ශාන්තිය
ඇසුර / Source :
‘ඒ අමා ගීතය’ කෘතිය
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
(අපගේ බුදුරජාණන් වහන්සේගේ ඒ වීර චරිතාපදානය නව කතාවක් ලෙසින්…..)
…………. සඳළු තලයට පැමිණි සුදොවුන් නිරිඳාණන් සැවැත් නුවර පිහිටි දිසාව බලා සිටියේ ය. තම නෙතු සඟල වන් ඒ සම්බුදු පුතණුවන් වැඩ සිටින්නේ ඒ දිසාවේ නොවේද කියා නිරිඳුන් සිතත් සිතත් ම සොම්නසින් ඉපිළී ගියේ ය. සිය හද මඩුළු ගඳ කිළිය සේ වී. සිත පුරා පැතිරී ගියේ සහන් සුවයෙකි. එහෙත් යළි තම මාලිගය වෙත සිත යොමන විට මහා පාලුවෙක් පැතිර ගියා සේ ය. එක් කාලයෙක ඒ සත්සර මුසු වෙන නදින් යුතු නන්දාවන්ගේ ගී හඬ, ගන්ධර්වයන්ගේ සංගීත අසපුවක් සේ වී. එහෙත් සිද්ධාර්ථයන්ගේ අබිනික්මනින් පසු සියල්ල වෙනස් වී ගියා. ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩම වීමෙන් පසු ඊටත් වඩා වෙනස් වී ගියා. මොළකැටි බස් දොඩමින් සිටි රාහුලයන් දැන් කොහි ද? ඒ අභිමානවත් නන්දයන් දැන් කොහි ද? මේ මාලිගය දැන් පාලු වී ගිය ගිමන්හලක් වැන්න.
සුදොවුන් නිරිඳාණන් ගෞතමී බිසවුන්ගේ යහන් ගැබ වෙත පිය නැගී ය. නිරිඳුන්ගේ පා හඬින් බවුන් වඩමින් සිටි ගෞතමී බිසව් නෙතු පිය හැර බැලුවා ය. ශාන්ත සිනායෙක් පෑවා ය.
“මැනවි, ප්‍රිය භවතී. බවුන් වඩමින් නේද සිටියේ? ඉතා මැනවි. බලව, මා සිතුවා! එදා අපගේ රාහුල භද්‍රයන් ඉතා සියුමැලි ශ්‍රමණ පැටවෙක් ව සිටිනු දුටු වේලෙහි නම්, අහෝ! මගේ හද දෙදරා ගියා. උගුර සිර වී ගියා. සිරුරෙහි ඇට කැබැල්ලෙක් වෙන්වුණා සේ දැනුණා. එහෙත් බලව, කොතරම් අසිරිමත් ද? එවැනි ළදරු කුමරුන් පවා මේ පිවිතුරු බඹසර රකිමින්, බුදු පෙළහරට එක් වී සොම්නසෙන් කල් ගෙවන හැටි. අපේ නන්දයන්ටත් රසවත් වූ හැටි ඒ අමා රසය ම.”
යසෝදරාව ද පැමිණ මේ සංවාදයට සවන් දී සිටියා ය. ශෝකාකූල බවෙක් පෙනෙන ඇගේ නිල්වන් නෙතු සඟල තුළ ශාන්ත සන්සිඳීමෙක් දක්නට ලැබුණි. ඈ දැන් නිතර බවුන් වඩයි.
ගෞතමී බිසව් සිය නිරිඳුන් දෙස බලා සිතේ උපන් හැඟුම් පවසන්නට වුවා ය.
“භවත් හිමියෙනි, ලෝකය කොයිතරම් වෙනස්වන සුළු ද? නොසිතන දේම නෙව සිදුවෙන්නේ? අහෝ! ගලා ගලා යන නදියක් සේය. සැබෑවක්ම ය අපේ භාග්‍යවතුන් වහන්සේ පවසන්නේ. මෙය නම් මායා නගරයෙකි!”
ගෞතමී බිසව් යසෝදරාව දෙස බැලුවා ය. ඕ මහා දිගු කල්පනායෙක පැටලී ගිය සේ නිකටෙහි අත තබා හුන්නී ය.
“යසෝදරාවනි, තොපට සිහි කළ හැකි ද, එදා නිග්‍රෝධ අසපුවෙහි දී අපගේ මුනිරාජණන් වදාළ අමා ගීය. හා! කොතරම් අගේ ද? දිවියේ සැඟැවී ගිය අරුත්. මෙතරම් ම විසිතුරු ද! මා දෙසවනේ නම් තවමත් රැවුදේ”
එය නැවත පවසන ලෙස ගෞතමියගෙන් ඉල්ලමින් යසෝදරාවන් ඇවිටිලි කරන්නට වූවා ය. ගෞතමි දේවී දැහැනකට සමවැදුනාක් මෙන් සිටියා ය. මොහොතකින්, ලයාන්විත ශාන්ත ස්වරයෙන් ඒ ගීය මුමුණන්නට වූවා ය.
“පින්වත් සමණනි – දනිව් දනිව්
මහ සයුරකි – සිත මේ
එය නො පිරේ – කිසිදා නො පිරේ
නෙත් සවනින් හා
අනෙකුත් ඉඳුරන්ගෙන් ගලනා
ගංඟා දිය කඳ
සිත් සමුදුර වෙත – ගලා බසී
ජීවන වෙරළින් බැඳි – ඒ සයුරේ
තණ්හා දිය කඳ – දකිව් දකිව්
ශෝක තැවුල් රැළි නැගෙනා
වඩවි වඩව් – වෙර වීරිය දැන්
සිත සමාධිමත් වී යයි
යුගාන්තයේ හිරු මඬල විලාසෙන්
නැණ හිරු නංවාලව්
වියලව් ඒ තණ්හා සයුරූ
සිඳී සිඳී යන සේ….
යසෝදරා නෙත් පියා ගත්තී මහත් සැදැහෙන් හා සැනැසී ගිය සිතින් අසා සිටියා ය. ගීය අවසන්කළ ගෞතමිය යළිත් දොඩමළු වූවා ය.
“අහෝ! ඒකාන්තයෙන් ම දුක් සයුරෙකි මේ ජීවිතය. ඒ භාග්‍යවතුන් වහන්සේ නම් සයුරින් එතෙරට වැඩියා. අමා සුව සලසා ගත්තා. ඒත්… අනේ! අපට කවදා නම් ලැබේද එබඳු සැනසිලි ජීවිතයක්. අනේ! ඒ උත්තමයෝ කොපමණ භාග්‍යවන්තයෝ ද? “
ගෞතමී දේවී පසුවන්නේ බොහෝ සිත් තැවුලෙන් බව යසෝදරා දනී. ඈ අද පතමින් සිටින්නේ ඒ නිදහස් ශ්‍රමණ ජීවිතය යි. යසෝදරාව පතන්නේ ද ඒ විමුක්තියේ ධජය යි. එදා ගෞතමී බිසව් ශ්‍රමණභාවය ඉල්ලා ආයාචනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ නො අනුදත් සේක. එහෙත් ඇයට ශ්‍රමණ ජීවිතයෙන් තොර නිදහස් සුවදායී තැනක් සිතා ගත නො හැකි වී. ගෞතමී දේවිය සනසවන අටියෙන් යසෝදරාව තම සිතැඟි පළ කළාය.
“අනේ! මෑණියෙනි, බලව. මේ ලාමක ස්ත්‍රිත්වයේ ඇති අවාසනාව. වසර දහස් ගණනක් තිස්සේ දඹදිව උපන් වනිතාවෝ මේ ‘වේද’ සම්ප්‍රදාය නම් තියුණු වර පටින් බැඳ තබා සිටින්නාහු නො වේද? අනේ! කාන්තාවෝ වනාහි ගිනි වැටකට මැදි වූ මුවැත්තියන් සේ ය. මනුෂ්‍යත්වය සුරකිනු වෙනුවට මේ ‘වේද’ සම්ප්‍රදාය කරන්නේ මිනිස්කමට බැට දීමයි”
“එහෙත් දියණිය, ස්ත්‍රියක වූ පමණෙකින් සියල්ල වැළැලී ගිය සැටි. නිදහස් සුවය නොලද හැකි මේ ස්ත්‍රිත්වය කුමට ද? එදා මා ඒ භික්ෂුණී භාවය ඉල්ලා කොතෙක් ආයාචනා කළා ද? ඒ භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් නොදෙන සේක් ද?”
සියල්ලට ම නිහඬව සවන් දී සිටි සුදොවුන් නිරිඳාණන් අසල තිබූ රන් තැටියෙහි වූ සුවඳ කැවූ පුවක් පෙති කීපයක් ගෙන බුලත් කොළයක දවටා සපන්නට පටන් ගති. උගුරු රැල් බුරුල් හැර දේවිය අමතන්නට විය.
“එම්බා, පින්වත් ගෞතමී…. කිම තෙපි නො දකිව් ද එය? එදා ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඇත්තකි. මොහොතක් සිතව්, ඔය ශ්‍රමණභාවය රඳා පවතින්නේ පිවිතුරු බඹසර ම මුල් වී නොවේද? ඇරත්, කොපමණ වෙහෙස මහන්සියෙකින් ද සුරැකිය යුත්තේ? රුක් සෙවනෙක, ගිමන් හලෙක, පිදුරු කිළියෙක, ගිරි ගුහායෙක ය රැය පහන් කළ යුත්තේ, පිණ්ඩපාතයෙනි දිවි ගෙවිය යුත්තේ. සිවුරෙකිනි කය වසාගත යුත්තේ. ලද සිව්පසයෙන් සතුටුව ගම් දනව් සිසාරා චාරිකායෙහි වැඩිය මනාය. එහෙයින් තොප පතන මේ ශ්‍රමණ භාවය වනාහී පුරුෂයන්ගේ දහමක් බව නො පෙනේ ද?
අනික, ඉතා සියුමැලි කාන්තාවෝ ය තෙපි. එහෙත් කාන්තාවන් කොපමණ සාදර සිතින් බඹසරට දිවි පුදා රැක්ක ද වංචනික සල්ලාලයන්ගෙන් දුක් පීඩා උපදින්නේම ය. ඉතින් කෙසේද කල් ගෙවන්නේ රුක් සෙවනෙක, ගිරි ගුහායෙක? කෙසේ ද යැපෙන්නේ පිණ්ඩපාතයෙන්? අහෝ! කොපමණ දුෂ්කර ආයාචනයෙක් ද තොප එදා කෙළේ?”
ගෞතමී දේවි නිරිඳුන් වදන් අසා සිට තම අරමුණ සඵල කර ගැනීමේ අදිටනින් යුතුව යළි කතා කරන්නට වූවා ය.
“ස්වාමීනී, එය එසේම ය. එහෙත් නිමේෂයක් සිතා බලනු මැනවි. ස්ත්‍රීන්ට ද ඇත්තේ සිතකි කයකි. ඈද ඇස කන ආදී ද්වාරයන්ගෙන්ම අරමුණු ගනිමින් මේ මායා ලෝකයේ අතරමංව සිතට වසඟව දුක් දොම්නස් ම වැළැඳගෙන සිටියි. ඉතින් ස්ත්‍රියක් වූ පමණෙකින් ඈ සදහට ම සසරේ දුක් විඳිය යුතුද? රාගයත් ද්වේෂයත් අතර වූ රියසකට සැමදා යට වී සිටිය යුතු ද? සියළු බන්ධනයන්ගෙන් මිදී දුකින් නිදහස් ව විමුක්තිය සාක්ෂාත් නො කළ යුතු ද? නැත ස්වාමීනී. ස්ත්‍රිය ද සොයා යා යුතු ම ය ඒ අමා!”
ගෞතමියගේ මේ තිරසර අභීත වදන් අසා සුදොවුන් නිරිඳුන්ට එකල සිද්ධාර්ථයන් සිහිපත්වී. හේද තිරසර වදනින් පැවසුවේ විමුක්තියක් ගැන යි. හා! දැන් ගෞතමීය ද ඒ වදන් එලෙසින් ම තෙපළයි! සොම්නසට පත් සුදොවුන් නිරිඳුන් විදහාගත් නෙතින් සිනාසුණි.
“ඉතා මැනවි…. දේවිනි, මම් දනිමි. තොප ගන්නේ ද ඒ පුතණුවන් ගිය මග ම ය. භවතී, එය ඉතා මැනව. මේ වංශය වනාහී ලොවට සිළුමිණි වූ ඒ මුණිරජාණන් උපන් ශාක්‍ය වංශය නොවේද? එහෙයින් උන්වහන්සේ තෝරා ගත් මගෙහි යාම අපගේ උරුමයෙක් ම ය. ඒ ශාක්‍ය වංශයෙන් ම, මේ මන්දිරයෙන්ම සකල කාන්තාවන්ගේ විමුක්තිය උදෙසා පළමු දඬුවැට පහන දැල්විය යුතුය.”
යසෝදරාවෝ ද ගෞතමී බිසව් ද ශාක්‍ය කුල කතුන් ගේ අපරිමිත ගෞරවාදරයටත් සම්භාවනාවටත් ලක් වී සිටියහ. සියළු කතුන්ගේ අනුශාසිකාව වූයේ ද ගෞතමී දේවිය යි. ඕ යසෝදරාවන් හා එක්ව ශාක්‍ය කුලකාන්තාවන් ගේ සමුළුවෙක් සිය මන්දිරයේ ම රැස් කරවූහ. එදින සුදොවුන් නිරිඳුන් ගේ මන්දිරය රූබර රාජකීය ශාක්‍ය ලඳුන්ගෙන් පිරී ගියේ ය. ඒ කාන්තාවන් ගේ ස්වාමිවරුන් බොහෝ දෙනෙක් ද, බොහෝ යොවුන් පුතුන් ද, දැනටමත් ශාක්‍ය මුනිරජාණන් ගේ ශ්‍රමණ ශ්‍රාවකයන් වී හමාර ය. මේ කුලාංගනාවන්ගේ ද ඒකායන පැතුම වූයේ මේ මිනිස් ජීවිතයේ ම ඒ අමරණීය ශාන්තිය උදාකර ගැනීමට ය. ගෞතමී දේවී හැඟීම් බර වූ ගාමිභීර ස්වරයෙනි, සභාව අමතන්නට වූයේ.
” ප්‍රිය ලලාවෙනි, තෙපි දන්නහු ය. ඒ අපගේ ශාක්‍ය මුනිරජාණෝ හිරු මඬල සේ බබලමින් ලෝකය ඒකාලෝක කරමින් සිටිති. විමුක්තිය සොයා පියාසලනු කැමතියනට අත්තටු ලබා දෙමින් සිටිති, සදා සුවපත් වනු කැමතියනට අමා ඔසු ලබා දෙමින් සිටිති.
එහෙත් බලව, අප කාන්තාවන් වූ පමණින් සදා අඳුරේ ගිලී සිටිය යුතු ද? නැත. අප බොහෝ කල් ප්‍රාර්ථනා කොට ලැබිය යුතු ඒ පරම පිවිතුරු සුවය ලබන්නට කල් පැමිණ තිබේ. ඒ අපගේ පරමෝත්තම පුත් රුවන සිද්ධාර්ථයන් පවා ඒ සදාතනික අමා සුව තමා වෙත පැමිණෙන තෙක් බලා නොසිට බොහෝ දුක් ගැහැට විඳිමින් දිවි පරදුවට තබා එය සොය සොයා ගියේ ය. දැන් ඇත්තේ ම ය ඒ අමා. ඉතින්, අප ද තව දුරටත් වහලියන් සේ ඒ බ්‍රාහ්මණ සම්ප්‍රදායගත වරපට ට සිරවී සිටිය යුතු නොවේ. කිම…. කැට කිරිල්ලන් රෑනක් අහසට පැන නැගී ඉගිලී යන්නා සේ ඒ අමා සුව සොයා නො යන්නහු ද?”
එවදන් ඇසීමෙන් ශාක්‍ය ලලනාවෝ නව ජීවිතයක් ලැබූ කලෙක පරිද්දෙන් ඔද වැඩුණු සිත් ඇති වූහ. හිරු රැස් වැදී පිපී ගිය පියුම් සේ ප්‍රමුදිතව සතුටින් ඉපිලී ගියහ. එවිට ම යසෝදරාව නැගී සිටියා ය. මෘදු සිහින් හඬින් ඇමතුවා ය.
“පින්වත් සහෝදරීනි, බලව. කොතරම් අසිරිමත් ද කියා, ඒ මගේ නෙත් සඟල වන් ස්වාමියාණෝ අද සම්මා සම්බුදු රජාණෝ ය. උන්වහන්සේ සකල සත් වගට ඒ අමා සුව රැගෙන මහා කරුණායෙන් තුන්ලොව පුරා වඩනා සේක. මාගේ හද මඬල ව සිටි රාහුල කිරිකැටියාණෝ අද සොඳුරු ශ්‍රමණ පැටවාණෝ ය. අපගේ මයිලනු නන්දයන්, සොව්රු දෙව්දතුන්… තව කොතෙක් නම් පිරිස් ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ පියවර පසු පස යන්නාහු ද?
එහෙයින්….අපිදු, කිම ඒ ශ්‍රාවිකා භික්ෂුණීන් ව ශාක්‍යධීතාවෝ නොවන්නමෝ ද? අමා සුව සොයා යන මේ ගමන වෙනුවෙන් මියගිය ද කම් නැත. තිරසර නොවූ වහා වෙන් වී කැඩී බිඳී යන ලොවේ ඇලී ගැලී සිටීමෙහි අරුත කිම? ඒ නිවන් මිහිර ම සොයා යන්නෙමු!
එහෙයින් අපගේ මෑණියන්ගේ මූලිකත්වයෙන් වන මේ සොඳුරු ගමනට තෙපි ද එක්වව්. ඒ අමා සුව මේ දිවියේ ම රිසි රිසි සේ වළදිව්. අරුතින් තොර මේ දිවිය තුළ වෙන කුමක් නම් සොයා යන්නට ද?”
ඒ පන්සීයක් කුලාංගනාවෝ එක්සත්ව, එක්සිත් ව යසෝදරාවගේ අදහසට නැමී ගියාහු ය. විමුක්තියේ කාහල නාදයෙන් ගත ලොමු දැහැ ගැනිණ.
“පින්වත් යසෝදරාව, අපි සැවොමත් විමුක්ති පරායන වන්නෙමු. අපිදු මේ සසර සයුරු තරණය කරන්නෙමු. ඒ කනේරුකා නම් හස්තිනියෝ හිම ගත අරණේ සුගන්ධිකා පොකුණෙහි බැස ලා නෙළිඹු දඬු පාගා සුණු විසුණු කරන්නා සේ, ලා බට වනයෙක් පයින් මැඩැ තලා දමන්නා සේ අපිදු ඒ සියලු ආශා රැහැන් සිඳ බිඳ දමන්නෙමු.”
************************************************************
ශාක්‍ය කුලාංගනාවන් ගෘහවාසයෙන් සමුගෙන ශ්‍රමණ භාවය වැළැඳ ගන්නට යන පුවත සැඩ පවනකටත් වඩා වේගයෙන් හමා ගියේ ය. ශාක්‍ය සිටුහු ද ප්‍රභූහු ද කම්පිතව සැලී ගියහ. එහෙත් ඒ වීර ළඳුන් ගේ පිවිතුරු ගමන් මග වළකාලන්නට කිසිවෙකුට නො හැකි වී.
ඒ රූබර ලලනාවෝ සුපිපි රුක් හි අතු ඉති සොලවා මල් සලා දමන්නා සේ ඒ සිරුරු පලන් අබරණ ගලවා දැමූහ. මොණර පිල් කළඹවන් ඒ අභිනීල කෙස් කළඹ කපා දැමූහ. මිහිරි හඬ නැඟූ පා යුග බැඳී ඒ මිණි නූපුරයන් සිඳ දැමූහ. පියුම් පැහැගත් සොඳුරු පා යුග සුවඳවත් කළ ලාක්ෂාරස සෝදා දැමූහ. කසී දනව්වෙන් ගෙනා සිනිඳු පට පිළි උනා දැමූහ. රළු පරළු කසවති ගත දවටා ගත්හ. අතට මැටි පාත්‍රා ගත්හ. විමුක්තියේ නාමයෙන් මහ මගට බටහ.
මේ භික්ෂුණී පෙළහර නරඹන්නට මග දෙපස දනෝ රැස්කෑහ. මේ කුල කතුන්ගේ දූ දරුවෝ ළෙහි අත්පැහැර හඬා වැළපුනහ. ස්වාමීහු සිහිසුන් ව වැටුනාහ. නෑසියෝ කඳුළු වගුළහ. දුටු දුටුවන් ගේ නෙත් සොවින් තෙමී සිත් කැළැඹී ගියේ ය.
“අහෝ! ලොවට මේ කුමක් ද වෙන්නට යන්නේ? අනේ පින්වත්නි, අර.. අර නරඹව්. විදුලිය සේ ලෙලදෙමින් සිටි ඒ සුන්දර ලලනාවන් ද මේ? අනේ! මේ දිගැසියෝ සිය දෙනුවන් බිමට යොමාගෙන සන්සුන් පියොවින් වඩින’යුරු. අහෝ! අර…. බලව. පාවහන් නොමැතිව ඒ මල්පෙති සේ සිනිඳු පා යුග කෙසේ නම් නොරිදෙත් ද? ඒ රන් පැහැ සිවි සැඩ හිරු රැසින් දැවී පිළිස්සී නොයෙත් ද? අහෝ! කෙසේ ද දැන් රුක් සෙවනෙක, ගිරි ගුහායෙක, පිදුරු කිළියෙක, වනගත කුටිකායෙක එකලාව කල් ගෙවන්නේ? මිහිරි බොජුන් නැතිව පිඬු සිඟීමෙන් කෙසේ ද කල් ගෙවන්නේ? ක්ලාන්ත නො වෙත් ද? ධරතී මාතාවෝ මෙය කෙසේ නම් ධරා සිටින්නී ද?”
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා භික්ෂුණීන් ගේ වෙස්ගත් මේ පින්වතියන් ව සැවැත් නුවර වැස්සෝ සාදර ගෞරවයෙන් පිළිගත්හ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ සැවතෙහි වැඩ නො සිටියහ. එසඳ ඔවුහු සැවතෙහි නො රැඳී ඉන් නික්ම රජගහ නුවර වෙත ගියහ. භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ද නො සිටි සේක. ඔවුහු මව්දෙන සොය සොයා යන වසු පැටිත්තියන් සේ භාග්‍යවතුන් වහන්සේ සොයා ගෙන විශාලා මහනුවර තෙක් ගියහ. එසඳ භාග්‍යවතුන් වහන්සේ විශාලායෙහි කූටාගාර සාලාවේ වැඩ වෙසෙති.
සෛන්ධව අසුන් යෙදූ රථවලින් ගමන් ගත්, විල්ලුද පලස් මත සක්මන් කළ, සුව පහස් යහන්හි සැතැපුණ, සිනිඳු පිනී බොජුන් වැළැඳූ ඒ සියුමැලි ලලනාවෝ පාවහන් නොමැතිව, පා ගමනින්ම මේ සා දුරක් ගෙවා පැමිණෙන සඳ ක්ලාන්තව ගියාහු ය. බලවත් සේ තැලී මිරිකී ගියාහු ය. අපමණ වෙහෙසට පත් වූවාහු ය. ග්‍රීෂ්මයෙන් තැවී, මැලැවී ගිය කඩා දැමූනෙ සේ වී. ඒ සියුමැලි පා යුග තැලී පුපුරා ලේ ගලා ගියේ ය. පෙරවූ කහවත් ධූලියෙන් වැසී ගියේ ය. ලොව්තුරු පැතුමින් බරව නෙතු යුග කඳුළින් තෙමී ගියේ ය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ වැටුණාහ. හඬන්නට පටන් ගත්තාහ. දැන්වත් උන්වහන්සේ භික්ෂුණී භාවය ලබා දෙති’ යි සිතා ආයාචනා කරන්නට වන්හ.
මහා කරුණිකයන් වහන්සේ ඔවුන්ගේ දුක් අඳෝනා සාවධානව අසා සිටි සේක. එහෙත් ඔවුන් මේ කරගෙන තිබෙන්නේ කුමක්ද? මේ පැවිදි ජීවිතය වනාහි පිවිතුරුව ගත කිරීම ඉතා දුෂ්කර දෙයකි. උන්වහන්සේ ඔවුන්ව ආදරයෙන් ඇමතූහ.
” අනේ! පින්වත් මාතාවෙනි, කිමද මේ? නො කළ යුත්තෙක් ම නෙව මේ කරගෙන තිබෙන්නේ? නිදහස් නමුදු, පිවිතුරු නමුදු, සැනසිලිදායක නමුදු ඉතා ම දුෂ්කර ය මේ ශ්‍රමණ ජීවිතය. මේ පාරිශුද්ධ බඹසර සුරැකිය යුත්තේ බලවත් අදිටනින් ද නොමඳ කැපවීමෙන් ද යුතුව ය. පුරුෂයන්ට පවා එය සුරැකීමට පහසු නොවේ. එහෙයින්, පින්වත් ගෝතමී මාතාවෙනි, මන්ද සිහි නොකෙළේ? තථාගතයන් කළින් ම නොම පැවසුවේ නොවේ ද?
ඒ තොප ගේ දුකත්, දොම්නසත්, වෙහෙසත්, විමුක්ති පරායන සිතත් දකිමි. එහෙත් කුමක් කරන්නට ද? මෙය පවසන්නේ තොප කෙරෙහි ඇති කරුණාව නිසා ම යි. අනුකම්පාව නිසා ම යි. ඉතින් මාතාවෙනි, ආපසු සිය මැදුරු බලායව්.”
භාග්‍යවතුන් වහන්සේගේ මෙවදන් ඇසෙත් ම ගෞතමිය සිහිසුන්ව ඇද වැටුණා ය. ඒ කුලාංගනාවෝ ද කම්පිතව හඬා වැටුණාහ. “අයියෝ! ආපසු යන්නටලු. ශ්‍රමණ භාවය මහත් දුෂ්කරලු. එහෙත් අනේ! කෙසේ ද අප යන්නේ? ගෘහ වාසය මහා ගින්නෙකි! මහා පීඩාවෙකි! අහෝ!….”
ඔවුහු විල්තෙරේ රොක් වී නද දෙන හංස රාජිණියෝ සේ ඒ කූටාගාර සාලාවේ ද්වාරය වෙත පැමිණ තැනින් තැන වැටී හඬන්නට වන්හ.
“පැන් සොයා ආ – හංසිනීයෝ
විල් තෙරේ කිම – සල සලා කඳුලු
සෝකයෙන් මේ ඉන්නේ
සියුමැලී – පා යුග තැලී
ලේ ගලා ගියා
එය ඉවසන්නම්
සිඟාලත් බොජුන් – රස නැතේ
එය ද ඉවසන්නම්
ධූලි තැවැරී ගියා මේ – කහවතේ
එය ද ඉවසන්නම්
ගත රිදී – සිත හඬා වැටෙනා
ඒ සම්බුදු සසුන් විලේ
අහෝ! කවදාදෝ – පීනා යන්නේ කියා”
අනඳ තෙරණුවෝ මහත් සේ කම්පා වූහ. ‘මේ කුලකාන්තාවන්ට කෙසේ හෝ පිහිට විය යුතු ය. එසේ නොමැති වුවහොත් මේ කාන්තාවන්ට දුක දරා ගත නො හැකිව සිහි විකල් වනු ඇත.’ හේ වහ වහා ගෞතමී වෙත ගොස් ඇයව අස්වසන්නට වී.
“පින්වත් මෑණිවරුනි, දැන් ඉතින් කුමක්ද කරන්නේ? මොහොතක් ඉවසව්. ඒ මහා කාරුණිකයාණන් මෙසේ පවසන්නට හේතු තිබෙනවා නෙව. එහෙත් මම් දනිමි. උන්වහන්සේ ගේ හද මඬල වෙඬරු පිඬක් උණුවෙන්නා සේ අනුකම්පාවෙන් උණු වී යන සුළු ය. නිමේෂයක් ඉවසව්. ඒකාන්තයෙන් ම තොපට සහනයක් සැලසෙනු ඇත.”
මහත් අපේක්ෂා ඇතිකර ගත් සිතින් යුතු අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. වැඳ නමස්කාර කරමින් මේ කුලාංගනාවන්ට භික්ෂුණීත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. භාග්‍යවතුන් වහන්සේ නො අනුදත්හ. අවසානයේ ආනන්ද තෙරණුවෝ මෙසේ ආයාචනා
කළහ.
” ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, යම් විර්යවත්, ගුණවත්, නැණවත් කාන්තාවක් සත්‍යයට දිවිපුදා බඹසර සුරකිමින් සසුන් පිළිවෙත් පුරයි නම්, ඕ ඒ පරම ශාන්ත විමුක්තිය උදාකරගන්ට අසමත් වන්නී ද?”
“ප්‍රිය ආනන්දය, එය එසේ නොවේ. යම් කාන්තාවක් අකලංක සිතින් මේ සසුන් බඹසර හැසිරෙන්නී නම් ඒකාන්තයෙන් ම ඕ තොමෝ ඒ සදාතනික අමා නිවන
සාක්ෂාත් කරන්නී ය.”
අනඳ තෙරුන් ප්‍රීතියෙන් ඉපිල ගියේ ය. සිය අභිමතාර්ථය සඵල විය. හේ දොහොත් මුදුන් නගා ගනිමින් යළිත් ආයාචනා කළේය.
” එසේ වී නම් භාග්‍යවතුන් වහන්ස, ශාක්‍ය මුණින්ද්‍රයන් වහන්ස, මහා කාරුණිකයාණන් වහන්ස, දම්රජාණෙනි, මේ අපගේ ගෞතමී මාතාව ඔබ වහන්සේ ගේ කිරි මාතාවෝ ය. ඕ තොමෝ නුඹ වහන්සේ ළදරු කල්හි රන්කිරි පොවා නෙත් සඟලක් සේ රැක බලා ගත්තා ය. මායා මව් බිසව් නොමැති අඩුව නොදැනෙන්නට මව් සෙනෙහස නොඅඩුව දුන් දෑ ය. දැන් නුඹ වහන්සේ තිලොවේ ම මෑණියන් වන සේක. ඒ කිරි මව්, ගෞතමී මාතාවන්ට ද අමාකිරි ලබා දෙන සේක්වා. ඒ කාන්තාවෝ ද මේ පිවිතුරු බඹසර හැසිර මේ දුක් සයුර තරණය කරත්වා!”
නඳ හිමියන්ගේ මේ ආනන්දනීය පුවත අසා ගෞතමී මාතාව ප්‍රධාන මාතාවන් නිම් හිම් නැති ප්‍රීතියෙන් කඳුළු පිසදමා වහා නැගී ගත්හ. ඔවුන්ගේ සියලු වෙහෙස දුරු වී ගියේ ය. දුක් සන්සිඳී ගියේ ය. ආලෝකය උදාවිය. ඔවුහු සිනාමුසු මුහුණින් යුතුව භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා යුග සෙවනේ වැඳ වැටුණාහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අමතා වදාළ සේක.
“එම්බා පින්වත් මාතාවෙනි, අමතමි තොප, මින්පසු තෙපි ඒ තථාගත ශ්‍රාවිකා භික්ෂුණීහු වන්නාහු ය.
පුණ්‍යවන්තීනි, එව්. සිහි නුවණ උපදවා, අකලංක සිතින්, මේ පරම පිවිතුරු බඹසර හැසිරෙව්. මානස විලේ හුන් හංසරාජිණියෝ විල අත්හැර අහසට පැන නැගී පියාසලා යන්නා සේ තෙපි ද මේ භව පැවැත්ම නම් මායාකාරී මානස විලෙන් නිදහස්ව එය අත්හැර දමා අමා නිවන පිරි විමුක්තියේ අහස් තලයට නැගෙව්, සියව් දුක් නසා සදා සුවයට පැමිණෙව්.
අහස් තලයට නැගෙව්, සියලු දුක් නසා සදා සුවයට පැමිණෙව්.”
” ගීතයක් වී
සවන් යුග – සැතැපී
සිත් සතන් හැම – සැනැසී
ඇසේවී – කල්පයක් සපුරා
ගැයේ වී – දනන් තොල් මතුරා
රැඳේවී – හදේ සුව පතුරා
ඒ අසිරිමත් මුණිවරුනේ! “