ධම්මදින්නා මහ රහත් තෙරණින් වහන්සේ

ඇයගේ අතීත ප්‍රාර්ථනය

පදුමුත්තර බුදුන් දවස ඇය හංසවතී නගරයේ දුප්පත් කම්කරු පවුලක උපත ලැබුවා ය. නමුත් ඇය ප්‍රඥානවන්ත හා ගුණවත් බවෙන් පොහොසත් වූවා ය. දිනක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සුජාත තෙරුන් වහන්සේ පිණ්ඩපාතය පිණිස වැඩම කරන විට, පැන් ගෙන යමින් සිටි ඇය මුණගැසිනි. තෙරුන් වහන්සේ දුටු පමාවෙන් සිත පැහැදීගිය ඇය එදින තමාගේ සලාක ආහාර පංගුව (පිට්ටු වැනි ආහාර කිසිවක්) උන්වහන්සේට පූජා කළා ය. එතුමියගේ පුණ්‍යකර්මය තව තවත් බලවත් කරලීම පිණිසත් මතු සිදුවන යහපත නිසාත් තෙරුන් වහන්සේ වහාම වාඩි වී ඒ ආහාර දානය වැළඳූ සේක.

ඒ රහතන් වහන්සේ දවස් හතක් පුරා නිරාහාරව නිරෝධ සමවත් සුවයෙන් වැඩ සිට නැගී සිටි මොහොතයි. එවන් මොහොතක යම් අයෙක් යම් වූ දෙයක් පූජා කරයිද ඒයින් රැස්වෙන පින අතිශයින්ම බලවත්ය. ආශ්චර්‍යමත් ය. එනිසා එවිට ඇයට රැස්කරගත් හැකි වූයේ ඒ සා දුර්ලභ මහානුභාවසම්පන්න පිනකි.

වතුර කළ අදිනා දාසියක වූ ඇය ඒ දානයෙක් මහත් සතුටට පත් වූවාය. වහා ගොස් තමාගේ කොණ්ඩය විකුනා යම් මුදලක් සොයගෙන නැවත වාරයක් තෙරුන් වහන්සේට දානය පිණිස ආරාධනා කළා ය. තෙරුන් වහන්සේ ඇගේ ආරාධනය පිළිගත් සේක. ඇය කොන්ඩය විකුනා ලබාගත් සුළු මුදලින් වුවත් තමාට හැකි උපරිමයෙන් මිහිරි දානයක් සකසා තම නිවසේදී සුජාත මහරහතන් වහන්සේට පූජා කර ගත්තා ය.

මේ සියල්ල ඇය සේවය කළ නිවසේ ස්වාමියාට ද දැන ගන්නට ලැබිනි. ප්‍රීතියට පත් හේ වහා ඇයව තමාගේ පුතණුවන්ට විවාහ කර දී තමාගේ ලේලි තනතුරේ තැබුවා ය. මෙසේ ඒ දුප්පත් කළ දාසිය එදිනම ඉතා ධනවත් කාන්තාවක් බවට පත් වූවා ය.

දිනක් ඇය තම නැන්දම්මා සමඟ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ආරාමයට ගියා ය. බුද්ධ දේශනාව ශ්‍රවණය කරන විට ඇය දුටුවේ බුදුරජාණන් වහන්සේ ‘ධර්මකථික භික්ෂුණීන් අතුරින් අග්‍ර’ භික්ෂුණියක් නම් කරන අයුරුයි. ඒ දුටු ඇයට අනාගතයේදී තමාත් එවැනි වූ ධූරයක් ලැබීමේ විශාල ආශාවක් හට ගත්තේ ය. ඉතින් ඇය බුදුරදුන්ටත් උන්වහන්සේගේ සංඝරත්නයටත් ආශ්චර්‍යමත් පූජාවක් කර ඒ තනතුර ප්‍රාර්ථනා කළා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ, ගෝතම නම් බුදුරදුන් වැඩ සිටින කාලයේදී ඇයගේ පැතුම ඉටුවන බවට අනාවැකි පළ කළා.

රාජකීය භාණ්ඩාගාරිකගේ බිරිඳ ලෙස ඇයගේ ජීවිතය

පින්වන්ත ජීවිතයක් ගත කළ ඇය ආයු කාලය අවසන් වූ පසු කළුරිය කොට දෙව්ලොව උපත ලැබුවාය. ඉන්පසුව ඇය නැවත ඉපදුනේ මනුෂ්‍ය ලෝකයේ හෝ දෙව්ලොව පමණි.

කල්ප අනූ දෙකකට පෙර ඇය ඵුස්ස බුදුරදුන්ගේ අර්ධ සහෝදරයන් වූ (වෙනත් මවකගේ දරුවන්) කුමාරවරුන් තිදෙනෙකුගේ නිල රාජකීය භාණ්ඩාගාරික වූ ධනවතෙකුගේ බිරිඳක් ලෙස නැවත ඉපදුණාය. යමෙක් එකක් ඉල්ලූ විට දෙකක් දෙන තරමට ඇයට ඉතා පරිත්‍යාගශීලී මනසක් තිබුණි.

කිකී රජුගේ දියණියන් හත්දෙනාගෙන් කෙනෙකු ලෙස ඇයගේ ජීවිතය

ධනවත් භාණ්ඩාගාරිකගේ බිරිඳ ලෙස ඇය කුසල් පිරුණු ජීවිතයක් ගත කළාය. ඇය ඒ ජීවිතයෙන් සමුගත් විට නැවතත් දෙව්ලොව උපතක් ලැබුවාය.

කස්සප බුදුරදුන්ගේ සමයේ ඇය බරණැස කිකී රජුගේ දියණියන් හත් දෙනාගෙන් හයවැන්නා වූ ‘සුධම්මා’ කුමරිය ලෙස නැවත උපත ලැබුවාය.

සෙසු සොහොයුරියන් සමඟ ඇය වසර විසි දහසකින් යුත් මුළු ජීවිත කාලය පුරාවටම බඹ්බසරව වෙසෙමින් උතුම් නිර්මල ජීවිතයක් ගත කළ අතර, තම සහෝදරියන් සමඟ සංඝරත්නයට මහා සංඝාවාසයක් කරවා පූජා කළා ය.

ඇගේ අවසාන ජීවිතය

සුධම්මා කුමරිය සිය මුළු ජීවිත කාලයම පින්කම් කරමින් ගත කළ අතර ඇගේ මරණයෙන් පසු ඇය නැවත දෙව්ලොව උපත ලැබුවාය. ඉක්බිති අසංඛෙ‍ය වාර ගණනක් ඇය නැවත දෙව්ලොව හෝ මනුෂ්‍ය ලෝකයේ පමණක් වශයෙන් උපත ලැබුවාය.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දවස ඇය රජගහනුවර ධනවතකුගේ පවුලක නැවත ඉපදුණාය. ඇය විවාහ විය හැකි වයසේදී විශාඛ නම් ධනවතෙකු සමඟ විවාහ වූ අතර ඇය ධම්මදින්නා ලෙස හැඳින්විය.

කල්ප අනූ දෙකකට පෙර විශාඛ සහ ධම්මදින්නා ද ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ සමයේ රාජකීය භාණ්ඩාගාරික සහ ඔහුගේ භාර්යාව ලෙස ධනවත් යුවළක් වූ ඔවුන් මෙවර ගෞතම සම්බුදුරදුන් සමයේ ද බොහෝ ධනවත් ප්‍රසිද්ධ යුවලක් වූහ. විශාඛ නම් ධනවත් ගෘහපති තෙමේ, බුදුරදුන් ප්‍රථම වරට රජගහ නුවරට වැඩම කළ දිනයේ දී සෝවාන් ඵලය ලැබූ බුද්ධ ශ්‍රාවක එකසිය එක් නහුතයක් වූ මහා පිරිසගෙන් කෙනෙකි. ඔහු බිම්බිසාර රජුගේ සමීප මිතුරෙක්  ද  විය.

එවකට සෝවාන්ව සිටි ආර්‍ය ශ්‍රාවකයෙකු වූ විශාඛ පසු අවස්ථාවකදී බුද්ධ දේශනයට සවන් දී සකදාගාමී ඵලයත්  ඉන් පසු දිනකදී අනාගාමී ඵලයත් ලබා ගත් බවට ආර්‍ය ශ්‍රාවකයෙකු පත් වූයේ ය.

ඔහු අනාගාමී ආර්‍ය ශ්‍රාවකයෙකු බවට පත් වූ පසු, ඔහුගේ දැක්ම සහ හැසිරීම ඉතා පැහැදිළි ලෙස වෙනස් විය. වෙනදා, ඔහු සිනහවෙන් පිරී ඇති මුහුණින් යුතුව තම බිරිඳ බැලීමේ අපේක්ෂාවෙන්ම නිවසට යන නමුත්, දැන් ඔහු එසේ නැත. සංවරව, හුදෙකලාවෙම ඔහු නිවසට පිවිසෙයි.

ඔහුගේ භාර්යාව වන ධම්මදින්නා සුපුරුදු පරිදි ජනෙල් කවුළුවෙන් නෙත් යොමා සුපුරුදු අකාරයට ඔහු ආපසු එනතුරු බලා සිටියාය. නිවසට පා තබන සැමියාගේ වෙනදා නොදුටු විරූ සන්සුන් ඉරියවු දුටු විට ඇයට එය අමුතු දෙයක් විය. “මොකක් හරි වැරදුනාවත්ද?” ඇය සිතුවා ය. ඇය පඩිපෙළ බැස ඔහුට අත දිගු කළාය. සාමාන්‍යයෙන් බිරිඳගේ අත අල්ලාගෙන සුහදව කතා කරමින් පඩිපෙළ නැඟීම ඔහුගේ සිරිත වුවද එදින ඔහු ඇගේ අත අල්ලා නොගෙන අත ඉවත් කළේ ය.

“සමහරවිට මට මේ ගැන කෑම මේසේදි දැනගන්න ලැබේවි” ඇය සිතුවා ය. නමුත් උදෑසන ආහාර වේලෙහි ඔහු සුපුරුදු පරිදි තම බිරිඳ සමඟ මේසයේ වාඩි නොවී, භාවනාවේ යෙදී සිටින වයෝවෘද්ධ භික්ෂුවක් මෙන් නිහඬව තනිවම ආහාර ගත්තේ ය.

“සමහරවිට මම මේ ගැන හවසට දැනගන්න ලැබේවි” ඇය තනිවම සිතුවා ය.

නමුත් සවස් වන විට විශාඛ ඔවුන්ගේ ඇතුල් කුටියට නොගිය අතර, ඒ වෙනුවට ඔහු, ඔහු වෙනුවෙන් වෙනම කාමරයක් සූදානම් කර තිබූ අතර ඔහු එහි  තනිවම නිදාගත්තේ ය. ඔහුගේ බිරිඳ දැන්නම් හොඳටම කනස්සල්ලට පත් වී සිටියා ය.

“අහෝ ! මගේ සැමියා වෙනත් කාන්තාවකට ආදරය කරනවාද? නැත්නම් කවුරුහරි අපි අතර වැරදි වැටහීමක් ඇති කිරීමට උත්සාහ කර තිබේද? නැත්නම් ඔහු මා තුළ යම් වරදක් දුටුවාද? මෙම සේ තේරුම් ගත් නොහැකි ප්‍රශ්ණ වැලක් මැද ඇගේ අහිංසක සිත මංමුලා වී ගියේ ය. දින දෙක තුනකට පසු එය තවත් නිහඬව ඉවසාගත නොහැකි තැන ඇය නිහඬව ඔහු අසලට ගොස් සිට ගත්තා ය. දෑත් එකතුකොට සිය ස්වාමියා දෙසට නමස්කාර කළා ය. 

එවිට ඔහු මෙසේ කීවේ ය.

“ඇයි මේ නොකල් වේලෙහි ඔබ මා ළඟට එන්නේ?”

“නොකල් වේලෙහි…… එසේය ස්වාමිනි…… ඔබ දැන් වෙනස් වී ඇති සේයි. ඔබට ඇති ප්‍රශ්නය කුමක්ද? අප අතර තවත් කාන්තාවක් සිටීද? ”

“නෑ ධම්මදින්න, එහෙම එකක් නෑ.”

“එතකොට කවුරුහරි අපි අතරේ විරසකයක් ඇති කළාද? “

“නෑ ධම්මදින්න, එහෙම එකක් නෑ.”

“එහෙමනම් ස්වාමීනී ඔබට මගේ යම් වරදක් පේනවද?”

“නෑ ධම්මදින්න, ඔබේ වරදක් නෑ”

“එසේ නම්, අපි ස්වාමි-භාර්‍යාව ලෙසින් නොවී සම්පූර්ණයෙන්ම ආගන්තුකයන් මෙන් ඔබ මගෙන් ඈත් වී සිටින්නේ මන්ද? ඔබ මේ දවස් ටිකේ මා සමග කතා කලේත් නොවෙයි”

විශාඛ මෙසේ කල්පනා කළේය: “මා ලත් ධර්මාවබෝධය ගැඹුරු දෙයක්, ලෞකික කාරණා මෙන් පැහැදිලි කිරීමට පහසු නැත. එය තමා කෙරෙහිම තබා ගැනීම වඩා හොඳය. නමුත් දැන් මම ඒ ගැන කතා නොකළේ නම් ධම්මදින්නා ඒකාන්තයෙන් එය වරදවා සිතා මහත් දුකකට පත්වෙනවා ඇත.

මෙසේ සිතමින් විශාඛ ඇයට මෙසේ කීවේ ය.

“ධම්මදින්නා, මම බුද්ධ දේශනාව ශ්‍රවණය කරලා ඒ ධර්මය අවබෝධ කළා. ඒ ධර්මය ඉහල මට්ටමින් අවබෝධ කරගන්නා ආර්‍ය ශ්‍රාවකයාට ලෞකික කටයුතු නොගැලපේ. ඔබ කැමතිනම් ඔබේ දෙමවුපියන් අපට දායාද කළ හතළිස් කෝටියක් වටිනා වස්තුවත්, මගේ මවුපියන් අපට දායාද කළ තවත් හතළිස් කෝටියක් වටිනා වස්තුවත් සමග මේ අසූ කෝටියක් වටිනා වස්තුව මම ඔබට තනි හිමිකරු ලෙස දායාද කරමි. මම ඔබ ගැන සලකන්නේ මවක් හෝ වැඩිමහල් සහෝදරියක් ලෙසයි. ඔබ මා ගැන කුමන ආකාරයෙන් බැලුවත් මම සෑහීමකට පත්වෙමි. එසේත් නැතිනම්, ඔබට එම සියලු ධනය ඔබ සමඟ රැගෙන ඔබේ දෙමාපියන්ගේ නිවසට ආපසු යා හැකිය. ඔබේ හදවතෙහි තවත් පුරුෂයෙකු හට ඉඩක් ඇත්නම් ඔබව ඔහු හා සියලු දායාද සමග විවාහ කර දෙමි. එසේත් නොමැතිනම්, මෙහි මා සමග මාගේ බාල සොහොයුරිය ලෙස හෝ මාගේ දියණිය ලෙස මා දිවි ඇති තෙක් නුඹව මට රැක බලාගත හැකි.”

තම ස්වාමිපුරුෂයාගෙන් මෙවන් වූ වදන් ඇසූ ධම්මදින්නා අතිශයින් තෘප්තිමත් විය. ඇය මෙසේ සිතුවාය: ‘මේ වගේ දේවල් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මගේ ස්වාමියා ඒකාන්තයෙන් උත්තරීතර ධර්මය අවබෝධ කරන්න ඇති. නමුත් උත්තරීතර ධර්මය අවබෝධ කළ හැක්කේ පුරුෂයන්ට පමණක්ද? ස්ත්‍රියකට එය තේරුම් ගත නොහැකිද?’

මෙසේ සිතමින් ඇය තම ස්වාමිපුරුෂයාට මෙසේ කීවාය: “ස්වාමීනි, උසස් ධර්මය පුරුෂයන්ට පමණක්මද? එය දැන ගැනීමට ස්ත්‍රීන් ද සමත් ද?”

“ඇයි ධම්මදින්නා, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ධර්මයට අනුව ධර්මයේ හැසිරෙන ඕනෑම කෙනෙකුට ධර්මය සම්බන්ධයෙන් බුදු සසුනේ උරුමකරුවන් විය හැකියි. යමෙකුට මාර්ග ඤාණය ලැබීමට අවශ්‍ය ප්‍රමාණවත් පුණ්‍ය සංස්කාරයන් තිබේ නම්, ඔහු ඒකාන්තයෙන්ම දහම දකින්නෙක් බවට පත් වෙයි” විශාඛ පිළිතුරු දුන්නේ ය.

“එසේ නම් ස්වාමීනි, මට භික්ෂුණියක් වීමට අවසර දෙන සේක්වා.”

“ඉතා හොඳයි, ආදරණීය ධම්මදින්නා, ඔබ ධර්මාවබෝධය අපේක්ෂා කිරීම ගැන මම සතුටු වෙමි. මම එය ඔබට යෝජනා නොකළේ ඔබේ කැමැත්ත මා නොදන්නා නිසා පමණි. ”

විශාඛ වහා බිම්බිසාර රජු හමුවීමට ගියේ ය.

“පින්වත් සගය, මේ අකල් හෝරාවෙහි ඔබ මා දැකීමේ අරමුණ කුමක් දැ” යි රජු ඇසීය.

“මහ රජතුමනි, ධම්මදින්නා භික්ෂුණියක් වීමට කැමැත්තේ ය” විශාඛ කීවේ ය.

“මට ධම්මදින්නා උදෙසා කළ හැක්කේ කුමක් ද?”

“මහ රජතුමනි, මට අවශ්‍ය වන්නේ රන් දෝලාව සහ නගරය පුරා වියන් බැඳ අලංකාර කිරීමටයි.”

රජු මෙම ඉල්ලීම් දෙක ඉටු කළේය.

ධම්මදින්නා භික්ෂුණීභාවයට පත්වීමේ මහා උත්සවය

විශාඛ, ධම්මදින්නාවන් සුවඳ දියෙන් නාවා අලංකාර ලෙස අන්දවා ඇයව රන් දෝලාවේ වාඩි කරවූවා ය. ඉක්බිති, ඇගේ සියලු ඥාතීන් සහ සැමියාගේ ඥාතීන් විසින් පිරිවරාගෙන, සුවඳ දුම් සහ මල් සුවඳින් පිරී ගිය නගරය හරහා ඇය භික්ෂුණීන්ගේ ‘ආරාමය’ වෙත ගෙන යන ලදී. භික්ෂුණී ආරාමයේ දී විශාඛ තම භාර්යාව වූ ධම්මදින්නාව භික්ෂුණී ශාසනයට ඇතුළත් කරන ලෙස වැඩිහිටි භික්ෂුණීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියේ ය.

ඔවුන් සිතුවේ විශාඛ තම බිරිඳව අත්හරින්න සූදානමින් එසේ ඉල්ලා සිටිනවා කියා යි. ඉතින් ඔවුන් මෙසේ කීහ.“අනේ පින්වත, ඇය වරක් හෝ දෙවරක් වරදක් කර ඇත්නම් එය ඉවසන්න. ඇයට සමාව දෙන්න”

“අනේ ආර්‍යාවනි, මගේ බිරිඳගේ කිසිම වරදක් නැහැ, ඇය පැවිදි ජීවිතයක් ඉල්ලන්නේ තමන්ගේ කැමැත්තෙන්මයි”

එවිට විනයෙහි දක්‍ෂ වූ භික්‍ෂුණියක් ධම්මදින්නාට ධර්මානුකූල උපදෙස් ලබා දුන්නී ය. ශරීරයේ කෙස්, ලොම්, නිය, දත්, සම යන පංච සංඝටක කොටස් ගැන ආවර්ජනය කිරීමෙන් පටන්ගෙන සිරුරේ පිළිකුල් බව මෙනෙහි කරන ලෙස භික්‍ෂුණිය උපදෙස් දුන්නී ය. ඉන්පසු ඇය ධම්මදින්නාගේ හිස කෙස් බා, සිවුරු පෙරෙව්වා ය. එවිට විශාඛ ධම්මදින්නා භික්ෂුණියට වැඳ මෙසේ කීවේ ය.

“පින්වත් භික්ෂුණියනි, ශාසනයෙහි ඇලී පැවිදි ජීවිතය ගැන සතුටුව වසන්න. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර ඇත්තේ මුල මැද අග උතුම් පිරිපුන් මිහිරි වූ ධර්මයයි.” ඉන්පසු ඔහු නිවසට ගියේ ය.

ධම්මදින්නා භික්ෂුණියක් බවට පත් වූ දින සිට ඇයට මිනිසුන්ගෙන් බොහෝ ගෞරව සහ බොහෝ තෑගි ලැබුණි. බොහෝ අමුත්තන් දැකීමට සිදුවීමෙන් ඇයට තනිවම භාවනා කිරීමට ඉතිරිව තිබුණේ අල්ප කාලයකි.

එවිට ධම්මදින්නා ස්ථවිරීන් හට මෙසේ සිතුනී: “විශාඛ ගෘහ ජීවිතයෙහි රැඳී සිටියදී ම දුක් කෙළවර කර ගත්තේ ය. මම භික්ෂුණියක් වශයෙන් දැන් දැන්ම වීරිය ගෙන දුක් කෙළවර කර ගත යුතුයි.”

ඇය තම ආචාර්‍ය භික්ෂුණිය වෙත ගොස් මෙසේ කීවා ය: “පින්වත් ආර්‍යාවනි, මම පංචවිධ ඉන්ද්‍රිය සැපයෙන් යුක්ත ව මෙහි වාසය කිරීමෙන් වෙහෙසට පත් වීමි. මම කුඩා ගමක භික්ෂුණී ආරාමයකට ගොස් වාසය කිරීමට කැමැත්තෙමි.”

ධම්මදින්නා උසස් පවුලකින් පැමිණි නිසා ඇයගේ කැමැත්ත නොසලකා හැරිය නොහැකි බව භික්ෂුණීහු හොඳින් දැන සිටි අතර, එනිසා ඔවුන් ඇයව කුඩා ගමක භික්ෂුණී ආරාමයකට කැඳවාගෙන ගියහ.

ඇයවිරීය වඩමින් ධර්මාවබෝධය පිණිස උත්සහවත් වූවා ය.අතීතයේ මහත් වූ පුණ්‍ය සංස්කාරයන් සහිතව සිටි ඇය නොබෝ කලකින්ම උත්තම අරහත්වයට පත් වී වදාල සේක.

අරහත්වයට පත් ධම්මදින්නා තෙරණින් වහන්සේ, ඉන්පසු බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිස උපකාර කල හැකි සුදුසුම ස්ථානය කොහේදැයි කල්පනා කළ සේක. රජගහ නුවර ඊට බොහෝ අවස්ථා ඇති බව හඳුනාගැනීමෙන් රජගහ නුවරට යලි වැඩම කල සේක.

ධර්මය පිළිබඳ විශාඛගේ ප්‍රශ්න විමසීම

ධම්මදින්නා තෙරණිය නැවත රජගහනුවරට වැඩම කළ බව විශාඛ දැනගත් විට, කුඩා ගමකට වැඩම කළ ඇය මෙතරම් ඉක්මනින් ආපසු පැමිණියේ මන්දැයි දැන ගැනීමට ඔහු උනන්දු විය. ඔහු ඇය වෙත ගියේ ය. නමුත් පැවිදි ජීවිතය ගැන කලකිරී නැවත ගිහි ජීවිතයක් ගැන ආශාවෙන් රජගහ නුවරට පැමිණියේදැයි කෙලින්ම ඇසීමට හේ මැලි විය. එනිසා ධර්මාවබෝධය ලත් අයෙකුට පමණක් ගෝචර වන ආකාරයේ ප්‍රශ්නයන් ඇසීමට ඔහු සිතා ගත්තේ ය.

ඔහු ඇයට වන්දනාකොට සුදුසු ස්ථානයක එකත්පස්ව වාඩි වී පංචස්කන්ධය පිළිබඳව ඇයගෙන් ගැඹුරු දහම් ප්‍රශ්න ඇසුවේ ය. (මෙම ගැඹුරු ප්‍රශ්න සහ පිළිතුරු මාලාව මජ්ඣිම නිකායේ චුල වේදල්ල සූත්‍රයෙන් කියවන්න.)

ජවන අශ්වයෙන් අතිශය වේගයෙන් ධාවනයෙහි යෙදෙන්නාක් සේ, නෙළුම් මල් දඬු මිටක් මුවහත් පිහියකින් කපා හෙලන්නාක් සේ, විශාඛ විසින් ඇසූ ප්‍රශ්න සියල්ලටම ධම්මදින්නා තෙරණියෝ පිළිතුරු දුන්හ. එපමණකින්ම හේ ධම්මදින්නාවන්ගේ ධර්මාවබෝදය වටහා ගත්තේ ය. නමුත් විශාඛ තමාගේ ඥාන සීමාවට ගෝචර සීමාව ඉක්මවා යමින් තව දුරටත් ප්‍රශ්ණ ඉදිරිපත් කළේ ය. විශාඛට අනාගාමී ඵලයට අදාළ කරුණු නිසි ලෙස විමසිය හැකි බවත්, මෙසේ අසන විට තම දැනුමේ සීමාව ඉක්මවා ගිය බවත් ධම්මදින්නා තෙරණියෝ දැන සිටියහ. රහතන් වහන්සේලාට ම පමණක් විශය වන ඒ දහම් කාරණා විශාඛ හට නොතේරෙන හෙයින් ධම්මදින්නා තෙරණියෝ මෙසේ කීහ.

“ආයුෂ්මත් විසාඛ, ඔබ ප්‍රශ්නය ඉක්මවා ගියා. ප්‍රශ්නයේ සීමාව තේරුම් ගන්න ඔබට බැරි වුනා නෙව. ආයුෂ්මත් විසාඛ, මේ බඹසර ජීවිතය ඒ අමා නිවන පිහිට කරගෙනයි තියෙන්නෙ. මේ බඹසර ජීවිතය ඒ අමා නිවනින් ම සමාප්ත වෙනවා. ඉතින් ආයුෂ්මත් විසාඛ, ඔබ කැමති නම් භාග්‍යවතුන් වහන්සේ බැහැදැකලා ඔය කාරණේ අහන්න. භාග්‍යවතුන් වහන්සේ යම් විදිහකින් වදාරන සේක් ද, ඒ විදිහට මතක තබාගන්න.”

ඉක්බිති විශාඛ බුදුරදුන් වෙත පැමිණ ධම්මදින්නා තෙරණින් වහන්සේ සහ තමන් අතර සිදු වූ දහම් සංවාදය පිළිබඳ සියල්ල ඒ අයුරින්ම කියා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ විසාඛට මේ අයුරින් වදාලා.

යස්ස පුරේ ච පච්ඡා ච
මජ්ඣේ ච නත්ථි කිඤ්චනං
අකිඤ්චනං අනාදානං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

“(විශාඛ,) යමෙකුට අතීතය ගැන හෝ, අනාගතය ගැන හෝ වර්තමානය ගැන හෝ කිසි ක්ලේශයක් නැත්නම්, ඒ තැනැත්තා නිකෙලෙස් කෙනෙක්. උපාදාන රහිත කෙනෙක්. මම ඒ රහතන් වහන්සේටයි බ්‍රාහ්මණයා කියන්නේ.

——ධම්මපදය, ගාථාව – 421——

**************************************************** **

දේශනය අවසන් වන විට බොහෝ ශ්‍රාවකයෝ ධර්මාවබෝධය ලබා ගත්හ.

එවිට බුදුරජාණන් වහන්සේ ධම්මදින්නා තෙරණින් වහන්සේ පිළිබඳ මේ අයුරින් ප්‍රශංසා කළ සේක.

“පින්වත් විසාඛ, ඔය ධම්මදින්නා භික්ෂුණිය හරිම බුද්ධිමත්. පින්වත් විසාඛ, ඔය ධම්මදින්නා භික්ෂුණිය මහා ප්‍රඥාවන්තයි. පින්වත් විසාඛ, ඔබ ඔය කාරණා මගෙන් ඇහුවොත්, මං පිළිතුරු දෙන්නෙත් ඔය විදිහට තමයි. ඔය ධර්ම සාකච්ඡාවේ දී කියවුණු කරුණු හරි. ඒ නිසා ඒක ඔය විදිහට ම මතක තබාගන්න ඕන.”

(මෙම සිදුවීම බුදුරජාණන් වහන්සේ, ධර්මකථික භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් භික්ෂුණිය ලෙස ධම්මදින්නා තෙරණින් වහන්සේ නම් කිරීමට ආසන්නතම හේතුව විය.)

(මෙහි, ධම්මදින්නා තෙරණින් වහන්සේ විසින් කරන ලද දේශනය, එම පැහැදිලි පදවලින්ම බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ විට, එය බුදුරජාණන් වහන්සේගේම දේශනයක් බවට පත් වන බව මතක තබා ගත යුතුය. ලේඛකයෙකු විසින් නිසි පරිදි ලියන ලද පණිවිඩයක්, රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා තබා නිසි ලෙස රජු විසින්ම අනුමත කරන ලද පණිවිඩයක් බවට පත්වන පරිද්දෙන් , බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ, බුදුරජාණන් වහන්සේ විසින් අනුදැනුම ඇතිව අනෙකුත් ශ්‍රාවකයන් වහන්සේලා විසින් වදාළ සද්ධර්ම දේශනා ද සම්බුද්ධ දේශනා බවටම පත් වේ.

ධම්මදින්නා තෙරණිය අග්‍ර භික්ෂුණියක ලෙස නම් කිරීම

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන ආරාමයේ වැඩ වසමින් අග්‍ර භික්ෂුණීන් වහන්සේලා නම් කරන විට මෙසේ ප්‍රකාශ කොට වදාල සේක.

“පින්වත් මහණෙනි, ධර්මය ප්‍රකාශ කිරීමට දක්ෂ වූ මාගේ ශ්‍රාවිකා වූ ධර්මකථික භික්ෂුණීන් අතුරින් පින්වත් ධම්මදින්නා භික්ෂුණීය අග්‍ර වේ”