සුක්කා රහත් තෙරණින් වහන්සේ

මෙයින් එක්අනූවන කපෙහි මනහර ඇස් ඇති සර්වධර්‍මයන් දන්නා වූ විපස්සී නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක. එකල්හි මම් බන්ධුමතී නුවර එක්තරා කුලයෙක්හි උපන්නෙමි. මුනීන්ද්‍රයන් වහන්සේගේ දහම් අසා ශාසනයෙහි පැවිදි වීමි. බහුශ්‍රැත වූ ධර්‍මධර වූ එසේම ම වැටහෙන නුවණැති බුදුසසුන් පිළිපදනා විචිත්‍ර ධර්‍මකථිකාවක් ද වීමි. එකල ජනතාවට හිත වූ බොහෝ ධර්‍මකථා කොට මම එයින් සැවැ යශස් ඇති වැ තුසිත දෙව්ලොවැ උපන්නෙමි.

මෙයින් එක්තිස්වන කපැ ගිනිසිළක් මෙන් දිලියෙන යශසින් යුත් දේශකයන් අතුරෙන් උතුම් වූ සිඛී නම් මුනීද්‍රයන් වහන්සේ ලොවැ උපන් සේක. එකල්හි දු පැවිදි වැ බුදුසසුන්හි නිපුණ වැ බුදුවදන් බබුළුවා එයිනුදු සැවැ දෙව්ලො වැ උපන්නෙමි.

මෙයින් එක්තිස්වන කපැ මහත් ඥාන ඇති වෙස්සභූ නම් නායකයන් වහන්සේ උපන් සේක. එකල්හි දු මම් එසෙසින් මැ පැවිදි වැ ධර්‍මධර වූවා බුදුසසුන හෙබැවීමි. ඉනුදු සැවැ සිත්කලු දෙව්ලොවට ගොස් මහත් සුව වින්දෙමි.

මේ භද්‍රකල්පයෙහි කකුසන්ධ නම් ජිනොත්තමයන් වහන්සේ උපන් සේක. එකල්හිදු මා එසෙයින් මැ පැවිදි ව, ආයු පමණින් සිට බුද්ධමතය බබුළුවා එයින් ච්‍යුත වූ සිය භවනයට මෙන් දෙව්ලොවට ගියෙමි.

මේ කල්පයෙහි මැ ලොවට සරණ වූ සියලු සත්නට උතුම් වූ කෝණාගමන නම් නායකයන් වහන්සේ උපන් සේක. එකල්හි දු ඒ තාදී බුදුරදුන්ගේ සසුන්හි පැවිදි වැ බහුශ්‍රැත ව, ධර්මධර ව, බුදුසසුන බැබළවීමි.

මේ කල්පයෙහි මැ කෙලෙස් රහිත වූ නිවනට පැමිණි ලෝකනායක වූ කස්සප නම් පුරුෂොත්තමයන් වහන්සේ උපන් සේක. ඒ නරවීරයන් වහන්සේගේ ද සසුන්හි පැවිදි වැ පුහුණු කළ සදහම් ඇති ව ප්‍රවෘජායෙහි විශාරද වූවා සුසීල ද ලජ්ජා ඇත්තී ද වී. ත්‍රිවිධ ශික්‍ෂායෙහි නිපුණ වී. යාවජ්ජීවයෙන් හිත එළවන බොහෝ ධර්මකථා කළේ වී. මනා කොට කළ ඒ කර්මයෙන් ද චේතනා පිහිටුවීමෙන් ද මම මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමි.

දැන් පශ්චිම භවයෙහි රජගහ පුරවරයෙහි සමෘද්ධ වූ මහත් රත්න ඇති සිටු කුලයෙහි ජාත වූවා, යම් කලෙක භික්‍ෂුසංඝයා විසින් පිරිවරන ලද ලෝකනායකයන් වහන්සේ රජගහ නුවරට වැඩිසේක් යැ. රන් වර්ණ සම ඇති භාග්‍යවතුන් වහන්සේ දැමුණු සේක්, කෙලෙසුන් කෙරෙන් වෙසෙසින් මිදුණු පුරාණ ජටිල වූ දහසක් රහතුන් සමග රජගහ නුවරට පිවිසි සේක් යැ. ඒ බුද්ධානුභාවය ද දැක ගුණ සමූහය ද අසා බුදුන්වහන්සේ කෙරෙහි සිත පහදවා ශක්ති පරිදි උන්වහන්සේ පිදීමි.

යළි පසුකලෙක ගිහිගෙන් නික්මැ ධම්මදින්නා මෙහෙණ සමීපයෙහි අනගාරිය සාසනයෙහි පැවිදි වීමි. මම කෙස් සිඳිනු ලබත් මැ කෙලෙසුන් දැවීමි, පැවිදි වැ නොබෝ කලෙකින් මම සියලු ශාසනය ඉගෙනගත්මි. ඉක්බිති මහජන සමාගමයෙහි දහම් දෙසීමි, මා දහම් දෙසන කල්හි නොයෙක් දහස්ගණන් සත්ත්‍වයන්ට ධර්මාවබෝධය වී, ඒ දැන අතිශයින් විස්මයට පැමිණි මා පිළිබඳ පැහැදුණු යක්‍ෂයෙක් රජගහනුවර හැසිරැ,

“යම් කෙනෙක් අමෘතපදය දේශනා කරන සුක්කා මෙහෙණන් ඇසුරු නො කෙරෙත් ද, මේ රජගහනුවර මිනිස්සු කුමක් කළාහු සුරා පානය කළවුන් සෙයින් සිටිත් දැ” යි ඝෝෂා කළහ..

බැහැර නොහෙලිය යුතු වූ, පියවින් මිහිරි වූ ඕජාවත් ඒ ධර්මය නුවණැත්තාහු පානය කෙරෙති සිතම්.  මම සෘද්ධියෙහි ද දිව්‍යශ්‍රොත්‍රධාතුයෙහි ද වශී වෙමි, පරසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි. පෙර විසූ කඳපිළිවෙළ දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්භවයෙක් නැති.අර්ථ ධර්ම නිරුක්තීන්හි ද එසේමැ පටිභානයෙහි ද මාගේ නුවණ උපන. ක්ලේශයෝ දවන ලදහ. බුදුසසුන් කරන ලදී.