උප්පලවණ්ණා මහ රහත් තෙරණින් වහන්සේ

අතීත ප්‍රාර්ථනය

පදුමුත්තර බුදුන් දවස උප්පලවණ්ණාවෝ හංසවතී නගරයේ ධනවත් පවුලක උපත ලැබුවාය. එක් අවස්ථාවක ඇය විශාල පිරිසක් මැද සිටිමින් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම දේශනයකට සවන් දුන් අතර, එහිදී බුදුරජාණන් වහන්සේගේ සෘද්ධි බලයෙන් යුක්ත වූවන් අතර අග්‍ර භික්ෂුණියක ඒතදග්ගයෙහිලා නම් කරනු ඇය දිටීය. එය දුටු වහාම අනාගතයේ එවැනිම වූ උතුම් භික්ෂුණියක් වීමට ඇය ද ආශා කළා ය. ඇය දින හතක් පුරා බුදුන් වහන්සේට සහ සංඝයාට ආශ්චර්‍යමත් පූජාවක් කළාය. සත් දින අවසානයේදී ඇය අමතර පූජාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ පාමුල නෙළුම් මල් පොකුරු හතක් තබා, අනාගතයේ යම් බුද්ධ ශාසනයක සෘද්ධි බලයෙන් යුක්ත වූවන් අතර අග්‍ර භික්ෂුණිය වීමේ තමාගේ ප්‍රාර්ථනාව ප්‍රකාශ කළාය. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇගේ ප්‍රාර්ථනාව ඉටුවන එකක් බව දිවැසින් දැක වදාළ සේක. එය ගෞතම සම්බුද්ධ ශාසනය තුල දී ඉටුවන බව ද ප්‍රකාශ කොට වදාළ සේක.

පසේ බුදුරජාණන් වහන්සේට නෙළුම් මල් පූජා කිරීම

එතැන් පටන් දිවි හිමියෙන් බුදුන් වහන්සේට සහ සංඝරත්නයට උපස්ථාන කරමින් ජීවිත කාලයම කැප කළ ඇය එම ජීවිතයෙන් සමුගෙන තව්තිසා දෙව්ලොව ඉපදුණාය.

ඊළඟට ඇය පසේ බුදුරජාණන් වහන්සේ නමකට නෙළුම් මල් සහ ආහාර දානය  පූජා කොට ඒ පිනෙන් නැවත මනුෂ්‍ය ලෝකයේ ඉපදුණා. ඒ ඉතාමත්ම ධනවත් පවුලක දියණිය ලෙසයි.

මෙසේ ඇය කල්ප අනූ එකකට පෙර, විපස්සී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ බරණැස් නුවර ධනවත් පවුලක දියණියක ලෙස උපත ලැබුවා ය. ඇය තම නිවසට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නයට ආරාධනා කර බොහෝ සැදැහැයෙන් උපස්ථානයන් සිදු කළාය.
ඇය විපස්සී බුදුරජාණන් වහන්සේට නෙළුම් මල් පූජාවක් කරමින් ඇය නැවත වාරයක් තමාගේ අනාගත ආශාව පිළිබඳ ප්‍රාර්ථනාව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සිදු කළා ය.

කිකී රජුගේ දියණියක ලෙස ඇයගේ ජීවිතය

එම ජීවිතයෙන් නික්ම කුසල කර්මයාගේ විපාක වශයෙන් ඇය ඉක්බිති දෙව්ලොව හෝ මනුෂ්‍ය භවයේම උපත ලැබුවාය.

ඒසේ වැස, කස්සප බුදුරදුන්ගේ කාලයේ බරණැස කිකී රජුගේ දියණියන් හත්දෙනාගෙන් දෙවැනියා වූ සමණගුත්තා කුමරිය ලෙස ඇය උපත ලැබුවා ය.

එම ජීවිතය තුළ ඇය තම වැඩිමහල් සොහොයුරිය වූ, අනාගතයේ ගෞතම බුදු සසුනේ ඛේමා තෙරණිය ලෙස උපත ලැබීමට නියමිත ‘සමනී කුමරිය’ සේම වසර විසි දහසක් පැවති ජීවිතය කාලය පුරාවට පිරිසිදු බඹසර ජීවිතයක් මාළිගයේ සිටම (ගිහිව සිට) ගත කළාය. සොයුරියන් එක්ව සංඝයා වහන්සේට සංඝාවාස සංකීර්ණයක් සාදවා පූජා කළ හ. එසේ බොහෝ පින් රැස් කරගනිමින් සිට මරණයෙන් පසු ඇය නැවත ත් දෙවියන් අතරටම ගියා ය, දෙව්ලොව උපත ලැබුවාය.

'උම්මාදන්තී' ලෙස ඇයගේ ඇයගේ ජීවිතය

ඇය දෙව්ලොවින් චුතව නැවත මනුෂ්‍ය ලෝකයේ බොහෝ ධනවත් පවුලක උපත ලැබුවාය. එම ජීවිතය තුළ ඇය කස්සප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ එක්තරා රහතන් වහන්සේ නමකට රන්වන් පැහැති වස්ත්‍රයක් පූජා කළාය. (විස්තර සඳහා උම්මාදන්තී ජාතකය බලන්න.)

ඒ පිනෙන් ඇය, සිවි රටේ අරිට්ඨපුරයේ තිරීටවච්ච නම් ධනවත් බ්‍රාහ්මණයෙකුගේ අතිශය රූපවත් දියණිය වූ උම්මාදන්තී නමින් උපත ලැබුවාය (විස්තර සඳහා උම්මාදන්තී ජාතකය බලන්න).

කුඹුරක් රකින්නියක ලෙස ඇයගේ ජීවිතය

කර්මානුරූපීව එයින් චුතව ඇය ඊලඟට උපත ලැබුවේ දිළිඳු පවුලකයි. ඒ කුඩා ගමක ගොවියෙකුගේ දියණියක් ලෙසයි. 

දිනක් හිමිදිරි පාන්දරම ඇය කුඹුරට යන විට ඇය යන අතරමගදී පොකුණක නැවුම් ලෙස පිපී තිබුණු නෙළුම් මලක් දුටුවා ය. ඇය පොකුණට බැස එය නෙළා ගත්තා ය. නෙළාගත් මල ද රැගෙන කුඹුරට ගිය ඇය පැල් කෙටියේ තැනක මල පරිස්සමට තබා අහුලාගත් වී කරල් කිහිපයකින් ඇට ගලවා වී පොරි ටිකක් සකස් කලා ය. ඒ ඉන් කොටසක් ඇයගේ ආහාරය පිණිසත් ඉතිරිය විකුණා මුදල් කිසිවක් සොයා ගැනීම පිණිසත් ය. ඇය පන්සියයක් වූ පොරි සියල්ල ගණන් කළා ය. එනවිට මග දී පොකුණෙන් කඩාගත් නෙළුම් කොළයක් ගොටු ගසා නැවත වාරයක් පොරි ඇට ගණිමින් ඒවා නෙළුම් ගොටුව තුළට පරිස්සමට දැම්මා ය. මොහොතක් හිස ඔසවා පැල් කෙටියෙන් ඈත බලද්දී ඇය හරිම අසිරිමත් දර්ශනයක් දුටුවා ය.

එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් නැගිට ආකාශයෙන් අවුත් ඇයට නුදුරුව පාත්‍රය ඇතැතිව සිටගෙන සිටි සේක. ඇය වහා නැගිට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නය ජීවිතයෙන්
පසේ බුදුරජාණන් වහන්සේ ගේ පාත්‍රයට පොරි සියල්ල පූජාකොට නෙලාගත් මහනෙල් මලින් පාත්‍රයේ මුව වසා දොහොත් මුදුන් දී වැඳ සිටියා ය.

පසේ බුදුරජාණන් වහන්සේ නික්ම නැවත වැඩම කරනයුරු ඇය බොහොම සතුටින් බලා සිටියා ය. එසේ බලා සිටිද් දී ඇයට ක්ෂණයකින් මෙවැනි වූ සිතිවිල්ලක් පහළ විය.


‘ඕහ්! පසේ බුදුරජාණන් වහන්සේලාට මහනෙල් මලකින් කුමන ප්‍රයෝජනයක්ද? මමම ඒක ගන්නවා. අරගෙන මගේ හිසේ පැළඳ ගන්නවා’

ඒ සිතිවිල්ලත් සමග වහා ක්‍රියාත්මක වූ ඇය දිවගොස් මග වඩිනා පසේ බුදුරජාණන් වහන්සේව නවත්තවා පාත්‍රය ආවරණය කරමින් පූජාකළ මහනෙල් මල නැවත අරගත්තා ය.

නමුත් එසැණින් ඇය මේ ආකාරයෙන් ද සිතුවා ය:

‘හොඳයි, පසේ බුදුරජාණන් වහන්සේට මගේ මහනෙල් මල් පූජාව ඇවශ්‍ය නොවන්නේ නම්, උන් වහන්සේ එය ආරම්භයේදීම ප්‍රතික්ෂේප කරනු ඇත. දැන් එය උන්වහන්සේගේ දාන පාත්‍රය මත තැබීමට උන්වහන්සේ මට අවසර දුන් බැවින්, උන්වහන්සේ එය පූජාවක් ලෙසින් කැමති වන්නට ඇත.’

එසේ සිතමින් ඇය නැවත දාන පාත්‍රය මත මහනෙල් මල තැබුවාය.

එසේම වරක් පූජා කළ මල දුර දිග නොවිමසා නැවත අරගැනීමේ වරදට ඇය පසේ බුදුරජාණන් වහන්සේ නැමැද කමා අයැද සිටියා ය. ඇය මෙසේ ද කීවා ය:

“ස්වාමීනි, මේ පොරි පූජා කිරීමේ පිනෙන්, මතු භවයේදී මේ පොරි මල් ගණනට සමාන ගණනින් මට පුතුන් පන්සියයක් ලැබේවා.

තවද, මගේ නෙළුම් මල පූජා කිරීමේ පිනෙන්, මගේ අනාගත ජීවිතයේ දී මා තබන තබන සෑම පියවරක්ම පාසා නෙළුම් මල් පොළොවෙන් නැඟී ඒවා! “

*****(මේ සියල්ල බලා සිටි ගොපළු දරුවන් පන්සිය දෙනෙක් ඒ පොරි මතට මී පැණි පුදා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කොට, ඇය පැතූ දරුවන් පන්සියය ලෙස තමන් උපදීවා යි පැතූහ. එසේම ධර්මාවබෝධය ද පැතූ හ.)

පසේ බුදුරජාණන් වහන්සේ තරුණිය බලා සිටියදීම අහසට නැඟී ආපසු ගන්ධමාදන පර්වතයට වැඩම කළ සේක, සියලු පසේ බුදුවරුන්ගේ ප්‍රයෝජනය සඳහා නන්දමූල ගුහාවේ දොරටුව අසල නෙළුම් මල තැබූ සේක.

'පදුමාදේවී' රැජින ලෙස ඇයගේ ජීවිතය

ඒ භවයෙන් නික්ම, ඒ පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් ඇය මතු මතුත් දෙව්ලොවම උපදිත්. එහිදී ඇය තබන තබන සෑම පියවරකදී ම ඇගේ පාමුල පොළවෙන් නෙළුම් මලක් මතු වෙත්.

මෙසේ ආශ්චර්‍යමත් දිව්‍ය ජීවිතයක් ගතකොට එයින් චුතව ඇය ඕපපාතිකව මිනිස් ලොව උපත ලැබුවා ය. එය ද හරි අපූරු ක්‍රමයකට ය.
හිමවත කඳු පාමුල එක්තරා පොකුණක විශාල නෙළුම් මලක් තුලයි ඇගේ ඒ උපත සිදු වුනේ.

දිනක් හිමිදිරි උදෑසන, ඒ අසල ජීවත් වූ තාපසයෙක්, මුහුණ සෝදා ගැනීමට පොකුණට ගිය විට, අනෙක් පොහොට්ටු වලට වඩා විශාල වූ නෙළුම් මල් පොහොට්ටුවක් දුටුවේය. අනෙක් මල් පොහොට්ටු සූර්‍යෝදයත් සමග මනාව පිපී ගියත්, මෙම විශාල පොහොට්ටුව නොපිපී එසේම සිටියේය. ඔහුට එය අමුතු දෙයක් යැයි සිතුනු නිසා පොකුණට බැස ඒ විශාල නෙළුම් පොහොට්ටුව දෝතින්ම කඩා ගත්තේය.

ඔහුගේ අත්ල මත දී, ඒ පොහොට්ටුව එහි පෙති විහිදමින් පිපී ගියේ ය. පිපී ගිය නෙළුම් මල මත සිඟිති දැරියක් විය. ඔහුට දරුවා දුටු සැනින් ඇය කෙරෙහි පිය සෙනෙහස දැනෙන්නට විය. ඔහු ඇය නෙළුම් මල ද සමග රැගෙන ආරාමයට ගෙන ගොස් කුඩා යහනක් මත තැබීය. සිඟිති දැරියගේ අතීත කුසල් බලයෙන් ඇයගේ මහපට ඇඟිල්ලෙන් කිරි වහණය වන්නට විය. ඇයව නෙළුම් මලක් මතම වාසය කරවීය. ඇය තැබූ පළමු නෙළුම් මල මැලවී ගිය විට ඇයට යටින් අලුත් නෙළුම් මලක් තැබීය.

දැරියට ඇවිදින්නට හැකි වූ විට, ඇය යන සෑම තැනකම ඇගේ පා යට පොළොවෙන් නෙළුම් මල් මතු විය. ඇගේ පා කිසි විට පොළොව ස්පර්ශ නොකළා ය, නෙළුම් මල් කෙමියම ස්පර්ශ කළා ය. ඇයට තිබුනේ රන්වන් පැහැයෙන් යුත් සමකි. ඇය මනුෂ්‍ය රූපය ඉක්මවා ගිය දේව රූපයක් හා පමණක්ම සමාන විශිෂ්ඨ රූ සපුවකින් යුතු වූවා ය. ඇය නෙළුම් මලෙන් උපන් බැවින්, ඇයගේ කැපකරු පියාණන්, යහපත් තවුසාණන්, ඇයට පදුමාවතී (නෙළුම් කුමරිය) යන නම තැබීය. තවුසාණන් ඵලවැල සොයා අසපුවෙන් පිටත්ව යන සෑම විටම ඇය ආරාමයේම නැවතී සිටියා ය. ඇය ආරාම භූමියෙන් පිටතට කිසි දිනක නොගියා ය.

පදුමාවතිය රැජිනක් වෙයි

පදුමාවතිය දැන් වැඩිවිය පැමිණි සුන්දර තරුණියකි. දිනක් තවුසාණන් ඵලවැල සොයා අසපුවෙන් පිටත්ව ගොස් සිටි විට අහම්බෙන් ආරාමයට පැමිණි දඩයක්කාරයෙක් පදුමාවතිය දුටුවේ ය. ඔහු මෙසේ සිතුවේය.

“මේ දැරිවිය තරම් ලස්සන මනුස්ස දුවක් මේ මිහිපිට තවත් නැහැ. මම ඇය කවුදැයි සොයා බැලිය යුතුයි. ”

ඔහු තවුසාණන් නැවත පැමිණෙන තෙක් බලා සිටියේය. තවුසාණන් ආපසු එනු දුටු දැරිය ඔහු වෙත ගොස් ඔහුගෙන් ඵලවැල කඩනා කෙක්ක, පළතුරු කූඩය සහ වතුර කළය ගෙන නිසි අයුරින් තබා, තවුසාණන් හට ආසනයක් පැනවූවා ය. එහි වාඩි වූ තවුසාණන්ගේ පා මිරිකමින් තෙල් ගල්වමින් ඇය ඔහුට උපස්ථාන කළා ය.

ඒ වන විට දඩයක්කරු සිටියේ මේ සියල්ල දෙස සැඟවී බලාගෙනයි. ඔහු දැරියගේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් දකිද්දී ඇය ඒකාන්තයෙන්ම මනුෂ්‍ය දුවක් බව ප්‍රත්‍යක්ෂ කොට දැන ගත්තේ ය. ඔහු තවුසාණන් වෙත ගොස් වන්දනා කළේ ය. එකත්පස්ව හිඳ ගත්තේය. තවුසාණන් ඔහු හට පලතුරු හා ජලය ලබා දී, ආගන්තුක සත්කාරකොට ඔහුගෙන් මෙසේ ඇසීය.

“ඔබ නැවතී සිටින්නේ වනාන්තරයේද නැතහොත්, ඔබ නැවත ඔබේ නිවසට යනවද?”

දඩයක්කාරයා මෙසේ පිළිතුරු දුන්නේ ය. “නැහැ ස්වාමීනී. මා වනයට ආ කටයුතු හමාරයි. දැන් මම මේ මගේ නිවසට ආපසු යනගමන්”

අනතුරුව ඔවුන් අතර මෙවැනි වූ සම්මුති කථාවක් ඉස්මතු වී ආයේ ය.

“පින්වත, මම ඔබෙන් අපේක්ෂා කරන්නේ එක දෙයයි. ඔබ මාගේ දියණිය මේ වනයේදී දුටු බව කිසිවෙකුවත් සමග නොපවසන බවට මට පොරොන්දුවක් දිය හැකිද?”

“අනේ ස්වාමීනී, නුඹ වහන්සේ ඊට අකමැතිනම් මා කුමට ඒ බව කා සමගවත් හඟවන්ටද?”

තමාට දැක්වූ සත්කාරයන්ට ගෞරව දැක්වූ දඩයක්කරු තවුසාණන්ට වැඳ ඔවුන්ගෙන් සමු ගත්තේ ය. ඔහු තවුසාහට කුමනාකාරයේ පොරොන්දුවක් දුන්නත් නැවත වනයෙන් එන ගමනේදී එහි මං සළකුණු මනාව තබමින් යලි අපහසුවකින් තොරව ආරාමය සොයාගැනීමට හැකි වන ආකාරයෙන් රුක් කඳන්වල සටහන් තබමින් ඔහු නිව බලා ආවේය.
නගරයට පැමිණි වහ ඔහු රජු මුණ ගැසීමට ගියේ ය. පැමිණි කාරනය විමසා සිටි රජු හට හේ මෙසේ කීහ.

“මහ රජතුමනි, මම ඔබේ යටහත් පහත් සේවකයෙක්, දඩයක්කාරයෙක්. කඳු පාමුල වනයේ, මහරජාණන් වහන්සේටම වටින අනර්ඝ රත්නයක් විය හැකි අතිවිශිෂ්ට රූපයකින් යුක්ත කාන්තාවක් වනයේ සිටින බව මහරජාණන් වහන්සේට වාර්තා කිරීමට මම පැමිණෙමි.”

ඔහු තම වටිනා සොයාගැනීම රජුට පැහැදිලි කළේය. රජු ඊට දැඩි උනන්දුවක් දැක්වීය. රජු මදකුත් කාලය මිඩංගු නොකර ඒ මොහොතේම කඳු පාමුල දෙසට පිටත් විය. ආරාමයට නුදුරු ස්ථානයක කඳවුරු බැඳගත් ඔහු තවුසාණන් භෝජන වළඳා අවසන් වන තෙක් බලා සිට ඇමතියන් කිහිප දෙනෙකුද කැටුව තවුසාණන් හමුවට ගියේය. රජු, ආරාමයේ ඉදිරිපිට වාඩි වී සිටි තවුසාණන් හට ආචාර කර, මොහොතක් සතුටු සාමීචියේ යෙදී සිට සුදුසු ස්ථානයක වාඩි විය.

රජතුමා තවුසාණන් හටකැප සරුප් ආකාරයේ පූජා පිරිකර ආදිය ද පූජා කළේ ය. පසුව ඔහු මෙසේ පැවසීය.

“ස්වාමීනි, මෙහි වාසය කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? අපි නගරයට යමු.”

“මහ රජතුමනි, මට නගරයෙන් ප්‍රයෝජනයක් නැහැ නෙව” 

එයට රජතුමා මෙසේ කීවේය: “හොඳයි, ස්වාමීනි, නමුත් ඔබවහන්සේගේ ආරාමයේ දියණියක් සිටින බව මට දැනගන්නට ලැබුනා. ස්ත්‍රියක් හුදෙකලාව වනයක සිටීම සුදුසු නැහැ. ඔබේ දියණියට මා සමඟ යාමට අවසර දෙන ලෙස මම ඉල්ලා සිටිමි.”

රජු විසින් කරන ලද මෙම සෘජු ඉල්ලීමට තවුසාණන් මෙසේ පිළිතුරු දුන්නේය: “එක් අයෙකුට එකවර බොහෝ මිනිසුන් පිරිසක් සතුටු කිරීම පහසු නැත. තත්වය එසේ තිබියදී බොහෝ බිසෝවරුන් සහ කන්‍යාවන් ජීවත්වෙන මාළිගා ජීවිතය මගේ දියණියට ගැලපෙන්නේ කෙසේද? ”

“ස්වාමීනි, මට ඇයව විවාහ කර ගැනීමට අවසර දී ඇයට මගේ ආදරය ලබා දීමට නුඹ වහන්සේ අවසර දෙන්නේ නම්, මම ඇයව මගේ අග බිසව කර ගනිමි” යි පවසමින් රජු තවුසාණන්ගේ බිය දුරු කළේය.

එවිට තවුසාණන් තම දියණිය ඇමතුවේය. ඔහු ඇය කුඩා කල සිටම ආමන්ත්‍රණය කළ පරිද්දෙන්ම ඇයට ආමන්ත්‍රණය කළා ය:

“පදුමාවතී, මගේ කුඩා සුරතල් කුඩා දියණිය…..!”

පදුමාවතී වහා කීකරුව ප්‍රතිචාර දැක්වූවාය. ඇය ආරාමයෙන් පිටතට පැමිණ, තම පියාට ආචාර කරමින්, ඔහු ඉදිරියේ සිට ගත්තා ය. තවුසාණෝ ඇයට මෙසේ කීහ:

“මගේ ආදරණීය දියණිය, ඔබ දැන් වැඩි වියට පැමිණි තරුණියක්. රජතුමා ඔබ පිළිබඳ දැනගත් මොහොතේ පටන් ඔබ තවදුරටත් මෙහි විසීම සුදුසු නොවෙයි, මගේ පුංචි දියණිය නුඹ රජතුමා සමග පිටත් වෙන්න”

“හොඳමයි, පියාණෙනී,” යි පවසමින්, හඬමින්, ඇය තවුසාණන් අසලම සිටගෙන සිටියාය.

බරණැස් රජු තම අවංකභාවය ඔප්පු කරමින් ඒ මොහොතේම, පදුමාවතී රන්, රිදී සහ ආභරණවලින් ආදී නේක ආභරණයෙන් සරසවා රත්‍රන් ගොඩක් මත හින්දවා අභිෂේක පැන් විසුරුවා ඇයව ප්‍රධාන බිසෝ තනතුරේ තැබුවේ ය, ඇයව තම අග බිසව ලෙස අභිෂේක කළේය.

පදුමාවතී බිසව අන්තඃපුර කුමන්ත්‍රණවලට ගොදුරු වෙයි

බරණැස් මාළිගයේදී, රජුගේ සිත ප්‍රධාන බිසව වූ පදුමාවතිය විසින් කොතරම් වසඟ කර ගත්තේද යත්, ඇය පැමිණි දා සිට, අනෙකුත් සියලුම බිසෝවරුන් සහ කන්‍යාවන් රජු විසින් මුළුමනින්ම නොසලකා හරින ලදී. ඔවුන් වෙත රජුගේ බැල්මක්වත් නොලැබුණි. අන්තඃපුර බිසෝවරුන්ට මේ නිසා පදුමාවතිය ගැන මහත් ඊර්ෂ්‍යාවක් දැනිනි. ඔවුන් රජුගේ සිත බිඳවීමට මහත් අයාසයන් ගත්හ. කේලම් කීහ.

“මහ රජතුමනි, පදුමාවතී මනුෂ්‍ය දුවක් නොවේ. ඇවිදිනකොට නෙළුම් මල් පිපෙන මිනිසෙක් මීට පෙර ඔබ වහන්සේ මේ මිහිපිට දැක තිබේ ද? මේ මිහිපිට කොහේදී දැක තිබේද? මනුෂ්‍යයෙක් හට එවැනි වූ දෙයක් කෙසේ ලැබෙන්ටද?  ඇය යක්ෂණියක්, නිසැකවම ඇය යක්ෂණියක්. ඇය භයානකයි. ඇයව වහාම පිටුවහල් කළ යුතුයි! ”

රජු කිසිවක් කීවේ නැත.

කාලයාගේ ඇවෑමෙන් පදුමාවතී ගැබ්ගත්තා ය. ඇගේ ගැබ මෝරා වැඩෙද්දී, දරුවා ලැබීමට ආසන්න කාලයේ දී ඈත දනව්වක කැරැල්ලක් හටගත් නිසා එය සන්සිඳවීමට රජුට මාළිගයෙන් පිටතට යාමට සිදු විය. අකමැත්තෙන් නමුත් රජුට එහි යාමට සිදු විය. අන්තඃපුර කාන්තාවන් මෙය ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීමට අවස්ථාවක් කර ගත්හ. ඔවුන්  පදුමාවතීගේ උපස්ථායිකාවට අල්ලස් දී දුෂ්ට කුමන්ත්‍රණයක් කළහ. පදුමාවතී රැජින තම දරුවා ප්‍රසූත කරන විට බිළිඳා ඉවත් කර ඒ වෙනුවට ලේ තැවරුණු ලී කැබැල්ලක් තබන ලෙස ඔවුන් විසින් ඇයට උපදෙස් දෙන ලදී.

පදුමාවතියගේ කුස තුල වැඩුනේ එක දරුවෙක් පමණයි. ඒ මහා පදුම කුමාරයයි. එනිසා ඇය ප්‍රසූථ කළේ මහාපදුම කුමාරය පමණී. නමුත් ඒ ප්‍රසූර්ථියේදී ගැලූ රුධිරයෙන් ඕපපාතිකව තවත් දරුවන් හාරසිය අනූනව දෙනෙක් බිහි වූහ. මෙසේ පදුමාවතියට දරුවන් පන්සිය දෙනෙක් ලැබුනි. (කලින් ජීවිතයේදී කළ ප්‍රාර්ථනය එසේ ඉෂ්ඨ සිද්ධ වීය.)

උපස්ථායිකාව, ලද උපදෙස් නිසි පරිදි ඉටු කර අග බිසවගේ ප්‍රසූතිය පිළිබඳ පුවත අනෙකුත් බිසෝවරුන්ට දන්වා සිටියේය. අන්තඃපුර කාන්තාවන් පන්සියය වහා පැමිණ එක් එක් අයෙක් එක්  එක් දරුවෙකු බැගින් සොරකම් කළහ. ඒ වන විට පදුමාවතිය දරුවා බිහිකීරීම නිසා බොහෝ දුර්වලව නිදා සිටියා ය. එනිසා ඈ මේ කිසිවක් දැන සිටියා නොවේ. කොටින්ම කියතොත් ඈ තමන් දරුවන් පන්සියයක් ලැබූ බවවත් නොදැන සිටියා ය.

අන්තඃපුර කාන්තාවන් කරඬු පන්සියයක් තනවා ඒ එකී එකී කරඬුව තුළ දරුවන් තැන්පත් කළහ. ඒ කරඬු තමන් භාරයේ සඟවා තබා ගත්හ.

පදුමාවතී රැජින අවදි වී තම සහායිකාවගෙන් තම දරුවා ගැන විමසුවා ය. එවිට ඇය තම නළල හකුළුවාගනිමින් රැළි ගන්වමින් මෙසේ කීය.

“ඔබ කවදාද දරුවෙකු බිහි කළේ ? ඔබ බිහි කළේ මෙයයි” කියමින් ලෙයින් තැවරුණු ලී කැබැල්ල පෙන්වා සිටියා ය. වික්ෂිප්තව ගිය පදුමාවතිය බොහෝ දුකට පත් වූවා ය. වහා එය විසිකර දමන මෙන් ඉල්ලා සිටියා ය. සේවිකාව, දර කැබැල්ල කැබැලි කොට කුස්සියේ ගිනි උදුනට දමා රැජිනගේ ගෞරවය ආරක්ෂා කිරීමට ආශාවෙන් සිටින්නාක් සේ හඟවමින් වහා ඉවත්ව ගියා ය.

රජු සිය රාජකාරී කටයුතු නිමාකොට ආපසු පැමිණ මාළිගයට පිවිසීමට සුභ නැකත එනතුරු නගරයෙන් පිටත කඳවුරු බැඳගෙන සිටියේය. අන්තඃපුර ස්ත්‍රීහු රජුට ආචාර කිරීමේ මුවාවෙන් එහිගොස් පදුමාවතිය පිළිබඳ රජුට ගතු කීහ, පදුමාවතී බිසව පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියහ.

“මහ රජතුමනි, ඔබ වහන්සේ මහ රැජින ගැන අපි කියන වචනය විශ්වාස කළේ නැහැ නෙව. නමුත් දැන් දර කුට්ටියක් ප්‍රසූථ කළ ඒ පදුමාවතී රැජිනගේ සහායිකාවගෙන්ම සියල්ල විමසන්න!”

සියල්ල අසාසිටි රජතුමා කිසිඳු සොයාබැලීමකින් තොරව පදුමාවතිය යක්ෂණියක් යැයි විශ්වාස කර ඇයව පිටුවහල් කිරීමට නියෝග කළේය.

*****(මේ විපාක දීමට යන්නේ, පෙර ජීවිතයේදී, පසේ බුදුරජුන්ට පිදූමල නැවත දිවගොස් අරගැනීමෙන් රැස් වූ බලවත් අකුසල කර්මයේ දුක් විපාකයයි.)

රජු විසින් ඇයව මාලිගාවෙන් නෙරපා හරින ලද බැවින් තව දුරටත් ඇගේ පාද යට නෙළුම් මල් දිස් නොවීය. ඇගේ සුන්දර පෙනුම ඇය හැර ගියේය. ඉබාගාතයේ මහ මග ඇවිද ගියා ය. ඇය දුටු මහලු කාන්තාවකට ඇය පිළිබඳ මවු සෙනෙහස ඇතිවිය. ඈ උපන් මවු සෙනෙහසින් යුක්තව අසරණ පදුමාවතිය ඇමතුවා ය:

“මගේ දුව, ඔබ කොහෙද යන්නේ?”

පදුමාවතී මෙසේ පිළිතුරු දුන්නාය: “අනේ අම්මේ, මට යන්න තැනක් නෑ. මම ඉන්න තැනක් සොයා ඇවිදිමි.”

මහලු කාන්තාව මෙසේ කීවාය: “එහෙම නම්, මගේ දුව, මා සමඟ මගේ නිවසට එන්න,”

ඒ මහලු මව ඇයව තම නිවසට ගෙන ගියා ය. ගොස්, ඇයට පෝෂණය කරමින් එහි තම දියණි තනතුරේ තැබුවාය.

අන්තඃපුර කුමන්ත්‍රණය හෙළි විය

මෙසේ පදුමාවතී මහලු කාන්තාවගේ නිවසේ නැවතී සිටියා ය.

තමාගේ කුමන්ත්‍රණය වංචාවෙන් සාර්ථක කරගත් අන්තඃපුර ස්ත්‍රීන් සතුටින් ඉහවහා ගොස් සිටියහ. ඔවුන් රජුට මෙසේ කීහ.

“මහ රජතුමනි, ඔබ යුධ ගමනේ යෙදෙන විට, අපි ගංගා නදියේ ආරක්ෂක දෙවියාගෙන් ඔබ වහන්සේ වෙනුවෙන් උපකාර ඉල්ලා සිටියෙමු. ඔබ වහන්සේ සාර්ථකව, ජයග්‍රාහීව නැවත පැමිණියහොත් පූජා සත්කාරකොට කෘතගුණ දැක්වීමට අපි පොරොන්දු වූවෙමු. ඉතින් රජ්ජුරුවන් වහන්සේත් අපි හැමෝමත් ගංගා නදියට ගොස් දේවතාවුන්ට පූජා සත්කාරකොට අනතුරුව දිය ක්‍රීඩා කරමින් සතුටු වෙමු. ඒ පිණිස ගංගා නදිය වෙත පිටත් වීමට අවශ්‍ය කටයුතු සලසාදෙන සේක්වා”

රජු සතුටු සිතින් එකඟ වූ අතර ඔවුන් සියල්ලෝම ගඟට ගියහ.

පන්සියයක් ස්ත්‍රීන් රහසිගතව ළදරුවන් සහිත කරඬු වස්ත්‍ර තුළ සඟවා ගඟට යද්දී රැගෙන ගියහ. ඔවුන් ගඟට ගිය පසු, ගඟේ පහළට ඒ කරඬු මුදා හැරියහ. එම කරඬු පන්සියය දිය පහරේ ගසා යද්දී වෙන් නොවී එකට එකතු වී, එකට පාවී, ගඟ පහළ ධීවරයන්ගේ දැලට ඇමිණී ගියේ ය. රජතුමා ගඟේ ස්නානය කර අවසන් වූ පසු, ධීවරයෝ ද දියෙන් දැල එසවූහ. ඔවුන් පුදුමයට පත් කරමින්, එහි වූ කරඬු පන්සියය ඔවුන්ට දක්නට ලැබින. වහා ගොස් ඒ සියල්ල රජු හට ඉදිරිපත් කළ හ. රජු ඔවුන්ගෙන් මෙසේ ඇසීය.

“කරඬුවල අඩංගු වන්නේ කුමක්ද?” 

“ඒවා තුළ ඇති දේ අපි නොදනිමු, මහ රජතුමනි, කෙසේ නමුත් අපි ඒවා අමුතු දෙයක් ලෙස විශ්වාස කළෙමු.”

රජුගේ අණ පරිදි පන්සියයක් කරඬු විවෘත කළේ ය. මුලින්ම විවෘත කළේ මහාපදුම කුමරුන් සිටි කරඬුවයි.

පන්සියයක් කුමරුන්ගේ අතීත කුසල් බලය කෙබඳුද යත්, කරඬුවල සිරකළ දින පටන් ඔවුන්ගේ ජීවිත වලට අනතුරක් නොවීම පිණිස, පෝෂණය ලැබීම පිණිස ඔවුන්ගේ මාපටැඟිලිවලින් කිරි ගලා ගියේය. ආයේ ය. සිඟිත්තෝ ඒ කිරෙන් පෝෂණය ලද හ.

සක් දෙවිඳු, රජුගේ සිතේ තිබූ සැකය පහව යෑම පිණිස ඒ ඒ කරඬුවල මෙසේ රජුට පමණක් පෙනෙන සේ කොටා තිබින.

“පදුමාවතී බිසවගෙන් උපන් මේ ළදරුවෝ බරණැස් රජුගේ පුත්‍රයෝ වෙති. මහ රැජින කෙරෙහි අමනාප වූ පන්සියයක් බිසෝවරු සහ ඔවුන්ගේ සහචරයින් විසින් ළදරුවන් උපන් සැනෙන් කරඬු තුළට දමා ගඟට විසි කර ඇත. බරණැස රජ තෙමේ මේ කරුණු දැනගනිත්වා” යි එහි කොටා තිබින.

අතිශය සංවේගයට පත් රජ තෙමේ මහාපදුම කුමරු වඩාගෙන මෙසේ අණ කෙළේ ය: “ඇමතියනි, වහා රථ සූදානම් කරව, අශ්වයන් සූදානම් කරව! මම දැන් නගරයට ගොස් අන්තඃපුර කාන්තාවන්ට මගේ නියම ආදරය පෙන්වමි.”

එසේ කියමින් රජු කඩිනමින් යානාවන්ට නැගී නුවරට ගොස් මාළිගයට පිවිසියේ ය. රන් කාසි දහසක් සහිත වෙල්වට් රෙද්දෙන් කල අනර්ඝ මල්ලක් මංගල හස්තියාගේ ගෙලෙහි බැඳ සියළු වීථීන් ඔස්සේ නගරය පුරා යැවිමට හේ අණ ලබා දුන්නේ ය. මෙසේ අඬ බෙර ගැස්සවීය.

‘පදුමාවතී බිසව දුටු කවරෙකුට වුව ද රජුගේ මංගල හස්තියාගේ ගෙලෙහි බැඳ ඇති රන් කාසි දහසක් සහිත අනර්ඝ පසුම්බිය ත්‍යාගයක් ලෙස ගත හැකිය’

එම ප්‍රකාශය ඇසූ පදුමාවතී, මහලු කාන්තාවට මෙසේ කීවාය: “මෑණියනි, ඒ රන් කහවණු දහස රාජකීය ඇතාගේ බෙල්ලෙන් ගලවා අරගන්න!”

මහලු කාන්තාව මෙසේ කීහ: “අනේ දියණියනි, මම ඒක කරන්න තරම් එඩිතර එකියක් නොවේ”

පදුමාවතී ඇයට එසේ කරන ලෙස තෙවරක් බල කළාය. එවිට මහලු කාන්තාව මෙසේ කීවාය: “අනේ දියණියනි, ඔවුන් බිසව ගැන අසද්දී මා කුමක් කිව යුතුද?”

“ඔබේ දියණිය විසින් පදුමාවතී බිසවව දැක ඇති බව කියන්න”

එවිට මහලු කාන්තාව ත්‍යාගය ඉල්ලා සිටීමට තරම් නිර්භයව රාජකීය දූතයන් වෙත ගියා ය.

“ඇත්තටම ඔබ පදුමාවතී බිසව දැක තිබෙනවාද” රාජකීය දූතයන් ඇසූහ.

“මම ඇයව දැකලා නැහැ, නමුත් මගේ දියණිය දැකලා තියෙනවා” ඇය පැවසුවා ය.

“දැන් ඔබේ දියණිය කොහෙද?”

රාජකීය පිරිස මහළු කාන්තාව සමග ඇයගේ නිවසට පැමිණියෝය. ඔවුන් වහා ඔවුන්ගේ රජතුමන්ගේ රාජකීය බිසව හඳුනා ගත්හ. ඇගේ දෙපා මුල වැඳ වැටුනාහ. තමා හා මෙතෙක් කාලයක් දුප්පත්ව කුඩා නිවසේ ජීවත් වෙමින් හුන් මේ තරුණ කාන්තාවගේ සැබෑ අනන්‍යතාවය දුටු මහලු කාන්තාව ඇයට ආදරයෙන් මෙසේ කීවාය:

“මේ උතුම් කාන්තාව ඉතා මත් අපූරු තැනැත්තියකි. රටේ ප්‍රධාන රැජින ලෙස ඇයට ලැබුනු ඇයගේ කීර්තිමත් තනතුර නොතකා, කිසිඳු දොස් බිනීමකින් තොරව, කිසිවෙකු නොමැතිව මෙතරම්ම දිළිඳු අයුරින් ජීවත් වීමට ඇය නොපැකිළි වූවා ය.”

පසුව රජුගේ මිනිසුන් පදුමාවතී බිසොවුන් සිටි දුප්පත් නිවස වටා සුදු රෙදිවලින් ආවරණයක් සාදා, ඒ වටා මුරකරුවන් යොදවා, ඔවුන් බිසොවුන් සොයාගත් බව රජුට දන්වා සිටියහ. රජතුමා ඇයට රන් දෝලාවක් එව්වේ ය. නමුත් උත්සවාකාරයෙන් නැවත මාළිගයට පිවිසීමටයි ඇය කැමතිව සිටියේ. රාජ සේවකයන් ඒ බව මහ රජුට දැන් වූ විට රජු ඒ මොහොතේම ඊට අවශ්‍ය සියල්ල සූදානම් කිරීමට අණ කළේ ය. ඒ අනුව මුළු නුවරම දෙව් විමනක් සේ මොහොතකින් පෙනෙන්ට ගත්තේ ය. ඇය මාළිගයට යන මාර්ගය පුරාම රන් තරු වලින් සරසා ඇති වියන් බඳවා අලංකාර බුමුතුරුණු එලා මොනවට සරසා සකස් කරන ලදී. ඇයගේ රාජකීය ආභරණ සහ වස්ත්‍ර ද තමා වෙත එවන ලෙස ඇය ඉල්ලා සිටියාය.

“මම මාළිගය වෙත යානයෙන් නොයමි. මම් ඇවිදගෙන යමි. මා තුල ඇති ආශ්චර්‍ය සියළු සත්වයෝ දකිත්වා” යි ඇය රජුට දන්වා යැවීය.

මහ රැජිනගේ සෑම කැමැත්තක්ම ඒ ආකාරයෙන්ම ඉටු කළ යුතු බවට රජු නියෝග කළේය. ඉක්බිති පදුමාවතී බිසව රාජකීය වස්ත්‍රවලින් සැරසී “මම දැන් මාලිගාවට යමි” යි ප්‍රකාශ කළාය.

ඒත් සමගම ඇය තබන තබන සෑම පියවරක් පාසාම අලංකාර බුමුතුරුණු අතරින් සුවඳවත් විශාල නෙළුම් මලක් පොළොවෙන් මතු වී ආවේ ය. මෙසේ ඇය මාලිගාවට ඇතුළු වන විට සියලු මිනිසුන්ට ඇගේ ආශ්චර්‍ය දැක බලා ගැනීමට ඉඩ හැරියේය. ඉන් පසු ඇය කෘතගුණ සැළකීමක් ලෙස අතිශයෙන්ම අනර්ඝ ඒ සියලු බුමුතුරුණු මහළු මවට තෑගි කළා ය.

පදුමාවතී රැජිනගේ උදාරත්වය

රජතුමා පන්සියයක් ස්ත්‍රීන් කැඳවා පදුමාවතී බිසවට මෙසේ කීවේය: “මගේ ප්‍රිය බිසවුනි, මම මේ කාන්තාවන් පන්සියයක් දෙනා මම ඔබට වහලුන් ලෙස දෙමි.

එවිට රැජින මෙසේ කීවාය: “රජතුමනි, මට මේ කාන්තාවන් පන්සියයක් දෙනා වහලුන් ලෙස දීම ගැන මුළු නගරයටම දන්වන්න.”

පදුමාවතී බිසවට පන්සියයක් කාන්තාවන් වහලුන් ලෙස දුන් මේ පැවරුම ගැන රජු රාජ දූතයින් ලවා නගරය පුරා ප්‍රකාශ කරවීය. ඉන් අනතුරුව බිසව රජු හට මෙසේ කීවාය.

“මහා රජතුමනි, මගේ වහලුන් නිදහස් කර ගැනීමේ බලය මට තිබේද?”

එයට රජතුමා මෙසේ පිළිතුරු දුන්නේය  “අහෝ මා ප්‍රිය බිසවුනි, ඔවුන් සමඟ ඔබ කැමති ඕනෑම දෙයක් කිරීමට ඔබට අයිතියක් ඇත.”

“එසේ නම්, මහරජතුමනි, එම පැවරුම ප්‍රකාශ කළ ඒ මිනිසුන්ම, පදුමාවතී බිසවට පැවරූ දාසියන් පන්සිය දෙනා පදුමාවතී බිසව විසින් නිදහස් කළ බවට දන්වා මෙයින් නිදහස ලබා දෙන බවට ප්‍රකාශ තවත් අඬබෙරයක් යවන සේක්වා”

ඉන්පසුව බිසව තමන් විසින්ම මහාපදුම කුමරු බලාගැනීමේ වගකීම භාරගත් අතර ඉතිරි කුමාරවරුන් 499 දෙනා අන්තඃපුර කාන්තාවන් හට බලාගැනීම පිණිස බාර දුන්නා ය.

පන්සියයක් කුමරුවෝ පසේ බුද්ධත්වයට පත්වෙති

පන්සියයක් කුමාරවරු ක්‍රීඩා කරන වයසට පැමිණි විට රජතුමා කුමාරවරුන්ට අවශ්‍ය සියල්ල රාජකීය උද්‍යානතුළ සකස් කළේ ය. ඔවුන් දහසය හැවිරිදි වියේ පසුවන විට දිනක් නෙළුම් මල් බොහෝ ගණනින් පිපී තිබූ රාජකීය පොකුණුවලට බැස ක්‍රීඩා කරමින් සිටියහ.  මහා පින්වන්තයන් වූ ඔවුන් සියළුම දෙනා, නෙළුම් මල් පිපී පරවී පෙති හැලී යනාකාරය මැනවින් නිරීක්ෂණය කළහ. ඔවුහු මෙසේ සිතූහ.

“උෂ්ණය සහ පෝෂක ආධාර මත පමණක් රඳා පවතින මෙම නෙළුම් මල් පවා වයසට යෑමට ලක් වේ. සාධක හතරක් (කර්මය, මනස, උෂ්ණත්වය සහ පෝෂක) මත රඳා පවතින අපගේ ශරීරය මේ එකම ඉරණමෙන් ගැලවිය හැක්කේ කෙසේද (එනම් අපද වයසට යාමට හා මරණයට යටත් වේ.)

ඔවුන් එම සංසිද්ධීන් (පැවැත්මේ අනිත්‍යතාවය) ගැඹුරින් ආවර්ජනය කළ අතර, මනස සහ කය යන ස්වභාවය පිළිබඳ පිළිබඳව පිරිසිඳ දැකීමෙන් කිසිවෙකුගේ ඉගැන්වීමකින් තොරව තමන් විසින්ම අවබෝධයට පත් වූහ. මෙසේ ඒ පන්සියයක් වූ සියළු කුමාරවරුන් පසේ බුද්ධත්වයට පැමිණ වදාලහ. අනතුරුව ඒ පසේ බුදුරජාණන් වහන්සේලා තම තමන්ගේ අසුන්වලින් නැඟිට විලෙහි වූ එක් එක් නෙළුම් මල මත තම තමන්ගේ විශේෂ සෘද්ධි බලයෙන් අසුන් ගත් සේක. එහි පළඟක් බැඳ වාඩි වී ධ්‍යාන ක්‍රීඩාවෙහි යෙදි හුන් සේක. එනම්, ධ්‍යානයන්ට සම වැදී සුවසේ එහිම වැඩහුන් සේක..

සවස් වන විට සේවකයෝ කුමාරවරුන් අමතා මෙසේ කීහ: “ස්වාමීනි, දැන් මාළිගයට යාමට කාලයයි.”

පන්සියයක් කුමාරවරු (පසේ  බුදුරජාණන් වහන්සේලා) කිසිවක් නො කීහ. එබැවින් උපස්ථායකයෝ රජ මාළිගයට ගොස් රජතුමාට කාරණය දන්වා සිටියහ. එවිට රජු මෙසේ කීය.

“මගේ පුත්‍රයන්ට ඔවුන් කැමති පරිදි සිටීමට ඉඩ දෙන්න”

පන්සියයක් පසේ  බුදුරජාණන් වහන්සේ රාත්‍රිය පුරා මල් මත වැඩ සිටි බැවින් මුළු රාත්‍රිය පුරාවටම පොකුණ වටා ආරක්ෂකයින් තබන ලදී. අලුයම් වේලෙහි උපස්ථායකයෝ ඔවුන් සමීපයට ගොස්, “අනේ කුමාරවරුනි, දැන් මාළිගයට යන්න වෙලාව හරි” යි කීහ.

ඉක්බිති පසේ  බුද්ධ වූ කුමාරවරු මෙසේ කීහ: “අපි තව දුරටත් කුමාරවරු නොවෙම්හ; අපි පසේ බුද්ධත්වයට පත් වූවෝ වෙම්හ.”

එවිට උපස්ථායකයෝ සැකයෙන් මෙසේ කීහ: “කෙසේද එසේ කියන්නේ? පසේ බුදුරජාණන් වහන්සේලා ඔබ වැනි නොවේ, ඔවුන් සතුව ඇත්තේ දෑඟුලක් පමණ දිග කෙස් කළඹක් පමණි, ඔවුන් සතුව ශ්‍රමණ පරිශ්කාර තිබේ. එහෙත්, දිගු කෙස් කළඹකින්, උඩු රැවුලින්, සහ රාජකීය ආභරණ වලින් සැරසී සිටින ඔබ ඇඳුම් හැඳ සිටී. ඉතින් ඔබ වහන්සේ පච්චේකබුද්ධ’යි කියන්නේ කොහොමද?” (උපස්ථායකයෝ තමන් දන්නා පරිදිපසේ බුදුරජාණන් වහන්සේලා ගැන මෙසේ විස්තර කළහ.)

එවිට කුමාරවරු ඔවුන්ගේ හිස සිය අතින් පිරිමැද්දහ. ඒ මොහොතේම ඔවුන්ගේ බාහිර කුමාර රූපය වෙනස් වී සියලු පරිෂ්කාර සහිතව පසේ බුදුරජාණන්වහන්සේ නමකගේ ස්වරූපයට පත් විය. මිනිසුන් ඔවුන් දෙස බලා සිටියදී ම උන්වහන්සේලා අහසට නැඟී ගන්ධමාදන පර්වතය දෙසට වැඩි සේක.

පදුමාවතිය මියගොස් නැවතත් මනුෂ්‍ය ලෝකයේ උපදී

පදුමාවතී බිසව, තම පුතුන් පන්සියය නැවත ලැබීම ගැන සිටියේ මහත්ම සතුටිනි. නමුත්, දැන් ඔවුන් හදිසියේම ඇයට අහිමි වී ගොසිනි. ඇය එනිසා අතිශයින්ම කම්පාවට පත් වූවාය. ඇය ඒ කම්පනයෙන්ම මිය ගියා ය.

එම ජීවිතයෙන් සමුගත් ඇය රජගහ නුවර දොරටුවක් අසල ගමක කම්කරු පවුලක කාන්තාවක් ලෙස නැවත ඉපදුණාය. ඇය විවාහ වී තම සැමියාගේ පවුල සමඟ පදිංචියට ගියාය. දිනක් ඇය කුඹුරේ වැඩ කරන තම ස්වාමිපුරුෂයාට කැඳක් රැගෙන යද්දී පන්සියයක් පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් අට නමක් අහසින් වඩින අයුරු ඇය දුටුවාය. ඇය වහා තම ස්වාමිපුරුෂයා වෙත ගොස් මෙසේ කීවා ය,

“ස්වාමීනි, ඒ පසේ බුදුරජාණන් වහන්සේලා දෙස බලන්න! අපි උන් වහන්සේලාට දානයකට ආරාධනා කරමු.”

එහෙත් ‘පච්චේකබුද්ධ’ යනු කුමක්දැයි සැමියා දැන සිටියේ නැත. ඔහු ඇයට මෙසේ කීවේය:

“ආදරණීය භාර්යාවනි, ඔවුන් හඳුන්වන්නේ පියාසර භික්ෂූන් (පක්ෂී භික්ෂුන්) ලෙසයි. ඔවුන් වෙනත් ස්ථානවල පියාසර කරන විට මෙසේ දක්නට ලැබේ. ඔව්හු පච්චේකබුද්ධයෝ නොවෙති, අමුතු පක්ෂියෝ ජාතියකි” යි කීහ.

අඹුසැමියන් තව දුරටත් සාකච්ඡා කරමින් සිටින විට පසේ බුදුරජාණන් වහන්සේලා අටනම ඔවුන්ට නොදුරින් බිමට බැස ගත්හ. භාර්යාව තමාගේ දවසේ ආහාර පංගුව පසේ බුදුරජාණන් වහන්සේලාට පූජා කර පසු දින දානය සඳහා ආරාධනා කළාය. පසේ බුදුරජාණන් වහන්සේලා මෙසේ වදාළහ.

“හොඳයි, උපාසිකාවනි, ඔබේ දානය අට දෙනෙකුට පමණක් වේවා. තවද ඔබගේ නවාතැන ආරාධිතයන් අට දෙනෙකුට පමණක් පමණක් වේවා. නමුත්, අප හා අන් බොහෝ පසේ බුදුරජාණන් වහන්සේලා දක්නා කල්හි ඔබගේ ශ්‍රද්ධාව තව තවත් වැඩිවෙනු ඇත.”

මෙසේ ඒ ස්ත්‍රිය පෙර භවයෙහි තමාගේම දරුවන් වූ ඒ පසේ බුදුරජාණන් වහන්සේලා අට නම උදෙසා ආසන අටක් සකසා දානය ද පිළියෙළ කළාය.

ආරාධිත පසේ බුදුරජාණන් වහන්සේලා අට දෙනා වහන්සේ අවශේෂ පසේ බුදුරජාණන් වහන්සේලාට මෙසේ කීහ. “අද දාන භෝජනය සඳහා වෙනත් තැනකට නොගොස් පෙර භවයේ අපගේ මෑණියන්ට අනුකම්පා පිණිස අප හා වඩින සේක්වා!”

සියළු පසේ බුදුරජාණන් වහන්සේලා එකඟ වූවාහු ඒ පන්සියයක් දෙනා වහන්සේලා දානයට සුදුසු කල් පැමිණි කල්හි ආකාශයෙන් පෙර මෑණියන්ගේ වාසස්ථානයට වැඩි සේක. පන්සියයක් දකිද්දී කාන්තාවගේ සිත පිනා ගියේ ය. ඇය කිසිඳු චකිතයකින් තොරව ඒ සියලු පසේ බුදුරජාණන් වහන්සේලා තම නිවස තුලට වඩමවාලීය. පනවා තිබූ ආසන අට මත මුල් පසේ බුදුරජාණන් වහන්සේලා අට දෙනා අසුන් ගත් පසු නවවැනි පසේ බුදුරජාණන් වහන්සේ තම සෘද්ධි බලයෙන් තවත් ආසන අටක් මවා එහි වැඩහුන් සේක. මේ ආකාරයෙන් පන්සියයක් පසේ බුදුරජාණන් වහන්සේලා සුවසේ අසුන්ගෙන ආසන මත වැඩ සිටි සේක.

පෙර භවයේ මව වූ ඒ කාන්තාව අට දෙනා වහන්සේට පිළියෙළ කළ  දානය පන්සියයක් දෙනාටම අවශ්‍ය ප්‍රමාණයට සංග්‍රහ කළාය. පූජා කළාය. දානය අදි නොවූයේ ය. ඉන්පසු ඇය මහනෙල් මල් මිටි අටක් ගෙනැවිත් මුල් ආරාධිත පසේ බුදුරජාණන් වහන්සේලා අට දෙනා ඉදිරියේ පූජාකොට මෙසේ කීවාය.

“ස්වාමිනී, මේ පුණ්‍ය ක්‍රියාව නිසා මම නිල් මහනෙල් මලේ වර්‍ණයෙන් ඉපදේවා.

පන්සියයක් පසේ බුදුරජාණන් වහන්සේලා ඇයගේ යහපත් ක්‍රියාවන්ට ප්‍රශංසා වදන් පවසා නැවත අහසින් ගන්දමාදන කන්දට වැඩි සේක.

ඇයගේ අවසාන උපත

එම ජීවිතයෙහි තව දුරටත් කුසල් දහම්වලින් පිරුණු ජීවිතයක් ගත කළ ඇය ආයු කාලය අවසානයේ නැවත දෙව්ලොව උපත ලැබුවාය.

ගෞතම බුදුරජාණන් වහන්සේ දවස ඇය සැවැත් නුවර ධනවත් ගෘහපති පවුලක නැවත ඉපදුණාය. නිල් මහනෙල් මලේ පැහැයෙන් යුත් ඇය අතිශයින්ම සුන්දර තරුණියක් වූවා ය. එනිසාම ඇය ‘උප්පලවණ්ණා’ නම් වූවාය.

ඇය වැඩිවිය පැමිණි පසු සියලු ධනවත් පවුල්; මුළු දඹදිව් තලයේ දක්ෂිණ ප්‍රදේශය පුරා සිටි ධනවත් මිනිසුන් සහ කුමාරවරු, උප්පලවණ්ණාව තම පුතුන්ට විවාහ කර දෙන ලෙස ඇගේ පියාගෙන් ඉල්ලා සිටියහ.

ධනවතුන්ගේ මෙතරම් යෝජනාවලට පිළිතුරු දෙන්නේ කෙසේදැයි ඇගේ පියා සිටියේ මහත් අර්බුදයක ය. ඔහු ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දැමීමට ද අකමැති වූයේ ය. නමුත් එහි කලහැකි කිසිවක් ද නොවුනි. අවසාන තීරණය ලෙස ඔහු තම දියණියගෙන් මෙසේ ඇසීය: “ආදරණීය දියණිය, ඔබ භික්ෂුණියක් වෙනවාද?”

අවසාන සිරුර දරා සිටින උප්පලවණ්ණාවෝ, සිය ගුණයකින් පිරිපහදු කළ දුර්ලභ සුවඳැති තෙල් ඇගේ හිස මත වත් කළාක් මෙන් අතිශයින් සතුටට පත් ව ඊට දෙවරක් නොසිතා එසැනින්ම කැමැත්ත ප්‍රකාශ කළා ය.

“ඔව්, තාත්තේ, මම භික්ෂුණියක් වෙනවා” ඇය සතුටින් පිළිතුරු දුන්නාය.

ඒ නිසාම ඔහු තම දියණිය උප්පලවණ්ණාට මහත් ගෞරව පුද කර භික්ෂුණින් වහන්සේලාගේ ආරාමයට යැවීය. උප්පලවණ්ණා භික්ෂුණියක් බවට පත් විය. වැඩි කල් නොගොස් ඇයට, පොහොය කරන ශාලාව පිරිසිදු කිරීමට සහ ආලෝකමත් කිරීමට පැවරුණි.

එහිදී ඇය සිය පහන් දැල්ල නැඟෙන අයුරු නිරීක්ෂණය කළාය. ඇය එම ඒ පහන් දැල්ල පිළිබඳවම අවධානය යොමු කළාය. ඇගේ සිත මනාව එකඟ වී ගියේ ය. ඇය අරහත්වයට පත් වූවාය. අෂ්ඨ සමාපත්ති, සිවුපිළිසිඹියා, ෂඩ්අභිඥා සහිතව ඇය උතුම් රහත් තෙරණින් වහන්සේ නමක් බවට පත් වූ සේක. 

උප්පලවණ්ණා තෙරණියෝ සෘද්ධි බලයෙන් අග්‍ර භික්ෂුණිය ලෙස අග තනතුරු ලබති

දිනක් උප්පලවණ්ණා තෙරණිය තම ආශ්චර්යමත් සෘද්ධි බලය ගැන ශාස්තෲන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශයක් කළ සේක. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් සත්වෙනි වර්ෂයයි.  

තීර්ථකයන් දමනය කරනු වස් අපගේ බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක් මුල්හි වැඩ සිටිනා කල්හි අපගේ තෙරණියෝ පැමිණ සම්බුදු සිරිපා වන්දනාකොට මෙසේ කියා සිටි සේක.

“ස්වාමීනී, දොළොස් යොදුනක් පුරාවට මහා පිරිස දක්වලා තිශය යොදුනම් පුරාවට පිරිස් පිරිවරාගත් සක්විති රජෙක් වෙලා ඇවිත් මම් නුඹ වහන්සේව වන්දනා කරන්නම්”

බුදුරජාණන් වහන්සේ තෙරණින් වහන්සේගේ ප්‍රාතිහාර්‍ය හැකියාව පිළිගත් සේක, නමුත් ප්‍රාතිහාර්‍ය පාන්නට ඒ මොහොතේ අනුමත කළේ නැත.

නමුත් පසු කලකදී සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාල සේක,

“පින්වත් මහණෙනි, මාගේ ඉර්ධිමත් භික්‍ෂුණී ශ්‍රාවිකාවන් අතුරෙන් මේ පින්වත් උප්පලවණ්ණා වනාහී අග්‍ර භාවයට පත් වෙනවා.”

***************************

එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මෙසේ ද වදාළ සේක.

“සද්ධා භික්ඛවේ භික්ඛුනී ඒවං සම්මා ආයාචමානා ආයාචෙය්‍ය: තාදිසා හෝමි, යාදිසා ඛේමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති. ඒසා භික්ඛවේ තුලා, ඒතං පමාණං මම සාවිකානං භික්ඛුනීනං යදිදං ඛේමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති.”

“පින්වත් මහණෙනි, ශ්‍රද්ධාවන්ත භික්ෂුණියක් මැනැවින් අයදිනවා නම්, මේ පින්වත් ඛේමාත්, උප්පලවණ්ණාත් යම් බඳු වෙත්ද, එබඳු වූ කෙනෙක් වන්නෙමි’යි කියලයි ආයාචනා කළ යුත්තේ. පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ භික්ෂුණීන් හට මිනුම් දණ්ඩ වන්නේද, පරමාදර්ශය වන්නේද, මේ පින්වත් ඛේමාවත්, උප්පලවණ්ණාත් ය.”