මහා උම්මග්ග ජාතකය
4 වන කොටස
එය අසා මහා සත්ත්වයෝ මෙසේ සිතූහ. “මා අකමැති වුවත් රජු යන්නේ ය. ගොස් ද වහා විනාශයකට පත්වන්නේ ය. ඉක්බිති මට මෙබඳු වූ යසඉසුරු සම්පත් දෙන රජුගේ වචනය සිතේ තබාගෙන ඔහුට උපකාරයක් නොකළේ යැයි නින්දාවක් වන්නේ ය. මා වැනි පණ්ඩිතයන් සිටින කල්හි කුමක් නිසා මොහු නැසෙන්නේ ද? රජුට පළමු ගොස් චූළනී රජුව දැක මනාව කොටස්කර වේදේහ රජුට නතරව සිටින නගරයක් මවා ගව්වක් පමණ සුළු උමඟක් ද අඩ යොදුනක් පමණ මහා උමඟක් ද කරවා චූළනී රජුගේ දියණිය අභිෂේක කොට, අපගේ රජතුමාට බිරිඳ කොට අටළොස් අභිණීයක් බලසේනා හා එක්සියයක් රජුන් පිරිවරාගෙන සිටිනා වූ අපගේ රජතුමාව රාහු මුඛයෙන් චන්ද්‍රයාව මෙන් මුදවා ගෙන ඒම නම් මට භාර ය”
මෙසේ සිතන්නා වූ ඔහුගේ ශරීරයෙහි ප්‍රීතිය උපන්නේ ය. ඔහු ප්‍රීති වේගයෙන් උදන් අනන්නේ,
“යම් රජකුගේ සමීපයේ පුරුෂයෙක් යස ඉසුරු ලැබ භෝග අනුභව කරන්නේ ද ආක්‍රෝශ පරිභව කළත්, ගෙලෙන් අල්ලා ඇද දැම්මත්, ඔහුගේ ම යහපත දියුණුව සඳහා කටයුතු කරන්නේ ය. පණ්ඩිතයෝ කායද්වාර ආදී තුන්දොරින් හැසිරෙන්නේ නමුත් පණ්ඩිතයන් විසින් මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් නොකරන්නේ ය” යි කීහ.
ඔහු ස්නානය කොට සැරසී මහත් යසසින් රජගෙදරට ගොස් රජුට වැඳ එකත්පසෙක සිටියේ මෙසේ කීය. “කිම දේවයන් වහන්ස! උත්තරපංචාල නගරයට යන්නේ ද?”
“එසේය දරුව. පංචාලචණ්ඩිව නොලබන්නා වූ මට රාජ්‍යයෙන් කවර වැඩෙක් ද? මා අත් නොහරින්න. මා සමගම එන්න. එහිදී අපට කරුණු දෙකක් ඉටුවේ. ස්ත්‍රී රත්නයක් ලබමි. රජු සමග ද මිත්‍රත්වයක් ඇතිවන්නේ ය”
ඉක්බිති පණ්ඩිතයෝ රජුට මෙසේ කීය. “එසේ නම් දේවයන් වහන්ස! මම පළමුව ගොස් ඔබවහන්සේට වාසස්ථාන සූදානම් කරමි. මා විසින් පණිවිඩයක් එවූ කල්හි ඔබවහන්සේ පැමිණෙන්න” යැයි කියමින් ගාථා දෙකක් ප්‍රකාශ කළේ ය.
“මහරජ, එසේනම් මම පළමුකොට යසස් ඇති වේදේහ රජුට නිවෙස් තැනීමට පංචාල රජුගේ රමණීය පුරවරයට යන්නෙමි.
මහරජ! ඉසුරුමත් වේදේහයනට නිවස සාදා යම්දිනක ඔබට පණිවුඩයක් එවන්නෙම් ද එකල එහි පැමිණෙනු මැනවි”
එය අසා රජු ‘පණ්ඩිතයන් මා අත්හරින්නේ නැතැ’ යි තුටුපහටු වූයේ මෙසේ කීය. “දරුව, පළමුව යන්නා වූ ඔබට අවශ්‍ය මොනවාද?”
“දේවයනි! බලවාහන අවශ්‍යයි”
“දරුව, ඔබට අවශ්‍ය තරම් ගන්න”
“සිරගෙවල් සතරක් විවෘත කරවා සොරුන්ගේ හැකිලි බැඳීම් ආදිය බිඳ දමා ඔවුන් මා සමඟ එවන්න”
“දරුව, කැමැති ලෙස කරන්න”
මහාසත්ත්වයෝ බන්ධනාගාර විවෘත කරවා දක්ෂ වූ මහා යෝධයන්, ගිය තැන වැඩ කරන්නට සමර්ථ අයව බැහැරට ගෙන ‘ඔබලා මට සේවය කරන්නැ’ යි ඔවුන්ට සත්කාර කොට වඩුවන්, කම්මල්කරුවන්, සම්වැඩකරුවන් චිත්‍රකාරයන් ආදි වූ නානා ශිල්පයන්හි දක්‍ෂ අටළොස් සේනාවක් ගෙන, වෑය, පොරව, උදැල්ල, අලවංගු ආදී වූ බොහෝ උපකරණ ගෙන්වාගෙන, මහා බල සේනා පෙරටු කොට ගෙන නගරයෙන් නික්ම ගියේ ය.
මහා සත්ත්වයන් වහන්සේ යන්නේ, යොදුනක් යොදුනක් අතර එක එක ගම බැගින් පිහිටුවා එකිනෙක ඇමැතිවරුන්ට “තෙපි, රජු පංචාලචණ්ඩි කුමරියව ගෙන නතරවන කල්හි ඇත් අස් සේනාවන් සූදානම් කර රජුවත් රැගෙන සතුරන් මැඩපවත්වා වහා මියුළු නුවරට පැමිණෙන්නහු” යැයි කියා තැබී ය.
ගංතෙරට පැමිණ ආනන්ද කුමාර නමැත්තකු කැඳවා “ආනන්දය! ඔබ තුන්සියයක් වඩුවන් ගෙන ගඟේ උඩ පෙදෙසට ගොස් ශක්තිමත් දැව ගෙන තුන්සියයක් පමණ නැව් සාදා, නගරය සඳහා එහිම ලී සමූහය සැස, සැහැල්ලු ලී වලින් නැව පුරවා වහා එවියැ” යි පිටත්කර හැරියේ ය.
තෙමේ වනාහි නැවෙන් එගොඩට ගොස් බැස්ස තැන සිට පා සළකුණෙන් ගණන් කර මේ අඩ යොදුන් තැනයි සළකා ‘මෙතන මහා උමඟ වන්නේ ය. මෙතැන අපගේ රජුට නතරව සිටින නගරය වන්නේ ය. මෙතැන් පටන් රජගෙදර දක්වා ගව්වක් පමණ සුළු උමඟ වන්නේයැ’ යි වෙන්කර නගරයට පිවිසියේ ය.
චූළනී රජු බෝධිසත්ත්වයන්ගේ පැමිණීම අසා ‘දැන් මාගේ මනදොළ සපිරෙන්නේ ය. සතුරන් පිටුදකින්නෙමි. මොහු පැමිණි කල්හි වේදේහ ද ඉක්මණින්ම එන්නේ ය. ඉක්බිති ඔවුන් දෙදෙනාවම මරා, දඹදිව ඒකරාජ්‍යය කරමි’ යි අතිශයින් සතුටට පත්වි ය.
මුළු නගරයම කැළඹිණි.
”මේ මහෞෂධ පණ්ඩිතයන් ය. මොහු විසින් එක්සියයක් රජවරු ගල්කැටවලින් කවුඩන් මෙන් පලවාහරින ලදහ” ජනයා ප්‍රිති ඝෝෂා කළ හ.
මහා සත්ත්වයෝ, නාගරිකයන් තමන්ගේ රූප සම්පත්තිය බලා සිටියදී ම රථයට නැගී රජගෙදර දොරටුව ලඟට ගොස් රජුට දැනුම් දී, ‘එන්නයැ’ යි දැන්වූ කල්හි පිවිස රජුට වැඳ එකත්පසෙක සිටියෝ ය.
ඉක්බිති රජු ඔහු සමග පිළිසඳර කථා කොට මෙසේ විචාළේ ය.
“දරුව, රජතුමා කවදා එන්නේ ද?”
“ස්වාමිනි මා විසින් දන්වා යැවූ කල්හි ය”
“ඔබ කුමක් සඳහා පැමිණියෙහිද?”
“ස්වාමීනි! අපගේ රජතුමාට නතරවීමට තැනක් සැදීම සඳහා ය”
“යහපති දරුව”
ඉක්බිති ඔහුගේ සේනාවට වියදම් දී මහා සත්ත්වයන්ට බොහෝ සත්කාර කොට නතර වීමට නිවසක් ද ලබා දී “දරුව, ඔබගේ රජතුමා පැමිණෙන තෙක් නොකලකිරි අපගේ ද කළ යුතු වැඩක් ඇත්නම් එය ද ඉටුකර දෙමින් මෙහි වාසය කරන්න” යැයි පැවසී ය.
ඔහු ද වනාහි රජ ගෙදරට නගිමින්ම, පඩිපෙළ මුල සිට ‘මෙහි සුළු උමගේ දොරටුව වන්නේයැ’ යි සැළකී ය.
ඉක්බිති ඔහුට මෙසේ සිතිණ. රජු අපට ද කළයුතු දෙයක් ඇතොත් කරදෙන්න යැයි කියයි. උමග සාරන විට යම්සේ මේ පඩිපෙළ පසු නොබසී ද එසේ කළයුතුයයි සිතා රජුට මෙසේ කීය.
“දේවයන් වහන්ස! රජගෙට පිවිසෙන විටම පඩිපෙළ මුල සිට අළුතින් කරන වැඩ කටයුතු බලන විට ලොකු පඩිපෙළේ දොසක් දුටුවෙමි. ඉදින් ඔබ වහන්සේ කැමැති වන්නේ නම් මට ලී ලබාදුනහොත් විසිතුරු ලෙස අතුරන්නෙමි”
“යහපති! දරුව, එසේ කරන්න”
හෙතෙම මෙහි උමංදොරටුව වන්නේ යැයි මනාව සළකාගෙන ඒ පඩිපෙළ ඉවත්කර, යම්තැනක උමගේ දොරටුව වේද එහි පස් නොවැටීම පිණිස ලෑලි අතුරවා යම්සේ බැස නොගනී ද. එසේ නිශ්චල කොට පඩිපෙළ ඇතිරී ය.
රජතෙම එහි වෙනස නොදැන මට හිතවත්කම් නිසා කරන්නේයැ’ යි සිතී ය. මෙසේ ඒ දවස අලුත් වැඩකටයුතුවලින් ගතකොට පසුදා රජුට කීය.
“රජතුමනි! අපගේ රජතුමාගේ වාසස්ථානය දන්නේ නම් එය මනාව කරවා පිළියෙල කරන්නෙමු” යි පැවසී ය.
“පණ්ඩිතය! මැනවි, මාගේ වාසස්ථානය හැර සියලු නගරයෙහිම යම් නිවසක් කැමැත්තේ ද එය ගන්න” යැයි කීය.
“මහරජතුමනි. අපි අමුත්තෝ වෙමු. ඔබවහන්සේගේ බොහෝ සේවක යෝධයෝ සිටිත්. ඔව්හු තමන්ගේ නිවෙස් ගන්නා කල්හි අප සමග කලහ කරන්නාහ. ඔවුන් සමග අපි කුමක් කරන්නෙමුද?”
“පණ්ඩිතය! ඔවුන්ගේ වචන නොසලකා හරින්න. ඔබට රුචි තැන්ම ගන්න”
“දේවයන් වහන්ස, ඔව්හු නැවත නැවත අවුත් ඔබ වහන්සේට කියන්නාහ. එයින් ඔබ වහන්සේට අපහසුතාවයක් ඇති වන්නේ ය. ඉදින් කැමැති නම් අප ගෙවල් ලබාගන්නාතුරු අපගේ පුරුෂයෝ ම දොරටුපාලයෝ වෙත්වා! එයින් දොරෙන් ඇතුල්වීමට නොහැකිව යන්නාහ. එය ඔබවහන්සේගේ ද අපගේ ද හිතසුව පිණිස වන්නේ ය”
රජු යහපතැයි පිළිතුරු දුන්නේ ය. මහාසත්ත්වයෝ, පඩිපෙළ පාමුල, පඩිපෙළ මත්තේ, මහා දොරටුවෙහි යන සියළු තන්හි තමන්ගේ පුරුෂයන්ව ම තබා කිසිවකුට ඇතුළු වන්නට ඉඩ නොදෙන ලෙස පැවසී ය.
ඉක්බිති රාජ මාතාවගේ වාසභවනයට ගොස් එය කඩාදමන බවක් අඟවන්තයැයි පුරුෂයන්ට අණ කළේ ය. ඔව්හු දොරටුව හා ආලින්දයේ පටන් ගඩොල් ද පස් ද ඉවත් කරන්නට වූහ. රජුගේ මව ඒ පුවත අසා අවුත් “කිම දරුවෙනි! මගේ නිවස කඩන්නහුදැ” යි විමසුවා ය.
මෙය කඩා අපේ රජතුමාට වාසස්ථානයක් කරන බව මහෞෂධ පඬිතුමා පැවසී ය. “ඉදින් ඔබ මෙහි මේ ලෙසට වාසය කරන්නෙහි නම් අපගේ රජතුමාගේ මහත් වූ බල වාහන වලට මෙය ප්‍රමාණවත් නොවේ. වෙනත් විශාල එකක් කරවන්නෙමු”
“නුඹලා මා කවුදැයි නොහඳුනන්නාහ. මම රජතුමාගේ මව වෙමි, දැන් ම පුතා සමීපයට ගොස් දැන ගන්නෙමි”
“අපි රජුගේ වචනයෙන් කඩන්නෙමු. හැකිනම් වලක්වන්න”
“ඇය කිපී දැන් තොපට කළයුතු දේ දනිමි” යි රජගෙදර දොරටුව වෙත ගියා ය. ඉක්බිති දොරටු පාලකයෝ ඇයව වැලැක්වූහ.
“දරුවෙනි. මම රජුගේ මව වෙමි” යි කීවා ය.
“අපි නොදනිමු. කිසිවකුටත් ඇතුල් වීමට ඉඩ නොදෙන ලෙස රජු විසින් අණකරන ලද බැවින් ඔබ ආපසු යන්න”
ඇය කළයුතු දෙයක් නොදැක නතරවී තම නිවෙස දෙස බලමින් සිටියා ය.
ඉක්බිති එක් පුරුෂයෙක්, “කිම මෙහි කුමක් කරන්නීද? මෙතතින් යන්නේ ද? නොයන්නේ ද?” කියා අසා නැගිට ගෙලෙන් අල්ලා බිම හෙළීය.
ඒකාන්තයෙන් රජු විසින් අණකළා විය යුතුයි. එසේ නොමැති නම් මෙසේ කරන්නේ නැතැයි ‘පණ්ඩිතයන් සමීපයට ම යන්නෙමි’ යි කියා එහි ගොස් “දරුව! මහෞෂධ, කුමක් නිසා මාගේ නිවස බිඳවන්නේදැ” යි ඇසීය. ඔහු ඇය සමග කථා නොකළේ ය. සමීපයෙහි සිටි පුරුෂයෙක් දේවිය කුමක් කීවේදැයි ඇසී ය.
“කුමක් නිසා පණ්ඩිතයන් ගෙය කඩා දමන්නේද?”
“වේදේහ රජුට වාසස්ථානයක් සදන්නටය” යැයි පුරුෂයා කීය.
“කිම දරුව, මේසා විශාල නගරයේ වෙන ස්ථානයක් නැත්තේ ද? මේ ලක්‍ෂයක් අල්ලස ගෙන වෙන තැනක කරව්” යැයි පැවසුවා ය.
“දේවිය යහපති, ඔබගේ නිවෙස අත්හැර දමන්නෙමු. අල්ලස ගත් බව කිසිවකු සමගවත් නොකියන්න. අන් අය ද අල්ලස් දී ගෙවල් නිදහස් කරගන්නට නොඅසත්ව!”
“දරුව, රජුගේ මව අල්ලස් දුන්නේ ය යන්න මට ද ලජ්ජාවකි. කාහටවත් නොකියන්නෙමි”
හෙතෙම යහපතැයි ඇගෙන් ලක්ෂයක් ගෙන ගෙය අතහැර දමා කේවට්ටයාගේ නිවසට ගියේ ය. හෙතෙම රජදොරටුව ලඟට ගියේ ය. එහි දොරටු පාලකයෝ උණ පටිවලින් ගසා කේවට්ටයාගේ පිටෙහි සම ගලවාලී ය. කළ හැකි දෙයක් නොදුටු තැන ලක්‍ෂයක් ම දුන්නේ ය. මේ ආකාරයෙන් මුළු නගරයෙහිම ගෙය සෑදීමට තැනක් ගැනීමේ ක්‍රමයෙන් අල්ලස් ගෙන ලැබුනු ප්‍රමාණය කහවනු නවකෝටියක් විය. මහාසත්ත්වයෝ මුළු නුවර ම ඇවිද රජගෙදරට ගියහ.
ඉක්බිති රජු “කිම පණ්ඩිතය, ඔබට වාසස්ථානයක් ලැබුනේද?” යි පණ්ඩිතයන්ගෙන් ඇසී ය.
“මහරජතුමනි, නොදෙන කෙනෙක්නම් නැත. එසේ නමුත් ගෙවල් ලබාගැනීමේදී වෙහෙසට පත්වෙත්. ඔවුන්ට ප්‍රිය විප්‍රයෝග ඇතිකිරීම ද අපට සුදුසු නැත. පිටත නගරයෙහි ගව්වක් පමණ තැන ගංගාවටත් නගරයටත් අතර අසවල් තැන අපගේ රජුට වාසයට නගරයක් කරන්නෙමු”
රජු ඒ අසා ‘ඇතුල් නුවර යුද්ධ කිරීම ද දුකකි. තමන්ගේ සේනාවත් සතුරු සේනාවත් හඳුනාගන්නට බැරිය. පිටත නගරයේ වනාහි පහසුවෙන් යුද්ධ කළ හැක. ඒ නිසා පිටත නගරයේ දී ඔවුන්කොටා මරන්නෙමි’ යි සතුටුව “දරුව යහපති. ඔබ විසින් සළකුණු කළ තැනක කරන්න” යැයි කීය.
“මහරජ, මම කරවන්නෙමි. ඔබතුමන්ගේ මිනිසුන් විසින් දර, කොළ ආදිය සඳහා අපගේ අලුත් වැඩබිමට නොයා යුතුයි. යන්නවුන් කෝලාහල කරත්. එයින්ම ඔබටත් අපටත් සිතේ සතුටක් ඇතිවන්නේ නැත”
“පණ්ඩිතය! එසේය”
“දේවයන් වහන්ස, අපගේ ඇත්තු දියෙහි ආශා ඇත්තාහු ජලයේම ක්‍රීඩා කරත්, ජලය කැළඹුණු කල්හි ‘මහෞෂධයන් ආ දවස් වල පටන් පැහැදි ජලය පානය කරන්නට නොලබමු’ යි ඉදින් නුවරවැස්සෝ කිපෙත්නම් එය ද ඉවසාගත යුතුයි”
රජු ද ‘ඔබගේ ඇත්තු සැක නැතිව ක්‍රීඩා කරත්වා’ කියා, ‘යමෙක් මෙතනින් නික්ම මහෝෂධ පණ්ඩිතයන් නගර නිර්මාණය කරන තැනට යයි ද ඔහුට දහසක් දඩයයි නගරයේ අණබෙර හැසිරවී ය.
මහා සත්ත්වයෝ රජුට වැඳ තමන්ගේ පිරිස ගෙන නුවරින් නික්ම වෙන්කරගත් තැන නගරය මවන්නට පටන් ගත්තේ ය.
ගඟෙන් එගොඩ ගම කරවා ඇත් අස් වාහන ද ගවයන් ගොනුන් ආදීන් ද එහි තබා නගර නිර්මාණය විචාරන්නේ මෙපමණ, මෙතෙක් යනාදී ලෙස කළයුතු වැඩ ප්‍රමාණයක් නියම කොට උමග සෑදීමේ කටයුතු ආරම්භ කළේ ය.
මහා උමගෙහි දොරටුව ගංඉවුරේ විය. යෝධයන් හයසියයක් පමණ මහා උමග සාරත්. විශාල සම්මලු ආදියෙන් පස් බැහැර කොට ගඟට හෙළත්, හෙළන හෙළන ලද පස් ඇත්තු පාගත්. ගඟ කැළඹී ගලාබසී. නගර වැසියෝ, ‘මහෞෂධ පණ්ඩිතයන් පැමිණි කාලයේ පටන් ප්‍රසන්න ජලය පානය කරන්නට නොලබමු. ගංගාව කැළඹී ගලාබසී. මේ කුමක් නිසාදැ’ යි කියත්, ඉක්බිති පණ්ඩිතයන් විසින් යොදන ලද මිනිස්සු ඔවුන්ට මෙසේ කියත්. ‘මහෞෂධයන්ගේ ඇත්තු ජල ක්‍රීඩා කරන්නාහු ගඟේ ජලය මඩ කරත්. ඒ නිසා ගඟ කැළඹී ගලාබසී’
බෝසත්වරුන්ගේ අදහස් සඵල වේ. ඒ නිසා උමගෙහි මුල් හෝ ගල් හෝ කැටගල්, පොළව තුලට කිඳා බැස්සේ ය. සුළු උමගේ දොරටුව ඒ නගරයෙහි විය. පුරුෂයෝ සත්සියයක් පමණ ඒ උමඟ සාරත්, සම් පසුම්බි ආදියෙන් පස් ගෙනවුත් ඒ නගරයෙහි හෙළත්, හෙළන හෙළන ලද පස් ජලයෙන් අනා ප්‍රාකාරය බඳිත්, වෙනත් දෙයක් හෝ කරත්.
මහ උමඟෙහි පිවිසෙන දොරටුව නගරයෙහි විය. දහඅට රියනක් උස යන්ත්‍ර ද්වාරයකින් යුක්ත ය. එය වනාහි එක් ඇණයක් තද කළවිට වැසීයයි. එක් ඇණයක් තද කළවිට විවෘත වෙයි. මහ උමග දෙපැත්තේ ගඩොල් බැඳ සුණු පිළියම් කරවී ය. මත්තේ ලෑලි ගසා සිවිලිමෙහි මැටි ආලේප කර සුදුපාට කරවී ය. මෙහි මහ දොරටු අසූවක් ද හැටසතරක් කුඩා දොරටු ද විය. සියල්ල ම යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරයි. එක් ඇණයක් තද කිරීමෙන් සියල්ල වැසී යයි. සියල්ල විවෘත වෙයි.
දෙපැත්තේ සියගණන් ආලෝකහල් විය. ඒ සියල්ල ද යන්ත්‍රානුසාරයෙන් යුක්ත ය. එකක් විවෘත කරන විට සියල්ල විවෘත වෙයි. එකක් වසන විට සියල්ල වැසී යයි.
එකිනෙකෙහි නොයෙක් වර්ණයන්ගෙත් යුත් ඇතිරිලි අතුරන ලද මහා සයනයන් ඇති, ඔසවන ලද සේසත් ඇති, සිංහාසන ඇති, අතින් ස්පර්ශ නොකොට මිනිස් රුවක්යැයි දැනගත නොහැකිවන තරමේ සජීවී අඳින ලද කාන්තාරූප ඇති කුටි වෙත්. තව ද උමඟ දෙපස, දක්‍ෂ චිත්‍ර ශිල්පීන් විසින් නොයෙක් ආකාර චිත්‍ර කර්මයන් කරන ලදී. ශක්‍ර විලාශය, මහමෙර, සාගර, මහා සාගර, සිව්මහා දිවයින්, හිමාලය, අනෝතත්ත විල, මනෝසිල පර්වතය, ඉරසඳ, චාතුර්මහාරාජිකය ආදි කොට ඇති කාම ලෝක සය ආදී වූ කොටස් සියල්ල උමගෙහි දැක්වූහ. බිම රිදී පාට වැලි අතුරා මත්තෙහි සුපුෂ්පිත නෙළුම් මල් දැක්වූහ. දෙපස නොයෙක් ආකාර වෙළඳ සැල් ද පෙන්වූහ. ඒ ඒ තැන්වල සුවඳ දාමයන් මාලාදාමයන් එල්වා සුධර්මා දිව්‍ය සභාව මෙන් උමග අලංකාර කළහ.
වඩුවෝ තුන්සියය නැව් තුන්සීයක් බැඳ අවසන්කළ කර්ම ඇත්තේ ලීදඬු පුරවාගෙන ගඟෙන් ගෙනවුත් පණ්ඩිතයන්ට දැනුම් දුන්හ. හෙතෙම ඒවා නගරය සමීපයට ගෙන්වා ‘මා විසින් නියම කරන දිනයක ගෙන එන්න’ යැයි නැව සැඟවුනු තැනක තැබී ය.
නගරයේ දියඅගල රියන් අටළොසකි. ප්‍රාකාරය, දොරටුගෙවල්, රාජ වාසස්ථාන, වාසස්ථාන ඇත්හල් ආදියත් පොකුණු ද යන සියල්ල නිමකළේ ය. මෙසේ සුළු උමග, මහ උමග, නගරය යන මේ සියල්ල සිව්මසකින් නිමාවට පත්විය. ඉක්බිති මහා සත්ත්වයෝ සිව් මසක් ගතවූ පසු රජුට පැමිණීම සඳහා දූතයකු යැවී ය.
ඉක්බිති වේදේහ රජතෙමේ සිවුරඟ සෙනග සමග අප්‍රමාණ වූ අශ්වාදී සේනාවන් ඇති සමෘද්ධිමත් කම්පිල්ල රටෙහි මවන ලද නගරය දක්නා පිණිස පිටත්විය. හෙතෙම අනුපිළිවෙළින් ගංතෙරට පැමිණියේ ය. ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ පෙරගමන්කොට රජතුමාව තමන් විසින් කරන ලද නගරයට ඇතුල් කළේ ය. රජතුමා එහි උතුම් ප්‍රාසාදයට ගියේ නොයෙක් රසැති අග්‍ර භෝජනයක් වළඳා ටික වේලාවක් විවේක ගෙන සවස් කාලයේ තමන් පැමිණි බව දන්වන්නට චූළනී රජු වෙතට දූතයකු යැවී ය.
“සකල ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් ශෝභමාන වූ ඔබ දියණිය රනින් සරසා දැසිදස් සමූහයා විසින් පෙරටු කරන ලදුව මගේ බිරිඳ ලෙස දැන් එවුව මැනවි, මා ඔබේ පා වඳිමි”
වේදේහ රජු මහළුය. චූළනී රජු ඔහුගේ පුත්‍රයා තරම්වත් නොවෙයි. කෙලෙස් වලින් මුළා වී ‘බෑණා වනාහි මාමණ්ඩියට වැඳිය යුතුයැ’ යි සිතා ඔහුගේ සිතේ කැමැත්ත දන්වා මෙසේ (වඳින) පණිවිඩය යැව්වේ ය.
චූළනී රජු දූතයාගේ කථාව අසා සොම්නස් වූයේ ‘දැන් මාගේ සතුරා කොහි යන්නේද? ඔවුන් දෙදෙනාගේ ම හිස් සිඳ ජයපැන් බොන්නෙමු’ යි ක්‍රෝධය හා මුසු වූ සතුටක් පෙන්වමින් දූතයාට සංග්‍රහ කර අනතුරුව මෙසේ කීය.
“වේදේහය ඔබේ පැමිණීම සුභ සම්ප්‍රාප්තියෙකි. තව ද නපුරු කොට ඊමෙක් ද නොවේ. නැකැත් පමණක් විමසව, රනින් සැරසූ දියණිය දැසිදස් ගණයා පෙරටු කොටැ ඔබට දෙන්නෙමි”
(එහි වේදේහ යනු වේදේහ රජුගේ පණිවිඩය අසා ඉදිරිපිට සිටියාක් මෙන් කථා කරයි. එසේ නැතහොත් බ්‍රහ්මදත්ත රජු විසින් කියන ලදී යැයි දන්වන්න යැයි දූතයාට නියම කරන්නේ මෙසේ කීය)
එය අසා දූතයා වේදේහ රජු සමීපයට ගොස්, “දේවයිනි! මංගල කටයුතු සඳහා සුදුසු නැකැතක් දන්නෙහි ද? රජු ඔබට දියණිය දෙයි” යැයි කීය. හෙතෙම “අදම නැකැත සුභයැ” යි නැවත දූතයකු යැවී ය.
“සකල ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව රනින් සරසා දැසිදස්සන් පෙරටුකොට මගේ බිරිඳ ලෙසින් දැන් ම එවනු මැනව”
චූළනී රජු ද “සකල ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව රනින් සරසා දැසිදස්සන් පෙරටුකොට ඔබිට බිරිඳ ලෙසින් දෙන්නෙමි” යි දන්වා ‘දැන් යවමි. දැන් යවමි’ යැයි බොරුකර එක්සියයක් රජවරුන්ට සංඥාවක් දුන්නේ ය.
“අටළොස් අක්ෂෞහිණීයක් සමග සියල්ලෝ ම යුද්ධයට සැරසී නික්මෙත්වා. සතුරන් දෙදෙනාගේ ම හිස් සිඳ හෙට ජයපැන් බොන්නෙමු”
ඒ සියල්ලෝම නික්මුණාහ. තෙමේත් නික්මෙන්නේ, මව තලතා දේවියත්, අගමෙහෙසිය වන නන්දා දේවියත්, පංචාලචණ්ඩ පුතාත්, පංචාලවන්ඩී දියණියත් යන සතර දෙනාව අන්තඃපුරය සමග මාලිගයේ නතරකර නික්මිණි.
බෝධිසත්ත්වයෝ වේදේහ රජුටත් ඔහු සමග පැමිණි සේනාවටත් මහත් සත්කාර කළේ ය. සමහර කෙනෙක් සුරාපානය කරත්. තවත් සමහරෙක් මත්ස්‍යමාංශ අනුභව කරත්. තව කෙතෙක් දුරමගක ආ බැවින් වෙහෙසට පත්ව නිදත්.
වේදේහ රජු වනාහි සේනකාදී පණ්ඩිතයන් රැගෙන ඇමැති සමූහයා පිරිවරා අලංකාර කළ උඩුමහලෙහි සිටියේ ය. චූළනී රජු ද අටළොස් අක්ෂෞභිණියක් පමණ සේනාවෙන් නගරය තුන්හතර වටයක් වටකර නොයෙක් සියදහස් ගණන් පන්දම් දරමින් අරුණ නැග එනවිටම සියළු දෙනාම ඒකරාශී වී සිටියහ.
ඒ බව දැනගත් මහා සත්ත්වයෝ තමන්ගේ යෝධයන් තුන්සියයක් යැවී ය. “තෙපි සුළු උමගින් ගොස් රජුගේ මවද, අගමෙහෙසිය ද පුතා ද, දුව ද එම උමං මාර්ගයෙන් ගෙනවුත්, එයින් මහා උමගින් ගෙන, උමං දොරටුවෙන් පිටනොකර අප පැමිණෙන කල්හි උමගින් බැහැරට ගෙන, උමං දොරටුවේ මහා විශාල මාලකයේ තබන්න”
ඔවුහු ඔහුගේ වචනය පිළිගෙන සුළු උමගෙන් ගොස් පඩිපෙල පාමුල අතුරන ලද ඇතිරිල්ල ගලවා පඩිපෙළ පාමුල, පඩිපෙළ මුදුනේ, මහා තට්ටුවේ, අතුරා තිබුණු ඇතිරිලි උගුල්ලා,, පඩිපෙළ පාමුළ පඩිපෙළ මුදුනේ, මහා තලයේ යන මෙතෙක් තැන්වල ආරක්‍ෂක භටයන් ද කුදාලා ආදී පරිවාර ජනයා ද අත්පා බැඳ කට වසා ඒ ඒ තැන්වල සඟවා තබා, රජුට පිළියෙල කළ කෑමවලින් කොටසක් අනුභව කොට ඇතැම් ඒවා සුණු විසුණු කොට, ප්‍රාසාදයේ උඩුහලට නැංගාහ.
එවිට තලතා දේවිය ද, තන්දා දේවිය ද, රාජපුත්‍රයා ද රජ දියණිය ද ‘කුමක් වන්නේදැයි කවුරු දනිත්ද’ කියා එකම සයනයෙහිම නිදාගත්හ. ඒ යෝධයෝ කාමරයේ දොරටුව ලඟ තබා රජ පවුල කැඳවීම පිණිස සඥාවක් කළේ ය. එවිට තලතා දේවිය නික්ම “දරුවෙනි, කුමක්ද?” යි ඇසීය.
“දේවියනි! අපගේ රජු වේදේහයන් ද මහෞෂධයන් ද ජීවිතක්‍ෂයට පත්කර මුළු දඹදිව ඒකරාජ්‍යයක් කොට එක්සියයක් රජුන් පිරිවරා මහත් යසසින් මහා ජයපානය බොන්නේ ඔබලා සතරදෙනාව ද ගෙන එන්නට අපව එවන ලදී “
ඔවුහු ප්‍රාසාදයෙන් බැස පඩිපෙළ මුලට ගියාහ. ඉක්බිති ඔවුන්ව ගෙන සුළු උමගට පිවිසියාහ. ඔවුහු මෙසේ ඇසූහ.
“මෙතෙක් කල් මෙහි වසන අපි මේ වීථියට නොබැස්සෝ වෙමු”
“මේ වීථියට හැම දිනම නොබසිත්. මෙය මංගල වීදියයි. අද මංගල දිනය බැවින් රජු මේ මාර්ගයෙන් කැඳවාගෙන එන්නට නියම කළේ ය”
ඔවුහු ඔවුන්ගේ වචනය විශ්වාස කළහ. ඉක්බිති ඇතැමෙක් ඒ සතරදෙනාව රැගෙන ගියහ. ඇතැමෙක් නතර වී රජ ගෙදර රුවන් ගබඩාව විවෘතකොට ඇතිතරම් ධන සමූහයක් රැගෙන ගියහ. අනික් අය සතර දෙනාව පෙරටු කොට ගෙන මහා උමගට ගොස් අලංකාර කළ දිව්‍යසභාව බඳු උමඟ දැක රජු සඳහා පිළියෙල කරන ලදැයි හැඟවූහ. ඉක්බිති ඔවුන්ව මහා ගංගාවට නුදුරු තැනකට ගෙන ගොස් උමඟ තුළදී ම සැරසූ කාමරයක හිඳුවා කීපදෙනෙක් ආරක්‍ෂාවට සිටියහ. තව කෙනෙක් ඔවුන්ව රැගෙන ආ බව ගොස් බෝධි සත්ත්වයන්ට දැන්වූහ.
ඔහු ඔවුන්ගේ කථාව අසා ‘දැන් මාගේ මනදොළ සම්පූර්ණ වන්නේයැ’ යි සොම්නස් වූයේ රජුගේ සමීපයට ගොස් එකත්පසෙක සිටියේ ය. රජු ද කෙලෙසුන්ගෙන් රෝගාතුර වූ බැවින් ‘දැන් මට දියණිය එවන්නේ ය. දැන් එවන්නේ ය’ කියා ආසනයෙන් නැගිට සුළං කවුළුවෙන් බලන්නේ නොයෙක් සියදහස් ගණන් පන්දම් එළියෙන් ඒකාලෝක වූ නගරය විශාල සේනාවකින් වටකර සිටිනු දැක හටගත් සැකසංකා ඇත්තේ මේ කුමක්දැයි පණ්ඩිතයන් සමග කථා කරමින් ම ඇසී ය.
“සන්නාහ සන්නද්ධ ඇත්, අස්, රිය, පාබල සේනාවෝ රැස්ව සිටිත්. දැල්වූ විලක්කු ද බැබලේ. පණ්ඩිතවරු මොවුන් අපට කුමක් කරත්දැයි දනිත්ද?”
එය අසා මහා සත්ත්වයෝ ‘මේ මෝඩයාව ටිකක් බිය කොට පසුව මාගේ බලය පෙන්වා අස්වසන්නෙමි’ යි සිතා මෙසේ කීය.
“මහරජ! මහත් බල ඇති චූළනී රජ තෙමේ ඔබ යා නොදී රකි. ප්‍රකෝප වූ බ්‍රහ්මදත්ත රජ උදෑසත ඔබ නසන්නේ ය.”
එය අසා සියල්ලෝම මරණ භයින් බියට පත්වූවාහු ය. රජුගේ උගුර වියළී ගියේ ය. මුවෙහි කෙළ සිඳී ගියේ ය. ශරීරයේ ඩාදිය නැගිණ. හෙතෙම මරණ භයින් බියවූයේ හඬන්නේ මෙසේ කීය.
“මා හද සැලෙයි. දරුව, මහෞෂධය, මාගේ හදවත මහා වාතයකට සෙලවෙන දල්ලක් මෙන් කම්පා වෙයි. කඹුරාගේ ගිනි උදුන මෙන් මාගේ හෘදයමාංශය ඇතුළතින් දැවෙයි. පිටතින් නොපෙනෙයි”
මහා සත්ත්වයන් ඔහුගේ වැළපීම අසා ‘මේ අඳබාලයා වෙන දිනවල මාගේ වචනය නොකරන්නේ ය. බියවූයේ ඔහුට නින්දා කරන්නෙමි’ කියා මෙසේ පැවසීය.
“මහරජ, ප්‍රමාදයට පැමිණ මාගේ වචන ඉක්මවූයේ භින්න මන්ත්‍ර ඇත්තෙහි ය. ඔබ හා මන්ත්‍රණය කළ පණ්ඩිතයෝ ම ඔබ රකිත්වා. අභිවෘද්ධිය කැමති හිතවත් ඇමැතියාගේ වචන නොපිළිගෙන තමා පිනවීමෙහිම ඇලුණු ඔබ මළපුඩුවැ අසු වූ මුවකු වැනි ය.
යම්සේ මත්ස්‍යයෙක් මසින් වැසුණු වක්වූ බිලිය නොදැක ඇමෙහි ගිජුව තමනට පැමිණෙන මරණය නොදක්නේ ද, මහරජ, එසේම ඔබ ද චූළනි රජුගේ දුව පිළිබඳ ආශාවෙන් මුළා වූවාහු ඇම ගිලි මත්ස්‍යයා මෙන් තම මරණය නොදකිති.
ඉදින් පංචාල නුවරට යන්නෙහි නම් වහා සියදිවි හරණේ ය. මගට පිළිපන් මුවකු සේ මහත් බියට පැමිණෙන්නෙහිය.
මහරජ, අනාර්ය ස්වරූප ඇති පුරුෂයා ඇකයෙහි වූ සර්පයකු දෂ්ට කරන්නා සේ විපත් පමුණුවන්නේ ය. නුවණැත්තේ ඔහු හා මිත්‍රත්වයක් නොකරන්නේ ය. අසත්පුරුෂයා හා එක්වීම ඒකාන්තයෙන් දුකකි.
මහරජ, යම් හෙයකින් මේ තෙමේ සිල්වතෙක. උගතෙකැයි දන්නේ ද, එබඳු පුද්ගලයා සමග නුවණැත්තේ මිත්‍ර වන්නේ ය. සත්පුරුෂයා හා එක්වීම ඒකාන්තයෙන් සුව ගෙන දෙන්නේ ය.
මහරජ, ඔබ කාමයෙන් ප්‍රමාද වූවෙකි. මා විසින් අනාගත බියක් දැක ප්‍රඥාවෙන් පිරිසිඳ දැන කරන ලද මන්ත්‍රණය ඉක්මවා ගියේ ය. ඔබ වනාහි කේවට්ටයා සමග මිත්‍රත්වයක් ඇතිකරගෙන ඔහුගේ වචනය පිළිගත්තේ ය. සේනකාදී සතර දෙනා දැන් ඔබ රකිත්වා. ඔවුන්ගේ බලය බලමු!”
ඉක්බිති ඔහුට නැවත මෙබඳු දෙයක් නොකරන්නෙහි කියා මනාව නින්දා කරමින් පෙර රජු විසින් කියන ලද කථාව ගෙන හැර දක්වන්නේ.
“මහරජ, යම් උතුම් මංගල කාරණයක් මා සමඟ කී ඔබම කෙළතොලු වන්නෙහි ය. නඟුල් කෙළවර ගත් මම කෙසේ සෙසු අය මෙන් මංගල කාරණ දන්නෙම් ද?
‘යමෙක් මාගේ රත්ත ලාභයට අන්තරාය පිණිස කථා කරයිද ඒ මොහු ගෙලෙන් අල්ලාගෙන මාගේ විජිතයෙන් නෙරපවු’ කියා කීවෙහි ය.
මහරජ, මම ගෘහපති පුත්‍රයෙක් වෙමි. ඔබගේ අනිකුත් සේනකාදී පණ්ඩිතයෝ අර්ථයන් දනිත්. එසේ මම කුමක් දැනගන්නෙම්ද? මෙය මට ගෝචර නොවේ. මම ගෘහපති ශිල්පය පමණක් දනිමි. මේ කාරණය සේනක ආදීන්ට ප්‍රකටය. පණ්ඩිතයන් වූ ඔවුහු අද අටළොස් අක්ෂෞහිණීයක් පිරිවරා සිටින ඔබට අවශ්‍ය වන්නාහ. මා වනාහි ගෙලෙන් අල්ලා තල්ලුකර දමන්නට නියෝග කළ කල්හී දැන් කුමක් නිසා මගෙන් විචාරන්නේද?”
මෙසේ මනා ලෙස නින්දා කළේ ය.
එය අසා රජු මෙසේ සිතීය.
“පණ්ඩිතයෝ මා විසින් කරන ලද වරදම කියති. කලින් ම මේ අනාගත බිය දැනගත්තේ ය. ඒ නිසා මා අතිශයින් නිග්‍රහවට ලක් කරයි. මෙතෙක්කල් වැඩක් නැතිව සිටියේ නොවිය යුතුයි. මොහු විසින් මට යහපතක් කළා වන්නේයැ” යි ඉක්බිති ඔහුව පරීක්‍ෂා කරන්නේ මෙසේ කීය.
“මහෞෂධ පණ්ඩිතය, නුවණැත්තෝ අතීතය නමැති හුලින් නොවිදිත්. කුමක් නිසා ද? දැඩිලෙස බඳින ලද අසකුට කෙවිටෙන් අණින්නාක් මෙන් මා පෙළන්නෙහි ද? ඉදින් මට මිදීමක් දක්නෙහි නම් හෝ බියෙන් තොර වීමට යමක් දක්නෙහි නම් හෝ ඉන් මට අනුශාසනා කරව. අතීතයෙන් පහරදීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?”
ඉක්බිති මහා සත්ත්වයෝ ‘මේ රජු අතිශයින් මෝඩය. පෞරුෂය යනු කුමක්දැයි නොදනී. තරමක් පීඩාකර පසුව ඔහුට පිහිට වන්නෙමි’ යි සිතා මෙසේ කීය.
“මෙයින් මිදීමට මිනිසකු විසින් කළහැකි දේ ඉක්ම ගියේ ය. මෙය අභිභවනය කරන්නට නොහැක. ඔබව මිදවීමට නො හැක්කෙමි, මහරජ, මෙයින් මිදීමට ඔබම මාර්ගයක් දැනගන්න.
ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී හස්තීහු සිටිත්. යමකුට එබඳු හස්තීහු වෙත් නම් ඔහු හෝ ගෙන යන්නාහ.
ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී අශ්වයෝ හෝ පක්‍ෂීහු හෝ යක්‍ෂයෝ හෝ ඇත්තාහ. යමකුට එබඳු අශ්වයෝ වෙත්නම් ඔහු හෝ රැගෙන යන්න.
මහරජ, මිනිසුන් විසින් කළ හැකි කාර්යයෝ ඉක්ම ගියහ. මෙම කාර්යය දුෂ්කර ද අභිභවනය කිරීමට දුෂ්කර ද වෙයි. අහසින් ගෙන ගොස් මිදවීමට ද මම අපොහොසත් වෙමි”
ඉක්බිති සේනක මෙසේ සිතීය. “දැන් රජුටත් අපටත් පණ්ඩිතයන් හැර වෙන පිළිසරණක් නැත. රජු වනාහි මොහුගේ කථාව අසා බියෙන් තැති ගත්තේ කිසිවක් කියන්නට නොහැකිව සිටී. මම පණ්ඩිතයන්ගෙන් ඉල්ලා සිටිමි”
“මහ සයුරට වැටී, තෙරක් නොදකින මිනිසෙක් යම් තැනක දිවයිනක් ලබන්නේ ද එතැන අපමණ සුවයක් විඳින්නේ ය. මහෞෂධ පණ්ඩිතය, එනිසා රජුට ද අපට ද පිහිට ඔබම ය. මන්ත්‍රීන් අතර ඔබම ශ්‍රේෂ්ඨ වන්නහු ය. පෙර මියුළු නුවර වටකරගෙන සිටිය කාලයේ ද ඔබ විසින් අපි මුදන ලද්දෝ වෙමු. දැන් ද ඔබම අපව දුකින් මුදනු මැන”
ඉක්බිති ඔහුට නින්දා කරමින් මහා සත්ත්වයෝ මෙසේ කීහ.
“මිනිසුන් විසින් කළහැකි කාර්යයෝ ඉක්ම ගියහ. මේ භය දුෂ්කර වූවක් ද අභිභවනය කිරිමට දුෂ්කර වූවක් ද වන්නේ ය. මෙයින් මුදන්නට මම නොපොහොසත්මි, සේනකය, තෙපිම මඟක් දනුව. සේනකය, මම අසමත් වෙමි. නුඹ මේ රජුව අහසින් මියුළු නුවරට ගෙනයව.”
රජතෙමේ කළ යුතු දෙයක් නොදන්නේ මරණ බියෙන් බියපත් වූයේ, මහාසත්ත්වයන් සමග කථා කරන්නට නොහැක්කේ, සේනක ද කුමක් හෝ උපායක් දන්නේ විය යුතු යයි සිතා ඔහුගෙන් විචාරන්නෙමියි මෙසේ කීහ.
“මගේ මේ වචනය අසව, මේ මහත් බිය බලව, දැත් සේනකයන් විචාරමි. මෙහිලා තොප කවරක් සිතන්නහුද?”
එය අසා සේනක මෙසේ සිතයි. රජු උපායක් අසයි. එය හොඳ වේවා හෝ නොවේවා. මොහුට එක් උපායක් කියන්නෙමියි සිතා මෙසේ කීහ.
“බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නොමරාවයි දොර පටන් ගෙට ගිනි දල්වමු. ආයුධ ගනිමු. ඔවුනොවුන් වධකොටගෙන වහා දිවි අත්හරිමු”
එය අසා රජු අසතුටට පත්වූයේ පුක්කුසාදින්ගෙන් ඇසීය. ඔවුහු ද තමන්ට යෝග්‍ය බොළඳ කථාවන් ම කීවාහ.
තවද ඔවුනතුරෙන් දේවින්ද තෙමේ මෙසේ සිතීය. මේ රජ කුමක් කරයිද? ගිනි ඇති කල්හි කණාමැදිරියන්ට පිඹියි. මෙහිදී මහෞෂධයත් හැර වෙන කිසිවෙක් යහපතක් කරන්නට සමත් නොවෙයි. මොහු ඔහුගෙන් නොඅසා අපගෙන් විමසයි. අපි කුමක් දනිමුදැයි සිතා වෙනත් උපායක් නොදක්නේ සේනකයා විසින් කියු දෙයම කියා මහා සත්ත්වයන් වර්ණනා කරමින් මෙසේ කීහ.
“එහිදී අප සැමගේ තීරණය මෙයයි. රජතුමනි! අපි සියල්ලෝම පණ්ඩිතයන්ගෙන් ඉල්ලා සිටිමු, ඉදින් මහෞෂධයෝ සුවසේ අපව මුදවා ගන්නට නොහැකි වුව හොත් ඉක්බිති සේනකයන්ගේ වචනය කරන්නෙමු”
එය අසා රජු, කලින් බෝධිසත්ත්වයන්ට කරන ලද දෝෂාරෝපණය සිහිකොට ඔහු සමග කථාකරන්නට නොහැක්කේ හඬමිත්,
“යම්සේ කෙසෙල් ගස්හි හරය සොයන්නේ ඒ නොලබයි ද එසේ ගැලවීමට උපායක් සොයන අපි ප්‍රශ්නයට පිළිතුරක් මොවුන්ගෙන් නොලද්දෙමු.
යම්සේ ඉඹුල්ගස්හි හර සොයන්නේ ඒ නොලබයි ද එසේ ගැලවීමට උපාය සොයන අපි ප්‍රශ්නයට පිළිතුරක් මොවුන්ගෙන් නොලද්දෙමු.
දිය නැති මහවනය ඇතුනට මෙන් අඥාන, දුෂ්ට මනුෂ්‍යයන් සමීපයෙහි අපගේ වාසය ඒකාන්තයෙන් නුසුදුසු පෙදෙසක වාසය කිරීමකි.
මගේ හදවත වෙවුලයි. මුඛය ද වියැළෙයි. ගිනි වැදුනකු අව්වේ හෙලු කලෙක මෙන් සැනසීමක් නොලබමි.
කෙසෙල්කඳ නිසරු බැවින් සාරයක් කැමැති පුරුෂයා සොයන්නේ නමුදු එයින් සාරයක් නොලබයි. මෙසේ අපි මේ දුකෙන් මිදෙන ආකාරය පිළිබඳ ප්‍රශ්නය පණ්ඩිතයන් පස් දෙනාගෙන් අසා සොයන්නේ නමුදු ප්‍රශ්නය වටහා නොගත්තෙමු. මෙපමණ පණ්ඩිතයන් සිටියදී එක්කෙනෙකුගෙන්වත් මට දැන් පිහිටක් නැතැ” යි නොයෙක් අයුරින් වැළපෙති.
එය අසා පණ්ඩිතයෝ මේ රජ අතිශයින් පීඩාවට පත්වන්නේ ය. ඉදින් මා ඔහුව අස්වසන්නේ නැත්නම් හදවත පැලී මිය යන්නේයැ’ යි සිතා ඔහුව අස්වැසී ය.
“මහරජ, බිය නොවනු මැන. රාජ ශ්‍රේෂ්ඨය. බිය නොවන්න. රාහු ගිලගත් චන්ද්‍රයා සේ මම ඔබ මුදවන්නෙමි….. රාහු ගිලගත් සූර්යයා සේ මම ඔබ මුදවන්නෙමි,
මහරජ, බිය නොවනු මැන, රාජ ශ්‍රේෂ්ඨය, බිය නොවන්න. මඩෙහි ගිලුනු ඇතෙකු මෙන්…..පඤ්ජරයේ බැඳි පක්‍ෂියකු සේ …..පේළාවෙක බැඳුණු නාගයකු සේ….. දැලට හසු වූ මසුන් සේ ….. ගල්කැටයකින් කවුඩු රළක් පළවා හරින්නාක් මෙන් පංචාල සේනාව පලවා හරින්නෙමි. මම ඔබ මුදවන්නෙමි.
මහරජ, බිය නොවනු මැන. රාජ ශ්‍රේෂ්ඨය, බිය නොවන්න. බලවාහන සහිතව ම මම ඔබ මුදවන්නෙමි.
යම් ඇමැතියෙක් දුකට පත් රජු ඒ දුකින් නොමුදන්නේ නම් එබඳු අමාත්‍යයා කුමකටද? ඔහුගේ නුවණ කුමකටද?”
හෙතෙමේ ද ඔහුගේ වචනය අසා ‘දැන් මම ජිවිතය ලද්දෙමි’ යි අස්වැසීමක් ලැබී ය. බෝධිසත්ත්වයන් විසින් සීහනාද පැවැත්වූ කල්හි සියල්ලෝ ම සතුටු වූහ. ඉක්බිති සේනක ඇසීය.
“පණ්ඩිතයෙනි! ඔබ අප සැම රැගෙන යන්නේ කවරනම් උපායකින් යන්නෙහිද?”
“ඔබලාව සරසන ලද උමගකින් ගෙන යන්නෙමි. සූදානම් වව්” යැයි කියා උමං දොරටුව විවෘත කිරීමට යෝධයන්ට අණ කරමින් මේ ගාථාව කීය.
“මාණවකයෙහි, එච්. නැගිටිව්. උමංදොර විවර කරව්. සියගණනක් ආලෝක ශාලාවල දොරටු විවෘත කරව්. ඇමැතියන් සමග වේදේහ රජු උමගින් ගමන් කරන්නේ ය”
ඔව්හු නැගිට උමගෙහි දොර විවෘත කළහ. මුළු උමගම ඒකාලෝක වී අලංකාර කළ දේව සභාව මෙන් බැබලිණි.
ඔව්හු දොර කවුළු විවෘත කොට මහා සත්ත්වයන්ට දැනුම් දුන්හ. ඔහු රජුට දැනුම් දුන්නේ ය.
“දේවයන් වහන්ස! දැන් සුදුසු වේලාවය. ප්‍රාසාදයෙන් බසින්න”
රජු බැස්සේ ය. සේනකයා හිස්වැසුම ඉවත්කරයි. සළුව ගලවයි. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුව දැක “කුමක් කරන්නෙහිදැ” යි ඇසී ය.
“පණ්ඩිතය, උමගින් යන්නවුන් විසින් තලප්පාව ගලවා පටිය තදින් බැඳගෙන යා යුතුය”
“සේනකය, උමගට පිවිසෙන්නා නැමී දණගසාගෙන පිවිසිය යුතුයයි මම් නියම කළේ නැත. ඉදින් ඇතුපිටින් යනු කැමැත්තේ ද ඇතා පිට නැග යන්න. උමග උසය. දහඅට රියනක් පළලය. විශාල දොරටුවක් ඇත. ඔබ කැමැති පරිදි සැරසී සූදානම් වී රජුගේ ඉදිරියෙන් යන්න” යැයි පැවසී ය.
බෝධිසත්ත්වයෝ වනාහි සේනකයන් ඉදිරියෙන් ම යවා රජු මැදිකර තමා පසුපසින් සිටියේ ය. (කුමක් නිසාද? උමග බලන තැනැත්තාට ඉක්මණින් පැමිණිය නොහැක)
උමගෙහි මහජනයාට කැඳ, බත්, කැවිලි ආදිය අප්‍රමාණ ලෙස තිබිණ. ඒ මිනිස්සු කමින්, බොමින් උමග බලමින් යත්. මහාසත්ත්වයෝ ද “යන්න මහරජතුමනි, යන්න” යැයි කියමින් පසුපසින් යති.
රජු අලංකාර කළ දේවසභාව බඳු උමග බලමින් යයි. සේනකයා ඉදිරියෙහි ද මහෞෂධ පණ්ඩිත තෙමේ පසුපස ද, ඇමැතිජනයා පිරිවරන ලද වේදේහ රජ මැදින් ද ගමන් කරත්.
රජු පැමිණි බව දැනගත් ඒ තරුණයෝ චූළනී රජුගේ මව ද පුතාව ද දියණියව ද උමගින් බැහැර කොට විශාල ශාලාවේ තැබූහ. රජු ද බෝධිසත්ත්වයන් සමග උමගින් නික්මිණ. ඔවුහු රජුව ද පණ්ඩිතයන්ව ද දැක “නිසැකයෙන්ම අපි අනුන් යටතට පත්වූවෝ වෙමු. අපව ගෙන ආවාහු පණ්ඩිතයන් ගේ පුරුෂයන් විය යුතු” යි මරණ බියෙන් බියපත් වූවාහු මහා හඬින් හැඬුහ.
චූළනී රජු ද වේදේහ රජු පළා යයි යන බියෙන් ගඟට ගව්වක් පමණ තැන සිටියේ ය. හුන්නා වූ ඔහු රාත්‍රියෙහි ඔවුන්ගේ ඝෝෂාව අසා එය ‘නන්දා දේවියගේ හඬ වැනි යයි’ කියනු කැමැත්තේ විය. නමුත්, ‘නන්දා දේවිය කොහේ සිටින්නීදැ’ යි නින්දාවට බියෙන් කිසිවක් නොකීවේ ය.
මහාසත්ත්වයෝ එම ස්ථානයේ පංචාල චණ්ඩි කුමාරිකාව මාණික්‍ය රාශියක තබා අභිෂේක කොට “මහරජ, නුඹ මේ හේතුවෙන් ආවේ වන. මේ ඔබගේ අගමෙහෙසිය වේවා!” යි කීය.
නැව් තුන්සියය ගෙනැවිත් තැබූහ. රජු විශාල මහල්තලයෙන් බැස සැරසූ නැවට නැංගේ ය. ඒ ක්‍ෂත්‍රියයෝ සතර දෙනා ද නැවට නැංගාහ. මහෞෂධ පණ්ඩිත තෙමේ නැවට නැගි රජුට අනුශාසනා කළේ ය.
“දේවයන් වහන්ස, මේ මැයගේ මව නන්දා දේවියයි. ඔබගේ නැන්දනියයි. යම්සේ දරුවන් මවට වත්පිළිවෙත් කරත් ද මෙසේ ඇය කෙරෙහි බලවත් ලෙස මව යන හැඟීම ඇති කරගත යුතු අතර කිසිදිනක ඈ කෙරෙහි ආශාවෙන් නොබලන්න
මහරජ, මේ ඔබගේ මාමණ්ඩිය වූ චූළනී රජුගේ පුත්‍රයාය. පංචාලචණ්ඩියගේ බාල සොහොයුරාය. මෙ තෙමේ දැන් ඔබගේ මස්සිනාය. යම්සේ එක මව්කුස උපන් සොහොයුරා කෙරෙහි පවත්නේ ද එසේ මේ පංචාලචණ්ඩ කුමරුට ආදරය කළ යුතුය.
මහරජ, මේ ඔබ විසින් අතිශයින් රුචිකරනු ලබන පංචාලචණ්ඩි රජකුමරියයි. ඕ තොමෝ ඔබගේ භාර්යාවයි. ඇයට අවමන් නොකරන්න. ඇය සමග කැමැති සේ පවතින්න”
මහාසත්ත්වයෝ මෙසේ රජුගෙන් පොරොන්දුවක් ගත්තේ ය. රජු යහපතැයි පිළිගත්තේ ය.
(ඔහුට මෙසේ අදහසක් විය. ‘යම්දිනක මොහු කිපී චූළනී රජුගේ මව මරවන්නේ ය. රූමත් වූ නන්දා දේවිය සමග අකටයුත්තේ යෙදෙන්නේ ය. රාජ කුමාරයාව ද මරවන්නේ ය. ඊට පෙරාතුවම මොහුගෙන් පොරොන්දුවක් ගන්නෙමි. ඒ නිසා එසේ අනුශාසනා කළේය. රජුගේ මව පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළේ නැත. කුමක් නිසාද යත් ඇය මහලු බැවිනි)
මේ සියල්ලම බෝධිසත්ත්වයෝ ගංඉවුරේ සිට ප්‍රකාශ කළහ. ඉක්බිති මහා දුකකින් මිදුණු රජු නැවට යනු කැමැත්තේ වී ඔහුට මෙසේ කීය.
“දරුව, ඔබ ගංඉවුරේ සිටම කථා කරන්නෙහිය. මහෞෂධ පණ්ඩිතය, වහා නැවට නගින්න. කුමක් නිසා ඉවුරේ සිටින්නෙහිද? අපි ඉතා අපහසුවෙන් මිදුන්නෝ වෙමු. දැන් වහා පලා යමු”
මහා සත්ත්වයෝ “මහරජ, මම සේනාවට නායක වෙමි. සේනාව හැරපියා මම පමණක් මුදවන්නෙම් නම් ඒ සත්පුරුෂ දහම නොවෙයි. ඔබගේ සේනාව ඒ නගරයෙහි හැරදමන ලද්දේ ය. ඒ මිනිසුන් බොහෝදුරක් ආ බැවින් ඇතැමෙක් වෙහෙසට පත්ව නින්දට වැටෙන්නාහු තව කෙනෙක් කන්නාහු, බොන්නාහු අප පිටත්වූ බවද නොදන්නාහ. ඇතැමෙක් රෝගාතුරව සිටිත්, මා සමග සිව්මසක් වැඩකොට මට බොහෝ උපකාර කළ මිනිස්සු වෙත්, මා විසින් එක මිනිසකුවත් අත හැර දමා යන්නට නොහැක. මම නතරවී බ්‍රහ්මදත්ත විසින් දෙන ලද ඔබගේ ඒ සියලු සේනාව ගෙනෙන්නෙමි.
මහරජ, ඔබ කිසිතැනක ප්‍රමාද නොවී වහා යන්න. මා විසින් ඔබගේ අතරමග ඇත්වාහන ආදිය තබන ලදී. වෙහෙසට පත්වූවන් හැර හැකි හැකි අය සමග වහා මියුළු නුවරට පිවිසෙන්න”
ඉක්බිති රජතුමා මෙසේ කීය.
“පණ්ඩිතයෙනි, මද සෙනග ඇති ඔබ මහ සෙනග ඇත්තාට කෙසේ විරුද්ධව සිටිනවුද? බලවතා විසින් දුර්වලයා පෙළනු ලබන්නේ මැයි”
ඉක්බිති බෝධිසත්ත්වයෝ ගාථාවක් කීහ.
“මඳ සෙනග ඇති නුවණැත්තා මහා සේනා ඇති අඥානයා ජය ගනී. උදාහිරු අඳුර දුරුකරන්නාක් මෙන් නුවණැති රජ, අනුවණ රජු ජයග්‍රහණය කරයි.
මන්ත්‍රණයෙන් යුත් උපායෙහි දක්ෂ ප්‍රඥාවන්තයා මෝඩයාව පරාජය කරයි”
මෙය කියා මහා සත්ත්වයෝ රජුට වැඳ “ඔබතුමන් යන්න” යැයි කියා පිටත්කර හැරියේ ය. හෙතෙම ‘සතුරා අතින් මිදුනේ වෙමි. මැයව ලැබීමෙන් මාගේ මනදොළ සම්පූර්ණ විය’ යි බෝධිසත්ත්වයන්ගේ ගුණ සිහි කරමින් හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේ පණ්ඩිතයන්ගේ ගුණ සේනකයන්ට කියමින් මේ ගාථාව ප්‍රකාශ කළහ.
“සේනකය, නුවණැත්තන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙන දෙන්නේ ය. කුඩුවෙහි බැඳි පක්‍ෂීන් මෙන් ද දැලෙහි බැඳුණු මසුන් මෙන් ද සතුරන් අතට පත් අප මහෞෂධ පණ්ඩිතයෝ මුදවාලූහ.
ඒ නිසා සේනකය, යම් මේ පණ්ඩිතයන් සමග එක්වීම වනාහි අතිශයින් සැපයකැයි කියමි”
එය අසා සේනක තෙමේ ද පණ්ඩිතයන්ගේ ගුණ කියමින් මෙසේ කීය.
“මහරජ, එය එසේම ය. නුවණැත්තෝ ඒකාන්තයෙන් සුව ගෙන දෙන්නෝ ය. මැදිරියෙහි බැඳුණු පක්‍ෂීන් සේ ද දැල්හි බැඳුණු මසුන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිතයෝ මුදවා ගත්හ”
ඉක්බිති වේදේහ රජු ගඟින් එතෙර වී යොදුනක් පමණ දුරින් පිහිටි මහා සත්ත්වයන් විසින් කරන ලද ගමට සැපත් විය. එහිදී බෝධිසත්ත්වයන් විසින් යොදා සිටිය මිනිස්සු ඔහුට ඇත්වාහන ආදිය ද ආහාරපානාදිය ද දුන්හ. ඔහු විඩාපත් පත් ඇත්, අස්, රථ නතර කර අනික්වා ගෙන ඔවුන් සමග වෙනත් ගමකට පැමිණියේ ය. මේ ක්‍රමයෙන් සිය යොදුන් මග ගෙවා පසුදා උදය ම මියුළු නුවරට පැමිණියේ ය.
බෝධිසත්ත්වයෝ ද උමංදොර වෙත ගොස් තමා විසින් පැලඳ සිටි කඩුව ගලවා තබා උමංදොර ලඟ සඟවා වැලි විසුරුවා තැබී ය. එසේ තබා උමගට පිවිස උමගින් නගරයට පිවිස සුවඳ පැනින් නා නොයෙක් අග්‍ර රසයන්ගෙන් යුත් බොජුන් වළඳා යහනට ගියේ ‘මාගේ මනදොල සම්පූර්ණ වූයේ යැ’ යි කල්පනා කරමින් හොත්තේ ය.
ඉක්බිති ඒ රාත්‍රිය ගතවූ කල්හි මහත් බල ඇති චූළනී බ්‍රහ්මදත්ත රජු මුළු රාත්‍රිය රැකවල් කොට අරුණලු නැගෙනකල්හි උපකාරි නුවරට ලඟාවිය.
මැණික් ඔබා, කරන ලද සන්නාහයෙන් සන්නද්ධ වූ මහා බල ඇති පංචාල දේශවාසී බ්‍රහ්මදත්ත රජ සැට අවුරුද්දෙන් මද නැගී සිටින්නා වූ බලවත් හස්තියකු පිටට පැන නැගී බොහෝ යුද්ධ ශිල්පයන්හි දක්ෂ වූ, අතින් දුනු හී ගෙන රැස් වූ පණිවිඩකාර යෝධයන්ට, වේදේහ රජුව ජීවග්‍රාහයෙන් අල්ලා ගැනීමට නියෝග කරමින් මෙසේ කීය.
“බලවත් වූ, සැට අවුරුද්දෙන් මද නැගී හිඳුනා වූ දළ ඇති හස්තීන් මෙහෙය වුවු…. වේදේහ රජු විසින් නිර්මාණය කරවන ලද නගරය ඇත්තු මඩිත්වා!!!
දුනු වේගයෙන් මුදාහළ නියන් බඳු මුව ඇති සුදු පැහැති තියුණු අග් ඇති ඇට විදුනාගර මතු මත්තේ වැටෙත්වා!!! සන්නාහයෙන් සැරසුණු විසිතුරු දඬු වලින් යුත් ආයුධ අතින් ගත් ඇතුන් ඉදිරියට වුව පනින්නා වූ නොසැලෙන මහත් බලැති තරුණ යෝධයෝ ඇතුන් වෙත එකතු වෙත්වා!!! කෙලින් මුවහත් කළ ගිනිසිළු සේ ප්‍රභාමත් වූ අඩයටි සියක් රැසින් යුත් ඕසධී තාරකා සෙයින් බබළමින් සිටීවා!!! ආයුධ බලයෙන් යුත් යුද්ධ සැට්ට හා අඟු පළඳනා දරන්නා වූ සංග්‍රාමයන්හි නොපසුබස්නා මෙබඳු යෝධයන් වෙතින් කෙසේ නම් වේදේහයා මිදෙන්නේද, ඉදින් පක්‍ෂියෙකු සේ අහසින් ගමන් කළද නොමිදෙන්නේමයැ.
එක් එක් කෙනෙකු වෙන වෙනම තෝරාගන්නා ලද සියල්ල තිස්නව දහසක් වු මාගේ යෝධයන්ට සම වූවත් මේ මුළු පොළවෙහි ඇවිද බැලුව ද නොදකිමි.
සැට අවුරුද්දෙන් මද නැගී සිටින්නා වූ මනාව සරසන ලද බලවත් දළ ඇතුන් මත, රන්වන් කුමාරවරු බබලත්. නන්දන උයනේ දේව පුත්‍රයන් සේ රන්වන් හඳනා පොරෝනාවෙන් හා රන්වන් අලංකාරයෙන් බබලන යෝධයෝ ඇතුන් පිට බබලත්. පෙටියන්ගේ උදරයට සමාන වන ඇති තෙලෙහි මුවහත් තබන ලද ප්‍රභාස්වර වූ නුවණැති මිනිසුන් විසින් නිමවන ලද මනාවැ මුවහත් කරන ලද සම වූ මුවහත ඇති, මලකඩින් තොර හිරු රැස් සේ බබළන්නා වූ ඉතා පිරිසිදු යකඩින් නිමැවුණු දැඩි වූ වහා පහරදෙන යෝධයන් විසින් ගන්නා ලද, රන්කම් කල මිටින් යුත් ලෙහෙවන් කොපු දරන අසිපත්හු ඔබ මොබ පෙරළෙන්නාහු වැසි වළාකුළු අතරැ විදුලිය සේ බබළත්, දරණ ලද සන්නාහ ඇති ශූර වූ කඩු පලිස් දැරිමෙහි අතිශයින් දක්ෂ වූ හස්තියකුගේ කඳ පවා දෙකඩ කිරීමෙහි සමත් කඩු ශිල්පයෙහි හික්මුණු පතාක නම් අහසෙහි පිනුම් ගසන යෝධයෝ ඇත්තාහ. මෙබඳු යෝධයන් විසින් පිරිවරන ලද තට මෙයින් මිදීමක් නම් නැත්තේ ය. යම් ක්‍රමයකින් නුඹ මියුළු නුවරට යන්නෙහි නම් එවැනි රාජානුභාවයක් නොදක්නෙමි. මියුළු නුවරට යන්නා වූ නුඹ අද ළිඳකට වැටුණු මත්ස්‍යයකු බඳුය”
මෙසේ වේදේහ රජුට තර්ජනය කරමින් දැන් ඔහුට අල්ලාගන්නෙමි’ යි තියුණු අංකුශයෙන් ඇතාව මෙහෙයවන්නේ ගනිව්…. බිඳීවි….. විදිවි…. කියා සේනාවට අණදෙමින් චූළනී රජු උපකාරී නගරය මර්ධනය කරන්නාක් මෙන් එළඹියේ ය.
ඉක්බිති ඔහුව, මහාසත්ත්වයන් විසින් යොදවා සිටි පුරුෂයෝ ‘කවරෙක් දනීද? කුමක් වන්නේදැ ‘යි තමන්ගේ සේවකයන් ගෙන පිරිවරා ගත්හ.
ඒ මොහොතේ බෝධිසත්වයෝ සිරියහනාවෙන් නැගිට, කරන ලද සිරුරු පිළිදැගුම් ඇත්තේ උදේ ආහාරය ගෙන සැරසී ලක්‍ෂයක් වටිනා කසී සළුවක් හැඳ රතු කම්බිලියක් ඒකාංශ කොට පොරවා, සප්ත රත්නයෙන් විසිතුරු කළ සැරයටිය ගෙන, රන්මිරිවැඩි සඟල පැළඳ දෙවඟනන් බඳු අලංකාර වූ ස්ත්‍රියක විසින් වල්විදුනාවකින් පවන්සලනු ලබන්නේ අලංකාර ප්‍රාසාදයේ සීමැදුරු කවුළුව විවෘතකර චූළනී රජුට තමාව පෙනෙන සේ ශක්‍ර දේවේන්ද්‍ර විලාශයෙන් ඔබ මොබ සක්මන් කළේ ය.
චූළනී රජු ඔහුගේ රූපශ්‍රීය බලා සිත පහදවා ගන්නට අපොහොසත් විය. ‘දැන් ම ඔහුව අල්ලා ගන්නෙමි’ යි වහවහා ඇතු මෙහෙය වීය. පණ්ඩිතයෝ මෙසේ සිතූහ.
“මේ චූළනී රජු වේදේහයා මට ලැබුණේ ය යන හැගීමෙන් වහවහා එයි. අපගේ රජතුමා තමන්ගේ භාර්යාවරුන් ගෙන ගිය බව නොදනී. (රන් කැඩපතක් බඳු) මාගේ මුහුණ පෙන්වා ම ඒ බව ඔහු සමග කියන්නෙමි. ඔහු කවුළුව ලග සිටම මිහිරි ස්වරයෙන් ඔහුට කියන්නේ මෙසේ කීය.
“කීම! වහ වහා උතුම් ඇතු මෙහෙය වන්නෙහිද? ප්‍රීතිමත් ස්වභාවයෙන් ඉදිරියට එන්නෙහි. ආත්මාර්ථය ඉෂ්ට වීයැයි සිතන්නෙහිද? දුන්න දමාපුව මැනව. හී හකුලාගන්න, විදුරුමිණියෙන් අලංකාර කරන ලද සන්නාහය ඉවත් කරන්න. මෙයින් කවර ප්‍රයෝජනයක්ද? බැහැර කොට වෙන කෙනෙකුට හෝ දෙන්න, සුරක්ෂිත තැනක හෝ තබන්න. ඊතල වලින් කුමක් කරන්නෙහිද? මේ යුද ඇඳුම ද ඉවත් කරන්න. මෙය ඔබ විසින් බොහෝ සෙයින් ඇඳ ගත්තේ වන්නේ ය. එය ඉවත දමන්න. ඔබගේ ශරීරය සුදුමැලි කර නොගන්න. වෙහෙසට පත් නොවී උදෑසනම ඔබගේ නගරයට යන්න” කියා රජු සමග විහිළු කළේ ය.
හෙතෙම ඔහුගේ වචන අසා, “ගෘහපති පුත්‍රයා මා සමග සෙල්ලම් කරයි. අද නුඹට කළයුතු දේ දනිමි” යැයි තර්ජනය කර මේ ගාථාව කීය.
“ප්‍රසන්න මුඛ වර්ණ ඇත්තෙහිය. මඳ සිනා පෙරදැරි කොට බෙණෙන්නෙහිය. මරණාසන්නයෙහි එබඳු වර්ණ සම්පත්තියක් වේ. ඒ නිසා නුඹ බබළන්නෙහිය. අද තාගේ හිස සිඳ ජයපැන් බොන්නෙමු”
මෙසේ ඔහු සමග කථාකරන වේලාවේ මහා බලසෙනග මහා සත්ත්වයන්ගේ රූපශ්‍රීය දැක ‘අපගේ රජු මහෞෂධ පණ්ඩිතයන් සමග කථා කරයි. කුමක් කථා කරන්නේද? මොවුන්ගේ කථා අසන්නෙමු’ යි රජු ලඟට ම ගියේ ය.
පණ්ඩිතයෝ ද ඔහුගේ කථාව අසා “මා මහෞෂධ පණ්ඩිතයන් බව නොදන්නෙහි ද? මම තමාව මරන්නට නොදෙමි. ඔබගේ මන්ත්‍රණය බිඳුනේ වෙයි. කේවට්ටයා විසිනුත් නුඹ විසිනුත් හදවතින් සිතු දෙය සිදු නොවී ය. එය කට වචනයක් පමණක් බවට පත්වීයැ” යි ප්‍රකාශ කරන්නේ මෙසේ කීය.
“මහරජ! තොපගේ ගර්ජනාව හිස් ය. වේදේහ රජ, ඊයේ ඇමැතිවරුන් හා පිරිවර ජනයන් සමග ගඟ තරණය කළේ ය. ඔහු ලුහුබඳින්නේ හංසරාජයකු ලුහුබැඳ යන කවුඩකු මෙන් බිම හොත්තේ වන්නේ ය. නුඹ විසින් කේවට්ටයා සමග නිදන කාමයේ දී මන්ත්‍රණයක් කළේ ද එය මා නොදනීයයි නොහඟවන්න. මුලදී ම එය මා විසින් දන්නා ලදී. භින්න මන්ත්‍ර ඇත්තේ වහු.
මහරජ, අපගේ රජතුමා කොටළුවකු විසින් සෛන්ධවයකු මෙන් අල්ලා ගන්නට නොහැකිය. කුළු අශ්වයකු පිට නැග්ගහු විසින් ජව සම්පන්න වූ ආජානීය අශ්වයකු පිට යන්නහුව මෙන් අල්ලා ගන්නට නොහැකි වෙයි. කේවට්ටයා වනාහි කොටලුවකු බඳුය. ඔබ ඒ පිට නැගි පුරුෂයෙක් බඳුය. අපගේ රජතුමා වනාහි හුදෙකලාව නොව සපිරිවරින් පැන ගියේ ය. ඉඳින් වනාහි නුඹ පසුපස්සේ එළවන්නෙහිද? එය ස්වර්ණහංස රාජයකු පසුපස එළවන කවුඩකු මෙන් විපතට පත්වෙයි. අනතුරට විනාශයට ද පැමිණෙන්නෙහි”
බිය නොවූ සිංහයකු මෙන් උදාහරණ දක්වමින් කීවේ ය.
“මෘගයන් අතර අධම වූ සිවල්ලු රාත්‍රී කාලයෙහි සුපුෂ්පිත කෑල වෘක්ෂයක් දැක මස් වැදලි යයි සිතන්නෝ පිරිවරා සිටියහ. හිරු නැග රැය පහන් වූ කල්හි සුපිපි කෑල ගස දැක සිවල්ලු සුන් වූ ආශා ඇත්තෝ වූහ.
මහ රජ එසෙයින් තෙපිදු වේදේහ රජු පිරිවරා සිට කෑල ගස වටා සිටි සිවලුන් මෙන් සුන් වූ ආශා ඇත්තෝව යන්නාහු ය”
රජු ඔහුගේ නිර්භීත වචන අසා මෙසේ සිතීය.
“මේ ගෘහපති පුත්‍රයා අතිශයින් දක්‍ෂව කථා කරයි. නිසැකවම වේදේහයන් පැනගියා වන්නේය’ කියා අතිශයින් කිපී “පෙර අපි ගෘහපති පුත්‍රයා නිසා උතුරු සළුව ද අහිමි කරගත්තෝ වෙමු. දැන් ඔහු අපගේ අත ලගටම ආවේ ය. සතුරා පැන ගියේ ය. අපගේ බොහෝ අනර්ථයන් කළේ මොහු ය. දෙදෙනාටම කළයුතු දේ මොහුටම කරන්නෙමි” යි ඔහුට යමක් කරන්නට අණ දෙන්නේ මෙසේ කීය.
“යමෙක් මා අතට පත් සතුරු වේදේහයන් මුදාහැරියේ ද ඒ මොහුගේ අත් පා කන් නාසා සිඳිව්. යමෙක් මා අතට පත් සතුරු වේදේහයා මිදුවේ ද ඒ මොහුගේ ඇඟ මස් පිසිය යුතු ය. මෘගයන්ගේ මස් මෙන් කපා හුලක ඇන පිසත්වා!!!
යම්සේ වෘෂභයකුගේ හෝ සිංහයකුගේ හෝ ව්‍යාඝ්‍රයකුගේ හෝ සම ගලවා උල් ගසා බිම අතුරණු ලබන්නේද, එසේම යමෙක් මා අතපත් පසමිතුරු වේදේහයා මුදාහළේ ද ඒ මොහු බිම අතුරුවා සැතින් විදවන්නෙමි”
එය අසා මහා සත්ත්වයෝ සිනාසී, ‘මේ රජ තමන්ගේ දේවියද නෑයන් ද මා විසින් මියුළු නුවරට යවන ලද බව නොදනී. ඒ නිසා මොහු මේ කාරණා කියයි. ක්‍රෝධ වශයෙන් වනාහි මට ඊයෙන් විඳින්නේ ය. තමන්ට රුචි වෙන දෙයක් හෝ කරයි. ඔහුව ශෝකාතුරව වේදනාවට පත්කර ඇතුපිටදී ම ඔහුව සිහි නැතිකර හෙළන්නට ඒ කාරණය දන්වන්නෙමි’ යි සිතා මෙසේ කීය.
“ඉදින් මාගේ අත් පා හෝ කන් නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍ර දාරාවන්ගේ ද එනම් පංචාලචණ්ඩ කුමාරයාගේ ද පංචාල චණ්ඩි කුමරියගේ ද නන්දා දේවියගේ ද එසේ සිඳවන්නේ ය.
ඉදින් මාගේ මස් කපා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍ර දාරාවන්ගේ ද එනම් පංචාලචණ්ඩ කුමාරයාගේ ද පංචාල චණ්ඩි කුමරියගේ ද නන්දා දේවියගේ ද (මස්) එසේ පිසවන්නේය.
ඉදින් මා බිම අතුරුවා, හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍ර දාරාවන්ගේ ද එනම් පංචාලචණ්ඩ කුමාරයාගේ ද පංචාල චණ්ඩි කුමරියගේ ද නන්දා දේවියගේ ද එසේ විදවන්නේය”
ඒ අසා රජු මෙසේ සිතීය. “ගෘහපති පුත්‍රයා කුමක් කියයිද? යම්සේ වනාහි මම මොහුට යමක් කරම්ද? වේදේහ රජු මගේ පුත්‍රදාරකාදීන්ට ද එසේ කරයි. මාගේ දරුවන්ගේ හා භාර්යාදීන්ගේ ආරක්ෂාවිධාන යොදා ඇති බව මොහු නොදනී ‘දැන් මරන්නේ ය යන මරණ බියෙන් විලාප නගයි’ කියා ඔහුගේ වචනය විශ්වාස කළේ නැත.
මහා සත්ත්වයෝ, මෙ තෙමේ බය නිසා මට මෙසේ කියයි යැයි හැඟිමියි ඔහුට දන්වන්නෙමියි මෙසේ කීය.
“මහරජ. එසේ නම් ඔබගේ හිස් වූ අන්තඃපුරය බලව, ක්ෂත්‍රියය, ඔබගේ දේවිය ද කුමරාද කුමරිය ද මවු බිසව ද උමගින් හැරගෙන ගොස් වේදේහ රජුට පවරන ලදී”
එය අසා රජු සිතීය, “පණ්ඩිතයා අතිශය දැඩිකොට කියයි. මා විසින් ද රාත්‍රියෙහි දී ගඟ පෙදෙසේ නන්දා දේවියගේ හඬ අසන ලදී. පණ්ඩිතයෝ මහා ප්‍රාඥයෙකි. යම් හෙයකින් මෙය සත්‍යයක් විය හැකිය” කියා හටගත් මහත් ශෝක ඇත්තේ ධෛර්යය උපදවාගෙන ශෝක නොකරන්නාක් මෙන් එක් ඇමතියකු කැඳවා, එය දැනගැනීම සඳහා පිටත් කර යවන්නේ මෙසේකීය.
“එසේනම් මාගේ අන්තඃපුරයට ගොස් මොහුගේ බස් සැබෑ හෝ බොරු හෝ වේදැයි සොයා බලව.”
ඔහු පිරිවර සහිතව රජ ගෙදරට ගොස් දොර විවර කර ඇතුළට පිවිස අත්පා බැඳ මුඛය වසා නාගදන්තගේ එල්වා සිටිය අන්තඃපුර පාලකයන්ද කුදු, මිටි පුද්ගලයෝ ද භාජන බිඳ දමා ඒ ඒ තැන්වල විසුරුවා තිබුණු සැටිත්, ඒ ඒ තැන්වල ආහාරපාන විසුරුවා ඇති සැටිත්, රුවන් ගබඩාවේ දොරවල් විවෘතකර කරන ලද මාණික්‍ය සොරකම් ද, විවෘත කරන ලද සිරියහන් ගබඩාව ද, විවෘතව පැවති ජනෙල් වලින් ඇතුල් වී හැසිරෙන කවුඩු සමූහයා ද අතහැර දමන ලද ගමක් වැනි සොහොන් බිමක් බඳු සිරියාවක් නොමැති රාජ භවනය දැක රජුට දන්වමින් මෙසේ කීය.
“මහරජ, මහෞෂධයන් කී දේ සැබෑම ය. හිස් වූ මුළු අන්තඃපුරය කපුටන් එක්වූ මුහුදු තෙර ගමක් මෙනි”
රජු ජනයන් සතර දෙනාගේ වියෝව නිසා හටගත් ශෝකයෙන් කම්පාවෙමින්, මේ දුක ගෘහපති පුත්‍රයා නිසා මට ඇතිවීයැයි දණ්ඩෙන් පහරකෑ සරිර්පයකු සේ බෝසතුන්ට අතිශයින් කිපුණේ ය.
මහාසත්ත්වයෝ ඒ ස්වභාවය දැක’ මේ රජු මහා යසස් ඇත්තෙකි. යම්විටක ක්‍රෝධයෙන් ඔවුන්ගෙන් මට කවර ප්‍රයෝජනදැයි සිතා ක්‍ෂත්‍රිය මානයෙන් මට විදින්නේ ය. නන්දා දේවිය මොහු විසින් නොදක්නා ලද්දාක් මෙන් කරන්නේ ඇගේ ශරීර වර්ණය වර්ණනා කරන්නේ නම් මැනවි. ඉක්බිති ඔහු එය සිහිකර, ‘ඉදින් මම මහෞෂධයන් මරන්නෙම් නම් මේ ආකාර ස්ත්‍රී රත්නයක් නොලබන්නෙමි’ යි සිතා තමන්ගේ භාර්යාවට ඇති සෙනෙහස නිසා මට කිසිවක් නොකරන්නේ යැ’ යි සිතා ආත්මාරක්ෂාව සඳහා ප්‍රාසාදයේ සිටිමින් ම රතුකම්බිලිය තුළින් රන්වන් බාහුව පිටතට ගෙන ඇය ගිය මග කියන අන්දමට වර්ණනා කරන්නේ මෙසේ කීය.
“මහරජ, ස්වර්ණ ඵලකයක් වැනි උකුළු පෙදෙසින් යුත් හංස ධේනුවක සේ මිහිරි තෙපුල් තෙපලන සියළු අඟපසඟින් ශෝභන වූ නන්දා දේවි තෙල උමගින් ගියා ය.
මහරජ, කසීසළු හඳනා, රනින් මොනවට කළ මෙවුල්දම් පළඳනා ස්වර්ණවර්ණ වූ සියළු අඟපසඟින් ශෝභමාන වූ නන්දා දේවිය මේ උමගින් ගෙනයන ලද්දී ය.
ඇය රූපවත් පා ඇත්තී ය. පංචකල්‍යාණයෙන් යුක්ත වන්නී ය. රන් මිණිමෙවුල් ඇත්තී ය. පරෙවියනට බඳු ඇස් ඇත්තී ය. මනා සිරුරින් හා කෘශ වූ මැද පෙදෙසින් යුක්ත වන්නීය. මනාව හටගත් නාගලතාවකට බදු ලෙලෙන ගාත්‍රා ඇත්තී ය. සිහින් වූ රන් පෝරුවකට බඳු මධ්‍යප්‍රදේශ ඇත්තී ය. දික් වූ නිල් වූ අක්බඹරු කෙස්කළඹ ඇත්තී ය.
ඕ තොමෝ හේමන්තයේ ගිනිසිළුවකට සමානය, පංචකල්‍යාණ ඇත්තී ය. ප්‍රථම වයසැ සිටියා ය. තිඹිරි ඵල වැනි පියයුරු ඇති ස්ත්‍රීන් අතුරෙන් පළමුවැන්නී ය. ඉතා උස් නොවූ ඉතා මිටි නොවූවා ය”
මෙසේ මහා සත්ත්වයන් ඇගේ රූ සිරිය වර්ණනා කරන කල්හි ඔහුට ඇය පෙර නුදුටුවාක් මෙන් විය. බලවත් ආදරයක් ඉපිදවී ය. ඉක්බිති ඔහුට ආදරයක් ඇති වූ බව දැනගෙන මහා සත්ත්වයෝ අනතුරු ව මෙසේ කීහ
“මහරජ, මෙවැනි නන්දා දේවියගේ මරණින් ඔබ තුටුවන්නේ නම් මම ද නන්දා දේවිය ද යමරජු වෙත යන්නෙමු. යමයා අප දෙදෙනාව දැක නන්දාව මටම දෙයි. ඒ මට මළත් එබඳු වූ ස්ත්‍රී රත්නයක් ලැබේ නම් කුමක් හිස්වේද? රජතුමනි! මම මගේ මරණයෙන් හානියක් නොදකිමියි” මෙසේ ඔහුට කීය.
මෙසේ මහා සත්වයෝ මෙපමණ තැනකින් නන්දාව ම වර්ණනා කළෝ ය. අනික් අයව වර්ණනා කළේ නැත. කුමක් නිසාද? සත්ත්වයෝ වනාහි ප්‍රිය භාර්යාවන් කෙරෙහි මිස අන් අය කෙරෙහි නොවෙත්. රජුගේ මව මහළු බැවින් වර්ණනා කළේ නැත. ඤාණ සම්පන්න වූ මහා සත්ත්වයන් මිහිරි හඬින් වර්ණනා කරත් කරත් ම නන්දා දේවිය අවුත් රජු ඉදිරියේ සිටියාක් මෙන් වූවා ය. ඉක්බිති රජ මෙසේ සිතීය,
“මහෞෂධයන් හැර වෙන අන් කෙනෙක් මට භාර්යාව ගෙනැත් දෙන්නට සමත් නොවෙයි”. ඉක්බිති එය ගැන සිතන ඔහුට ශෝකයක් හටගත්තේ ය. ඉක්බිති ඔහුට මහා සත්ත්වයෝ මෙසේ කීහ.
“මහරජ, නොසිතන්න. ඔබගේ දේවියත්, පුතාත් මවත් යන තුන්දෙනා ම පැමිණෙන්නාහ. මෙහිලා මගේ ගමන ම ප්‍රමාණවත් වෙයි. ඔබ අස්වැසීමක් ලබන්න රජතුමනි” කියා රජුව අස්වැසී ය.
රජ මෙසේ සිතීය. “මම මගේ නගරය මනාව ආරක්ෂාව යොදවා, සුරක්‍ෂිත කරවා මේ උපකාරි නගරය මෙපමණ වූ බල වාහන වලින් වටකරවා සිටියේ ය. මේ නගරය මෙතරම් සුරක්‍ෂිතව තිබියදීත් නගරයෙන් දේවියත්, පුත්‍රයාත්, මවත් ගෙනවුත් වේදේහයන්ට දෙවීය. අප ද මෙසේ පිරිවරාගෙන සිටියදීත් කිසිවකුටත් නොදැනෙන සේ වේදේහයන්ව සේනා සහිතව පළවා හැරියේ ය. කිම? කිසියම් දිව්‍යමය මායාවක් දන්නේ ද? නැතහොත් මෙය ඇස්බැන්දුමක්දැයි ඔහුගෙන් විචාරමී” යි මෙසේ කීය.
“යමෙක් මා අතට පත් සතුරු වේදේහයන් මිදුයේ වේ ද, ඒ ඔබ දිව්‍ය මායමක් දන්නෙහි ද? ඇසට ඉන්ද්‍රජාලයක් කළහු ද?”
ඒ අසා මහා සත්ත්වයෝ “මහරජ, මම දිව්‍ය මායම් දනිමි. පණ්ඩිතයෝ වනාහි දිව්‍ය මායම් ඉගෙනගෙන බියක් ඇතිවූ කල්හි තමන්ව ද අන් අයව ද දුකින් මුදවත්ම” යැයි කියා මෙසේ කීය.
“මහරජ, මේ ලෝකයේ නුවණැත්තෝ දිව්‍යමායම් හදාරත්, ඒ පණ්ඩිත මන්ත්‍රී ජනයෝ තමා විපතින් මුදවා ගනිත්.
උමං බිඳීමෙහි දක්ෂ තරුණ යෝධයෝ මට ඇත්තාහ. ඔවුන් විසින් කරන ලද අලංකාර කළ උමගින් වේදේහ රජ මියුළු නුවරට ගියේ ය”
රජු උමග දකිනු කැමැති විය. මොහුට උමග පෙන්වන්නෙමි’ යි දක්වමින් මෙසේ කීය.
“ආලෝකමත් වූ උමග මනාවැ නිමකොට ඇත්තේ ය. ඇත්, අස්, රිය, පාබල සෙනග පිළිරූ සිතියම් ලෙස තනවා ඇත. ඝන රෙදිවල ඇඳීම, චිත්‍ර කර්ම යන ක්‍රමවලින් කරන ලද මේ ඇත්පොළ ආදියෙන් සුන්දර වූ අලංකාර කරන ලද දේව සභාවට සමාන වූ ඒකාලෝක වී තිබෙන උමග බලනු මැනවි. මහරජ, එසේනම් මහා වැ නිමවූ උමග බලනු මැනවි”
මෙසේ ද කියා “මහරජ, මාගේ ප්‍රඥා නමැති චන්ද්‍රයාත් ඤාණ නමැති සූර්යයාත් නැගී ආ තැන අලංකාර කළ උමගෙහි මහාදොරටු අසූවක් ද හැටහතරක් ද කුඩා දොරටු ද එක්සියයක් නිදන කාමර ද නොයෙක් සියගණන් ආලෝක ගබඩාවන් ද නරඹන්න. මා සමග සමගිව සතුටු වී තමන්ගේ බල සේනාව සමග උපකාර නගරයට පිවිසෙන්න” කියා නගරයේ දොර විවර කළේ ය.
රජු එක්සියයක් රජුන් පිරිවරා නගරයට පිවිසියේ ය. මහාසත්ත්වයෝ ප්‍රාසාදයෙන් බැස රජුට වැඳ පිරිවර ගෙන උමගට පිවිසියේ ය. රජු අලංකාර කළ දේව නගරය මෙන් වූ උමග දැක බෝධිසත්ත්වයන්ගේ ගුණය වර්ණනා කරන්නේ මෙසේ කීය.
“මහෞෂධය, ඔබ වැනි පණ්ඩිත ජනයෝ යම් ගෙයක හෝ රටක හෝ වෙසෙත්නම් ඒ විදේහ වැස්සන්ට ද වූයේ මහත් ලාභයකි”
ඉක්බිති මහාසත්ත්වයෝ ඔහුට එක්සියයක් යහන්ගැබ් පෙන්වී ය. එක්දොරක් විවෘත කළවිට සියල්ල විවෘත වෙයි. එකක් වැසූකල්හි සියල්ල වැසී යයි. රජු උමග බලන්නේ ඉදිරියෙන් යයි. පණ්ඩිතයෝ පසුපසින් යති. සියළු සේනා උමගට පිවිසියේ ය.
රජ උමගින් නික්ම ගියේ ය. පණ්ඩිතයෝ ඔහු නික්ම ගිය බව දැන තමා ද නික්ම අන් අයට නික්මෙන්නට නොදී උමංදොර වසන්නේ ඇණයක් තද කළේ ය. අසූවක් මහා දොරටු, හැටහතරක් කුඩා දොරටු, එක්සියයක් නිදන කාමර දොරවල්, නොයෙක් සිය ගණන් ආලෝක ගබඩා දොරවල්, එක පහරින් වැසුනාහ. මුළු උමගම ලෝකන්තරික නරකය මෙන් අඳුරු විය. මහජනයා බියෙන් තැති ගත්තේ ය.
මහා සත්ත්වයෝ ඊයේ උමගට පිවිසෙන්නේ යම් කඩුවක් තැබි ද එය ගෙන පොළවෙන් දහඅට රියනක් අහසට පැනනැගී ඉන් බැස රජුගේ අතින් අල්ලා කඩුව උදුරාගෙන බියගන්වා “මහරජ, සියළු දඹදිව රාජ්‍යය කාහටදැ?” යි විචාළේ ය. ඔහු බිය වූයේ “පණ්ඩිතයෙනි! ඔබටය” යැයි කියා “මට අභයදානය දෙව” යි ඉල්ලී ය.
“මහරජ, බිය නොවන්න. මම ඔබව මරනු කැමැතිව කඩුව ස්පර්ශ කළේ නැත. මාගේ ප්‍රඥා අනුභාවය පෙන්වන්නට ස්පර්ශ කළෙමි” යි රජුට කඩුව දුන්නේ ය. ඉක්බිති කඩුව ගෙන සිටි ඔහුට මෙසේ කීය.
“මහරජ, ඉදින් ඔබ මා මරනු කැමැති වේ නම් දැන්ම මේ කඩුවෙන් මා මරන්න. ඉක්බිති අභය දෙනු කැමැතිනම් අභයම දෙන්න.”
“පණ්ඩිතය, මා විසින් නුඹට අභය දෙන ලදම ය. ඔබ නොසිතන්න”
කඩුව ගෙන දෙදෙනාම ඔවුනොවුන් මිත්‍රද්‍රෝහී නොවන බවට ගිවිස ගත්හ. ඉක්බිති රජතුමා බෝධිසත්ත්වයන්ට මෙසේ කීය.
“පණ්ඩිතය, මෙබඳු වූ ප්‍රඥාබල සම්පන්නව සිට කුමක් නිසා රාජ්‍යය අල්ලා නොගන්නෙහි ද?”
“මහරජ, මම සිතන්නේ නම් අද ම සියළු දඹදිව රජවරුන් මරා රජකම ගත හැක්කේ ය. අනුන් මරා යසස ලැබීම පණ්ඩිතයන් විසින් පසසන්නේ නැත”
“පණ්ඩිතය, මහජනයා දොරටුවක් නැතිව හඬා වැළපෙත්. උමංදොර විවර කොට මහජනයාට ජීවිත දානය දෙන්න”
හෙතෙම දොර විවෘත කළේය. මුළු උමගම ඒකාලෝක විය. මහජනයා සැනසුමක් ලැබුවේ ය. සියළු රජවරු තමන්ගේ සේනා සමග නික්ම පණ්ඩිතයන් සමීපයට ගියහ. ඔහු රජු සමග විශාල ශාලාවේ සිටියේ ය. ඉක්බිති ඔහුට රජවරු මෙසේ කීහ.
“පණ්ඩිතය, නුඹ නිසා අපි ජිවිතය ලැබුවෙමු. ඉදින් මොහොතක් උමංදොර විවෘත නොකළේ ද අප සියළු දෙනාට ම එහිදී මරණය සිදුවන්නේ ය”
“මහරජ, දැන් පමණක් නොවෙයි. පෙර ද නුඹලා මා නිසා ජීවිතය ලැබූහ”
“පණ්ඩිතයෙනි. කවදාද?”
“අපගේ නගරය හැර සියළු දඹදිව රාජ්‍යය ගෙන උත්තරපංචාල නගරයට ගොස් උයනෙහි ජය පැන් බොන්නට සුරාව සූදානම් කළ කාලය සිහිපත් කරව්”
“එසේය. පණ්ඩිතයෙනි”
“එදා මේ රජු, කේවට්ටයා සමග කරන ලද නරක මන්ත්‍රණයෙන් විෂ යෙදූ සුරාවෙන් ද මස්මාලු වලින් ද නුඹලාව මරන්නට කටයුතු කළේය. ඉක්බිති මම ‘මොවුන් මා බලාසිටියදී ම අසරණ ලෙස මරණය නොවේවා’ යි මගේ පුරුෂයන් යවා සියළු භාජන බිඳවා ඔවුන්ගේ කුමන්ත්‍රණය බිඳදමා නුඹලාට ජීවිතදානය දුන්නෙමි”
ඒ සියල්ලෝම බියට පත් චූළනී රජුගෙන් ඇසූහ. “මහරජතුමනි. සත්‍යයක්ද?”
“එසේය. මා විසින් කේවට්ටයාගේ වචනය පිළිගෙන කරන ලදී. පණ්ඩිතයෝ සත්‍යයක්ම කියති”
ඒ සියල්ලෝම මහා සත්ත්වයන් වැළඳගෙන “පණ්ඩිතය, ඔබ අප සියලු දෙනාට ම පිහිටවිය. ඔබ නිසා අපි ජීවිතය ලැබුවෝ වෙමු” සියල්ලෝම ප්‍රසාදයෙන් බෝධිසත්ත්වයන්ට පූජා කළහ.
පණ්ඩිතයෝ රජතුමාට මෙසේ කීය. “මහරජතුමනි, ඔබ කිසිවක් නොසිතන්න. මේ පාපමිත්‍ර සංසර්ගයේ දෝෂයයි. මේ රජවරුන් ක්‍ෂමා කරන්න”
රජු, “මා විසින් දුර්ජනයකු නිසා නුඹලාට මෙබඳු දෙයක් කරන ලදී. මේ මාගේ දෝෂයකි. මට සමාවන්න. නැවත මෙබන්දක් නොකරන්නෙමි” යි ක්‍ෂමා කළේ ය.
ඔවුහු ඔවුනොවුන් වරද දෙසාගෙන සමගි වූහ. ඉක්බිති රජතුමා බොහෝ කෑමබීම ආහාරපාන, සුවඳ මල්දම් ආදිය ගෙන්වාගෙන ඒ සියලු දෙනා සමග සත්දිනක් උමග තුළම ප්‍රීති වී නගරයට පිවිස මහාසත්ත්වයන්ට බොහෝ සත්කාර කරවා එක්සියයක් රජුන් පිරිවරා ලොකු ශාලාවේ සිට පණ්ඩිතයන් තමන් ලඟ නතරකරගන්නා පිණිස මෙසේ කීය.
“වෘත්තිය ද, ගම්බිම් ආදිය ද බත් වැටුප ද දෙගුණකොට දෙන්නෙමි. අනිත් බොහෝ සම්පත් ද දෙන්නෙමි, කාමයන් අනුභව කරව. රමණය කරව. විදේහපුරයට පෙරළා නොයන්න. විදේහය කුමක් කරන්නේද?”
පණ්ඩිතයෝ වනාහි එය ප්‍රතික්‍ෂේප කරමින් මෙසේ කීය.
“මහරජ, යමෙක් ධන හේතුවෙන් තම ස්වාමියා හරන්නේ නම් හේ තමා හා මෙරමා යන දෙදෙනා විසින්ම ගැරහිය යුත්තේ ය. වේදේහ රජුගේ දිවි ඇතිතෙක් අනිකකුගේ සේවකයෙක් නොවන්නෙමි. මහරජ, යමෙක් ධන හේතුවෙන් ස්වකීය ස්වාමියා හරනේ නම් හේ තමා හා මෙරමා යන දෙදෙනා විසින්ම ගර්හා ලැබිය යුත්තේ වෙයි. වේදේහ රජු වසනා තෙක් අන් විජිතයක නොවසන්නෙමි”
ඉක්බිති රජු මෙසේ කීය. “එසේනම් පණ්ඩිතය, ඔබගේ රජතුමා මියගිය කල්හි මෙහි එන බවට පොරොන්දු වන්න”
“මහරජ, ජීවත්ව සිටියොත් එන්නෙමි”
ඉක්බිති රජු ඔහුට සත් දිනක් ගරු සත්කාරකොට දින සතක් ගත වූ පසු නැවත විචාරණ කල්හි “පණ්ඩිතය, මම ඔබට මේ මේ දේ දෙමියි” කියන්නේ මේ ගාථාව කීය.
“මහෞෂධය, ඔබට රත් නිෂ්ක දහසක්, කසී රටේ යම් ගමක් වර්ෂයකට ලක්‍ෂයක් උපයාද එවැනි ගම් අසූවක් ද, අසුන් සියයක් ද බිරියත් සියයක් ද දෙමි. සියලු සෙනග ගෙන සුවසේ යව”.
ඔහු ද රජුට මෙසේ කීය. “මහරජතුමනි, ඔබ වහන්සේ නෑදෑයන් පිළිබඳව කිසිවක් නොසිතන්න. මම මාගේ රජුට, යන කාලයේදී ම ‘මරහජ, නන්දා දේවිය මව් තනතුරේ තබන්න, පංචාලචණ්ඩව කණිටු තනතුරේ ද තියා ඔබගේ දුවණියට අභිෂේක දී රජුව පිටත්කර හැරියේ ය. මව ද දේවිය ද ඔබගේ පුත්‍රයාව ද ඉක්මණින් එවන්නෙමි”
රජු “යහපති පණ්ඩිතය”, කියා තමාගේ දුවට දිය යුතු දාස දාසියන්, වස්ත්‍රාභරණ, රත්‍රන්, සැරසූ ඇත්, අස් රථ ආදී මේ සියල්ල ඇයට දෙන්න’ යැයි මහා සත්ත්වයන්ට පවරා සේනා වාහන වලට කළයුතු කටයුතු විචාරන්නේ මෙසේ කීය. “ඇතුනට හා අසුනට යම් පමණ දේ අවශ්‍ය වේද, එය දෙගුණකොට ප්‍රමාණවත් පමණ දෙන්න. රථ සේනාවන් හා පාබල සේනාවන් ආහාරපානයෙන් සතුටු කරත්වා!”
මෙසේද කියා පණ්ඩිතයන් පිටත් කරමින් මෙසේ ද කීය.
“මහෞෂධ පණ්ඩිතය! ඇත්, අස්, රිය, පාබල සේනාවන් ගෙනැ යව. මියුළු නුවරට ගිය තොප ඒ වේදේහ රජු දකීවා!.
මෙසේ ඔහු පණ්ඩිතයන්ට මහත් සත්කාර කොට පිටත් කළේ ය. ඒ එක්සියයක් රජවරු මහා සත්කාරකොට බොහෝ ත්‍යාග දුන්හ. ඔවුන් සමීපයෙහි යොදවන ලද පුරුෂයෝ පණ්ඩිතයන්ව ම පිරිවරා ගත්හ. හෙතෙම මහත් පිරිවරින් මගට බැස අතරමගදී ම චූළනී රජු විසින් දෙන ලද ගම්වල බදු ගෙන ඒමට පුරුෂයන් යවා විදේහ රටට ලඟාවිය.
සේනක තෙමේ ද අතරමග පුරුෂයෙකු තැබී ය. “චූළනි රජු ආපසු එන නොඑන බව දැනගන්න. යම්කිසිවකුගේ පැමිණෙන වේලාව ද මට දන්වන්න”
හෙතෙම තුන්යොදුනක් පමණ ගිය තැන මහා සත්ත්වයන් දැක අවුත් “පණ්ඩිතයෝ මහත් පිරිවරින් එන්නේ ය” යි සැලකළේ ය.
ඔහු එය අසා රජගෙදරට ගියේ ය. රජු ඒ දැක මහෞෂධයන්ගේ සේනාව ස්වල්පයකි. මේ අතිශයින් විශාල ය. කිම චූළනී රජු ආවේදෝහෝ’ යි බියෙන් තැතිගත්තේ ඒ කාරණය විමසමින් මෙසේ කීය.
“ඇත්, අස්, රිය, පාබල යන අතිවිශාල වූ භයානක චතුරංගනී සේනාවක් පෙනේ. පණ්ඩිතවරුනි ඒ කුමක්දැයි සිතන්නහුද?”
ඉක්බිති සේනක තෙමේ ඒ කාරණය ඔහුට දන්වන්නේ මෙසේ කීය.“මහරජ, ඔබගේ සිත තුටුකරන උතුමා පෙරළා එනු පෙනේ. සියළු සෙනග ගෙන මහෞෂධ පඬිතුමා සුවසේ මෙහි පැමිණෙන්නේ ය.”
එය අසා රජු මෙසේ කීය. “සේනකය! පණ්ඩිතයන්ගේ සේනාව කුඩා ය. මෙය වනාහි ඉතා විශාල ය”
“මහරජ, රජු ඔහුට පැහැදුනේ විය යුතුය. පැහැදුනා වූ ඔහුට දෙන ලද්දේ විය යුතුය”
රජු නගරයෙහි බෙර හැසිරවීය. “නගරය සරසා පණ්ඩිතයන්ට පෙරගමන් කරත්වා”
නාගරිකයෝ එසේ කළහ. පණ්ඩිතයෝ නගරයට පිවිස රජගෙදරට ගොස් රජුට වැන්දේ ය. ඉක්බිති රජු නැගිට ඔහු වැළඳගෙන උතුම් ආසනයකට වී පිළිසඳර කථා කරන්නේ මෙසේ කීහ.
“යම්සේ සතර දෙනෙක් මළ මිනිසකු ඔසවාගෙන ගොස් අමුසොහොනෙහි හැරදමා එත් ද එසෙයින් අපිදු තොපව කම්පිල්ල රටෙහි හැරදමා මෙහි ආවෙමු,
එසේ ඇතිකල කවර ක්‍රමයෙකින් කවර හේතුවකින් කවර අර්ථයකින් සතුරන්ගෙන් තම ජීවිතය මුදවා ගත්තහුද?“
ඉක්බිති මහා සත්ත්වයෝ මෙසේ කීහ.
“මහරජ, ඔවුන්ගේ අර්ථය මාගේ අර්ථයෙන් ද ඔවුන්ගේ මන්ත්‍රණය මාගේ මන්ත්‍රණයෙන් ද පිරිවැරුවෙමි. ඒ මතු නොව දඹදිව පිරිවැරූ සයුර සේ එක්සියක් රජුන් පිරිවරන ලද ඒ රජු ද පිරිවරන්නෙමි”
මෙසේ තමන් විසින් කළ කටයුතු සියල්ල විස්තර වශයෙන් පැවසී ය. ඒ අසා රජු සතුටු විය. ඉක්බිති පණ්ඩිතයෝ තමන්ට චූළනී රජු විසින් දෙනලද ත්‍යාගයන් කියන්නේ මෙසේ කීහ.
“රන් නිෂ්ක දහසක් ද කසීරටෙහි ගම් අසූවක් ද දැස්සන් සාරසියයක් ද බිරියන් සියයක් ද මට දෙන ලදහ. සියලු සේනා කොටස් ගෙන සුවසේ මෙහි ආවෙමි”
ඉක්බිති රජතුමා අතිශයින් තුට පහටු වූයේ මහා සත්ත්වයන්ගේ ගුණ වර්ණනා කරමින් ඒ උදානය පැවසීය.
“සේනකය! නුවණැත්තන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙන දෙන්නේ ය. මැදිරියක බැඳුණු කුරුල්ලන්ගේ ද දැලෙහි හසු වූ මත්ස්‍යයන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිත තෙමේ මුදවාලී ය”
සේනකයා ද ඔහුගේ වචනය අනුමත කරමින් එම ගාථාවම කීය.
“මහරජ! එය එසේමය, පණ්ඩිතයන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙන දෙන්නේය. මැදිරියෙක්හි බැඳුනු පක්‍ෂීන් සේද දැලෙක බැඳුනු මත්ස්‍යයන් සේද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිත තෙමේ මුදවාපීය”
ඉක්බිති රජතුමා නගරයෙහි උත්සව පවත්වන ලෙස අබෙර හැසිරවී ය. “සත් දිනක් සැණකෙළි පවත්වව්. සියළු වීණාද බෙර ද පණා බෙරද වාදනය කරවු. මාගධ සංඛ නාදකරත්වා, මහබෙර මිහිරි ලෙස නාද දේවා! මට ආදරයක් ඇති සියල්ලෝ ම පණ්ඩිතයන්ට සත්කාර සම්මාන කරත්වා!”
නාගරිකයෝ ද ජනපදිකයෝ ද ස්වභාවයෙන් ම පණ්ඩිතයන්ට සත්කාර කරනු කැමැත්තාහු අණබෙරය අසා අමතර සත්කාර ආදිය ද කළහ. අන්තඃපුර කාන්තාවෝ ද කුමාරවරු ද වෛශ්‍යයෝ ද බමුණෝ ද ඇත්, අස්, රිය, පාබල සේනාවෝ ද රැස්වූ දහම් වැස්සෝ රැස් වූ නියම්ගම් වැස්සෝ පණ්ඩිතයනට බොහෝ වූ ආහාරපාන එළැවූහ.
පණ්ඩිතයන් ආ කලැ දැක බොහෝ ජනයෝ සතුටට පත්වූහ. පණ්ඩිතයන් මියුළු නුවරට පැමිණි කල පිළි හිසැ සිසැරිම ද පැවැත්විණි.
පණ්ඩිතයන් මියුළු නුවරට පැමිණි කල්හි “මෙතෙමේ පළමුව සතුරන් අතට පත්ව සිටි අපගේ රජතුමාව මුදවා මෙහි එවා පසුව එක්සියයක් රජදරුවන් ඔවුනොවුන් සමාකරවා, සමගි කර චූළනී රජුව පහදවා ඔහු විසින් දෙන ලද මහත් වූ කීර්තිය රැගෙන ආවේය” යි කියා සතුටු සිතින් ජනයා විසින් පවත්වන පිළිහිස සිසැරීම් පවත්වන ලදී.
ඉක්බිති මහා සත්වයෝ සැණකෙළිය අවසානයේ රජගෙදරට ගොස් “මහරජතුමනි, චූළනී රජුගේ මව ද දේවිය ද පුතා ද වහා පිටත්කර යැවිය යුතුය” යි කීහ.
“යහපති දරුව, යවන්න”
හෙතෙම ඒ තුන්දෙනාට මහත් සත්කාරකොට තමා සමග ආ සේනාවට ද සත්කාර සම්මාන කරවා ඒ තුන්දෙනාව මහත් පිරිවරින් තමන්ගේ පුරුෂයන් සමග පිටත්කර හැරියේ ය. රජු විසින් තමන්ට පැවරූ භාර්යාවන් සත්සියදෙනා ද හාරසියයක් දාසීන් ද නන්දා දේවිය සමග යැවී ය. තමා සමග පැමිණි සේනාව ද ඔවුන් සමග යැවී ය. ඔවුහු මහත් පෙරහරින් උත්තර පංචාල නගරයට සැපත් වූහ.
ඉක්බිති රජතුමා මවගෙන් මෙසේ ඇසීය. “කිම මෑණියනි! වේදේහ රජු විසින් ඔබට සලකන ලද්දේ ද?”
“දරුව, කුමක් කියන්නෙහිද? මා දෙවියකු ලෙස සළකා සත්කාර කළේ ය”
නන්දා දේවිය ද මවක් ලෙස සැළකූ බවද කීවාය, පංචාලචණ්ඩව කණිටු සොහොයුරු ලෙස සැළකූ බවද කීවාය. එය අසා රජු අතිශයින් සතුටු වී බොහෝ තුටු පඬුරු යැවී ය. එතැන් පටන් දෙපක්ෂයම සමගිව සන්තෝෂයෙන් කල්ගත කළහ.