පුණ්ණා රහත් තෙරණින් වහන්සේ

විපස්සී – සිඛී – වෙස්සභූ – කකුසන්‍ධ – කෝණාගමන – කස්සප භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසනයෙහි පැවිදි වැ සිල්සපන් නුවණැති සන්හුන් ඉඳුරන් ඇති මෙහෙණක් වැ බහුශ්‍රැත වැ ධර්මධර වැ දහම් උගන්නී ද අසන්නී ද ගුරුන් ඇසුරු කරන්නී ද වීමි. ජනයා මැද දහම් දෙසන මම බුදුසසුන්හි ප්‍රකට වීමි, ඒ බහුශ්‍රැත භාවය හේතු කොටගෙන මම ප්‍රියසීල මෙහෙණන් ඉක්මවා සිතීමි.

යළි දැන් පශ්චිම භවයෙහි සැවැත් පුරයෙහි මම අනේපිඬු සිටුහුගේ ගෙයි කළදැස්සක කුස උපන්නෙමි. එකකින් ඌන වූ සියය පුරමින් යම් හෙයෙකින් දැස් කුලෙහි උපන්මු ද, එහෙයින් “පුණ්ණා” යයි මාගේ නම විය. දිනක් දිය ගෙන ඒමට ගියේ දියමැද සීතලෙන් වෙවුළන සොත්‍ථිය බමුණකු දිටිමි. ඔහු දැක මෙය කීමි,

“හැම කලැ සීතයෙහි දිය ගෙන යන මම හිමියන්ගේ දඬුවම් බියෙන් බිය පත්වැ වාක් දෝෂ භයින් පීඩිත වැ ජලයට බසින්නෙමි. බමුණ, තෙපි කවරකුට බියපත් වැ හැම කල්හි වෙවුළන ගාත්‍රයෙන් යුක්ත වැ දියට බසිහු ද? අතිශයින් සීත විඳිනවු යැ තෙපි.”

“භවතිය පුණ්ණාවෙනි, කුශලකර්මයක් කරනකළ සෝදා හරිනකළ ඒකාන්තයෙන් දැන දැනම නොවේද නුඹ අසන්නේ? භවතිය, මහලු වූ හෝ තරුණ වූ හෝ යමෙක් පව්කම් කෙරේ නම් උදකාභිසේවනයෙන් පාපකර්මයෙන් මිදේ”

“එසේනම් මෙහි දියේ වසන ගෙම්බන්, මත්ස්‍යයන්, කැස්බෑවුන් සහමුලින්ම පවු ගෙවා නිම කළෝ නොවෙත්ද? උන් සිටින්නේම මේ සීතල ජලය තුළ ගිලී නොවේද?”

දියෙන් නැගීසිටිනහුට ධර්‍මාර්ථයෙන් යුක්ත වූ වදනක් මෙසේ කීමි. හේ ඒ අසා සංවේගයට පත් ව පැවිදි වැ රහත් වී.

වස් පවාරිත ශාස්තෲන් වහන්සේ සැවැතෙන් නික්ම චාරිකාවේ වඩිනු පිණිස වීථියට පිලිපන් සේක. විශාකාවෝද, කෝසල මල්ලිකාවෝද, කෝසල නරෙන්ද්‍රයානෝද, මාගේ ස්වාමී අනේපිඬු මහ සිටාණෝද, රටෙහි නම ගිය තව බොහෝ සැදැවත් උවසු උවැසියෝද ශාස්තෲන්වහන්සේ පාමුල වැඳ වැටී සැවතෙහිම වැඩ සිටිනා මෙන් අයැද සිටියහ. නමුත් අප්‍රථිවර්තනය නොකළ හැකි සම්බුදු රජාණෝ චාරිකායෙහි වැඩියහ. දාසී වූ මම් ස්වාමීහුගෙන් අවසර ලද්දී වහා දිව ගොස් මගදීම වැඳ වැටෙමින් චාරිකායෙහි නොවැඩ වැඩහිඳිනු මැනවැයි ආයාචනාකොට සිටිද්දී මා පිලිබඳ වූ අනුකම්පායෙන් ලෝකනාථයන් වහන්සේ හැරී සැවතටම වැඩි සේක. ඉන් ප්‍රසාදජනක සිත් ඇති මාගේ ස්වාමීහු මා දාස බවින් මුදවා දූ තනතුරෙහි තබාලූහ. මම් මාපියාණන්ගේ අවසරයෙන් සම්බුදු සසුන්හි පැවිදි බවට පත් වූයෙමි. නොබෝ කලෙකින් මැ රහත්බවට පැමිණියෙමි.

මහාමුනිවරයන් වහන්ස, සෘද්ධීන්හි ද දිබ්බසෝතධාතුයෙහි වසී වෙමි, චේතෝපරියඤාණයාගේ ද වසී වෙමි.  පූර්වනිවාස දනිමි, දිව ඇස ශුද්ධ කරන ලද, සර්වාස්‍රවයෝ පරික්‍ෂීණයහ, දැන් පුනර්භවයෙක් නැති. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ අනුහසින් අර්ථ ධර්‍ම නිරුක්තීන්හි ද එසේ මැ ප්‍රතිභානයෙහි ද මාගේ ඥානය නිර්මල විය, පරිශුද්ධ වී. භාවනායෙන් මහාප්‍රඥා ඇතිවීමි, ශ්‍රැතය හේතු කොට ගෙන ශ්‍රැතාවිනී වෙමි. මානය නිසා මම් නීච දාසි කුලයේ උපන්නෙමි. කර්මයනම් විපාක දෙන්නේමය. මම් විසින් ක්ලේශයෝ දවන ලදහු.  බුදුසසුන් කරන ලදී.