මහා අභිඥාලාභී

මහ රහත්

තෙරණින් වහන්සේගේ

උත්තම ධාතූන් වහන්සේලා නිධාපිත

ලොව එකම

මහ සෑ රාජාණන් වහන්සේගේ

ආනුභාවයෙන්

ඔබ සැමට සෙත් වේවා!

අරහත් තෙරණිය

යසෝදරා

රාහුලමාතා යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ අසහාය ගුණ වරුණ

රන් රුවක් සදිසි ඕ ‘භද්දකච්චායනා’ වූවා ය. කපිලවස්තුවෙත් දෙව්දහ නුවරත් සකල ආශ්චර්‍යට හිමිකම් කී ඕ ‘යසෝදරා’ වූවා ය. දෙවියන් මැවූ රුවක් සදිසි අඟ පසඟින් යුතු ඕ ‘බිම්බා‘ වූවා ය. රහල් කුමරුන්ගේ මවු වූ ඕ ‘ රාහුලමාතා’ ද වූවා ය. සියල්ල අවසන, සකලක්ලේශයන් මුලිනුපුටා දමා අක් මුල් නැති සසර කතරින් සදහටම මිදී ගිය ඕ තොමෝ ‘මහා අභිඥාලාභී රාහුලමාතා යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ’ වූ සේක.

ඇගේ කථාව අද ඊයේ ආරම්භ වූවක් නොවේ. මින් වසර සියයකට, දහසකට, දසදහසකට, ලක්ෂයකට, කෝටියකට හෝ අපට බින්දු ගණනින් පෙන්වා දැක්විය හැකි කාලප්‍රමාණයකට පෙර හෝ ආරම්භ වූවක් ද නොවේ. මිනිස් සිතකින් සිතාගන්ට නොහැකි තරම් අතිශයෙන්ම දීර්ඝ බොහෝ වසර, බොහෝ ආත්ම අසංඛෙය්‍ය (සංඛ්‍යාවකින් කිව නොහැකි) ගණනකට පෙර අතීතයක සිටයි ඇගේ කථාව ආරම්භ වූයේ. ඒ මෙසේයි ……

අරහත් යසෝදරා තෙරණි චරිතාපදානය

ජාතක ඇසුර

දීපංකර සම්බුද්ධ පාද මූලයේ දි විවරණ ගත් දා පටන් අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනය තුළ පැවිදිව උතුම් අරහත්වය සාක්ෂාත් කරමින් සසර ගමන නිමා කරනා තුරු ‘යසෝදරා’ නම් වූ බෝසත් පතිනිය, සෙනෙහෙබර මවුතුමිය, කල්‍යාණමිත්‍ර යෙහෙළිය, ආදරබර සොයුරිය, ස්වාමි දාසිය අපගේ මහ බෝසතාණන් වහන්සේගේ පාරමිතා කුමුදු මල් විකසිත කරවනා සීතල සඳ කිරණ වී මහ බෝසතුන්ට ශක්තිය වෙමින් අසලින්ම පැමිණියා ය. ඒ ආ මග සොඳුරු මල් ඇතිරූ මෘදු පහස් ඇති සැප ගමන් ඇති සුන්දර දැකුම් ඇති මල් මාවතක් නොවූයේ ය. වචනයෙන් කියා නිම කල නොහැකි තරම් දුක් විඳිමින් ජීවිත පරිත්‍යාගයෙන් පැමිණි ඒ ගමන බෝසත් පතිනියකට විනා මේ තුන් ලොව අන් කවර ලඳකටවත් සිදු කල හැක්කක් නොවේමය.

අති දීර්ඝ භව ගමනේ සෑම හුස්මක්ම සුසුම් පොදක්ම නිකම්ම වා තලයට මුසු වූවා නොවේ. ඒ සෑම හුස්මක්ම සෑම සුසුමක්ම බෝසත් සැමියාණන්ගේ පාරමිතා පූර්ණයට ජීවය කැවූ ප්‍රාණ වායුව වූයේය. මහ බෝසත් ප්‍රිය පතිනිය ලෙස, සියලු ගුණයන්ට ආකරයක් වෙමින් ‘යසෝදරාවෝ’ පැමිණි සංසාර ගමන පහන් සංවේග උපදවා සිහිපත් කල පමණින් අපට සෙත සැලසෙනවා ඒකාන්තය. අරහත්වයට පත් වී සසර දුක සදහටම නිමාකල ‘මහා අභිඥාලාබී යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ’ පිළිබඳ එකම පහන් සිතිවිල්ල ඔබගේ කෝටියක් සන්තාප ශෝක සුසුම් සංසිඳවනවා ඒකාන්තය.

එනිසා, කියවන්න, පහන් සංවේගය උපදවා ගන්න – අනුකරණය කිරිමට නොව අනුමෝදන් වීමට.
තෙරණි ගුණ වයන්න, උපස්ථාන කරන්න – බෝසත් හිමියෙකු පැතීමට නොව ඉපිද ඉපිද මැරෙමින් යන සසර ඕඝයෙන් එතෙර වීමට.

ඔබ සැමට උත්තම යසෝදරා අරහත් තෙරණි ගුණ බලයෙන් සෙත් වේවා!

සිරිමත් වෙසතුරු දාව

වෙස්සන්තර මහ රජ’ හෙවත් ‘වෙසතුරු මහ නිරිඳු’ යනු සම්බෝධිය පිණිස පෙරුම් පුරමින් වැඩි අප මහ බෝසතාණන් වහන්සේගේ අන්තිම ආත්ම භාවයයි. දෙවි බඹ පිරිස් සාධු කාර දෙද්දී අහස පොළොව කම්පා කරවමින් අප මහ බෝසත් වෙසතුරු නිරිඳානෝ සියල්ල දන් දුන් සේක. ‘මොහුට හදවතෙක් නැද්දෝහෝ’යි සිතෙන තරමට ඒ දානයෝ මහා අසිරිමත් වූහ. එයින්ම අපගේ මහ බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව පරිපූර්ණ වී ගියේ ය.
ඈ ‘මද්දී දේවී’ වූවා ය. වෙසතුරු නිරිඳානන්ගේ ප්‍රිය පතිනිය වූවා ය. සිය බෝසත් හිමි අහස ගුගුරුවමින්, පොළොව කම්පා කරවමින් මහ දන් දෙද් දී ඈ මහ හඬින් උස් හඬින් දෙවියන් බඹුන් අභිබවමින් සාදු කාර දුන්නී ය. ඒ සියළු දන් ඉත සිතින් අනුමෝදන් වූවා ය. තව තවත් දන් දීම පිණිසම ම තම හිමි සඳු පෙළඹවූවා ය. මිනිස් දුවකට සිහිනෙකින්වත් සිතා ගත නොහැකි තරමට ඈ දානය නම් වූ අත්හැරීමේ මහා ගුණය පුරුදු කළා ය. මහ බෝසත් ප්‍රිය හිමි සඳුගේ දාන පාරමිතාව පරිපූර්ණත්වයට පත් වීමේහි ලා මහෝපකාරී වූ යෝධ සෙවනැල්ළ ඈ වූවා ය….
වෙසතුරු නිරිඳුන්ගේ ප්‍රිය පතිනිය වූ, සිසිලස කැන්දූ යෝධ සෙවනැල්ළ වූ, කළ්‍යාන මිත්‍ර සෙනෙහෙබර යෙහෙළිය වූ, උත්තම දාන වස්තුව වූ ‘මද්දී දේවී’ හෙවත් අපගේ යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ සසර ගත ජීවිතය පිළිබඳ කථාවේ අනුවේදනීය පළමු දිගහැරුමයි මේ.

කුම්මාසපිණ්ඩ ජාතකය

බරණැස් මාළිගය තුල එකම ඝෝෂාවකි. දූවිලි වැකුණු ගඳ ගසන වැරහැලි වලින් යාන්තම් ඇඟ වසාගත් දුගී යදින්නන් පොර කුකුළන් සේ වී. පෝළිමේ තමන්ට තැනක් සොය සොයා අරගල කරනා ඔවුන්ගේ හඬයි මේ ආයෙ ආයෙත් ඇසෙන්නේ. මාළිගය තුලින් ‘දන් නදියක්’ ගලා යයි. මහා නුග වෘක්ෂයක් හාත්පස සෙවන කරන්නාක් සේ බරණැස් රජුගේ දන් නදිය ‘රාජ දේවිය’ විසින් මොනවට කණිනු ලබන අගල් දිගේ හරි අගේට ගලා යයි.
ඇත්තටම ඇය නම් පුදුම සහගතයි. තම ස්වාමියා දානයෙහි සමාදන් කරවන, අනුබල දෙන, අත හිත දෙන, වීරිය සදන, සෙවනැල්ල සේ පිටුපසින් සිටිමින් තව තවත් දානයෙහිම යොදවන ඈ ‘ලෝභය’ යන්නෙහි හිස්පිලි පාපිලිවත් නොදන්නා සේයි. තමා සතු දෑ සඟවා තබමින් ස්වාමියා සතු දෑ සොරා ගනිමින් මසුරු මලින් සහ ඊර්ෂ්‍යාවෙන් දැවෙමින් වසනා ලෝකයේ අහෝ ඈ උඩුගම් බලා පිහිනා යන අපූරුව!

ඡද්දන්ත ජාතකය

දුෂ්ඨ සිත් ඇති මනුෂ්‍ය දුවක් වූ රාජ මහේශිකාවකට දොලක් උපන. ඒ, සවනක් රැස් විහිදෙන තිස් රියනක් දිග ජීව ඇත් දළ යුවලක් ලබා ගැනිමටය. දළ යුගලයෙන් ඇයට වැඩක් නැත. නමුත් දළ යුගලය හිමි ඇත් රජුගේ මරණයෙන් ඇයට වැඩක් ඇත. පෙර භවයේ එකී ඇත් රජුගේම අග මෙහෙසි ඇතින්නක වී සිටියදී ඇත් රජු හා බැඳි වෛරය දැන් මිනිස් දුවක්ව ඉපිද පිරිමසා ගන්ට ඈ වංචනික දොලක් උපදවා ගත්තීය. අහෝ! ස්ත්‍රියකගෙ මායාවී ගතිය!! තිරස්චීන වුවත් මනුෂ්‍ය වුවත් ලාමක බවේ වෙනසක් නැති සැටි!!!
අහෝ !මෙවන් වූ ස්ත්‍රී මායාවන්ගෙන් තොර, ස්ත්‍රී දුර්ගුණයන්ගෙන් අපවිත්‍ර නොවූ, ලාමක ස්ත්‍රී සිතිවිලි වලින් සිත දූෂ්‍ය නොවූ, සියළු ස්ත්‍රී අධර්මයන් ඉක්මවා ගිය සැබෑම ‘ස්ත්‍රී රත්නයක්’ ලොවේ විසිය හැකිද?  එසේය.
සියළු ස්ත්‍රී නුගුණයන් ඉක්මවා ගිය, සියළු ස්ත්‍රී ගුණ සම්පත්තියෙන් ආඩ්‍ය වුන එකම එක ස්ත්‍රී රත්නයක් ලොව වසන්නීය. ඈ හැර අන් අයෙක් නොවසන්නීය. දෙව් ලොවවත්, මනු ලොවවත්, නා ලොවවත් සියළු සක්වල හා අන් කිසිම ලෝකයකවත් නොවසන්නීමය.
ඈය දළ දන් දී මියැදුන බෝසත් ඇත් රජහුගේ ප්‍රිය පතිනිය වූ ‘සුභද්‍රා’ නම් ඇතින්න. ඈය ‘චන්දකින්නර ජාතකයෙ’හි මියැදුනු ස්වාමියා හට පතිවෘතාවේ තෙජසින් යලි පණ දුන් ‘චන්ද්‍රා’ නම් කින්නරාව. තිරශ්චීනව සිටියත්, ඈ ඒකාන්තයෙන්ම පරම පවිත්‍ර වූ ස්ත්‍රී රත්නයක්ම වූවා ය. මනු ලොව හා අනෙකුත් අත්භවයන් ගැන කියනු කුමට!
අඳුරු වලා අතරින් සෞම්‍යව නැගී ආ පුන් සඳ මඩල සේ, අනන්තප්‍රමාණ දුර්ගුණයාගෙන් කෙලෙසී ගිය ස්ත්‍රී ලෝකයා අතරේ සොඳුරු ස්ත්‍රී ගුණයෙන් පරිපූර්ණව බැබලී ගිය ‘ඈ’ අන් කවරෙකුත් නොව අපගේ ‘යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ’ ය. ලෝකය තුල ස්ත්‍රි දුර්ගුණ ප්‍රකට වෙත්ම ප්‍රකට වෙත්ම නිකෙලෙස් නොවී සිටිද්දීම යසෝදරාවන්ගේ ගුණ කඳ අතිශයින්ම ප්‍රකටව බැබැළුනේය. එසේ වූ කල්හී නිකෙලෙස් වූ අරහත් වූ මහා අභිඥාලාබී වූ අපගේ ‘යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ’ අසාමාන්‍ය ගුණ කඳ පිළිබඳ කියනුම කිම?

ශාන්තිය

අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ උතුම් වූ ශාක්‍ය කුලයේ ක්ෂත්‍රිය වංශයේ උපන් සේක. ‘සිද්ධාර්ථ ගෞතම‘ නාමය ලදින් 29 වසරක් පුරාවට සක් දෙව් සැප පරයා මහා සැප සම්පත් මැද අත්‍යන්ත සුකොමාල දිවියක් ගත කළ සේක.
ඇසළ පුන් සඳ මෝරා නැගි එක්තරා රාත්‍රියක දී අප මහ බෝසතාණන් වහන්සේ සියළු රාජ සැපයන්, උදෑසන හෙලූ කෙල බිඳිත්තක් සේ අත් හරිමින් මහා අභිනිෂ්ක්‍රමණය කොට වදාල සේක.
මේ ජීවිතයේ දහතුන් වසරකුත්, ඊට පෙර අසංඛෙය්‍ය කල්ප හතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට ජීවිත වලත් ප්‍රිය පතිනිය වෙමින් අප මහ බෝසතාණන් වහන්සේ සමග පැමිණි යසෝදරාවන් ඒ රාත්‍රියේ ගැඹුරු නින්දේ පසු වූවා ය. එදිනම උපන් කිරිකැටි බිළිඳා ළමැදට තුරුළු කරන් ඕ තොමෝ සැතපී උන්නා ය. දහසකුත් අපේක්ෂා හා සිතිවිලි වලින් යුතුව ඈ හිමිදිරියේ අවදි වූවා ය. අසන්නට ලැබුනේ අමුතුම පණිවුඩයකි. හද කකියවන සිත උමතු කරවන ගත කිලිපොලා යන දෙකන් සිදුරු අගුල් වට්ටන ප්‍රාණය නිරුද්ධ කරවන මේ එකම පණිවුඩය ඈ මීට පෙරත්, අසංඛෙය්‍ය වාරයක් අසා තිබුනි. නමුත්, කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අති දීර්ඝ සසර ගමනක ආ ඇයට ඒ හැම වාරයක දී සේම මෙවරත් එය ඇසෙද්දී ඇයට දැනුනේ කුමක්ද යන්න දන්නේ ඇයම පමණී. සැබවින්ම අපට තිබෙනා එකම අස්වැසිල්ල නම් මේ ඇය එය අසනා අවසාන වාරය වීමයි.
වසර 7ක් ගෙවී ගියේ ය. මේ ඇය අරහත්වයට පත් වී සකල දුක් කඳ පලා දමා සදහටම සසර දුකින් මිදී යන අන්තිම ආත්මභාවය හෙයින් ඇය තවමත් ජීවත් වන්නී ය. තවමත් මනා වූ සිහි ඇත්තී ය. තවමත් ආශ්වාස ප්‍රශ්වාස වාතයෙන් ඇයගේ ළය පෙඟී යන්නේ ය.
සම්මා සම්බෝධිය සාක්ෂාත් කොට වදාල අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ශාක්‍ය ඥාතීන් පිරිවරා දහම් දෙසමින් සුදොවුන් රාජ මාළිගයේ වැඩ සිටින සේක. රන් වන් කෙසරු ඇති සිංහ රාජයෙක් සිය ඥාති බන්දු වර්ගයා මැද අභීතව සිංහ ගර්ජනා කරන්නාක් වැනි වූ ඒ දහම් ඝෝෂාවේ හඬ අසන්ට උරුම නිසාමය ඇගේ පනනළ ආරක්ෂා වූයේ.
සත් හවුරුදු වියැති සිඟිති රාහුල කුමාරයාණෝ දැන් කසාවත් පෙරවූ සිඟිති ශ්‍රමණ දරුවෙකි. ආනන්ද නන්ද අනුරුද්ධ ආදීන් පමණක් නොව තම එකම සොයුරු දේවදත්තයනුත් ඔවුන්ගේ මගුල් කපුවා වූ උපාලි පවා කසාවත් හැඳි ප්‍රව්‍රජ්ජා දිවියක් ය දැන් ගත කරන්නේ. සුදොවුන් මහරජ සුදු සේසත යට සිටිද්දීම අරහත්වයට පත්ව පිරිණිවන් පෑ සේක. දන්නා නොදන්නා සියල්ලෝම රොඳ බැඳී සිටින්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වටා ය. අහෝ අපටත් සම්බුදු සෙවනේ ප්‍රව්‍රජ්ජාව ලබන්ට ඇත්නම්! අහෝ අපටත් හිස මුඩු කොට කසාවත් හැඳ එක වේලේ බතින් තෘප්තිමත්ව ගසක් යට බවුන් වඩමින් මේ කෙලෙස් සතුරන්ට පහර දී ජය ගන්ට ඇත්නම්! අහෝ ඒ සම්බුදු හද මඩලින් උපන් ඖරස පුත්‍රී වූ ශාක්‍ය දියණියක් වන්නට ඇත්නම්!
දහසක් සිතුවිලි දහසක් ප්‍රාර්ථනා එකම නෙක්ඛම්ම සිතිවිල්ලක කැටි කරගත් යසෝදරාවන් මෙසේ, කපිලවස්තුවේ සිට සම්මා සම්බුදු රජුන් සොයා යන දීර්ඝ මාවතේ පළමු පියවර තැබුවාය….

කුස ජාතකය

ඇය ‘පබාවතී’ ය. ඔහු ‘කුස’ ය. ඇය කුඩා ප්‍රත්‍යන්ත දේශයක රාජ දියණියකි. ඔහු සකල ජම්බුද්වීපයේම අග්‍ර රාජන් ය. ඇය මිහිපිට විසූ රූපයෙන් අග්‍රතම රාජ දියණියයි. ඔහු මිහිපිට විසූ රූපයෙන් විරූපීතම රාජ පුත්‍රයයි. දෛවෝපගතව මේ දෙදෙනාගේ විවාහය සිදු විය. දිව්‍ය අප්සරාවක් පිසාචයකු හා විවාපත් වූවාක් වැනි වූ මේ විවාහය දෙදරා යාමට වැඩිකල් ගියේ නැත. පබාවතිය යලි සිය රට බලා ගියා ය. තනි වූ කුස මහ රජුට, ශක්‍ර භවන වන් මාළිගයත් තිදස පුරය වන් කුසාවතී රාජධානියත් පබාවතිය නැති එකම රැයින් මහා වාලුකා කතරක්, එකම පාළු නිරයක් සේ වීය. පසුදා අළුයම ම පබාවතිය සොයා මධුරට සාගල නුවර බලා හේ පිටත් විය. යොදුන් සියයක් දුර අදන් මගට බට ජම්බුද්වීපයේ මහ රජු එකම ළඳක් නිසා මහා දුක් ගනිමින් පා ගමනින්ම පැමිණ සාගල නුවරට ලඟා විය. මහ රජු නුවර දොරටුවෙන් ඇතුළු වෙත්ම මාළිගයේ ඇතුළු ගැබේ සුව යහනේ සැතපී හුන් පබාවතියට තවදුරටත් යහන මත සැතපී සිටීමට නොහැකි විය. ඈ නොදැනුවත්වම සයනයෙන් බැස රළු පොළොවේ වැතිර ගත්තී ය.
මෙතැන් පටන් ඉදිරි සත් මසක් පුරාවට, කුස මහ රජු පබාවතිය උදෙසාත් පබාවතිය ‘කුස’ නම් වූ සිය ස්වාමියා පිළිබඳවත් මහා දුක් අනුභව කරනු ඇත. නොවිඳිය යුතු මහා දුක් විඳිනු ඇත. එකම ප්‍රිය තෙපුලක්, එකම ප්‍රිය බැල්මක් සකල දුක් ගිණි නිවා දමන සීතල දිය දහර වනු ඇත. නමුත් එයමය මෙහි නොලැබෙනාම කාරණය.
අසංඛෙ‍ය්‍ය වාරයකටත් අධික වාරයක් ප්‍රිය පති-පතිනි වාසය පුරුදු කළ දෙදෙනෙකුගේ අනූපමෙ‍ය්‍ය ආදර කථාවක් මොහොතකට උඩු යටි කුරු වී ගොස් ඇත.
හේතුව, පබාවතියගේ උපමා රහිත රූ සොබාවවත් නොවේ. කුස මහ රජුගේ නින්දා සහිත විරූපී මුහුණවත් නොවේ. ‘හේතුව’ සසරේම දෝෂයකි. වැරදී ගිය ප්‍රාර්ථනාවක් නිවැරදි ආකාරයෙන් ඉෂ්ඨ වීමකි. නුසුදුසු ප්‍රාර්ථනාවක් සුදුසු ආකාරයෙන් ඉෂ්ඨ වීමකි. දෙදෙනා වෙන් වෙන්ව සිට කල අඳුරු කර්මයන්ගේ විපාක දෙදෙනා එක් වී සිට විඳින්ට වීමකි.
නමුත් මහ බෝධිසත්වයන් වහන්සේගේ අදිෂ්ඨානය ඒකාන්තයෙන්ම සඵල වන්නක්මය. එය එසේ වන කල්හී මහ බෝධිසත්වයන් වහන්සේ උදෙසාම දිවි දී පෙරුම් පුරා පැමිණෙන බෝසත් පතිනියගේ අදිෂ්ඨානය නොසිදුවන්නක් වන්නේ කෙසේද?!
සියළු පාරමිතාවන් එකම භවයක දී පුරාලූ කුස-පබාවතී ආදර කථාව ඇත්තෙන්ම ආදර කථාවක් නොව සසරේම දොස් දක්වන්නා වූ ජීවමාන කැඩපතයි.

ගුණ පුරනා සසර | ජාතක කථා

බුදු සසුන් බැබළ වූ අරහත් මුණිවරියන් වහන්සේලා

ඇය කාගේ හෝ දියණියකි. සොයුරියකි. යෙහෙළියකි. පෙම්වතියකි. බිරිඳකි. මවකි. නැන්දනියකි. සුළු මවකි. මිත්තනියකි. ඇතැම් විටකදි වැන්දඹුවකි, හැමෝටම පොදු පරිබෝග වස්තුවකි….වෛශ්‍යාවකි…. රාජ දියණියකි. සිටු කුමරියකි. ගැමි දියණියකි. ඇතැම් විටකදී සැඩොලියකි. දාසියකි. වැදි කෙල්ලකි. තාපසියකි. උමතු තැනැත්තියකි.
  අවබෝධයෙන් සිය කැමැත්තෙන්ම ද පැවිදි වූවාය. එසේම , කලහැකි අන් කිසිවක් නොවුන තැන එකම විසඳුම ලෙස ද පැවිදි වූවාය.

ඈ ගෞතම බුදු සසුනේ පැවිදි වූවාය. හිස මුඩු කලාය. කසට සිවුරු පෙරෙව්වාය. මැටි පාත්‍රය ගෙන සිඟා ගොස් ලැබුන යමකින් යැපුනාය. ඈ භික්ෂුණියක වූවාය.
ඒ භික්ෂුණිය දිවි දෙවැනි කොට දහමේ හැසිරුනීය. වීරිය වැඩුවාය. ධ්‍යාන වැඩුවාය. සියලු සංස්කාරයන්ගේ ඇතිවීමත් නැතිවීමත් මනාව දුටුවාය. සියලුම දේත් සියලුම දෙනා ගැනත් ආශාව දුරින්ම දුරු කලාය. දහම් ඇස උපදවා ගත්තීය. සකලක්ලේෂයන් මුලිනුපුටා දමා යලි කිසිදා නොඉපදෙන නොමැරෙන හැම දුක් නිමාකල අමා මහ නිවන සාක්ෂාත් කල සේක.

මාර විජය ජයගත් මාර බන්ධනයන්ගෙන් සදහටම මිදී ගිය ඒ උත්තම රහත් මුණිවරියන් වහන්සේලා මෙසේ සිංහනාද කල සේක …..

ථේරි ගාථා

සහ

අරහත් තෙරණි අපදාන

මහ රහත් තෙරණින් වහන්සේලාගේ

සංසාරගත ජීවිත

“අනේ මහා වීරයාණන් වහන්ස ! නුඹ වහන්සේගේ මුව මඬල දෙස කොයිතරම් කල් බලා සිටියත් මේ දෑස නම් කවරදාකවත් සෑහීමකට පත්වන්නේ නෑ. නුඹ වහන්සේගේ වචනවලට කොයි තරම් කල් සවන් දීගෙන සිටියත් මේ කනත් එහෙම තමා… කවරදාකවත් සෑහීමකට පත් වන්නේ නෑ. නමුත් මුනිඳාණන් වහන්ස ! හුදෙක් මාගේ මේ එකම එක සිත ඒ අමා දම් රසයෙන් සම්පූර්ණයෙන් ම තෘප්තිමත් වුනා. සෑහීමකට පත් වුනා”

-මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ-

අසහාය මාතෘ සෙනෙහසක සම්පූර්ණ ජීවිත ප්‍රවෘතිය

'අපේ හිත'

වඳුරෙක් අත්තෙන් අත්තට පනිනව වගේ අරමුණෙන් අරමුණට පැන පැන යනවා. එක තැනක ඉන්නෙ නෑ. හරිම චංචලයි.

හිත අපිට කියනවා ‘මේක කරන්න’ කියලා. ආයෙමත් ඒ හිතම අපෙන් අහනවා ‘ඇයි නුඹ ඒක කලේ?’ කියලා. කිසිම අනුකම්පාවක් නැති මේ හිත හරි නපුරුයි, චපලයි. අපේ මූණට සිනහවක් එන්නෙත් ඇස් දෙකට කඳුලක් එන්නෙත් ඔය හිත නිසාමයි. වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. රූකඩයක් වගේ ඕන ඕන විදිහට අපිව නටවන අපේ හිත අපිව නසල වනසල දානකල් අපි ඔහේ බලාගෙන ඉන්නවා. ඊට පස්සෙ ශෝක කරනවා. අඬනවා. වැලපෙනවා. සමහරු අනුන්වත් නසාගෙන තමන්වත් නැසෙන තරමට ලාමක වෙනවා.

ඇත්තටම අපට මේකෙන් බේරෙන්න ක්‍රමයක් නැද්ද? වඳුරා අත්තෙන් අත්තට පනිද්දී නවත්තන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?

හිත විසින් අපිව වනසල දාන්න කලින් අනතුර හඳුනගෙන ඒකෙන් ගැලවෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?

'හිත' ගැන ඉගෙනගන්න

සදහම් ගඟුල

පින්බර දියණියකගේ ජීවිතයේ ඇති සුන්දර පැතුමකි ඇගේ විවාහය. සුන්දරව සැරසිලා ලස්සන මනාළියක් වීමට ඈ අවුරුදු ගණන් මාස ගණන් සැලසුම් කරයි. නමුත් විවාහ වූ දිනයේ පටන් මනුලොවින් සමුගන්නා මොහොත දක්වා ප්‍රිය බිරිඳක් යහපත් ලෙහෙළියක් ලෙසින් ඇයට උසුලන්ට වන වගකීම් සුළුපටු නොවෙයි. මංගල දිනය ඉතා චාමෙට ගත්තත් ඉතා උත්සවශ්‍රියෙන් ගත්තත් යුවති-පති දෙදෙනාගේ විවාහ දිවියේ සාර්ථකත්වය තීරණය වීමෙහිලා වැඩි බරක් තිබෙන්නේ පින්වන්ත දියණියනි, ඔබේ අතෙයි. ඔබ විසින් විවාහයෙන් පසු ජීවිතයේදී භාර්‍යාවක් ලෙස යුතුකම් සහ වගකීම් ඉටු කරමින් යහපත් ගුණ ධර්ම දියුණු කරගනිමින් සිල්වත්ව තමාගේ ස්වාමියා සහ නැදිමයිලන් සමග ජීවිතය ගෙවන ආකාරය අනුව ඔබේ පමණක් නොවෙයි ඔබේ පවුලේ සියලු දෙනාගෙම මෙලොව පරලොව දෙලොව ජීවිතයේම යහපත සාදා ගත හැකියි. 

එනිසා, හෝරා කිහිපයකින් ගෙවී හමාර වෙන මංගල උත්සවය සැලසුම් කිරීම පිණිස යොදවන අවධානය සේම පින්වන්ත ඔබ, ජීවිත කාලය පුරාවටම අලුත් පවුලක අලුත් සාමාජිකයන් සමග බිරිඳක් ලෙස ගත කරන්ට යන ජීවිතයත් සැලසුම් කරන්ට යොදවනවානම් එයින් ඔබ දෙදෙනාගේත් අනිත් සියළු දෙනාගෙමත් ජීවිත සාර්ථක කර ගත හැකියි.

එනිසා, පින්වන්ත ඔබ, සත්පුරුෂ ධර්මය සොයා යන්න. සත්පුරුෂ ධර්මය අසන්න. සත්පුරුෂ ධර්මය ජීවිතයට ගලපා ගන්න. ඒ අනුව හැසිරෙන්න. සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර ඇසුර ගෞරවයෙන් පිළිගන්න.  

“සුජාතාවෙනි, පුරුෂයෙකු හට මේ භාර්යාවෝ සත් දෙනෙකි. ඒ කවර සත් දෙනෙක් ද යත්;

වධකියක හා සමාන වූ බිරිඳකි. සෙරක හා සමාන වූ බිරිඳකි. ආර්යාවක හා සමාන වූ බිරිඳකි. මවක හා සමාන වූ බිරිඳකි. සොයුරියක හා සමාන වූ බිරිඳකි. යෙහෙළියක හා සමාන වූ බිරිඳකි. දාසියක හා සමාන වූ බිරිඳකි.

සුජාතාවෙනි, මේ වනාහී පුරුෂයෙකුට සිටින සප්ත භාර්යාවෝ ය. ඔබ මෙයින් කවර තැනැත්තියක් ද?”

_ සත්තභරියා සූත්‍රය _

අසපුවේ සෑම මසකම පැවැත්වෙන

සීල භාවනා වැඩසටහන්

(පින්වත් උපාසක උපාසිකාවන් සහ දූ පුතුන් උදෙසා)

සිරි ගෞතම බෝධි වන්දනාව

සෑම සෙනසුරාදා දිනකම සවස 3.30 ට සිදු කෙරෙන විශේෂ තේවාවේ සිට ආරම්භ වේ

සිරි යසෝදරා මහරහත් තෙරණි වන්දනාව

(සෑ වන්දනාව)

සෑම ඉරිදා දිනකම සවස 3.00 ට සිදු කෙරෙන විශේෂ තේවාවේ සිට ආරම්භ වේ.

කංචුක පූජා

හේවිසි පූජා

ගිලන්පස පූජා

සුවඳ දුම් පූජා

ආලෝක පූජා

සදහම් ප්‍රකාශන

උතුම් තෙරණි චරිතාපදානය සහ අරහත් තෙරණි වන්දනාව

'රාහුල මාතා යශෝධරා උත්තමාවිය'

යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ ආශ්චර්‍යමත් ගුණ කඳ පිළිබඳ විස්තර කියැවෙන උත්තම තෙරණි චරිතාපදානයයි.

'රාහුලමාතා යසෝදරා මහරහත් තෙරණි වන්දනාව'

මහා අභිඥාලාබී යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ කඳ සිහිපත් කරමින් කරනා මහානුභාවසම්පන්න සත්‍යක්‍රියාව ද ඇතුළුව, තමන්ට තනිවම වන්දනා කොට පින් රැස්කරගැනීමට හැකි ආකාරයෙන් විශේෂයෙන් සකස් කර ඇති අරහත් තෙරණි වන්දනා අත් පොතයි.

අපගේ මහමෙව්නාව භාවනා අසපුව වෙතින් ඔබට පිදෙන සියළු සදහම් ග්‍රන්ථ අසපු භූමියේ පිහිටා ඇති සදහම් පොත් මැදුරෙන් ලබා ගත හැකියි.
මහමෙව්නාවේ සදහම් ප්‍රකාශන

යේ ච ඛෝ සම්මදක්ඛාතේ
ධම්මේ ධම්මානුවත්තිනෝ
තේ ජනා පාරමෙස්සන්ති
මච්චුධෙය්‍යං සුදුත්තරං

තථාගතයන් වහන්සේ නමක් විසින් ඉතා පිරිසිදුව පවසන ලද බුදු සසුන තුළ යම් කෙනෙක් ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ උදවිය එතෙර වෙන්ට ඉතාමත් දුෂ්කර වූ මේ මාර උගුලෙන් ගැලවෙලා සංසාරෙන් එතෙර වීම වූ නිවන කරා ම යනවා.

ජේතවනාරාමයේදී බණ ඇසූ පිරිසක් අරභයා වදාළ ගාථාවකි           ධම්මපදය (ගාථාව : 86.11)

Opening Hours

Mon - Fri : 6am-7pm
Sat - Sun : 6am-8pm

Phone

(+94)1 1 - 240 - 3979 / (+94)76 - 345 - 8777

WhatsApp

(+94)76 - 114 - 3979

E-mail
Our location

මහමෙව්නාව අනගාරිකා අසපුව, 363/A, හාමුගෙහේන, උඩුපිල, දෙල්ගොඩ

Mahamevnāwa Anagarikā Monastery, 363/A, Hāmugehēna, Udupila, Delgoda (11700), Sri Lanka