සුසීම ජාතකය

පෙර බරණැස් රජු රාජ්‍ය කරවන කල්හි අප බෝසතාණන් වහන්සේ ඒ රජුගේ පුරෝහිත බමුණානන්ගේ ගෙයි ඉපදුනේ ය. එකල ම රජුගේ අගමෙහෙසිය ද පුත් කුමරකු බිහි කළා ය. කුමරුවන්ට නම් තබනා දිනයේ දී බෝසත් කුමරුවාණන්ට ‘සුසීම’ නමිනුත්, රාජ කුමරුවාණන්ට ‘බ්‍රහ්මදත්ත’ නමිනුත් නම් තබන ලදී. කුමරුවන් දෙදෙනාම එක දිනයේ උපන් නිසා රජතුමා සුසීම කුමාරයාණන් ද රජ ගෙට පමුණුවා කුමාර සම්පත්තියෙන් ඇති දැඩි කළේ ය. නිසි වියට පැමිණි කල දෙදෙනම ඉතා විශිෂ්ඨ රූපයෙන් යුතු දිව්‍ය කුමාර විලාශයෙන් ද දුටුවන් සිත් බැඳගන්නා වර්ණ සම්පත්තියෙන් ද තේජසින් ද යුක්ත වූහ. ශිල්පයන් උගෙන යලි සිය රට බලා පැමිණි කල බ්‍රහ්මදත්ත කුමාරයා හට පියරජු ඇවෑමෙන් බරණැස රජකම ලැබුණු අතර සුසීම කුමරුවාණන් රාජ්‍ය පුරෝහිත ධූරය ද ලැබුණි.

දිනක් නුවර සරහා ‘අලංකාර කරන ලද ඒරාවන ඇත් කඳ මත නැගි සක් දෙව් රජ’ සේ බ්‍රහ්මදත්ත රජතුමා රාජකීය හස්තියා මත නැගී සිටියේ ය. ඊට නොදැවෙනි අයුරින් සැරැසුණු සුසීම පුරෝහිතතුමන් තමාගේ නිල අශ්වයා පිට නැගී සිටියේ ය. දිව්‍ය රාජයන් දෙදෙනෙකු සදිසි රජතුමාත් පුරෝහිත තුමාත් සරහන ලද නගරය ප්‍රදක්ෂිණා කරමින් රාජ වීථීය දිගේ පැමිණෙමින් සිටියහ. එවිට රාජකීය මවුබිසව සිය පුතණුවන්ගේ අසිරි බලන්නෙමි’යී සිතා සී මැදුරු කවුළුයෙන් රාජ වීථිය දෙස බලද්දී ස්වකීය පුතු ඉක්මවා අලංකාරයෙන්, පැහැයෙන්, තේජසින් හා සියලු ආකාරයෙන් බබලනා පුරෝහිත කුමරුවාණන් දුටුවා ය. දුටුවන ම පුරෝහිත කුමරුවාණන් පිළිබඳ සිතක් ඇති වූ ඕ තොමෝ බොහෝ වේලාවක් ඔහු දෙස ම බලා සිටියා ය. ඕ තොමෝ එතැනින් ඉවත්ව සිය යහන් ගැබට යන්නී අන් එකඳු කාරණයක් ගැන හෝ නොව සුසීම කුමරුවාණන් ගැන ම සිතුවා ය. ඕ තොමෝ සිය යහන් ගැබට වන්නී එහි යහනෙහි වැතිර ගත්තී ය. මෙසේ අදිටන් කැරුවා ය.  ‘සුසීම පුරෝහිත කුමරුවාණන් මාගේ ස්වාමියා නොවෙත්නම් මා එතුමාණන්ගේ ප්‍රිය මෙහෙසිය නොවෙත්නම් මා හට මේ ජීවිතයෙන් කම් නැත. මට ආහාර ද අවශ්‍ය නොවේ, පැන් ද අවශ්‍ය නොවේ. මා මෙහිම මිය යන්නෙමී’

ඕ තොමෝ අතිශය දැඩි අදිටනින් යුතුව සයනයේ හොත්තී යහන් ගැබෙන් පිටතට යාමෙක් හෝ අඩු තරමින් සයනයෙන් නැගිටීමක් හෝ නොකළා ය.

මැදුරට පිවිසි රජ තුමන් සිය මෑණියන් දකින්ට නොමැති හෙයින් ඒ වග සේවිකාවන් අතින් විචාලේ ය. මෑණියන් යම් ගිලන් බවකින් යුතු බව ඇසූ හේ වහ වහා මෑණියන්ගේ යහන් ගැබ කරා ගියේ ය. රජු මෙසේ ඇසුවේ ය.

“මෑණියනි, මම් නුඹ වහන්සේ මැදුර තුළ නො දුටුවෙමි. නුඹ වහන්සේ ගිලන් වී ඇති බව අසා මෙහි පැමිණියෙමි. මා හට නොවලහා පැවසුව මැනව. නුඹ වහනසේ කවර නම් ගිලන් බවෙක් නිසා පීඩා විඳින්නෙහි ද? රාජකීය වෛදවරුන් මේ වනවිට පැමිණෙමින් සිටිනවා ඇති. මෑණියනි, මා හට නොවලහා පැවසුව මැනවි.”

ලජ්ජාව නිසා ඕ තොමෝ රජු හට කිසිවක් නොකීවා ය. කනස්සලු සිතින් යුත් රජ තෙමේ සිංහාසනය මත වාඩි වී කල්පනා කරන්ට පටන් ගත්තේ ය. අනතුරුව සිය මෙහෙසිය ලඟට කැඳවා මෙසේ කීය.

“සොඳුර, අපගේ මෑණියෝ යම් චිත්ත පීඩායෙකින් පෙළෙනා බව පෙනේ. මා විමසුවත් ඕ එය හෙළි නොකරයි. ස්ත්‍රීන් නම් ස්ත්‍රීන් කෙරේ නොරහස් වෙති. තතු හෙළි කරති. එනිසා නුඹ ගොස් මාගේ මෑණියන්ගෙන් තතු විමසුව මැනව.”

අගමෙහෙසි තොමෝ මෑණියන්ගේ සයනය වෙත ගොස් ඈ අසල හිඳ මෑණියන්ගේ පිට ආදරයෙන් පිරිමදිමින් කාරණය විමසා සිටියා ය. එවිට මවු තොමෝ සිය අදහස අමාරුවෙන් නමුත් හෙළි කළා ය. ඒ බව දැනගත් රජු මද වේලාවක් විවේකීව කල්පනාකොට දේවිය අමතා මෙසේ කීවේ ය.

“සොඳුර, කම් නැත. මම් අපගේ පුරෝහිතතුමන් මහ රජු කොට මාගේ මෑණියන් ඔහුට අග මෙහෙසුන් කොට දෙන්නෙමි. ඒ වග කියා මාගේ මෑණියන් අස්වසාලනු මැනව”

අගමෙහෙසිය ද රජුගේ පණිවුඩය මවු බිසවට කියා ඈ අස්වසාලී ය.

පසුදින රජ තෙමේ පුරෝහිත තුමන් රහසිගත තෙනකට කැඳවාගෙන ගොස් මෙසේ කී.

“මාගේ ප්‍රිය මිත්‍රය. මාගේ මෑණියන්ගේ ජීවිතය රැඳී ඇත්තේ නුඹේ අතෙයි. මා මිත්‍රය. මාගේ මෑණියන්ගේ ජීවිතය ගලවා දිය හැක්කේ නුඹට පමණයි. මා මිත්‍රය. හොඳින් අසව. මට උපකාර කරව. මිත්‍රය, මාගේ මෑණියන් නුඹ පිළිබඳ සිතින් නිරාහාරව දැන් දින ගනණක පටන් යහන් ගැබට ම වී සිටින්නී ය. නුඹ නොලදොත් ඈගේ දිවි තා එතරම් කාලයක් නොපවතිනු ඇත. අහෝ මාගේ මිත්‍රය, මා හට පිහිට වව. නුඹ මේ රාජ්‍ය විචාරව. මාගේ මෑණියෝ මෙහෙසුන් කොට ගනුව. මා නුඹගෙන් අයැද සිටින්නේ මා හට හිතෙක් ඇත්නම් නුඹ මා මිත්‍රයෙකු සේ තකත්නම්, මෙතුවක් කල් මා හා තොප අතර පැවතියේ සැබෑම මිත්‍ර සන්තවයක් නම්, මා මිත්‍රය සුසීම, මාගේ මෑණියන්ගේ ප්‍රිය ස්වාමියාණන් වව. මාගේ පිය තෙමේ වව. මේ බරණැස රාජ්‍යය කරව.”

‘මට මෙය නම් කිසිසේත් ම නොකළ හැක්කෙකි’ යී කියා කියාගත නොහැකි වූ පුරෝහිත තෙමේ වචනයකිදු ඊට විරුද්ධව කියාගනු නොහැකිව ඊට ශක්තියෙක් නොමැති ව බලාගත් වනම බලාගෙන හුන්නේ ය. නිහඬව ම හුන්නේ ය. පසුව ඉතාමත් අපහසුවෙන් යාන්තමින් වචන එකතු කරමින් ඉතා අපහසුවෙන් වචන ගොතා ගනිමින් හේ රජතුමාට මේ යෝජනාවට තමා අකමැති බව කියා ගත්තේ ය.

අහෝ ආශ්චර්‍යක්මැයි. අහෝ අසිරියක්මැයි. අපගේ මහ බෝසතාණන් වහන්සේ අතිශයින්ම එඩිතර වන්නාහුය. අතිශයින්ම මහා බලපරාක්‍රමයෙන් යුක්ත වන්නාහුය. අතිශයින්ම තේජාන්විත ඉර්ධිමත් අයෙක් වන්නාහු ය. මහ බෝසතාණන් වහන්සේ තිරිසන් යෝනියේ ඉපදුනත්, ඉතා දිළිඳුව බල රහිතව රොඩී ආදී හීන කුලවල ඉපදුනත් එතුමාණෝ මහා එඩියකින් යුතු වූවාහු ය. සිතෙහි මහා ශක්තියක් පැවතියේ ය. නමුත් මහ බෝසතාණන් වහන්සේ පිළිබඳ සියලු අවස්ථාවන් අතර යම් කරුණක් අරඹයා සෘජුව එඩියෙන් යුතුව විරුද්ධ බවෙක් පෙන්වාලිය නොහැකි වූ මේ එකම එක අවස්ථාවය.

ඒ අපගේ බෝසතාණන් වහන්සේගේ දුර්වල බවෙක් නිසා නොවේමැයි. එඩි මද බවක් නිසා නොවේමැයි. සෘජු නැති බවෙක් නිසා නොවේමැයි. බල රහිත බවෙක් නිසා නොවේමැයි. අන්‍ය වූ කාරණාවක් නිසා හෝ නොවේමැයි. ඒ මේ එකම එක කාරණය නිසා ය.

එනම්, නව යොවුන් ‘සුසීම’ පුරෝහිත තුමන් පිළිබඳ ස්නේහ සිතක් ඇතිකරගත් මැහැළි රාජ මාතාව අන් කිසිවෙකුත් නොව දීපංකර සම්බුද්ධ පාද මූලයේ දී නියත විවරණ ලැබ අත් නොහැර එන සෙවනැල්ල සේ අපගේ බෝසතාණන් වහන්සේ හට එක සිතින් ස්නේහ දක්වමින් පාරමිතාවන් මුදුන් පමුණුවාගැනීම පිණිස ඉත සිතින් උර දෙමින් පැමිණෙන අප මහ බෝසතාණන් වහන්සේගේ සසරගත ප්‍රිය පතිනිය වූ යසෝදරාවෝ ය. ඒ යසෝධරාවන්ගේ පති භක්තියේ ආනුභාවය නිසාම ය අප බෝසත් පුරෝහිත තුමාණෝ යෝජනාවට විරුද්ධ වී යා නොහී නිහඬ වූයේ.

රාජ මාතාවගේ සිත තුල තරුණ පුරෝහිත තුමන් පිළිබඳ ස්නේහ සිතිවිල්ලක් ආයේ කිසිසේත්ම ක්ලේෂ වසඟව නොවේ. රාග නිශ්‍රිත නොවූ, මෝහ නිශ්‍රිත නොවූ, තෘෂ්ණා දාස නොවූ එය සාන්සාරික පුරුද්ද නිසාම ඇති වූවෙකි. අතිශය නිර්මල ස්වාමි භක්තිය නිසාම හට ගත්තෙකි. කැලැල් රහිත සන්සාරගත අවංක ස්නේහය නිසාම ඇති වූවකි. ඒ සත්‍යයේ ආනුභාවය නිසාමය අපගේ බෝසතාණන් වහන්සේ රජු විසින් ගෙනෙනා ලද යෝජනාවට විරුද්ධ වී ගත නොහී නිහඬව හුන්නේ.

නමුත් කෙසේ හෝ සත සහස්‍ර ගුණයෙන් පාරමී බලයන්ගේ ආනුභාවනීය තේජසින් යුක්ත අපගේ බෝසතාණන් වහන්සේ ඉතාමත්ම ආයාස දක්වා තමාගේ අකමැත්ත පිළිබඳ අදහසක් කෙසේ හෝ රජුවෙත ඉදිරිපත් කළේ ය. නමුත් පතිවෘතා ධර්මයන්ගෙන් අග්‍ර පැමිණි අපගේ යසෝධරාවන් නිසා අපගේ බෝසතාණන් වහන්සේගේ පාරමිතා ධර්මයන් සිද්ධවීම දෙදෙනා එකට මුණ ගැසෙනා සියළු ආත්මයන්හි සිදුවෙන්නාම කාරණයක් හෙයින් කෙසේ හෝ මංගල්‍යය සිද්ධ වී.

මහත් උත්සවාකාරයෙන් පුරෝහිත තුමන් මහ රජු බවට පත් කළ රජතුමා, සිය මෑණියන් අගමෙහෙසුන් කොට පාවා දී තෙමේ යුව රජු බවට පත් වූයේ ය. වැඩිකල් නොගොස්ම බෝසත් මහ රජ කෙරෙන් ගිහිගෙය පිළිබඳ ආලය පළා ගියෙන් අරතියම වැඩෙන්නට වී. හේ ගිහිගෙය පිළිබඳ කලකිරුණේ ය. සියල්ල අතහැර පැවිදි වීමට සිතුයේ ය. ඒ සඳහා සිත නිතර නිතර ඉතා දැඩිව බල කරන්ට ගත්තේ ය. කාමයෙහි අල්පමාත්‍ර වූද ඇල්මක් නැති හේ තනිවම සිටින්නටත්, තනිවම හිඳින්නටත්, තනිවම සැතපෙන්නටත්, තනිවම අනුභව කරන්නටත් පටන් ගත්තේ ය. හේ හුදෙකලාවට තදින්ම ඇලී සිටියේ ය. රජ සැප කොතෙක් තිබුනත් ඔහුට දැණුනේ තමන් සිරගෙදර සිරමැදිරියක කොටු වී සිටින්නක් සේයි. කූඩුවක දමන ලද කුකුළෙකු සේයි. මේ හේතුවෙන් රාජ දේවිය රජතුමන් පිළිබඳ තව තවත් සිතන්ට ගත්තී ය. නිතර නිතර සිතන්ට ගත්තී ය.

‘අහෝ මා මැහැල්ලක්මි. මේ රජතුමන් නව යොවුන් සුන්දර කුමාරයෙක් වෙහි. මෙතුමාණන්ගේ හිස කෙස් කලුය, අක් බමරු සේ ය. මාගේ හිස කේ සුදු පැහැති ය. දිරා ගොසින් ය. ඔහුගේ සම රන්වන්ය. ඉතා සියුම්ය. කැළැල් රහිතය. නමුත් මාගේ පැහැය ඉතා අශෝභනය. මුළුමනින්ම රැලි වැටී ඇත්තේ ය. කැළැල් සහිත ය.’

ඕ දිනක් උපායෙන් රජුගේ සිත දැන ගැනීමට සිතන්නී රජතුමාගේ හිස පරික්ෂාකරන ආකාරයක් ඇඟෙව්වා ය. තම හිසින් ඉදුනු සුදුවන් කෙස් ගසෙක් ගෙන් එය රජතුමාගේ හිසේ තුබූවක් බව පෙන්වමින් ඕ මෙසේ කීවා ය.

“දේවයිනි. මාගේ පමණක් නොවේ හිස කෙස් සුදු වී තිබෙන්නේ. නුඹ වහන්සේගෙත් දැන් දැන් නර කෙහෙ පෙනේ.”

එවිට රජතුමා මෙසේ කිවේ ය.

“එසේනම් සොඳුර, ඒ නර කෙහෙ උගුල්ලා මා අත තබව”

 ඕ තම හිසින් උගුල්ලා ගත් කෙස් ගස රජතුමා අත තැබුවා ය. මුලදී දේවිය පැවසූ වදන් පිළිනොගත් රජතුමා නර කෙස් ගස දුටු වහා තැති ගත්තේ ය. බියෙන් ත්‍රස්ථව ගියේ ය. රත්‍රන් පටක් වැනි සිය නළල් තලයෙන් ඩහ බිඳු වැගිරෙන්නට විය. හේ තමාට ම අවවාද කර ගත්තේ ය.

“සුසීම, නුඹ තරුණයෙකු ලෙස සිතා සිටියත් දැන් නුඹ මහල්ලෙකි. නුඹ මෙතෙක් කල් අසූචි වලක ගිලුණු ගම් ඌරකු සේ කාම මඩ ගොහොරුවේ එරී ඒ මඩින් මිදෙන්ට නොහැකිව සිටින්නෙහි ය. දැන් මේ උදා වී ඇත්තේ කාමයන් අතෑර හිමවතට පිවිස පැවිදිව බඹසර රැකීමට සුදුසු කාලය නොවේ ද?”

ඒ අසා බියෙන් තැතිගත් දේවී තොමෝ, තමා පිළිබඳ සිත් පහදවාලනු පිණිස ගත් උත්සාහය අවසානයේ දී සිය හිමි ගිහිගෙයි විසීම පිළිබඳ කලකිරීම පිණිස හේතුවීමෙන් තදින් කම්පිත වී ගියා ය. ඕ රජතුමාගේ රූ වර්ණනා කරමින් මෙසේ කීවා ය.

“රජතුමනි, ඔබ වහන්සේ ඉතා තරුණයහ. නව යොවුන් වියේ සිටින්නේ ය. එනිසා ජිනේන්ද්‍රය, රාජ්‍යය යෙහෙන් විචාරනු මැනව. නුඹ වහන්සේගේ ආඥ්ඥායෙන් මේ රට සුඛිත මුදිත කළ මැනව.”

“මා ප්‍රිය හිමියාණෙනි, මා පිළිබඳව ද මොහොතක් කල් බලනු මැනව. මා අනාථ ව වැන්දබුවක කොට මා හැර නොයනු මැනව. ඒ නුඹ වහන්සේ මේ අකාලික වූ රාජශ්‍රීය හැර  කාලික වූ පැවිදි සැපය පතා නොයනු මැනව.”

එවිට සන්හුන් වදන් ඇති රජ තෙමේ මෙසේ බිණුවේ ය.

“සොඳුර, නුඹ විය යුතු ම දෙයක් පවසන්නී ය. මේ සැපය නම් ඒකාන්තයෙන්ම කාලික ම ය. අක්බමරු වන් කළු කෙහෙ කාලයාගේ ඇවෑමෙන් සුදු පැහැ ගන්නේ ය. සම වැරහැළි මෙන් රැළි ගන්නේ ය. එහි තල කැළැල් හට ගන්නේ ය. නිලුපුල් ආදී වූ මල් දම් වැනි සුකුමාල වූ, රන් පිළිම වැනි වූ උතුම් යොවුන් විලාස ඇති දෙව්ලියන් බඳු රාජ කන්‍යාවන් මා දැක ඇත්තෙමි. නමුත් ඔවුන් ද කලෙකින් වයසට පත් වී, ජරපත් සිරුරු ඇතියේ දුර්වර්ණ වී වකුටු ගැසුණු සිරුරු ඇතිව මැරී වැටී යන්නේ ය. මේ ජීව ලෝකය වනාහී සදාකල් එකම අයුරකින් පවතින්නක් නොවේ. ඇති වෙවී නැති වෙවී යන මෙහි සාර වූ කිසිවක් දකින්ට නැතී. එබැවින් සොඳුර, මෙය වටහා ගැනීම අප හට හැමකල යහපත පිණිස පවතී. නුඹ ද එය වටහා ගැනීමට උත්සාහ කරව.”

මෙසේ නා නා අයුරින් රූපයේ ආදීනව දක්වමින් බුද්ධ විලාශයෙන් දහම් කථා කියා අප බෝසත් සුසීම මහ රජතුමන් සියල්ලන් හඬා වැලපෙද්දී සිය මිතුරා වන යුව රජුන්ට ම යලි රාජ්‍ය පවරා දී ඥාති බන්ධු වර්ගයා හඬා වැළැපෙද්දී සියලු රාජශ්‍රීන් ඇතුළු සැප සම්පත් හැර දමා හිමවතට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදි වූ සේක. එහි ධ්‍යාන අභිඥා උපදවාගෙන එයින් මිය බඹලොව ඉපදුනු සේක.