අදහස්වලට අනුව

එකතු වීම ගැන

වදාළ දෙසුම

'සමසිත් ඇත්තෝ එකතු වෙති'

- ඛුද්දක නිකාය | ඉතිවුත්තක පාළි -

(ධාතුසංසන්දන සූත්‍රය)

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, සත්වයන් තව සත්වයන් සමඟ එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ.

පින්වත් මහණෙනි, අතීතයේදීත් ඔය විදිහම තමයි. සත්වයන් තව සත්වයන් සමඟ එකතු වුනේ, එකට සම්බන්ධ වුනේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වුනේ, එකට සම්බන්ධ වුනේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වුනේ, එකට සම්බන්ධ වුනේ.

පින්වත් මහණෙනි, අනාගත කාලයේදීත් ඔය විදිහම තමයි. සත්වයන් තව සත්වයන් සමඟ එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ.

පින්වත් මහණෙනි, දැන් මේ වර්තමාන කාලයේදීත් ඔය විදිහම තමයි. සත්වයන් තව සත්වයන් සමඟ එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වෙන්නේ, සම්බන්ධ වෙන්නේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වෙන්නේ. එකට සම්බන්ධ වෙන්නේ.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“සංසග්ගා වනථෝ ජාතෝ අසංසග්ගේන ඡිජ්ජති,
පරිත්තං දාරුමාරුය්හ යථා සීදේ මහණ්ණවේ

“එකට එකතු වෙලා ඉන්න කොට ඇති වෙන කෙලෙස්, එකට එකතු නොවී ඉන්න කොට නැතිවෙලා යනවා. ලීයෙන් හදපු පුංචි පහුරකට නැගලා මහ මුහුදේ යන කොට ඒක ගිලිලා යනවා.

ඒවං කුසීතමාගම්ම සාධුජීවීපි සීදති,
තස්මා තං පරිවජ්ජෙය්‍ය කුසීතං හීනවීරියං

අන්න ඒ වගේ තමයි, කුසීත අයව ආශ්‍රය කරන කොට යහපත් ජීවිතයක් තියෙන කෙනා වුනත්, ඒකෙන් ගිලිලා යනවා. ඒ නිසා ඔහු වීරිය නැති, කුසීත අයව දුරුකරන්න ඕන.

පවිවිත්තේහි අරියේහි පහිතත්තේහි ඣායිභි,
නිච්චං ආරද්ධවිරියේහි පණ්ඩිතේහි සහා වසේ’ති”

හුදෙකලාවේ ධ්‍යාන වඩන ආර්යයන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාගේ සිත ඒ අමා නිවනේම ස්ථිරව පිහිටලයි තියෙන්නේ. නිතරම පටන් ගත්තු වීරියෙන් යුක්තයි. ඤාණවන්තයි. ඒ නිසා එවන් උතුමන් එක්කමයි ඉන්න ඕන.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.