ආදිත්ත ජාතකය

පෙර ‘සෝචීර’ නම් රට ‘රෝරුව’ නුවර ‘භරත’ නම් රජ විසින් රාජ්‍යය විචාරන ලදී. හේ දස රාජ ධර්මය නොයික්මවා දානය, ප්‍රිය වචනය, අර්ථචර්‍යා හා සමානාත්මතා යන සතර සංග්‍රහ වස්තූන්ගෙන් යුතුව ජනතාව රකිනා මවක් සේ පියෙක් සේ දිළින්දන්ගේ පටන් මහා මාත්‍යයන් දක්වා සිත් සන්තෝශ කරමින් මහ දන් දෙමින් යෙහෙන් රට පාළනය කළේ ය. ඔහුට ‘සමුද්දවිජයා’ නම් මනා රුවින් යුක්ත ගුණ දහමින් පිරිපුන් ප්‍රිය බිසවක් වි සිටියේ ය. ඕ ඉතා ප්‍රඥාවන්ත වූවා ය. පණ්ඩිත වූවා ය. කළ යුක්ත නොකළ යුක්ත මැනැවින් දන්නී රජුගේ සිතිවිලි වලට අනුව ම ප්‍රිය භානීව සිටියා ය.

එක්තරා දිනක දී ස්වකීය දන්වැට පරීක්ෂා කරමින් සිටි රජතුමා එහි ඉල්ලා ගනු පිණිස පොරකමින් , බත් විසුරුවමින්, ඉතා අසෝභනාකාරයෙන් හැසිරෙන දුගීන්, යාචකාදීන් සහ අන්‍ය වූ තීර්ථක පිරිස් දැක බොහෝ කලකිරුණී. හේ මෙසේ සිතී.

“මාගේ මේ දානය දුසිල්වත්ව ගිජු ලෙස අහර බුදිනා අයවලුන් විසින් පමණක් පරිභෝග කරති. මේ හේතුවෙන් මාත් මාගේ දානයත් නුවණැත්තන්ගේ ගර්හාවට සිනාවට හේතුවීමට බැරි නැත. එනිසා මම් සීලසම්පන්න වූ අග්‍ර දක්ඛිණෙ‍ය්‍ය වූ පසේ බුදුරජාණන් වහන්සේ විශයෙහි දන් දෙන්නෙමි. නමුත් මම් පසේ බුදුරජාණන් වහන්සේලා කොයින් ලබම්ද? උන් වහන්සේලා හිමාල වනයේ වසන බව නම් විටින් විට මා අසා ඇත්තෙමි. නමුත් එහි ගොස් අරාධනා කරන්නෝ කවුරුන්ද?”

මෙසේ වූ සිතිවිල්ලෙන් හේ මාළිගය වෙත ගියේ ය. සිය අග මෙහෙසිය හා තමාගේ සිතෙහි වූ සිතිවිල්ල කීවේ ය. එවිට නුවණැති ඕ මෙසේ කීවා ය.

“ස්වාමීනී, ඔබ වහන්සේ මේ පිළිබඳ කනස්සලු නොවනු මැනව. මා ඊට නිසි කටයුතු දනිමි. මහ රජතුමනි, නුඹ වහන්සේ ඒ පිළිබඳ කරදර නොවනු මැනව. සුවඳැති සමන් මල් වට්ටියක් අතට ගෙන, නුඹ වහන්සේ මේ තාක් දුන් දානයන්ගේ ආනුභාවයෙන්, සීලයේ තේජසින්, සත්‍යයේ බලයෙන් අදිෂ්ඨාන කොට ඒ මල් පසේ බුදුරජාණන් වහන්සේලාට ආරාධනා පිණිස යවනු මැන. ඒ ආරාධනය පිළිගෙන උන්වහන්සේලා මෙහි වැඩි කල්හි, සියළු පරිෂ්කාර සහිතව මාහැඟි දානයක් සිත් සේ පූජා කර ගත මැනව”

දේවියගේ වචනයෙන් බොහෝ සතුටට පත් රජ තෙමේ ‘යහපතැයි’ ගිවිස ‘මුළු නගරයේම වැසියෝ සිල් සමාදන් වෙත්වා!’ යී රට පුරා අඬබෙර ලූවා ය. මෙසේ පිරිවර ජනයා සහිත රජ තෙමේ සීලය අදිෂ්ඨාන කොට පෙහෙවස් සමාදන් වී සිරිත් පරිදි දන් වැට ද ක්‍රියාත්මක කළේ ය. සමන් මල් පිරි රන් බඳුනක් දෝතට ගත් හේ ඉනික්බිතිව ප්‍රාසාදයෙන් බැස රාජාංගනය මධ්‍යයට පැමිණියේ ය. එහි රාජාංගනයේ මැද සිට පොළොවෙහි පසඟ පිහිටුවා නැගෙනහිර දෙසට වන්දනා කර සමන් මල් වට්ටිය දෝතට ගත්තේ ය. ‘මේ නැගෙනහිර දිශාවේ යම්තාක් රහතන් වහන්සේලා වැඩ සිටිත්ද, උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා! ඉදින් අප කෙරෙහි යම් වූ හෝ ගුණයක් ඇත්නම් ඒ පිළිබඳ සළකා අප කෙරෙහි අනුකම්පායෙන් අපගේ දානය පිළිගන්නා සේක්වා!’ මෙසේ සිතා හේ සමන් මල් මිටි සතක් අහසේ පා කර හැරියේ ය. නමුත් එහි නැගෙනහිර දිශායෙහි පසේ බුදුරජාණන් වහන්සේලා නොවිසුව බැවින් රජුගේ ආරාධනය නිශ්ඵල විය. දෙවන දිනයේ දකුණු දිශාව බලා සියල්ල පෙර අයුරින්ම සිදු කළේ ය. එහිත් පසේ බුදුරජාණන් වහන්සේලා නොවිසු බැවින් ආරාධනය නිශ්ඵල විය. තෙවන දිනයේ බටහිර දීශාව අරමුණු කරමින් අදිෂ්ඨාන කළත් එදින ද උත්සාහය ව්‍යර්ථ වී ගියේ ය. සිව් වන දින උතුරු දිශාව අරමුණු කොට වතාවත් සිදු කරද්දී එහි ‘නන්දමූලක’ පර්වත ප්‍රාන්තයේ වසන පන්සියයක් පසේ බුදුරජාණන් වහන්සේලාට ඉහළින් ආකාසයේ සමන් මල් මිටි සත මල් වියනක් සේ මනරම්ව පිහිටියේ ය. එයින් එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් මෙය රජු විසින් කළ ආරාධනයක් බව දිවැසින් දැක පසේ බුදුරජාණන් වහන්සේලා සත් නමක් අමතා මෙසේ වදාළේ ය.

“උතුමනි, රටේ රජතුමා ඔබ හැමට මෙසේ ආරාධනා කෙරේ. එනිසා රජුට සංග්‍රහ පිණිස එහි වැඩම කරන්නේ නම් යහපති”

එය පිළිගත් පසේ බුදුරජාණන් වහන්සේලා අහසින් වැඩම කොට රජ මැදුරේ දොරටුව අභියස පෙනී සිටියහ. අතිශය සොම්නසට පත් වූ රජ තෙමේ පසේ බුදුරජාණන් වහන්සේලාට වන්දනාකොට ප්‍රාසාදය තුළට වඩමවා ගෙන ගියේ ය. මහත් වූ සත්කාර සම්මාන දැක්වූ රජතුමා ප්‍රණීත දන් පැන් පුදා පසේ බුදුරජාණන් වහනසේලා වළඳා අවසන් වූ කල්හී වැඳ මෙසේ ආරාධනා කොට සිටියේ ය.

“ස්වාමීනී, සෙට දවසේත් මාගේ දානය පිණිස මෙහි වැඩම කරන සේක්වා!”

මෙලෙසින් පුන පුනා ආරාධනා කොට දින හයක් පුරාවට නොකඩවා මහ දන් පැවැත්වී ය. සත්වෙනි දින සියලු පිරිකර සහිතව , සත් රුවනින් අලංකාර කර වූ ඇඳ පුටු පණවා තුන් සිවුරු පූජා කොට සියලු ශ්‍රමණ පරිභෝග වස්තූන් පසේ බුදුරජාණන් වහන්සේලා ඉදිරියෙහි තබා ‘ මේ සියලු පිරිකර ඔබ හැම දෙනා වහන්සේ විශයෙහි දෙන්නෙමු’ යී කියා දේවිය ද සමගින් ඒ සියල්ල පූජා කළේ ය. අනතුරුව රජතුමාත් දේවියත් දොහොත් මුදුන් දී වැඳගෙන පසේ බුදුරජාණන් වහන්සේලා දෙස ඉතා ආදරයෙන් දෑස් දල්වා බලා සිටිය හ.

ඒ සතක් වූ පසේ බුදුරජාණන් වහන්සේලා අතුරින් වැඩිමහල් පසේ බුදුරජාණන් වහන්සේ අනුමෝදනා බණ වදාරමින් මෙසේ දේශනා කළ සේක.

“ගිනිගත් ගෙයකින් යම් බඳුනක් බැහැර කෙරේ ද, එය ඔහුට අනාගතයේ ප්‍රයෝජන පිණිස පවතින්නේ ය. එසේ නොවුනහොත් එය දැවී විනාශ වී යන්නේ ය. එසේම මේ ලෝක සත්වයා ජරායෙන්, මරණයෙන් ගිනිගෙන සිටින්නේ ය. දන් දීම ගිනිගත් ගෙයින් යම් බඩුවක් ඉවතට විසිකරගන්නා සේ ය. දන් දීම නම් මැනවින් රැකගත් දේම වන්නේ ය”

මෙසේ රජතුමාත් දේවියත් සෙසු සියලු ජනයාත් බලා සිටිද්දී ම මාළිගයේ කැණිමඩල තුළින් කිමිදී ඒ පසේ බුදුරජාණන් වහන්සේ හිමාලයේ නන්ද මූල පර්වත ප්‍රාන්තයෙන් මතු වී එහි වැඩ සිටියේ ය. සියල්ල දුටු රජතුමාත් දේවියත් බොහෝ සතුට පත් වූහ. ඔවුන්ගේ ශරිර ප්‍රීතියෙන් පිනා ගියේ ය. පසුව සෙසු පසේ බුදුරජාණන් වහන්සේලා ද ගාථාව බැගින් වදාරමින් පුණ්‍යානුමෝදනාව සිදුකරමින් පළමු පසේ බුදුරජාණන් වහන්සේ සෙයින්ම කැණිමඩල තුළින් කිමිදී නන්ද මූල පර්වතයෙන් මතු වී එහි වැඩ සිටියහ.

ඒ පසේ බුදුරජාණන් වහන්සේලා මේ ගාථාවන් වදාළ සේක.

“යම් පුද්ගලයෙක් නැගී සිටි වීර්‍යයෙන් යුතුව තමා උපයා ගත් දෙයින් ධර්මලාභී උතුමන් හට දන් දෙයි ද ඒ තැනැත්තා යම රජුගේ ‘වේතරණී’ නම් රුදුරු නිරය ඉක්මවා ගොස් දෙව් විමන්හි පහළ වන්නේ ය.

“දානය යුද්ධය හා සම වෙත්. ටිකක් වූ සත්පුරුෂයෝ අනෙක් සියල්ලන් අතුරින් බොහෝ ජයග්‍රහණ ලබත්. ඉදින් ශ්‍රද්ධාවෙන් යුතුව සුළු දෙයක් දන් දුන්නත් එයින් හේ පරලොව දී බොහෝ සැපයට වෙත්”

“සුදුස්සන් සොයා බලා දන් දීම බුද්ධාදී උතුමන් විසින් පසසන ලද්දකි. ඉදින් මේ මිනිස් ලොව එසේ දන් දීමට සුදුස්සෝ යම් තාක් වෙත් ද ඒ උතුමන් වහන්සේලා අරඹයා යමෙක් යමක් දුන්නේ ද එය මහත්ඵල වේ. මහානිශන්ස වේ. මනා වූ කෙතක වපුළ බීජ සේ වේ.”

“යම් අයෙක් සතුන්ට හිංසා නොකෙරේ ද අනුන්ගේ අපවාද වලට බියෙන් පවු කම් නොකෙරේ ද හේ ඒ බිය නිසාම පැසසුම් ලබයි. නමුත් පවට සූරයා කිසිදා පැසසුම් නොලබයි. ගැරහුම්ම ලබයි. නමුත් පවට බය සත්පුරුෂයා කිසිදා පවු නොකරයි”

“යමෙක් අවම වශයෙන් හෝ බඹසර හැසිරෙත් ද හේ ඒ ආනුභාවයෙන් රජ කුලයේ හෝ උපදී. මධ්‍යම වූ බඹසරෙහි හැසිරෙත් ද දේවත්වයට පත් වේ. නමුත් පූර්ණ වූ බඹසරෙහි හැසිරෙත් ද හේ උත්තම අමා මහ නිවන ලබයි “

මේ අයුරින් වදාරන ගාථා මනාව ශ්‍රවණය කරමින් හුන් අපගේ බෝසත් මහරජු සහ දේවී තොමෝ සතුටින් පිනා ගියහ. එහි අර්ථ නුවණින් මෙනෙහි කළහ. අර්ථ වැටහෙත්ම වැටහෙත්ම ඔවුන්ගේ සතුට වඩ වඩාත් වැඩි වූයේ ය.

රජතුමා සහ දේවිය බොහෝ කාලයක් බොහෝ සතුටින් දානා දී බොහෝ කුසල කර්මයන්හි යෙදෙමින් සිල්වත්ව දිවි ගත කොට කාලයාගේ අවෑමෙන් මරණයට පත් වී දෙව් ලොව ඉපදුන හ.

සමුද්දවිජයා දේවී තොමෝ, තමන් නුවණින් යුතුව කටයුතු කරමින් සිය ස්වාමියාගේ දාන පාරමිතාව මුදුන්පත් කරවාලූයේ ඕ තොමෝ ද බොහෝ පින් කර ගත් තී ය. ස්වාමියා සීලයෙහි සමාදන් කරවූයේ ඕ තොමෝ ද මනා ලෙස සංවර වූ සීලයෙහි හැසිරුනී ය. ස්වාමියා කෙරෙහි ගුණ දම් වඩවාලමින් ඕ තොමෝ ද ගුණයන්හි පිරිපුන්ව සිටියේ ය. ඕ සැබවින්ම බෝසතාණන් වහන්සේගේ පාරමිතා පූර්ණය කරමින් වඩනා ගමනේ සෙවනැල්ල වූවාය. දක්ෂිණ හස්තය වූවා ය. මහ බෝසතාණන් වහන්සේ නම් අසරුවාණන් විසින් පදවනා පාරමී නම් අශ්ව රථයේ සෛන්ධවයා වූවා ය. මහ බෝසතාණන් වහන්සේගේ පාරමිතා නම් රියෙහි රිය සක වූවා ය. මහ බෝසතාණන් වහන්සේගේ පාරමිතා නම් සුවඳ කුසුම විකසිත කරවනා හිරු කිරණ වූවා ය.