විසයිහ ජාතකය

එකල බරණැස් නුවර අසූකෙලක් ධනය ඇති සිටු කුලයෙකැ අප මහ බෝසතාණෝ පිළිසිඳ ගත් හ. උපන් මොහොතේ ‘විසයිහ’ නමින් නම් ලත් හේ මනාව වැඩී ‘විසයිහ මහ සිටුහු’ බවට පත් වූහ. හේ නිති පන්සිල්හි පිහිටා සිටිමින් දානයෙහි ඇලි සිටියේ ය. නුවර වාසල් දොරටු සතරේත්, නගරය මැදත්, තම සිටු මාළිගය ඉදිරි පිටත් මහ දන්හල් කරවා දිනපතා මහ දන් දුන්නේ ය. එක් දන්හලක වියදම දිනකට කහවණු ලක්ෂ සයකි. මෙසේ දිනකට කහවණු ලක්ෂ තිස් හය බැගින් වියදම් කරමින් හේ මහ දන් දුන්නේ ය. සිටු මාළිගයේ යම් ආකාරයෙන් භෝජන පිළියෙල වෙත්ද දන් හලෙත් එසේම ය. එහි වෙනසක් නැත්තේ ය. සෑම දිනකම අනර්ඝ සිටු භෝජනයම දන් හලේ බෙදෙන්නේ ය. සිටුතුමාගේ දාන චේතනාව ඒ ආකාරයෙන්ම වටහාගෙන සිටිනා සිටුබිරිය ද එසේම ය. ඈ ද සිටුතුමාගේ දානයන් උදෙසා වෙහෙසෙමින් එහි බර දරමින් බොහෝ කැප වී දන් දෙන්නී ය. සිටුතුමා සිය පෞද්ගලික කටයුතු පවා බැහැර ලමින් දන් හල්හි කටයුතු සොයා බලමින් දවස ගෙවද්දී ඕ කිසි විටෙක මුහුණ හකුලා නොගත්තී ය. මැසිවිලි බස් නොදොඩන්නී ය. වදයන් නොපමුණුවන්නී ය. එක සිතින් ඒ සියල්ල අනුමෝදන් වන්නී ය. තමාට කළ හැකි උපරිමයෙන් සිය ස්වාමි පුත්‍රයාණන්ගේ දාන ව්‍යායාමයට රුකුල් දෙන්නී ය. ධෛර්‍යමත් කරන්නී ය. ඊටම අනුබල දෙන්නී ය. ඒ සිටු දුවණිය අන් කිසිවෙකුත් නොව අපගේ යසෝදරාවෝ ය.

අතිශයින් කිත් යසස් ඇති දාන සෘෂී වූ විසයිහ සිටු තෙමේ මෙසේ මහ දන් දෙද්දී ඒ මහා දානයාගේ තේජසින් සක් දෙවිඳුන්ගේ පාණ්ඩුකම්බල සෛලාසනය කම්පිත වී ගියේ ය. කුමක් නිසා එසේ වූයේදැයි බලද්දී සිය දිවිය කැප කොට දන් දෙන්නා වූ අපගේ බෝසත් විසයිහ සිටුතෙමේ සක් දෙවිඳුන් දිටී. හේ මෙසේ සිතී ය.

‘මේ විසයිහ සිටු තෙමේ සියලු දඹදිව පතල කෙරෙමින්, තම සියළු කටයුතු නවතා දමා මහදන් දෙයි. මොහු මේ සැරසෙන්නේ මාගේ ශක්‍ර බාවය ලැබීමට විය යුතුයි. මෙතරම්ම වෙහෙස වී කැප වී දන් දෙන්නේ සක් දෙව් බව පතා විය යුතුයි. එනිසා මා එය වහා නවතා දැමිය යුතුයි. සතුරා බිහිවීමට පෙර නුවණැත්තා යම් අයුරකින් ඒ අනාගත සතුරා වළකාලත් ද මම් ද එසේ මේ විසයිහ සිටුහුගේ දානයන් විනාශ කර දැමිය යුතුයි.’

මෙසේ තමාගේ අතිශය සුඛ සම්පන්න දිව්‍ය යස ඉසුරින් මත්ව ක්ලේශ වසඟව ගිය සක් දෙව් තෙමේ නිස්කාරණයේ අපගේ බොසත් විසය්හ සිටු පිළිබඳ නපුරු සිත් උපදවා ගතී. හේ විසය්හ සිටු මාළිගයේ තුබූ සියලු වස්තුව අතුරුදන් කළේ ය. යටත් පිරිසෙන් කැත්තක් උදැල්ලක් හෝ නොතබා සියල්ල අතුරුදන් කළේ ය. දන් හල්වල තුබූ සියලු දාන උපකරණ අතුරුදන් කළේ ය. දැසි දස්සෝ ද සියලු දාස කම්කරුවෝද අතුරුදන්  කළේ ය.

දාන ශාලාවන්හි කටයුතුවල නිරත වී සිටියවුන් බියට පැමිණ සිටු තෙමේ සොයා ආහ. ඔවුන් මෙසේ කීහ.

“අහෝ අපගේ මහ සිටුතුමනී. කුමක්දෝ දෙයක් සිදු වී ඇති සෙයකි. දන්හල් වල කිසිවක් පෙනෙන්ට නැත. භෝජණාදිය තබා හිඳගන්නා ආසනයක්වත් පෙනෙන්ට නැත. සියල්ල අතුරුදන් වී ගොස්ය. තත්වය මෙසේකල අප විසින් දන් හල් කෙසේ පැවැත්විය යුතු දැයි අපට නොතේරේ. සිටුතුමනි, අපි දැන් කුමක් කරමුද?”

සිටුතුමා මෙසේ කීය.

“හිතවතුනි, දාන කලමණා ඇති තරම් මේ මාළිගයෙන් රැගෙන යන්න. මාගේ දන් වැට නොසිඳා අඛන්ඩව පෙරටත් වඩා දියුණුවට පවත්වාගෙන යන්ට.”

අනතුරුව සිටු තෙමේ සිය දේවිය කැඳවී ය. හේ ඇය අමතා මෙසේ කීය.

“සොඳුර, අපගේ දානයෝ නොසන්සිඳීම පිණිස ඛණ්ඩනය නොවීම පිණිස කටයුතු කළ මැනව. ඊට කාරණා සොයා බලා අවශ්‍ය දෑ සම්පාදනය කල මැනව”

ඕ මුළු සිටු මාළිගය පුරාම සොයා බලන්නී එහි කිසිවකුත් ඉතිරි වී නැති බව දුටුවාය. වහා සිටු තෙමේ වෙත පැමිණ මෙසේ කීවාය.

“ස්වාමීනී, අප දෙදෙන හැඳ සිටින හැඳුම් හැරුනු කළ අන් කිසිවක්ම පෙනෙන්ට නැත. මුළු ගෙයම හිස් වී ගියේ යැ.”

මැදුරෙහි වූ සත් රුවන් ගබඩාදියත් අනෙකුත් කලමණා සහිත ගබඩාදියත් හැර බැලූ කල ඒවා ද හිස්ව ගොස් ඇති බව සිටු තෙමේ දුටුවේ ය. මෙසේ සිටුතුමාත් සිටුදේවියත් හැරුනු කල දැසි දස්සන්ගේ පටන් සියළු දෙයින් සිටු මාළිගය හිස් වී ගොස් තිබිණ.

සිටු තෙමේ සිය බිරිය අමතා මෙසේ කීය.

“සොඳුර, මා හට දන් දීමනම් නවතා දැමිය නොහැකි. නමුත් මා සන්තක කිසි දෙයක් දානය පිණිස දැන් මා හට නැත්තේ ය. නමුත් මා කෙසේ හෝ දන් දීම ද කළ යුත්තේ ය. සොඳුර, නැවත වාරයක් ගොස් අපට දන් දිය හැකි කිසිවක්ම නැද්දැයි බලාගෙන එනු මැනව”

සිටුදේවිය නැවත වාරයක් සත් මහල් ප්‍රාසාදයම පිරික්සීය. හොඳින්ම පිරික්සීය. සියලු වැසුණු නොමවැසුනු තැන් පිරික්සීය. එවිට තණකොළ කපන්නෙකු විසින් අමතක වීමකින් දමා ගිය දෑකැත්තක් ද, පැසක් ද, තණ මිටි බඳිනා රැහැන් පටක් ද මාළිගා දොරටුව අසල තිබී ඈ සොයා ගත්තා ය. ඒ උපකරණ සිය ස්වාමියා හට පෙන්වමින් ඈ මෙසේ කීවා ය.

“ස්වාමීනී, මේ තණ කපන්නෙකු අමතක වීමෙන් දමා ගිය උපකරණ කිසිවක් තිබේ. මේ හැරුනු විට අන් කිසිවක්ම නොපෙනේ.”

එවිට බෝසත් සිටු තෙමේ මෙසේ කීය.

“සොඳුර, මෙතුවක් කල් මා විසින් තණ කොළ කැපීමක්නම් සිදුකර නැත්තේ ය. නමුත් දැන් මා තණ කපා ගෙනවුත් විකුණා හෝ දන් දිය යුතු යි.”

දානය කඩවේ’යැයි බියෙන් සිටු තෙමේ වහ වහා තණ ඇති භූමියක් සොයා ගියේ ය. එහි තණ කපා මිටි දෙකක් බැඳ ‘මින් එක මිටියක් විකුණා අප දෙදෙනාගේ දිවි පවත්වා ගන්නෙමු, අනෙක් මිටිය විකුණා ලැබෙන මුදලින් දන් දෙන්නෙමු’ යී සිතූ හේ තණ මිටි දෙක කදක එල්ලාගෙන නගර වාසල් දොරටුව අසළට ආයේ ය. ඉන් කහවණු කිහිපයක් හේ උපයා ගත්තේ ය. එය යාචකයන් සඳහා දානයක් කොට දී ඉතිරි මුදල ගෙන සිය මාළිගය බලා ආයේ ය. ඔහු එනු දැක මාළිගයේ දන් හල තුල හිටි යාචකයෝ සිටුතුමන් වට කොට ගතී. යමක් ඉල්ලා ආයාචනා කළ ඔවුන්ට ඉතිරි මුදලත් දන් දී හේ හිස් අතින් මාළිගය තුලට ගියේ ය. එදා දවස නිරාහාරයෙන් ගත කළෝ ය. දෙවන දිනත් සිටුතුමා දෑ කැත්තත් පැසත් කදත් ගෙන තණ කොළ මිටි කැපීම පිණිස වනයට ගියේ ය. එදිනත් පෙර සේම හේ හිස් අතින් නිවසට ආයේ ය. තෙවන දිනත් එසේම විය. සිව්වන දිනත් එසේම විය. දින සතරක් පුරා තමනුත් බිරියත් කිසිවක් අනුභව කොට නැත. එනිසා ඉතා සිවුමැලි ඔවුන් වහා දුර්වල වී ගියහ. නමුත් දන් දීමෙහි තදින්ම ඇලී සිටි සිටු තෙමේ ඉතාමත්ම අපහසුවෙන් වුවත් දෑ කැත්තත්, පැසත් කදත් ගෙන තණ මිටි කපා එනු පිණිස වනයට ගියේ ය. එදින ද වෙනදා සේම හිස් අතින් හේ නිවසට ආයේ ය. මෙසේ දින සයක් ගෙවුනි.

අහෝ ආශ්චර්‍යක්මැයි. තමන් වහන්සේ කුස ගින්නේ සිටිද්දීම තව තවත් දානය පිණිසම වැර යොදයි. දන් දෙයි. උත්සාහය අත් නොහරී. පසුබට නොවෙයි. අහෝ, මහ බෝසතාණන් වහන්සේ නමකට හැරුණු කොට අන් කවරෙක්නම් මේ සා උත්සහවත් වෙත්ද? මහ බෝසත්හුගේ වීරිය, අදිෂ්ඨානය ආශ්චර්‍යක්මැයි. ඉවසීම දරාගැනීම ආශ්චර්‍යක්මැයි. බෝසත් බිරින්දෑ ද එසේම ය. ධනයෙන් පරිහාණියට පැමිණියත් ඈ සිය සිත නොවෙනස්ව තබා ගත්තා ය. දානය පිළිබඳ නොමසුරු වූවා ය. අතිශයෙන්ම ඉවසුවා ය. දරා ගත්තා ය. ප්‍රිය හිමි හට ශක්තියක් වූවා ය.

ඇත්තටම එදින ඈ අපහසුබව පෙන්වමින් නොකමැත්ත ප්‍රකාශ කළානම්? සිය සැමියා වචනයකින් හෝ වෙහෙසෙව්වානම්? කුස ගිනි දරා නොගනිමින් විරුද්ධ වූවානම්? නොරිස්සුම් කථා කියමින් සිය හිමිගේ සිත කැලඹෙව්වානම්? එසේත් නොමැතිනම් ඈ හිමිගේ නිවසින් පිටමංව මාපියන් වෙත හැරී ගියානම්? දිළිඳු සැමියා රිදවමින් සොර සැමියන් පැතුවානම්? අහෝ!  ඈ එවන් වූ දැයක් නොකල නිසාමය අපගේ මහ බෝසතාණන් වහන්සේගේ පාරමිතාවන් වහා පරිපූර්ණත්වයට පත් වූයේ. ඈ එසේ නොකළ නිසාමය අපගේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වී වදාලේ. ඈ එසේ නොකළ නිසාමය අද අප හට ගෞතම සම්බුද්ධ ශාසනය දායාද වූයේ. ඈ එසේ නොකළ නිසාමය, කිසිත් නොදැන අකුසල් තුල ගිලී යමින් මරණින් මතු සතර අපායට යෑම උරුම කොට සිටි අපි උත්තම ශ්‍රි සද්ධර්මය අසා කුසල් වඩමින් පින් පුරමින් සුගතියට යන පිලිවෙතෙහි යෙදෙමින් තිසරණය තුල පිහිට ලබා ගන්නේ. එනිසා ඒකාන්තයෙන් නුවණැත්තෝ නම් අපගේ උත්තම යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ මහා ගුණ කඳ ආයෙ ආයෙත් සිහි කරනු ඇත. ඒ උතුම් ගුණයට පූජා සත්කාර කරනු ඇත. ඒ ගුණයන් සතුටින් අනුමෝදන් වනු ඇත. ඒ ගුණ සත්‍යයේ අනුහසින් නොපමාව තමන්ටත් අනෙකුත් සියල්ලන්ටමත් සෙත සලසා ගනු පිණිස උත්සහවත් වනු ඇත.

මෙසේ අතිශය දුෂ්කර අවස්ථාවල දී පවා උත්සාහය අත් නොහරිනා අපගේ බෝසත් සිටුතුමාණෝ සත්වෙනි දිනයේදිත් තණ මිටි කපාගනු පිණිස වනය බලා පිටත් වූයේ ය. තණ මිටි රැගෙන එද්දී ඉතා සිවුමැළි සිටුහුගේ නළල් තලෙහි දැඩි හිරු රැස් පතිත වී ගතී. ඒත් සමගම නිර්ආහාරයෙන්  අතිශයෙන්ම දුබලව සිටියෙන් දෑස් බමන්ට වී. සිහි එළවා ගත නොහී තණ මිටි ද සමගින් හේ බිම ඇද වැටුනි. තණ මිටිය සී සී කඩ විසිරී ගියේ වී. ඒ මොහොතේ සක් දෙව් රජ අහසේ පෙනී සිටියේ ය. හේ මෙසේ කීය.

“එම්බා විසයිහ නම් වූ සිටුතුමනි, නුඹ පෙර රිසිසේ දන් දුන්නේ ය. ඒ දීමෙන්ම නුඹගේ වස්තුව සමාප්තියට ගියේ ය. ඉදින් මින් මතු නුඹ දානයාගෙන් වෙන් වී යා නම් මම් නුඹට පිහිට වන්නෙමි. නුඹගේ සියළු අටු කොටු පුරවා දෙමි. සියළු වස්තූන්ගෙන් නුඹ පොහොසත් කරවමි. දැසි දස්සන් දෙගුණ තෙගුණ කොට ලැබීමට සලස්වමි. මෙසේ දානයෙන් වැළකෙන නුඹට බොහෝ වස්තු ලැබෙන්නේ ය. බොහෝ සම්පත් ඇති වන්නේ ය.”

අපගේ බෝසත් සිටු තෙමේ බිම වැතිර සිටියදී ම, අහසේ සිට ඇසෙනා නෑසිය යුත්තක්ම කියනා මේ නපුරු හඬ කාගෙන් උපන්නෝහෝදෝයි සිතමින් ඉතා අසීරුයෙන් දැස් හැර බැලුවේ ය. ඉහල අහසේ යම් දිව්‍යමය වූ රූපයක් හේ දිටී. දුර්වල වූ දෑස් නිසා බොඳ වී පෙනුන එම රූපය සක්දෙවු රජුගේ විය යුතු බව හේ ප්‍රඥාවෙන් දැන ගත්තේ ය. දුබලව වෙවුලනා මුවින් බිඳුනු ස්වරයෙන් හේ මෙසේ කීය.

“ප්‍රඥාවෙන් නිර්මිත දහසක් ඇස් ඇති හෙයින් සහස්ස නෙත්ත වූ සක් දෙව් රජුනි, දුප්පත් වුවත් පොහොසත් වුවත් පවුකම් නොකළ යුත්තේ ය. මා පහත් වූ මගකට ඇද දමනු කැමැත්තේ ඔවැනි දෑ බිණුවෙහි ය තෙපි. සම්පත් නිසා ශ්‍රද්ධාව ඉවතලිය යුතුනම් මා හට ඒ සම්පතින් කම් නැත.”

“යම් රථයක් යම් මාර්ගයක යයිද, පිටු පසින් පැමිණෙන අනෙකුත් සියලු රථත් යන්නේ ඒ මාර්ගයේම ය. එනිසා මම් දන්දීම අත් නොහරිමි. දන්දීම නම් මාර්ගයෙහි ධාවනය කරවාලූ මාගේ ජීවිතය නමැති රථය යම් තාක් ධාවනයේ යෙදේ ද, ඒ එකම දන්දීම නමැති මාර්ගයේ වග එම්බා සක්‍රය නුඹ දැන ගනුව. පෙර පටන් පවත්වාගෙන ආ මාගේ දන් වැට සශ්‍රීක වේවා!!! තව තවත් දියුණුවට ම යේවා!!!”

“ඉදින් මා හට යම් දෙයක් ඇත්නම් මා එය ද දන් දෙමි. නැතිකළ මා කුමක් දෙම්ද? මම් මේ දිළිඳු තත්වයේ සිටත් දන් දෙන්නෙමි. දානය පිණිස පමා නොවන්නෙමි”

දානයෙන් සිටුතුමන් වළක්වාලිය නොහැකි බව හැඟී ගිය හෙයින් සක් දෙව් තෙමේ මෙසේ ඇසුවේ ය.

“නුඹ මෙතරම් තර්ජනය කරමින් දන් දීමෙහි මේසා කැප වන්නේ කුමක් නිසාද? මාගේ සක් දෙව් පදවිය පිළිබඳ කැමැත්තෙන්ද? නැතිනම් ඉමහත් දුකින් ලබා ගත යුතු වූ අන්‍ය වූ සම්පත්තියක් නිසා ද?”

එවිට අපගේ බෝසත් සිටු තෙමේ ඔද වැඩී ගිය සිතින් අමුතුම පණක් ලද්දා සේ එඩිතරව මෙසේ කීයේ ය.

“එම්බා සක් දෙවිඳුනි, නුඹගේ දිව්‍යශ්‍රියෙන් මා හට කම් නැති. අනිත්‍ය වූ නුඹගේ සැපයෙන් මම් කෙසේනම් නිත්‍ය වූ සැපයක් ලබම්ද? නමුත් මා තුල අන්‍ය වූ චේතනායෙක් වෙයි. එනිසා ය මා මෙතරම් දුෂ්කර වූ දෑහි යෙදෙන්නේ. ඒ අන් කිසිවක් නොව සම්මා සම්බුද්ධත්වය පිණිසම ය. නුඹවන් කෝටි ගණන් සක්‍ර පදවි පරයා මම් සම්මා සම්බුද්ධත්වයට ම ආල කරමි. සකල ලෝක සත්වයා දුක් සයුරින් එතෙර කරවා නුඹ ඇතුළු සියළු දෙව් බඹ මනුෂ්‍ය පිරිස් වෙත ඒ අමුර්ත පදය වූ අමා මහ නිවන් සැප ලබා දෙනු රිසියෙන් මා මේ සියළු දුක් අනුභව කරමි. ඉතා දුෂ්කරව මුත් දන් දෙමි. දානයෙහි ඇලී සිටිමි.”

සිංහ ගර්ජනාවක් බඳු අපගේ මහ බෝසතාණන් වහන්සේගේ ගර්ජනායෙන් සක් දෙව් රජ වෙව්ලා ගියේ ය. හේ දොහොත් මුදුන් දී සාදුකාර දුන්නේ ය. සක් දෙවු රජ තමාගේ දෑතින් බිම වැටී සිටින අපගේ මහ බෝසත් විසයිහ සිටුහුගේ පිට පිරිමැද්දේ ය. ඒ ක්ෂණයෙන් සියලු කුසගිනි පීඩා කායික දුර්වලතා අතුරුදන් වී ගියේ ය. නවමු පණක් ලත් සේ වහා නැගිට ගත් අපගේ විසය්හ සිටු තෙමේ සිය දෑතත් දෙපයත් පිරිමැද්දේය. හොඳින් දෑස් දල්වා අවට බැලී ය. එවිට ඉහල අහසේ තමන් දෙස දෑත් නළලත තබා වන්දනාකරමින් සිටින සක් දෙවු රජ හේ දිටී. එවිට සක් දෙවු රජ මෙසේ කීය.

“පින්වන්ත මහ සිටුතුමනි, මාගේ වරදට මා හට සමාව ලබා දෙනු මැනව. මා මේ මොහොතේම නුඹ වහන්සේගේ සියළු අටුකොටු පුරවාලීමි. මාළිගයේ සෑම අස්සක් මුල්ලක් පාහේ රන් රුවනින් උතුම් මැණිකෙන් පුරවාලීමී. දන්හල් දාන කලමණාදියෙන් පුරවාලීමී. දැසි දස්සෝ දෙගුණ තෙගුණ සිව්ගුණ කොට කැඳවාගෙන ආමි. සිටුතුමනි. දන් දෙනු මැනව. මේ සියල්ලම දානය පිණිස දෙනු මැනව. අත් නොහැර ම දන් දෙනු මැනව. නුඹ වහන්සේ කොපමණ දුන්නත් මේ ධනයාගේ කිසිඳු ක්ෂය වීමක් නොම වෙත්ම ය. අඩු තැන් පුරවාලමින් නුඹ වහන්සේ පිණිස ධනය පහළ වෙත්ම ය”

මෙසේ කියමින් විසයිහ සිටු වටා පැදකුණු කළ සක් දෙව් තෙමේ දොහොත් මුදුන් දී නැවතත් සාදු කාර දෙමින් එයින් අතුරුදහන් වී සක් දෙව් භවනටම ගියේ ය.

අපගේ විසයිහ සිටු තෙමේ සිය ප්‍රිය බිරින්දෑ ද සමගින් දිවි ඇති තෙක් දන් දී ආයුෂයාගේ කෙලවර උතුම් දෙව් පුරයට වැඩි සේක.