නන්දා මහ රහත් තෙරණින් වහන්සේ

නන්දා උපන් විට, ඇගේ දෙමාපියන්, සුද්ධෝදන මහ රජු සහ ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු ඥාතීන් බොහෝ සතුටු වූහ. එනිසා සියල්ලන්ටම සතුට ගෙන ආවාය යන තේරුමින් ඇයට ‘නන්දා’ නාමය ලැබුනි. නන්දා අතිශය සුන්දර, දිව්‍ය කන්‍යාවක් තරම් ශෝභාවත් ශරීරයක්, රූපයක් හිමි කුමරියක් වූවා ය. ඇගේ රූපය දෙවෙනි වූයේ යසෝදරාවන්ට පමණී. එනිසා ඇයගේ නාමයට පසුකාලීනව ‘සුන්දරී’ යන නාමයත් එක්වී එය ‘සුන්දරී නන්දා’ බවට පත් වූයේ ය. එනම් “ලස්සන නන්දා” යන්නයි.

කාලයාගේ ඇවෑමෙන් ඇගේ පවුලේ බොහෝ සාමාජිකයන්බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා අරහත්වයට ද පත්ව බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවක ශාවිකාවන් බවට පත් වූහ. ඔවුන් අතර ඇගේ සොහොයුරා වන නන්ද, ඇගේ ඥාති සොහොයුරියන් සහ අවසානයේ ඇගේ මව සහ තවත් බොහෝ ශාක්‍ය කාන්තාවන් ද වූහ. එවිට නන්දා මාළිගයේ තනි වූවා ය. එනිසා ම ඇයත් පැවිදි වීමට තීරණය කළා ය. අවසානයේ ප්‍රජාපතී තෙරණින් වහන්සේ සමීපයේ පැවිද්ද ලැබ වාසය කළා ය. කෙසේ වෙතත්, ඇය එසේ කළේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව නිසාවත් සසර බිය දැනුනු නිසාවත් නොවේ. හුදෙක් ම ඇය මාළිගයේ තනි වූ නිසාත්,  තම ඥාතීන්ට ඇති ආදරය සහ ඔවුන්ට අනුකූල වීමට ඇති ආශාව නිසාත් ය.

බුදුරජාණන් වහන්සේගේ සොයුරිය ලෙස රාජකීය සුන්දරත්වය ස්වභාවයෙන්ම හිමි නන්දා භික්ෂුණිය ඉතාමත්ම ඉක්මනින් ජනයා අතර ප්‍රසිද්ධියට පත් වූවා ය. ඇය එයින් තව තවත් උද්දාමයට පත් වූවා මිස ධර්මානුකූලව එහි ඇති හරසුන් බව සිතන්ට නොගියා ය. මේ නිසා කිහිප වාරයකදී ම ඇයගේ මව විසින්, ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ විසින් ඇයට අවවාද කෙරුනත් ඒ සියල්ල නිශ්ඵල වූයේ ය. නන්දාගේ සිතුවිලි වලට ප්‍රධාන වශයෙන් යොමු වූයේ ඇයගේ සුන්දරත්වය පිළිබඳව සහ සහ ජනතාව අතර ඇයගේ ජනප්‍රියත්වය ස්ථාවර කරගැනීම පිණිස ය.

පැවිදි සාරුප්‍ය නොවන ආකාරයේ හැසිරීම් සහ චින්තාවලියකින් යුතු තමන් වහන්සේගේ සොයුරිය ඉතාමත් ප්‍රමාදී ජීවිතයක් ගතකරන බව දුටු බුදුරජාණන් වහන්සේ ඇය නිවැරදී මාර්ගයට ගැනීම පිණිස උපායක් යෙදූ සේක. සත්‍ය වශයෙන් ම ඇය පැවිදි වුවත් බුදුරජාණන් වහන්සේ හමුවට ඉන් පෙර නොගියා ය. ඇය බුදුරජාණන් වහන්සේව මග හරිමින් බොහෝ අවස්ථාවලදී පිරිසේ පිටුපසටම වී සැඟවී සිටියා ය. ඒ තමාගේ රූපය බුදුරජාණන් වහන්සේ විසින් ගැරහීමට ලක්වේයැයි බියෙනි. කෙසෙ නමුත් මෙවර ඇයට බුදුරජාණන් වහන්සේව මග හැර යා නොහැකි විය.

සියළුුම භික්ෂුණීන් අනිවාර්‍යයෙන්ම බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට දී දහම් අවවාද ලබාගතයුතු යැයි තථාගතයන් වහන්සේ පනවා වදාළ නියමය ඇයට කිසිසේත් ම බැහැර කිරීමට නොහැකි වූයෙන් අකමැත්තෙන් නමුත් ඇය අනෙකුත් භික්ෂුණීන් සමග ආරාමයට ගියා ය.

නන්දා ඇයගේ කායික සුන්දරත්වයට බෙහෙවින් ඇලුම් කළ නිසා, බුදුරජාණන් වහන්සේ සෘද්ධි බලයෙන් ඊටත් වඩා ඈට වඩා සත සහස්‍ර ගුණයෙන් රූමත් කාන්තාවකගේ දර්ශනයක් මවා පෑහ.

ඇය සිටියේ භාග්‍යවතුන් වහන්සේ අසල භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින්ය. ඇය ඇත්ත වශයෙන්ම ලස්සන නව යොවුන් යුවතියකි. අගේ අඩුවක් දකින්න නැත්තේමය, සෑම අංගයක්ම පිරිපුන් සුන්දරත්වයකින් යුතු විය. නන්දා ඇය දෙස ඇස් දල්වා බලා සිටියා ය. මොහොතකින් ඒ කාන්තාවගේ රූපයේ සැලකිය යුතු වෙනසක් සිදුව ඇතිබව නන්දාට නිරීක්ෂණය වුනත් ඒ කුමක්ද යන්න ඇයට හරියටම තෝරා බේරා ගැනීමට නොහැකි වුනේ ඒ කාන්තාව තවමත් එතරම්ම සුන්දර නිසා ය. මොහොතකින්, සිදු වූ වෙනස කැපී පෙනෙන්නට විය, ‘ඇය වයසට යමින් සිටී’,නන්දාට කියවුනි. තවත් තත්පර ගණනකින් ඒ ලස්සන රූපයේ අඩු ලුහුඬු තැන් පෙන්වා අවසන් කළ නොහැකි තරමට ඒ රූපය වෙනස් වී ගියයුරු නන්දා නිරීක්ෂණය කළා ය. අහෝ, දැන්නම් ඈ හොඳටම දිරාපත් වී ගොස්ය, කොන්ද වක ගැසී ඇත, අක්බඹරුවන් කේෂ කලාපය වෙනුවට සුදු පැහැ අස් කෙඳි හා සමාන කිසිවක් දිස්වෙයි. දත් කැඩී ලොඹු ඉදිරියට නෙරා ඇත. ‘දැන්නම් ඇය විරූපී බව අන්ධයෙකුට වුවත් තේරේ’. නන්දා තනිවම සිතුවා ය. මොහොතකින් දුර්වල ඒ කාන්තාව බිම ඇද වැටුනා ය, ‘ අහෝ ඈ මිය ගියා ද?’ තිගැස්සී ගිය නන්දා වහා ඈ වෙත දිව යාමට සැරසුනාය, එවිටම නදාට සිහි ඉපැදිනි, ඈ ලැජ්ජාවෙන් තමා තිගැස්සී ගිය ආකාරය කිසිවෙකුත් දුටුවාදැයි විපරම් කරමින් යටැසින් වටපිට බැලුවා ය. කිසිවෙකුත් ඈ දෙස බලා නොසිටී, නමුත් එක් අයෙකු හැරුණු කොට. තථාගත අරහත් සම්මා සම්බුදු රජාණෝ මහා කාරුණික දෑසින් ඈ දෙස බලා සිටිනා සේක. ඉන් මතු සිදු වූ සියල්ල නන්දා ථේරි අපදානයේ මෙසේ සඳහන් ව එයි:

“එකල්හි මාගේ සොහොයුරුවූ, මහා කාරුණික බුදුරජතෙම කලකිරුණු සිත් ඇති මා දැක මෙම ගාථාවන් වදාළ සේක.

ආතුරං කුණපං පූතිං, පස්ස නන්දෙ සමුස්සයං;
අසුභාය චිත්තං භාවෙහි, එකග්ගං සුසමාහිතං.

නන්‍දාවෙනි, රෝගීවූ, අපිරිසිදුවූ, කුණුවූ ශරීරය දෙස බලනු මැනව. එකඟව සමාධියෙන් යුතුව අශුභය කෙරෙහි සිත වඩනු මැනව.

යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං;
දුග්ගන්ධං පූතිකං වාති, බාලානං අභිනන්දිතං.

මේ කය යම් සේද, මේ (මළ තැනැත්තාගේ) කයද එබඳුය. මේ කය (උඩුකුරුව හෝනේ) යම්සේද, මේ (නොමළාවූ සත්ත්‍වයාගේ) කයද එබඳුමය. නුවණ නැතියවුන් විසින් පතන ලද (මේ කය) කුණුවූ දුඟඳ හමයි.

එවමෙතං අවෙක්ඛන්තී, රත්තින්දිවමතන්දිතා;
තතො සකාය පඤ්ඤාය, අභිනිබ්බිජ්ඣ දක්ඛසි

මෙය මෙසේ දිව රෑ දෙක්හි අනලසව බලන්නී, ඒ හේතුවෙන් සිය නුවණින්ම කලකිරී දක්නෙහිය.” (කියායි.)

ඉක්බිති මම සුභාෂිතවූ මෙම ගාථාවන් අසා අතිශයින් කලකිරුණී, එහි සිටියා, විදසුන් වඩන්නී රහත්බවට පැමිණියෙමි.

— නන්දා ථේරිඅපදානය —

********************************

එමඟින් නන්දාට, රූපයේ පවතින අරුත්විරහිත බව සැබෑවටම දැන ගත හැකි විය. තාරුණ්‍යය සහ සුන්දරත්වය වියැකී යාම, ක්ෂය වීම, මරණයේ ඒකාන්තබව ඇය මනාව තේරුම් ගත්තා ය. ඒ දර්ශනය නන්දාට තදින්ම බලපෑවේ ය. ඇය කම්පනයට පත් විය.

ඇයට අනිත්‍ය පිළිබඳ මෙම  පාඩම ලබා දීමෙන් පසු, බුදුරජාණන් වහන්සේ ඇයට චතුරාර්‍ය සත්‍යය සම්පූර්ණයෙන් විනිවිද යන ආකාරයට ධර්මය පහදා දීමටත්, එමඟින් අරහත්වය පිණිස ඇයව මෙහෙය වීමටත් බුදුරජාණන් වහන්සේ භාවනා විෂයක් ලෙස ඇයට ශරීරයේ අනිත්‍ය හා අසුභය මෙනෙහි කිරීමට පැවරූ සේක..

ආතුරං අසුචිං පූතිං පස්ස නන්දේ සමුස්සයං,
අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමාහිතං

පින්වත් නන්දා, නිතර ලෙඩ දුකින් පෙළෙන, කුණු වෙලා යන මේ පිළිකුල් ශරීරය දෙස නුවණින්ම බලන්න. සිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාව වඩන්න.

අනිමිත්තඤ්ච භාවේහි මානානුසයමුජ්ජහ,
තතෝ මානාභිසමයා උපසන්තා චරිස්සසීති

කෙලෙස් සටහන් නැති විදර්ශනාව වඩන්න. හිතේ තියෙන මානය මුලින්ම උදුරලා දාන්න. අවබෝධයෙන්ම මානය නැති කරලා උපශාන්තව ජීවත් වෙන්න.

—- ථේරී ගාථා 19, 20 —-

***********************

මෙසේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඇයට නිතර නිතර අවවාද කළ සේක. ඇය දිවා රෑ වෙහෙස නොබලා වීරිය වැඩුවා ය.

“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.”

“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”

“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”

“යම් යම් තැනෙක්හි හුන්නාවූ මම හැම කල්හි ධ්‍යාන පරායනවූවාද, එම ගුණයෙහි තුටුවූ බුදුරජතෙම මා එතදග්‍රස්ථානයෙහි තැබූ සේක.”

—- නන්‍දා ජනපද කල්‍යාණි අපදානය —-

***********************

ඇයගේ අරහත්වයෙන් මෑත භාගයේ දී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාල සේක,

“පින්වත් මහණෙනි, මේ පින්වත් නන්දා වනාහී ධ්‍යාන කරන භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

අගතනතුරු ලැබීමට මූලික අඩිතාලම දැමුනේ මේ අයුරුනි. එනම්, ඇය පදුමත්තර බුදුරජාණන් වහන්සේ දවස හංසවතී නගරයේ ධනවත් පවුලක  ඉපදුණා ය. එක්තරා අවස්ථාවක ඇය බුද්ධ දේශනාවකට සවන් දී සිටිද්දී, පදුමත්තර බුදුරජාණන් වහන්සේ, ධ්‍යාන කරන භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් භික්ෂුණියක් නම් කරන අයුරු දුටුවා ය. ඇය ද  එම තනතුර අනාගතයේ දිනක අපේක්ෂා කළ අතර මහා පූජාවක් කිරීමෙන් පසු අනාගතයේ යම් කලක එසේ වූ අග්‍ර භික්ෂුණියක ලෙස ඇය ද නම් කරනු ලැබේවායි ප්‍රාර්ථනා කළා ය. ඇගේ පැතුම ඉටුවන බව බුදුන් වහන්සේ අනාවැකි පළ කළ සේක.

ඇයගේ ඒ පැතුම මෙසේ ගෞතම සම්බුදු රජුන් අභියස දී අර්ථ සිද්ධියට පැමිණියේ ය.