මහා ප්‍රජාපතී ගෝතමී

මහ රහත් තෙරණින් වහන්සේ

3 - කොටස

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අසමසම ගුණයන්ගෙන් මාත්‍රයක් වදාල සේක

සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් රහතන් වහන්සේලා තුළ හටගත් දැඩි උද්‍යෝගය සහ ශ්‍රද්ධාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් හෙයින්, ‘චත්තාරෝ තෙ අසංඛෙය්‍යා, කෝටිභේසං නඤායති…‘ යන ගාථා පාඨයෙන් ආරම්භ වී තමන් වහන්සේගේ අසමසම ගුණයන්ගෙන් මාත්‍රයක් වදාල සේක

“පින්වත් සාරිපුත්ත, එහි මේ ලෝකය තුල අසංඛෙය්‍ය වූ, අප්පමෙ‍ය්‍ය වූ, එනම් සංඛ්‍යාවකින් කිව නොහැකි, අප්‍රමාණ වූ, ගණන් කොට අවසන් කළ නොහැකි කාරණා සතරක් ඇත, එනම්, 1) සත්ව සමූහයා අනන්තය, අප්‍රමාණය, පමණකළ නොහැකිය. 2) ආකාශය ද එසේය. ආකාශයෙහිද අන්තයක් නැත, 3) එසේම සක්වළවල් ද අනන්තමය, 4) සර්වඥතාඥානය ද අප්‍රමේයය, පමණ කළ නොහැක.”

(මේ අවස්ථාවේ දෙව් මිනිස් සිත් සතන් බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ප්‍රාතිහාර්යයන් පිළිබඳ විස්මයෙන් පිරී තිබුණි. උන්වහන්සේ තවදුරටත් දෙව්මිනිසුන්ට අනුශාසනා කරන සේක්;  “මා විසින් මවන ලද අසිරිමත් ප්‍රාතිහාර්යයන් අභිභවා යන දේවල් තවත් ඇත. ඔබ සවන් දෙන්න. එම අතිවිශිෂ්ට ප්‍රාතිහාර්යයන් හෙළිදරව් කරමි” යි බුදුරජාණන් වහන්සේ තවදුරටත් විස්තර කළ සේක)

“සාරිපුත්තය, ඔය කීව ආශ්චර්යන් වලට අමතරව, පෙර නොවූ විරූ බොහෝ ආශ්චර්යවත් කාරණා තිබේ, ඒවා දැනගත් විට, නිසැකවම ලොමුඩැහැ ගැනීම් ඇති වේවි.

“පින්වත් සාරිපුත්ත, වෙස්සන්තර රජ වූ මා මිය ගිය පසු මා කළ පුණ්‍ය කර්මයන් කරණකොට, සන්තුසිත නම් දෙව් රජ ව තුසිත දෙව්ලොව උපත ලබා බුද්ධත්වය පිණිස සුදුසු කාලය බලමින් සිටියෙමි. මනුෂ්‍ය ආයුෂ අනුව වසර පනස්හත් කෝටි සැටලක්ෂයක් තව්තිසා දෙව්ලොව සැප විඳිමින් සිටියෙමි. එවිට දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු හා බ්‍රහ්මයෝ මා ඉදිරියෙහි රැස් වී මෙසේ අයාචනා කළහ.

“ඕ…! දේවයන් වහන්ස, සියලු දුක් විඳ, ඔබ වහන්සේ දැනටමත් චාගය මුල්කොට දස පාරමී, උප-පාරමී සහ පරමත්ත-පාරමී ලෙස සියලු පාරමිතාවෝ සම්පූර්ණ කර ඇත, ඒ සක්විති මහරජෙකුගේ සැප හෝ සක්දෙව් සැප හෝ ලබා ගැනීමේ ආශාවෙන් නොවේ. දෙවියන්ගේ හෝ බ්‍රහ්මයන්ගේ හෝ මාරයන්ගේ හෝ රජු වීමේ බලාපොරොත්තුවෙනුත් නොවේ. ඔබ මේ පාරමිතාවෝ සපුරා ගත්තේ සම්බුද්ධත්වය පිණිසමයි. බොහෝ සත්වයින් සසර දුකින් නිදහස් කර ගැනීම සඳහාම යි. ඕ…! දේවයන් වහන්ස, සියලු දුකින් මිදී, බුදු බව ලැබීම පිණිස දැන් කාලය එළඹ තිබේ!

“ඕ…! වීරයන් වහන්ස, ඔබ සර්වඥයන් වහන්සේ නමක් බවට පත් වීමට දැන් කාලය එළඹ තිබේ. ‘මායා’ නම් වූ රාජකීය මාතාවගේ කුසෙහි පිළිසිඳ ගන්න. සංසාර ප්‍රවාහයෙන් දෙවියන් ඇතුළු සියලු සත්වයන් මුදා ගන්න. ඔබ වහන්සේට අසංඛත වූ අමා මහ නිවන අවබෝධ වේවා.” මෙසේ ඔව්හු අයාචනා කළහ.

“කෙසේ වෙතත් මම ඔවුන්ගේ අයාචනයට ඉක්මනින් ම මගේ කැමැත්ත ලබා දුන්නේ නොවේ. මම මුලින්ම මහා සුදුසුකම් පසක් ගැන (පස් මහ බැලුම්) සොයා බැලුවෙමි.

(1) බුදුන් පහළ වීමට සුදුසු කාලය, (2) බුදුන් පහළ වීමට සුදුසු ද්වීපය, (3) බුදුන් පහළ වීමට සුදුසු දේශය (රට), (4) බෝසතාණන් වහන්සේ නැවත ඉපදෙන වංශය හෝ පවුල (කුලය) , සහ (5) බෝධිසත්ව මෑණියන් සහ ඇගේ ආයු කාලය (මව).

මෙසේ මේ පස් මහ බැලුම් අවසානයේ ඒ දෙව් බඹ පිරිස් අමතා මම මෙසේ කිවෙමි. “මගේ මිත්‍රවරුනි, පින්වත් දෙවිවරුනි, බ්‍රහ්මරාජවරුනි, ඔබ පැවසූ පරිදි මා හට බුද්ධත්වය පිණිස කාලය පැමිණ ඇත’.

තුසිත දෙව්ලොව පූර්ණ ආයු කාලය ගත කළ මම ශාක්‍ය රාජ කුලයේ මායා දේවිය කුස පිළිසිඳ ගත්තෙමි”

“මා විසින් මනා සිහි නුවණින් යුක්තව මව් කුසෙහි පිළිසිඳ ගත් කල්හි දස දහසක් ලෝක ධාතුව කම්පා විය, තදින්ම කම්පා විය.”

“මනා වූ සිහිය, අත් නොහරිමින්, ධර්මාසනයෙන් බසින භික්ෂුවක් මෙන්, ස්ථුපයක දොරටුවේ පඩිපෙළෙන් බැස එන මිනිසෙක් මෙන්, කෙළින් සිට, අත් පා කෙළින් තබාගෙන, වෙසක් පුර පසළොස්වක දින මව් කුසින් නික්මුණෙමි. මව්කුස හටගත් අසූචි තැවරීමක් නැතිවම නික්මුණෙමි. එකල්හි ද දස දහසක් ලෝක ධාතුව (එම අවස්ථාවට ප්‍රීති වන්නාක් මෙන්) වෙවුලා කම්පා විය, තදින්ම කම්පා විය.

“පින්වත් සාරිපුත්ත, මා  මව් කුස තුළ පිළිසිඳ ගැනීමේදී ද මව්කුසෙන් නික්මීමේදී ද  මාගේ ආශ්චර්‍යට සම කළ හැකි කිසිවෙක් නැත. (අපගේ මහ බෝසතාණෝ මව් ගර්භයට බැසගත් මොහොතේත්, දස මසක් මව්කුස තුළ සිටියදීත්, උපන් මොහොතේත්, ඒ අවස්ථා තුනේදී ම, සම්පූර්ණ අවබෝධයෙන් යුතුව මනා සිහියෙන් යුතුව සිටි සේක. එහෙයින් එසේ කී.)

“පින්වත් සාරිපුත්ත, අරහත් මාර්ග ඤාණය (සර්වඥතා ඥානය) සාක්ෂාත් කර ගැනීමේදී ද මට සමාන කිසිවෙක් නැත. දේශනා ඤාණය සම්බන්ධයෙන් ද මම උත්තරීතර වෙමි.”

(සර්වඥතා ඥානය යනු සියලු ඥානයන්ගෙ පරප්‍රාප්ත බවයි, එනම් සම්බුදුරජාණන් වහන්සේ නමක් තමන් වහන්සේගේ සම්බෝධිය ලබා ගැනීමේදී සියලු ඥානයන්ගේ පරිපූර්ණත්වයට පත්වෙමින් අවබෝධ කරගන්නා ඥානයයි, සම්බෝධි ඥානයයි. මේ ඥානය බුදුවරුන් විශයෙහි පමණක්ම පවති, අන්‍ය වූ කිසිවෙකුත් තුළ නොපිහිටයි, පිහිටන්නේ නම් ඒ සම්බුදුරජාණන් වහන්සේ නමක් තුළම පමණයි.

අරහත්වයට පත්වන ශ්‍රාවකයා තුළ ඇත්තේ අරහත්ඵල ඥානයයි, සර්වඥතා ඥානය නොවේ. මෙසේ, කිසිවෙක් ත්‍රිවිද්‍යාවෝත්, කිසිවෙක් අභිඥාත්, කිසිවෙක් සිව් පිළිසිඹියාවෝත්, තවත් කිසිවෙක් මේ සියල්ලමත් වශයෙන් අරහත්වයේ දී විශේෂ වශයෙන් ලබයි, නමුත් සර්වඥතා ඥානය නොලබයි. ශ්‍රාවකපාරමී ඥානය, පසේ බුදුරජාණන් වහන්සේලා ලබන පච්චේක බෝධි ඥානය ලබයි, නමුත් සර්වඥතා ඥානය නොලබයි. එබැවින් සම්බෝධි ඥානයම ශ්‍රේෂ්ඨ වේ. සර්වඥතා ඥානයම ශ්‍රේෂ්ඨ වේ. එහෙයින් කියන ලදී..)

බුදුරජාණන් වහන්සේ මෙසේ තමන් වහන්සේගේ පවතිනම ගුණ කඳ ධර්මසේනාධිපතීන් වහන්සේ ඇතුළු සඟ පිරිසට වදාරද්දී දසසහස්‍රී ලෝක ධාතුව කැලඹී ගියේ ය, සෙල වී ගියේ ය. කම්පා වී ගියේ ය. එකල, පිළිසිඳ ගන්නා මොහොතේ සිදුවූවාක් මෙන් දරුණු භූමිකම්පාවක් ඇති විය.

දස දහසක් ලෝක ධාතුව වෙව්ලමින් කම්පනයට පත් විය, පෘථිවි පෘෂ්ඨය නැගෙනහිරින් නැඟී බටහිරින් ගිලී ගියේය, එය බටහිරින් නැඟී නැගෙනහිරින් ගිලී ගියේය, නැවත නැඟී ආයේ ය, උතුරේ සහ දකුණේ ගිලී ගියේය, දකුණින් නැඟී උතුරේ ගිලී ගියේය,  උතුරෙන් නැඟී දකුණින් ගිලී ගියේය, එය මධ්‍යයේ නැඟී වට ප්‍රමාණය දිගේ ගිලී ගියේය, එය වට ප්‍රමාණය දිගේ නැඟී ආයේ ය.

දෙවියන්ගේත් බ්‍රහ්මයන්ගේත් ආනුභාවය ඉක්මවා අලෝකයක් පැතිර ගියේ ය.

එදා එසේ ආශ්චර්‍යමත් කාරණා ලෝක ධාතූන් තුල සිදුවෙද්දී ඒ දුටු දෙව් බඹ පිරිස් මේවන විට කපිලවස්තුවට රැස් වී සිටියෝ ය. නමුත් ඔව්හූ එදා ඒ ආශ්චර්‍යමත් සිද්ධීන් සිදු වූයේ ඇයි දැයි මේ වනතෙක් නොදැන සිටියහ. දැන් අපගේ සම්බුදු රජාණන් වහන්සේ ඒ කාරණා වදාරද්දී ඔව්හූ ප්‍රීතියෙන් කුල්මත් වී ගියහ, අත්පොලසන් දෙන්නට, දිව්‍ය සළු හිසවටා කරකවමින් ප්‍රීතියෙන් නටන්නට ගත්හ. බුදුරජාණන් වහන්සේට ස්තූති ප්‍රශංසා කරන්නට ගත්හ. ඒ ගැන ඒ දේවතාවෝ මෙසේ ගාථාවෙන් සම්බුදුරජුන්ට ප්‍රශංසා කළහ.

“අහෝ අච්චරියං ලෝකේ
බුද්ධානං ගුණමහන්තතා
දසසහස්සි ලෝකධාතූ
චප්පාකාරං පකම්පතා
ඕභාතසෝ ච මහාආසි
අච්චේරං ලෝමහංසනං “

“ඕ..! මිත්‍ර දෙවිවරුනි, බ්‍රහ්මවරුනි, බුදුරදුන්ගේ මහිමය සහ ගුණ නිසා දස දහසක් සක්වල කම්පනයට පත් වූ අතර පෘථිවියේ මතුපිට නැඟෙනහිර-බටහිර, උතුරු-දකුණ සහ මධ්‍යයේ සහ දාරවල ප්‍රත්‍යාවර්තව නැඟී වැටේ. දෙව්ලොව සහ බ්‍රහ්මයන්ගේ අලෝකය අභිබවා යන අලෝකයක් ද මේ දස දහසක් සක්වල ආලෝකවත් කර ඇත. මේ ආශ්චර්‍ය අපගේ ඇඟ ලොමුඩැහැ ගන්වයි. අහෝ, බුදුගුණයන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඇත්තෙන්ම පුදුමයි , ආශ්චර්‍යයි.”

***************************************

මෙසේ සෘද්ධි ප්‍රාතිහාර්‍යයෙන්ද අනුශාසනී ප්‍රාතිහාර්‍යයෙන්ද දෙව් බඹ සියලු සත්වයන් තථාගතයන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවෙහි පිහිටුවා, අපගේ බුදුරජාණන් වහන්සේ නිහඬ වූ සේක. නිහඬව රුවන් සක්මනෙහි සක්මන් කරන්නට පටන් ගත් සේක. බුදුරජාණන් වහන්සේ මෙසේ සක්මන් කරමින් සිටින අතරතුරදී, ලෙන් දොර අසළ සිට ගර්ජනා කරන බලවත් සිංහ රාජයෙකු මෙන්, ගිගුම් දෙන අහස මෙන්, අනිත්‍ය ප්‍රතිසංයුත්ත ධර්මය, සත්වයා විමුක්තියට පමුණුවන  චතුරාර්‍ය සත්‍ය ධර්මය දේශනා කළ සේක.

මෙසේ චතුසත්‍ය වදාරමින් බුදුරජාණෝ සක්වල පීරා සක්වල මුවවිට තෙක් දිවෙන රුවන්මය පීඨිකාවක් බඳු රුවන් සක්මනෙහි කෙලවර දක්වාම වැඩි සේක. එයින් හැරී නැවතත් අනෙක් කෙලවර දක්වා වඩින සේක. නැවතත් නැවත නැවතත් එසේ වඩිමින් චතුසත්‍ය වදාරන සේක. මෙහිලා සම්බුදු රජාණෝ සක්වල මුවවිට ලං කරේ ද නැත. ඒතාක් දුර කෙටි කලේ ද නැත, වේගයෙන් වැඩියේ ද නැත, අවසානයට නොපැමිණෙන පරිදි හැරෙන්නේ ද නැත. මුව විට තෙක් කෙලවරයන්ට නොගොස් වැඩියා සේ පෙනෙනාකාරයේ සෘද්ධියක් පෑවේ ද නැත….මෙයනම් බුදුරජුන්ගේ ආශ්චර්‍යයක්ම ය. බුද්ධ විශය අචින්තයැයි තථාගතයන් වහන්සේ විසින් වදාලේ මේ නිසා ය. බුද්ධවිෂය නම් සර්වඥයන් වහන්සේ සතු වූ බලය, මිනිස් පරිකල්පනයට වඩා එහා ගිය එකකි. එහෙයින් ය එය අචින්තනීය විශයක් වන්නේ. බුදු සිතකට පමණක්ම නමුත් අන්‍ය සිතකට සිතාගත නොහැකි නිසා ය.

අකනිටා බ්‍රහ්ම ලෝකයේ සිට අවීචි මහා නිරය දක්වාම, විශාල විවෘත තැනිතලාවක සිදුවන්නක් සේ, තමා ඉදිරිපිට සිදුවන්නක් සේ, කිසිදු බාධාවකින් තොරව මේ සියලු ආශ්චර්‍යයන් සකල ලෝක සත්වයා හට සිත් සේ දෑස් පුරා දැක ගත හැකි වූයේ මේ අසම සම බුද්ධ ආශ්චර්‍ය නිසා ය.

අපගේ බුදුරජාණන් වාහන්සේ සක්මන් කරන ගමන් ධර්මය ද වදාල සේක, මේ කාර්‍යන් ද්විත්වය එකම අවස්ථාවක සිදු වූවා මිස වෙන වෙනම සිදු වූවා නොවේ, රුවන් සක්මන නිර්මාණය වී ඇත්තේද බුදු සිතෙනි, ධර්මය වදාරන්නේ ද බුදු සිතෙනි, සක්මනෙහි යෙදෙන්නේ ද බුදු සිතෙනි, නිර්මිත බුදුරුවක් වැඩ සිටින්නේ ද ඒ එකම බුදු සිතෙනි. මේ සියල්ල අපගේ ශාස්තෘන් වහන්සේ එකවර අතිශය වේගවත්ව ඵල සමාපත්තීන්ට සම වදිමින්, එහි යෙදී සිටිමින්, එයින් නැගිසිටිමින් වශයෙන් එකවිට සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයෝ වෙත්. අහෝ! අසිරියක්මැයි! අහෝ ආශ්චර්‍යක්මැයි! මෙවන් ප්‍රාතිහාර්‍යන් බුදුකෙනෙකුන් හැරුනු විට තුන්ලොව කාටනම් කලහැක්කේ ද? නොහැක්කේම ය.

සාරිපුත්ත මහරහතන් වහන්සේ බුද්ධවංශ දේශනාව පිණිස බුදුරදුන්ට ඇරයුම් කරයි

සාරිපුත්ත මහරහතන් වහන්සේ, දස දහසක් සක්වල දෙව් මිනිස් සත්වයාට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරමින් අසහාය ආශ්චර්‍යයෙන් සක්මන් කරනා බුදුරජාණන් වහන්සේට තම සිතින් වන්දනා කර මෙසේ සිතූ සේක.

“දස දහසක් ලෝක ධාතුවල දෙව්-මිනිසුන්ගේ සහ බ්‍රහ්මයන්ගේ මෙබඳු රැස්වීමක් පෙර නොවූ විරූය. ඒකාන්තයෙන්ම මෙය උතුම් ධර්මයක් වදාරීම පිණිස කදිම අවස්ථාවකි. බුද්ධවංශය පිළිබඳ දේශනයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් ශ්‍රද්ධාව සහ භක්තිය වර්ධනය කිරීම සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. එනිසා, බුද්ධත්වය පිළිබඳ නියත අනාවැකිය ලැබූ දා පටන් සම්බුද්ධත්වය සාක්ෂාත් කළ මේ අවසන් භවය තෙක් අපගේ බුදුරජාණන් වහන්සේ පාරමී ධර්මයන් පරිපූර්ණත්වයට පත් කරමින් පැමිණි ගමන පිළිබඳ මා විමසා සිටින්නේ නම්, ශාස්තෘන් වහන්සේ අප හට ඒ බව හෙළිකොට වදාරන්නේ නම් එය අතිශයින්ම ඵලදායී වනු නියතය. එහෙයින් මා මාගේ ශාස්තෘන් වහන්සේගේ දිර්ඝ සසර ගමනේ ජීවන ප්‍රවෘතිය වදාරන මෙන් ඉල්ලා සිටින්නෙමි” 

ඉන්පසු, සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ චීවරය ඒකාංශකොට පොරවා ශාස්තෘන් වහන්සේ වෙත ගොස් දෑත් ඔසවා වන්දනා කරමින් ගාථා තුනකින් බුද්ධවංශය පිළිබඳ වදාරන මෙන් ඉල්ලා සිටි සේක.

‘‘කීදිසො තෙ මහාවීර, අභිනීහාරො නරුත්තම;
කම්හි කාලෙ තයා ධීර, පත්ථිතා බොධිමුත්තමා.

“මහාවීරවූ නරෝත්තමයාණෙනි, නුඹවහන්සේගේ අභිනීභාරය (පැතිම) කෙබඳුද? ධීරයන් වහන්ස, නුඹ වහන්සේ විසින් කවර කාලයක උතුම් සම්බෝධිය පතන ලද සේක්ද?

‘‘දානං සීලඤ්ච නෙක්ඛම්මං, පඤ්ඤාවීරියඤ්ච කීදිසං;
ඛන්තිසච්චමධිට්ඨානං, මෙත්තුපෙක්ඛා ච කීදිසා.

“දාන පාරමිතාවද, සීල පාරමිතාවද, පඤ්ඤා පාරමිතාවද, විරිය පාරමිතාවද, කෙබඳුද? ඛන්ති පාරමිතාවද, සච්ච පාරමිතාවද, අදිට්ඨාන පාරමිතාවද, මෙත්තා පාරමිතාවද, උපෙක්ඛා පාරමිතාවද කෙබඳුද?

‘‘දස පාරමී තයා ධීර, කීදිසී ලොකනායක;
කථං උපපාරමී පුණ්ණා, පරමත්ථපාරමී කථං’’.

“වීර්‍ය්‍යය ඇත්තාවූ ලෝහිමියාණෙනි, (නුඹවහන්සේ විසින්) කෙසේ දස පාරමිතාවෝද, කෙසේ උප පාරමිතාවෝද, කෙසේ පරමත්‍ථ පාරමිතාවෝද පුරණ ලද්දෝද?”

***************************************

දාන පාරමිතාවෙහි අංග තුනකි, එනම් පාරමී, උපපාරමී සහ පරමත්ථ (පරමාර්ථ) පාරමී යන තුනයි.

1) මෙහි ‘පාරමී’ යනු අංග පරිත්‍යාගයයි. එවිට තමාගේ කයේ අංග මෙන්ම, දරුවන් සහ භාර්‍යාවන් දන් දීමද වෙත්.

2) ‘උපපාරමී’ යනු, තමන් සතු බාහිර භාණ්ඩ ආදිය දන් දීමයි. එහිදී රාජ්‍යයේ පටන් හැඳ සිටින වස්ත්‍රය දක්වා දන් දීම මීට අයත් වෙත්.

3) ‘පරමාර්ථ පාරමී’ යනු ජීවිතය දන් දීමයි. වෙන බාහිර කිසිවක් නොවේ. ‘සස ජාතකය’ ඊට නිදසුනකි.

මෙසේ අසංඛ්‍ය ගණන් ජීවිතවල අපගේ බෝසතාණන් වහන්සේ දාන සහ වෙනත් පාරමී ධර්මයන් සපුරා ගනිමින් පැමිණි සේක. ඒ පිළිබඳ ඉතා සැකෙවින් එක් උදාහරණයක් පමණක් දෙමින් මෙසේ දක්වන්නෙමු.

(1) බෝසතාණන් වහන්සේ නුවණැති හාවෙකු ලෙස උපත ලැබූ විට, හේ බ්‍රාහ්මණ වේශයෙන් සිටි සක්දෙවිඳු, පිණ්ඩපාතය සොයා ආ සැබෑ බ්‍රාහ්මණයෙකු ලෙස වරදවා වටහා ගත්තේ ය. එබැවින් හේ ඇවිලෙන ගිනිමැලයක් සාදා බ්‍රාහ්මණයාට සා මස් පුදනු පිණිස එයට පැන තමාගේ ජීවිතය පූජා කළේ ය. එබඳු දානය දාන පරමත්ත පාරමී ය. (සස පණ්ඩිත ජාතකය)

(2) බෝසතාණන් වහන්සේ සංඛපාල නාග රජු ලෙස ඉපිද, කණුවක ඇණ ගැසීමෙන් පසු, දඩයක්කාරයන් දහසය දෙනෙකු විසින් හෙල්ලවලින් තම සිරුරේ ස්ථාන අටකට නිර්ධය ලෙස පහර දීම නිසා ඇති වූ තුවාළ වේදනාව දරාගත් සේක. අමනාපයක් නොපෙන්වා ජීවිතය පූජා කර ශික්ෂාපද රැකි සේක. එවැනි ශීලයක් ශීල-පරමත්ත-පාරමි යන ගණයට අයත් වේ . (සංඛපාල ජාතකය)

(3) බෝසතාණන් වහන්සේ චූල සුතසෝම රජුව සිටියදී, රජකමේ සුඛෝපභෝගීත්වයට ඇලී නොසිට, සුදස්සන (පුරාණ බරණැස) රටෙහි සිහසුන අත්හැරියේ ය. එවැනි අත්හැරීමේ ක්‍රියාවක් නෙක්ඛම්ම-පරමත්ත-පාරමි ලෙස හැඳින්වේ. (චූලසෝම ජාතකය)

(4) සේනක පණ්ඩිත නමින් මහා ප්‍රඥාවන්තයෙකු වී ඉපිද එක්තරා බ්‍රාහ්මණයෙකුගේ ආහාර ඇති සම් මල්ලෙහි නාගයකු සිටින බව ඇසින් දුටුවාක් මෙන් හෙළි කොට බ්‍රාහ්මණයාගේ ජීවිතය බේරා දුන් සේක. බ්‍රාහ්මණයාගේ ජීවිතය බේරාගත් එවැනි ප්‍රඥාවන්ත ජීවිතයක් පරමත්ත-පඤ්ඤා-පාරමි ගණයට වැටේ . (සත්තුභත්ත ජාතකය)

(5) බෝසතාණන් වහන්සේ ජනක නම් කුමාරයෙකු ලෙස ඉපිද, තම සගයන් විනාශයට මුහුණ දෙමින් සිටියදීත්, දුෂ්කරතා හමුවේ බලාපොරොත්තු සුන්වීමෙන් තොරව සාගරය හරහා පිහිනීමට ඔහු දැරූ අප්‍රතිහත උත්සාහය ජනක කුමරුගේ දැඩි උත්සාහය පිළිබිඹු කරයි. එවැනි කැපී පෙනෙන නොපසුබට උත්සාහයක් පරමත්ත-විරිය-පාරමි ගණයට වැටේ. (මහා ජනක ජාතකය)

(6) ඛන්තිවාදි නම් ආරාමිකව සිටියදී කසී රටේ කලාබු රජු තියුණු පොරවකින් ඔහුගේ අත් පා කපා දැමීය. ඔහු නොසැලී විඳදරාගත්තේ සංවේදනය සහ සිහිය නැති දර කැබැල්ලක් මෙනි. තාපස තෙමේ රජු කෙරෙහි ද අමනාපයක් නොපෙන්වා සියල්ල දරා සිටි සේක. එවැනි ඉවසීමේ ක්‍රියාවක් පරමත්ථ-ඛන්ති-පාරමි යන ගණයට අයත් වේ. (ඛන්තිවාදී [ක්ෂාන්තිවාදී] ජාතකය.)

(7) මහා සුතසෝම රජුව සිටියදී, “මම ඒකාන්තයෙන් හෙට ආපසු එන්නෙමි” යි තම වචනය මිනීමරු පෝරිසාදයාට දුන්නේය. ඔහු තම ජීවිතය නොතකා තම වචනයේ සිට එකසිය එකක් රජවරුන්ගේ ජීවිත බේරා ගත්තේ ය. එවැනි ධාර්මික සහ සත්‍යවාදී වාචික ක්‍රියාවක් පරමත්ත-සච්ච-පාරමි ගණයට අයත් වේ. (මහා සුතසෝම ජාතකය)

(8) බෝසතාණන් වහන්සේ තේමිය කුමරුව සිටියදී බිහිරි හා ගොළු ලෙස පෙනී සිටිමින් තම ජීවිතය පරදුවට තබා මෙම ක්‍රමය තම අභිප්‍රාය ඉෂ්ඨවෙන තෙක්ම (අවුරුදු දහසයක්) දිගටම කරගෙන ගියේය. එවැනි අදිෂ්ඨානශීලී ක්‍රියාවක් පරමත්ත-අධිට්ඨාන-පාරමි යන ගණයට අයත් වේ . (මුගපක්ඛ (තේමිය) ජාතකය)

(9) උන් වහන්සේ සුවණ්ණසාම (ස්වර්ණ සාම කුමාරයා) නම් ආරාමිකව සිටියදී ජීවිතය පරදුවට තබා මෛත්‍රිය (මෙත්තා) වඩන සේක. එවැනි ප්‍රේමනීය කරුණාවක් පරමත්ථ-මෙත්තා-පාරමි යන ගණයට අයත් වේ . (සුවණ්ණසාම ජාතකය)

(10) ලෝමහංස ජාතකයේදි තාපසයෙකුව, ගැමි දරුවන්ගේ තාඩන පීඩන මධ්‍යයෙත්, නුවණැත්තන් විසින් කරන ලද නොයෙකුත් ගෞරව හා උපහාර මධ්‍යයෙත් නොසැලී සිටීයේ ය. බෝධිසත්වයන් වහන්සේගේ එවැනි සමානාත්මතා ආකල්පය පරමත්ත-උපේක්ඛා-පාරමි විදහා දක්වයි. (ලෝමහංස ජාතකය)

*****************************************************************

සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් කරන ලද ඉල්ලීමට අනුව උතුම් බුද්ධවංශ දේශනාව කරමින්, බුදුරජාණන් වහන්සේ,

පළමුව, දෙව් මිනිස් ශ්‍රාවකයන්ට ප්‍රීතිය ගෙන දෙන බුද්ධ වංශ කථාව ශ්‍රවණය කරවා, ඔවුන්ගේ කැළඹුණු සිත්වල ඇති දුක නැති කරවා, ධර්මාවබෝධය පිණිස සකස් කිරීම පිණිසත්,

දෙවනුව, නොයෙක් ආකාරයේ දුක්, දොම්නස් ගෙන දෙන, නැවත නැවත ඉපදෙන මැරෙන සංසාර චක්‍රයෙන් සත්වයන් මුදවා, සියලු දුක් නිවන, උඩඟුකම, මාන්නය ඇතුළු සකලක්ලේශයන් ගෙවා දමන, උතුම් නිවන් මාර්ගය අනුගමනය කිරීමට පුහුණු කරවීමටත්, ප්‍රගුණ කරවීමටත්, උත්සහවත් කරවීමටත්,

සකල ලෝකසත්වයාගේ කණ් මත්තෙහි සදාතනික විමුක්තිය ලබාදෙන ප්‍රණීත අමෘතය වත්කරන්නාක් සේ ගාථා රත්නයන් යුගලයක් වදාල සේක.

‘‘පීතිපාමොජ්ජජනනං, සොකසල්ලවිනොදනං;
සබ්බසම්පත්තිපටිලාභං, චිත්තීකත්වා සුණාථ මෙ.

“සතුට හා සිතේ පැහැදීම උපදවන, සෝක නමැති උළ උදුරා දමන්නාවූ, සියලු සැප ලැබීමට හේතුවන මා විසින් දේශනා කරන ලද බුද්‍ධ වංශය ගරුකොට අසව්.”

‘‘මදනිම්මදනං සොකනුදං, සංසාරපරිමොචනං;
සබ්බදුක්ඛක්ඛයං මග්ගං, සක්කච්චං පටිපජ්ජථා’’ති.

“ජාතිමද ආදිය නැතිකරන, ශෝකය පහකරන, සසර දුකින් මුදවන, සියලු දුක් නැතිකරන මාර්‍ගයට සකස්ව පිළිපදීවා.”

ඉක්බිති, රැස්ව සිටි දෙව්මිනිසුන්ට අමා මහ නිවන දැකීමට උද්‍යෝගිමත් වීමට උනන්දු කරවනු වස්, බුදුරජාණන් වහන්සේ ගාථා නවසිය පනස් එකකින් (පමණ) සරසන ලද බුද්ධ වංශය පිළිබඳ දේශනය වදාල සේක.

“කප්පෙ ච සතසහස්සෙ, චතුරො ච අසඞ්ඛියෙ;
අමරං නාම නගරං, දස්සනෙය්‍යං මනොරමං……

මහා කල්ප ලක්‍ෂයක් අධිකකොට ඇති සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර දැකුම්කලු, මනරම්වූ, දශ ශබ්දයකින් තොරනොවූ, ආහාරපානයෙන් යුත් අමර(වතී) නම් නුවරක් වී…….”

වශයෙන් ආරම්භකර,

…..තානි ච අතුලතෙජානි, ඉමානි ච දසබලානි (යසබලානි (අට්ඨ.));
අයඤ්ච ගුණධාරණො දෙහො, ද්වත්තිංසවරලක්ඛණවිචිත්තො.

ඒ අසම තේජස්ද, මේ දසබලද, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් මේ උතුමා ගුණයෙන් යුත් සිරුරද යන –

දස දිසා පභාසෙත්වා, සතරංසීව ඡප්පභා;
සබ්බං තමන්තරහිස්සන්ති, නනු රිත්තා සබ්බසඞ්ඛාරාති.

සියල්ල සවණක් රැසින් යුත් හිරු මෙන් දස දිගුන් හොබවා අතුරුදන් වන්නේය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නොවෙත්ද? (වෙත් මැයි.)

ආදියෙන් නිමකෙරුනු ඒ මහා බුද්ධ වංශය පිළිබඳ දේශනාව අවසන් වන විට කෝටි දහයකට අධික දෙව් මිනිස්, බ්‍රහ්මයෝ සියලු ආස්‍රවයන් නසා අරහත්වයට පත් වූහ. අසංඛ්‍ය ගණන් සත්වයෝ අනෙකුත් මගඵලයන් සාක්ෂාත් කොට නිවනට යන ඒකාන්ත මාර්ගයට බැසගත් හ.