අනනුසෝචිය ජාතකය
බරණැස් නුවර එක්තරා මහාසාර බමුණු කුලයෙක රන් රුවක් සදිසි පුතෙක් උපන. ඒ අප මහ බෝසතාණෝ ය. වයසින් වැඩෙත්ම හේ උගතමනා සියළු ශිල්පයන් පරප්රාප්ත සොඳුරු රුවින් හොබනා අපූරු යොවුන් තරුණයෙක් වී.
මාපියෝ සිය තරුණ පුතු දෙස බලමින් බොහෝ සතුටු වූහ. පුත්‍රයා හා සමාන රුව-ගුණ සම්පතින් අනූන යොවුන් දියණියක් ඔවුහු තම පුතුහට සෙවූහ. නමුත් ඒ පුතුගේ කැමැත්තෙන් නම් නොවේ. හේ කෙතරම් රූපවත් වුවත්, කෙතරම් දක්ෂ වුවත් ගිහි දිවිය යනු ඔහු අකමැතිම දෙයයි. පුත්‍රදාරාවන් නඩත්තු කරමින් කම් සුව විඳීම හේ ප්‍රකෘතියෙනුත් සිහිනෙනුත් එක ලෙස ප්‍රතික්ෂේප කළේය. දෙමාපියන්ගේ ඇවෑමෙන් තවුස් දිවියක් ගතකරනුවස් වනගත වීමට හේ වඩාත් ඇළුම් කළේ ය. අපේක්ෂා කළේ ය. ඒ වෙනුවෙන්ම කල්යල් බලා සිටියේ ය. සියල්ල මැනවින් දන්නා නිසා මාපියෝ රහසේම ඔහු සඳහා මනාලියන් සෙවූහ. මුලදී මසකට දෙවරක් තෙවරක් වශයෙන් ආ යෝජනා කල් යත්ම දිනකට දහ දොලොස බැගින් වී. හේ එයින් අතිශයින්ම පීඩාවට පත් වී. නමුත් මාපියන්ට අකීකරු වීමද යුතු නැති. හේ උපායක් සිතී. රන් නික දහස් ගණනින් දස දහස් ගණනින් වටිනා අගනා රන් රුවක් කරවා ඒ ස්ත්‍රී රුව මාපියන් වෙත යවා මෙසේ කීය.
“පියාණෙනී, මෑණියනි, ඉදින් නුඹ මා හට භාර්යාවක් සොයනු රිසි නම් මට අන් ලඳක් නොසොයනු මැනව. මේ රන් රුව හා සදිසි රුව ඇති ස්ත්‍රියක්ම සොයා දෙනු මැනව. ඉදින් මේ රුව හා සදිසි ස්ත්‍රියක් ලදොත් මාගේ විවාහය සිදුවේ. එසේ නොවුනහොත් යලි කිසි දිනක මා හා විවාහයක් පිළිබඳ සාකච්ඡා නොකළ මැනව.”
සත්‍යවශයෙන්ම ඔහුට එවැනි ලඳක් වුවමනා නොවීය. රන් රුවක් වැනි අඟනෝ මේ මිනිස් පුරවරයේ පහළ නොවෙනා බව ප්‍රසිද්ධ කාරණයකි. දෙව් ලොව පමණක්ම වසනා එවන් ලියක් සිය මාපියන්ට කෙසේවත් කෙදිනකවත් කිසිඳු තැනෙකින්වත් නොසොයා ගත හැකි වන හෙයින් හේ එබඳු උපායෙක් යෙදී.
නමුත් සිදුවූයේ අනෙකකි. ආවරණය කරන ලද රථයකට නංවාලූ රන් රුව, ජම්බුද්වීපය පුරා සැරිසරා පිළිවෙලින් ගොස් කසී රටට ආයේ ය.
එහි එක්තරා මහාසාර බමුණු කුලයක් විසී. අසූකෙලක් ධනය සහිත එහි ‘සම්මිල්ල හාසීනී’ නම් කුමාරිකාවක් වන. බඹ ලොවින් චුතවැ මනුස්ස දුවක්ව උපත ලබා සිටි සම්මිල්ල හාසිනිය අසලින් රන් රුව තැබූ කල රන් රුව ආනුභාව රහිතව අඳුරු වී ගියේ ය. සම්මිල්ල හාසිනියගේ ශරීර ප්‍රභාවම වඩ වඩාත් බැබලෙන්ට වී. වික්ෂිප්තව ගිය බ්‍රාහ්මණ ඇමතියෝ වහා බරණැසට පණිවුඩය යවූහ.
“අපට කුමාරියක් ලැබුනා. ඈ හා බලද්දී මේ රන් රුව රන් නොව නිකම්ම නිකං පිත්තල රුවෙකි…. දැන් අප කුමක් කළ යුතුද? නොපමාව දන්වා එවනු මැන”
පණිවුඩය දුටු සැනින් සතුටින් ඉපිල ගිය මාපියෝ රන් රුව දී කුමරිය රැගෙන එන්ට යැයි දන්වා යැවූ හ. ඒ අනුව සම්මිල්ල හාසිනියගේ සහ අපගේ මහ බොසතාණන් වහන්සේගේ විවාහය සිදු විය. බඹ ලොවින් පැමිණි හෙයින් අප මහ බෝසතාණන් වහන්සේ විවාහ දිවියක් අපේක්ෂා නොකළ සේක. බඹ ලොවින් පැමිණි සම්මිල්ල හාසිනියද එසේම ය. ඈ ද විවාහයක් අපේක්ෂා නොකළා ය. නමුත් මාපියන්ගේ සිත් නොරිදවනු කැමති ඈ විවාහය සඳහා අකමැත්තෙන්ම එකඟ වූවා ය. අපගේ මහ බෝසතාණන් වහන්සේ ද එසේම ය. මාපියන්ට අකීකරු වීම කුලවත් පුතුන් විසින් නොකළයුත්තක් හෙයින් හේ විවාහයට එකඟ වූයේ ය.
ඉතා ඉහලින් විවාහය සිදු විය. එය ඛාද්‍ය බෝජනයෙන් අනූන නැටුමින් ගැයුමින් ආඪ්‍ය අතිශයින්ම විචිත්‍ර විවාහ උත්සවයක් විය. රන් රූ දෙකක් අපූරුවට ගලපා එකම මණ්ඩපයක තැබුවා සේ වී. දෙව් පුරයෙන් බට දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය අප්සරාවක් හා සමග මණ්ඩපයක අසුන් ගෙන සිටින්නා සේ වී. විස්කම් දෙව් පුතුන් විසින් නිර්මිත ඝණ රන් පිළිරූ දෙකක් එකම මණ්ඩපයක් තුල තබා රන් රුවනින් වෛරෝඩියෙන් කළ අගනා ආභරණයෙන් හා මුත් සරින් සරහා දෙව් සළු පිළි අන්දවා, ‘මිනිසුනේ, මෙහි බලවු. සක් දෙවු රජ මේ වාගේ ය. ඒ සුජාවන් මේ වාගේය’ යී කියනු පිණිස විශේෂයෙන් මවාලූවාක් සේ වී. බෝසත්හුගේ රුව සම්මිල්ල හාසිනියටම ගැලපේ. සම්මිල හාසිනියගේ රුව බෝසත්හු පිණිසම ගැලපේ. ඔවුන් දෙස බලා සිටිනා ජනයෝ ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්හ. නැටූහ. ගැයූහ. උතුරු සළු කරකවමින් මංගල ගී ගැයූ හ. නමුත් ආශ්චර්යකි. ඒ කිසිවක් මහ බෝසතාණන් වහන්සේටවත් සම්මිල්ල හාසිනියටවත් අමුත්තක් නොවේ. ඒවා නිසා ඔවුන්ට අමුතු සතුටකුත් නොදැනේ. අසිරියනම් මෙයයි. ඔවුන් සම වූයේ රුවින් කුලයෙන් ධනයෙන් වයසින් හා අනෙකුත් බොහෝ බාහිර කරුණු වලින් පමණක් නොවේ. ඔවුන්ගේ සිත් ද එක හා සම වී. බඹසරට ඇලී සිටි ඒ සිත් රාගයෙන් ආශාවෙන් නොකිලිටිව පැහැපත් ව පවිත්‍රව තිබුණි. අසාර වූ කාමයන්ට නොඇලී සිටි ඔවුන්ගේ සිත් සාර වූ නෛශ්ක්රම්මයට ම ඇලී පැවතුණි. දෙදෙන රුවින් සරි බව ඇස් ඇති කා හටත් ප්රකටය. නමුත් සිතින් ද මනාව ගැලපි සිටින බව දුටුවෝ දෙවියෝ ම පමණී.
විවාහ වූ දිනයේ පටන් ඔවුන් ජීවත් වූයේ එකම නිවෙසක් තුලය. සයනය කළේ එකම සයනයක් මතය. රැය ගෙවුයේ එකම යහන් ගැබක් තුලය. නමුත් ආශ්චර්යකි. තත්පරයකින් සියයකින් පංගුවක් තරම් කාලයකටවත් කිසිවෙක් කිසිවෙකුත් ගැන රාග සිතක් උපදවා නොගත් හ. ආශාවක් උපදවා නොගත් හ. රාග නිශ්රිත හැඟිමෙක් මොහොතකටවත් ඇති නොවූයේ ය. එහෙත් ඔවුන් ඉතා සතුටින් ජීවත් වූහ. එකිනෙකා පිළිබඳ මනා ගෞරවයකින් යුතුකම් වගකීම් නිසි ලෙස ඉටු කරමින් ඉතා ප්‍රියශීලී ව විසූ හ. සම්මිල්ල හාසිනිය මහ බෝසතුන් හට අතිශයින්ම ප්‍රිය පතිනියක වූවා ය. මහ බෝසතාණන් වහන්සේ ද සම්මිල්ල හාසිනියට ඉතාමත්ම ප්‍රිය ස්වාමි පුත්‍රයාණ කෙනෙකුන් වූයේ ය.
මෙසේ මහ බඹුන් දෙදෙනෙක් එකම නිවාසයක වසන්නාක් සේ වූ අප මහබෝසතාණන් වහන්සේගේත් සම්මිල්ල හාසිනියගේත් ජීවිත අදටත් ලෝකයාට සිතා ගත නොහැකි තරම් අද්භූත ජනකය. අසිරිමත් ය. ආශ්චර්ය ජනකය.
නොරහත්ව සිටිද්දී ම, අබුද්ධෝත්පාද කාලයෙක ඉපදී සිටිද්දීම අප මහ බෝසතාණන් වහන්සේගේත් යසෝදරා මහෝත්තමාවියගේත් නොකිලිටි පිරිසිදු ජීවීත මෙසේ වන කල්හි අපගේ ශාස්තෲ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුපරිශුද්ධ බඹසර ශීලයත් අපගේ උත්තම රාහුල මාතා යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ පරම පවිත්‍ර බඹසර දිවියත් ගැන කියනුම කිම……!!! නුවණැත්තෝ මෙපමණකින්ම සිත් පහදවා ගනිත්වා! ශාස්තෲන් වහන්සේ පිළිබඳවත් ශාස්තෲ ශ්‍රාවක ආර්ය මහා සංඝරත්නය පිළිබඳවත් සිත් පහදවා ගනිත්වා! ඒ උත්තම බුද්ධ රත්නයත්, බුදු මුවින් වදහළ ශ්‍රී සද්ධර්ම රත්නයත්, ආර්ය මහා ශ්‍රාවක සංඝ රත්නයත් සරණ යෙත්වා!
පසු කාලීනව බෝසත්හුගේ මාපියෝ කලුරිය කළ හ. බෝසත් තෙමේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකර සම්මිල්ල හාසිනිය ලඟට කැඳ වී. හේ මෙසේ කීය.
“සොඳුර, මෙහි මා හට අයත් රන් මිල කෝටි අසූවක් හා නුඹ දායාද වශයෙන් ලත් එවැනිම රන් මිල කෝටි අසූවක් ඇති. එහිලා මේ සියළු ධනයත් දැසි දස්සන් සහිත අවශේෂ සියළු සම්පත්තීනුත් නුඹට බාරයි. නුඹ කැමති අයුරින් එවා පරිභෝග කළ මැනව. මම් පැවිදි වන්නෙමි”
සියල්ල සාවදානව අසා සිටි සම්මිල්ල හාසිනිය මෙසේ කිවා ය.
“ආර්ය පුත්‍රය, නුඹ පැවිදි වූ කල්හි මා හුදෙකලාව මෙහි විසීමෙහි අරුත කිම? නුඹ වහන්සේ වනවදින කල්හී ධනයෙන් බවභෝගාදී සම්පත්තීහුගෙන් මා හට ඇති ඵලය කිම? නුඹ හැරදා මා මෙහි වසමි’යි නොසිතුව මැනව. මම් ද පැවිදි වන්නෙමි. නුඹ වහන්සේ හා වනගත වන්නෙමි. නුඹ වහන්සේගේ පැවිදි දිවියට පලිබෝධ නොවන බවට මම් සපථ කරමි. ආර්ය පුත්‍රය, මම් ද නුඹ වහන්සේ හා කැටිව ඒ බිහිසුනු වනයට එන්නෙමි. රුක්ඵලයෙන් හෝ වේවා සිඟාලත් බොජුනෙන් හෝ වේවා යැපී සිටින්ට මම් අපොහොසත් නොවෙමි. බොජුන් නැත්තේ වෙතොත් ඊටද කම් නැත. මා යෙහෙන් පැවිදි සැපයම අනුභව කරමි, ප්‍රීතියම අනුභව කරමි. දිවි ඇතිව හෝ දිවි නැතිව හෝ පැවිදි සැපයෙන් බැහැරට නොයන්නෙමි. නුඹ වහන්සේට ඒ පිළිබඳවත් මා කෙරෙහි සැක සංකායෙක් ඇතිකරගත යුතු නොවන්නේමැයි.”
“එපමණකුත් නොවේ. හණ වැහැරි පෙරවීමට, පාංශුකූල සිවුරු දැරීමට මා ඉත සිතින් සැදී පැහැදී සිටිමි. මා ඊට කිසෙයින්වත් මැලිකම් නොදක්වන්නියක් බව දරාගත මැනවි”
“සිනිඳු සැප යහන් නොපතමි. මැටි පොළොවේත් කටු ඇතිරියේත් වෙනසක් මා විශයෙහි නොපවතී. එහෙයින් මා ප්‍රිය ස්වාමි පුත්‍රය, මම් ද එමි. නුඹ වහන්සේ හා වනයට යන්නෙමි. නුඹ වහන්සේ හා පැවිදි වන්නෙමි. නුඹ වහන්සේ මාගේ ගුරු දෙවිඳුන් කොට සලකන්නෙමි. යම් අතවැසියෙකු විසින් තමාගේ ගුරුන් යම් අයුරකින් පිදිය යුත්තේ ද මා ද ඒ සියලු අතවැසි වත් අනලස්ව ඉටු කරන්නෙමි. මාගේ ගුරු දෙවිඳුන් මනාව පුදන්නෙමි.”
සම්මිල්ල හාසිනිය මෙතරම් දෑ පවසද්දී බෝසතාණන් වහන්සේට ඈ බැහැර ලා පිටව යාමට නොහැකි වී. දෙදෙනම එකතුව සියළු ධන ධාන්‍ය භව බෝග සම්පත් ඈ එකී මෙකී නොකී සියළු මහාසාර වස්තූන් උදෑසන ලූ කෙල බිඳිත්තක් සේ ඉවත ලමින් තවුස් පැවිද්දෙන් පැවිදිව වනයට වැදුනහ. එහි වන ඵල, අල වර්ගාදිය බුදිමින් දිවි පවත්වා ගත්හ.
මෙසේ බොහෝ කාලයක් වනයේ වැස ලුණු-ඇඹුල් සොයා යනු පිණිස හිමවත් පව්වෙන් බැස ග්‍රාමාන්තයට ආහ. අනුපිළිවෙලින් බරණැසට සැපත් වූහ. එහි රාජකීය උයනෙහි ලැගුම් ගත්හ.
ඒ අතරතුර දවසෙකැ වැළඳීමට ලැබු එක්තරා ආහාරයෙක් නපුරු වී ගියෙන් සිවුමැලි පරිබ්‍රාජිකා තොමෝ ගිලන් වූහ. ඕ ‘ලේ අතීසාර’ රෝගයෙන් මඩින ලද්දී තැනින් තැන විසඥ්ඥව ඇද වැටුනී ය. රෝගයට උචිතාකාරයේ බෙහෙද් ආහාරයෙක් නොලැබී ගියෙන් ඕ වඩ වඩාත් ගිලන් වූයේ පා ඔසොවා ගැනීමට නොහැකි තරම් දුබල වී ගියා ය. බෝසත් තවුසාණෝ තවුසිය වත්තම් කොට කැටිව පැමිණ නුවර දොර කොටුවේ වූ අම්බලමකට ගොඩ වී ගත් හ. එහි තුබූ ලෑල්ලක් මත ඈ පරිස්සමට හොවා පිඬු සොයා යනු පිණිස පිටත්ව ගියේය. හේ ශාලායෙන් නික්මෙනවාත් සමගම තවුසි තොමෝ කලුරිය කළා ය. කිසින් නොදත් තවුසාණෝ පිඬු සොයා නැවතත් අම්බලමට පැමිණෙද්දී එහි මහා සෙනගක් රැස්ව සිටිනු දැක ඒකාන්තයෙන්ම තවුසිය කලුරිය කර ඇති බව වටහා ගත්තේ ය. සෙනග අතරින්ම පීරා තවුසිය හුන් තැනෙට පැමිණි හේ එහි ලෑල්ලේ අනෙක් කෙලවරෙහි වාඩි වී බොජුන් වළඳන්ට වී.
රැස්ව හුන් ජන සමූහයා ළෙහි අත් පහරිමින් හඬා වැළපෙති. ඔව්හු නම්ගොත් නොදන්නේ,
‘අහෝ සුන්දරිය නැසී ගියායැ. අහෝ දෙවු දුවණිය නැසී ගියායැ. අහෝ අවාසනාවක තරම. මෙතරම් සෝබාවත් මෑ පණ පිටින් බලා ගන්ට අප පින් මද වූවෝ වූම්හ. අහෝ ඈ පණ පිටින් සිටිද්දී නොදුටු මේ දෑස් ඈ මළ කල්හී පමණක්ම දිටී. අහෝ අභාග්යකැ තරම. අහෝ පින් නැති බවෙකැ තරම’ යී කියමින් වැලැපුනහ.
“බිඳී යාම ස්වභාව කොට ඇති දෙය ඒකාන්තයෙන් බිඳී යන්නේම යැ. සියලු සංස්කාර ධර්මයෝ අනිත්යයෝයැ. ඉදින් සම්මිල්ල හාසිනිය එයින් කවරාකාරයෙන් වෙනස් වන්ටදැ!”
මේ අප මහ බෝසතාණෝ සිතූ සැටිය.
අහෝ අසිරියක්මැයි. අත්භූත දෙයක්මැයි. අතිශය රුවින් යුක්ත මහබෝසත් කෙලෙඹි පුත් එවැනිම රූපවත්, මනුෂ්‍ය රූපය ඉක්මවාගිය, දිව්‍ය රූපයක් සදිසි සම්මිල්ල හාසිනිය හා ඉතා අකමැත්තෙන් නමුත් යුග දිවියට එලඹෙද්දී සොඳුරු නව යොවුන් වියෙහිය ඔවුන් ජීවත් වූයේ. ධනය බලය පිරිස් සම්පත්තිය අඩු නැතිව පැවැති ඔවුන්ගේ ජීවිත අත්යත්තයෙන්ම සැප බහුල එකෙකි. සෞභාග්‍යමත් ගිහි දිවියකටැ ඇවැසි සියල්ල එහි අඩුවෙක් නැතිවැ තිබුණි. නමුත් ඒ සියළු භෞතික සැපයන් ඉක්මවා ගිය මහා සැපයෙක්, පොහොසත් බවෙක් ඔවුන්ගේ සිත් තුල වූයේ ය. ඔවුන් ආශාකළේ පැවිද්දටය. බඹසරටය. නෛශ්ක්රම්යටය. සිලයටය. දානයටය. හුදෙකලාවටය. ධර්මයටය. අමා මහ නිවනටය. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ වැටහීමක් ඔවුන් තුළ නොපැවතියත්, ආර්ය අශ්ඨාංගික මාර්ගය පිළිබඳ ඔවුන් නොදැන සිටියත් ඔවුන් සොයා ගියේ පරම පිවිතුරු නිර්වානය ය. බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳ සිහිනෙකින්වත් නෑසෙන එවන් කාලයක ඒ සඳහා ඔවුන්ට කළ හැකි උපරිම දේ ඔවුහු කළ හ. ගිහි ගෙයි වසද්දීම පිරිසිදු බඹසර හැසිරුන හ. මාපියන්ට නැදි මයිලන්ට කීකරුව ඔවුන් සිත් නොරිදමින් ගිහි ගෙයි වුසූ හ. කල් එළෙඹි වහා ගිහිගෙන් නික්ම පැවිදි කිස පිරූහ. ස්වාමියා බිරිඳගේ ශීලයට ගරු කළේ ය. ඊට උපකාර කළේ ය. අනූමෝදන් වූයේ ය. බිරිය ද එසේම ය. සිල් රකින ස්වාමියාට සිතින් කයින් වචනයෙන් අර්ථයම සිද්ධ කළා ය. උපකාර සෑදුවා ය. සම සිතිවිල්ලෙන් යුක්ත වූවා ය.
එසේ වූ සම්මිල්ල හාසිනිය දැන් මිය ගොස්යැ. ප්‍රාණය නිරුද්ධ වී ශරිරය දර කඩක් සේ වී. සීතල වී. දරදඬු වී. මෙයයැ ලෝක ස්වභාවය. සියල්ල වැනසී යන්නේමයැ. කෙතරම් රූපවත් වුවත්, කෙතරම් ධනවත් වුවත්, කෙතරම් බලවත් වුවත්, ස්ත්‍රී පුරුෂ සියල්ලෝ මරණය කෙලවර කොට පවතින්නේයැ.
බෝසත් තවුස්තෙමේ මනා සිහි නුවණින් යුක්තව පිණ්ඩපාතය වළඳා සිය මුව සහ දෑත් දොවා ගත්තේ ය. එහිම පළඟක් බැඳ වාඩි වී. ඒ දුටු මිනිසුන් මෙසේ ඇසී.
“ස්වාමීනී, මේ අභිරූපවත් දිව්‍ය ස්ත්‍රිය කවුරුන්දැ? මෝ නුඹ වහන්සේ හඳුනන එකියක්දැ?
“ඈ මා ගිහි කල බිරිය වෙත්”
“අහෝ ස්වාමීනී, මේ නුඹ වහන්සේගේ ගිහිකල බිරින්දෑලූ. නුඹ මෑගේ ස්වාමි පුරුෂයා වූයේ ලූ. අහෝ ස්වාමීනී, අපි වනාහී ඥාතීහු නොවෙත් ම මෑගේ අසාමාන්‍ය රූ කඳින් කැළැඹී ගියෝ බිරින්දෑවරු සහිතව දරුවෝ මුනුබුරෝ සහිතවැ මෙහි හඬා වැලැපෙන්නෙමු. ශෝකී වන්නෙමු. හද පැලී යන තරම් කම්පිතවැ සිටින්නෙමු. අප මෑගේ මරණය ඉවසාගත නොහී වැලැපෙන්නෙමු. හඬන්නෙමු. නමුත් කුමක් හෙයින් නුඹ වහන්සේ මෙසේ පියොවින් සිටිත්ද? හඬා නොවැලපෙත් ද? ශෝකප්රාප්ථ නොවෙත්ද?”
බෝසත් තවුසාණන්ගේ අසිරිමත් නිහඬ බවත් ඉවසිලිවන්ත ස්වභාවත්ය පිළිබඳ වික්ශිතභාවයට පත් ජනයා ප්‍රශ්ණ කළහ. අපගේ බෝසත් තවුසාණෝ ඔවුන්ට මෙසේ කීහ.
“පින්වත්නි, මෑ මා ගිහිකල මනා පතිවෘතාවෙන් සිටි මා ප්‍රිය බිරිය බව සැබෑව. මා තවුසෙක් වූ දා පටන් කීකරු අන්තේවාසිකයෙකු සෙයින් මා ගුරු තන්හි ලා බඹසර හැසිරුනු තාපසියක් වූ බවත් සැබෑව. ඈ ජීවත් වෙද්දී මා හා ඒ ආකාරයේ සම්බන්ධතාවයෙක් තුබූබවත් සැබෑව. නමුත් දැන් ඈ මළ කල්හි මේ මෘත දේහය හා මාගේ සම්බන්ධය කිම? ඈ දැන් පරලොව සිටින කල්හි මා මේ ලොව වසන කල්හි අපගේ කුමන නම් සම්බන්ධයෙක් ද? ඈ දැන් වෙනත් ලොවක ජීවත් වන්නීය. ඉදින් මා කවුරුන් ගැන කුමන කාරණයෙන් හැඬිය යුත්තේ ද? හැඬීම පිණිස යුක්තියක් මා හට නොපෙනෙන කල්හී මා කිසෙයින් වැලපෙත්ද?”
බෝසත් තවුසාණෝ මෙසේද කීහ.
“ඒ පින්වතිය දැන් මළවුන් අතරයැ. මිය ගිය අය හා මා හට කුමන සම්බන්ධයක් දැ? එබැවින් ප්‍රිය වූ සම්මිල්ල හාසිනිය පිළිබඳ මම් ශෝක නොකරමි.”
“යම් යම් දෑ තමාට අහිමි වී ද ඒ ඒ දෑ ගැන සිතා ශෝක කරන්නේ ය යන්න ඵල රහිත යැ. මුළුමනින්ම මාරායාගේ වසඟයට පත් වී සිටින මම් ගැන මා ශෝක කරමි.”
“ඇසිපිය හෙළන ඇසිල්ලෙහි සත්වයෝ වයස්ගත වී යෙති. කාලය ගෙවි යෙයි.”
“ඉදින් එහිලා තමා ද අයුෂයාගේ පරිහානියට යන මාවතේ බැස හුන් කල්හී අයුෂයාගේ ගෙවී යාමෙන් පහර කෑ අනෙකුන් කෙනෙක් ගැන කුමටනම් ශෝක කරත්ද? තමා ද මිය යෑම නිසැක කල්හී අනුන්ගේ මිය යෑම ගැන කුමක් නිසා ශෝකී වෙත්ද?”
“එසේ මරණයට පත් වී වෙන් වී යෑම නිසැක කල්හී ජීවත් වන සෙස්සෝ දයා සිත් ඇත්තෝ විය යුත්තාහු ය. මෛත්‍රී සිත් ඇත්තෝ විය යුත්තාහුය. මරණය පිළිබඳ ශෝකී නොවී අප්‍රමාදීව දයා සිත් පුරුදු කළ යුත්තේ ය.”
මෙසේ දහම් කථායෙන් ජනයා සන්තෝශ කැරැවූ අපගේ බෝසත් තවුසාණෝ යලි හිමාලය පලා පිටත් වූහ. ජනයා එක්ව තාපසියගේ ආදාහන කටයුතු සිදු කළහ.