මහා උම්මග්ග ජාතකය

3 වන කොටස

රාජ පුරුෂයෝ ද ඒ රජවරුන්ට ඒ පුවත සැළ කළහ. බ්‍රහ්මදත්ත තෙමේ ‘මෙබඳු වූ මේ විෂ යෙදීමකට බාධා කළේ ය‘ යි කිපියේ ය. රජවරු ද ‘අපට ජයපැන් බොන්නට ඉඩ නුදුන්හ’ යි කිපුනාහ. බලසේනාවෝ ද ‘අපට නොමිලේ ලැබෙන්නට තිබුණු සුරාව බොන්නට නොලැබිනැ’ යි කිපියහ.

බ්‍රහ්මදත්ත රජතෙමේ ද අනිත් රජවරුන් අමතා, “එන්න, ඔබලා ‘මියුළු නුවරට ගොස් වේදේහ රජුගේ හිස කඩුවෙන් සිඳ පාදයෙන් මැඩගෙන ජයපැන් බොන්නෙමු’ යි සේනාවට ගමන් සුදානම් කරන්නැ” යි කියා නැවත රහසිගතව කේවට්ටයා ද ඒ කාරණය කියා “අපගේ මෙබඳු වූ සැලසුමකට හානිකරන සතුරා අල්ලා ගන්නෙමු’ යි එක්සියයක් රජදරුවන්ට දහඅට අක්ෂෞභිණීයක් සේනාව පිරිවරාගෙන ඒ නගරයට යන්නෙමු. ඇදුරුතුමනි. එන්න” යැයි කීය.

බ්‍රාහ්මණයා තමන්ගේ පණ්ඩිතභාවයෙන් මෙසේ සිතීය. “මහෞෂධ පණ්ඩිතයන් දිනීම නම් කළ නොහැකිය. අපට ද ලජ්ජාවීමට සිදුවෙයි. රජතුමාව නතර කරවන්නෙමි”

ඉක්බිති රජුට මෙසේ කීය. “මහරජතුමනි, මෙය වේදේහ රජුගේ බලයක් නොවේ. මෙය මහෞෂධ පණ්ඩිතයන්ගේ සංවිධානය යි. ඔහු වනාහි මහානුභාව සම්පන්න ය. ඔහු විසින් රක්‍ෂිත මියුළුනුවර සිංහයකු විසින් රකින ගුහාවක් මෙන් කිසිවකු විසින්වත් අල්ලා ගන්නට නොහැකි වෙයි”

රජු වනාහි ක්‍ෂත්‍රිය මානයෙනුත් ඓශ්වර්ය මදයෙනුත් මත් වී ‘ඔහු කුමක් කරන්නේදැ’ යි කියා එක්සියයක් රජුන් පිරිවරා අටලොස් අක්ෂණියක සේනාව සමග පිටත් විය.

කේවට්ටයා ද තමන්ගේ කථාව පිළිගන්වන්නට නොහැකිව ‘රජුගේ පිළිවෙලට වෙනස්ව යාම සුදුසු නැත. ඒ නිසා ඔහු සමගම යමී’ යි නික්ම ගියේ ය.

ඒ යෝධයෝ ද එක් රැයකින් ම මියුළු නුවරට පැමිණ තමා විසින් කළ වැඩ පණ්ඩිතයන්ට කියූහ. පළමු යවන ලද ඒ ඒ තැන්වල යොදන ලද පුරුෂයෝ ද පණිවිඩ යැවූහ. “චූලනී බ්‍රහ්මදත්ත රජු, ‘වේදේහ රජුව යටත්කර ගන්නෙමි’ යි එක්සියයක් රජුන් පිරිවරා එයි. පඬිතුමා අප්‍රමාදී විය යුතු ය, අද අසවල් තැනට පැමිණියේ ද, අද අසවල් තැනට ද, අද නගරයට ද පැමිණියේ ය” යනාදී ලෙස නිරන්තරයෙන් පණිවිඩ යවන්නාහ. ඒ අසා මහා සත්ත්වයෝ අතිශයින් අප්‍රමාදි විය.

වේදේහ රජු වනාහි, ‘බ්‍රහ්මදත්ත මේ නගරය අල්ලා ගන්නට එන්නේය’ යි ඝෝෂාවක් ඇසී ය.

ඉක්බිති බ්‍රහ්මදත්ත රජු ඉතා අළුයම සියදහස් ගණනක් පන්දම් රැගෙන අවුත් මුළු නගරයම පිරිවරා ගත්තේ ය. ඉක්බිති ඇත් පවුර, රිය පවුර, අශ්ව පවුර යන මේවායින් වටකොට ඒ ඒ තැන්වල බල සේනා ආරක්ෂාව තැබී ය. මිනිස්සු හඬනගමින්, අත්පොළසන් දෙමින්, නටමින් ඝෝෂා කරමින් සිටියාහ. පහන් ආලෝකයෙන් මුළු සත්යොදුන් මියුළු නුවර ම ඒකාලෝක විය. ඇත්, අස්, රිය, පා, තූර්ය යන ශබ්දයන්ගෙන් මහපොළොව පැලෙන කලක් මෙන් විය.

පණ්ඩිතයෝ සතරදෙන ගොස් ‘සිදුවන්නේ කුමක්දැ’යි නොදනිමු, විමසා බැලීමට වටී ‘යි සීමැදුරු කවුළුව විවෘතකර, මහාඝෝෂාව අසා “මහරජතුමනි! මහා ඝෝෂාවකි. බ්‍රහ්මදත්ත රජතෙමේ ආවේ විය යුතුයි” යි ඔහු පැමිණි බව දැන බියෙන් තැතිගත්තේ “අපගේ ජීවිතය නැතිවෙයි. අපි සියලුදෙනා ම හෙට ජීවිතක්‍ෂයට පත්වන්නේ යැ” යි ඔවුනොවුන් සමග කථා කරමින් හුත්තේ ය.

මහාසත්ත්වයන් වහන්සේ ඔහුගේ පැමිණීම දැනගෙන සිංහයෙකු මෙන් බිය නැතිව මුළු නුවරම ආරක්ෂාව යොදා ‘රජුව සනසන්නෙමි’ යි රජ මැදුරට නැග වැඳ එකත්පස්වැ සිටියේ ය. රජු ඔහු දැක ලබන ලද අස්වැසුම් ඇත්තේ “මා පුත් මහෞෂධ පණ්ඩිතයන් හැර වෙන කවරෙක් නම් මා මේ දුකින් මුදවාගන්නට සමර්ථ වන්නේ නැතැ” යි සිතා ඔහු සමග සාකච්ජා කරන්නේ මෙසේ කීය.

“මහෞෂධ පණ්ඩිතය! පංචාල දේශවාසී බ්‍රහ්මදත්ත රජ සියලු බලසෙනඟ සමග ආයේ ය. ඒ මේ පංචාල රජු සතු සේනාව අපමණ ය. ඒ සේනා තොමෝ පිටින් ගෙනා දැව ඇති වඩු සේනාවෙන් යුක්ත ය. පාබළ සෙනගින් යුක්ත ය. සියළු සංග්‍රාම උපායන්හි දක්‍ෂ ය. සතුරන් හිස් සිඳලීමෙහි දක්‍ෂ ය. දශවිධ ශබ්දයෙන් හා බෙර සක් හඬින් ද ප්‍රබෝධමත් ය. ලෝහ විද්‍යාවෙන් නිර්මිත වූ කවච ආදියෙන් හා ආභරණයන්ගෙන් බබළන්නී ය. ධජ පතාකයන්ගෙන් ද වටින් නැගිය යුතු ඇතුන් හා අසුන්ගෙන් ද විවිධ ශිල්පීන්ගෙන් ද යුක්ත වූවා ය. අති දක්‍ෂ යෝධයන්ගෙන් මනාව පිහිටියේ ය.මෙමැ සේනාවෙහි මහාප්‍රාඥ වූ රහස් මන්ත්‍රණ ඇති දශ පණ්ඩිත කෙනෙක් වෙති. රජුගේ මව ද එකොළොස්වැන්නී වූවා පංචාල සේනාවට අනුශාසනා කරයි. තව ද රටවල් පැහැර ගැනීමෙන් පෙලුණු, පංචාල දේශයට යටත් වූ යසස් ඇති එක්සියයක් රජදරුවෝ ද මෙහි බ්‍රහ්මදත්ත රජුට අනුගතවැ සිටිත්. යමක් කියන්නාහු නම් එය කරන්නා වූ, රජුට නොකැමැත්තෙන් නමුදු ප්‍රිය වචන කියන්නා වූ නොකැමැත්තෙන් යටත් වූවෝ ද පංචාල රජු අනුව යති. ඒ සිව්රඟ සේනාවෙන් මියුළු නුවර ත්‍රිසන්ධියකින් වටකරන ලද්දේ ය. විදේහයන්ගේ රාජධානිය හාත්පසින් කණිනු ලැබේ. මස්තකයෙහි තාරකා පහළ වූවාක් මෙන් දඬු වැට පහන්ගෙන හාත්පසින් වටකරන ලදී. මහෞෂධයෙනි! කෙසේ මිදීම වන්නේදැයි දනුව” මෙසේ වේදේහ රජු පිළිවිසී ය.

*********************************************

(ඒ බ්‍රහ්මදත්ත රජුගේ මවු තොමෝ මහා පණ්ඩිතයැයි ප්‍රකට වූවා මේ කාරණය නිසා ය. එනම්, එක් දිනක් එක් පුරුෂයෙක් එක් සහල් නැලියක් ද බත්මුලක් ද කහවනු දහසක් ද ගෙන ගඟ තරණය කරන්නෙමි’ යි ගඟට බැස ගඟ මැදට පැමිණ එතෙර වන්නට අපොහොසත් වූයේ ගංඉවුරේ සිටි මිනිසුන්ට මෙසේ කීය. “පින්වතුනි. මා ලඟ එක් සහල් නැලියක් ද බත්මුලක් ද, කහවණු දහසක් ද ඇත. යමෙක් මා ගඟෙන් එතෙර කරන්නේ ද මෙයින් මට යමක් රුචි වේ ද එය දෙමි” යි කීය.

එක් පුරුෂයෙක් පිහිනා විත් ඔහුව ගඟෙන් එගොඩ කරවී ය.
“එසේනම් දැන් මට මාගේ ගාස්තුව දෙව” යි හෙතෙම කීය. එවිට මගියා කාසි නොදී අනෙක්වා දිගුකොට “මෙයින් කැමති දෙයක් ගෙන යව” යි කීය. නමුත් පුරුෂයා කාසි ම ඉල්ලා සිටියේ ය. “දැන් මට යමක් රුචිවේ ද එය දෙමි. කැමැති කෙනෙක් ගන්න” ඔහු ලඟ සිටි කෙනෙකුට ද කීය. හෙතෙමේ ද “මොහු ඔබට කැමැති දෙයක් දෙයි. මෙය ගන්න” යැයි කීය. හෙතෙමේ, “මම තොගනින්නෙමි” යි ඔහුව රැගෙන උසාවියට ගොස් විනිශ්චය කරන ඇමැතිවරුන්ට දන්වා සිටියේ ය.

“මා කීවේ ‘දැන් මට යමක් රුචි ද එය දෙන බවයි’. එනිසා මා මේ බත් මුල දීමට රුචි වෙමි. එනිසා මෙය ගනුව’ යි කීවත් මෙතෙමේ එය නොගනී. කහවණු ම ඉල්ලයි” යි කියමින් මගියා ඇමැතිවරු ඉදිරියේ ද තර්ක කළේ ය. අවසානයේ පුරුෂයාට බත් මුල ගන්නා ලෙස රාජ සභාව තීරණය කළේ ය. නමුත් පුරුෂයා ඊට නොකැමති විය.

එකෙණෙහි රජුගේ මට තලතා දේවිය නුදුරෙහි සිටියා රජුගේ අසාධාරණ විනිශ්චය දැන “දරුව, මේ නඩුව දැනගෙන විනිශ්චය කළේදැ” යි ඇසීය. “මෑණියනි! මම මේ පමණක් දනිමි. ඉදින් ඔබ ඊට වඩා දන්නේ නම් ඒ නඩුව විනිශ්චය කරන්න” යැයි කීය.

ඇය එසේ කරන්නෙමියි කියා ඒ පුරුෂයා කැඳවා “දරුව එන්න. ඔබගේ අතේ ඇති භාණ්ඩ තුන බිම තබන්න” යැයි පිළිවෙලින් තබවා “නුඹ ජලයෙහි ගසාගෙන යන විට මොහුට කුමක් කීවෙහිදැ” යි විචාරා මේ යැයි කී කල්හි “එසේනම් දැන් ඔබට කැමැති දෙයක් ගන්න” යැයි කීය. හෙතෙම දහසින් බැඳි පසුම්බිය ගත්තේ ය. ඉක්බිති ඕතොමෝ ඔහුට ටික වේලාවක් ගියපසු කැඳවා “දරුව, ඔබට දහස ප්‍රියදැ” යි විචාරා “එසේය රුචිය” කියා කී කල්හි “දරුව, නුඹ විසින් මෙයින් යමක් රුචිවේ ද, එය දෙන්නෙමි’ යි මොහුට කියන ලදී ද? නැද් ද?”

“දේවීනි. කියන ලදී”

“එසේනම් මේ දහස මොහුට දෙව” යි කීවාය. ඔහු හඬමින්, වැළපෙමින් දුන්නේ ය. ඒ වේලාවේ රජු ද ඇමැතිවරු ද සතුටු වී සාධුකාර දුන්හ. එතැන් පටන් ඇගේ පණ්ඩිත බව සැමතන්හි ප්‍රකට විය.

ඒ සඳහා වේදේහ රජු, ‘මව එකොළොස්වැන්නී’ යැයි කීය.)

***********************************************

රජුගේ මේ කථාව අසා මහා සත්ත්වයෝ මෙසේ සිතූහ. “මේ රජු අතිශයින් මරණ බියෙන් බිය වූයේ වෙයි. රෝගියාට වනාහි වෛද්‍යවරයා පිහිටයි. බඩසයින් පෙලෙන්නට ආහාරය ය, පිපාසිතයාට පැන් ය, මොහුට ද මා හැර වෙනත් පිහිටක් නැත. ඔහුව සනසමි”

ඉක්බිති ඔහුට මහාසත්ත්වයන් වහන්සේ මනෝශිල තලයේ නාද කරන සිංහයෙක් මෙන්, “මහ රජතුමනි. බිය නොවන්න. රජසැප අනුභව කරන්න. මම ගල්කැටයක් ගෙන කවුඩන් පන්නන්නාක් මෙන්, දුන්න ගෙන වඳුරන් එළවන්නාක් මෙන් මේ අටළොස් අක්ෂෞහිණියක් සේනාව ඉන බැඳි වස්ත්‍ර ද අහිමි කරමින් පලවා හරින්නෙමි” යි කියා මේ ගාථාව කීය.

“දේවයන් වහන්ස, පා දිගුකළ මැනව. කාමයන් අනුභව කළ මැනව. සිත් අලවා වාසය කරන්න, පංචාලීය සේනාව හැරදමා බ්‍රහ්මදත්ත රජ පලායන්නේ ය”

පඬිතුමා රජුව අස්වසා නික්ම, නගරයේ සැණකෙළිය පිළිබඳව අණබෙර හසුරුවා නාගරිකයන්ට මෙසේ දැනුම් දුන්නේ ය. “නුඹලා නොසිතන්න. සත් දිනක් මාලා, සුවඳ විළවුන්, පාන, භෝජන ආදිය පිළියෙල කරගෙන සැණකෙළිය පටන්ගෙන ඇති පරිදි මහා සුරාපානය කරත්වා! බෙර වාදනය කරත්වා! නටත්වා! ප්‍රීතිඝෝෂා කරත්වා! අත්පොළසන් දෙත්වා!  ඔබලාගේ වියදම් මම භාරගන්නෙමි. මම මහෞෂධ පණ්ඩිත වෙමි. මාගේ ආනුභාවය බලව්” යැයි නාගරිකයන්ව අස්වසාළී ය.

ඔවුහු එසේ කළහ.

ගීතවාදිත ආදියේ ශබ්දය නගරයෙන් පිටත සිටියාහු අසත්. කුඩා දොරටුවෙන් මිනිස්සු පිවිසෙත්. සතුරා හැර දුටු දුටුවන් අල්ලා නොගනිත්, ඒ නිසා සංචාරය නොසිඳෙයි. නගරයට පිවිසියාහු සැණකෙළියෙහි යෙදී සිටින ජනයාව බලත්.
චූලනී බ්‍රහ්මදත්ත රජු ද නගරයේ කලබලය අසා ඇමැතියන්ට මෙසේ කීය.

“අපගේ අටළොස් අක්ෂෞහිණියක් සේනාව නගරය වටකර සිටින කල්හි නගර වැසියන්ට බියක් හෝ බැඳීමක් නැත. සතුටු වූවාහු ප්‍රීති සොම්නස් බවට පත්වූවාහු අත්පොළසන් දෙත්. නාද කරත්, ප්‍රීතිඝෝෂා කරත්, ගායනා කරත්, මේ කුමක්ද?”

ඉක්බිති එහි යොදන ලද පුරුෂයෝ බොරුවක් කොට මෙසේ කීවාහ.

“දේවයන් වහන්ස, අපි එක් වැඩකින් සුළු දොරටුවෙන් නගරයට පිවිස සැණකෙළි කෙලින ජනයා දැක ඇසුවෙමු. ‘භවත්නි! මුළු දඹදිව රජවරු පැමිණ ඔබලාගේ නගරය වටකොට සිටියාහු ය. නුඹලා වනාහි අතිශයින් ප්‍රමාද වූවෝ ය. මේ කුමක්ද?’. ඔවුහු මෙසේ කීවාහ. ‘අපගේ රජතුමාගේ කුඩා කාලයේ එක් මනදොලක් විය. එනම් මුළු දඹදිව රජුන් විසින් නගරය වටකරගත් කල්හි සැණකෙලියක් කරන්නෙමු කියා අද ඔහුගේ මනදොළ සඵල විය. ඒ නිසා සැණකෙළි පවත්වන බවට අණබෙර කරුවන් යවා තෙමේ උඩුමහල් තලයේ මහාසුරා පානය කරයි”

රජු ඔවුන්ගේ කථාව අසා කිපී සේනාවන්ට අණ කළේ ය.

“වහා එව. නගරය මැඩගෙන දිය අගල කඩා බිඳ ප්‍රාකාරයට පහර දෙන්නාහු දොරටු අටල්ල බිඳ නගරයට පිවිස ගැල්වලින් කලගෙඩි මෙන් මහාජනයාගේ හිස් ගනිව්! වේදේහ රජුගේ හිස ගෙනෙව්!”

එය අසා දක්‍ෂ යෝධයෝ නොයෙක් ආයුධ ගත් අත් ඇතිව දොරටුව සමීපයට ගියාහු ය. පණ්ඩිතයන්ගේ යෝධයන් විසින් උණුකළ මඩ ඉසීම, ගල් පෙරළීම, වැලි දැමීම් ආදී උපක්‍රමයන්යන්ගෙන් මහත් විනාශයට පත් වූහ.

‘පවුර බිඳින්නෙමු’ යි අගලට බැස්ස නමුත් අතුරු අටලුවල සිට ඊතල, හෙල්ල, තෝමර ආදියෙන් මහා විපත් ඇතිකරත්. පණ්ඩිතයන්ගේ යෝධයෝ බ්‍රහ්මදත්ත රජුගේ යෝධයන්ට උසුළු විසුළු පාමින් නොයෙක් අයුරින් බැන වදිත්, තර්ජනය කරත්, ‘කිසිවක් නැත්තා වූ තොප ස්වල්පයක් පානය කරව්. අනුභව කරව්’ කියා සුරාබදුන් මත්ස්‍ය මාංශ ආදිය ඔවුන් වෙතට දිගුකරමින් තමන් ම අනුභව කරත්. අතුරු ප්‍රාකාරයෙහි ඇවිදිත්.

අන් අය කිසිවක් කරගත නොහැකිව චූලනී බ්‍රහ්මදත්ත රජු සමීපයට ගොස්, “දේවයන් වහන්ස, ඍද්ධිමතුන්ට හැර වෙන කිසිවකුට එගොඩවන්නට නොහැකි ය” යි කීහ.

රජු දින සතරක්, පහක් වාසය කරත්, අල්ලාගතයුතු කිසිවක් නොදැක කේවට්ටයන්ගෙන් විචාළේ ය. “ආචාරීනි, නගරය අල්ලා ගැනීමට නොහැක්කෙමු. එක් අයෙක්වත් එහි යන්නට සමර්ථ නොවේ. කුමක් කළයුතුද?”

“මහරජතුමනි, වේවා! නගරය නම් පිටතින් ජලය ඇත්තේ ය. ජලය හිස්කර අල්ලා ගනිමු. ජනයෝ ජලය නැතිව පීඩාවට පත්ව දොර විවෘත කරත්”

හෙතෙම මේ උපාය යහපතැ’ යි පිළිගත්තේ ය. එතැන් පටන් ජලය නගරයට යාමට ඉඩ නොදෙයි. පණ්ඩිතයන්ගේ ඔත්තුකරුවෝ ලිපියක් ලියා ඊතලයක ගැටගසා ඒ ආරංචිය දන්වා යැවූහ. (පළමුව, ‘එවන ලද ඊයක ලිපියක් දකී ද එය වහා ගෙන එව’ යි නියෝග කරන ලදී) ඉක්බිති එක් පුරුෂයෙක් එය දැක පණ්ඩිතයන්ට පෙන්වී ය.

ඔහු ඒ පුවත දැන “ඔව්හු මා මහෞෂධ පණ්ඩිත බව නොදනිති” යි කියා මෙසේ කළ හ.

හැටරියනක් දිග උණගස් දෙකට පලා මනාව සුද්ද කර නැවත එකතු කොට සම්වලින් බැඳ, මතුපිට මඩ තවරා, හිමවතින් සෘද්ධිමත් තවුසන් විසින් ගෙනෙන ලද මඩ හා මානෙල් මල් ඇට පොකුණ අසල මඩෙහි සිටුවා, ඒ මත්තෙහි උණගස් තබා ජලයෙන් පිරවීය. එක රැයින් ම හැදී වැඩී එහි මල් උණගසේ මතු පිටින් අවුත් රියනක් පමණ සිටියේ ය. ඉක්බිති එය උදුරාගෙන “මෙය බ්‍රහ්මදත්තයන්ට දෙව” යි තමන්ගේ පුරුෂයන්ට දුන්නේ ය.

ඔවුහු එහි දඬු රවුම් කර, “එම්බා ජනයනි. බ්‍රහ්මදත්තයන්ගේ ගැත්තන් වී නොමැරෙව්. මේ උපුල්මල් ගෙන පැළඳ කුස පිරෙන්නට දඬු අනුභව කරව්” යැයි කියා විසිකළහ.

එය පණ්ඩිතයන් විසින් යොදා සිටිය පුරුෂයන්ගෙන් එක් පුරුෂයෙක් ගත්තේ ය. ඔහු එය රජු සමීපයට ගෙනගොස්  “දේවයිනි! බලන්න. දේවයිනි! මේ මල්දණ්ඩ බලන්න. මීට පෙර මෙබඳු දිග දණ්ඩක් නොදුටු විරූ යැ” යි කියා එය මනින්ට යැයි කී කල්හි පණ්ඩිතයන්ගේ පුරුෂයෝ හැටරියනක් දිගදණ්ඩ අසූරියනක් කොට මැන්නාහ. ඉක්බිති රජු විසින් ‘මෙය කොහේ හට ගත්තේදැ’ යි ඇසු විට එක් අයෙක් මෙබඳු මුසාවක් පැවසී ය.

“දේවයන් වහන්ස, මම එක්දිනක් පිපාසාවෙන් යුක්ත වූයේ වී සුරාපානය කරන්නෙමි’ යි සුළු දොරින් නගරයට පිවිසියෙම්, නුවර වැසියන්ට ජල ක්‍රීඩා කිරීම පිණිස කරන ලද පොකුණු දුටුවෙමි. මහජනයා නැවෙහි හිඳ මල් කඩාගනිත්. මෙය එහි ඉවුරේ හටගත් එකකි. ගැඹුරු තැන හටගත් දඬුව රියන් සියයක් වන්නේ ය”

එය අසා රජු කේවට්ටයාට මෙසේ කීය. “ආචාර්යයෙනි. මෙය ජලය නැති කිරීමෙන් අල්ලා ගන්නට නොහැක”

“එසේ නම් දේවයන් වහන්ස, ධාන්‍ය හිඟ කිරීමෙන් අල්ලා ගනිමු. ධාත්‍ය ඇත්තේ නගරයෙන් පිට ය”

“ආචාරීනි, එසේනම් එය කරන්න”

පණ්ඩිතයෝ පෙර පරිද්දෙන්ම එය දැන “කේවට්ට බ්‍රාහ්මණයා මාගේ පණ්ඩිත බව නොදනීයි” කියා දෙවන දින ප්‍රාකාරය මත්තේ මඩ දමා එහි වී වැපිරවී ය. බෝසත්වරුන්ගේ බලාපොරොත්තු ඉටුවෙයි. එක් රැයකින් ම නැගී සිටි ගොයම්, ප්‍රාකාරය මත්තෙන් පෙනෙන ලෙසට සිටියේ ය.

එය ද දැක බ්‍රහ්මදත්ත තෙමේ “එම්බා වැසියනි, ප්‍රාකාරයට උඩින් නිල්වන්ව පෙනෙන්නේ කුමක්දැයි” ඇසී ය. පණ්ඩිතයන් යොදවා සිටි පුරුෂයෝ රජුගේ වචනය මුවින් නිකුත් වනවාත් සමගම,

“දේවයන් වහන්ස! මහෞෂධ ගෘහපති පුත්‍රයා අනාගත බිය දැක පිටරටින් ධාන්‍ය ගෙන්වා ගබඩාවන්හි පුරවා ඉතිරි ධාන්‍ය තාප්පය පසුපස දැම්මවී ය. ඒ ධාන්‍ය වනාහි අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් එහිම පැලවී වැඩින. මම ද එක්දිනක් කිසියම් කටයුත්තක් සඳහා සුළු දොරටුවෙන් පිවිස තාප්පය පසුපස වී ගොඩෙන් වී ටිකක් අතින් ගෙන මුඛයෙහි දා ගත්තෙමි. ඉක්බිති මට බැනවදින්නාහු, ‘නුඹ බඩසයින් පෙලෙන්නේද? වී පිටේ බැඳ ඔබගේ නිවසට ගෙන ගොස් බත් උයාගෙන කව’ යි නගරවාසීහු කීහ”

රජු ඒ අසා කේවට්ටයන්ට මෙසේ කීය. “ආචාරිය, ධාත්‍ය හිඟ කිරීමෙන් මෙය අල්ලාගන්නට නොහැකිය”

“එසේනම් දේවයන් වහන්ස, දර හිඟවීමෙන් නගරය අල්ලා ගනිමු. දර ඇත්තේ නගරයෙන් පිටත ය”

“ආචාරිනි, එසේ කරන්න”

පණ්ඩිතයෝ පෙර පරිද්දෙන්ම ඒ පුවත දැනගෙන ප්‍රාකාරය මත්තෙන් වී ඉවත්කර පෙනෙන ප්‍රමාණයට දර රැස්කරවී ය. මිනිස්සු බ්‍රහ්මදත්තයන්ගේ පුරුෂයන්ට අවමන් කරන්නාහු ‘ඉදින් බඩසයින් යුක්ත වූවහු නම් කැඳ බත් පිස අනුභව කරව්’ යැයි විශාල ප්‍රමාණයේ දර දමා ගසත්.

රජු ද “පවුර මත්තෙන් දර පෙනේ. මේ කුමක්දැ” යි අසා “ගෘහපුත්‍රයා වනාහි අනාගත බිය දැක දර ගෙන්වාගෙන ගෙවල්වල පිටුපස තබ්බවා ඉතිරි ඒවා තාප්පය ලඟ තැබ්බවීයැ” යි මහෞෂධ පණ්ඩිතයන් යොදවා සිටි පුරුෂයන්ගෙන්ම මේ බව අසා කේවට්ටයාට මෙසේ කීය.

“ආචාරිනි! දරු හිඟවීමෙන් නගරය අල්ලාගත නොහැක. ඒ උපාය අත්හරින්න”

“මහරජතුමනි, නොසිතන්න. වෙනත් උපායක් ඇත”

“කුමක්ද ආචාරිනි ඒ උපාය? මට ඔබගේ උපායයන්හි අවසානයක් නොදකිමි. අපට වේදේහ රජුව යටත් කරගන්නට නොහැක. අපි ආපසු නගරයට යමු”

“ස්වාමීනි! චූලනී බ්‍රහ්මදත්ත රජු එක්සියයක් ක්‍ෂත්‍රියයන් සමග වේදේහ රජුව අල්ලාගන්ට අසමත් වී යැයි අපට මහත් ලජ්ජාවක් වන්නේ ය. පණ්ඩිත වන්නේ මහෞෂධ පමණක් නොවෙයි. මම ද පණ්ඩිතයෙමි. එක සුළුදෙයක් කරන්නෙමු”

“ආචාරිනි, සුළු දෙයක් යනු කුමක්ද?”

“ධර්ම යුද්ධයක් කරමි”

“ඒ ධර්ම යුද්ධය යනු කුමක්ද?”

“මහරජතුමනි, සේනාවෝ යුධ නොකරත්, රජවරුන් දෙදෙනාගේ පණ්ඩිතයෝ දෙදෙනා එක්තැනකට පැමිණෙත්. ඔවුනතුරෙන් යමෙක් වඳින්නේ ද ඔහුට පරාජය වන්නේ ය. මහෞෂධයෝ වනාහි මේ මන්ත්‍රය නොදනති. මම වනාහි මහළු වෙමි. ඔහු තරුණ ය. ඔහු මා දැක වඳිනේ ය. එවිට වේදේහ රජු පරාජය වූයේ වන්නේ ය. ඉක්බිති අපි වේදේහ පරාජය කොට තමන්ගේ නගරයට යන්නෙමු. මෙසේ අපට ලජ්ජාවක් නොවන්නේ ය. ධර්ම යුද්ධය යනු මෙයයි”

පණ්ඩිතයෝ ද ඒ රහස පෙර පරිදිම දැනගෙන ඉදින් මම කේවට්ටයාට පරාජය වන්නේ නම් මම පණ්ඩිතයෙක් නොවෙමියි සිතීය.

බ්‍රහ්මදත්ත රජු ද “ආචාරීනි! ඔබගේ උපාය නම් මනහරය” කියා “හෙට ධර්ම යුද්ධය වන්නේ යැයි පණ්ඩිතයන් දෙදෙනාටම දැහැමින් සෙමින් ජයපරාජය වන්නේ ය. යමෙක් ධර්ම යුද්ධය නොකරන්නේ ද හෙතෙමේ ද පරාජය වූයේ වන්නේ යැ” යි ලිපියක් ලියවා සුළු දොරටුවෙන් වේදේහ රජු වෙතට යැවී ය.

එය අසා වේදේහ රජු පණ්ඩිතයන් කැඳවා ඒ බව දැන්වීය. පණ්ඩිතයෝ “දේවයන් වහන්ස! මැනවි. හෙට උදෑසනම පැදුම් දොරටුවේ ධර්ම යුද්ධ මණ්ඩලය පිළියෙලකරත්, ධර්මයුද්ධ මණ්ඩලයට එන්න” යැයි කියා යවන්න.

රජු මෙය අසා, පැමිණ සිට දූතයාටම ඒ ලිපිය භාරදුන්නේ ය. පණ්ඩිතයෝ පසුවදා ‘කේවට්ටයාට පරාජය වේවා’ යි පැදුම්දොරටුවේ ධර්ම යුද්ධ මණ්ඩලය පිළියෙල කරවී ය.

එක්සියයක් පුරුෂයෝ, “කවරෙක් දනී ද?  කුමක් වන්නේ ද?” කියා පණ්ඩිතයන්ගේ ආරක්ෂාවට කේවට්ටයන් පිරිවරා ගත්හ. එක්සියයක් රජවරු ද ධර්මයුද්ධ මණ්ඩලයට ගොස් පෙරදිග බලමින් සිටියහ. කේවට්ට බ්‍රාහ්මණයා ද එසේම ය.

බෝධිසත්ත්වයන් වහන්සේ වනාහි උදෑසන ම සුවඳ පැනින් ස්නානය කොට සියක් දහසක් වටිනා කසී සළුවක් පොරවා සියළු අලංකාරයන්ගෙන් සැරසී නොයෙක් රසැති බොජුන් වළඳා මහත් පිරිවරින් රජගෙදර දොරටුව ලඟට ගොස්, “මගේ පුත්‍රය, එන්න” යැයි කී කල්හි පිවිස රජුට වැඳ එකත්පසෙක සිට “දරුව! මහෞෂධයෙනි, කෙසේදැ” යි ඇසූ කල්හි “ධර්මයුද්ධ මණ්ඩලයට යන්නෙමියි” කීය.

“මා විසින් කුමක් කළයුතුද?” කියා ඇසී ය.

“දේවයන් වහන්ස! කේවට්ට බ්‍රාහ්මණයාව මැණිකකින් රවටනු කැමැත්තෙමි, අෂ්ටවංක මාණික්‍ය රත්නය ලදොත් යෙහෙකියි” කී විට “දරුව! එය ගන්න” යැයි රජු පැවසී ය.

හෙතෙම එය රැගෙන රජුට වැඳ මඟට පිළිපන්නේ සහජාත යෝධයන් දහස පිරිවරාගෙන අනූදහසක් කහවණු වටිනා සුදු අශ්වයන් යොදන ලද උතුම් රියකට නැගී උදෑසනින් දොරටුව සමීපයට ලඟාවිය.

කේවට්ට තෙමේ ද ‘දැන් එයි. දැන් එයි’ කියා ඔහු එන ගමන් මග බලා සිටින්නේ ය. බලා සිටීමෙන් දිග ගෙලක් ඇති බවට පත්වූවාක් මෙන් හිරු රැසින් දහඩිය මුදමින් සිටියේ ය.

මහා සත්ත්වයෝ ද මහා පිරිවර ඇති බැවින් මහමුහුද මෙන් පැතිරගෙන කේසර සිංහයෙක් මෙන් නිර්භයව ලොමුදැහැ ගැන්මක් නැතිව දොරටුව විවෘත කරවා නගරයෙන් නික්ම රථයට නැගී සිංහයෙක් මෙන් බබලමින් පිටත්ව ගියේ ය.

එක්සියයක් රජවරු ඔහුගේ රූපශ්‍රීය දැක “මේ වනාහි සිරිවර්ධන සිටුතුමාගේ පුත් මහෞෂධ පණ්ඩිතයෝ ය. ප්‍රඥාවෙන් මුළු දඹදිව නොදෙවෙනි කෙනෙක් යැ” යි ඔල්වරසන් දහසක් පැවැත්වූහ.

මහා සත්ත්වයෝ ද, දේව සමූහයා පිරිවරාගත් ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් අප්‍රමාණ වූ ශ්‍රී විභූතියෙන් ඒ මාණික්‍ය රත්නය අතින් ගෙන කේවට්ට සිටින දිශාවට අභිමුඛව සිටියේ ය.

කේවට්ටයා ඔහුව දැක ම ස්වකීය ස්වභාවයෙන් සිටින්නට අපොහොසත්ව පෙරගමන් කොට මෙසේ කීය. “මහෞෂධ පණ්ඩිතයෙනි! අපි දෙදෙනා ම පණ්ඩිතයෝ වෙමු. ඔබ වෙනුවෙන් මෙතෙක් කල් වාසය කරන අපට ත්‍යාගයක් පමණවත් නොඑවන ලද්දේ මන්දැ” යි ඇසී ය.

ඉක්බිති මහා සත්ත්වයෝ ඔහුට මෙසේ කීහ. “පණ්ඩිතය! ඔබට දීමට සුදුසු ත්‍යාගයක් බලන්නේ අද මේ මාණික්‍ය රත්නය ලදිමි. එසේනම් එය ගන්න. මේ හා සමාන වූ වෙනත් මාණික්‍ය රත්නයක් නම් නැත”

හෙතෙම ඔහුගේ අතෙහි දිලිසෙන මාණික්‍ය රත්නය දැක ‘මට දෙනු කැමැත්තේ වන්නේ යැ’ යි සිතා “එසේ නම් දෙන්න” යැයි අත දිගු කළේ ය. මහා සත්ත්වයෝ “එසේ නම් ගන්න” යැයි අත දිගුකරන ලද්දේ කේවට්ටයාගේ අතේ ඇඟිලි අගට හෙලීය. බ්‍රාහ්මණයාට බර මැණික ඇඟිලි වලින් දරා ගන්නට නොහැකි විය. එය මහාසත්ත්වයන්ගේ පාමුල වැටුනේ ය. බ්‍රාහ්මණයා ලෝභකමින් යුක්තව ‘එය ගන්නෙමි’ යි බෝසතුන්ගේ පා ලඟ පහත් විය.
ඉක්බිති මහා සත්ත්වයෝ ඔහුට නැගී සිටින්නට නොදී එක් අතකින් පිට කොන්දෙනුත්, අනික් අතින් ගෙලෙනුත් අල්ලාගෙන “නැගිටින්න. ආචාරිනි, නැගිටින්න. මම බාල වෙමි. ඔබගේ මුනුබුරෙක් බඳු මාහට නොවඳින්න” යැයි කියමින් එහාට මෙහාට සොලවා මුව සමග නළල බිම උලා ලේ ගන්වා “මෝඩය! නුඹ මා සමීපයෙන් වැඳුම් ලබන්නට සිතුවෙහිදැ” යි ගෙලෙන් අල්ලා බැහැර කළේ ය.

හෙතෙම බඹයක් පමණ තැන් බිම වැටී නැගිට පැන ගියේ ය. මාණික්‍ය රත්නය මහා සත්ත්වයන්ගේ පුරුෂයෝ ගත්හ. ‘නැගිටින්න. නැගිටින්න. නොවඳින්න’ යන බෝධිසත්ත්වයන්ගේ වචනය මුළු පිරිස වසාගෙන පැතිර ගියේ ය. ‘කේවට්ට බමුණා විසින් මහෝෂධ පණ්ඩිතයන්ගේ පා වඳින ලදැ’ යි ඔහුගේ පිරිස ද එක්වර ඝෝෂා කළහ.

බ්‍රහ්මදත්ත මුල්කොට ඒ සියලු රජවරු බෝධිසත්ත්වයන්ගේ පාමුල කේවට්ටයන් පහත්වන සැටි දුටුවාහ. ඔව්හු “අපගේ පණ්ඩිතයා විසින් මහෞෂධයන් වඳිනු ලැබීය. දැන් අපි පරාජිත වූවෝ වෙමු. අපට ජීවිතය නොලැබෙයි” යැයි තම තමන්ගේ අශ්වයන් පිට නැගී උත්තර පංචාල දේශය බලා පලායන්ට පටන් ගත්හ.

පලායන්නා වූ ඔවුන් දැක බෝධිසත්ත්වයන්ගේ පුරුෂයෝ “චූලනී බ්‍රහ්මදත්ත රජු එක්සියයක් ක්ෂත්‍රියයන් රැගෙන පලා යන්නේ” යැයි නැවත ඝෝෂා කළහ. ඒ අසා ඒ රජවරු මරණ බියෙන් බිය වූවෝ බොහෝ සෙයින් පලායන්නේ සේනාව බිඳී ගියාහ. බෝධිසත්ත්වයන්ගේ පිරිසද හඬනගත්. මනාව කලබල කළහ.

මහාසත්ත්වයෝ සේනාව පිරිවරාගෙන නගරයටම ගියේ ය. බ්‍රහ්මදත්ත රජුගේ සේනාවෝ යොදුන් තුනක් පැන දිව්වාහ.

කේවට්ටයා අසුපිට නැගී නළලෙහි ලේ පිස දමමින් සේනාව මැදට පැමිණි අශ්වයා පිට සිටියේ “තෙපි පලා නොයව්. මම ගහපති පුත්‍රයාට නොවඳිමි. සිටිව්. සිටිව්” යයි කීය.

සේනාව නොසිටම යන්නේ කේවට්ටයාට ආක්‍රෝශ පරිභව කරන්නාහු “පව්කාරය, දුෂ්ට බමුණ, ධර්ම යුද්ධයක් නම් කරන්නෙමි’ යි ගොස් මුනුබුරකු තරම් වුත් නුසුදුස්සකුට වැන්දේය. ඔබට කළ හැකි දෙයක් නම් නැතැ” යි ඔහුගේ කථාවට සවන් නොදී යත්.

ඔහු වේගයෙන් ගොස් සේනාව මුනගැසී “මා කියන දේ විශ්වාස කරව්, මම ඔහුට නොවඳිමි. මාණික්‍ය රත්නයෙන් මා රැවටීය” යන ලෙස කියා ඒ සියළු රජවරුන්ට නොයෙක් අයුරින් වටහා දී තමාගේ කථාව පිළිගන්නවා එසේ බිඳීගිය සේනාව නතර කර ගත්තේ ය.

ඒ වනාහි විශාල සේනාවකි. ඉදින් එක එක පස්මිටක් හෝ එක එක ගල්කැටයක් ගෙන දමාගසන්නේ නම් දියඅගල පිරි තාප්පය පමණ වූ රාශියක් වන්නේ ය.

බෝධිසත්ත්වයන්ගේ අභිප්‍රාය ඉටුවන්නේ ය. එක් අයෙක්වත් එක් පස්පිඩක්වත්, එක් ගල් කැටයක්වත් නගරය දෙසට දමාගසන්නෙක් නොවීය. සියල්ලෝම නතර වී තමන්ගේ කඳවුරු තිබුණු තැන්වලට ම ආපසු පැමිණියාහ.

රජු කේවට්ටයන් ඇමතීය. “ආචාරීනි, දැන් කුමක් කරන්නෙමුද?”

“රජතුමනි. කිසිවකුටත් කුඩා දොරටුවෙන් පිටත යාමට ඉඩ නොදී ගමනාගමනය නතර කරමු. මිනිස්සු පිටත යන්නට නොහැක්කාහු කලකිරි දොරටුව විවෘත කරත්. අනතුරුව අපි සතුරන් අල්ලා ගන්නෙමු”

පණ්ඩිතයෝ පෙර පරිදිම ඒ පුවත අසා මෙසේ සිතීය. “මොවුන් මෙහි බොහෝකල් නතර වී සිටීම පහසු නොවේ. උපායකින් පලවා හැරිය යුතුය”

හෙතෙම ඔවුන් කුමන්ත්‍රණයකින් පලවා හරින්නෙමි’ යි සිතා එක් මන්ත්‍රණයෙහි දක්‍ෂ ඇමැතියෙකු ගැන සිතා බලන්නේ අනුකෙවට්ට නමැත්තාව කැඳවා, “ආචාරිනි, අපට එක් කටයුත්තක් ඉටුකර දිය යුතුව ඇත”

“පණ්ඩිතයෙනි, කුමක් කරමිද කියන්න”

“ඔබ අනුප්‍රාකාරයේ සිට අපගේ මිනිසුන්ගේ ප්‍රමාදයක් දැක ඉඳහිට බ්‍රහ්මදත්තගේ මිනිසුන්ට කැවිලි මත්ස්‍යමාංශ ආදිය දමා ‘හිතවතුනි, මේ මේ දේ අනුභව කරන්න. නොකලකිරෙව්. තව දින කීපයකින් සිටින්නට උත්සාහ කරන්න. නගරවැසියෝ කූඩුවෙහි දමන ලද කුකුළන් මෙන් කලකිරුනාහු නොබෝ දිනකින්ම ඔබලාට දොර විවර කරන්නාහ. ඉක්බිති නුඹලා වේදේහ රජුව ද දුෂ්ට ගෘහපති පුත්‍රයාව ද අල්ලා’යැයි කියන්න. අපගේ මනුෂ්‍යයෝ ඒ කථාව අසා තොපට ආක්‍රෝශ කර තර්ජනය කොට බ්‍රහ්මදත්තයන්ගේ මිනිසුන් බලා සිටියදී ම අත්පාවලින් අල්ලා උණපතුරු ආදියෙන් පහර දෙන්නාක් මෙන් වී ගඩොල්කුඩු විසුරුවා කණේරු මල්මාලාවක් ගෙලෙහි දමා පහර කීපයක් දී පිටෙහි ඉරි පෙන්වා ප්‍රාකාරයට නංවා පැසක බහා ලණුවකින් බස්සවා ‘යව, මන්ත්‍ර භේදක සොරු’ යැයි බ්‍රහ්මදත්ත මනුෂ්‍යයන්ට පෙන්වත්. ඔවුහු ඔහුව රජුගේ සමීපයට ගෙනයත්. රජු තොපගේ අපරාධය කුමක්දැයි අසයි. ඉක්බිති ඔහුට මෙසේ කියන්න. ‘මහරජතුමනි. මාගේ පෙර යසස විශාල ය, මිත්‍ර භේදක වූ ගෘහපති පුත්‍රයා මට කිපී රජුට කියා සියල්ල කපා හැරියේ ය. මම මාගේ යසස නැතිකර දැමූ ගෘහපති පුත්‍රයාගේ හිස ගන්වන්නෙමි’ යි නුඹගේ මිනිසුන් කලකිරීමට බියෙන් මොවුන්ට කැමබීම දෙමි. මෙපමණකින් පැරණි වෛරය හදවතේ තබා මේ විපතට පත්කළේ ය. මහරජතුමනි, ඔබගේ ජනයා සියල්ල දනිත්’ යි කියව. නොයෙක් අයුරින් ඔබව විශ්වාස කොට විශ්වාස කළ කල්හි ‘මහරජතුමනි, ඔබවහන්සේ මා ලද කාලයේ පටන් නොසිතන්න. දැන් වේදේහයන්ගේ ද ගෘහපති පුත්‍රයාගේ ද ජීවිතය නැත. මම මේ නගරයෙහි ප්‍රාකාරයෙහි ස්ථිර තැන් ද දුර්වල තැන් ද දිය අගලේ කිඹුලන් සිටින තැන් හා නොසිටින තැන් ද දනිමි. නොබෝ කලකින්ම නගරය අල්ලාගෙන තොපට පෙන්වමි’ යි කියව. ඉක්බිති ඒ රජ තෙමේ විශ්වාස කොට සැළකිලි දක්වන්නේ ය.

ඉක්බිති ඔහුගේ සේනාව නපුරු කිඹුලන් සිටින තැන්වල ද බස්වන්නාහ. ඔහුගේ සේනා කිඹුලන්ට ඇති බිය නිසා නොබසියි. එවිට ඔබගේ සේනාව ‘දේවයන් වහන්ස, ගෘහපති පුත්‍රයා විසින් භේද කරන ලදී. සියළු රජවරු කේවට්ට ආචාරින් මුල්කරගෙන හුදෙක් මොවුහු ඔබ පිරිවරා යත්, සියල්ලෝම ගෘහපති පුත්‍රයා සතු ය. මේ එකම මම ඔබගේ පුරුෂයා වෙමි. ඉදින් මා විශ්වාස නොකරන්නෙහි ද සියළු රජවරු සැරසී මා දැකීමට එත්වායි යව, ඉක්බිති ඔවුන්ට ගෘහපති පුත්‍රයා විසින් තමන්ගේ නාමරූපයන් ලියා දුන්කල්හි ඇඳුම්, සැරසිලි, කඩුව ආදියෙහි අකුරු දැක තීරණයක් කරන්න. හෙතෙම එසේ කොට ඒවා දැක නිගමනයකට බැස බිය වූයේ තැතිගත්තේ ඒ රජවරුන් උනන්දු කරවා දැන් කුමක් කරමුද? පණ්ඩිතයෙනි! ඔබගෙන් අසන්නේ ය. ඔබ ඔහුට මෙසේ කියන්න. මහරජතුමනි! ගෘහපති පුත්‍රයා මායම්කාරයෙකි. ඉදින් තව දින කීපයක් වාසය කරන්නහුද සියළු ඔබගේ සේනාව තමන්ගේ අතට ගෙන ඔබව ගත්තෙහි ය. ප්‍රමාද නොකොට අදට මැදියම්ගේ අතරේදී අසුපිට හිඳ පැනයන්නෙමු. අපගේ මරණය අනුන් අතට පත් නොවේවා! ඔහු ඔබගේ වචන අසා එසේ කරන්නේ ය. ඔබ ඔහු පැන යන වේලාවෙහි නතරවී අපගේ මිනිසුන් හඳුනා ගන්න. ඔවුන් හා රහසේ එක්වෙන්න” යි කීහ.

ඒ අසා අනුකේවට්ට බ්‍රාහ්මණයා “පණ්ඩිතයෙනි! යහපති. ඔබගේ වචනය කරන්නෙමියි” කීය.

“එසේනම් පහර කීපයක් ඉවසන්නට වටී”

“පණ්ඩිතයෙනි! මාගේ ජීවිතය ද අත්පා ද හැර ඉතිරිය තමන්ට රුචි දෙයක් කරන්න”

නුකේවට්ටයා තමන්ගේ නිවසෙහි ජනයාට සත්කාරකොට කී ආකාරයෙන් ම මහත් පෙරළියට පත්කොට, පණිඩිතයාණන්ගේ මිනිසුන් විසින් අල්ලා ලණුවකින් බස්සවා බ්‍රහ්මදත්ත රජුගේ මිනිසුන්ට දුන්නේ ය.

රජු ඔහුව විමසා, විශ්වාස කොට ඔහුට සත්කාර කොට සේනාව මෙහෙයවී ය. ඔහු ද සේනාව භයානක කිඹුලන් සිටින තැන්වලට බැස්සවීය. මිනිස්සු කිඹුලන් විසින් කාදමන්නාහු අටලුවල සිටින්නත් විසින් ඊ, හෙළි, තෝමර, වර්ෂාවන් වස්වමින් විනාශයට පමුණුවනු ලබත්. එතැන් පටන් බියෙන් ලඟාවන්නට නොහැකි වෙත්.

අනුකේවට්ටයා රජු වෙත පැමිණ “මහරජතුමනි, ඔබ වහන්සේ වෙනුවෙන් සටන් කරන කෙතෙක් නැත. සියල්ලන් විසින්ම අල්ලස් ගෙන ඇත. ඉදින් මා විශ්වාස නොකරන්නේ නම් රජවරුන් කැඳවා හැඳි වස්ත්‍ර ආදියෙහි අක්‍ෂර බලන්නැ” යි කීය.

රජු එසේ කොට සියල්ලන්ගේ වස්ත්‍ර ආදියෙහි අකුරු දැක (පෙර දී පණ්ඩිතයන් විසින් තෑගි කළ භාණ්ඩවල පණ්ඩිතයන්ගේ නම් කෙටූ බව මෙහි දී සිහිකරගත යුතුයි) ඒකාන්තයෙන් මොවුන් විසින් අල්ලස් ගන්නා ලදැයි තීරණයකොට “ආචාර්යයෙනි, දැන් කුමක් කළ යුතුදැ” යි විචාරා,

“දේවයන් වහන්ස, වෙනත් කළයුතු දෙයක් නැත. ඉදින් ප්‍රමාද වන්නේ නම් ගෘහපති පුත්‍රයා නුඹලාව අල්ලා ගන්නේ ය. මහරජ! කේවට්ට ආචාරිහු ද මුළු නළලෙහිම තුවාලයක් සාදාගෙන ඇවිදියි. මොහු විසින් ද අල්ලස් ගත්තේ විය යුතුයි. මාණික්‍ය රත්නය ගෙන ඔබ යොදුන් තුනක් පලාගිය කල්හි නැවත විශ්වාස කොට නතර කරවිය. මෙය සැක සහිත නැද්ද? මෙසේ භේද වී එක්රැයක්වත් නතරවී සිටීම මට රුචි නැත. අදම මැදියම් රැය තුළ පැන යායුතුයි. මා හැර ඔබට වෙන මිතුරෙක් නැතැ“යි කී කල්හි,

“එසේනම් ආචාරීනි. ඔබම මාගේ අශ්වයාව සූදානම් කර යානය පිළියෙල කරන්න” යැයි රජු කීය.

බ්‍රාහ්මණයා, නිශ්චය වශයෙන්ම ඔහු පලා යන බව දැන, “මහරජතුමනි, බිය නොවන්නැ” යි අස්වසා පිටතට ගොස් යොදවන ලද පුරුෂයින්ට, “අද රජු පලායන්නේ ය. නිදා නොගනිව්” යැයි අවවාද දී රජුගේ අශ්වයා යම්සේ ඇද්දවිට මනාව පැනයයි ද එසේ නුහුරු ආකාරයට ගලපා මැදියම් රාත්‍රියේ පිළියෙල කර, “දේවයන් වහන්ස, අශ්වයා සූදානම්” යැයි කීය.

රජු අශ්වයා පිට නැගී පලාගියේ ය. අනුකේවට්ටයා ද අශ්වයා පිට නැගී ඔහු සමග යන්නාක් මෙන් හඟවා ටිකක් දුර ගොස් නතරවිය. නුහුරු ආකාරයට සූදානම් කළ අශ්වයා අදිනු ලබන්නේ නමුත් රජුවත් රැගෙන පලා ගියේ ය.

අනුකේවට්ටයා සේනාව අතරට පිවිස චූලනී බ්‍රහ්මදත්ත රජු පලා ගියේයැ’ යි මහාඝෝෂා කළේ ය. යොදවන ලද මිනිස්සු ද තමන්ගේ මිනිසුන් සමග කෑගැසූහ.

සෙසු රජවරු ඒ හඬ අසා ‘මහෞෂධ පණ්ඩිතයන් දොර විවෘත කොට නික්ම එන්නේ වන, අපගේ ජීවිතය නැතිවෙයි’ කියා බයෙන්, සන්ත්‍රාසයෙන් යුක්ත වූයේ උපභෝග පරිභෝග වස්තූන් පවා නොබලා එයින් පලාගියහ. මිනිස්සු ‘රජවරුන් පැනයති’ යි මනාව හඬනැගූහ. සෙස්සෝ ඒ හඬ අසා දොර, අටලු ආදියෙහි ද හඬ නැගූහ. අත්පුඩ් ගැසූහ.

මෙසේ ඒ මොහොතෙහිදී බිඳෙන්නා වූ පඨවිය මෙන් ද කැළඹුණු මහසයුර මෙන් ද සියළු නගරයේ ඇතුළත ද පිටත ද එකනින්නාද විය. අටළොස් අක්ෂෞහිණියක් වූ මිනිස්සු ‘මහෞෂධ පණ්ඩිතයන් විසින් බ්‍රහ්මදත්ත රජු ද එක්සියයක් රජවරුන් ද අල්ලා ගන්නා ලදැ’ යි මරණ බයෙන් බිය වූවාහු පිහිටක් නැත්තාහු අසරණ වූවාහු බඩ බැඳි සළුව ද අතහැර පලාගියහ.

කඳවුරු භූමිය හිස්විය. චූලනි බ්‍රහ්මදත්ත රජු එක්සියයක් ක්ෂත්‍රියන් ගෙන තමන්ගේ නගරයටම ගියේ ය.

පසුදා උදෑසනම නගරයේ දොරටු විවෘතකොට බල සේනා නගරයෙන් නික්ම මහා විනාශය දැක “පණ්ඩිතයෙනි, කුමක් කරන්නෙමුදැ” යි මහා සත්ත්වයන්ට කීය. හෙතෙම මෙසේ කීය.

“මොවුන් විසින් අතහැර දමා ගිය ධනය අපට අයත් ය. සියළු රජවරුන්ට අයත් දේ අපගේ රජතුමාට දෙව්. සිටුවරයන්ට ද කේවට්ට බ්‍රාහ්මණයා සන්තක දෙය අපට ද ගෙන එච්. ඉතිරිය නගරවැසියෝ ගනිත්වා”

ඔවුන්ගේ වටිනා මාණික්‍ය භාණ්ඩ ම ගෙනඒමට මාස භාගයක් ගත විය. ඉතිරිය සිව්මසකින් ගෙන ආහ. මහා සත්ත්වයන් වහන්සේ අනුකේවට්ටයාට බොහෝ සත්කාර කළේ ය. එතැන් පටන් වනාහි මියුළුනුවර වැසියන් රන්හිමියන් වූ අතර බ්‍රහ්මදත්ත රජු ද උත්තර පංචාල නගරයෙහි වසන්නහු එක් වර්ෂයක් ගෙවී ගියේ ය.

ඉක්බිති එක්දිනක් කේවට්ටයා කැඩපතින් මුහුණ බලන්නේ නළලෙහි වණය දැක “මේ ගෘහපති පුත්‍රයාගේ වැඩ ය නිසා මම් මෙතෙක් රජවරුන් අතර ලජ්ජාවට පත්වූයේම්” යැයි සිතා හටගත් ක්‍රෝධ ඇත්තේ කවදානම් ඔහු පිටු දකින්නට සමර්ථ වන්නෙම්’ දැයි සිතන්නේ, “එක් උපායක් ඇත. අපගේ රජතුමාගේ පංචාලචණ්ඨි නම් වූ උතුම් රූසිරියෙන් යුත් දෙවඟනන් පරයන දියණිය, වේදේහ රජුට දෙන්නෙමු’ යි කියා වේදේහයන්ව කාමයෙන් පොළඹවාගෙන ඇම ගිලින ලද මත්ස්‍යයකු මෙන් මභෞෂධයන් සමග ගෙනවිත් ඒ දෙදෙනාව ම මරා ජයපැන් බොන්නෙමු” යි සනිටුහන් කොට රජු වෙතට පැමිණ මෙසේ කීය.

“දේවයන් වහන්ස, එක් උපායක් ඇත”

“ආචාරීනි, ඔබගේ මන්ත්‍රණය නිසා උතුරු සළුව පවා නැති විය. දැන් කුමක් කරන්නෙහිද ? නිහඬ වන්න”

“මහ රජතුමනි. මේ උපායට සමාන කිසි උපායක් නැත”

“එසේ නම් කියව” යි රජු පැවසීය.

“රජතුමනි! අප දෙදෙනා පමණක් සිටිය යුතු ය”

“එසේ වේවා!”

ඉක්බිති බ්‍රාහ්මණයා ඔහුව ප්‍රාසාදයේ උඩුම්හලට නංවා මෙසේ කීය.

“මහරජතුමනි! වේදේහ රජුව කෙලෙස් වලින් පොළඹවා මෙහි ගෙනවුත් ගෘහපති පුත්‍රයා සමග මරවන්නෙමි”

“ආචාරීනි, උපාය නම් කදිම ය. කෙසේ නම් ඔහුව පොළඹවාගෙන ගෙන එමුද?”

“රජතුමනි, ඔබතුමාගේ පංචාලචණ්ඩී දියණිය උතුම් රූසපුවකින් යුක්ත වූවා ඇගේ රූපසම්පත්තිය ද දක්ෂ විලාසයන් ද ගැන කවින් ලවා ගීත බන්ධනය කොට ඒ කාව්‍යයන් මියුළු නුවර ගායනා කරවා ‘මේ ආකාර ස්ත්‍රීරත්නයක් නොලබන්නා වූ වේදේහ රජුට රාජ්‍යයෙන් කවර වැඩෙක් ද?’ යි අසන්න සලස්වා ප්‍රථමයෙන් අසන්නට සලස්වා ඔහුගේ හිතේ රාගය අවුස්වා ඔහු බැඳුනු බව දැනගෙන එහි ගොස් මංගල්‍යය ට දිනයක් යොදා ගන්නෙමි, හෙතෙම මා හට දිනයක් නියමකර ආ කල්හි ඇම ගිලින ලද මත්ස්‍යයකු මෙන් ගෘහපති පුත්‍රයා ද රැගෙන එන්නේ ය. ඉක්බිති ඔවුන්ව මරවන්නෙමු”

රජු ඔහුගේ වචනය අසා සතුටු වී “ආචාරිනි, කදිම උපායකි. එසේ කරන්නෙමු” යි පිළිගත්තේ ය.

ඒ මන්ත්‍රණය වනාහි චූලනී බ්‍රහ්මදත්ත රජුගේ සයනපාලිකාව වූ සැළලිහිණියා අසා තේරුම් ගත්තා ය.

රජු දක්‍ෂ කවීන් කැඳවා බොහෝ ධනය දී දුවණියන් ව ඔවුන්ට පෙන්වා “දරුවෙනි, මැයගේ රූප සම්පත්තිය පිළිබඳව කාව්‍ය රචනා කරන්නැ” යි කීය.

ඔව්හු අතිශයින් සුන්දර ගී පද රචනා කොට රජුට ඇස්සවූහ. රජු බොහෝ ධනය දුන්නේ ය. කවීන්ගේ ඉදිරියේ නැට්ටුවෝ ඉගෙනගෙන උත්සව ශාලාවේ ගායනා කළහ. මෙසේ ඒවා පැතිරි ගියේ ය.

ඒවා මිනිසුන් අතර පැතිර ගියකල්හි රජු ගායකයන් කැඳවා මෙසේ කීය. “දරුවෙනි, තෙපි ලොකු පක්‍ෂීන් ගෙන රාත්‍රියෙහි ගසට නැග එහි හිඳ ගායනා කොට අළුයම් වේලාවේ ඔවුන්ගේ ගෙලෙහි පිත්තල තැලි බඳවා ඔවුන් ඔසවාගෙන ගසින් බසිව්.”

(ඔහු වනාහි ‘පංචාල රජුගේ දියණියගේ ශරීර වර්ණය දේවතාවෝ පවා ගායනා කරතී’ යැයි ප්‍රකට කිරීම පිණිස එසේ කරවී ය).

නැවත ද රජු ඒ කවීන් කැඳවා “දරුවෙනි, තෙපි දැන් මෙබඳු වූ කුමාරිකාවක් දඹදිව අන් රජෙකුට සුදුසු නැති බවත් මියුළුනුවර වේදේහ රජුට පමණක් සුදුසු බවත්, රජුගේ යසඉසුරුත් මැයගේ රූපය ද වර්ණනා කොට ගී පද බඳිව්” යැයි නියම කළේය. එසේ කොට රජුට දැන්වූහ.

රජු ඔවුන්ට ධනය දී “දරුවෙනි! මිථිලාවට ද ගොස් එහිදී ද මේ ක්‍රමයෙන්ම ගායනා කරව” යි පිටත්කර හැරියේ ය. ඔව්හු ඒවා ගායනා කරන්නාහු පිළිවෙලින් මියුළු නුවරට ගොස් උත්සව සභාවන්හි දී ගායනා කළහ. ඒවා අසා මහජනයා දහස් ගණනින් ප්‍රීතිඝෝෂා පවත්වා ඔවුන්ට බොහෝ ධනය දුන්හ. ඔව්හු රාත්‍රී කාලයේ ගස්වලට වී ගායනා කොට අළුයම පක්‍ෂීන්ගේ ගෙලෙහි පිත්තල තැලි බඳවා බසිත්. අහසෙහි පිත්තල තැලිවල හඬ අසා ‘පංචාල රාජ දියණියගේ රූසපුව දේවතාවෝ ද ගායනා කරන්යැ’ යි නගරයේ ඝෝෂා පැවැත්වූහ.

රජු ඒ බව අසා කවිකාරයන් කැඳවා තමන්ගේ නිවසෙහි උත්සව පවත්වා ”මෙබඳු වූ උතුම් රු සිරියෙන් යුත් දුවණියව චූලනි රජු මට දෙනු කැමැති වෙයි’ කියා සතුටු වී ඔවුන්ට බොහෝ ධනය දෙවී ය.

ඔවුහු අවුත් බ්‍රහ්මදත්ත රජුට සැල කළහ. ඉක්බිති රජුට කේවට්ට තෙමේ මෙසේ කීය.

“මහරජතුමනි! දැන් මම එක්දිනක් වෙන්ව යන්නෙමි”

“ආචාරිනි, මැනවි. කුමක් අවශ්‍ය වන්නේද? සුළු පඬුරක් එසේනම් ගන්න” යැයි දෙවීය.

හෙතෙම එයත් රැගෙන මහත් පිරිවරින් විදේහ රටට සම්ප්‍රාප්ත විය. ඔහුගේ පැමිණීම ‘චූළනී රජු වේදේහ රජු සමග මිත්‍ර සම්බන්ධයක් ඇතිකර ගැනීමට’ යයි කියා නගරයෙහි මහත් ඝෝෂාවක් ඇතිවිය. ‘චූළනී රජු තම දියණිය රජුට දෙයි. කේවට්ටයා වනාහි දවසක් ගතකරන්නට එ’ යි වේදේහ රජුද ඇසීය.

මහා සත්ත්වයන්ට ද දැන ගන්නට ලැබිණ. අසා ඔහුට මෙසේ අදහසක් ඇති විය. “ඔහුගේ පැමිණීම මට රුචි නොවේ. ඇති පරිදි ඔහුව දැනගන්නෙමි. මේ මන්ත්‍රණය නියම අයුරින් දැනගෙන දන්වා එවන්න” යැයි හෙතෙම චූළනී රජු සමීපයේ යොදවා සිටි පුරුෂයන්ට හසුනක් යැවීය.

“රජුත් කේවට්ටයාත් නිදන කාමරයේ සිට සාකච්ඡා කළහ. අපි ද ඇති තතු නොදන්නෙමු. රජුගේ වනාහි සයන පාලිකාව වූ සැළලිහිණිය දෙනක් සිටී. ඇය මේ මන්ත්‍රණය දන්නීයැ” යි නැවත පිළිතුරු යැවූහ.

එය අසා මහා සත්ත්වයෝ මෙසේ සිතූහ. “මම සතුරන්ට ඉඩක් නොලැබෙන පරිදි කොටස් වශයෙන් සකස්කළ නගරය කේවට්ටයාට දකින්නට ඉඩ නොදෙමි”

හෙතෙම නගර දොරටුවේ සිට රජගෙදර දක්වා ද රජගෙදර සිට තමන්ගේ නිවස දක්වා ද දෙපස කලාල වලින් වට කොට උඩින් ද කලාල වලින් වසා විසිතුරු සිතුවම් කොට බිම මල් විසුරුවා පුන්කලස් තබ්බවා කෙසෙල්කැන් බඳවා ධ්වජ එසවීය.

කේවට්ටයා ඒ  නගරයට පිවිස මනාව බෙදා සකස්කළ නගරය නොදැක ‘රජු විසින් මට මාර්ගය අලංකාර කරවන ලදැ’ යි සිතීය. නගරය නොපෙනීම සඳහා මෙසේ කළ බව ඔහු නොදනී. ඔහු ගොස් රජු දැක ත්‍යාග පිළිගන්වා එකත්පසෙක සිට රජු විසින් කරන ලද සත්කාර සම්මානත් තමන්ගේ පැමිණි කාරණයත් දන්වන්නේ මේ ප්‍රකාශය  කළේ ය.

“සමගිය කැමැති බ්‍රහ්මදත්ත රජතෙමේ ඔබ වහන්සේට පඬුරු ලෙස රත්නයන් එවන්නේ ය. පංචාල නගරයේ සිට මිහිරි වූ ප්‍රිය වචන ඇති දූතයෝ ද වන්නේ ය.
යම් බසක් සතුට ඇති කරන්නේ ද, එබඳු මෘදු වචන ම තෙපලත්වා! පංචාලයෝ ද විදේහයෝද යන දෙපාර්ශ්වය එකමුතු වෙත්වා!

“මහරජ, අපගේ රජතුමා අනික් මහ ඇමතියකු එවනු කැමැත්තේ වී නමුත් වෙන කෙනෙක් මනාප ලෙස පණිවිඩය දන්වන්නට හැකි නොවන්නේ යැයි මා ම එවී ය…. ‘ආචාරිනි, ඔබ රජුට හොඳින් අවබෝධ කරදී රජුව රැගෙන එන්න’ යී කීය…. මහරජතුමනි, යන්න. ශ්‍රේෂ්ඨ වූ රූමත් වූ කුමාරිකාවක් ලබන්නේ ය! අපගේ රජු සමග මිත්‍රත්වය ද ඇතිකර ගත්නේ ය!”

හෙතෙම ඔහුගේ වචනය අසා ම සතුටු සිතැත්තේ ‘උතුම් රූසපුවකින් යුත් කුමාරිකාවක් ලබන්නෙමි’ යි ඇසීමෙන් ඇති වන එක්වීමකින් ම බැඳී “ආචාරීනි! ඔබගේ ද මහෞෂධ පණ්ඩිතයන්ගේ ද ධර්ම යුද්ධයේ දී විවාදයක් ඇති විය. යන්න. මාගේ පුත්‍රයා දකින්න. පණ්ඩිතයන් දෙදෙනා ඔවුනොවුන් සමාවී සාකච්ඡා කර එන්න” යැයි කීය.

එය අසා කේවට්ට තෙමේ පණ්ඩිතයන් දකිමි’ යි ඔහු දැකීමට ගියේ ය. මහා සත්ත්වයෝ ද එදවස ‘ඒ පවිටා සමග මාගේ කතාබහක් නොවේවා’ යි උදෑසන ම ගිතෙල් ස්වල්පයක් පානය කළේ ය. ඔහුගේ නිවස ද තෙත් ගොම ඝනව ආලේප කළේ ය. කණුවල තෙල් තැවරී ය. ඔහුට හිඳ ගැනීමට එක් රෙදි ඇඳක් තබා ඉතිරි ඇඳපුටු ආදිය බැහැර කළහ. තම සගයන්ට මෙසේ කීය.

“කේවට්ටය ආ විට නුඹලා මෙසේ කියව්, ‘බ්‍රාහ්මණය, පණ්ඩිතයන් සමග කථා නොකරන්න. අද ඔහු විසින් ගිතෙල් පානය කරන ලදී’…..  මා ද ඔහු සමග කථා කරන ආකාරයක් දක්වන කල්හි, ‘දේවයිනි, ඔබ ගිතෙල් පානය කළා නොවේද? කථා නොකරන්න’….. “

මෙසේ විමසා මහා සත්ත්වයෝ රතු පටසලුවක් හැඳ සත්වන දොරටුවේ රෙදි ඇඳක වාඩිවිය. කේවට්ටයා ද පළමු දොරකොටුවේ සිට ‘පඬිතුමා කොහේදැ’ යි ඇසී ය. ඉක්බිති ඔහුට මිනිස්සු, “බ්‍රාහ්මණය, මහහඬ නොනගන්න. ඉදින් එන්නේ නම් නිහඬව එන්න. අද පණ්ඩිතයන් විසින් ගිතෙල් පානය කරන ලදී. මහා ඝෝෂාවක් කරන්නට නොලැබෙයි” යැයි කීහ.

සෙසු දොරටුවලදී ද එයම කීවාහ. හෙතෙම සත්වන දොරකොටුව ඉක්මවා පණ්ඩිතයන් සමීපයට ගියේ ය. පණ්ඩිතයෝ කථා කරන්නට සූදානම් වන විලාශයක් දැක්වීය. ඉක්බිති ඔහුට “ස්වාමීනි! කථා නොකරන්න. ඉතා මොළොක් ගිතෙල් පානය කළා නොවේද? මේ දුෂ්ට බ්‍රාහ්මණයා සමග කථා කිරීමෙන් ඔබතුමාට කවර ප්‍රයෝජනයක්දැ?” යි පවසා වැළැක්වූහ.

මෙසේ ඔහු පණ්ඩිතයන් සමීපයට ගොස් වාඩි වීමට අසුනක් හෝ හේත්තු වී සිටීමට තැනක් හෝ ලැබුනේ නැත. තෙත ගොම මැඩගෙන සිටියේ ය.

ඉක්බිති ඔහුව බලා, කෙනෙක් ඇස් කුඩා කළහ. තවෙකෙක් බැම එසවීය. එකෙක් වැලමිට කැසීය. හෙතෙම ඔවුන්ගේ ක්‍රියාවන් දැක නිහඬ වූයේ, “පණ්ඩිතයෙනි. මම යමියි” කී කළ අනිකකු විසින් “දුෂ්ට බ්‍රාහ්මණය, ශබ්ද නොකරව’ යි කියද්දිත් ශබ්ද කරන්නෙහිය. තොපගේ ඇට බිඳින්නෙමියි” කී කල්හි බියවූයේ තැතිගත්තේ නැවත නැවතී බැලුවේ ය.

ඉක්බිති ඔහුට වෙනකෙක් උණපතුරෙන් පිටට ගැසුවේ ය. තවකෙනෙක් ගෙලෙන් අල්ලා තල්ලු කළේ ය. තව කෙනෙක් පිටට අතින් ගැසීය.

හෙතෙම දිවියෙකුගේ මුඛයෙන් මිදුණු මුවකු මෙන් බියවූයේ තැති ගත්තේ නික්ම රජගෙදරට ගියේ ය.

“අද මාගේ පුත්‍රයා මේ පුවත අසා සතුටු වූයේ වන්නේ ය. පණ්ඩිතයන් දෙදෙනාගේ මහත් වූ ධර්ම සාකච්ඡාවක් වන්නේ ය. අද දෙදෙනාම ඔවුනොවුන් සමාකර ගනිත්. මට එය ලාභයකි” යී සිතමින් සිටි රජු කේවට්ටයන් දැක පණ්ඩිතයන් සමග සැසඳීමේ ස්වභාවයෙන් විමසන්නේ මෙසේ කීය.

“කෙසේද කේවට්ටය! මහෞෂධයන් හා සමගිය වී ද? තෙපි කිම ක්ෂමා කරවූවහු ද? කිම මහෞෂධයන් සතුටු වුවහු ද?”

මෙසේ කී කල්හි කේවට්ට තෙමේ “මහරජතුමනි, ඔබ ඔහුව පණ්ඩිතයා යැයි ගෙන හැසිරෙන්නේ ය. ඊට වඩා අසත්පුරුෂතර කෙනෙක් නැත. හේ අනාර්ය ස්වරූප ඇති පුරුෂයෙකි. සතුටු කථා නැත්තෙකි. උඩඟු වූවෙකි. අපණ්ඩිත ස්වභාව ඇත්තේ ය. ගොළුවකු සේද බිහිරකු සේද කිසිත් තෙපළේ නැතැ” යි කේවට්ට කීය.

රජු ඔහුගේ වචනයෙන් සතුටු නොවී නොවිචාරා ඔහුට ද ඔහු සමග පැමිණි අයට ද වියදමත්, වාසයට ගෙයක් ද ලබාදී “යන්න ආචාරිනී, විවේක ගන්න” යැයි ඔහුව පිටත්කර යවා “මාගේ පුත්‍රයා පණ්ඩිත ය. සාකච්ඡාවේ දක්ෂ ය. මොහු සමග වනාහි පිළිසඳර කථාවක් නොකෙළේ ය. සතුටක් හැඟ වූයේ නැත. කිම ඔහු විසින් කිසියම් අනාගත බියක් දුටුවා විය හැකියැ” යි රජු සිතීය.

ඔහුගේ ඒ අදහස සිහිකර බියෙන් සිටි කල්හි පණ්ඩිතයෝ සතරදෙන පැමිණියහ. රජු සේනකගෙන් ඇසීය.

“සේනකය, ඔබ උත්තර පංචාල නගරයට ගොස් චූළනි බ්‍රහ්මදත්ත රජුගේ දියණියව ගෙන ඒමට කැමති වන්නේ ද?”

“මහරජතුමනි, කුමක් කියන සේක් ද? එන්නා වූ ශ්‍රී කාන්තාවට පහරදී පන්නා දමන්නට වටී ද? ඉදින් ඔබතුමා එහි ගොස් ඇයව භාරගන්නේ ද? චූළනී බ්‍රහ්මදත්ත හැර අන් කවරෙක් මේ දඹදිව් තලයේ සමාන නොවන්නේ ද? කුමක් නිසාද යත්, දෙටු රජකෙනෙකුගේ දුව ගැනීම නිසා හෙතෙම වනාහි ‘සෙසු රජවරු මාගේ මිනිස්සු හා සමාන වන්නේ, මේ එකම වේදේහ පමණක් මා හා  සමාන වන්නේ’ යැයි සියළු දඹදිව උතුම් රු සපුවකින් යුත් දියණිය ඔබතුමන්ට දෙනු කැමැත්තේ විය. ඔහුගේ වචනය ඉටු කරන්න. අපි ද ඔබතුමන් නිසා වස්ත්‍රාලංකාර ආදිය ලබන්නෙමු”

රජු සෙසු අයගෙන් විචාරී ය. ඔව්හු ද එසේම පැවසූහ. ඔවුන් සමග කථා කරමින් සිටින විට කේවට්ට බ්‍රාහ්මණයා නිවසින් නික්ම රජු අමතා “යන්නෙමි” යි කියා අවුත් “මහරජතුමනි. අප විසින් ප්‍රමාද කරන්නට නොහැක. රජතුමනි, අපි යන්නෙමු” යි කීය.

රජු ඔහුට සැලකිලි දක්වා ඔහුව පිටත්කර හැරියේ ය.

මහා සත්ත්වයෝ ඔහු ගිය බව දැන ස්නානය කොට සැරසී රාජසේවයට අවුත් රජුට වැඳ එකත්පසෙක හුන්නේ ය. රජු මෙසේ සිතීය.

“මා පුත් මහෞෂධ පණ්ඩිතයෝ මහා මන්ත්‍රීවරයා ය. මන්ත්‍රණයෙහි පරතෙරට ගියේ වෙයි. අතීත අනාගත වර්තමාන යන තුන් කල්හි කරුණු දනී. අප එහි යායුතු බව හෝ නොයා යුතු බව පණ්ඩිතයෝ දනිති” යි හෙතෙම පළමු තමාගේ සිතිවිල්ලෙහි නොපිහිටා රාගයෙන් රත්වූයේ මෝහයෙන් මුළා වූයේ වී ඔහුගෙන් විචාරන්නේ මේ ගාථාව කීය.

“නුවණින් ඉතා උතුම්තැනට පත් යම් පණ්ඩිත කෙනෙක් වෙත්ද ඒ අප සදෙනාගේ ම අදහස සම වෙයි. මහෞෂධය, පංචාලයට යාම හෝ නොයාම හෝ මෙහි සිටීම හෝ පිළිබඳවැ තෙපිදු අදහසක් ප්‍රකාශ කරව”

එය අසා පණ්ඩිතයෝ, “මේ රජු අතිශයින් කාමයෙහි ගිජු වූවෙකි. නූගත්කම නිසා මේ සතර දෙනාගේ වචනය පිළිගනී. ගමනෙහි දොස් කියා මොහුව නතර කරන්නෙමි” යි සිතා ගාථා සතරක් පැවසීය.

“මහරජ, චූළනී බ්‍රහ්මදත්ත රජු මහත් බල ඇත්තෙක. මහත් ආනුභාව ඇත්තෙකැයි දන්නෙහි. වැද්දකු දඩමුවකු කරණ කොටගෙන අල්ලාගත් මුවකු මෙන් බ්‍රහ්මදත්ත රජුද ඔබ මරනු රිසිවෙයි. යම්සේ මත්ස්‍යයෙක් මසින් වැසුනු වක් වූ බිළීකටුව ගිලී ද, ඇමට ගිජු ඒ මත්ස්‍යයා තමාගේ මරණය නොදකී ද?
එසේම මහරජ, කාමයෙහි ගිජු වූ ඔබ ද මත්ස්‍යයා තමාගේ මරණය නොදන්නා සේ චූළනී රජුගේ දියණිය පිළිබඳ කාරණය නොදන්නාහුය. ඉදින් ඔබ පංචාල නුවරට යන්නහු නම් වහා සියදිවි හරහුය. ගම් දොර මගටවන් මුවකු සේ මහත් බියට පැමිණෙන්නාහු ය”

ඔහු අධික ලෙස නිග්‍රහ කිරීමෙන් කෝපයට පත්ව “මෙතෙමේ මා තමන්ගේ දාසයකු මෙන් සිතයි. රජුය කියා හැඟීමක්වත් නැත. අගරජු විසින් දියණියව දෙන්නෙමියි මා සමීපයට පණිවිඩ එවූ බව දැනගෙන මංගලමය වූ එක් දෙයක්වත් නොකියා මා ලොල් වූ මුවකු මෙන් බිලිය ගිලින ලද මත්ස්‍යයකු මෙන් මගට පත් වූවකු මෙන් මරණයට පත්වන්නේ යැයි කියයි” යැයි කිපී අනතුරුව මේ ගාථාව කීය.

“යම් කෙනෙක් මංගලාර්ථයන් පිළිබඳවැ තා සමග කථා කළෝ ද, ඒ අපිමැ මෝඩ කෙලතොල්ලෝ වෙමු. නඟුල් කෙළවර ගෙනැ වැඩුනා වූ තෝ කෙසේ නම් අන්‍ය පණ්ඩිතයන් සේ උත්තමාර්ථයන් දන්නෙහි ද?”

මෙසේ ඔහුට බැනවැදී නින්දා කොට “ගෘහපති පුත්‍රයා මාගේ මංගල්‍යයට අනතුරක් කරයි. මොහුව බැහැර කරව්” යැයි කීය.

හෙතෙම රජු කිපුණු බව දැනගෙන “ඉදින් වනාහි යම් කෙනෙක් රජුගේ වචනය පිළිගෙන මාගේ අතින් හෝ ගෙලෙන් හෝ අල්ලන්නේ ද එය මට සුදුසු නොවේ. එය දිවි ඇතිතෙක් ලජ්ජාවීමට හේතු වෙයි. ඒ නිසා තමන්ම නික්ම යායුතුය” යි සිතා රජුට වැඳ තම ගෘහයට ගියේ ය.

රජු ද හුදෙක් කෝපයෙන් ම කථාකරයි. බෝධිසත්ත්වයන් කෙරෙහි කිසිදු ගරුසරු බවක් නොමැතිව එසේ කරන්නට අණ කළේ ය.

ඉක්බිති මහාසත්ත්වයෝ මෙසේ සිතූහ. “මේ රජු නුගත් ය. තමන්ම හොඳ නරක නොදනී. කාමයට ගිජු වී ඔහුගේ දියණිය ලබන්නෙමියි කියා අනාගත බිය නොදැක යන්නේ මහා විපතකට පැමිණෙන්නේ ය. මා විසින් ඔහුගේ කථාව සිතේ තබාගන්නට නොවටී. මොහු මට බොහෝ උපාකරි කෙනෙකි. යසස දෙන්නෙකි. මොහුට මා පිහිටවිය යුතුය. පළමුව ගිරා පෝතකයාව යවා ඇති පරිදි දැනගෙන පසුව තෙමේම යන්නෙමි” යි සිතා ගිරා පෝතකයා ඇමතී ය.

“යහළු රන්වන් පියාපත් ඇත්ත. මෙහි එව, මට එක් මෙහෙවරක් කරන්නෙහි?” කී කල්හි අවුත් ඇකයෙහි සිටිනා වූට “අන් මනුෂ්‍යයකු විසින් කළ නොහැකි මාගේ එක් ශාරිරික වතාවත් කරන්න” යැයි කීය.

“ස්වාමීනි කුමක් කරම්දැ” යි කී කල්හි “හිතවත! කේවට්ට බමුණාගේ දූතමෙහෙවර සඳහා පැමිණි කාරණය, චූලනී රජු ද කේවට්ටයා ද හැර අන් අය නොදනිත්. දෙදෙන යහන්ගැබූ සිට මන්ත්‍රණය කළහ. ඔහුගේ වනාහි  සයනපාලිකා සැළලිහිණියක් ඇත. ඇය වනාහි ඒ රහස දනියි. නුඹ මෙහි ගොස් ඇය සමග හිතවත්කමක් ඇතිකරගෙන ඔවුන්ගේ රහස යම්සේ කිසිවකුට නොදැනෙන පරිදි රහස්තැනක සිට මෙසේ විචාරව, ඉදින් ඔව්හු කිසියම් හඬක් අසත් නම් ඔබගේ ජීවිතය නැතිවෙයි. ඒ නිසා රහසිගත තැනකදී වහා විමසන්න.”

ඒ ගිරා පෝතකයාව පණ්ඩිතයන් විසින් පෙර පරිදිම සත්කාරකොට විශ්වාස බවට පත්ව ‘එසේයැ’ යි ඔහුගේ වචනය පිළිගෙන මහාසත්ත්වයන්ට වැඳ පැදකුණු කොට විවෘත සීමැදුරු කවුළුවෙන් නික්ම වාත වේගයෙන් සිවි රටේ අරිට්ඨපුරය තෙක් ගොස් එහි තොරතුරු සළකා බලා උත්තරා පංචාලයේ සැළලිහිණි ධේනුව සමීපයට ගියේ ය.

කෙසේද යත්, ඔහු රජගෙදර රන්කොත් කැරැල්ලේ හිඳ රාග නිශ්‍රිත මධුර නාදයක් හැඬීය. කුමක්නිසාද ? මේ ශබ්දය අසා සැළලිහිණි ධේනුව ප්‍රතිරාවය කරන්නේ ය. ඒ සළකුණෙන් ඇගේ සමීපයට යන්නෙමියි සිතා ය. ඇය ද ඔහුගේ හඬ අසා රාජ සයනය අසල රන්කුඩුවේ සිටියා සරාගී සිත් ඇත්තී තුන්වරක් නාද කළා ය. ඔහු ටිකක් ලඟට ගොස් නැවත නැවත හඬ නගා ඇය විසින් කරණ ලද ශබ්දය අනුසාරයෙන් ක්‍රමයෙන් සීමැදුරු කවුළුවේ උළුවස්සේ සිට අනතුරු රහිත බව දැනගෙන ඇය සමීපයට ගියේ ය.

ඉක්බිති ඔහුට ඕතොමෝ  “එන්න මිතුර, රන්කුඩුවේ සිටින්න” යැයි කීවා ය. ඔහු එහි ගොස් හුන්නේය. මෙසේ ඔහු ගොස් මෛථුන කර්මයට තරම් විශ්වාසී බවක් ඇතිකරගනු කැමතිව සිට ඇයව ඇමතුවේ ය. 

“රන්කුඩුවේ වසන බැවින් සුන්දර නිවසක් ඇති, වෛශ්‍ය ජාතිකය. (සැළලිහිණි ධෙනුව පක්‍ෂීන් අතර වෛශ්‍ය ජාතික වේ. ඒ නිසා එනමින් අමතයි) කිම ඔබට මී පැණි සමග විළඳ ලැබෙයිද?”

“මිතුර, කොහේසිට පැමිණ ඔබ මෙහි ඇතුල්වී ද?”

ඔහු ඇගේ වචන අසා ‘ඉදින් මම මියුළු නුවර සිට ආවේයැ’ යි කියම් ද මැය මළත් මා සමග විශ්වාසයක් ඇතිකර ගන්නේ නැත. සිවිරට අරිට්ඨපුරයේ සිට ආ බව කියමි. ඒ නිසා බොරුකොට සිවි රජු විසින් එවන ලද බව කියා එහි සිට ආවේ යැයි කියන්නෙමි’ යි සිතා මෙසේ කීය.

“මම සිවි රජුගේ ප්‍රාසාදයේ සයන පාලකයා වීමි, ඒ දැහැමි රජ බන්ධනගතව සිටි අයව මුදාහැරියේ ය. එසේ මුදන්නේ මා විශ්වාසකොට මොහුව මුදාහරින්න යැයි කීය. ඒ මම රන්කුඩුවෙන් නික්ම ප්‍රාසාදයෙන් පිටත කැමැති තැනක සිට ගොදුරුගෙන රන්මැදිරියේ ම වාසය කරමි. ඔබ මෙන් නිරන්තරයෙන්ම කුඩුවේ නොවසමි”

ඉක්බිති ඇය තමා සඳහා රන්තැටියේ තබන ලද මීපැණි මිශ්‍ර විළඳ හා මීපැණි ඔහුට දී “යහළුව, නුඹ දුර සිට පැමිණියේ, කුමක් සඳහා මෙහි ආවේද?” විචාළා ය.

ඔහු ඇගේ වචනය අසා රහසිගතව අසනු කැමැත්තේ බොරුවක් කොට මෙසේ කීය. “පියබස් බෙණෙන එක් සැළලිහිණි ධේනුවක් මට බිරිඳ වූවා ය. මා රන්මැදිරියේ බලා සිටියදීම ඕ උකුස්සකු විසින් මරණ ලද්දීය”

ඉක්බිති ඇය ඔහුගෙන් මෙසේ විමසුවාය. “කෙසේ වනාහි ඔබගේ බිරිඳව උකුස්සා විසින් මරණ ලදී ද?”

ඇය විසින් අසනු ලැබූ ඔහු “සොඳුර, අසන්න. එක් දිනක් අපගේ රජතුමා ජල ක්‍රීඩාවට යන්නේ මට ද කථා කළේ ය. මම භාර්යාව ද ගෙන ඔහු සමග ක්‍රීඩාකොට සවස් කාලයේ ඔහු සමගම පසුගමන් කොට රජු සමගම ප්‍රාසාදයට නැගී සිරුර වේලීම සඳහා භාර්යාවත් රැගෙන සීමැදුරු කවුළුවෙන් නික්ම කුළුගෙය මුදුනේ සිටියෙමි. ඒ වේලාවේ එක් උකුස්සෙක් කුළුගෙයින් නික්මෙන්නේ අපව අල්ලාගැනීම පිණිස පැන්නේ ය. මම මරණ බියෙන් බිය වූයෙම් වේගයෙන් පලා ගියෙමි. ඇය වනාහි එකල්හි ගැබ්බරව සිටියා ය. ඒ නිසා ඇය වේගයෙන් පැනයන්නට අසමත් වූවා ය. ඉක්බිති ඔහු මා බලා සිටියදී ම ඇයව මරා රැගෙන ගියේ ය. ඉක්බිති ඇය පිළිබඳ ශෝකයෙන් මා හඬමින් සිටිනු දැක අපගේ රජතුමා ඒ කාරණය අසා ‘හිතවත, හැඬීමෙන් ඵලයක් නැත. නොහඬන්න. වෙනත් බිරිඳක් සොයාගන්න’ යැයි කියා කී විට ‘දේවයන් වහන්ස, අනාචාරී දුස්සීල තැනැත්තියක් ගෙන එනවාට වඩා හුදෙකලාව සිටීම වඩාත් හොඳයැ’ යි  කීවිට ‘මිත්‍රය, මම සීලාචාර වූ එක් බිරිඳක් දකිමි. ඔබගේ බිරිඳට සමාන වූම චූළනී රජුගේ සයනපාලිකාව වූ සැළලිහිණි ධේනුව මෙබඳු ස්වරූප ඇත්තීය. නුඹ එහි ගොස් ඇගේ අදහස් විමසා අවස්ථාවක් ලබාගෙන ඉදින් ඇය රුචි වන්නී නම් අවුත් අපට පවසන්න. ඉක්බිති මම හෝ දේවිය හෝ ගොස් මහත් පෙරහරින් ඇයව කැඳවාගෙන එන්නෙමු’ යි කියා මා මෙහි එවී ය. ඒ කාරණය නිසාවෙන් ආවේ වෙමියි” කියා මෙසේ කීය.

“ඈ පිළිබඳ කාමයෙන් මත්වූයෙමි. තී සමීපයට ආයෙමි. ඉදින් අවසර ලබන්නෙමි නම් අපි දෙදෙන එක්වැ වසමු.”

ඇය ඔහුගේ වචනය අසා සොම්නසට පත්වූවා ය. තමන්ගේ අදහස නොදන්වා අකමැත්තියක් මෙන් මෙසේ කීවා ය.

“ගිරවා ගිරවියක ද, සැළලිහිණියා සැළලිහිණියක ද කැමැති වන්නේ ය. ගිරවකු හා සැළලිහිණියක අතර කෙබඳු සංවාසයෙක්ද? අසමාන ජාතීන් අතර සංවාසය නම් කෙබඳු වන්නේ ද? ගිරවා වනාහි සමාන ජාති වූ ගිරවියක දැක බොහෝකල් ඇසුරු කළේ නමුත් අත්හරින්නේ ද, ඒ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ මහත් දුකක් වන්නේ ය. අසමාන ජාතීන්ගේ සංවාසය නම් සමාන නොවේ”

ඔහු එය අසා ‘මෑ මා ප්‍රතික්‍ෂේප නොකරයි. ආරක්ෂාවට යොදයි. ඒකාන්තයෙන් මා කැමැති වන්නේ ය. නොයෙක් ආකාර උපමාවලින් එය විශ්වාස කරවන්නෙමි’ යි ගිරා පණ්ඩිතයෝ මෙසේ කීහ.

“කාමියෙක් යමක් කැමැත්තේ නම් ඇය සැඩොලක වුවද කැමැති වන්නේ ය. තවද කාම සේවනයේ දී සියල්ලෝම සමාන වන්නෝ ය. අසමානයෝ නැත්තාහ. කාමය පිළිබඳ සිත පමණක්ම ප්‍රමාණවත්ය. ජාතිය. නොවේ”

මෙසේ කියා මිනිසුන් අතර නොයෙක් ජාති හා අදහස් පිළිබඳ කරුණු ගෙනහැර දක්වන්නේ මෙසේ කීහ.

“සිවි රජුගේ මව් තොමෝ ජබාවතී නම් සැඩොලියක් වූවා ය. ඕ, කෘෂ්ණ ගෝත්‍රයේ උපන් වාසුදේව රජුගේ ප්‍රිය බිරිඳ ද අගමෙහෙසිය ද වූවා ය”

(සිවි රජුගේ මව ජම්බාවතී නම් සැඩොලිය වූවා ය. ඇය කෘෂ්ණ ගෝත්‍රයේ සහෝදරයන් දස දෙනාගෙන් වැඩිමල් වාසුදේවගේ ප්‍රිය මෙහෙසිය වූවා ය. ඔහු එක්දිනෙක දොරටුවෙන් නික්ම උයනට යන්නේ සැඩොල්ගමෙන් කිසියම් කටයුත්තක් සඳහා නගරයට පිවිසෙන විට එකත්පසෙක සිටි එක් සුරූපී කුමාරිකාවක් දුටු විටම ඇය පිළිබඳ සිත් ඇතිව ‘කුමන ජාතිදැ’ යි අස්වා සැඩොල් ජාතියේ යැයි අසාත් පිළිබඳ සිත් ඇති බැවින් විපිළිසරව විවාහක බව විමසා අවිවාහක යැයි දැනගෙන ඇයව ගෙන එතනින් නික්ම වාසභවනයට ගෙන ගොස් රත්න සමූහයක් උඩට තබා අගමෙහෙසිය කළේ ය. ඇය ‘සිවි’ නම් පුතකු වැදුවා ය. ඔහු පියාගේ ඇවෑමෙන් බරණැස රාජ්‍යය කළේ ය. ඒ පිළිබඳව මෙය කියන ලදී.)

ඉක්බිති හෙතෙම මේ උදාහරණය ගෙනහැර දක්වා ‘මෙබඳු වූ ක්‍ෂත්‍රියයෙක් පවා සැඩොලියක සමග එකට වාසය කළේ ය. තිරිසන් සතුන් වූ අප කෙරෙහි කවර කථා ද? ඔවුනොවුන් අතර සංවාසයට කැමැත්ත පමණක් ප්‍රමාණවත්දැ’ යි කියා වෙනත් උදාහරණයක් ද ගෙනහැර දක්වමින් මෙසේ කීය.

“පෙර රථවතී නම් කිඳුරියක් වූවා ය. ඕ තොමෝ වච්ඡ නම් තවුසකු කැමති කරවා ගත්තා ය. මනුෂ්‍යයෙක් තිරිසනක හා එකට වාසය කළේ ය. කාමයෙහි අසමාන කමක් නැත”

(අතීතයෙහි එක් බ්‍රාහ්මණයෙක් කාමයන්හි ආදීනව දැක මහත් වූ යසස අතහැර ඍෂි පැවිද්දෙන් පැවිදිව හිමවත පන්සලක් මවාගෙන වාසය කළේ ය. ඒ පන්සලට නුදුරෙහි එක් ගුහාවක බොහෝ කිඳුරෝ වාසය කරත්. එහි එක් මකුළුවෙක් වාසය කරයි. ඔහු දැලක් වියා කිඳුරන්ගේ හිස බිඳ ලේ බොයි. කිඳුරෝ නම් දුබලයෝ ය. බියවනසුළු ය. ඒ මකුළුවා විශාල ය. ඒ නිසා ඔහුට විරුද්ධව කිසිවක් කරන්නට නොහැක්කාහු, ඒ තාපසයා ලඟට පැමිණ කරන ලද පිළිසඳර කථා ඇත්තී පැමිණි කාරණය විමසන ලද්දී “ස්වාමීනි, එක් මකුළුවෙක් අපගේ ජීවිත පැහැර ගනී. අන් පිහිටක් නැත. ඔහුව මරා අපට යහපතක් කරන්න” යී කීහ. එවිට තවුසා, “නික්ම යව්. මා වැන්නෝ ප්‍රාණඝාතය නොකරයි” ප්‍රතික්‍ෂේප කළේ ය. ඔවුන් අතර රථවතී නම් කිඳුරිය සැමියකු නැත්තී ය. ඔවුහු ඇයව සරසවා තවුසා සමීපයට ගෙන ගොස් “ස්වාමීනි! මැය ඔබගේ බිරිඳ වේවා! අපගේ සතුරාව විනාශ කරන්න” යැයි කීහ. තවුසා ඇයව දුටු විටම පිළිබඳ සිත් ඇත්තේ වී ඇය සමග සංවාසයේ යෙදී ගුහා දොරටුව ලඟ සිට ගොදුරු පිණිස නික්ම යන මකුළුවාව මුගුරකින් පහරදී මරණයට පත්කළේ ය. ඔහු ඇය සමග එකට වාසය කරන්නේ දු පුතුන් ඇතිදැඩි කොට කළුරිය කළේ ය.)

ගිරා පෝතකයා මේ උදාහරණය ගෙනහැර දක්වා වච්ඡ තාපසයා මනුෂ්‍යයෙක්ව, තිරිසන්ගත කිඳුරිය සමග සංවාසයේ යෙදුනේ ය. අප ගැන කවර කථා ද? අපි දෙදෙනාම පක්‍ෂීන් වන අතර තිරිසන්ගත අය වෙමු යන්න දක්වමින් කීය.

ඇය ඔහුගේ වචනය අසා “ස්වාමීනි! සිත නම් සැමකල්හිම එක සමාන නොවේ. පිය විප්‍රයෝගයට බිය වෙමියි” කීය, ඒ පණ්ඩිතයා ස්ත්‍රී මායාවන්හි දක්ෂයෙකි. ඒ නිසා ඇයට විමසමින් නැවත මෙසේ කීය.

“මිහිරි වචන ඇති ශාරිකාව, එසේ නම් මම යන්නෙමි. මේ සියල්ල තී හැර දැමීමට කරුණු ය. ඔබ යමක් කියන්නෙහි ද ඒ සියල්ල ප්‍රත්‍යක්‍ෂය, ප්‍රත්‍යක්‍ෂයට කාරණය, ප්‍රත්‍යක්‍ෂයේ කොටසකි. මං ඒකාන්තයෙන් කැමැතිවෙයිද, ඔබ මා ඉක්මවා සිතන්නෙහි ය. මාගේ හරය නොදන්නෙහි ය. මම රාජපූජිත වෙමි. මට භාර්යාවන් දුර්ලභ නැත. අන් බිරියක් සොයන්නෙමි. යන්නෙමියි” කියූ ඔහුගේ වචනය ඇය අසාම බිඳුනු හදවතක් ඇත්තාක් මෙන් ඔහු දැකීම පමණින්ම උපන්නා වූ කාමාශාව හේතුවෙන් දැවෙන්නාක් මෙන් මෙසේ කීය.

“ගිරා පණ්ඩිතය, ඉක්මන් තැනැත්තාට ශ්‍රී තොමෝ දුරස්ථ වන්නෙහි ය. ඒ නිසා මහත් යස ඉසුරියන් යුත් අපගේ රජතුමා දකින තෙක් මෙහිම නතරවන්න. සවස් කාලයේ කිඳුරියන්ට සමාන විලාසයෙන් යුත් උතුම් රූ ඇති කාන්තාවන් විසින් වාදනය කරනු ලබන මිහිඟු බෙරවල ද අනික් නෘත්‍ය ගීත වාදයන්හි හඬ අසන්නෙහි. රජුගේද ආනුභාවයත් මහත් වූ ශ්‍රී සෞභාග්‍යයත් දකින්නෙහි, යහළුව කිම ඔබ ඉක්මන් වන්නෙහි ද? ස්වල්පයක්වත් ඔබ නොදන්නෙහිය, නතර වන්න. පසුව දැනගන්නෙමු”

ඔව්හු එතැන් පටන් සමගිව, සතුටුව, ප්‍රීතිමත්ව සිටියාහුය. ඉක්බිති ගිරා පෝතකයා මෙසේ සිතීය. ‘මැය දැන් මට රහසක් නො සඟවන්නීය. දැන් ඇයගෙන් අසා යන්ට වටනේයැ’ යි සිතා, “සොඳුර, සාළිය!”  කියා ඇමතීය.

“ස්වාමීනි ඇයිද?”

“ඔබට කිසිවක් කියනු කැමැත්තෙමි. එය කියමි”

“ස්වාමීනි, කියන්න”

“වේවා! අද අපගේ මංගල දවසය. වෙනත් දිනක කියමි”

“ඉදින් මංගල්‍යමය කථාවක් පමණක් නම් කියන්න. එසේ නොවේ නම් ස්වාමීනි නොකියන්න”

“මෙය වනාහි මංගල කථාවකි”

“එසේ නම් කියන්න. ඉදින් අසනු කැමැත්තේ නම් ඔබට කියන්නෙමියි”

ඒ රහස අසන්නේ මෙසේ කීය.

“පංචාල රජුගේ ඕසධි තාරකාව සේ රූපශ්‍රීයෙන් බබලන දූ කුමරිය වේදේහ රජුට දෙන්නේ ය යන මහත් ඝෝෂාවක් පසල් දනව් වලදී අසන ලද්දේ ය. ඒ විවාහය සිදුවන්නේද?”

ඕ තොමෝ ඔහුගේ වචනය අසා මෙසේ කීය. “ස්වාමිනි! කුමක් නිසා මංගල දිනයෙහි අවමංගල කථාවක් කරන්නෙහිද?”

“මම මංගලයයි කියමි. ඔබ එය අවමංගලයැයි කියයි. මේ කුමක්ද?”

“හිමියනි! සතුරු වූ ඔවුන්ට මෙබඳු මංගල්‍යයක් නොවේවා!”

“සොඳුර කියන්න. ඒ කවරක්ද?”

“හිමියනි කිව නොහැක.”

“සොඳුර, ඔබ විසින් දැනගත් රහස මට නොකියන තාක් අපගේ එකතුවීමක් නම් නොවන්නේ ය”

ඕ තොමෝ එයින් පීඩාවට පත්වන්නී “එසේ නම් හිමියනි! අසාගන්න” යැයි කියා මෙසේ පැවසුවා ය.

“යම්සේ වේදේහ රජු හා පංචාල රජුගේ මෙන් තොපගේ සතුරන් අතර හෝ එබඳු විවාහයක් නොවේවා!”

” සොඳුර, කුමක් නිසා මෙබඳු කථාවක් කීවෙහිද?”

“පංචාල රජු වේදේහ රජුව මෙහි ගෙන්වා නසන්නේ ය. වේදේහ රජු සමග මිතුරුබවක් නම් නොවන්නේ ය. ඔහුගේ දුවණියව දකින්නටවත් නොදෙයි. මොහුට වනාහි අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන මහෝෂධ නම් පණ්ඩිතයෙක් සිටී. ඔහුව ද ඒ සමග නසන්නේ ය. ඒ දෙදෙනාවම ඝාතනය කර ජය පැන් බොන්නෙමු’ යි කේවට්ටයා රජු සමග මන්ත්‍රණය කොට ඔහුව රැගෙන එන්නට එහි ගියේ ය”

මෙසේ ඇය සැඟවුනු රහස සම්පුර්ණයෙන් ම ගිරා පණ්ඩිතයන්ට පැවසුවා ය. ඔහු එය අසා “කේවට්ට ඇදුරා උපායෙහි දක්‍ෂයෙකි. ඔහු රජුව මෙබඳු උපායකින් ඝාතනය කිරීම පුදුමයට හේතුවක් නොවේ’ යැයි කේවට්ටයන්ව වර්ණනා කර, ‘මෙබඳු අවමංගලයකින් අපට කවර ප්‍රයෝජනයක් ද? නිහඬව නිදාගන්න” යැයි කියා පැමිණි කාරණය සඵල වූ බව දැන ඒ රාත්‍රියේ ඇය සමග වාසය කොට ‘සොඳුර, මම සිවිරටට ගොස් මනාප වූ බිරිඳක් ලද බව සිවි රජුට දන්වන්නෙමි’ යි තමන්ගේ ගමන ඇය
ලවා අනුමත කරවා ගන්නට මෙසේ කීය.

“ශාරිකාව සමීපයෙහි විසීමට මා අවස්ථාව ලදැයි සිවි රජුට හා මෙහෙසියට දන්වා එනතෙක් දින සතකට මට අවසර දෙන්න. අටවන දවසෙහි මෙහි ගෙනවුත් මහත් පෙරහරින් ගෙන යන්නෙමි. මා එනතෙක් නොකළකිරෙව”

එය අසා සැළලිහිණි දෙන ඔහුගෙන් වෙන්වීමක් අකමැති වුවත් ඔහුගේ වචනය ප්‍රතික්‍ෂේප කරන්නට නොහැක්කී මෙසේ පැවසුවා ය.

“එසේනම් මවිසින් අනුමත කළ තොප සත් රැයකින් ආපසු නොපැමිණියහොත් මාගේ මළගමට පැමිණෙන්නට ලැබෙන්නේ යැයි සිතන්න. ඒ නිසා ප්‍රමාද නොවන්න”

“සොඳුර! කුමක් කියන්නෙහිද? අට වැනි දවසේ ඔබට දකින්නට නොලැබෙන මට ද ජීවිතයක් කොයින් ද?” කියා වචනයෙන් පවසා ‘නුඹ මළත්, ජිවත් වුනත් මට කවර ප්‍රයෝජනයක්දැ’ යි හදවතින් සිතා, නැගිට, සිවිරට දෙසට ගොස් නතර වී මියුළු නුවරට ගොස් පණ්ඩිතයන්ගේ උරහිසට බැස මහා සත්ත්වයන් විසින් ඉහළ මාලයට ගෙනගොස් විචාරන ලද්දේ ඒ සියළු පුවත සැළ කළේ ය.

පණ්ඩිතයෝ ඔහුට පෙර පරිදිම සියලු සත්කාර කළේ ය.