චුල්ලබෝධි ජාතකය
ශාස්තෘන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන සේක් එක් කිපෙනසුළු භික්‍ෂුවක් අරබයා මෙම චුල්ල බෝධි ජාතකය දේශනා කළ සේක.
ඒ භික්‍ෂුව නෛර්යාණික සසුනෙහි පැවිදි වී ද ක්‍රෝධයට නිග්‍රහ කරන්නට නොහැකි විය. කිපෙන සුළු විය. සිත්තැවුල් බහුල වුයේ, කිසිවෙක් ස්වල්පයක් ද කීවේ ඊට ද කෝපවී ය. කිපුනේ ය. විපතට පත්වී ය. කෝප බහුල වූයේ වෙයි. ශාස්තෘන් වහන්සේ ඔහුගේ කිපෙනසුළු බව අසා කැඳවා ‘තොප කිපෙන සුළු බව ඇත්තේ සත්‍යදැ‘යි විමසා, ‘ස්වාමීනි, සත්‍යයයි‘ කී කල්හි,
“මහණ, ක්‍රෝධය නම් වැලැක්විය යුතුය. මෙලොව ද පරලොව ද විපත් ඇති කරන මෙබඳු වූ අනිකෙකු නැත. ඔබ ක්‍රෝධ රහිත වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වී කුමක් හෙයින් කිපෙහි ද? පැරණි පණ්ඩිතයෝ බාහිර ශාසනයෙහි පැවිදි වීද ක්‍රෝධ නොකළෝ ය” යි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසී රට එක් නියම් ගමක පොහොසත් වූ මහත් ධනය ඇති මහත් සම්පත් ඇති පුතුන් නැති එක් බ්‍රාහ්මණයෙක් විසී ය. ඔහුගේ බැමිණිය පුතකු පැතුවා ය. එකල්හි බෝධිසත්වයෝ බ්‍රහ්මලෝකයෙන් චුතවී ඒ බැමිණියගේ කුසෙහි උපන්නෝ ය. නම් තබන දවස්හි ඔහුට ‘බෝධි කුමාරයා’ යයි නම් කළහ. ඔහු වයසට පත් කල්හි තක්ෂිලාවට ගොස් සියළු ශිල්පයන් ඉගෙන පෙරලා පැමණි ඔහුට, ඔහුගේ නොකැමැත්තෙන් ම මව්පියෝ සමාන කුලයකින් කුමාරිකාවක ගෙන ආවාහු ය. ඇය ද බඹ ලොවින් චුත වූවා ම උතුම් රූපයක් දරන්නී දෙව් අප්සරාවක හා සමාන වූවා ය. ඔවුන්ගේ නොකැමැත්තෙන් ම ඔවුනොවුන්ගේ ආවාහ විවාහය කළාහු ය. ඔවුන් දෙදෙනාගේ ම කෙලෙස් පැවතීමක් නම් නොවූ විරූය. රාග සහිතව එකිනෙකාගේ බැලීමක් නම් නොවී ය. සිහිනෙනුදු ඔවුන් විසින් මෙවුන්දමක් නම් නොදුටු විරූ ය. මෙසේ පිරිසිදු සිල් ඇත්තෝ වූහ.
ඉක්බිති මෑත කාලයෙහි මහා සත්ත්ව තෙමේ මව්පියන් කළුරිය කළ කල්හි ඔවුන්ගේ අවසාන කෘත්‍යය කර ඇය කැඳවා “සොඳුර, ඔබ මේ අසූකෙළක් ධනය ගෙන සුවෙන් ජීවත් වෙව” යි කීය.
“ආර්ය පුත්‍රය, ඔබ වනාහි කොහි යව්ද?”
“මට ධනයෙන් වැඩක් නැත. හිමවත පෙදෙසට ගොස් පැවිදි වී තමා පිහිටක් කරන්නෙමියි.”
“ආර්ය පුත්‍රය, කිම පැවිද්ද නම් පුරුෂයන්ට පමණක් සුදුසු වේද?”
“සොඳුර ස්ත්‍රීන්ට ද වටී”
“එසේ වී නම් මම ඔබ විසින් හරනා ලද කෙළ පිඩුව නොගන්නෙමි. මට ද ධනයෙන් වැඩක් නැත. මම ද පැවිදි වන්නෙමියි”
“සොඳුර මැනව”
ඒ දෙදෙනාම මහදන් දී නික්ම සිත්කළු බිම් කොටසක ආශ්‍රමයක් කොට පැවිදි වී අහුලා ගත් ලොකු කුඩා ගෙඩිවලින් යැපෙන්නාහු එහි අවුරුදු දහයක් පමණ විසුවාහු ය. ඔවුන්ට ධ්‍යාන නොඋපදී ද ඔවුහු එහි පැවිදි සුවයෙන් දස වසරක් වාසය කර ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපද චාරිකාවෙහි හැසිරෙන්නාහු පිළිවෙලින් බරණැසට පැමිණ රජුගේ උයනෙහි වාසය කළාහු ය.
එක් දවසක් රජු, පඬුරු ගෙන ආ උයන්පල්ලා දැක ‘උද්‍යාන ක්‍රීඩාවන් කෙළින්නෙමු, උයන පිරිසිදු කරව‘යි කියා ඔහු විසින් පිරිසිදු කළ සරසන ලද උයනට මහත් වූ පිරිවර සමග ගියේ ය. ඒ වේලාවෙහි තවුසාත් තවුසියත් උයනේ එක්පසෙක පැවිදි සුවයෙන් කල් ගෙවන්නාහු වෙත්.
ඉක්බිති රජු, උයනෙහි හැසිරෙන්නේ, හුන්නා වූ ඒ දෙදෙනා දැක, අතිශයින් පැහැදීම් ඇති කරන උතුම් රූපශ්‍රියක් දරන පරිබ්‍රාජිකාව දෙස බලන්නේ ඇය පිළිබඳ සිත් ඇත්තේ වීය. හෙතෙම කෙලෙස් වශයෙන් කම්පා වන්නේ “පළමුකොට මේ පරිබ්‍රාජිකාව ගැන අසන්නෙමි, මොහුට මැය කවරක් වෙයි දැ” යි බෝසතුන් වෙත එළඹ “පැවිද්ද, මේ පරිබ්‍රාජිකාව තොපට කවුරුන් වේදැ” යි විචාළේ ය.
“මහරජ, කිසිවෙක් නොවේ. හුදෙක් එකම පැවිද්දෙන් පැවිදි වූවෝ වෙමු. එහෙත් ගිහිකල මගේ පාද පරිචාරිකාව (භාර්යාව) වූවා ය”
රජු ඒ අසා ‘මැය මොහුගේ කිසිවෙක් නොවේ. තවද ගිහි කල ඔහුගේ පාදපරිචාරිකාව විය. ඉදින් මම මැය ඉසුරු බලෙන් ගෙන යන්නේ නම් යෙහෙකි. මෙතෙම කවරක් කරන්නේද පළමුකොට ඔහු පරික්‍ෂා කරන්නෙමි’ යි සිතා බෝසතුන් වෙත එළඹ මෙසේ කීවේ ය.
“බ්‍රාහ්මණය, යමෙක් විශාල ඇස් ඇති, මද සිනහ සහිතව කථා කරන ඔබගේ මේ ප්‍රියාවිය බලහත්කාරයෙන් ගෙන යන්නේ නම් කුමක් කරන්නෙහිද?”
ඉක්බිති මහා සත්ත්ව තෙමේ ඔහුගේ කථාව අසා මෙසේ කීවේ ය.
“මහරජ, ඉදින් මැය ගෙනයන කල්හි මගේ ඇතුලත කවර තැනක හෝ කෝපයක් උපදින්නේ නම් එය මගේ ඇතුලත ඉපදී, යම්තාක් මම ජීවත් වෙමිද ඒ තාක් මවිසින් එය නොමුදන්නේ ය. කෝපයට ඇතුලත දැඩිව එකට වාසය කිරීමෙන් පිහිටන්නට නොදෙමි. ඉක්බිති යම් සේ උපන් දූවිලි මහත් වූ වර්ෂාව වහා වලක්වයි ද එසේ වහාම එය මෛත්‍රී භාවනාවෙන් නිග්‍රහ කොට වලක්වන්නෙමියි.”
මහා සත්ත්ව තෙමේ මෙසේ සිංහනාද කළේ ය. රජු ඔහුගේ කථාව අසාද අඥාන බව නිසා තමාගේ සිතුවිල්ල වලක්වන්නට නොහැකි වන්නේ එක්තරා ඇමතියෙකුට “මේ පරිබ්‍රාජිකාව රජ මැදුරට පමුණුවය” යයි අණ කරවී ය. හෙතෙම මැනවයි පිළිගෙන “ලොව අධර්මය පවතී……. නුසුදුසු ය……” ආදීන් කියා හඬන්නීම ඇයව ගෙන ගියේ ය. බෝධිසත්ත්‍ව තෙමේ ඇයගේ හඬන ශබ්දය අසා එක්වරක් බලා නැවත නොබැලී ය. හඬන්නී වූ වැලපෙන්නී වූ ඇය රජ ගෙදරටම ගෙන ගියාහු ය.
ඒ බරණැස් රජු ද උයනෙහි ප්‍රමාද වීමක් නොකරම වහා ගෙට ගොස් ඒ පරිබ්‍රාජිකාව කැඳවා මහත් වූ යසසින් පිරිණැමුවේ ය. ඇය යසසෙහි අගුණ ද පැවිද්දෙහි ගුණම ද කීවා ය. රජු කිනම් ක්‍රමයෙකිනුත් ඇගේ සිත නොලබන්නේ ඇය එක් කාමරයක දමා වසා මෙසේ සිතී ය.
‘මේ පරිබ්‍රාජිකාව මෙබඳු යසස නොකැමති වෙයි. ඒ තාපසයාද මෙබඳු ස්ත්‍රියක් ගෙනයන කල්හි කිපී බැලීම් මාත්‍රයක් ද නොකළේ ය. පැවිද්දෝ වනාහි බොහෝ මායා ඇත්තෝ වෙති. කිසිවක් යොදවා මට අනර්ථයක් කරන්නේ ය. පළමුකොට යමි. තවුසා කුමක් කරමින් සිටින්නේදැ’යි දැනගනිමි’ තවදුරටත් සිටින්නට නොහැකි වන්නේ, රජු උයනට ගියේ ය.
එවිට බෝධිසත්ත්ව තෙමේ සිවුර මසමින් හුන්නේ ය. මද පිරිවර ඇති රජු පියවර ශබ්දයක් නොකරන්නේ වහා එළඹියේ ය. බෝධිසත්ත්‍වයෝ රජු දෙස නොබලා ම සිවුර මැසුවේ ය. රජු, “මෙතෙම කිපී මා සමඟ කථා නොකරයි. මේ කූට තාපසයා කෝපය උපදින්නට නොදෙන්නෙමි, උපන් කල්හි ද වහාම නිග්‍රහ කරන්නෙමි’ යි පළමුව ගුගුරා දැන් ක්‍රෝධයෙන් ම තද වී මා සමග කථා නොකරයි” යි හැඟීමෙන් මෙසේ කීය.
“යම් හෙයකින් පළමුව බලයෙන් යුක්ත වූවෙකු මෙන් වී, පුරසාරම් දෙඩූ ඔබ දැන් කිසිවක් නොකියන්නේ සඟල සිවුර මසමින් සිටින්නෙහිය”
මහා සත්ත්‍වයා ඒ අසා, ‘මේ රජු, මා ක්‍රෝධයෙන් නිසා කථා නොකරයි’ යි සිතයි. නමුත් මම් උපන් ක්‍රෝධයේ වසඟයට නොගිය බව ඔහුට කියන්නෙමි’ යි සිතා මෙසේ කීවේ ය.
“මහරජ, මට ක්‍රෝධය උපන. නුපන්නේ නොවේ. නමුත් මගේ ක්‍රෝධය නොමුදන්නේය. ඔහුට (ඇතුළට) පිවිස හදවතෙහි සිටින්නට නොදුන්නෙමි. මෙසේ ඒ ක්‍රෝධය මගේ ජීවිත හේතුවෙන්ද නොමුදන්නේම ය. මහවැස්ස විසින් දූවිලි ඉවතලූවා මෙන් වහාම එය වලක්වාලූයෙමි”.
ඒ අසා රජු, ‘කිම මෙතෙමේ කෝපය නිසා ම කියයි ද නැතහොත් අන් කිසිවක් නිසා කියහි ද?’ යි, පළමු කොට ඔහු විමසමැයි සිතා විමසන්නේ මෙසේ කීය.
“තොපගේ සිතෙහි කවරක් ඉපදුනේ ද? කවරක් නොමිදුවේ ද? ඔබ ජීවිත හේතුවෙන් ද කවරක් නොමිදුවේ ද? මහවැස්ස දූවිලිය මෙන් තොප වැලැක්වූයේ කවරක් ද?”
ඒ අසා බෝධිසත්ත්ව තෙමේ, “මහරජ, බොහෝ ආදීනව ඇති මහත් වූ විනාශ ගෙන දෙන්නා වූ මේ ක්‍රෝධය මට ඉපදුනි. උපන්නා වූ එය මෛත්‍රී භාවනාවෙන් වලක්වාලූයෙමි” යි ක්‍රෝධයෙහි ආදීනව කියනුයේ,
“යමක් උපන් කල්හි ආත්මාර්ථය නොදකීද නොඋපන් කල්හි මනාව දකීද ඒ ක්‍රෝධය මාගේ සිතෙහි උපනි. නොමිදුනේය. ක්‍රෝධය මෝඩයන්ට ගෝචර වූවෙකි.
ක්‍රෝධය භයානක වූ බිය ඇති කරන මහත් වූ කෙලෙස් සේනාවකින් යුක්ත වූයේ, තමාගේ බලවත් බව නිසා මහත් සත්ත්වයන් පවා තමාගේ වසඟයෙහි ලා මැඩීමට සමර්ථ වෙයි. නමුත් මගේ සමීපයෙන්නම් ඊට ඉඩක් නොලැබී ය. මගේ හදවතෙහි මොහොතක්වත් නොසිටින්නේ ය.
යමක හටගැනීම නිසා දුක කැමති වන්නා වූ පසමිතුරෝ සතුටු වෙත්ද ඒ ක්‍රෝධය මාගේ සිතෙහි උපනි. නොමිදුනේය. ක්‍රෝධය මෝඩයන්ට ගෝචර වූවෙකි.
යමක් හටගන්නා කල්හි ආත්මාර්ථය අවබෝධ නොවේද ඒ ක්‍රෝධය මගේ සිතෙහි උපනි. නොමිදුනි. ක්‍රෝධය මෝඩයන්ට ගෝචර වූවකි.
මහරජ, යම්බඳු කෝපය විසින් මඬනා ලද්දේ කුසලයන් දුරු කෙරේද මහත් වූ අභිවෘද්ධිය බැහැර කෙරේද බියකරු සේනාවක් වැනි වූ, උතුමන් පවා මඩින්නා වූ ඒ ක්‍රෝධය වෙතින් නොමිදුනේය.
වියලි දර හමනා කල්හි ගින්න හටගනී. ඒ ගින්න යමකින් හටගනීද ඒ දර කඩම දවයි….. ගිනි ගානා දණ්ඩෙන් මඩිනු ලබන කල්හි, යම් දරකඩකින් ගිනි හටගනී ද ඒ උපද්දවාගත් ගින්න විසින් එයම දවයි. බාලයා ඒ ක්‍රෝධයෙන්, ගින්නේ දැවෙන දර මෙන් දැවේ. නමුත් දර නැති ගින්න මෙන් ඉවසීමෙන් යුක්ත වූ පුද්ගලයාගේ කීර්තිය, පුර පක්‍ෂයෙහි චන්ද්රයා මෙන් මතු මතු ද පිරේ.
මෙසේ මන්දබුද්ධික වූ කිසිත් නොදන්නා වූ පුරුෂයාගේ එකට එක කීමෙන් ක්‍රෝධය හටගනී. හෙතෙම ඒ ක්‍රෝධයෙන්ම දවනු ලබයි.
තණකොළ හා දර නිසා හටගන්නා ගින්න මෙන් යමෙකුගේ සිත තුළ ක්‍රෝධය වැඩේද ඔහුගේ යසස කෘෂ්ණ පක්‍ෂයෙහි චන්ද්රයා මෙන් පිරිහේ.
ඉන්ධන (දර) රහිතව නිවී යන ගින්න මෙන් යමෙකුගේ ක්‍රෝධය සන්සිඳේ ද ශුක්ල පක්ෂයෙහි චන්ද්රයා මෙන් ඔහුගේ යසස වැඩේ”
රජ මහා සත්ත්‍වයන්ගේ දැහැමි කථාව අසා සතුටු වී එක් ඇමතියෙකුට අණ කරවා පරිබ්‍රාජිකාව ගෙන්වා “ස්වාමීනි, ක්‍රෝධ රහිත වෙව. කෙළෙස් තවව. තෙපි දෙදෙනාම පැවිදි සුවෙන් කල් ගෙවන්නාහු මේ උයනෙහිම වසව. මම තොපට දැහැමි ආරක්‍ෂාව කරන්නෙමියි” කියා ක්‍ෂමා කරවා වැඳ ගියේ ය. ඒ දෙදෙනාම එහිම වාසය කළාහු ය. මෑත කාලයෙහි පරිබ්‍රාජිකාව කළුරිය කළා ය. බෝසත් තෙමේ ඇය කළුරිය කළ කල්හි හිමවතට ගොස් අභිඥාවන් ද සමාපත්තීන්ද උපදවා සතර බ්‍රහ්ම විහරණයන් වඩා බඹලොව පිහිට කළ ඇත්තෙක් වීය. (බඹලොව ඉපදුනි)
ශාස්තෘන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙන හැර දක්වා, චතු සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. දේශනාවසානයෙහි කෝපී වූ භික්‍ෂුව අනාගාමී ඵලයෙහි පිහිටියේ ය.
එකල්හි පරිබ්‍රාජිකා තොමෝ රාහුල මාතාව වූවා ය. රජු ආනන්ද තේර වීය. පරිබ්‍රාජ තෙම මම ම වූවෙමි යි ශාස්තෘන් වහන්සේ වදාළ සේක.