඹ නා පිරිස් මල් ගඳ සුවඳ දුම් ගෙන පැමිණ, දිව්‍ය මල් මාලාවන් දැතෙහි රුවාගෙන දොහොත් මුදුන් දී ආකාසයේ අතුරු සිදුරු නැතිව සිට ගත්හ.
එකල්හී, අපගේ බුදුරජාණෝ අහස දෙස බැලූ සේක. ඒත් සමගම සක්වල ගැබ සිසාරා විහිදී යමින් අතිශයින්ම මනස්කාන්ත රුවන්මය සක්මනක් අහසේ මැවිගියේ ය. මොහොතකින් එහි සක්මන් කරනා තථාගතයන් වහන්සේගේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන ශ්‍රී ශරීරය දිස්වෙන්නට විය. විශ්මයට පත් ශාක්‍යයෝ වහා නිග්‍රෝධාරාමයේ පනවන ලද බුද්ධාසනය මත ඒ වන විට වැඩහුන් සම්බුදුරජාණෝ කොහිදැයි වහා හැරී බැලූ හ. ධර්මාසනය හිස් වී ඇත, එසේනම් මේ අහසෙහි විහිදී ගිය රුවන් සක්මන මත සක්මන් කරන්නේ අපගේ ශාක්‍ය බන්ධු වූ, අපගේ ශ්‍රේෂ්ඨ ඥාතී වූ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණෝමැයි සිතමින් ඔවුන් බොහෝ ප්‍රීතියට පත්වූහ, කුල්මත්ව ගියහ. ඔද වැදී ගිය හ. බුදුරජාණන් වහන්සේ ගැන වඩ වඩාත් සිත් පහදවා ගත් හ.
ඒ වේලෙහි ‘දසදහසක් සක්වල සියලු දෙවියෝ, බ්‍රහ්මයෝ, මනුෂ්‍යයෝ, කුරා කුහුඹුවාගේ පටන් දියගොඩ වසන සියළු සත්වයෝ, නිරයේ පැසෙන සියලු සත්වයෝ ඇතුලු කොට මේ සියල්ලෝ මා දකීවා’යි බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කල සේක. එත් සමගම සක්වල සියලු සත්වයන් ඉදිරියේ බුදුරජුන්ගේ ශ්‍රී දේහය පෙනී ගියේ ය. සියලු සත්වයෝ සම්බුදු රජුන් දුටහ.
බුදුරජාණන් වහන්සේ තේජෝ ධාතුවට සමවැදුන සේක. ඒත් සමගම ශ්‍රී ශරීරයේ සෑම තැනෙකින්ම ගිනි ජාලාවෝ විහිද යන්නට වූහ. ඒ මොහොතේම ජල කඳක්ද ගලා යන්නට වන, එකම මොහොතේ ශ්‍රී ශරීරයෙන් ජල කඳත් දිය කඳත් විහිදී යත්.
ඊළඟ මොහොතේ ශ්‍රී ශරීරයේ දකුණැලයෙන් ගිනි කඳත් වමැලයෙන් ජල කඳත් විහිදෙන්ට ගත්තේ ය. නැවත දකුණැලයෙන් දිය කඳත් වමැලයෙන් ගිනි කඳත් විහිදෙන්ට වන. ජල කඳ විහිදුනු තැනින් ගිනි කඳත්, ගිනි කඳ විහිදුනු තැනින් ජල කඳත් වශයෙන් අඛන්ඩව විහිදී යත්.
මෙසේ, දෙකන් නාස් සිදුරු, නවානූදහසක් පමණ රෝම කූප, හිසකෙස්, දෙඅත් සහ දෙඅත්ල, දෙපා සහ යටි පතුල්, ශිර්ෂය, දෑස, දෙපයේ දසැඟිලි සහ නියපොතු, දෙඅතේ දසැඟිලි සහ නියපොතු, අසූසියයක් පමණ සන්ධි ආදී ශ්‍රී ශරීරයේ සෑම අංගයකින්ම මාරුවෙන් මාරුවට ගිනි කඳත් ජල කඳත් වශයෙන් විහිදෙන්ට වන. අසූසියක් පමණ සන්ධියෙන් තල් කඳක් සා විශාල ගිනි කඳක් විහිදී යයි, එය බසිනවාත් සමග නැවතත් මහා තල් කඳක් සා විශාල ජල කඳක් නැගී එයි. එය මෙආකාරයේ ආශ්චර්‍යයකි. ජල කඳ නිසා ගිනි කඳට අනතුරක් නැත, ගිනි කඳ නිසා ජල කඳට සිදුවන අනතුරකුත් නැත, මේ සියල්ල නිසා තථාගත ශ්‍රී බුද්ධ ශරීරයට සිදුවන අනතුරකුත් නැත.
එපමණකුත් නොවේ, ඒ සියල්ල සිදුවන අතර සම්බුද්ධ ශරීරයෙන් වරක් නීල බුද්ධ රශ්මී විහිදී යයි, එය නැතිවනවාත් සමගම, රන්වන් බුදුරැස් විහිදී යයි. නැවතත්, රතු පැහැයෙන්, කොල, ශ්වේත සහ තඹවන් පැහැයෙන් බුද්ධ රශ්මීන් විහිදී යති.
මේ සියලු අවස්ථාවන්හි දී අපගේ සම්බුදු රජාණෝ ඒ ඒ සමාපත්තියට වෙන වෙනමම සම වදින සේක. තත්පරයෙන් අංශුවකටත් අඩු කාලයක දී එක් සමාපත්තියකට සම වැදී ප්‍රාථිහාර්‍ය දක්වා, එයින් නැගී නැවතත් වෙනත් සමාපත්තියකට සම වදින සේක. මෙසේ අතිශය වේගවත්ව සමාපත්තීන්ට සම වැදීම මේ තුන් ලෝ තලයේ අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට හැරුනු කොට අන් කිසිවෙකුටවත් කළ නොහැක්කේ ය.
සම්බුදු රජාණන් වහන්සේ නමකගේ බුදු සිතින් පමණක්ම වටහා ගත හැකි මේ ආශ්චර්‍යමත්, ඇඟ ලොමු ඩැහැ ගැන්වෙන සම්බුද්ධ ප්‍රාථිහාර්‍ය අපි කෙසේනම් විස්තර කොට අවසන් කරම් ද? එහෙයින් නුවණැත්තෝ මෙපමණකින්ම අපගේ ශාස්තෘන් වහන්සේ පිළිබඳ සිත් පහදවා ගනිත්වා! සම්බුදු අසිරිය හදෙහි රුවා ගනිත්වා! සම්බුදු සරණ දිවි දී රකිත්වා! සම්බුදු සෙවනේ සැනැහී යත්වා!
සුද්ධෝදන මහ රජුගේ තෙවන වැඳුම
යමා මහ පෙලහර, නැතිනම් ‘යමක මහා ප්‍රාථිහාර්‍ය’ නම් අත්භූත ආශ්චර්‍යයෙන්, ඒ ඝම්භීර දර්ශනයෙන් සිත පිනා ගිය සුද්ධෝදන මහ රජ තෙමේ දෑත් නළලේ තබා වන්දනා කරමින් බුදුරජාණන් වහන්සේට මෙසේ කීය.
“මාගේම පින්වන්ත උත්තම පුත්‍රය, ඔබ උපන් දිනයෙහි, මම, කලාදේවල සෘෂීන්ට ඔබ ලවා ගෞරව පිණිස වන්දනා කරවනු සිතා දෑත් එසවීමට උත්සාහ කරන විට, ඔබේ දෙපා යුගලය ඉහළට එසවී සෘෂීන් වහන්සේගේ හිස මත පිහිටියේ ය. කාලදේවල මහාර්ෂීහූ ඒ මොහොතෙම ඔබ ඉදිරියේ වැඳ වැටුනහ. මම් ද ඔබ ඉදිරියේ වැඳ වැටුනෙමි. ඒ මම ඔබ පළමු වතාවට වැඳි මොහොතයි.
නැවත සීසෑමේ මංගල්‍යය සිදු කරන දිනයේ, අපි ඔබව ජම්බු ගසක සිසිල් සෙවණ යට හිඳීමට සලස්වා කිරි මවුන්ට බාරකොට කෙතට ගියෙමු. කාලයත් සමඟ අනෙක් ගස්වල සෙවන වෙනස් වුවද ඔබ සිටි තැන ගසෙහි සෙවන නොවෙනස්ව එසේම සිටියේ ය. කිරිමවුන්ගේ ආමන්ත්‍රණයෙන් මා එහි එද්දී, පළඟක් බැඳ වාඩි වී සෘෂී සෙය්‍යාවෙන් භාවනානුයෝගීව සිටින සත් හවුරුදු වයසැති නුඹව දිටීමි. ඒ මා නුඹ වැඳි දෙවන දිනයයි.
නමුත් අද මා කිසිදින නුදුටු විරූ ආශ්චර්‍යමත් පෙළහර දුටිමි. නුඹවන් බුද්ධ පුත්‍රයෙක් ලද මා කෙතරම් පින්වන්තයෙක්දැ යි මට සිතුනු වාර ගණන මිනිය නොහැකි තරම් ය. සැබෑවටම මාලිගයේ නොරැඳ පලාගොස් පැවිදි වීමම යහපත් ය. සක්විති සම්පත් හැර සම්බුදු සම්පත් ලැබීමම යහපත් ය.
මාගේ සම්බුදු පුත්‍රය අද මා තෙවන වර නුඹව වන්දනා කරමි. මේ දිළිඳු පියාණන්ගේ වන්දනාව මාගේ සම්බුදුරජාණන් වහන්සේ පිළිගන්නා සේක්වා!”
මෙසේ පවසමින් සුද්ධෝදන මහ රජු වැඳ වැටෙද්දී නොවැඳ සිටිය හැකි එකඳු සත්වයෙක් මිහිපිට නොවීය, ශාක්‍ය වංශයේ නොසිටීම ගැන කියනුම කිම!
රුවන් සක්මන සහ නිර්මිත බුදුන්
යමක මහා ප්‍රාථිහාර්‍ය දක්වා ශාක්‍ය ඥාතීන්ගේ මන් බිඳවා එයින් මතු බුදුරජාණන් වහන්සේ මෙසේ සිතූ සේක; ” මා මාගේ ඥාතීන්ට ධර්මය දෙසිය යුතුයි, පෙළහර දක්වමින් රුවන් සක්මන මත හිඳිමින්, සක්මන් කරමින් ධර්මය දෙසද්දී එය බොහෝ සත්වයන් හට යහපත පිණිස පවතිනේ ය, ධර්මාවබෝධය පිණිස පවතින්නේ ය, බුද්ධ වංශ දේශනාවට මං පෑදෙන්නේ ය, මාගේ ඥාතින් මත්තෙහි පොකුරු වැසි වසින්නේ ය.”
මෙසේ ඉදිරියේදී සිදුවීමට ඇති බොහෝ යහපත් සිද්ධීන් දැක අපගේ බුදුරජාණන් වහන්සේ මොහොතකින් රුවන් සක්මන මත නැවත වාරයක් පෙනී සිටි සේක.
ඒ රුවන් සක්මන, රුවනින්ම පමණක් සැදුම්ලද්දක් නොවේ, එහි සියලුම මාණික්‍යයෝ වූහ, දියමන්තියෝ ද වූහ. අතිශයින්ම විචිත්‍රවත් සක්මනකි එය.
බුදුරජාණන් වහන්සේ සක්මන මත වැඩ සිටිය මොහොතේ දසදහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මයෝ සේසත් ඔසවාගෙන එහි එක් පැත්තකින් සිට ගත්හ. දසදහසක් සක්වල දසදහසක් සක්‍ර දිව්‍ය රාජවරු ජයසංඛය ගෙන සිට ගත්හ. එහි සුයාම දෙවිවරු මිණිචාමර සලමින් හුන්හ. සන්තුසිත දෙවිවරු මිණිතල්වැට ගෙන හුන්හ. සෙසු සියලු දෙවිවරු දිව්‍ය මල් වස්සවමින්, දිව්‍ය සුනු වගුරුවමින් සක්මනට රැකවල් දෙන්නා සේ හුන්හ.
බුදුරජාණන් වහන්සේ සක්මනෙහි සක්මන් කරමින් වැඩහුන් සේක. ඒ බව කුරා කුහුඹුවාගේ පටන් නිරයේ නිරි සතා දක්වා සියල්ලන්ටම පෙනෙයි. මෙහිදී අපගේ බුදුරජාණන් වහන්සේ ඒ සියලු සත්වයන්ට තමන් වහන්සේ පෙනීම පිණිස ශ්‍රී ශරීරය විශාල කලේ ද නැත, රුවන් සක්මන පුළුල් කලේ ද හකුළුවාලූවේ ද නැත. මේ කිසිවක් නොකොටත් සියල්ලෝ බුදුරජාණෝ දැක්කහ. එය අපගේ බුදුරජාණන් වහන්සේගේම අචින්තනීය වූ ආශ්චර්‍ය කාරණාවක් වෙත්.
මොහොතකින් තවන් ඉරක් පායන්නාක් සේ මහත් ආලොකයක් පැතිර ගියේ ය. අහෝ! ආශ්චර්‍යක මහත! එහි රුවන් සක්මන මත අපගේ බුදුරජාණන් වහන්සේගේම රූ දරන තවත් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටිති. මොහොතකින් ඉන් එක් බුදුරජාණන් වහන්සේ නමක් හිඳගත් සේක. අනෙක් බුදුරුව සක්මන් කරත්. විටෙක හිඳ සිටි බුදුරුව සිට ගෙන සක්මන් කරන්නට ගත් අතර සක්මන් කරමින් හුන් බුදුරුව එහිම හිඳ ගත් හ. දැන් දෙබුදුරජාණන් වහන්සේම විරුද්ධ අතට සක්මන් කරත්. නැවතත් හැරී මුහුණට මුහුණලා සක්මනේ වඩිත්. දෙදෙන වහන්සේ මුණ ගැසුණු කල එක් බුදුරජාණන් වහන්සේ නමක් අනෙක් බුදුරජාණන් වහන්සේට ගෞරව පූර්වකව, සක්මනෙන් මෑත්ව ඉදිරියට යෑමට ඉඩ දෙත්.
ඒ වේලෙහි නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විචාරීමට පටන් ගත් සේක. අපගේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපයන සේක. නැවත අපගේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්ණ විචාරීම ආරම්භ කළ අතර නිරිමිත් බුදුරුව පිළිතුරු දෙන සේක. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේලා දෙනම විසින් ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් ධර්මය සාක්ච්ඡා කරද්දී නිර්මිත බුදුරජාණෝ කවුරුන් වෙත් දැයි හෝ අපගේ බුදුරජාණෝ කවුරුන් වෙත්දැයි හෝ කිසිවෙකුටවත් සොයාගත නොහැකි විය. නිර්මිත බුදුරුව එතරම් ජීවමාන හ. වෙනසක් නැත්තේම ය.
සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ පන්සියයක් රහතන් වහන්සේලාගේ පැමිණීම
මෙසේ අපගේ බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදුරුව මවා රුවන් සක්මන මත වැඩසිටිද් දී, දෙව් බමුණන් විසින් වන්දනාමාන කරද්දී අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු පන්සියයක් සඟ පිරිස රජගහනුවර ගිජ්ජකූට කඳු බෑවුමේ වැඩ සිටි සේක. සාරිපුත්ත මහරහතන් වහන්සේ, අපගේ බුදුරජාණන් වහන්සේ කපිලවත්ථු නගරයට ඉහල අහසේ මැණික් සක්මනෙහි වැඩ සිටින අයුරු දිවැසින් දුටු සේක. ඒ දුටු ධර්ම සේනාධිපතීන් වහන්සේ පන්සියයක් භික්ෂු සංඝයා සමග කපිලවස්ථුවේ සම්බුදුරජාණන් වහන්සේ වැඩහුන් බිමට පැමිණ එහි රුවන් සක්මන කෙලවර සිටගත් සේක. පසඟ පිහිටුවා ආදරයෙන් ශාස්තෘන් වහන්සේගේ පා කමල් සිරසින් වන්දනා කොට මෙසේ කියා සිටි සේක.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි මට වඩා පින්වන්තයෙක් තවත් නැතැයි හඟිමි. මක් නිසාද යත්, මම්, මාගේ ස්වාමී වූ මාගේ බුදුරජාණන් වහන්සේ නම් වූ ශාස්තෘන් වහන්සේ ලදිමි, එනිසා, මහා සද්ධර්ම නිධානයක් ලදිමි. සියල්ල අඩු නැතිව කියාදෙන ආචාර්‍යන් වහන්සේ නමක් ලදිමි. සද්ධර්මය නම් සිතූ සිතූ සම්පත් ලබා දෙන සිතුමිණි රුවනක් ලදිමි. කෙලෙස් දුක් නසන දිව්‍ය ඖෂධයක් ලදිමි. මේසා මහානුභාවසම්පන්න ශාස්තෘන් වහන්සේගේ අග්‍රශාවක තනතුර මා ලදිමි. එනිසා මේ මේ කාරණයෙන් මං තරම් පුණ්‍යවන්තයෙක් මේ තුන් ලොවෙහි නැතැයි සිතමි.
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ සා මහත් ඉර්ධීන් ලැබීමට, මේ සා මහත් ආශ්චර්‍යක් ලැබීමට මාගේ ශාස්තෘන් වහන්සේ පෙර කවර කලක කවර බුදුරජාණන් වහන්සේ නමක හමුවේ කවර ප්‍රාර්ථනයක් කොට කවර පුණ්‍යධර්මයක් රැස්කොට පැමිණියේ දැයි වදාල මැනව”
මෙතැන් පටන් ‘බුද්ධවංශ පාළියෙහි එන විස්තරය අප ඉදිරිපත් කරන්නෙමු. ඉවසිලිවන්තව කියවා ලෝකයේ අති දුර්ලභ මනුෂ්‍යරත්නය වූ අපගේ ශාස්තෘන් වහන්සේ ගැන සිත් පහදවා ගනිත්වා!
ඛුද්දකනිකාය | බුද්ධවංස පාළි | රතනචඞ්කමන කාණ්ඩය
ලෝකයට අධිපතිවූ සහම්පතී නම් බ්‍රහ්මතෙමේද වඳින ලද්දේ මේ ලෝකයෙහි (නුවණ නමැති) ඇසෙහි (රාගාදී) ස්වල්ප කෙලෙස් රජස් ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. මේ ප්‍රජාවට අනුකම්පාකොට දහම් දෙසනු මැනවයි අනුත්තරවූ බුදුරදුන් අයැදී.
අෂ්ට විද්‍යායෙන් හා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුත්, තාදී ගුණ ඇති, ශරීර ශෝභාවක් දරන්නාවූ (නොහොත් නුවණ නමැති පහණක් ඇත්තාවූ) අන්තිම ශරීරයක් දරණ, තමන් වහන්සේට සමාන පුද්ගලයෙක් නැත්තාවූ තථාගතයන් වහන්සේට සියලු සත්ත්‍වයන් කෙරෙහි කරුනාව උපනි.
යම් හෙයකින් මේ දෙවි මිනිස්සුන්ට උතුම්වූ මේ බුදුරජහු කෙබඳුද, ලොවට හිතවූ උන්වහන්සේගේ ඎද්‍ධි බලය, ප්‍රඥා බලය කෙබඳුද, බුද්‍ධ බලය කෙබඳුදැයි නොදනිත්.
යම් හෙයකින් මේ දෙවි මිනිස්සු මිනිසුන්ට උතුම්වූ මේ බුදුරජහු මෙබඳුය, ලොවට හිතවූ උන්වහන්සේගේ ඎද්‍ධි බලය හා ප්‍රඥා බලය මෙබඳුය, බුද්‍ධ බලය මෙබඳුයයි නොදනිත්ද?
එහෙයින් මම උතුම්වූ බුද්‍ධ බලය දක්වන්නෙමි. අහසෙහි රුවනින් හෙබි සක්මණක් මවන්නෙමි.
බිම වැසි දෙවියෝද, චාතුම්මහාරාජික නම් දෙව්ලෝ වැසි දෙවියෝද, තාවතිංස නම් දෙව්ලෝ වැසි දෙවියෝද, යාම නම් දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත නම් දෙව්ලෝ වැසි දෙවියෝද, නිම්මානරතී නම් දෙව්ලෝ වැසි දෙවියෝද, පරනිම්මිත වසවත්ති නම් දෙව්ලෝ වැසි දෙවියෝද, නැවත යම් බඹලෝ වැසි බ්‍රහ්ම කෙනෙක් ඇද්ද, ඔවුහුද, සතුටුවූවාහු මහත් ඝෝෂාවක් කළහ.
ඒ කාලයෙහි ආශ්චර්‍ය්‍යවූ පෙළහර දැක බොහෝවූ දෙවියන් සහිත මිනිස්සුද, ලෝකාන්තරික නිරයවල උපන් සත්ත්‍වයෝද සතුටුවූහ. මුළු පොළොව බැබලවී. ලෝකාන්තරික නරකයෝද අනාවරණය වූහ. අඳුරද නැසුනේ විය.
දෙව්, ගඳඹ, මිනිස්, රකුස් යන මොවුන් සහිත මේ මිනිස් ලොවෙහිද, අන් දෙව්ලෝවලද යන උභය ලෝකයන්හිද, යටද, උඩද, සරසද පැතිර පැවති විශාලවූ මහත් ආලෝකයක් ඇතිවී.
සීලාදී ගුණයෙන් සියලු සත්ත්‍වයන් විෂයෙහි උතුම්වූ, තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් නැති, සත්ත්‍වයන් හික්මවන ශාස්තෘතෙම දෙවි මිනිසුන් විසින් පුදන ලද්දේ විය. මහත් ආනුභාව ඇති, සිය පින් ලකුණෙන් යුත් බුදුරජතෙම ආශ්චර්‍ය්‍යවූ පෙළහරක් දැක්වී.
එකල්හි මිනිසුන් අතර උතුම්වූ පසැස් ඇති ලෝහිමිවූ ඒ බුදුරජතෙම සහම්පති නම් මහබඹහු විසින් අයදනා ලද්දේ හිත කාරණය බලා එහි මනාව නිමියාවූ සියලු රණින් නිමවන ලද සක්මණක් මැවී.
ඎද්‍ධි, ආදේශනා, අනුශාසනී යන තුන් පෙළහරෙහි භාග්‍යවත් තෙම වසීවූයේ විය. ලෝනාහිමිවූ බුදුරජතෙම මනාව නිමියාවූ, සියලු රනින් නිමවන ලද සක්මනක් මැවී.
දස දහසක් සක්වළෙහි උතුම්වූ මහාමේරු පර්වතයන් රුවන් සක්මනෙහි කණු මෙන් පිළිවෙලින් දැක්වී.
පස්මරුන් දිනූ බුදුරජතෙම දස දහසක් සක්වළ ඉක්මවා සක්මණ මැවී. රුවන් මුවා (රණින් කළ) සක්මණ දෙපසෙහි බිමද රණින් කරන ලද්දේය.
ඊට අනුරූපවූ තලාඳ වලලු (බාල්ක පරාල)ද, ඒ මත රුවන් පෝරු (ලෑලිද) අතුරණ ලදහ. දෙපසෙහි මවන ලද සියලු වේදිකාවෝද, මුලුල්ලද, රුවන්මුවා වෙති.
මිණිමුතු වැල්ලෙන් ගැවසුණු මවන ලද රුවන් මුවා සක්මණ හිරු මෙන් සියලු දිගුන් හොබවයි.
නුවණැති දෙතිස් මහා පුරිස් ලකුණෙන් යුත් පස්මරුන් දිනූ සම්බුදුරජතෙම ඒ සක්මණෙහි සක්මන් කිරීමේදී බබළමින් සක්මන් කළ සේක.
(එහි) රැස්වූ සියලු දෙවියෝ දෙව්ලොව හටගත් මදාරා මල්ද, පියුම්ද, පරසතු මල්ද සක්මණෙහි විසුරුවත්.
දස දහසක් සක්වළ දෙවියෝ සතුටු සිත් ඇත්තාහු උන්වහන්සේ බලත්. (ඒ දෙවියෝ) වඳිමින් සතුටු වූවාහු විශේෂයෙන් සතුටුවූවාහු, ප්‍රමුදිතවූවාහු රැස්වෙති.
තාවතිංස නම් දෙව්ලෝ වැසි දෙවියෝද, යාම නම් දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත නම් දෙව්ලෝ වැසි දෙවියෝද, නිම්මානරතී නම් දෙව්ලෝ වැසි දෙවියෝද, පරනිම්මිත වසවත්ති නම් දෙව්ලෝ වැසි දෙවියෝද, යම් දෙවි කෙනෙක් ඇද්ද, ඔවුහුද ඔදවැඩි සිත් ඇත්තාහු, සතුටු සිත් ඇත්තාහු, ලෝනාහිමිඳුන් දකිත්.
දෙව්, ගඳඹ, මිනිස්, යක්, යන මොවුන් සහිත නාග, ගුරුළු යන මොහුද වෙත්. රකුසෝද සත්ත්‍ව ලෝකයාහට හිතානුකම්පා ඇති උන්වහන්සේ අහසෙහි උදාවූ සඳ මඬල මෙන් දකිත්.
ආභස්සර නම් බඹලොව වැසි බඹහුද, සුභකිණ්ණ නම් බඹලොව වැසි බඹහුද, වෙහජඵල නම් බඹලොව වැසි බඹහුද, අකණිටා නම් බඹලොව වැසි බඹහුද, ඉතා පිරිසිදු සුදු වත් හැන්දාහු, හිස මත දෙ අත් තබා වඳින ලද්දාහු සිටිත්.
පුදුමයකි. ජිනරාජයන් වහන්සේ ලෝකයාට හිතානුකම්පා ඇතිසේකැයි ඒ (පෙළහරපානා) තාලයෙහි සඳුන් සුණු මුසු මදාරා මල්ද, පස්වනක් මල්ද දමත්. අහසෙහි වස්ත්‍රයන්ද කරකවත්.
නුඹවහන්සේ සත්ත්‍වයන්ට ශාස්තෘ (අනුශාසක)ත් වන සේක. කොඩියක් මෙන්ද වන සේක. ධජයක් මෙන්ද වන සේක. යාග ටැඹක් මෙන්ද වන සේක. පිහිටක් වන සේක. පිහිටීමක් වන සේක. පහනක් මෙන්ද වන සේක. දෙපා ඇත්තවුන්ට උතුම්ද වන සේක.
දසදහස් ලෝදාහි මහත් ඎද්‍ධි ඇති දෙවියෝ සතුටුවූවාහු, විශේෂයෙන් සතුටුවූවාහු, ප්‍රමුදිතවූවාහු, පිරිවරා (සිට) නමස්කාර කරත්.
පැහැදුනු තුටු සිත් ඇති දෙවියෝද, දෙවඟනෝද, පස්වනක් මලින් නරදෙටුවන් වහන්සේ පුදත්.
පැහැදුණු තුටු සිත් ඇති දෙවි සමූහයෝ ඒ නරදෙටුවන් වහන්සේ දකිත්. පස්වනක් මලින් පුදත්.
ලෝකයෙහි අහෝ! පුදුමයකි. පෙර නොවූවෙකි. ලොමු දැහැගැන්මකි. මා විසින් මෙබඳු පුදුමයක් ලොමු දැහැගැන්මක් පෙර නොදක්නා ලද්දේයයි,
ඒ දෙවියෝ තම තමන්ගේ විමානවල හිඳ අහසෙහි පුදුමය (පෙළහර) දැක මහ සිනහවෙන් සිනහසෙත්.
අහසෙහි පිහිටි විමානවල වසන්නාවූද, බිම පිහිටි විමානවල වසන්නාවූද, තණග පිහිටි විමානවල වසන්නාවූද, මග පිහිටි විමානවල වසන්නාවූද දෙවියෝ සතුටුවූවාහු, විශේෂයෙන් සතුටුවූවාහු, ප්‍රමුදිතවූවාහු, වැඳගෙන නමස්කාර කරත්.
බොහෝ ආයුෂ ඇති, පින්වත්, මහත් ඎද්‍ධි ඇති යම නාග කෙනෙක් වෙද්ද (ඔවුහුද) සතුටු සිත් ඇත්තාහු, නරෝත්තමයන් නමස්කාර කරත්. පුදත්.
අහසෙහි පුදුමය (පෙළහර) දැක, පවන් මගවූ අහසෙහි (දේවනාටක) සංගීතීන් පවත්වත්. දිව බෙර වාදනය කරත්.
(දෙවියෝ) අහසෙහි පුදුමය දැක සක්ද, පණාබෙරද තවත් බොහෝ දෙණ්ඩි නම් බෙර විශේෂයන්ද (නොහොත් උඩැක්කිද) අහසෙහි වාදනය කරත්.
ඒකාන්තයෙන් අපට අද වෙනදා නොවූවක්ද ලොමු දැහැගැනීමක්ද උපනි. එහෙයින් නොවරදවා වැඩ සිදුවීම ලබමු. අප විසින් යහපත් කාලයක් ලබන ලද්දේය.
එකෙනෙහි “බුද්‍ධ” යන වචනය අසා ඒ දෙවියන්ට ප්‍රීතිය උපනි. “බුද්‍ධය, බුද්‍ධය” යි කියන්නාහු, හිස මත දෙ අත් තබා වැඳගෙන සිටිත්.
(දේවාදී) ප්‍රජාවෝ හී හී යන අනුකරණ ශබ්දයද, සාධුකාර ශබ්දයද, ඔල්වර හඬද, පැහැදීමේ ලකුණුද වැඳගෙන නොයෙක් ආකාරයෙන් අහසෙහි පවත්වත්.
බුදුගුණ ගී ගයත්. මුඛයෙන් සිරු හඬ නගත්. වාදනය කරත්. අත්පොළසන් දෙත්. නටත්. පස්වණක් මල්ද, සඳුන් සුණුමුසු මදාරා මල්ද දමත්.
“මහාවීරය, නුඹවහන්සේගේ පාදයන්හි සක් ලකුණුය, ධජය, වජිරය, පතාකාය, වඩ්ඪමානය, අංකුසය (යන ලක්‍ෂණයන්) යම්සේ පිරිවරන ලදද,
“(එසේම) රූපයෙන්ද, සීලයෙන්ද, සමාධියෙන්ද, ප්‍රඥායෙන්ද (අනුන් හා) අසමානය. දම්සක් පැවැත්මෙන්ද, ඵල විමුක්තියෙන්ද, අසමයයි කියන ලද ඉකුත් බුදුවරයන් හා සමානය.
“නුඹ වහන්සේගේ ශරීරයෙහි ඇතුන් දස දෙනෙකුගේ ශක්තියයි කියන ලද දස නාග බලය, පියවි බලයයි. දම්සක් පැවැත්මෙන්ද, ඎද්‍ධි බලයෙන්ද අසමානය.
“මෙසේ ලොවී ලොව්තුරා ගුණයෙනුත්, සියලු බුද්‍ධාඞ්ගයෙන් සැදුනු මහාමුණිවූ, කරුණා ඇති, ලෝකස්වාමීවූ බුදුරජුන් වඳිමි.
“අභිවාදනයටද, අනුන් හමුවෙහි ගුණ කීමටද, වැඳීමටද, ඉදිරියෙහි පැසසීමටද, කයින් හෝ සිතින් නමස්කාර කිරීමටද, පිදීමටද යන සියල්ලට නුඹ වහන්සේ සුදුසු සේක.
“ලෝකයෙහි වැඳීමට සුදුසුවූ යම්කිසි කෙනෙක් ඇද්ද, යම් කෙනෙක් වැඳීමට සුදුසුසෝ වෙත්ද, මහාවීරය, නුඹ වහන්සේ ඒ සියල්ලන්ට උතුම්ය. නුඹ වහන්සේ හා සමානයෙක් නැත.”
(සොළොස් වැදෑරුම්) මහා නුවණ ඇති, සමාධි ධ්‍යානයන්හි දක්‍ෂවූ, අගසව් සැරියුත් තෙර, ගිජුකුළු පව්වෙහි සිටියේම ලෝකනායකවූ බුදුරදුන් දකී.
හොඳින් මල් පිපීගිය මහ සල් ගසක් මෙන්ද, අහසෙහි සඳ මෙන්ද, මධ්‍යාහ්නයෙහි හිරු මෙන්ද, නරෝත්තමයන් වහන්සේ බබලයි.
දැල්වෙන පහන් රුකක් මෙන්ද, උදාවූ හිරු මෙන්ද, බඹයක් පමණ තැන පැතිර පවතින ආලෝකයෙන් යුත් නුවණ ඇත්තාවූ ලෝකනායකවූ බුදුරදුන් දකී.
(එකල) සිවුමග ඵලයන් පිළිබඳ සොළොස් කිස කළ, තාදී ගුණ ඇති, ආසවයන් පහකළාවූ, රාගාදී කෙළෙස් කිලුටු නැති කර දැමූ, පන්සියයක් භික්‍ෂූන් සැරියුත් තෙර ඇසිල්ලකින් රැස්කරවී. (එසේ කරවා)
“(භාග්‍යවතුන් වහන්සේ) ලෝකප්පසාදක නම් පෙළහරක් දැක්වූ සේක. අපිදු එහි යන්නෙමු. අපි පස්මරුන් දිනූ බුදුරදුන් වඳින්නෙමු.
“එව්. අපි සිව්දෙනා එකතුවී ගොස් ලෝනා හිමි ජිනරාජයන් වහන්සේ බලා විචාරන්නෙමු. සැකය සංසිඳවන්නෙමු” (යි කීය.)
නුවණ ඇත්තාවූ, සංවර කළ ඉඳුරන් ඇති ඒ භික්‍ෂූහු, “යහපතැ” යි (සැරියුත් තෙරුන්ට) පිළිවදන් දී, පා සිවුරු ගෙණ ඉක්මණින් එළඹියාහුය.
මහ නුවණැති සැරියුත් තෙර උතුම් දමනයෙන් දැමුණු, රාගාදී කිලුටු නැති රහතුන් සමග ඎද්‍ධියෙන් (භාග්‍යවතුන් වහන්සේ වෙත) එළඹී.
මහ පිරිස් ඇති සැරියුත් තෙර ඒ රහත් භික්‍ෂූන් විසින් පිරිවරණ ලදුව, අහස්හි බබලන දෙවියකු මෙන් ඎද්‍ධියෙන් එළඹී.
උන්වහන්සේලා කහින හඬක්ද, කිවිසින හඬක්ද නොකොට, මනා පැවතුම් ඇත්තාහු, ගෞරව සහිත වූවාහු, යටහත් පැවතුම් ඇත්තාහු, සම්බුදුන් කරා එළඹියහ.
අන් උපදෙස් රහිතව සිව්සස් අවබෝධ කළ ලෝනාහිමිවූ, ධීර ගුණයෙන් යුත්, අහසෙහි නැගී සිටි සර්‍වඥයන් වහන්සේ වෙත එළඹ (භික්‍ෂූහු උන්වහන්සේ) දකිත්.
බබලන පහන් රුකක් වැනිවූද, අහසෙහි විදුලිය වැනිවූද, දින මැද හිරු මඬල වැනිවූද, ලෝනා හිමිවූ බුදුරදුන් දකිත්.
සියලු පන්සියයක් භික්‍ෂූහු හොඳින් පෑදුනු ජලාසයක් වැනි, හොඳින් පිපුණු පියුමක් වැනි, ලෝනා හිමිවූ බුදුරදුන් දකිත්.
(ඒ භික්‍ෂූහු) සතුටුවූවාහු, විශේෂයෙන් සතුටුවූවාහු, ප්‍රමුදිතවූවාහු, ශාස්තෘන් වහන්සේගේ සක් ලකුණෙන් යුත් සිරිපාදයන් ඇඳිලි බැඳ වඳිමින් වැඳ වැටෙත්.
මහ නුවණ ඇති, කටුකරඬු මලක් හා සමාන ශරීර ශෝභාවක් ඇති, සමාධි ධ්‍යානයන්හි දක්‍ෂවූ සැරියුත් තෙර ලොකනායකවූ බුදුරදුන් වඳී.
ගර්ජනා කරන කලු වැහි වළාකුළක් වැනිවූද, නිල් උපුල් (මානෙල්) මලක් හා සමවද, ශරීර ශෝභාවක් ඇති, ඎද්‍ධි බලයෙන් අසමවූ, මහත් ඎද්‍ධි ඇති මුගලන් තෙරද,
උදුනෙහි කෝවයෙහි ලා උණුකොට පිරිසිදු කළ රන් හා සමාන ශරීර වර්‍ණ ඇති, ධුත ගුණයෙහි අග නැත්පත්, දෙවි මිනිසුන් විසින් ප්‍රශංසා කරන ලද, ශාස්තෲන් වහන්සේ විසින්ද වර්‍ණනා කළ මහ කසුප් තෙරද (බුදුරදුන් වඳී.)
උපමාවෙහි දක්‍ෂවූ, සැක නැති කර දමන, මහා වීර්‍ය්‍ය ඇති, මුනීන්‍ද්‍රයන් වහන්සේ, මේ රහතුන්ගේ සිතිවිලි දැන, තමාගේ ගුණ (හෙවත් බුදුගුණ) වදාළ සේක.
“යම් ගමනක අවසානයක් නොපෙනේද, ඒ අසංඛයෝ සතරෙකි. සත්ත්‍ව සමූහයාද, අහසද, සක්වළවල්ද අපමණයහ. (එමෙන්) බුද්‍ධ ඥානයද ප්‍රමාණ කළ නොහැක. මොවුහු (මෙපමණයයි) දැනගන්ට නොහැක්කාහ.
“ලෝකයෙහි මාගේ යම් විකුර්‍වණ ඎද්‍ධියක් වීද, එය කවර පුදුමයක්ද, පෙර නොවූ, ලොමු දැහැගන්නා අනික් බොහෝ පුදුමයෝ (ඇත්තාහ.)
“යම් කලෙක මම තුසිත දෙව්ලොව දෙවියන් අතර සන්තුසිත නම් (දෙව් රජෙක්) වීද, ඒ කාලයෙහි දසදහසක් සක්වළ දෙවියෝ මා කරා පැමිණ, වැඳගෙන යාඥා කරත්.
“(කෙසේද?) මහත් විර්‍ය්‍ය ඇති (දේවය), ඔබට (බුදුවීමට) මේ කාලයයි. මිනිස් ලොවෙහි මව් කුස පිළිසිඳගණු මැනව. දෙවියන් සහිත ලෝකයා (සසර සයුරෙන්) එතර කරමින් නිවන් අවබෝධ කරණු මැන.”
“යම් කාලයෙක තුසිත දෙවියන් අතරින් චුතව මව් කුසෙහි පිළිසිඳ ගත්තෙම්ද, ඒ කාලයෙහි දසදහසක් සක්වළෙහි පොළොව කම්පා විය.
“යම් කාලයෙක මම මව් කුසින් සිහි ඇතිව බිහිවූයෙම්ද, (ඒ කාලයෙහි) දසදහසක් සක්වළ සාධු නාද පවත්වමින් කම්පා විය.
“මව් කුස පිළිසිඳ ගැනීමෙහිද, මව් කුසින් බිහිවීමෙහිද, මා හා සමානවූවෙක් නැත. බුදුබව ලැබීමෙහිද, (සිව්සස් අවබෝධ කිරීමෙහිද), දම්සක් පැවැත්විමෙහිද මම උසස් වූයෙමි.
“ලෝකයෙහි බුදුවරයන්ගේ ගුණ මහත් බව විෂ්මයයි. පුදුමයි. දසදහස් ලෝක ධාතුව සය ආකාරයකින් කම්පා විය.”
මහා ආලෝකයක්ද, පුදුමයක්ද, ලොමුදැහැගැණුමක්ද වී. ඒ වේලාවෙහි ලොවෙහි දෙටුවූ, මිනිසුන්ට උතුම්වූ, පස්මරුන් දිනූ භාග්‍යවතුන් වහන්සේද දෙවියන් සහිත ලෝකයාහට පෙළහර දක්වමින් ඎද්‍ධියෙන් යුක්තව සක්මන් කළ සේක. ලෝක නායකයන් වහන්සේ (රුවන්) සක්මනෙහි සක්මන් කරමින්ම දහම් දෙසූ සේක. සතර රියන් සක්මනෙහි යම්සේ අතර නොනැවතුණු සේක.
මහා නුවණ ඇති, සමාධියෙහි හා ධ්‍යානයෙහි සමත්වූද, සාවක පාරමී ඤාණයාගේ පරතෙරට පැමිණියාවූද, සැරියුත් තෙර, ලෝකනායකවූ බුදුරදුන් වෙතින් (මෙසේ) විචාරයි.
“මහාවීරවූ නරෝත්තමයාණෙනි, නුඹවහන්සේගේ අභිනීභාරය (පැතිම) කෙබඳුද? ධීරයන් වහන්ස, නුඹ වහන්සේ විසින් කවර කාලයක උතුම් සම්බෝධිය පතන ලද සේක්ද?
“දාන පාරමිතාවද, සීල පාරමිතාවද, පඤ්ඤා පාරමිතාවද, විරිය පාරමිතාවද, කෙබඳුද? ඛන්ති පාරමිතාවද, සච්ච පාරමිතාවද, අදිට්ඨාන පාරමිතාවද, මෙත්තා පාරමිතාවද, උපෙක්ඛා පාරමිතාවද කෙබඳුද?
“වීර්‍ය්‍යය ඇත්තාවූ ලෝහිමියාණෙනි, (නුඹවහන්සේ විසින්) කෙසේ දස පාරමිතාවෝද, කෙසේ උප පාරමිතාවෝද, කෙසේ පරමත්‍ථ පාරමිතාවෝද පුරණ ලද්දෝද?”
(මෙසේ) ඒ සැරියුත් තෙරුන් විසින් විචාරන ලද්දෝ කුරවි කෙවිල්ලන්ගේ මෙන් මිහිරි නාද ඇති බුදුරජහු (දෙවි මිනිසුන්ගේ) සිත් නිවමින් දෙවියන් සහිත ලෝකයා සතුටු කරවමින් (මේ බුද්‍ධවංශය) ප්‍රකාශ කළ සේක.
පස්මරුන් දිනූ (දීපංකර ආදී) ඉකුත් බුදුවරයන් විසින් දේශනා කරන ලද, නික්‍රීඩිත (කප්ප – ජාති – ගොත්ත – ආයු – බෝධි – සාවක – සාවිකා ආදී පිළිවෙල සහිත)වූ බුද්‍ධ පරම්පරාවෙන් පැවත ආ, ලොවට හිතවූ පුබ්බේනිවාසානුස්සතිය අනුව ගිය (නුවණින්) දෙවියන් සහිත ලෝකයා කෙරෙහි ප්‍රකාශ කළ සේක.
“සතුට හා සිතේ පැහැදීම උපදවන, සෝක නමැති උළ උදුරා දමන්නාවූ, සියලු සැප ලැබීමට හේතුවන මා විසින් දේශනා කරන ලද බුද්‍ධ වංශය ගරුකොට අසව්.
“ජාතිමද ආදිය නැතිකරන, ශෝකය පහකරන, සසර දුකින් මුදවන, සියලු දුක් නැතිකරන මාර්‍ගයට සකස්ව පිළිපදීවා.”