දසරථ ජාතකය

ශාස්තෘන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන්නේ, එක් පියා මළ කෙළෙඹියකු අරභයා මෙම ජාතක දේශනාව දේශනා කළ සේක.

ඔහු පියා කළුරිය කළ කල්හි ශෝකයෙන් මඩනා ලද්දේ සියළු කටයුතු අත්හැර ශෝකය අනුව පවතින්නෙක් වීය. බුදුරජාණෝ අළුයම් කාලයෙහි ලොව බලන්නේ ඔහුගේ සෝවාන් ඵලයට පැමිණීමේ හේතු සම්පත් දැක දෙවන දවස්හි සැවැත්නුවර පිඬු පිණිස හැසිරි කරන ලද බත් කිස ඇත්තේ, භික්‍ෂූන් පිටත්කර යවා, අනුව යන්නා වූ එක් භික්‍ෂුවක් ගෙන ඔහුගේ ගෙට ගොස්, වැඳ සිටි ඔහුට මිහිරි වචනයෙන් අමතන්නේ, “උපාසකය, කුමක් හෙයින් ශෝක කරන්නෙහිදැ” යි කී සේක.

“ස්වාමීනි, පියා මළ ශෝකය මා පීඩාවට පත් කරයි” යි කී කල්හි, “උපාසකය, පෙර පණ්ඩිතයන් අෂ්ටලෝක ධර්මයන් තත් වූ පරිදි දැනගෙන පියා මළ කල්හි ස්වල්ප වූද ශෝකයක් නොකළාහු ය” යි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පෑ සේක.

අතීතයෙහි බරණැස් නුවර දසරථ නම් මහරජ අගතිගාමී බව අත්හැර දැහැමිව රාජ්‍යය කරවී ය. ඔහුගේ සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍රධාන වූ අගමෙහෙසිය, පුතුන් දෙදෙනෙකු ද එක් දුවක් ද වැදුවා ය. වැඩිමහල් පුතා ‘රාම පණ්ඩිතය’ නම් වීය. දෙවැන්නා ‘ලක්ඛණ කුමාරයා’ නම් වීය. දුව ‘සීතා දේවී’ නම් විය. මෑත කාලයේ අගමෙහෙසිය කළුරිය කළා ය. රජු ඇය කළුරිය කළ කල්හි බොහෝ කලක් ශෝකයෙන් පීඩිතව සිටින කළ, අමාත්‍යයන් විසින් සිහි උපද්දවන ලද්දේ, ඇයට කළ යුතු අවසන් කටයුතු කොට අන් තැනැත්තියක් අග්‍රමහේෂී තනතුරෙහි තැබී ය. ඇය රජුට ප්‍රිය වූවා ය. සිත් ගත්තී ය. ඇය ද මෑත කාලයෙහි ගැබ්ගෙන ලබන ලද ගැබ ආරක්ෂා ඇත්තී පුත්‍රයෙකු වැදුවා ය. ඔහුට ‘භරත කුමාරයා’ යි නම් කළාහු ය.

රජු පුත්‍ර ස්නේහයෙන්, “සොඳුර, තොපට වරයක් දෙමි. ගනුව” යයි කීවේ ය. ඇය එය පසුව ගන්නෙමී’යි කියා, ඒ භරත කුමාරයාගේ අවුරුදු සත-අට වයස් කාලයෙහි රජු වෙත එළඹ,

“දේවයන් වහන්ස, ඔබ විසින් මගේ පුතාට වරයක් දෙන ලදී. දැන් ඔහුට එය දෙව” යි කීය.

“සොඳුර, ගනුව” යි රජු කීය.

“දේවයන් වහන්ස, මගේ පුතාට රාජ්‍යය දෙව.”

රජු අසුරු ගසා, “වසලිය නැසී යා! මගේ පුතුන් දෙදෙනා ගිනිකඳන් මෙන් දිළිසෙති. ඔවුන් මරවා ඔබගේ පුතාට රාජ්‍යය ඉල්ලන්නෙහිදැ” යි තර්ජනය කෙළේය. බියට පත් ඇය සිරියහන් ගැබට පිවිස අන් දවස්හි දී නැවත නැවතත් රජුගෙන් රාජ්‍යය ම ඉල්වී ය.

රජු ඇයට ඒ වරය නොදීම මෙසේ සිතුවේය, ‘ස්ත්‍රිය නම් කළගුණ නොදන්නී ය. මිත්‍ර ද්‍රෝහී ය. මැය කපටි සහගත ලෙස ගිවිසුම් කර හෝ කපටි ලෙස අල්ලස් දී හෝ මගේ පුතුන් මරවන්නේ ය’

හෙතෙම පුතුන් කැඳවා, “දරුවෙනි, මෙහි වසන්නා වූ නුඹලාට අනතුරක් වන්නේ ය. තෙපි සමීප රාජ්‍යයට හෝ වනයට හෝ ගොස් මා මළ කල්හි අවුත් කුලය සතු වූ රාජ්‍යය ගනුව” යයි කියා – නැවත නිමිති කියන්නන් කැඳවා තමාගේ ආයුෂ කාලය විමසා ‘දොළොස් වසරකට වඩා පවතින්නේය’ යි අසා, “දරුවෙනි. මෙයින් දොළොස් වසරක් ඇවෑමෙන් අවුත් සේසත් නංවන්නහු” යයි කීය.

ඔවුහු මැනවයි කියා පියා වැඳ හඬමින් පහයෙන් බැස්සාහු ය. සීතා දේවිය ද, ‘මම ද සොහොයුරන් සමගම යන්නෙමි’ යි පියා වැඳ හඬන්නී නික්මුනා ය. ඒ තිදෙන මහජනයා විසින් පිරිවරන ලද්දාහු නගරයෙන් නික්ම මහජනයා නවත්වා පිළිවෙළින් හිමාලයට පිවිස, ජලයෙන් යුත් ලොකු කුඩා ගෙඩි සුලභ වූ ප්‍රදේශයක ආශ්‍රමයක් කරවා ලොකු කුඩා ගෙඩි වලින් යැපෙමින් වාසය කළ හ.

ලක්ඛණ පණ්ඩිතයා ද සීතා දේවිය ද රාම පණ්ඩිතයන් අයැද, “තෙපි අපගේ පිය තනතුරෙහි සිටියේ ය. එහෙයින් අසපුවෙහිම සිටුව. අපි ලොකු කුඩා ගෙඩි ගෙනවිත් තොප පෝෂණය කරන්නෙමු” යි ප්‍රතිඥාවක් ගත්තේය.

එතැන් පටන් රාම පණ්ඩිත එහිම සිටි අතර අන්‍යයෝ ලොකු කුඩා ගෙඩි ගෙනවුත් ඔහු පෝෂණය කළාහු ය. මෙසේ ඔවුන් ලොකු කුඩා ගෙඩිවලින් යැපී වසන කල්හි දසරථ මහරජු පුත්‍ර ශෝකයෙන් නව වන අවුරුද්දෙහි කළුරිය කෙළේ ය. දේවිය ඔහුගේ සිරුර දවා තමාගේ පුතු වූ භරත කුමාරයාට ‘සේසත් ඔසව’ යි කීවා ය. ඇමතියෝ ‘සේසතෙහි ස්වාමිවරු වනයෙහි වසත් ය’ යි ඊට ඉඩ නොදුන්නාහු ය. භරත කුමාරයා, “මගේ සොහොවුරු රාම පණ්ඩිතයන් වනයෙන් ගෙන්වා සේසත් නංවාලමි” යි පස් වැදෑරුම් රාජ්‍යත්වයේ උපකරණ (පංච කකුධ භාණ්ඩ) ගෙන සිව්රඟ සෙනග සමග රාම පණ්ඩිතයන් වසන තැනට ගොස් නුදුරෙහි කඳවුරු බැඳ ගත්තේ ය. ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග ලක්ඛණ පණ්ඩිතයයෝ ද සීතා දේවිය ද වනයට ගියකල්හි, ආශ්‍රමයට පිවිස ආශ්‍රම දොරටුවෙහි මනාව තබන ලද රන්රුවක් මෙන් සැක නැතිව සුවසේ හුන් රාම පණ්ඩිතයන් වෙත එලඹියේ ය. එළඹ වැඳ එකත්පස්ව සිටියේ රජුගේ තොරතුරු කියා ඇමතිවරුන් සමඟ පාදයන්හි වැටී හැඬුවේ ය. රාම පණ්ඩිතයෝ ශෝක නොකළේම ය. නොහැඬි ය. ඉඳුරන්ගේ වෙනස්වීම් පමණක් හෝ නොවී ය.

භරත කුමරු හඬා සිටි කල්හි සවස් කාලයෙහි අන් දෙදෙනා ලොකු කුඩා ගෙඩි රැගෙන ආවාහු ය. රාම පණ්ඩිතයන් එවිට මෙසේ සිතීය. “මේ දෙදෙන බාලය. මම මෙන් විමසීමේ නුවණ මොවුන්ට නැත. ‘තොපගේ පියා මළේය’ යි වහා කී කල්හි ශෝකය දරන්නට නොහැකි වන්නා වූ ඔවුන්ගේ හදවත ද පැලෙන්නේ ය. උපක්‍රමයෙකින් ඔවුන්ට ජලයට බස්සවා මේ පුවත අස්වන්නෙමි”.

ඉක්බිති ඔවුන්ට ඉදිරියේ වූ එක් ජලය ඇති තැනක් පෙන්වා, “තෙපි බොහෝ වේලා ගතකොට පැමිණියෝ වෙති. මෙය ඔබලාට දඬුවම වේවා! මේ ජලයට බැස සිටුව” යි පළමුකොට ගාථා අර්ධයක් කීය.

“ලක්ඛණ, සීතා, දෙදෙනා මෙහි එව්. දෙදෙනාම ජලයට බසිව”.

ඔවුහු එක් වචනයෙන්ම බැස සිටියාහු ය. ඉක්බිති ඔවුන්ට ඒ ප්‍රවෘත්තිය දන්වන්නේ සෙසු ගාථා අර්ධය කීවේ ය. “දසරථ රජු මළේ ය’ යි මේ භරත කුමරු කීවේය”

ඔවුහු පියා මළ පණිවුඩය අසා විසඥ වූහ. නැවත ද ඔවුන්ට කීවේ ය. නැවත ද  විසඥ වූහ. මෙසේ තෙවන වර දක්වා විසඥ වූ කල්හි ඇමතියන් ඔවුන් ඔසවා ජලයෙන් බැහැර කොට පොළොවෙහි හිඳුවා අස්වැසිලි ලද කල්හි සියල්ලෝ ඔවුනොවුන් හඬා වැළපී හුන්නාහු ය.

භරත කුමාරයා මෙසේ සිතුවේ ය. “මාගේ සොහොවුරු ලක්ඛණ කුමාරයා  ද සීතා දේවිය ද පියා මළ පණිවුඩය අසාම ශෝකය දරන්නට නොහැකි වෙත්. නමුත් රාම පණ්ඩිතයන් ශෝක නොකරයි. නො වැළපෙයි. ඔහුගේ ශෝක නොකරන කරුණ කිම? ඔහුගෙන් විමසන්නෙමි”. හෙතෙම ඔහු විමසන්නේ මෙසේ  කීය.

“රාම කුමරුනි, කවර ආනුභාවයක් නිසා ඔබ ශෝක විය යුත්ත පිළිබඳව ශෝක නොකෙරෙහි ද? පියා කළුරිය කළ බව අසා ඒ දුක ඔබව නොපෙළාද?”

ඉක්බිති රාම පණ්ඩිතයෝ ඔහුට තමාගේ ශෝක නොකිරීමේ කරුණු මෙසේ කීහ,

“දරුව, භරත කුමාරය, යම් හෙයකින් සත්ත්‍වයන්ගේ ජීවිතය, බොහෝ කොට වැළපෙන්නා වූ පුරුෂයන් අතරින් එකෙකු විසින් ද ‘විනාශ නොවේවා’ යි රකින්ට නොහැකි ය. දැන් මා වැනි අෂ්ටලෝක ධර්මයන් ඇති පරිදි දන්නා වූ ප්‍රාඥ වූ බුද්ධිමත් වූ පණ්ඩිතයා, ‘මරණයෙන් කෙළවර කොට ඇති ජීවිතයන් ඇති කල්හි, මළ අයවලුන් අරඹයා කවර කරුණකින් උපකාර රහිත වූ සිය දුකින් තමාව තවන්නේද?

දරුව, භරතය, මේ මරු නම්, රන් රුව සමාන වූ දරුවන් ක්‍ෂත්‍රිය කුමාරයන් ආදීන් ද වැඩිවියට පත් වූවන් ද මහා යෝධයන් ද බාලයන් ද පුහුදුන් සත්ත්‍වයන් ද බුද්ධ ආදී පණ්ඩිතයන් ද සක්විති රජු ආදීන් ද ඉසුරුමතුන් ද අහර නොලබන දිළින්දන් ද වෙනසක් නැතිව මරවන්නේ ය. මේ සියළු සත්ත්‍වයෝ ම මරණය හමුවෙහි වෙන් වෙන්ව බිඳීගිය අය ම වෙත්. මරණයෙන් මිදී යා නොහැකි ම වෙත්.

දරුව භරතය, යම්සේ පැසුන ගෙඩි පැසුන කල පටන් ක්‍රමයෙන් ඉදී ගොස් අවසන නටුවෙන් සිඳී වැටෙන්නේ ය. වැටීමෙන් වන බිය නිත්‍ය ය. සැමදා පවත්නේ ය. ඒකාන්ත ද වෙයි.  ‘උපන් සත්ත්වයන්ට ඒකාන්තයෙන්ම මරණයෙන් බියක් නැතැ’ යි යන අස්වැසිල්ල සුලු මොහොතකටවත් ලබනු නොහැකි වෙයි.

රාත්‍රී කාලයෙහි දුටු අයවලුන් දවල් කාලයෙහි ද, දවල් කාලයෙහි දුටු අයවලුන් රාත්‍රී කාලයෙහි ද දැකීමට නොලැබෙයි. එසේ තිබියදී ‘මගේ පියා…  මගේ පුතා… ‘ ආදී වශයෙන් වැලපෙනු ලබන්නා වූ පුරුෂයා මුළා වූයේ එසේ වැළපීමෙන් තමාට ම හිංසා කරගන්නේ (කෙට්ටු වීමක් වේ, දුර්වර්ණ වේ),  ක්ලාන්ත වන්නේ, ඉතින් එමගින් ස්වල්ප වූද ප්‍රයෝජනයක් ගෙන එන්නේ ද? ඒකාන්තයෙන් හඬනු ලබන්නේ කිසි ප්‍රයෝජනයක් උපදවන්නේ නම් නුවණැති පුද්ගලයා, මුලාවට පත්වී තමාට හිංසා කරන මේ හැඬීම කරන්නේම ය.

හඬන්නේ මුත් මළ තැනැත්තා ගෙන ඒමට හෝ ඔහුට අන් අභිවෘද්ධියක් කරන්නට හෝ  නොහැකි වෙයි. ඒ නිරර්ථක බව නිසා පණ්ඩිතයෝ  විලාප නොදෙත්.

යම් සේ පණ්ඩිත පුරුෂයා තමා වසන ගෙය ගිනිගත් කල්හි මොහොතකුදු වෙහෙසකට නොපැමිණ, කළ සියයෙන් ද කළ දහසින් ද ජලයෙන් එය නිවන්නේම ය. මෙසේ ධෛර්යය සම්පන්න තැනැත්තා උපන් ශෝකය වහා නිවන්නේ ය. සුළඟ විසින් පුළුන් පහ කරන්නාක් මෙන් යම් සේ සිටින්නට නොහැක්කේ ද එසේ පහ කරන්නේ ය. විශේෂයෙන් පහ කරන්නේ ය.

දරුව, භරතය, මෙලොව මේ සත්ත්‍වයෝ කර්ම කළ අය වෙති. ඒ එසේම ය. මෙලොවින් පරලොවට යන්නා වූ සත්ත්‍ව තෙමේ හුදකලාව යයි. ක්‍ෂත්‍රිය ආදී කුලයෙහි උපදින්නේ ද හුදකලාවම ගොස් උපදී. ඒ ඒ තැන, ඤාති – මිත්‍ර – එක්ව විසීම් වශයෙන් ‘මේ මගේ පියා, මේ මගේ මව, මේ මිත්‍රයා’ යි. පරමාර්ථ වශයෙන් කිසිවෙක් එහි නැත. ඔවුහු වෙන වෙනමම කර්මයන් කළ අයවලුන් ම වෙති; ඒ ඒ කර්මානුරූපව මිය යති. ඒ සත්ත්වයන්ගේ ඤාති මිත්‍ර එක්වීම ද ඤාති මිත්‍ර ආදීන් සමග එකට අනුභවය ද හැරුනුකොට මින්මතු අනිකෙක් නැත.

එහෙයින් මෙලොවද පරලොව ද වෙනස්වන බව ද විනාශ වන බව ද මනාව දක්නේ, අෂ්ට ලෝක ධර්මය දැන පණිඩිතයෝ මරණය හමුවේ ශෝක නොකරති. මේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් යම්කිසිවක් නිසා සිත මඩිනු ලැබේ ද එහි අනිත්‍ය බව දැන සිටියහු තුළ පිය පුතු ආදීන්ගේ මරණය ආදී  මහත් වූ  ව්‍යවසන හමුවේ මුත් ශෝක හට නොගනිති. ලාභය ද – අලාභය ද අයස ද යසස ද, නින්දාව ද ප්‍රශංසාව ද සැප ද දුක ද යන මේ ධර්මයෝ මිනිසුන් අතර අනිත්‍යය හ, එනිසා ශෝක නොකරව. කවර හෙයින් ශෝක කෙරේද?

එහෙයින් ධෛර්යයෙන් යුක්ත වූ, බහුශ්‍රැත වු, මෙලොවද පරලොවද දන්නහු විසින් ධර්මය දැන මහත් වූ ශෝක ඇත්තේද හදවත ද සිත ද නොතවත්.

දරුව, භරතය, අඳබාල සත්ත්‍වයන් විසින් මෙන් මගේ හැඬීම ද වැලපීම ද නුසුදුසු ය. මම වනාහි පියා ඇවෑමෙන් ඔහුගේ තැන සිට දිළින්දන් ආදී වූ දීමට සුදුසු වූවනට දානය ද තනතුරු සුදුසු වන අයට තනතුරු ද කීර්තිය සුදුසු අයට කීර්තිය ද දෙන්නෙමි. මගේ පියා විසින් පරිභෝග කළ අයුරින් සම්පත් පරිභෝජනය කරමි. නෑයන් පෝෂණය කරමි. අන්‍ය වූ ඇතුළත පිරිවර ජනයා ආදී වූ ජනයා පාලනය කරන්නෙමි. දැහැමි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දැහැමි ආරක්ෂාවරණය – රැකීම කරන්නෙමි යි. මෙය, දැනුවත් වූ පණ්ඩිත පුරුෂයාගේ සුදුසු කටයුත්ත ය.”

පිරිස, රාම පණ්ඩිතයන්ගේ අනිත්‍යය ප්‍රකාශ කරන්නා වූ ධර්මදේශනාව අසා ශෝක නැත්තෝ වූහ.

ඉක්බිති භරත කුමාරයා රාම පණ්ඩිතයා වැඳ ‘බරණැස රාජ්‍යය භාරගන්න’ යයි කීවේ ය.

“දරුව, ලක්ඛණ ද සීතා දේවිය ද ගෙන ගොස් රාජ්‍යය විචාරව” 

“දේවයන් වහන්ස, එවිට නුඹ කුමක් කරන්නේද?”

“දරුව, මගේ පියා දොළොස් වසරක් ඇවෑමෙන් අවුත් රාජ්‍යය කරන්නෙහි යයි මට කීවේ ය. මම දැන් යන්නේ නම් ඒ මම ඔහුගේ වචනය කරන්නේ නොවෙමි. ඉතිරි තුන් වසර ඉක්මවා එන්නෙමියි”

“ස්වාමීනී, එතෙක් කල් කවරෙක් රාජ්‍යය කරන්නෙහි ද?”

“තෙපි කරව්”

“අපි නොකරන්නෙමු”

“එසේනම් මගේ පැමිණීම තෙක් මේ පාවහන් යුවල රාජ්‍යය කරන්නේ ය” යි කියූ රාම පණ්ඩිතයෝ, තමාගේ තෘණ පාවහන් මුදා දුන්නේ ය.

ඒ තිදෙනා පාවහන් ගෙන රාම පණ්ඩිතයන් වැඳ මහජනයා විසින් පිරිවරන ලද්දෝ බරණැසට ගියාහු ය. අවුරුදු තුනක් පාවහන් යුවල රාජ්‍යය කරවී ය.

ඇමතියෝ තෘණ පාවහන් යුවල සිංහාසනයේ තබා නඩුව විනිශ්චය කරති. ඉදින් නපුරු ලෙස විනිශ්චය කරන ලද්දෙ වෙයි ද එවිට පාවහන් එකිනෙක වැදෙයි. ඒ සළකුණින් නැවත විනිශ්චය කරත්. මනාව විසඳූ කල්හි පාවහන් නිශ්ශබ්දව හිඳිත්.

රාම පණ්ඩිත තෙමේ තුන්වසර ඇවෑමෙන් වනයෙන් නික්ම බරණැස් නගරයට පැමිණ උයනට පිවිසියේ ය. ඔහු ආ බව දැන කුමාරයෝ ඇමතියන් පිරිවරා උයනට ගොස් සීතාව අගමෙහෙසිය කර දෙදෙනාම අභිෂේක කළ හ. මෙසේ අභිෂේකයට පත් මහා සත්ව තෙමේ අලංකාර කරන ලද රියෙහි සිට මහත් වූ පිරිවර සමඟ නගරයට පිවිස පැදකුණු කොට සුනන්‍දන ප්‍රාසාදයෙහි මතු මහල් තලයට නැග එතැන් පටන් අවුරුදු සොළොස් දහසක් දසරාජ ධර්මයෙන් රාජ්‍යය කළේ වී.

“රනින් කළ මිහිඟු බෙරයක් වැනි ගෙල ඇති, මහත් වූ බාහු ඇති රාම තෙමේ අවුරුදු සොළොස් දහසක් රාජ්‍යය කරවීය.”

මරණින් මතු හේ දෙවියන් අතරට ගියේ ය.

ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනැහර දක්වා ජාතකය ගලපා වදාළ සේක. දේශනාවසානයෙහි කෙළෙඹියා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය.

“එකල්හි දසරථ මහරජු සුද්ධෝදන මහ රජු වීය. මව මහාමායා වූවා ය. සීතාව රාහුල මාතාව ය. භරත කුමරු ආනන්ද තෙර වීය. ලක්ඛණයෝ සැරියුත් තෙර වීය. පිරිස බුද්ධ පිරිසය. රාම පණ්ඩිතයා මම ම වීමි” යයි අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ සේක.