මහා උම්මග්ග ජාතකය

1 වන කොටස

මේ ජාතක දේශනය බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසද්දී ප්‍රඥා පාරමිතාව අරබයා දේශනා කළ සේක.

භික්ෂූන් තථාගතයන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව වර්ණනා කරන්නාහු, “ඇවැත්නි! තථාගතයන් වහන්සේ මහා ප්‍රාඥ ය, පුථු ප්‍රාඥ ය, හාසු ප්‍රාඥ ය, ජවන ප්‍රාඥ ය, තික්ඛ ප්‍රාඥ ය, නිබ්බෙධික ප්‍රාඥ ය. අන්‍ය වාදයන් මර්දනය කරන්නේ තමන්ගේ ප්‍රඥාවේ බලයෙන් කූටදන්ත වැනි බ්‍රාහ්මණයන්, සභිය ආදී පරිබ්‍රාජකයන්, අංගුලිමාල ආදී සොරුන්, ආලවක ආදී යක්‍ෂයන්, ශක්‍ර ආදී දෙවියන්, බක ආදී බ්‍රාහ්මණයන් දමනය කොට ඔවුන් යහ මගට යොමු වූවන් කළ සේක. උන්වහන්සේ විසින් බොහෝ දෙනාට පැවිද්ද ලබාදී මාර්ගඵලයන්හි පිහිට වූ සේක” මෙසේ භික්ෂූන් ශාස්තෘන් වහන්සේගේ ගුණ කථා ප්‍රකාශ කරමින් හුන්හ.

එවිට ශාස්තෘන් වහන්සේ වැඩමකර “මහණෙනි! දැන් කවර නම් කථාවකින් යුක්තව හුන්නාහුදැ” යි විචාරණ ලද්දාහු මෙබඳු කථාවකින්යැ’ යි ප්‍රකාශ කළ කල්හි “මහණෙනි! තථාගතයන් වහන්සේ දැන් පමණක් ප්‍රඥාවන්ත වූයේ නොවෙයි. අතීතයෙහි ද පරිපූර්ණත්වයට නොගිය ප්‍රඥා ඇතිව බුද්ධත්වය සඳහා පාරමී පුරන්නේ, ප්‍රඥාවන්ත වූයේ යැ” යි අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතයෙහි මිථිලා නුවර වේදේහ නම් රජු රාජ්‍යය කරන කල්හි ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ පණ්ඩිතයෝ සතර දෙනෙක් වූහ. සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද යන සතර දෙනා ය. එකල්හි රජතෙමේ බෝධිසත්ත්වයන් පිළිසිඳ ගන්නා දිනයේ උදෑසන මෙබඳු සිහිනයක් දුටුවේ ය.

‘රජගෙදර මිදුලෙහි සිව් කොණෙහි ගිනිකඳු සතරක් මහා ප්‍රාකාරයක ප්‍රමාණයෙන් පැන නැගී දිළිසෙයි. එහි මැද කනාමැදිරියෙකු ප්‍රමාණ වූ ගින්නක් භටගෙන ඒ මොහොතේදීම ගිනිකඳු සතරම මැඩගෙන බඹලොව තෙක් පමණ නැගීසිට මුළු සක්වල බබුලුවා සිටියේ, බිම වැටුනු අබ ඇටයක් පවා පෙනෙයි. දෙවියන් සහිත ලෝකයා මල්මාලා සුවඳ වර්ගාදියෙන් පුදත්, මහජනයා ගිනිදැල් අතරෙන් ඇවිදිති. රෝම කූප මාත්‍රයකුදු උණුසුමක් නොදැනේ.’

රජු මේ සිහිනය දැක බිය වී තැතිගත්තේ නැගිට කුමක් නම් වන්නේදැයි සිතමින් සිටින අතර අරුණාලෝකය උදාවිය. පණ්ඩිතයෝ සතරදෙන උදයෙන්ම අවුත් “කිම දේවයන් වහන්ස! සුවසේ සැතපුනේද?” කියා සැපවත් නින්ද පිළිබඳව විමසූහ. රජ තෙමේ “ආචාර්යවරුනි, මට සැපයක් නම් කොයින්ද? මෙබඳු සිහිනයක් දුටුවෙමි” යි ප්‍රකාශ කළේ ය.

ඉක්බිති ඔහුට සේනක පඬිතුමා පැවසූයේ “මහරජතුමනි! බිය නොවන්න. මෙය මංගල සිහිනයකි. මෙය අභිවෘද්ධියක්ම වන්නේයැ” කියා කුමන කරුණක් නිසාදැයි ඇසූ විට මෙසේ කීය. “මහරජතුමනි. පණ්ඩිතයන් වූ අප සතර දෙනා අභිභවනය කොට, ප්‍රභායෙන් තොර කොට, අන්‍ය වූ පස්වැනි පණ්ඩිතයෙක් පහළ වන්නේ ය. අපි සතරදෙනා ගිනිකඳු සතර මෙන් ද, යාගය මැද හටගත් ගින්නක් මෙන් පස්වැනි පණ්ඩිතයෙක් ලොව පහළ වන්නේ ය. දෙවියන් සහිත ලෝකයෙහි අසමාන වූ, අසම වූ ධුර ඇත්තේ ය.”

“දැන් ඔහු කොහි සිටින්නේ ද?”

“මහරජතුමනි! අද ඔහු පිළිසිඳ ගැනීම හෝ මව්කුසින් නික්මීම හෝ වන්නේයැ” යි තමන්ගේ ශිල්ප බලයෙන් දිවැසින් දුටුවාක් මෙන් විස්තර කළේ ය.

රජ තෙමේ එතැන් පටන් ඒ වචනය සිහිපත් කළේ ය. මිථිලා නුවර වනාහි සිව් දොරටු වල, පැසුළු යව මැදුන්ගම, දකුණු යව මැදුන්ගම, උතුරු යව මැදුම්ගම ආදී නියම්ගම් සතරකි. ඒවා අතුරෙන් පැසුළු යවමැදුම්ගම් සිරිවඩ්ඩ නම් සිටුවරයෙක් සිටියේ ය. ඔහුගේ බිරිඳ සුමනා දේවියයි. මහා සත්ත්වයන් වහන්සේ එදවස රජු විසින් සිහිනය දකින ලද වේලාවෙහි ම තව්තිසා දෙව්ලොවින් චුතව ඇගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. අනික් දේවපුත්‍රයන් දහසක් ද තව්තිසා දෙව්ලොවින් චුතව ඒ ගමෙහි ම සිටු, උපසිටු ආදීන්ගේ කුලවල පිළිසිඳ ගත්හ.

සුමනා දේවිය දසමසක් ඇවෑමෙන් රන්වන් පුතකු වැදුවා ය. ඒ මොහොතෙහි ශක්‍රයා මිනිස් ලොව දෙස බලන්නේ මහා සත්ත්වයන් වහන්සේ මව්කුසින් බිහිවන බව දැනගෙන ‘මේ බුද්ධාංකුරයා දෙවියන් සහිත ලෝකයෙහි ප්‍රකට කිරීමට වටනේයැ’ යි මහා සත්ත්වයන් වහන්සේ මව්කුසින් නික්මෙන කල්හි නොපෙනෙන විලාශයෙන් අවුත් ඔහුගේ අතෙහි එක් ඖෂධ ගැටයක් තබා සිය පුරයටම ගියේ ය. මහා සත්ත්වයන් වහන්සේ එය අතෙහි මිට මොළවා ගත්තේ ය. ඔහු මව් කුසින් බිහිවන කල්හි මවට අල්පමාත්‍ර වූද දුකක් ඇති නොවී ය. ඩබරාවකින් වැහෙන දියත්තක් මෙන් පහසුවෙන් හා සුවයෙන් නික්මුණු සේක.

මව ඔහුගේ අතෙහි බෙහෙත් ගැටයක් දැක, “දරුව, මේ කුමක් ලබන ලද්දේදැ” යි ඇසීය. “මැණියනි! ඖෂධයක් යැ”‘ යි දිව්‍ය ඖෂධය මෑණියන්ගේ අතෙහි තැබී ය.

“මැණියනි! මෙය ගෙන යම්කිසි රෝගයකින් පෙළෙන අය සිටිත් නම් ඒ අයට දෙන්න” යැයි කීය. ඇය තුටුපහටු වූවා සිරිවඩු සිටුතුමාට දැන්වූවා ය. ඔහුට වනාහි වර්ෂ හතක් පැරණි හිසරුජාවක් ඇත. ඔහු බොහෝ සතුටට පත්ව ‘මෙ තෙමේ මව් කුසින් බිහිවන්නේ ඖෂධයක් ගෙන ආවේයැ’ යි උපන් විගසම මව සමග කීවේ ය. මෙබඳු වූ පුණ්‍යවන්තයකු විසින් දෙන ලද ඖෂධය මහා ආනුභාව ඇත්තේ වන්නේය’ යි සිතා, ඒ ඖෂධය ගෙන ගලක අතුල්ලා ඉන් ස්වල්පයක් නළල අග තැවරි ය. වර්ෂ හතක් පැරණි හිසරුජාව නෙලුම් පතකින් ජල බිඳුවක් මෙන් පහව ගියේ ය.

ඔහු, එය මහානුභාව සම්පන්න ඖෂධයක් යැයි මහත් සතුටට පත්විය. මහා සත්ත්වයන් වහන්සේ ඖෂධයන් ගෙන මෙලොවට පැමිණි බව සැම තන්හි ප්‍රකට විය. යම් ඒ ආබාධිත කෙනෙක් වෙත්ද ඒ සියල්ලෝ ම සිටුතුමාගේ නිවසට ගොස් බෙහෙත් ඉල්ලති. ගලෙක අතුල්ලා ටිකක් ගෙන ජලය හා මුසුකොට සියලු දෙනාටම දෙත්. දිව්‍ය ඖෂධය ශරීරයේ ස්පර්ශ කළ පමණින්ම සියළු ආබාධයෝ සංසිඳෙත්. ඒ සුවපත් වූ මිනිස්සු ‘සිරිවඩු සිටුතුමාගේ නිවසේ ඇති ඖෂධය මහත් වූ අනුභාව සම්පන්නයැ’ යි වර්ණනා කරමින් නික්ම යත්.

මහා සත්ත්වයන් වහන්සේට නම් තබන දිනයෙහි ‘මාගේ පුත්‍රයාට මුතුන් මිත්තන්ගේ නාමයෙන් ඵලයක් නැත. ඖෂධ නාමයම වේවා’ යි කියා ඔහුට ‘මහෝෂධ කුමාරයා’ යැයි නම් කළේ ය. මෙබඳු අදහසක් ද ඔහුට ඇතිවිය. “මහා ප්‍රාඥ වූ මාගේ පුත්‍රයා තනියම උපන්නේ නොවේ. මොහු සමග උපන් දරුවන් සිටිය යුතුයි”. ඔහු බලන්නේ දරුවන් දහසක් උපත් බව අසා සියල්ලන්ට ම කුමාර ඇඳුම් පැළඳුම් ආදිය දී කිරිමව්වරුන් යැවී ය. “මාගේ පුත්‍රයාගේ සහායකයන් වන්නාහ” යි බෝධිසත්ත්වයන් සමගම මඟුල් උත්සව කළහ. දරුවන් සරසා දිනපතා මහාසත්ත්වයන්ට උපස්ථාන පිණිස ගෙනෙත්, බෝධිසත්ත්වයෝ ඔවුන් සමග ක්‍රීඩා කරන්නේ වැඩී සත්වස් වියෙහි දී රන් ප්‍රතිමාවක් මෙන් රූමත් විය.

ඉක්බිති, ගම් මැද ඔවුන් සමග ක්‍රීඩා කරන්නා වූ ඔවුන්ගේ ක්‍රීඩා මණ්ඩපය ඇත් ආදීන් එන කල්හි බිඳෙයි. තදින් සුලඟ හා අව්ව ඇති කල්හි දරුවෝ වෙහෙසට පත්වෙත්. එක් දිනක් ක්‍රීඩා කරන විට අකාල වර්ෂාවක් වැස්සේ ය. එය දැක, හස්ති බල ඇති මහා සත්ත්වයෝ දුව විත් එක් ශාලාවකට පිවිසියේ ය. අනිත් දරුවෝ පසුපසින් දුවන්නාහු ඔවුනොවුන් පා පැකිළී දණහිස් බිඳීම් ආදියට පත්වූහ.

බෝධිසත්ත්වයෝ මේ තැන ක්‍රීඩා ශාලාවක් කළ යුතුයයි ද මෙසේ පීඩාවට පත්වීම නොවිය යුතුයැයි ද සිතා අනිත් දරුවන්ට කථා කළේ ය.

“මෙතැන සුළං ඇති කල්හි හෝ අව්ව ඇති කල්හි, වර්ෂාව ඇතිකල්හි හෝ නතරවී සිටීමට, හිඳගැනීමට, නිදාගැනීමට හැකිවන පරිදි ශාලාවක් කරවන්නෙමු. එක එක කහවණුව බැගින් ගෙනෙන්න”.

ඒ දහසක් දරුවෝ එසේ කළහ. මහාසත්ත්වයන් වහන්සේ වහා වඩුවකු කැඳවා “මෙතැන ශාලාවක් සාදව” යි කියා දහසක් දුන්නේ ය. හෙතෙම “එසේයැ” යි දහස ගෙන බිම සමතලා කරවා උල්ගසා නූල් ඇද්දේ ය. එය මහා සත්ත්වයන්ගේ සිත් ගත්තේ නොවේ. මහා සත්ත්වයන් වහන්සේ ඔහුට ලණු අදින ආකාරය කියන්නේ “මෙසේ ඉවත් කොට මනාව අදින්නැ” යි කීය.

“ස්වාමීනි! මම තමන්ගේ ශිල්පය පරිදි දිගු කළෙමි, මීට වඩා වෙනස් ක්‍රමයක් නොදනිමි.”

“ඔබ මෙපමණ දෙයක්වත් නොදැන අපේ සිත ගෙන කෙසේ නම් ශාලාවක් කරන්නෙහිද? ගෙනෙව. ඔබට නූල් ඇද පෙන්වන්නෙමි” යි නූලක් ගෙන්වාගෙන තමා විසින්ම ඇද්දේ ය. එය විශ්වකර්මයා විසින් දිගුකරන ලද්දක් මෙන් විය. ඉක්බිති වඩුවාට කීය.

“ඔබට මෙසේ නූල් ඇදිය හැකිදැ” 

“ස්වාමීනි! නොහැක්කෙමි” යි වඩුවා කීය.

“ඉදින් මා කියන ආකාරයට නූල් අදින්නට හැකිද?” 

“ස්වාමීනි! හැක්කෙමි” යි වඩුවා කීය.

එහෙයින් මහා සත්ත්වයන් වහන්සේ ඔහුට නියෝග කළේ ය. වඩුවා ඒ අනුව කළේ ය.

ඒ ශාලාවේ එක් පැත්තක් අනාථයන්ට වාසය කරන්නට ය. අනාථ කාන්තාවන්ට දරුවන් ප්‍රසුත කිරීම සඳහා එක් කොටසකි. ආගන්තුක ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නතරවීම සඳහා එක් කොටසකි. තවත් කොටසක් ආගන්තුක මිනිසුන්ටත්, තවත් කොටසක් ආගන්තුක වෙළඳුන්ගේ භාණ්ඩ තබාගැනීම සඳහාත් ය. එසේම ඒ සියළුම ස්ථාන පිටතට දොරටු සිටින සේ ශාලාවේ නිර්මාණය සකස් කළේ ය. එහිම ක්‍රීඩාගාරයක් ද විනිශ්චය ශාලාවක් ද දහම් සභාවක් ද කරවී ය.

දින කීපයකින් ම ශාලාවේ වැඩ නිමවූ කල්හි චිත්‍ර ශිල්පීන් කැඳවා තමාට අවශ්‍ය පරිදි සිත්කලු චිත්‍ර කර්මාන්ත කරවී ය. ශාලාව සුධර්මා දිව්‍යසභාව හා සමාන විය. ඉක්බිති ‘මෙපමණකින් පමණක් ශාලාව අලංකාර නොවෙයි. පොකුණක් ද කරවිය යුතු යැ’ යි පොකුණක් සාරවා ගඩොල් කර්මාන්තකරුවකු කැඳවා තමාගේ උපදෙස් අනුව දහසක් තැනකින් වක් වූ තොටුපලවල් සියයක් සහිත පොකුණක් කරවී ය. ඒ පොකුණ පස් පියුමෙන් සැදුම්ලත් නන්දන වනයේ පොකුණ මෙන් ශෝභමාන ය. එහි ඉවුරේ මල්, ගෙඩි සහිත නොයෙක් වෘක්‍ෂයන් රෝපණය කරවා නන්දන වනයට සමාන උයනක් කරවී ය. එම ශාලාව ඇසුරුකොට, ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත් ආගන්තුක ගමන් යන්නවුන්ටත් ආහාරපාන දීමට සැලැස්වී ය.

ඔහුගේ එම ක්‍රියාව සැමතැන්හි ප්‍රකට විය. බොහෝ ජනයා එහි රැස් වෙති. මහා සත්ත්වයන් වහන්සේ ශාලාවේ හිඳ පැමිණි පැමිණි අයට කාරණාකාරණා යුතු අයුතුකම් ප්‍රකාශ කළේ ය. විනිශ්චයක් පැවැත්වී ය. එය බුද්ධෝත්පාද කාලයක් මෙන් විය.

ඒ කාලයේ වේදේහ රජු, සත්වසක් ඉක්මගිය කල්හි, “පණ්ඩිතයන් සතරදෙන අපව මැඩපවත්වාගෙන පස්වෙනි පණ්ඩිතයෙක් පහළ වන්නේ යැ’ යි මට කියා ඇත. දැන් ඔහු කොහේදැ” යි සිහිපත් කරමින් “ඔහු වසන තැනක් දැනගනිව්” යැයි කියා දොරටු සතරින් ඇමැතියන් සතර දෙනෙක් පිටත්කර හැරියේ ය. සෙසු දොරටුවලින් නික්මෙන්නාහු බෝධිසත්ත්වයන් නොදැක්කා හ. ප්‍රාචීන දිශාවෙන් නික්මෙන්නා ශාලා ආදිය දැක, ‘පණ්ඩිතයන් විසින් මෙය කරවන්නට හෝ කරන්ට ඇතැයි’ සිතා මිනිසුන්ගෙන් විචාළේ ය.

“මෙම ශාලාව කවරනම් වඩුවකු විසින් කරන ලද ද? මෙය වඩුවකු විසින් තමාගේ දැනුමෙන් කරන ලද්දක් නොවේ.”

“මෙය සිරිවඩු සිටුතුමාගේ පුත්‍රයා වන මහෞෂධ පණ්ඩිතයන්ගේ අදහස අනුව කරන ලද්දකි”

“ඒ පණ්ඩිතයා කොපමණ වයස ඇත්තෙක්ද?”

“පිරිපුන් සත්වස් ඇත්තේයැ” යි කීහ.

ඇමැතිවරයා රජු විසින් සිහිනය දකින ලද දවසේ පටන් ගණන් කර රජුගේ සිහිනය හා සම වෙයි. ඒ පණ්ඩිතයා මොහුම ය කියා රජතුමාට පණිවිඩයක් යැවී ය.

“දේවයන් වහන්ස, පැදුම් යව මැදි ගමේ සිරිවඩ්ඪන සිටුවරයාගේ පුත් මහෞෂධ පණ්ඩිත නම් වූ පිරිපුන් සත්වස් ඇත්තහු විසින් මේ ශාලාව කරවී ය. පොකුණක් ද උයනක් ද කරවීය. මේ පණ්ඩිතයා රැගෙන එන්නද, එපාද?” කියා අසා රජුට හස්නක් යැවීය.

රජු එය අසා ම සතුටු සිතැත්තේ සේනක ඇමැතියා කැඳවා ඒ බව පවසා “කිම සේනක, අපි ඒ පණ්ඩිතයාව ගෙන එවුදැ” යි ඇසීය.

ඔහු පණ්ඩිතයන්ගේ ගුණය ගැන මසුරුකමක් ඇති වී “මහරජතුමනි! ශාලා ආදිය කරවූ පමණින් පණ්ඩිතයෙක් නම් නොවන්නේ ය. යම්කිසි කෙනෙක් මේවා කරවන්නේ නම් එය එතරම් දෙයක් නොවේයැ” යි කීය.

රජු ඔහුගේ කථාව අසා ‘මෙහි යම්කිසි රහසක් තිබිය හැකිය’ යි නිහඬව සිට “එහිම නතරවී පණ්ඩිතයන් විමසීම පමණක් කරව” යැයි දූතයෙක් යැවීය. ඒ අසා ඇමැතිවරයා එහිම වසමින් පණ්ඩිතයන් ගැන තොරතුරු විමසී ය.

එක්දිනක් බෝධිසත්ත්වයන් වහන්සේ ක්‍රීඩා මණ්ඩපයට යන්නේ එක් උකුස්සෙක් මස් ලෑල්ලකින් මස් වැදැල්ලක් ගෙන අහසට නැංගේ ය. ඒ දැක දරුවෝ මස්වැදැල්ල බිම හෙළවන්නෙමු’ යි උකුස්සා ලුහුබැන්දාහ. උකුස්සා ඒ අත මේ අත දුවයි. ඔවුහු අහස දෙස බලාගෙන උකුස්සා පසුපස යන්නාහු ගල් ආදියෙහි හැපී වෙහෙසට පත්වෙති. ඉක්බිති පඬිතුමා ඔවුන්ට මෙසේ කීය.

“මම එය හරවන්නෙමියි”

“ස්වාමීනි! අත්හරවන්න”

“එසේ නම් බලව්” යැයි කීය.

ඔහු උඩ නොබලාම වාත වේගයෙන් දුවගොස් උකුස්සාගේ සෙවණැල්ල පාගා මහා හඬක් නැගී ය. ඔහුගේ තේජසින් ඒ හඬ උකුස්සාගේ උදරය විනිවිද ගියාක් මෙන් විය. ඌ බියපත්ව මස්වැදැල්ල අත්හැරියේ ය. මහා සත්ත්වයන් වහන්සේ මස් කෑල්ල අත්හළ බව දැනගෙන සෙවනැල්ල දෙස බලමින් බිම වැටීමට ඉඩනොදී උඩදීම අල්ලා ගත්තේ ය. ඒ පුදුමය දැක මහජනයා හඬදෙමින්, අත්පොළසන් දෙමින් මහා හඬක් නැඟුහ. ඇමැතියා ඒ පුවත දැනගෙන රජුට හස්නක් යැවී ය.

“පණ්ඩිතයා මෙවන් වූ උපායකින් මස්වැදැල්ල හරවාපී ය. මෙය ඔබවහන්සේ දැනගනීවා”

මේ පුවත අසා රජතෙමේ සේනකගෙන් විචාළේ ය. “කෙසේද සේනක? අපි පණ්ඩිතයාව රැගෙන එමුද?”

ඔහු මෙසේ සිතී ය. “ඔහු මෙහි පැමිණි කාලයේ පටන් අපි ආලෝකයෙන් තොර වූවෝ වෙන්නෙමු. අප සිටින බවවත් රජු නො දකින්නේ ය. ඒ නිසා ඔහුව මෙහි ගෙන එන්නට ඉඩ නොදිය යුතුය” යි හෙතෙම ගුණමකු බව නිසා “මහ රජතුමනි! එපමණකින් පණ්ඩිත නොවෙයි. මෙය වනාහි සුළු දෙයකි” යැයි කීය. රජු මධ්‍යස්තව සිට එහිදීම ඔහුව විමසා බලන්න යැයි නැවතත් හසුනක් යැවී ය.

මැදුම් යව ගම්වැසි පුරුෂයෙක් වැසිවට කල්හි කුඹුර සාන්නෙමියි වෙනත් ගමකින් ගොනුන් මිලට ගෙන අවුත් ගෙදර වැස, ඊලඟ දවසේ තණ කැවීම සඳහා තණ පිට්ටනියට ගෙන ගොස් ගොනුපිට සිටියේ, වෙහෙසට පත්ව ඉන් බැස ගසමුල සිටියේ නින්දට වැටුනේ ය. ඒ වේලාවේ එක් සොරෙක් ගවයන් රැගෙන පලා ගියේ ය. ඔහු පිබිද ගවයන් නොදැක එහෙ මෙහෙ බලා ගවයන් රැගෙන පලායන සොරු දැක වේගයෙන් හඹාගොස්, “මාගේ ගවයන් කොහි ගෙනයන්නේදැ” යි ඇසී ය.

“මගේ ගවයන් මා කැමැති තැනකට ගෙනයමි” යි ඔහු කීය.

ඔවුන්ගේ විවාදය අසා මහජනයා රැස්වූහ. පණ්ඩිතයෝ ශාලා දොරටුවෙන් යන්නා වූ ඔවුන්ගේ හඬ අසා ඔවුන් දෙදෙනාව ම කැඳවා ඔවුන්ගේ හැසිරීම දැක ම මොහු සොරු ය. මොහු ස්වාමියා යැයි දනී. එසේ දැනගෙනත් විවාද කරන්නේ ඇයිදැයි ඔවුන්ගෙන් ඇසී ය. ගවයන් හිමි තැනැත්තා මෙසේ කීය.

“මම මේ ගවයන් අසවල් ගමෙන් අසවලාගෙන් මිළට ගෙන අවුත් ගෙදර තබාගෙන තණ පිට්ටනියට ගෙන ගියෙමි. එහිදී මාගේ ප්‍රමාදයක් දැක මේ තැනැත්තා ගවයන් රැගෙන පලා ගියේ ය. ඒ මම ඒ මේ අත බලන්නේ මොහුව දැක ලුහු බැඳ ගොස් අල්ලා ගත්තෙමි, අසවල් ගම්වැසියා මා විසින් මේ ගවයන් මිලදී ගත්බව දනී” යැයි ද කීවේ ය.

සොරා මෙසේ කියයි. “මේ මාගේ ගෙදර උපන් ගවයන් ය. මොහු බොරු කියයි” යි කීවේ ය.

ඉක්බිති පඬිතුමා ඔවුන්ට මෙසේ කීය. “මම ඔබලාගේ නඩුව ධර්මයෙන් විසඳමි. විනිශ්චයෙහි සිටින්නහුද?” යි විචාරා “එසේයැ” යි කී කල්හි “මහාජනයාගේ අදහස් දැනගැනීම ද වටිනේය” යැයි පළමුව සොරාගෙන් ප්‍රශ්න කළේ ය.

“නුඹ විසින් මේ ගවයන්ට මොනවා කවන ලද ද? මොනවා පොවන ලද ද?”

කැඳ පොවන ලද බවත්, තල, පිටි, මෑ ඇට ආදිය කවන ලද බවත් පැවසී ය. ඉක්බිති ගව හිමියාගෙන් විචාළේ ය. ඔහු මෙසේ කීය.

“ස්වාමීනි! දුප්පත් මට කැඳ ආදිය නැත. තණ කොල කවන ලදී.”

පඬිතුමා ඔවුන්ගේ කථාව මහජනයාට දන්වා, පියඟු කොල ගෙන්වාගෙන වංගෙඩියේ ලා කොටා ගවයන්ට පෙවී ය. ගවයෝ තණකොලම වැමැරූහ. පඬිතුමා “මෙය බලන්න” යැයි මහජනයාට පෙන්වා සොරාගෙන් විචාළේ ය.

“ඔබ සොරෙක්ද, නැද්ද?”

සොරෙක්මියි පිළිතුරු දුන්නේ ය.

“එසේ නම් මෙතැන් පටන් මෙබඳු දේ නොකරව”

බෝධිසත්ත්වයන්ගේ පරිවාර ජනයා ඔහුව බැහැරට ගෙන ගොස් අතින් පයින් තලා දුර්වල කළහ. ඉක්බිති පඬිතුමා ඔහු අමතා අවවාද කොට “තොප ඇස් ඉදිරිපිට මේ දුක් විඳින්නෙහි, පරලොවදී වනාහි නිරයාදියෙහි මහත් වූ දුකක් අනුභව කරන්නෙහි ය. මෙතැන් පටන් මේ වැරදි ක්‍රියාව අතහරුව” යි පන්සිල් දුන්නේය.

ඇමැතියා ඒ පුවත ඇති පරිදි රජුට සැල කළේ ය. මේ පුවත අසා රජතෙමේ සේනකගෙන් විචාළේ ය. “කෙසේද සේනක? අපි පණ්ඩිතයාව රැගෙන එමුද?”

ඔහු මෙසේ සිතී ය. “ඔහු මෙහි පැමිණි කාලයේ පටන් අපි ආලෝකයෙන් තොර වූවෝ වෙන්නෙමු. අප සිටින බවවත් රජු නො දකින්නේ ය. ඒ නිසා ඔහුව මෙහි ගෙන එන්නට ඉඩ නොදිය යුතුය” යි හෙතෙම ගුණමකු බව නිසා “මහ රජතුමනි! එපමණකින් පණ්ඩිත නොවෙයි. මෙය වනාහි සුළු දෙයකි” යැයි කීය. රජු මධ්‍යස්තව සිට එහිදීම ඔහුව විමසා බලන්න යැයි නැවතත් හසුනක් යැවී ය.

(මෙසේ සියලු වාදයන්හිදී දතයුතුයි. මෙයින් පසුව වනාහි උදාන වාක්‍ය පමණක් වෙන්කර දක්වන්නෙමු)

*****************************************************

එක් දුප්පත් කතක් නොයෙක් වර්ණයෙන් යුත් නූලින් ගැට බැඳ කරන ලද නූල් කැටිවලින් සාදන ලද පළඳනාවක් ගෙලෙන් ගලවා සළුව මතුපිට තබා පණ්ඩිතයන් විසින් කරන ලද පොකුණට නාන්නට බැස්සේ ය. වෙනත් තරුණ කතක් එය දැක ලෝභ උපදවා එය ඔසවා “මෑණියනි! මෙය අතිශයින් දැකුම්කළු ය. මෙය මොනවායින් කරන ලදද? මම ද මට මෙයින් එකක් කරන්නෙමියි” ගෙලෙහි පැළඳ එහි ප්‍රමාණය බලන්නෙමි’ යි කී කල්හි ඇගේ අවංකකම නිසා එසේ පැළඳ බලන්නයැයි කී කල්හි ගෙලෙහි පැළඳගෙන පලා ගියා ය. අනිත් තැනැත්තිය එය දැක වහා ගොඩට අවුත් සළුව හැඳ පසුපස දුවගොස් “මාගේ පළඳනාව ගෙන කොහි යන්නේදැ” යි කියා සළුවෙන් අල්ලා ගත්තේ ය. අනිත් තැනැත්තිය (සෙර) “මම නුඹ සතුවක් නොගත්තෙමි. මගේ ගෙලේ ඇත්තේ මගේ පළඳනාවයි” කියා කීවා ය.

ඒ අසා මහජනයා එතැනට රැස්වූහ. පණ්ඩිතයෝ දරුවන් සමග ක්‍රීඩා කරන්නේ කෝළාහල කරමින් ශාලා දොරටුවෙන් යන්නා වූ ඔවුන්ගේ ඝෝෂාව අසා “මේ කවර හඬක්දැ” යි අසා දෙදෙනාගේ කලහයට හේතු වූ කරුණ අසා ඔවුන් කැඳවා ස්වරූපයෙන්ම ‘මේ සෙරය. මේ සෙර නොවේය’ කියා දැනගෙන, ඒ කාරණය අසා “මාගේ විනිශ්චයෙහි පිහිටන්නාහු දැ” යි විචාරා “එසේයැ” යි කීකල්හි පළමුව සෙරගෙන් ඇසීය.

“නුඹ මේ පළඳනාව පළඳන්නී කවරනම් සුවඳ වර්ගයක් ඇඟ ගල්වන්නීදැ” යි ඇසීය.

“මම නිරන්තරයෙන් ‘සබ්බ සංහාරක’ නම් වූ සුගන්ධාලේපය ආලේප කරමි” යි කීවා ය.

සබ්බ සංහාරක යනු සියළු සුවඳ වර්ග යොදා සාදන ලද සුවඳ වර්ගයකි. අනතුරුව අනික් තැනැත්තියගෙන් විචාළේ ය. ඇය මෙසේ කීවා ය.

“දුප්පත් වූ මට සබ්බසංහාරක කොයින්ද? මම නිරන්තරයෙන් පියඟු මල් සුවඳ ආලේප කරමියි” කීවා ය.

පණ්ඩිතයාණෝ ජල පාත්‍රයක් ගෙන්වාගෙන ඒ ආභරණය දමා සුවඳ වර්ග පිළිබඳ දන්නකු කැඳවා “මේ වතුර භාජනය කවර සුවඳදැයි බලා කියන්නැ” යි කීය.

ඔහු සුවඳ විමසා බලන්නේ පියඟු මල් සුවඳ බව දැනගෙන ඒ බව කීය.
මහා සත්ත්වයෝ ඒ කාරණය මහජනයාට දන්වා “ඔබ සෙරක් ද? සෙරක් නොවන්නී ද?” කියා අසා සෙර බව ඒත්තු ගැන්වී ය. එතැන් පටන් මහා සත්ත්වයන්ගේ පණ්ඩිත බව මහජනයාට ප්‍රකට විය.

එක් කපුකෙතක් රකින ස්ත්‍රියක් කෙත රකින්නී එහිම පිරිසිදු පුලුන් ගෙන ඉතා සියුම් නූලක් අඹරා පන්දුවක් කොට උකුලෙහි ගසාගෙන ගමට එන්නී පණ්ඩිතයන්ගේ පොකුණෙහි තාන්නෙමියි සලුව මත්තෙහි නූල්පන්දුව තබා නාන්නට බැස්සේ ය. එක් ස්ත්‍රියක් එය දැක හටගත් ලෝභ සිතැත්තී එය ගෙන, “අහෝ! මෑණියනි! ඔබ විසින් සිත්ගන්නා නූලක් කටින ලදැයි” කියා අසුර ගසා බලන්නාක් මෙන් ඉණෙහි තබාගෙන යන්ට ගියා ය. (එය පෙර පරිද්දෙන්ම විස්තර දැනගත යුතුයි.)

පණ්ඩිතයෝ සෙරගෙන් විචාළහ.

“නුඹ නූල් පන්දුව සාදනවිට කුමක් ඇතුලතට තබා එය කළේද?”

“ස්වාමීනි, කපුගෙඩියක ඇටයය”

අනික් තැනැත්තියගෙන් ද විචාළහ. ඇය තිඹිරි ඇටයයි කීවා ය. ඔහු දෙදෙනාගේම කථාව පිරිසට දන්වා නූල්පන්දුව පලා තිඹිරි ඇට දැක ඒ සෙර බව පිළිගැන්වී ය. මහජනයා තුටු පහටු වූයේ නඩුව මනාව විසඳන ලද්දේ යැයි දහස්වර සාදුකාර දුන්හ.

එක් ස්ත්‍රියක් දරුවකු ගෙන මුව සේදීම පිණිස පණ්ඩිතයන්ගේ පොකුණට ගොස් පුතා නහවා තමන්ගේ සළුවෙහි හිඳුවා මුහුණ සෝදා නාන්නට බැස්සා ය. ඒ වේලාවේ එක් යකින්නක් ඒ දරුවා දැක කනු කැමැත්ති වී ස්ත්‍රී වේශයක් මවාගෙන “මිතුරිය! මේ දරුවා දර්ශනීයයි. මේ ඔබගේ පුත්‍රයාදැ” යි ඇසීය. “එසේය මෑණියනි” යැයි කීකල්හි “මම ඔහුව බලා ගන්නම්” යැයි කී විට “රැකබලා ගන්න” යැයි කියද් දී දරුවා ගෙන ටික වේලාවක් ක්‍රීඩාකොට රැගෙන පලායන්ට විය. අනික් තැනැත්තිය එය දැක දුව ගොස් “මාගේ පුත්‍රයාව කොහි ගෙනයන්නේදැ” යි අල්ලා ගත්තා ය. “ඔබට පුතෙක් කොයින්ද? මේ මාගේ පුත්‍රයා” යැයි යක්‍ෂණීය කීවා ය. කලහ කරන්නියෝ ශාලා දොරෙන් යත්.

පණ්ඩිතයෝ කෝලාහල ශබ්දය අසා ඔවුන් කැඳවා මේ කුමක්දැයි විචාරා නඩුව අසා, ඇසිපිය නොහෙලීම නිසාද ඇස්වල රතුපාට නිසාද යක්ෂණියක් යැයි දැනගෙන ද මාගේ විනිශ්චයෙහි පිහිටන්නහුදැයි අසා එසේය කියා කී කල්හි ඉරක් ඇඳ ඉර මැද දරුවා තබා, යක්‍ෂණීය ලවා පාවලින් ද මව ලවා අත්වලින් ද අල්ලාගෙන දෙදෙනාම ඇදගන්න, තමන්ගේ පැත්තට ඇද ගන්නට හැකි වන්නියට දරුවා අයත් වෙයි යි කීය. ඒ දෙදෙනාම ඇද්දාහ. දරුවා අදිනු ලබන්නේ දුකට පත්ව හැඬුවේ ය. මව හදවත පැලුනාක් මෙන් දරුවා අතහැර හඬමින් සිටියා ය. පණ්ඩිතයෝ මහජනයාගෙන් විචාළාහ.

“දරුවන් කෙරෙහි මෘදු බවට පත්වන්නේ මාතෘ හදවතද? එසේ නැතහොත් මව් නොවන තැනැත්තියගේ හදවතද?

“පණ්ඩිතයෙනි! මවගේ හදවතයැ”

“දැන් මෙහි දරුවා අල්ලාගෙන සිටින්නේ මව ද? අත්හැර සිටින්නේ මව ද?”

“පණ්ඩිතයෙනි, අත්හැර සිටිය තැනැත්තිය මව ය”

“මැය වනාහි දරුවන් සොරකම් කරන්නියකි. නුඹලා දන්නහුද?”

“පණ්ඩිතයෙනි! නොදනිමු”

“මේ යක්‍ෂණිය දරුවා කෑමට ගන්නේ ය”

“පණ්ඩිතයෙනි! කෙසේ දන්නෙහිද?”

“ඇසිපිය නොහෙළීම ද ඇස් රතුවීම ද සෙවනැල්ලක් නැතිවීම ද සැකයක් නැති බැවින් ද කරුණා විරහිත බැවින් ද යන හේතුන්ගෙනි”

ඉක්බිති “නුඹ කවර තැනැත්තියකක්දැ” යි ඇගෙන් විමසීය.

“ස්වාමීනි! යක්‍ෂණියක් වෙමි”

“අන්ධබාල තැනැත්තිය, පෙරද පවුකම් කොට යක්‍ෂණියක් වූවා ය. දැන් නැවත ද පව් කරන්නෙහි. අහෝ අඳබාල තැනැත්ති” යැයි අවවාද දී පන්සිල්හි පිහිටුවා පිටත්කර හැරියේය. දරුවාගේ මව “ස්වාමීනි, බොහෝ කල් ජීවත්වෙන්න” යැයි පණ්ඩිතයන්ට ප්‍රශංසා කොට දරුවා රැගෙන නික්ම ගියා ය.

*****************************************************

මිටි බැවින් ගෝළ නම් ද කාළවර්ණ බැවින් කාලෝ නම් ද වූ  ‘ගොළකාලා’ නම් වූ පුරුෂයෙක්, වර්ෂ හතක් ගෙදරක මෙහෙකාරකම් කොට භාර්යාවක් ලබාගත්තේ ය. ඕ නමින් දික්තලා වූවා ය. ඔහු එක්දිනක් ඇය අමතා “සොඳුර, කැවුම් ආදි කැවිලි පිසින්න. මව්පියන් දකින්නට යමු” යි කියා “මව්පියන්ගෙන් ඔබට කවර වැඩක්දැ” යි ඇය විසින් ප්‍රතික්‍ෂේප කළ කල්හි තුන්වන වරත් කියා කැවුම් පිසවාගෙන මගට අවශ්‍ය දේ ද තෑගි බෝග ද රැගෙන ඇය සමග මගට පිළිපන්නේ අතරමග නොගැඹුරු ගංගාවක් දුටුවේ ය. ඒ දෙදෙනාම වනාහි ජලයට බිය වූ අය වූහ. ඒ නිසා ඒ නදිය තරණය කරන්නට උනන්දු නොවී ගංඉවුරේ සිටියාහ.

එකල්හි ‘දික්පිටියා’ නම් වූ එක් දුප්පත් මිනිසෙක් ඒ නදිය අසල ගැවසෙන්නේ එතැනට පැමිණියේ ය. ඔවුහු ඔහුව දැක විචාලාහ.

“යහළුව! මේ නදිය ගැඹුරු නැද්ද?” කියා ඇසීය.

“ඉතා ගැඹුරු ය. මිනී කන මත්ස්‍යයෝ ද සිටිත්ය”

“මිතුර, ඔබ කෙසේ යන්නෙහිද?”

“මෙහි කිඹුල් හා මකරුන් අපව හඳුනන බැවින් අපට හිංසා නොකරත්”

“එසේ නම් අපව ගෙනයන්න” යැයි කීවාහු ය.

“එසේයැ” යි ඔහු පැවසීය.

ඉක්බිති ඔහුට ආහාරපාන දුන්හ. ඔහු කරන ලද බත්කිස ඇත්තේ “යහළුව, කවුරුන් පළමුව ගෙන යන්නදැ?” යි විචාළේ ය.

“තොපගේ බැදෑනියන් දෑ පළමුව ගෙන යව, මා පසුව ගෙන යව” යි කී කල්හි “යහපතැ” යි ඇයව කරේ තබාගෙන මාර්ගෝපකරණ හා තෑගිබෝග ආදි සියල්ල ද ගෙන ගඟට බැස, ටික දුරක් ගොස් ඇන තබා හිඳගෙන යන්ට විය. ගෝළකාළ ද ගංඉවුරේ සිට ‘මේ නදිය උස තැනැත්තාට මෙතරම් ගැඹුරු නම් එය මට කෙසේ වේදැ’ යි සිතීය.

අනික් තැනැත්තේ ද ගඟ මැදට ගෙන ගොස් “සොඳුර, මම ඔබ පෝෂණය කරමි, වස්ත්‍රාලංකාර ආදියෙන් යුක්තව දැසිදස් ජනයා පිරිවරා සිටින්නෙහි ය. මේ මිටි වාමනකයා ඔබට කුමක් කරන්නේද? මාගේ වචනය කරන්න” යැයි කීය. ඇය ඔහුගේ වචනය අසා තමාගේ සැමියා කෙරෙහි ඇති සෙනෙහස බිඳ දමා ඒ මොහොතේම ඔහු කෙරෙහි බැඳුනු සිතැත්තේ වී “ස්වාමීනි, ඉදින් මා අත්නොහරින්නෙහි ද? ඔබගේ වචනය කරන්නෙමි” යි කීය.

ඔවුහු එගොඩටට ගොස් දෙදෙනාම සතුටු වී ගෝළකාළව අතහැර “ඔබ සිටින්න” යැයි කියා ඔහු බලාසිටියදී ම ආහාර අනුභව කරමින් පිටත්ව ගියහ.
ඔහු ඒ දැක ‘මොවුහු එකතු වී මා හැරදමා පළායත්’ යැයි සිතා එහෙ මෙහෙ දුවන්නේ තරමක් ජලයට බැස බියෙන් නතර වී නැවත ඔවුන් කෙරෙහි කෝපයෙන් “ජීවත්වෙමි,නැත්නම් මැරෙමියි” ගඟට බැස නොගැඹුරු බව දැනගෙන ගඟෙන් එගොඩ වී වේගයෙන් ඔහු වෙතට පැමිණ “එම්බා දුෂ්ට වූ චෞරය, මාගේ බිරිය කොයි ගෙන යන්නෙහිදැ?” යි ඇසීය.

අනිත් තැනැත්තා ද “එම්බා දුෂ්ට වාමනය, ඔබට භාර්යාවක් කොයින්ද? මේ මාගේ භාර්යාව” යැයි කියා ගෙලෙන් අල්ලාගෙන බිම දැම්මේ ය. හෙතෙම දික්තලාව අතින් අල්ලාගෙන “සිටුව, කොහි යන්නෙහිද? අවුරුදු සතක් ගෙයි වැඩ කොට ලබන ලද බිරිය” යැයි කියා ඔහු සමග කලහ කරන්නේ ශාලාව සමීපයට පැමිණියේ ය. මහජනයා රැස්වූහ.

මහා සත්ත්වයන් වහන්සේ මේ ඝෝෂාව කුමක්දැයි විමසා ඔවුන් දෙදෙනාම කැඳවා වචන හා පිළිතුරු වචන අසා මාගේ විනිශ්චයෙහි පිහිටන්නහු දැයි අසා එසේ යැයි කී කල්හි පළමුව දික්පිටියා කැඳවා ඔබගේ නම කුමක්දැයි ඇසීය.

“ස්වාමීනි! මම දික්පිටියා වෙමියි”

“ඔබගේ භාර්යාවගේ නම කුමක්ද?”

හෙතෙම ඇගේ නම නොදන්නේ වෙනත් නමක් කීවේ ය.

“ඔබගේ මව්පියන්ගේ නම් මොනවාද ?” අසවල් නම් යැයි කීය.

“භාර්යාවගේ මව්පියන්ගේ නම් මොනවාද?” ඔහු එය නොදැන වෙනත් නම් කීය.

ඉක්බිති ඔහුගේ කථාව පැමිණි පිරිසට දන්වා එතනින් ඉවත්කර අනිකා කැඳවා පෙර පරිදිම සියල්ලන්ගේම නම් ඇසී ය. ඔහු නියම ලෙස දන්නේ නොපැකිල කීවේ ය. ඔහුව ද ඉවත්කර දික්තලාව කැඳවා “ඔබ කිනම් ඇත්තේදැයි” ඇසී ය.

“ස්වාමීනි, මම දික්තලා වෙමි”

“ඔබගේ සැමියාගේ නම කුමක්ද?”

ඇය නොදන්නී වෙනකක් කීවාය.

“ඔබගේ මව්පියන් කවර නම් ඇත්තහුද?”

ඇය නියම ලෙසින්ම කීවා ය.

“ඔබගේ සැමියාගේ දෙමව්පියෝ කවර නම් ඇත්තහුද?”

ඇය දොඩවන්නී අනිකක් කීවා ය.

පණ්ඩිතයෝ ඉතිරි දෙදෙනා ද කැඳවා මහජනයාගෙන් ඇසූහ. “මැයගේ කථාව දික්පිටියාගේ වචන හා සමාන වන්නේ ද? නැතහොත් ගෝළ කාළගේ වචන සමගදැ?” යි ඇසූ විට, “ස්වාමීනි. ගෝළකාළගේ වචන සමග” යැයි කීහ.

“මොහු මැයගේ ස්වාමියා ය. අනික් තැනැත්තා සොරායැ” යි කියා ඉක්බිති ඔහුගෙන් අසා ඔහුගේ චෞරභාවය ඔප්පු කළේ ය.

එක් පුරුෂයෙක් රථය නවතා මුහුණ සේදීමට ගියේ ය. ඒ වේලාවේ ශක්‍රදේවේන්ද්‍රයා ආවර්ජනා කර බලන කල්හි පණ්ඩිතයන් දැක බුද්ධාංකුර වූ මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා මහිමය ප්‍රකට කරන්නෙමි’ යි සිතා මිනිස් වෙසකින් අවුත් රථයෙහි පසුපස කොටසින් අල්ලාගෙන ගියේ ය. රථයෙහි සිටියා වූ පුරුෂයා “දරුව, කුමක් නිසා ආවේදැ” යි විචාරා ඔබට සහාය වන්නට යැයි කී කල්හි “යහපතැ” යි උත්තර දී රථයෙන් බැස ශරීරකෘත්‍යය සඳහා පිටතට ගියේ ය. එකෙණෙහි ශක්‍ර දේවේන්ද්‍රයා රථයට නැගී වේගයෙන් පදවාගෙන ගියේ ය. රියහිමියා ශරීර කෘත්‍යය කොට පැමිණියේ ශක්‍රයා රථය ගෙන පලායනු දැක වේගයෙන් ගොස් “නවතිනු, නවතිනු මාගේ රිය කොහි ගෙනයන්නෙහිද? “ කිය. “ඔබගේ රිය වෙනකක් විය හැකිය. මේ වනාහි මගේය” කියා ඔහු හා කෝළාහල කරමින් ශාලාව දොරටුව ලඟට පැමිණියේ ය.

පණ්ඩිතයෝ මේ කුමක්දැයි විමසා ඔහුව කැඳවා එන්නහුව දැකම නිර්භය ස්වරූපය නිසාත් ඇසිපිය නොහෙළන නිසාත් ශක්‍රයා මොහු ය. රිය හිමියා මොහුය කියා දැනගත්තේ ය. මෙසේ වූ කල්හිද විවාද කිරීමට කරුණු විමසා මාගේ විනිශ්චය පිළිගන්නහුදැයි විචාරා, එසේයැයි කී කල්හි “මම රථය පදවන්නෙමි, නුඹලා දෙදෙනා ද රථය පසුපසින් අල්ලාගෙන යව්. රිය හිමියා අත් නොහරියි. අනිකා අත්හැර දමයි” යැයි කියා රථය පදවන්න යැයි පුරුෂයාට අණ කළේ ය.

ඔහු එසේ කළේ ය. අනික් අය පසුපස රථය අල්ලාගෙන යති. රියහිමියා ටික දුරක් ගොස් දුවන්නට නොහැක්කේ අතහැර සිටියේ ය. ශක්‍රයා රථය සමගම දුවයි. පණ්ඩිතයෝ රිය නතරකර මිනිසුන්ට මෙසේ කීහ.

“මේ පුරුෂයා ටික දුරක් ගොස් රථය අතහැර සිටියේ ය. මොහු වනාහි ඒ සමගම දුව ගොස් රථය සමගම නතර විය. මොහුගේ ශරීරයෙහි දහඩිය බිඳකුදු නැත. ආශ්වාස ප්‍රශ්වාසයක් ද නැත. බියක් නැත. ඇසිපිය නොහෙළන්නේ ය. මේ සක්දෙව් රජය”

ඉක්බිති ඔහුගෙන් දෙව්රජ වන්නෙහිදැ’ යි විචාරා, එසේයැ’ යි කී කල්හි කුමක් නිසා පැමිණියෙහිදැ’ යි අසන ලදුව, “පණ්ඩිතය, ඔබගේ ප්‍රඥාව ප්‍රකට කිරීම සඳහා” යැයි කීය. “එසේ නම් නුඹ විසින් මෙබඳු දෙයක් මින් පසුව නොකළ යුතු” යයි අවවාද කළේ ය. ශක්‍ර දේවේන්ද්‍රයා තම ශක්‍රානුභාවය පෙන්වමින් අහසේ සිට නඩුව මනාව විසඳන ලදැයි පණ්ඩිතයන්ට ස්තුති කොට ස්වකීය භවනයටම ගියේ ය.

එකල්හි ඒ අමාත්‍යයා තෙමේම රජු සමීපයට ගොස් ‘මහරජතුමනි! පණ්ඩිතයන් විසින් මෙසේ රථය පිළිබඳ නඩුව විසඳන ලද්දේයැ’ යි ද ශක්‍රයා එයින් පරාජයට පත්වූයේ යයිද කියා ‘දේවයන් වහන්ස, කුමක් නිසා විශේෂ පුරුෂයන් ගැන නොදන්නේදැ’ යි කීය. රජතුමා සේනකගෙන් විචාළේ ය.

“සේනකය කිම අපි පණ්ඩිතයන් ගෙන්වමුද?”

“මහරජතුමනි! මෙතෙකින් නම් පණ්ඩිත නොවන්නේය. තවත් විමසා බලා දැනගන්නෙමුයි”

******************************************************

ඉක්බිති එක්දිනක් පණ්ඩිතයන්ව පරික්‍ෂා කරමුයැ’ යි කිහිරි දණ්ඩක් ගෙන්වාගෙන එයින් වියතක් පමණ ගෙන ලියනවඩුවකු ලවා මනාව ලියවා පැදුන් යවමැදි ගමට යැවූහ. යව ‘මැදුම්ගම වැසියෝ වනාහි පණ්ඩිතයෝ ය. මේ කිහිරි දණ්ඩකි. අග මෙයයි. මුල මෙයයි කියා දැනගතිත්වා. ඉදින් නොදනිත්ද දහසක් දඩය’ යි කියා යැවීය.

ගම් වැසියෝ එක්රැස් වී එය දැනගන්නට නොහැකි වූවාහු සිටුවරයාට කීහ. “යම්විටක මභෞෂධ පඬිතුමා දන්නේ ද කැඳවා එය අසා දැනගන්න” යැයි කීහ. සිටුවරයා පණ්ඩිතයන්ව ක්‍රීඩා මණ්ඩපයෙන් කැඳවා ඒ කාරණය දන්වා, “දරුව අපි නොදන්නෙමු. දරුව, නුඹ හැකිවන්නේදැ” යි විචාළේ ය. එය අසා පඬිතුමා රජුට මෙහි අගින් හෝ මුලෙන් ප්‍රයෝජනයක් නැත. මා විමසා බැලීම් සඳහා එවන ලදි යැයි සිතා “මෙහි ගෙනෙව් දරුවෙනි. මම දනිමි” යි අතින් ගෙන, ‘මෙය මුලයි, මෙය අගය’ යි දැනගෙන නමුත් මහජනයාගේ සිත දිනා ගැනීම සඳහා ජල භාජනයක් ගෙන්වා කිහිරි දණ්ඩ මැදින් නූලක් බැඳ නූල අගින් අල්ලා ගෙන කිහිරි දණ්ඩ ජලය මතුපිට තැබී ය. මුල බර වැඩි බැවින් පළමුව වතුරෙහි ගිලුනේ ය. ඉක්බිති මහජනයාගෙන් විමසී ය.

“ගසෙහි වනාහි මුල බර වැඩි ද?, නැතහොත් අග බර වැඩිද?” ඔවුහු ‘මුලයැ’ යි කීහ.

“එසේනම් මෙහි මුලින් ගිලුනු පැත්ත බලව්, මේ මුලයැ” යි කීය. මේ සළකුනෙන් අග හා මුල දැක්වීය. ගම්වැසියෝ ද මේ මුලය, මේ අගය කියා රජුට යැවූහ. රජු සතුටු වී කවරෙක් මෙය දැනගත්තේදැයි විචාරා සිරිවඩු සිටුපුත් මහෞෂධ පණ්ඩිතයන් යැයි අසා, “කිම සේනකය, අපි ඔහුව ගෙන්වා ගනිමුදැ” යි විචාළේය. “දේවයන් වහන්ස! ඉවසන සේක්වා. වෙනත් උපායකින් ද ඔහුව විමසා බලමු”

***************************************************

එක්දිනක් ස්ත්‍රියකගේ ද පුරුෂයෙකුගේ ද හිස් කබල් දෙකක් ගෙන්වාගෙන මේ ස්ත්‍රියගේ හිසය. මේ පුරුෂයාගේ හිසය කියා දනිත්වායැයි ද නොදන්නවුන්ට දහසක් දඩයැයිද කියා යැවූහ. ගම්වැසියෝ නොදන්නාහු මහා සත්ත්වයන් වහන්සේගෙන් ඇසූහ. ඔහු දුටු පමණින් ම දැනගත්තේ ය. පුරුෂ හිසෙහි වනාහි හිස්කබලේ මුට්ටුව ඍජු වෙයි. ස්ත්‍රී ශීර්ෂයෙහි ඇදට ඇඹරී යයි. ඔහු මේ සළකුතෙන් මේ හිස ස්ත්‍රියකගේ ය. මේ හිස පුරුෂයකුගේය කියා කීවේ ය. ගම්වැසියෝ රජුට දැනුම් දුන්හ. (ඉතිරිය පෙර පරිද්දෙනි)

***************************************************

ඉක්බිති එක්දිනක් සර්පයකු ද සැපින්නක ද ගෙන්වා ගෙන මේ සර්පයා ය. මේ සැපින්නය කියා දැන ගනිවියැයි යැවූහ. ගම් වැසියෝ පණ්ඩිතයන් විචාළහ. හෙතෙම දකිත්ම දැන ගත්තේය.

සර්පයාගේ නගුට මහත ය. සැපින්නගේ සිහින් ය. සර්පයාගේ හිස මහත ය. සැපින්නගේ දිග ය. සර්පයාගේ ඇස් විශාල ය. සැපින්නගේ කුඩා ය. සර්පයාගේ නයි පෙණයේ ‘ප’ හැඩය ගත් රූපය එකට බැඳී ඇත. සැපින්නගේ එය වෙන්ව පිහිටියේ ය. හෙතෙම මේ සළකුනෙන් මේ සර්පයා ය. මේ සැපින්න යැයි කීවේ ය. (ඉතිරිය පෙර කියූ පරිදිය)

***************************************************

ඉක්බිති එක්දිනක්, ‘පැදුම් යව මැදිගම වැසියෝ අපට සම්පූර්ණ සුදු පාදයෙහි අං ඇති, හිසෙහි මොල්ලියක් ඇති තුන්කල්හි නොඉක්මවා නාදකරන ගවයකු එවන්න. ඉදින් නොවන්නේ නම් දහසක් දඩය’ කියා යැවූහ. නොදන්නාහු පණ්ඩිතයන්ගෙන් විමසූහ. හෙතෙම කීය. “රජු තොපට සම්පූර්ණ සුදුපාට කුකුළෙකු එවන ලෙස දන්වයි. ඒ සතාගේ වනාහි පාදයේ නියපොතු ඇති බැවින් පාද විසාණ නම් වෙයි. හිසෙහි සිළුව ඇති බැවින් සීස කකුධ (මොල්ලිය) නම් වේ. තුන්වරක් හඬලන බැවින් තුන්කල්හි නොවරදවා නාදකරයි නම් වේ. ඒ නිසා මෙබඳු ස්වරූප ඇති කුකුලකු යවව්” යැයි කීය. ඔව්හු යැවූහ.

ශක්‍රයා විසින් කුසරජුට දෙන ලද මැණික අට තැනකින් වක්වූයේ විය. එහි නූල දිරාගියේ විය. කිසිවෙක් පැරණි නූල බැහැරකොට අලුත් නූලක් යොදන්නට අසමත් විය. එක්දිනක්, “මේ මැණිකෙන් පැරණි නුල ඉවත්කර අළුත් නූලක් දමන්ට” යැයි යැවූහ.

ගම්වැසියෝ පැරණි නූල ඉවත්කරන්ට හෝ අළුත් නූලක් දමන්නට හෝ අසමත් වූහ. නොහැක්කාහු පණ්ඩිතයන්ගෙන් ඇසූහ. හෙතෙම නොසිතව් යැයි කියා මීපැණි බිඳක් ගෙනෙයැයි ගෙත්වාගෙන මාණික්‍යයෙහි දෙපැත්තේ ඇති ඡද්‍රාවන්හි මීපැණි තවරා, කම්බිලි වස්ත්‍රයක නූලක් අඹරා, එහි අග මීපැණි ස්වල්පයක් තවරා, සිදුරෙන් ප්‍රවේශ කොට, කුහුඹුවන් නිකුත්වන තැන තැබුවේ ය. කුහුඹුවෝ මීපැණි සුවඳට බිලයෙන් නික්ම මැණිකෙහි ඇති පැරණි නූල කමින් ගොස් කම්බිලි නූල අගින් ඩැහැගෙන අදිමින් එක් පැත්තකින් බැහැරට ගියහ. පණ්ඩිතයෝ එසේ පිවිසි බව දැනගෙන’ රජුට දෙව’ යි ගම්වැසියන්ට දුන්නේ ය. ඔවුහු රජුට යැවූහ. ඔහු නූල දැමූ උපාය ගැන අසා සතුටට පත් විය.

******************************************************

එක්දවසක, රජුගේ මංගල වෘෂභයාව මාස ගණනක් කවා මහා උදරයක් ඇති කොට අං සෝදා තෙල් ගා කහ වතුරෙන් නහවා පැදුම්යව මැදිගම් වැසියන්ට යැවූහ.

“නුඹලා වනාහි පණ්ඩිතයෝ ය. මේ රජුගේ මංගල වෘෂභයා ය. ගැබ් පිහිටා ඇත. මැය වදවා වසුපැටියකු සමග එවන්න, නොඑවන්නන්ට දහසක් දඩ” යැයි ගම්වැසියන්ට දන්වා යැවූහ.

ගම් වැසියෝ වනාහි මෙය කරන්නට නොහැක. කුමක් කරමුද කියා පණ්ඩිතයන්ගෙන් ඇසූහ. මෙය ප්‍රශ්නයක් හා සමාන වූවක් විය යුතුයයි සිතා රජු සමග කථා කිරීමට සමර්ථ විශාරද පුරුෂයෙකු සොයා ගැනීමට හැකිදැයි විචාළේ ය.

“පඬිතුමනි! එය අපහසු දෙයක් නොවේ”

“එසේනම් ඔහුව කැඳවව”

ඔව්හු කැඳවූහ. ඉක්බිති මහා සත්ත්වයන් ඔහුට මෙසේ කීය.

“එම්බා පුරුෂය! ඔබ තමන්ගේ කෙස් පිටදිගේ විසුරුවාගෙන, නොයෙක් ආකාර බලවත් විලාප නගමින් රජගෙයි දොරටුව ලඟට යව, වෙන අය විසින් විචාර කල්හි කිසිවක් නොකියා වැලපෙව්, රජු විසින් වනාහි හැඬීමට කරුණු විචාළ කල්හි ‘දේවයන් වහන්ස! මගේ පියා දරුවකු ප්‍රසූත කරන්නට අසමත් වෙයි. අදට සත් දවසකි. මට පිහිටවන්න. දරුවකු බිහි කිරීමට උපායක් කියන්න’ යැයි කියා කී කල්හි රජු විසින් ‘කිම, නන් දොඩවන්නෙහිද ? මෙය සිදු විය නො හැක්කකි. පුරුෂයෝ වනාහි දරුවන් බිහි නොකරත් යැයි’ කී කල්හි, ‘එසේනම් දේවයන් වහන්ස, මෙය සත්‍යයක් නම් පැදුම් යව මැදි ගම් වැසියෝ කෙසේ නම් මංගල වෘෂභයා ලවා පැටවකු බිහි කරන්නේ කෙසේද?’ කියා කියන්න” යි කීය.

ඔහු එසේ යැයි පිළිතුරු දී එසේ කළේ ය. රජතුමා, මේ ප්‍රශ්නයට සමාන ප්‍රශ්න විසඳුම කවරකු විසින් සිතන ලදදැයි අසා මහෞෂධ පඬිතුමා විසින්යැයි අසා සතුටට පත්විය.

******************************************************

වෙනත් දිනයක පණ්ඩිතයන්ව පරික්‍ෂා කරන්නෙමියි ‘යව මැදුම්ගම වැසියෝ අංග අටකින් යුත් ඇඹුල් බතක් පිස එවත්වා, එහි මේ අංග අට තිබිය යුතුයි. සහල් නොමැති ජලය නොමැති විය යුතුයි. හැලියක නොපිසිය යුතුයි. ලිපක නොපිසිය යුතුයි. ගින්නෙන් නොව, දරවලින් නොව, ස්ත්‍රියක විසින් නොව, පුරුෂයකු විසින් තොව මාර්ගයකින් නොව, නොඑවන්නවුන්ට දහසක් දඩය’ යැයි ගම්වැසියන්ට දන්වා යැවූහ.

ගම්වැසියෝ ඒ කාරණය නොදැන පණ්ඩිතයන්ගෙන් ඇසූහ. හෙතෙම, “නොසිතන්න. සහල් නොවේනම් සුණු සහල් ගෙන්වාගෙන, මැටි භාජනයක් ගෙන්වා, උදුනක නොවේ නම් උල් ගස්සවා, ගින්න නොමැතිව නම් ප්‍රකෘති ගින්න හැර වනයේ ගින්නක් ඇතිකර, දර නොමැතිව නම් කොළ ගෙන්වාගෙන, ඇඹුල් බත පිසවා, අලුත් බඳුනක දමා සීල් තබා ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් නොව නපුංසකයකු ලවා, මාර්ගයකින් තොරව යැයි කියූ නිසා මහාමාර්ගය හැර කුඩා අතුරු පාරකින් රජුට යවව්” යැයි කීය. ඔවුහු එසේ කළහ. රජු කවරකු විසින් ප්‍රශ්නය වටහාගත්තේදැ’ යි අසා මහෞෂධ පණ්ඩිතයන් විසින් යැයි අසා සතුටුවිය.

******************************************************

වෙනත් දිනක පණ්ඩිතයන්ව විමසීම සඳහා ගම්වැසියන්ට පණිවිඩයක් යැවීය. ‘රජතෙම ඔන්චිල්ලාවෙන් ක්‍රීඩා කරන්නට (මංචිලි පදින්නට) ආසා ඇත්තේ රජගෙදර ඇති වැලි යොත පැරණි ය, දිරා ගොස් ය. එක් වැලියොතක් අඹරා එවන්න. නොඑවන්නේ නම් දහසක් දඩ” යැයි දන්වා යැවී ය.

ඔව්හු නොදැන පණ්ඩිතයන්ගෙන් විමසූහ. පණ්ඩිතයෝ මෙය ද ප්‍රශ්නයෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් යැයි සිතා ගම්වැසියන් අස්වසා කථාවෙහි දක්ෂ පුරුෂයන් දෙතුන් දෙනෙක් කැඳවා “යව්, ගොස් රජුට මෙසේ කියව්, ‘යව මැදුම් ගම්වැස්සෝ පැරණි වැලි යොත හීන් එකක් ද මහත එකක් දැයි නොදනිත්. එහෙයින් පැරණි වැලියොතින් වියතක් පමණ හෝ අගල් සතරක් පමණ වූ හෝ කෑල්ලක් දෙනු මැන. එය බලා ඒ ප්‍රමාණයෙන් අඹරත්’ ඉදින් තොපට රජු, ‘අපගේ නිවසෙහි වැලියොතක් නම් කිසිදාක නොවූ විරූ’ යයි කියයි. ඉක්බිති ‘මහරජතුමනි, එවැන්නක් සාදන්නට නොහැකි නම් යවවැදුම් ගම් වැසියෝ කෙසේ නම් වැලියොනක් සාදත්දැ’ යි කියව්.” යැයි පිටත්කර යැවූහ.

ඔවුහු එසේ කළහ. රජු එය අසා කවරකු විසින් මෙබඳු පැන විසඳුමක් සිතන ලදදැයි අසා මෙය පණ්ඩිතයන් විසින් සිතන ලදැයි අසා සතුටු විය.

******************************************************

තවත් දිනක, ‘රජතුමා ජලක්‍රීඩා කරනු කැමැත්තේ පස්පියුමෙන් සැදි අලුත් පොකුණක් එවන්න. නොඑසේ නම් දහසක් දඩ’ යැයි ගම්වැසියන්ට දන්වා යැවූහ. ඔවුහු පණ්ඩිතයන්ට දැන්වූහ. හෙතෙම මෙයද ප්‍රශ්නයෙන් විසඳිය යුතු ප්‍රශ්නයෙකැයි සිතා කථාවෙහි දක්‍ෂ පුරුෂයන් කීපදෙනෙකු කැඳවවයි කියා කැඳවා,

“මෙහි එච්, තෙපි ජලයෙහි ක්‍රීඩා කොට ඇස් රතු කර, තෙත් හිසකෙස් ඇතිව තෙත වස්ත්‍ර ඇතිව මඩ තැවරුණු සිරුරු ඇතිව ලණු, මුගුරු, ගල්කැට ගත් අත් ඇත්තාහු රජගෙදර දොරටුව ලඟට ගොස් එහි සිටින බව රජතුමාට දන්වා යවා ලබන ලද අවසර ඇතිව එහි පිවිස ‘මහ රජතුමනි, ඔබ වහන්සේ යව්මැදුම් ගම්වැසියන්ට පොකුණක් ගෙනෙන්ට යැයි දන්වා තිබුනු බැවින් අපි ඔබවහන්සේට යෝග්‍ය වූ විශාල පොකුණක් ගෙන ආවෙමු. නමුත් ඇය (පොකුණ) වනාහි අරණ්‍යවාසී බැවින් නගරය දැක ප්‍රාකාර, දිය අගල්, අට්ටාල ආදිය දැක බිය වූවා තැතිගත්තී ලණු කඩාගෙන පැනගොස් කැලයට ම පිවිසියා ය. අපි ගල්දඬු ආදියෙන් තලා නතරකර ගැනීමට සමත් නොවීමු. ඔබවහන්සේ වනාහි වනයෙන් ගෙනෙන ලද පැරණි පොකුණ අපට දෙන්න. එය අනික හා ඇමට යොදා අපි ඒ අලුත් පොකුණ ගෙන එන්නෙමු’ යි කියා, ‘මම කිසිදාක වනයෙන් පොකුණක් ගෙනෙන ලද්දේ නොවෙයි, එසේම මා විසින් කිසිවකු යොදවා ගෙනඒම සඳහා පොකුණක් යවන ලද්දේ නොවෙයි’ කියා කී කල්හි ‘කෙසේ නම් යව මැදුම්ගම් වැසියන්ට කෙසේ නම් පොකුණක් එවන්න’ යැයි කියා දන්වා යැවීද?’ යි කියව”

ඔවුහු එසේ කළහ. රජතුමා පණ්ඩිතයන් විසින් දැනගත් බව අසා සතුටු විය.

නැවත එක් දිනක් ‘අපි උයන්කෙළි කෙළිනට ආශා ඇත්තාහු වීමු. අපගේ උද්‍යානය ද පැරණි ය. ඒ නිසා මනාව මල් පිපුණු ගස් වලින් ගැවසීගත් අලුත් උද්‍යානයක් එවන්න’ යැයි යව මැදුම්ගම වැසියන්ට දන්වා යැවීය.

පණ්ඩිතයෝ මෙය ද ප්‍රශ්නයෙන්ම විසඳිය යුතු සමාන ප්‍රශ්නයක් විය යුතුයයි ඔවුන් සනසා මිනිසුන් යවා පෙර පරිද්දෙන්ම කියවූහ.

එකල්හි සතුටු වූ රජු සේනකගෙන් විචාරා “කිම පණ්ඩිතයන්ව ගෙන එමුදැ” යි ඇසීය. ලාභයෙහි ගිජු වූ ඔහු “මෙතෙකින් පණ්ඩිත නොවෙයි”  යි කීය. ඔහුගේ වචනය අසා රජු මෙසේ සිතීය.

“මහෞෂධ පඬිතුමා දාරක ප්‍රශ්නයෙන් මාගේ සිත් ගත්තේ ය. මෙබඳු වූ ද සැඟවුනු ප්‍රශ්න විසඳීමේදී ද ප්‍රශ්න වලට එවැනිම ප්‍රශ්න වලින් ගැටලු විසඳීමෙන් ද බුදුවරයෙක් මෙන් පැහැදිලි ය. සේනක තෙමේ මෙබඳු පඬිවරයකු ගෙනෙන්නට ඉඩ නොදෙයි. සේනකගෙන් මට කවර වැඩෙක්ද? මම ම ඔහුව ගෙනෙන්නෙමි”

ඔහු මහත් පිරිවරින් ගමට ගියේ ය. ඒ යන අතර මගදී, රජු නැගී යන මඟුල් අශ්වයාගේ පාදයක් බිඳුනු මාර්ගයේ වලකට වැටී කැඩී ගියේ ය. රජු එතනින් නතර වී ආපසු නගරයට ගියේ ය. ඉක්බිති සේනක රජු වෙත පැමිණ මෙසේ ඇසීය.

“මහ රජතුමනි, පණ්ඩිතයන් ගෙන ඒම පිණිස යවැදුම්ගමට ගියහුද?”

“එසේය. පණ්ඩිතයෙනි”

“ඔබවහන්සේ මා ගණන් නොගෙන බොහෝ කලබල වී නික්මුණාහු ය. පළමු ගමනේදී ම මංගල අශ්වයාගේ පාදයක් බිඳුනේ ය”

රජු ඔහුගේ වචනය අසා නිහඬ වී වෙනත් දිනක ඔහු සමග කථා කළේ ය.

“සේනක, කෙසේද? අපි පණ්ඩිතයන් ගෙන එමුදැ?”

“එසේ නම් දේවයන් වහන්ස, ඔබ වහන්සේ නොගොස් දූතයකු යවන්න, ‘පණ්ඩිතය! ඔබ සමීපයට එන්නා වූ අපගේ අශ්වයාගේ පාදයක් බිඳුනේ ය. අශ්වතරයෙකු හෝ ශ්‍රේෂ්ඨතරයකු හෝ එවන්නැයි මෙහෙවර කරන්නෙකු යැව්ව මැනව. ඉදින් හොඳ අශ්වතරයෙකු එවන්නේ නම් තමා එන්නේ ය. ඉතා ශ්‍රේෂ්ඨතරයකු එවන්නේ නම් පියාව එවන්නේ ය. මෙය අපට එක් ප්‍රශ්නයක් වන්නේ ය”

රජු යහපතැයි පිළිගෙන එසේ කියා දූතයකු යැවීය.
පඬිතුමා දූතයාගේ වචනය අසා රජතුමා මාත් මගේ පියාවත් දකිනු කැමැත්තේ යැයි සිතා පියා සමීපයට ගොස් වැඳ “පියාණෙනි. රජතුමා ඔබවත් මාත් දකිනු කැමැත්තේ වෙයි. ඔබතුමා පළමුව දහසක් සිටුවරයන් පිරිවරා යන්න. යන්නාහු හිස් අතින් නොගොස් අලුත් ගිතෙල් පිරුණු සඳුන් කරඬුවක් රැගෙන යන්න. රජතුමා ඔබ සමග පිළිසඳර කථාකොට ආසනයක් දැනගෙන හිඳගන්න යැයි කියයි. ඔබ එබඳු වූ අසුනක් දැන හිඳගන්න. ඔබ හිඳගෙන සිටින කල්හි මම එන්නෙමි. රජු මා සමගද පිළිසඳර කථාකොට පණ්ඩිතය, ඔබට සුදුසු අසුනක් දැන හිඳගන්නයැයි කියයි. ඉක්බිති මම ඔබ දෙස බලන්නෙමි, ඔබ ඒ සළකුනෙන් අසුනින් නැගිට ‘දරුව, මහෞෂධ පණ්ඩිතය! මේ ආසනයේ හිඳ ගන්න’ යැයි කියන්න. එයින් අද එක් ප්‍රශ්නයක් මස්තකප්‍රාප්ත වන්නේය”

හෙතෙම යහපතැයි පිළිතුරු දී, කී අයුරින්ම ගොස් තමා දොරටු ලඟ සිටි බව රජුට දන්වා, එන්න යැයි කී කල්හි පිවිස, රජුට වැඳ, එකත්පසෙක හිඳ ගත්තේ ය. රජු ඔහු සමග පිළිසඳර කථාකොට “ගෘහපතිය, ඔබ පුත් මහෞෂධ පඬිතුමා කොහේදැ” යි විචාළේ ය.

“දේවයිනි! පසුව එන්නේ යැ” යි කීය. රජු (පඬිතුමා) එන්නේ යැයි සතුටු සිතැත්තේ තමාට සුදුසු අසුනක හිඳගන්න යැයි කීය. හෙතෙම තමාට යෝග්‍ය ආසනයක් දැකගෙන එකත්පස්ව සිටියේ ය.

මහා සත්ත්වයන් වහන්සේ අලංකාර ලෙස සැරසුණු දහසක් තරුණයන් පිරිවරා අලංකාර රථයෙහි හිඳ නගරයට පිවිසෙන්නේ තාප්පය මත එක් කොටලුවකු දැක, ශක්තිමත් තරුණයන් කීපදෙනෙකුට අණ කළේ ය.

“මේ කොටළුවාව ලුහුබැඳ ගොස් අල්ලාගෙන කෑගසන්නට නොහැකි සේ මුඛය බැඳ එක් කදක එල්ලා පැත්තකින් ගෙන එව” යැයි කීය.

ඔව්හු එසේ කළහ. මහා සත්ත්වයෝ ද මහත් පිරිවරින් නගරයට පිවිසියේ ය. මහජනයා වනාහි, ‘මේ වනාහි සිරිවඩු සිටුතුමාගේ පුත් මහෞෂධ පඬිතුමා නම් වෙයි මොහු වනාහි උපදින විට ඖෂධ ගැටයක් අතින් ගෙන උපන්නේය. මොහු විසින් වනාහි මෙතෙක් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු විසඳීම් දැනගන්නා ලදී’ යී මහා සත්ත්වයන්ට ප්‍රශංසා කරමින් බලන්නේ තෘප්තියකට පත් නොවෙයි. හෙතෙම රජගෙදර දොරටුව ලඟට ගොස් තමන් පැමිණි බවට පණිවිඩයක් යැවීය. රජු අසාම තුටු පහටු වූයේ “මා පුත් මහෞෂධ පඬිතුමාට වහා එන්න කියව” යැයි කීය. ඔහු තරුණයන් දහසක් පිරිවරා ප්‍රාසාදයට නැගී රජු වැඳ එකත්පසෙක හුන්නේය.

රජු ඔහුව දැකම සොම්නසට පත්වූයේ වී මිහිරි පිළිසඳර කථාකොට “පණ්ඩිතය, සුදුසු අසුනක් දැන හිඳගන්න” යැයි කීය. ඔහු පියා දෙස බැලීය. ඉක්බිති ඔහුගේ පියා බැලූ සළකුනෙන් අසුනින් නැගිට “පණ්ඩිතය, මේ අසුනෙහි හිඳගන්න” යැයි කීය. ඔහු එහි හිඳ ගත්තේ ය.

ඔහු එහි හිඳිනවා දැකම සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද ඇතුළු අනිකුත් අඳබාලයෝ අත්ලෙන් අත්ල ගසා මහා හඬින් සිනාසී, “මේ අන්ධ බාලයාට පණ්ඩිතයා යැයි කියත්. ඔහු තම පියාව අසුනෙන් නැගිටුවා තමා එහි හිඳියි. මොහුට පණ්ඩිතයැයි කීම සුදුසු නැතැ” යි නින්දා කළහ. රජුද දුර්මුඛ විය.

ඉක්බිති. මහා සත්ත්වයන් වහන්සේ රජුගෙන් ඇසීය.

“කිම මහරජතුමනි! දුර්මුඛව සිටින්නේද?”

“එසේය පණ්ඩිතයෙනි, දුර්මුඛව සිටිමි. ඔබ පිළිබඳ ඇසීම මනාප වුවත් තොපව දැකීම අයහපතක් ජනිත කළේ ය”

“කුමක් නිසාද?”

“පියාව අසුනෙන් නැගිටුවා එහි හිඳගත් නිසාය” යි කීය.

“කිම මහරජ, ඔබ සියලු තන්හි පුත්‍රයන්ට වඩා පියවරුන් උතුම් යැයි සිතන්නේද?”

“එසේය පඬිතුමනි”

ඉක්බිති මහරජුට මහාසත්ත්වයෝ මෙසේ කීය. “මහරජතුමනි! ඔබතුමන් විසින් උතුම් අශ්වයකු හෝ ශ්‍රේෂ්ඨ අශ්වයකු එවන්නයැයි අපට පණිවිඩ යවන ලද්දේද? යි කියා අසුනෙන් නැගිට, ඒ තරුණයන් බලා “තොප විසින් අල්ලාගත් කොටලුවාව ගෙනෙව්” යැයි නියමකොට රජුගේ පාමුළ හොවා “මහරජතුමනි. මේ කොටළුවා කොපමණ වටිනේදැ” යි ඇසීය.

“ඉදින් උපකාරක නම් කහවණු අටක් වටනේය”

“මොහු නිසා ආජානීය වෙළඹකගේ කුසෙහි උපන් උතුම් අශ්වයකු කොපමණ වටීද?”

“පණ්ඩිතය, අගය කළ නොහැක්කේ ය. ඉතා වටනේ ය.” යි කීය.

“දේවයන් වහන්ස කුමක් නිසා මෙසේ කියන්නේද? ඔබවහන්සේ විසින්, මේ දැන් ‘සැමතන්හි පුත්‍රයන්ට වඩා පියවරුන් උතුම්’ යැයි කියන ලද්දේ නොවේද? ඉදින් එය සත්‍යයක් නම් ඔබ වහන්සේගේ වාදයෙහි අශ්වයාට වඩා කොටළුවා උතුම් වන්නේ ය. කිම මහරජතුමනි! ඔබවහන්සේගේ පණ්ඩිතයෝ මෙපමණකුත් දැනගන්නට අසමත් වූවාහු අත්පොළා සිනහ සෙත්. පුදුමයි! ඔබ තුමන්ගේ පණ්ඩිතයන්ගේ ප්‍රඥා සම්පත්තිය. මොවුන්ව ඔබ වහන්සේ කොහෙන් ලබාගත්තේදැ” යි පණ්ඩිතයන් සතර දෙනාටම නින්දා කොට රජුට මෙසේ කීය.

“රජතුමනි, ඔබ පියා, පුතුට වඩා උතුම් යයි හඟින්නාහු නම් ඔබගේ අශ්වතරයාට වඩා මේ කොටලුවා ම උතුම් වන්නේ ය. මොකද, අශ්වතරයාගේ පියා කොටලුවා වන බැවිනි.

මහ රජතුමනි, ඉදින් පුත්‍රයාට වඩා පියා උතුම් නම් මගේ පියාව තෝරාගන්න. ඉදින් පියාට වඩා පුත්‍රයා උතුම් නම් මාවේ තෝරා ගන්න”

රජු සතුටට පත් වූයේ විය. සියළු රජ පිරිස, පණ්ඩිතයන් විසින් ප්‍රශ්නය මනාව විසඳන ලදැයි මහ හඬින් සාධුකාර දුන්හ. පණ්ඩිතයෝ සතරදෙන දුර්මුඛ වූහ.

මේ ලොව, බෝධිසත්ත්වයන්ට සමානව මව්පියන්ගේ ගුණ දන්නා වූ කෙනෙක් නැත. හෙතෙම කුමක් නිසා මෙසේ කළේද? පියාට අවමන් කිරීම පිණිස නොවේ. රජු විසින් උතුම් අශ්වයකු හෝ ශ්‍රේෂ්ඨතරයකු එවන්නැයි පණිවිඩ යවන ලදී. ඒ නිසා ඒ ප්‍රශ්නයට පිළිතුර හෙළිකිරීම සඳහාත් තමන්ගේ පණ්ඩිත භාවය ප්‍රකාශ කරන්නටත්, පිළිතුර හෙළි කිරීම සඳහාත්, පණ්ඩිතයන් සතර දෙනාව ප්‍රතික්‍ෂේප කිරීම සඳහාත් මෙසේ කළේ ය.

රජු සතුටුව සුවඳ දිය පිරුණු රන් කෙණ්ඩියක් ගෙන, ‘පැදූන්යව මැදුම්ගම රාජ්‍යය ත්‍යාගයක් ලෙස ප්‍රයෝජන ගන්න’ යැයි සිටුවරයාගේ අතපැන් වත්කොට, ‘ඉතිරි සිටුවරු මොහුගේම උපස්ථායකයෝ වෙත්වා’යි කියා, බෝසතුන්ගේ මවට සියළු අලංකාර ආභරණ ආදිය යවා ගද්‍රහ (කොටළු) ප්‍රශ්නය විසඳීම ගැන ප්‍රසාදයට පත්වූයේ, බෝධිසත්ත්වයන්ව දරුකමට ගැනීමට සිටුතුමාගෙන් ඇසීය.

“ගෘහපතිය මහෞෂධ පණ්ඩිතයන් මට දරුකමට දෙන්න”

“දේවයන් වහන්ස! මොහු තවම ළදරුය. අද පවා ඔහුගේ මුවින් කිරිසුවඳ හමයි. මහලු කල්හි ඔබ වහන්සේ ලඟ සිටින්නේ ය”

“ගෘහපතිය! ඔබ මෙතැන් පටන් මොහු පිළිබඳ ආශා නැත්තෙක් වන්න. මෙතෙමේ අද පටන් මගේ දරුවෙකි. මට මාගේ පුත්‍රයාව පෝෂණය කරන්නට හැක්කෙමි. ඔබ යන්න” යැයි ඔහුව පිටත් කර හැරියේය. ඔහු රජුට වැඳ පණ්ඩිතයන් වැළඳගෙන, ළයෙහි හොවාගෙන හිස සිඹ ඔහුට අවවාද දුන්නේ ය. ඔහුද පියාට වැඳ “පියාණෙනි! නොසිතන්න” යැයි ඔහුව පිටත් කළේ ය.

රජු පණ්ඩිතයන්ගෙන් ඇසීය. “දරුව, ඔබ රජගෙදර අනුභව කරන්නේ ද? නැතහොත් පිටතින් අනුභව කරන්නේද?”

හෙතෙම මෙසේ සිතීය. මගේ පිරිස විශාලය. මා පිටතින් අනුභව කරන්නෙකු විය යුතුය. ඉක්බිති රජතුමා ඔහුට යෝග්‍ය ගෘහයක් දී තරුණයන් දහස මුල්කොට වියදම් දී සියළු සම්පත් දෙවීය. ඔහු එතැන් පටන් රජුට උපස්ථාන කළේ ය. රජුද ඔහු ගැන විමසිලිමත්වම සිටියේ ය.

******************************************************

ඉක්බිති දිනක, නගරයේ දකුණු දොරටුවට නුදුරෙහි පොකුණු ඉවුරේ එක් තල්ගසක කවුඩු කැදැල්ලක මාණික්‍ය රත්නයක් විය. එහි සෙවණැල්ල පොකුණෙහි පෙනුනේ ය. ‘පොකුණෙහි මැණිකක් ඇත’ යැයි රජුට දැන්වූහ. රජු සේනක අමතා “පොකුණෙහි වනාහි උතුම් මැණිකක් පෙනෙයි. එය කෙසේ ලබාගන්නෙමුදැයි” ඇසීය. එසේ අසා ‘ජලය ඉවත්කර ගන්නට සුදුසුයැයි’ කීකල්හි ‘එසේ නම් එසේ කරව’ යැයි ඔහුටම භාර කළේ ය. ඔහු බොහෝ මිනිසුන් රැස්කොට ජලය ඉවත්කර ළිංපතුළ සැරූ නමුත් මැණික දුටුවේ නැත. නැවත පොකුණ ජලයෙන් පිරුණු කල්හි මාණික්‍යය ඡායාව පෙනුනේ ය. ඔහු නැවත ද එසේ කළ නමුත් මැණික දුටුවේ නැත.

ඉක්බිති රජතුමා පණ්ඩිතයන් අමතා “පොකුණෙහි එක් මැණිකක් පෙනෙයි. සේනක තෙමේ ජලය හා මඩ ඉවත් කර භූමිය හාරා බැලූ නමුත් මැණික දුටුවේ නැත. පොකුණ පිරුණු විට නැවත පෙනෙයි. ඒ මැණික ගන්නට හැක්කෙහිදැ” යි ඇසීය.

“මහරජතුමනි, මෙය අපහසු දෙයක් නොවේ. එන්න පෙන්වන්නෙමි” යි ඔහු කීය. රජු සතුටුව, “අද පණ්ඩිතයන්ගේ ඤාණ බලය දකින්නෙමු” යි කියා මහජනයා පිරිවරා පොකුණු ඉවුරට ගියේ ය. මහා සත්ත්වයෝ ඉවුරෙහි සිට මැණික බලන්නේ ම, මේ මැණික පොකුණෙහි නොවේ. මෙය තල්ගසෙහි විය යුතුයැයි දැනගෙන “දේවයන් වහන්ස! පොකුණෙහි මැණිකක් නැතැ” යි කී කල්හි, “ජලයෙහි පෙනෙනවා නොවේදැ” යි කී කල්හි ජල පාත්‍රයක් ගෙන්වා, “දේවයන් වහන්ස බලනු මැනවි. මේ මැණික පොකුණෙහි පමණක් පෙනෙන්නේ නොවෙයි. ජල පාත්‍රයේ ද පෙනෙයි” කියා “පණ්ඩිතයෙනි, මැණික කොහේ තිබිය හැකිදැ” යි විචාළ කල්හි “දේවයන් වහන්ස, පොකුණෙහි ඡායාව පමණක් පෙනෙයි. එහි මැණිකක් නැත. මැණික වනාහි මේ තල්ගසේ කවුඩු කුඩුවෙහි තිබේ. පුරුෂයකු යවා එය බිමට ගන්න” යැයි කීය.

රජු එසේ කොට මැණික ගෙන්න විය. පඬිතුමා එය රැගෙන රජුගේ අතෙහි තැබීය. මහාජනයා පණ්ඩිතයන්ට සාධුකාර දී සේනකයන්ට නින්දා කරන්නේ, ‘මාණික්‍ය රත්නය තල් ගසෙහි තබා, සේනක තෙමේ ශක්තිමත් පුරුෂයන් ලවා පොකුණ බින්දවීය. පණ්ඩිතයන් නම් මහෞෂධයන්ම‘ යැයි මහා සත්ත්වයන්ට ස්තුති කළේ ය. රජු ද ඔහුට තමන්ගේ ගෙළ බැඳි මුතුහර දී තරුණයන් දහසට ද මුතුවැල් දෙවීය. බෝධිසත්ත්වයන්ටත් පිරිසටත් උපස්ථානය අනුමත කළේ ය.

******************************************************

නැවත එක්දිනක්, රජතුමා පණ්ඩිතයන් සමග උයනට ගියේ ය. එකල්හි එක් බොහොඩෙක් (කටුස්සෙක්) තොරණ අග වාසය කරයි. ඌ රජතුමා එනු දකින විට එයින් බැස භූමියෙහි හොත්තේ ය. රජතුමා ඔහුගේ ක්‍රියාව දැක,

“පණ්ඩිතය! මේ කටුස්සා කුමක් කරන්නේදැයි” විචාළේ ය.

“මහරජතුමනි! ඔබ වහන්සේට සේවය කරයි”

“ඉදින් මෙසේ ඔහුගේ සේවය නිශ්ඵල නොවේවා. මොහුට සම්පත් දෙමි”

“දේවයන් වහන්ස, ඌට භෝග සම්පත්වලින් ප්‍රයෝජනයක් නැත. මොහුට කෑමට යමක් දීම ප්‍රමාණවත්ය”

“මොහු කුමක් අනුභව කරන්නේද?”

“දේවයන් වහන්ස, මස් බිඳක් ය”

“මස් කොපමණ දෙන්නට වටීද?”

“දේවයන් වහන්ස, තුට්ටුවක් පමණ වටිනා මස් ය”

රජු එක් පුරුෂයකුට අණ කළේ ය. “රජු විසින් දෙන දෙය නම් තුට්ටුවක් පමණ ය. එය නොවටී. මොහුට නිරන්තරයෙන් අඩමස්සක් වටිනා මස් ගෙන දෙන්න” යැයි කීය. ඔහු යහපතැයි එතැන් පටන් එසේ කළේ ය.

හෙතෙම එක් දවසක් සත්ත්ව ඝාතනය නොකරන පෝය දිනයක් බැවින් මස් නොලැබ ඒ අඩමස්ස විද නූලකින් ගැටගසා බොහොඩාගේ ගෙලෙහි බැන්දේ ය. ඉක්බිති ඔහුට ඒ හේතුවෙන් මානයක් ඇතිවිය.

ඒ දවසේ ම රජු නැවත උයනට ගියේ ය. ඔහු එන්නා වූ රජු දැක ධනය නිසා උපන් මානයෙන් යුතුව ‘වේදේහය! ඔබ වනාහි මහා ධනවතෙකි. මමත් එසේ ය’ යි සිතා, මෙසේ තමාව රජු සමග සම කරන්නේ බිමට නොබැස තොරණ අගම සිට හිස සොළවමින් සිටියේ ය. රජු ඔහුගේ ක්‍රියාව බලා “පණ්ඩිතය, මොහු පෙර මෙන් අද බිමට නොබසියි. කුමන කරුණක් නිසාදැ” යි විමසීය.

“පොහොය දිනයේ සත්ත්ව ඝාතනය නොමැති බැවින් මස් නොලබන්නා වූ රාජ පුරුෂයා විසින් ගෙළෙහි බඳින ලද අඩමස්ස නිසා හටගත් මානය නිසා විය යුතුය” යි පණ්ඩිතයන් දැනගෙන මෙසේ ප්‍රකාශ කළහ.

“බොහොඩා කලින් නොලද අඩමස්සක් ලැබ මිටිලා නුවර වේදේහ රජුට නින්දා කරයි.”

රජතුමා ඒ පුරුෂයා කැඳවා විචාළේ ය. ඔහු ඇති තතු වාර්තා කළේ ය. රජු “කිසිවක් නොවිචාරා ම සර්වඥයන් වහන්සේ නමක් මෙන් පණ්ඩිතයන් විසින් කටුස්සාගේ සිතැඟි දැනගත්තේය” යි අතිශයින් සතුටට පත්ව පණ්ඩිතයන්ට සිව් දිසාවෙන් බදු ගෙව්වේ ය. රජු වනාහි කටුස්සා කෙරෙහි කිපී දෙනු ලබන මස් ආහාරය නතර කරන්ට පටන් ගත්තේ ය. පණ්ඩිතයෝ වනාහි එසේ කිරීම අසාධාරණ යයි එය නතර කරවීය.

***************************************************

ඉක්බිති මිථිලා නුවර වැසි පිංගුත්තර නම් එක් මානවකයෙක් තක්‍ෂිලාවට ගොස් දිසාපාමොක් ඇදුරුතුමන් ලඟ ශිල්ප හදාරන්නේ ඉතා ඉක්මණින් ඉගෙන ගත්තේ ය. හෙතෙම දැනුම් දී “ගුරුතුමාණෙනි! මම යන්නෙමි” යි පැවසී ය.

ඒ කුලයෙහි වනාහි වයසට පත් දුවණියක් සිටීනම් ඇය ප්‍රධාන ශිෂ්‍යයාට දිය යුතුය යනු චාරිත්‍රයයි. ඔහුගේ ගුරුතුමාගේ එක් දුවණියක් සිටී. ඇය රූමත් ය. දෙවඟනක් මෙනි. ඉක්බිති ඔහුට කථාකොට “දරුව, මේ දියණියව ඔබට දෙමි. ඇයව ද රැගෙන යන්න” යැයි කීය. ඒ තරුණයා වනාහි අවාසනාවන්තයෙකි. කාළකණ්ණියෙකි. කුමාරිකාව මහා පුණ්‍යවන්ත ය. ඔහුට ඇය දැක සිත නොඇලෙයි. ඔහු ඒ බව දන්නේ නමුදු ‘ගුරුතුමාගේ වචනය කඩ නොකරමි’ යි යෝජනාව පිළිගත්තේ ය. බ්‍රාහ්මණයා තම දියණියව ඔහුට දුන්නේ ය.

හෙතෙම රාත්‍රී භාගයෙහි අලංකාර සිරි යහනෙහි හොත්තේ ඇය අවුත් සයනයට නගිනවිටම ක්ලාන්ත වූවාක් මෙන් ඇඳෙන් බැස බිම වැතිරුණේ ය. ඇය ද ඇඳෙන් බැස ඔහුගේ සමීපයට ගියා ය. ඔහු නැගිටි නැවතත් සයනයට නැග්ගේ ය. ඇයද නැවත සයනයට නැග්ගේ ය. ඔහු නැවතත් සයනයෙන් බැස්සේ ය.

කාලකණ්ණියකු ශ්‍රී දේවිය හා සම නොවෙයි.

කුමාරිකාව සයනෙහිම වැතිර සිටියා ය. ඔහු බිම නිදාගත්තේ ය. මෙසේ දින සතක් ගතකොට ඇයව ගෙන ගුරුතුමාට වැඳ පිටත්ව ගියේ ය. අතරමගදී කථාබස් පමණකුදු නොවී ය. අකමැත්තෙන්ම දෙදෙනා මියුළු නුවරට පැමිණියා හ. පිංගුත්තර තෙමේ නගරයට නුදුරෙහි එක් ගෙඩි සහිත දිඹුල් ගසක් දැක බඩසයින් පෙලුනේ ගසට නැග දිඹුල් කැවේ ය. ඕ තොමෝද හටගත් ආශා ඇත්තී ‘මටත් ගෙඩි බිමට හෙළන්න’ යැයි කීවා ය. ‘කිම නුඹට අත්පා නැද්ද ? තමාම ගසට නැග ගෙඩි කන්න’ යැයි කීවේ ය. ඇය ගසට නැග ගෙඩි කෑවා ය. ඔහු ඇය ගසට නැගුණු බව දැන වහා ගසින් බැස ගසයට කටු අතුරා ‘කාළකණ්ණි තැනැත්තියගෙන් මිදුනේ වෙමි’ යි කියා පළාගියේ ය. ඕ තොමෝ ගසින් බැස යන්නට අසමත් වන්නී එහිම සිටියා ය.

ඉක්බිති රජතුමා උයන් කෙළි කෙළ, ඇතාගේ පිට සිටියේ සවස් වේලාවේ නගරයට පිවිසෙන්නේ එහි සිටිය ඇයව දැක හටගත් සිත් ඇත්තේ ‘ස්වාමියෙක් සිටීද, නැද්ද’ කියා ඇස්සවී ය.

ඕ තොමෝ “ස්වාමීනි, හිමියකු සිටී. කුලයෙන් දෙන ලද ස්වාමියා ය. ඔහු වනාහි මා මෙහි හැරදමා පළාගියේ ය” යි කීවා ය.

ඇමැතියා රජුට ඒ කරුණ සැළ කළේ ය. අයිතිකරුවකු නැති භාණ්ඩයක් රජුට අයත්යැයි රජු ඇයව බස්සවාගෙන ඇතුපිට නංවාගෙන රජ ගෙදරට ගෙන ගොස් අභිෂේක කොට අගමෙහෙසුන් තනතුරේ තැබී ය. ඇය ඔහුට ප්‍රිය වූවා ය. මනාප වූවා ය. දිඹුල් ගසේ දකින ලද නිසා උදුම්බරා දේවිය යැයි නම් කළහ.

ඉක්බිති එක්දිනක් රජුට උයනට යාම සඳහා, දොරටුව අසල ගම්වැසියන් විසින් මාර්ගය සකස් කළහ. පිංගුත්තර තෙමේ ද එහි කුලි වැඩ කරන්නේ කැසපට ගසාගෙන උදැල්ලෙන් මාර්ගය කොටයි. මාර්ගය සාදා නොනිමි කල්හි ම රජු උදුම්බරා දේවිය සමග රථයෙහි නැගී පිටත් විය. උදුම්බරා දේවිය ද මාර්ගය කොටන්නා වූ ඒ කාලකණ්ණියාව බලන්නී සිනාසුනා ය. රජු ඇය සිනාසෙන සැටි දැක කිපී “කුමක් නිසා සිනාසෙන්නීදැ” යි ඇසීය.

“දේවයන් වහන්ස, මේ මාර්ගය කොටන්නා වූ පුරුෂයා මාගේ පැරණි සැමියා ය. මොහු මා දිඹුල්ගසට නංවා ගස යට කටු දමා ගියේ ය. මම මොහුව දැක මෙබඳු වූ වාසනාවක් දරාගන්නට මේ කාලකණ්ණියා අපොහොසත් වියැයි සිතමින් සිනාසුනෙමි”

රජු, “තා බොරු කියන්නී ය. අන් කිසිවකු දැක ඔබ සිනහ විය. මම ඔහුව මරවමි” යි කඩුව ගත්තේ ය.

බියට පත්වූ ඕ තොමෝ “දේවයන් වහන්ස! පළමුව පණ්ඩිතයන්ගෙන් විමසන්න” යැයි කීවා ය.

රජු සේනකගෙන් ඇසී ය. “ඔබ මැයගේ වචනය විශ්වාස කරන්නේද?”

“නැත ස්වාමීනි, කවරෙක් නම් මෙබඳු වූ ස්ත්‍රියක් අතහැර දමා යන්නේද?” කියා කීය.

ඇය ඔහුගේ කථාව අසා වැඩිමනත් බිය වූවා ය. ඉක්බිති රජතුමා ‘සේනකයෝ මොනවා දනිත්ද? පණ්ඩිතයන් විචාරන්නෙමි’ යි සිතා ඔහුගෙන් ඇසී ය.

“මහෞෂධයෙනි. ඔබ මෙය විශ්වාස කරන්නෙහිද?”

“මහරජතුමනි. මෙය විශ්වාස කරමි. පුරුෂයා අවාසනාවන්තයෙක් වන්නේ නම් ශ්‍රී කාන්තාව හා කාලකණ්ණියා කිසිදාක එක සමාන නොවෙත්. සමුද්‍රයට එතෙර මෙතෙර මෙන්, අහසට පොළව මෙන් එකට එක් නොවෙත්.”

රජු ඔහුගේ වචනයේ ඒ කරුණට කිපුණේ නැත. ඔහුගේ හදවත නිවුනේ ය. රජු, ඔහුට සතුටු වී “පණ්ඩිතය! ඉදින් නුඹ මෙහි නොසිටින්න අද මම අඥාන වූ සේනකගේ වචනයේ පිහිටා මෙබඳු වූ ස්ත්‍රී රත්නයක් නොලබන්නේ ය. දැන් ඔබ නිසා මවිසින් මැය ලබන ලදී” යැයි පණ්ඩිතයන්ට දසදහසින් පූජා කළේ ය.

ඉක්බිති දේවියද රජුට වැඳ “දේවයිනි! පණ්ඩිතයන් නිසා මම ජීවිතය ලැබුවෙමි. මම මොහුව කණිටු සොහොයුරු තන්හි තබන්නට වරයක් ඉල්ලමි” යි කීවා ය.

“දේවිය යහපති, ඔබට ඒ වරය දෙමි. ගන්න”

“දේවයන් වහන්ස, මම අද පටන් මාගේ කණිටු සොහොයුරා නැතිව කිසිම මිහිරි ආහාරයක් නොබුදින්නෙමි. මෙතැන් පටන් වේලාවේ හෝ අවේලාවේ හෝ දොර විවෘත කොට මොහුට මිහිරි රස යවන්නට හැකි වරයක් ගනිමි”

“සොඳුර, මැනවි. ඒ වරය ද ගන්න”

වෙන දිනයක, රජතෙමේ උදෑසන ආහාරය ගෙන ශාලාවේ සක්මන් කරන්නේ, දොරෙහි සුළං කවුළුවෙන් එක් එළුවකු ද සුනඛයකු ද මිතුරුව සිටිනු දැක්කේ ය. ඒ එළුවා වනාහි ඇත්හළෙහි ඇතාගේ ඉදිරිපිට දමන ලද නොතැලුණු තණ කෑවේ ය. ඉක්බිති ඌව ඇත්ගොව්වෝ පහරදී පළවා හැරියහ. එක් අයෙක් වේගයෙන් දුව ගොස් හඬනගා පැනයන්නහුගේ පිටට මුගුරකින් පහරදුන්නේ ය. ඌ පිට නමාගෙන වේදනාවෙන් යුතුව ගොස් රජගෙදර මහා බිත්තිය ලග පිළිකන්නේ හොත්තේ ය.

ඒ දවසම රජුගේ මහා භෝජනාගාරයේ, ඇට, සම් ආදිය කාදමා වැඩුනා වූ සුනඛයෙක්, බත් උයන්නන් බත් සූදානම් කර පිටත සිට ශරීරයේ දහඩිය නිවාගන්නා කල්හි, මස්මාළු සුවඳ ඉවසා ගත්තට නොහැකිව ප්‍රධාන කුස්සියට පිවිස පියන පෙරළා මස් කෑවේ ය. බත් උයන්නා භාජන සද්දය ඇසී කුස්සියට පිවිස ඒ සුනඛයාව දැක දොර වසා ඌට ගල් මුගුරු ආදියෙන් තැලුවේ ය. ඌ කන ලද මස් මුඛයෙන්ම ඉවත දමා මහා හඬ දී පැන ගියේ ය. බත් උයන්නා ද ඌ පිටත ගිය බව දැන ලුහුබැඳ ගොස් පිට හරහා මුගුරකින් පහර දුන්නේ ය. ඌද පිටකොන්ද තමාගෙන එක් පාදයක් ඔසවාගෙන එළුවා වැටී සිටිය තැනටම ආවේය.

ඉක්බිති එළුවා ඔහුගෙන් මෙසේ ඇසීය. “මිත්‍රය! කුමක් නිසා පිටකොන්ද තමාගෙන එන්නෙහිද? කීම ඔබට වාතාබාධයක් තිබේද?”

සුනඛයාද මෙසේ ඇසීය. “ඔබ ද පිට නමාගෙන එන්නෙහිය. කිම ඔබගේ ශරීරයේ වාත වේදනාවක් පවතීද?”

ඔහු තමාට සිදු වූ දේ විස්තර කළේ ය. ඉක්බිති එළුවා ඔහුගෙන් ඇසී ය.

“කිම ඔබ නැවතත් කුස්සියට යන්නට හැකිවන්නෙහි ද?”

“නොහැක්කෙමි. ගියොත් මගේ ජීවිතය නැතිවෙයි. නුඹට ඇත්හළට යන්නට හැකිද?”

“මට ද එහි යා නොහැක. එහි ගියොත් මාගේ ජීවිතය නැතිවෙයි. අප දැන් කෙසේ හෝ ජීවත්විය යුතුයැ” යි උපායයක් සිතූහ.

ඉක්බිති එළුවා මෙසේ කීය.

“ඉදින් අපි එකට ජීවත්වීමට හැක්කෙමු නම් එක් උපායක් ඇත”

“එසේ නම් කියව”

“මිතුර, ඔබ මෙතැන්පටන් ඇත්හළට යව. ‘මොහු තණකොළ නොකන්නේ’ යැයි ඔබ කෙරෙහි ඇත්ගොව්වෝ සැක පහළකර නොගනිත්. නුඹ මට තණකොළ ගෙනෙව. මම ද කුස්සියට පිවිසෙමි. මොහු මස් නොකන්නේයැ’ යි බත් උයන්නා මා කෙරෙහි සැක නොකරයි. මම ද නුඹට මස් ගෙන එන්නෙමි”

ඔව්හු ‘මේ උපාය අපට ඇතැයි’ දෙදෙනාම පිළිගෙන සුනඛයා ඇත්හළට ගොස් තණමිටියක් කටින් ගෙන මහා බිත්ති පිළිකන්නෙහි තැබුවේ ය. අනිකා ද කුස්සියට ගොස් මස්කෑල්ලක් මුව පිරෙන්නට ඩැහැගෙන අවුත් එහිම තබයි. සුනඛයා මස් කයි. එළුවා තණකොල කයි. ඔව්හු මේ උපක්‍රමයෙන් සමගි වූවාහු සතුටු වූවාහු මහා බිත්ති පිළිකන්නෙහි වාසය කරත්.

රජු ඔවුන්ගේ මිතුදම දැක මෙසේ සිතී ය. “මා විසින් නුදුටු විරූ දෙයක් දකින ලදී. මොව්හු සතුරන් වුවත් සමගිව වාසය කරත්. මේ කාරණය ගෙන ප්‍රශ්නකොට පණ්ඩිතයන්ගෙන් විචාරමි. මේ ප්‍රශ්නය නොදන්නහුව රටින් පිටුවහල් කරන්නෙමි. එය දන්නහුට මෙබඳු පණ්ඩිතයෙක් නම් නැතැයි ඔහුට සත්කාර දක්වමි. අද වේලා නැත. හෙට උපස්ථාන වේලාවේ පැමිණිවිට අසන්නෙමි”

ඔහු පසුදා පණ්ඩිතයන් සේවය සඳහා පැමිණි කල්හි ප්‍රශ්නය විචාරන්නේ මෙසේ  කීය.

“මේ ලොව කිසි කලෙකත් සත් පියවරෙකුදු එක්ව ගමන් නොකළ සතුරෝ දෙදෙනෙක්, පෙර නොවූ විරූ ලෙසින් එක්වැ හැසිරෙත් නම් ඊට හේතු කවරේද?

ඉදින් අද පෙරබත් වේලාවෙහි මේ පැනයට පිළිතුරු සපයන්නට අසමත් වන්නහු නම් තොප සියළු දෙනම රටින් නෙරපන්නෙමි. නුවණ නැත්තන්ගෙන් මට ප්‍රයෝජනයක් නැත”

සේනක තෙමේ ප්‍රධාන අසුනෙහි හුන්නේ, පණ්ඩිතයන් ආසන කෙළවර හුන්නේ ය. ඔහු ඒ ප්‍රශ්නය ගැන කල්පනා කරන්නේ අර්ථය නොදැක මෙසේ සිතීය.

“මේ රජු අඥාන වූයේ මේ ප්‍රශ්නය ගැන සිතා විසඳා ගන්නට අසමත් වූයේ ඔහු විසින් කිසිවක් දකින ලදී. එක් දිනක් අවස්ථාව ලැබි මේ ප්‍රශ්නය විසඳන්නෙමි” යි සේනක තෙමේ කිසියම් උපායකින් අද එක් දවසක් ඉවසනු ලැබේවායි කීය.

ඉතිරි සතර දෙන ද අඳුරු කුටියකට පිවිසියාක්හු මෙන් කිසිවක් නුදුටුහ. සේනක තෙමේ මහෞෂධයන් පිළිබඳ තොරතුරු කෙසේදැයි බෝසතුන් දෙස බැලීය. ඔහු ද ඔහු දෙස බැලීය. සේනක බැලූ ආකාරයෙන්ම ඔහුගේ අදහස දැනගෙන ‘පණ්ඩිතයන්ට ද නොවැටහේ. ඒ නිසා එක් දවසක් කල් බලාපොරොත්තු වෙයි. මොහුගේ මනදොල පුරවන්නෙමියි’ යි මහා හඬින් සිනාසී,

“මහ රජතුමනි! ප්‍රශ්නය විසඳන්නට නොහැකි අප සියල්ලන්ව ම රටින් පිටුවහල් කරන්නේද? මෙය ද එක් ප්‍රශ්නයක් යැයි සැලකී. අපි මේ ප්‍රශ්නය කියන්නට මේ මොහොතේ අපොහොසත් වෙමු. තව ද තරමක් ගැටලු සහිත ප්‍රශ්නය මහජනයා මැදදී කියන්නට නොහැකි ය. එක් පැත්තක් ගැන සිතා පසුව කියන්නෙමු. අපට ඉඩක් ලබාදෙන්න”

මහා සත්ත්වයන් මෙසේ කීය.

“මහජනයා රැස්වූ කල්හි, මහත් වූ ජන කෝලාහල ඇති කලැ, විසිරුණු සිත් ඇත්තමෝ, නොයෙක් සිතුවිලි ඇත්තමෝ, මේ පැනයට පිළිතුරු සපයන්නට අසමත් වෙමු.
මහරජ, පණ්ඩිතයෝ ඒකාග්‍ර වූ චිත්තයෙන් යුතුවැ එකිනෙකා රහසිගතවැ විවේකයෙහි සිටියාහු අරුත් සලකා නිශ්චය කොට කියන්නට සමත් වන්නහ.”

රජු ඔහුගේ කථාව අසා සතුටු නොවූ සිත් ඇත්තේ නමුත්, “යහපත්ව සිතා කියන්න, නොකියන්නවුන් පිටුවහල් කරන්නෙමියි” තර්ජනය කළේ ය.

පණ්ඩිතයෝ සතර දෙනම ප්‍රාසාදයෙන් බැස්සාහ. සේනක අන් අයට මෙසේ කීය. “දරුවෙනි, රජු සූක්‍ෂම ප්‍රශ්නයක් ඇසීය. නොකියන්නේ නම් මහත් බියක් ඇති වන්නේ ය. නුඹලා සුදුසු බොජුන් වළඳා හොඳින් විමසා බලන්න”

ඔව්හු තම තමන්ගේ නිවෙස්වලට ගියහ. පණ්ඩිතයෝ ද නැගිට උදුම්බරා දේවියගේ සමීපයට ගොස් “දේවියනි. අද හෝ ඊයේ රජතුමා බොහෝ වේලාවක් කොහි ගත කළේදැ” යි ඇසීය.

“මලණ්ඩ, ශාලාවේ සක්මන් කරන්නේ වා කවුළුවෙන් එපිට බලා සිටියේ ය”

ඉක්බිති බෝධිසත්ත්වයෝ මෙසේ සිතූහ. රජු විසින් මේ පැත්තෙන් කිසිවක් දුටුවා විය යුතුය. එහි ගොස් පිටත බලන්නේ එළුවාගේ හා සුනඛයාගේ ක්‍රියාව දැක රජු විසින් ප්‍රශ්නය සකස්කරන ලදී යැයි සනිටුහන් කොට ගෙදර ගියේ ය.

ඉතිරි තුන්දෙනාම සිතා කිසිවක් නොදැක සේනක සමීපයට ගියහ. ඔහු ඔවුන් විචාළේ ය.

“නුඹලා විසින් ප්‍රශ්නයට විසඳුම් දකින ලද ද?”

“ආචාර්යයෙනි! නැත”

“ඉදින් මෙසේනම් තොපව පිටුවහල් කරන්නේ ය. කුමක් කරන්නහුද? අපි කුමක් දකින්නෙමුද?”

“ඔබ දුටුවෙහිද ?”

“මම ද නොදකිමි, නුඹලා නොදක්නා කල්හි අපි කෙසේ දකින්නෙමු ද? රජු සමීපයේ සිතා කියන්නෙමු’ යි සිංහනාද කොට ආවෝ වෙමු. නොකියන කල්හි රජු කිපෙන්නේ ය. කුමක් කරවුද? අප විසින් විසඳුමක් මේ ප්‍රශ්නයට දකින්නට නොහැක, පණ්ඩිතයන් විසින් සියවරක් සිතුයේ වන්නේ ය. එවු. ඔහු සමීපයට යමු”

ඒ සතරදෙන ද බෝධිසත්ත්වයන්ගේ ගේ දොරකඩට ගොස් එකත්පස්ව සිටියාහු මහා සත්ත්වයන්ගෙන් විමසූහ.

“කිම, පණ්ඩිතයෙනි. ඔබ විසින් ප්‍රශ්නය ගැන සිතන ලද්දේ ද?”

“මා නොසිතන්නේ නම් වෙන කවරෙක් සිතන්නේද? එසේය. සිතුවෙමි”

“එසේ නම් අපටත් කියන්න”

පණ්ඩිතයෝ මෙසේ සිතූහ. “ඉදින් මම මොවුන්ට නොකියන්නෙම් ද, රජු මොවුන් පිටුවහල් කරන්නේ ය. මා සත්රුවනින් පුදන්නේ ය. මේ බාලයෝ නොනසිත්වා!මොවුන්ට කියන්නෙමි

ඒ සතර දෙනාව වාඩිකරවා ඇඳිලි බැඳගෙන (වැඳගෙන) රජු විසින් දුටු දෙය නොදන්වා, රජු විසින් අසන ලද කල්හි මෙසේ කියව් යැයි සතර දෙනාට ගාථා සතරක් ගොතා උගන්වා පිටත්කර හැරියේ ය.

ඔවුහු දෙවෙනි දවසෙහි රාජසේවයට ගොස් පනවන ලද ආසනයෙහි හුන්හ. රජු සේනකගෙන් ඇසීය.

“සේනකය! ඔබ විසින් ප්‍රශ්නය තේරුම් ගත්තේද?”

“මහරජතුමනි! මා නොදන්නා කල්හි අන් කවරෙක් දන්නේ ද?”

“එසේ නම් කියව”

“දේවයන් වහන්ස! අසන්න…..” උගත් ආකාරයටම ගාථාව කීය. “රජ ඇමති පුතුනට එළුමස ප්‍රිය මනාප වෙයි. ඔවුහු සුනඛ මස් නොබුදිත්. එසේ නමුත් එළුවාගේත් සුනඛයාගේත් මිත්‍රභාවය වන්නේ ය.”

 ගාථාව කීව ද සේනකයා අර්ථය නොදනී. රජු වනාහි අර්ථය ප්‍රකට බැවින් තමා දනී. ඒ නිසා සේනකයන් විසින් දැනගන්නා ලද්දේ යැයි සිතා, පුක්කුසගෙන් අසමි’ යි ඇසීය. ඔහු ද ‘මම පමණක් පණ්ඩිත නොවෙන්නේ කෙසේදැ’ යි කියා ඉගෙනගත් ක්‍රමයටම ගාථාව කීය.

“අසුපිට ඇතිරිමෙහි සුවය සළකා එළුවාගේ සම නසත්, බලු සම එසේ අතුරන්නේ නැත. එකලා සුනඛයාගේත් එළුවාගේත් මිත්‍රභාවය
වන්නේය.”

සේනකයාට ද එහි අර්ථයද අප්‍රකටම ය. රජු වනාහි තමාට පැහැදිලි බැවින් මොහු විසින්ද දන්නා ලදැයි කාවින්දගෙන් ඇසී ය. ඔහුද ගාථාව කීය.

“එළුවා ඇඹරි ගිය අං ඇත්තෙකි. සුනඛයාට අං නැත. එළුවා තණ කන්නේ ය. බල්ලා මස් බුදින්නේ ය. එසේ වුවත් එළුවාගේත් සුනඛයාගේත් මිත්‍රභාවය වන්නේය”

රජු මොහු විසින් ද දන්නා ලද්දේ යැයි දේවින්දගෙන් ඇසීය. ඔහු ද උගත් අයුරින්ම ගාථාව කීය.

“එළුවා තණ හා කොළ කන්නේ ය. බල්ලා තණ හා කොළ නොකන්නේ ය. බල්ලා සාවුන් බළලුන් කයි. එසේ වුවත් එළුවාගෙන් බල්ලාගේත් මිත්‍රත්වය වන්නේය”

ඉක්බිති රජතුමා පණ්ඩිතයන්ගෙන් ඇසීය. “දරුව! නුඹ මේ ප්‍රශ්නය දන්නෙහිද?”

“මහරජතුමනි! අවීචි මහා නරකයේ පටන් භවාග්‍රය තෙක් මා හැර වෙන කවරනම් කෙනෙක් මෙය දන්නේද?”

“එසේනම් කියන්න”

“මහරජතුමනි! අසන්න” යැයි ඒ කාරණය තමන් දන්නා බව හෙළි කරන්නේ
මේ ගාථා දෙක ප්‍රකාශ කළේ ය.

“සිවුපා ඇති අටකුරින් යුත් එළුවා මස් ගෙනෙන වේලෙහි නොපෙනී සිට බල්ලාට මස් ගෙනෙයි. බල්ලා එළුවාට තණ ගෙනෙයි.

ප්‍රාසාදයේ මතුමහලේ සිටි වේදේහ රජු ඔවුනොවුන් ආහාර හුවමාරු කරනවා දුටුවේ වන, රජතෙමේ බල්ලාගේත් එළුවාගේත් මිත්‍රභාවය ප්‍රත්‍යක්‍ෂ වශයෙන්ම දුටුවේය.”

රජු අන් අය ද බෝධිසත්ත්වයන් නිසා ප්‍රශ්නය දැනගත් බව නොදන්නේ මේ පස්දෙනා ම තමන්ගේ ප්‍රඥා බලයෙන් දැනගත්තා හ යැයි සිතන්නේ සතුටට පත්ව මේ ගාථාව කීය.

“නුවණැත්තෝ ගැඹුරු බවට ගිය සියුම් අර්ථ දැනගෙන සුභාෂිතයෙන් පවසත් ද මෙබඳු පඬිවරයෝ යම්බඳු වූ මාගේ කුලයෙහි වෙසෙත් ද මට ඒකාන්තයෙන් වූයේ මහත් ලාභයකි”

ඉක්බිති ඔවුන්ට සතුටු වූ ආකාරයක් කළ යුතුයැයි මේ ගාථාව ද කීය.

“සුභාෂිතයෙන් ඉතා ප්‍රීතියට පත්වූයෙමි. පණ්ඩිතයන් වූ තොපට වෙළඹුන් යෙදූ රියක් ද සශ්‍රීක වූ ගමක් ද බැගින් දෙමි” යි කියා අවශ්‍ය සියල්ල දෙවීය.