කුණ්ඩලකේසා රහත් තෙරණින් වහන්සේ

මෙයින් සියක්දහස්වන කප්හි ලොවට නායක වූ සියලු ධර්‍මයන්ගේ පාරයට පැමිණි පදුමුත්ත‍ර නම් ජිනේනද්‍රයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. එකල්හි මම හංසවතී නුවර නොයෙක් රුවනින් දිලියෙන මහත් සුඛයෙන් සමර්පිත වූ සිටුකුලයෙකැ උපන්නෙමි. ඒ මහාවීර වූ බුදුරදුන් වෙතැ එළැඹැ දම්දෙසුන් ඇසුවෙමි. එයින් උපන් පැහැදීම් ඇති මම් ජිනේන්ද්‍රයන් වහන්සේ සරණ කොට ගියෙමි. එකලැ මහාකාරුණික වූ පදුමුත්ත‍ර නම් සර්වඥයන් වහන්සේ සුභ නම් මෙහෙණ ඛිප්පාභිඤ්ඤා (ධර්මය වහා අවබෝධ කළ) මෙහෙණනන් අතරැ අගතන්හි තබා වදාළ සේක. ඒ අසා ප්‍රමුදිත වැ මහර්ෂි බුදුරදුනට දන් දී පාමුල මස්තකයෙන් නමස්කාර කොට ඒ තනතුර ප්‍රාර්‍ථනා කළෙමි. එවිට සම්බුදුරජාණෝ මෙසේ වදාල සේක.

“භද්‍රාවනි, තොප විසින් යමක් පතනලද නම් ඒ සියල්ල සමෘද්ධ වන්නේ යැ, සැප ඇති වවු, නිවුණා වව. මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලෝකයෙහි පහළ වන්නාහ. ඒ බුදුරජුන්ගේ දහම්හි දායාද වූ දහම් පසක් කොට රහත් වූ හෙයින් ධර්‍මනිර්මිත වූ ඖරස දුහිතෘ වූ ‘භද්දා කුණ්ඩලකේසා’ යි බුද්ධශ්‍රාවිකාවක් වන්නෙහි යැ.

ඒ කුසලකර්‍ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා මම් තව්තිසාවට ගියෙමි. එතැනින් ච්‍යුත වූවා යාම දෙව්ලොවට ගියෙමි. මම එයින් තුසිතයට ද, එයින් නිම්මාණරතියට ද, එයින් වසවත්තිපුරයට ද ගියෙමි. ඒ කුශලකර්‍මයාගේ ශක්තියෙන් යම් යම් තෙනෙකැ යෙම් ද ඒ ඒ තෙනැ දෙව්රජුනට මෙහෙසිබව කරවීමි.

එයින් සැවැ මිනිසුන් කෙරෙහි සක්විති රජුනට ද, මාණ්ඩලික රජුනට ද මෙහෙසිබව කරවීමි. දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සැමතන්හි සුඛිත වැ නොයෙක් කල්පයන්හි සැරිසැරීමි.

මේ භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ සර්වඥයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. එකල්හි මහර්ෂි මුනිරජුනට උපස්ථායක නරපති වූ කිකී නම් කාසිරාජයෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ. මම් ඒ රජුහට භික්ඛුදාසී යි ප්‍රසිද්ධ වූ සිවුවැනි දුහිතෘ වීමි. ජිනේන්ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා මම් සහ මාගේ සොහොවුරියන් සියල්ලෝ පැවිද්දට රිසි වුවත් පිය තෙමේ අප නො අනුදත්තේ යැ. එවිට අපි හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වැ කුමරිබඹසර සැරූමු.

මම් ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවට ගියෙමි.

මේ අන්තිම භවයෙහි සමෘද්ධිමත් සිටු කුලයෙකැ උපන් මම යම් කලෙකැ තුරුණු වියෙහි සිටියා ද, එකලැ මරනු පිණිස ගෙනයනු ලබන සොරකු දැක මම ඔහු කෙරෙහි ඇළුනෙමි. මාගේ පිය තෙමේ දහසක් ගෙවා ඔහු ඒ වධයෙන් මුදා මාගේ සිත දැන මා ඔහුට සරණ කොට දුන්නේ යැ. මම ඔහුට නිසැක වීමි. අතිශයින් ප්‍රිය වීමි. හිත වීමි.

එසේ තිබියදීත්, කිළිටි අදහස් ඇති ඒ සොරා මාගේ අබරණවලට ලොබින් චොරප්‍රපාත (සොරුන් හෙළා මරන) පර්වතයට ගෙන ගොස් මා මරන්ට සිතුයේ උපායෙන් මා එහි රැගෙන ගියේ ය. සොරහුගේ අදහස වැටැහුණු මම් සැමියා ප්‍රණාම කොට මොනොවට බදැදිලි වැ සියදිවි රක්නෙම් මෙවදන් කීමි.

 “ස්වාමීනි, මේ අඟුපළඳනා ද, බොහෝ මුතු හා වෙරළුමිණි ද යන සියල්ල ගනු මැනැවැ, මා ද දස්සක කොට සලකනු මැනව.”

එවිට සොරා මෙසේ කීය.

“භද්‍රාව, අබරණ මුදනු, දැඩි වැ නො වැළපෙනු, නොනසා ධන පැහැර ගැනීමක් මම නොදන්මි.”

මම් මෙසේ කීමි.

“යම් කලෙක පටන් තමා සරණුයෙම් ද යම් කලෙක පටන් දන්නා බවට පැමිණියා වෙම් ද, තොපට වඩා අන් ප්‍රියතරයෙක් මම නො දනිමි. ස්වාමීනී, අවසන් වරට මා නුඹ වහන්සේගේ පා වඳිනු රිසියෙමි. ඊට මා හට අවසර දෙනු මැනව. නුඹ වහන්සේ වටා තෙවරක් පැදකුණු කර නුඹ පා මා හිසින් ස්පර්ෂ කොට මාගේ අවසන් වැඳුමින් නුඹ වහන්සේට උපහාර පිදීමට මට අවසර දෙනු මැනව. එව, මහිමි, මම් නුඹ වැළඳගන්නෙමි. ප්‍රදක්ෂිණා කරන්නෙමි. මාගේත් නුඹගේත් සඞ්ගමයෙක් දැන් යලි නොවන්නේ ය.”

හේ මට ඉඩ දුන්නේයැ. තෙවරක් සොරහු ප්‍රදක්ෂිණා කොට සතර තැනෙක වන්දනා කොට වහා නැගිට වැර යොදා මම් ඔහු ප්‍රපාතයට තල්ලු කළෙමි.

එය දැක දෙවියෙක් මෙසේ කීය.

“සියලු තන්හි පුරුෂ තෙමේ පමණක් පණ්ඩිත නො වේ මැ යි, ස්ත්‍රී ද පණ්ඩිත වෙයි. ඒ ඒ කරුණෙහි විචක්ෂණ ද වේ. සියලු තන්හි පුරුෂ තෙමේ පමණක් පණ්ඩිත නො වේ මැ යි. ස්ත්‍රී ද පණ්ඩිත වෙයි. වහා අරුත් සිතන්නී ද වෙයි.”

ඒකාන්තයෙන් නිකෘෂ්ඨයා කෙරෙහි මම් මැනැවින් සිතීමි. මෘග රෝමයෙකින් යම්සේ ද, එසෙයින් එකල්හි මම් සතුරා නැසීමි. යමෙක් උපන් කරුණ වහා වටහා නො ගනී ද, හේ චොරප්‍රපාතයට පෙරළී නැසුණු අනුවණ සොරු මෙන් නැසෙයි. යමෙකුත් උපන් කරුණ වහා වටහාගනී ද, හේ යම්සේ එදවසැ මම් සතුරාගෙන් මිදුනෙම්ද, එසේ සතුරු උවදුරින් මිදෙයි.

එදවසැ මම් ඒ සතුරා ගිරිදුර්ගයෙහි හෙළා සුදුවත් හඳනා නිවටුන් වෙතැ එළැඹැ පැවිදි වීමි. එකල්හි ඔවුහු හඬුවකින් මාගේ කෙහෙ සර්‍වප්‍රකාරයෙන් උදුරා පැවිදි කළෝ ය. ඔවුන්ගේ දහම ඉගෙන එකලා වැ හිඳ ඒ සමය විමසාලීමි. එවිටැ සුනඛයෙක් මළ මිනිසෙකුගේ අතක් ඩැහැගෙන අවුත් මා වෙතැ හෙළා ඉවත් වැ ගියේ යැ. පණුවන් පිරුණු ඒ අත දැක අසුභ නිමිති ලදිමි.

එතැනින් නැගී එහි තේරුම විමසාලනු වස් මම් මාගේ ගුරුන් සොයා ගියෙම් ඔව්හු නිරුත්තරව උඩ යට බලන්ට වන. ශ්‍රමන ශාක්‍ය පුත්‍රීහු මෙහි තේරුම් දන්නා වග ඔව්හු කීහ. එසැනෙන් මම් ශාක්‍යපුත්‍ර ශ්‍රමන වරුන් සොයා පළා යනු රිසියෙන් මෙසේ කීමි.

 “බුද්ධශ්‍රාවකයන් වෙතැ එළැඹැ එහි අරුත පුළුවුස්නෙමි. මා කැඳවාගෙන යවු.”

ඔවුහු මා රැගෙන බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ ගියාහු යැ. ඒ නායකයන් වහන්සේ ‘ස්කන්ධ – ආයතන – ධාතූහු අශුභය, අනිත්‍යහ, දුඃඛහයි ද අනාත්මහ’ යි ද දහම් දෙසූ සේකැ. ඒ දහම් අසා මම් ධර්‍මචක්‍ෂුස (සෝතාපත්ති මග්‍ගඤාණය) පිරිසිදු කළෙමි. ඉක්බිති දත් සදහම් ඇතියෙම් පැවිද්ද හා උපසම්පදාව යාච්ඤා කළෙමි. එකල්හි ඒ නායකයන් වහන්සේ ‘භද්‍රාවනි, එව’ යි වදාළ සේකැ. එවිටැ ම මම් උපසම්පදාව ද ලදුයෙමි.

දිනක් මම් මද ජලයක් දුටීමි. එකල්හි මම් පා දෙවීමෙන් ඒ ජලය ඇති වීම හා නැතිවීම සහිත යයි දැන සියලු සංස්කාරයෝ ද එසෙයින් මැ ඇති වැ නැති වැ යන්නාහ යි මෙසේ සිතීමි. එයින් මාගේ සිත උපාදාන විසින් ග්‍රහණය නො කොට සැම අයුරින් කෙලෙසුන්ගෙන් සිත මිදුනේ යැ. එකල්හි ජිනේන්ද්‍රයන් වහන්සේ ඛිප්පාභිඤ්ඤා (වහා දහම් අවබොධ කළ) මෙහෙණන් අතරැ මා අග්‍ර කොට පැනවූ සේක.

බුදුරදුන්ගේ අනුසසුන් කරන මම් සෘද්ධින්හි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දනිමි. පෙර විසූ කඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලද යැ, සියලු ආස්‍රව ක්‍ෂය කොට මොනො‍වට කෙලෙස්මල රහිත වැ විශුද්ධ වීමි.

මම් ශාස්තෘන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන ලද්දෙමි. බුදුසසුන් කරන ලද්දෙමි. කෙලෙස්බර බහා තැබුවෙමි. තෘෂ්ණාව නසා දැමුවෙමි. යම් අර්‍තයක් පිණිස ගිහිගෙන් නික් මැ බුදුසසුන්හි පැවිදි වූවා නම් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ අර්‍ථය මා විසින් අනුප්‍රාප්ත යැ. අර්ථ – ධර්‍ම – නිරුක්තියෙහි ද ප්‍රතිභාණයෙහි ද එසේ මැ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ අනුශාසනයෙහි ද මාගේ ඥානය පැතිර පවත්නේ යැ, විශුද්ධ වැ සිටුනේ යැ. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳ සරන ඇත් රැජිනක සෙයින් ආස්‍රව රහිත වූවා වාස කරමි. බුදුරජාණන් වහන්සේ වෙතැ මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගතයෙක් වියැ. ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ. බුදුසසුන් කරන ලද යැ. සිවුපිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂය ද ෂට් අභිඥා ද සාක්‍ෂාත් කරන ලද යැ, බුදුසසුන් කරන ලද යැ.