මහා උම්මග්ග ජාතකය
5 වන කොටස | අවසාන කොටස
පංචාලචණ්ඩි දේවිය රජුට ප්‍රියමනාප වූවා ය. ඕ දෙවන වර්ෂයේ දී පුතකු බිහිකළා ය. ඔහුගේ දසවන වසරේ දී වේදේහ රජු මිය ගියේ ය. බෝධිසත්ත්වයෝ ඔහුට සේසත ඔසවා “දේවයන් වහන්ස, මම ඔබගේ මුතුන් රජ්ජුරුවන් වන චූළනී රජු ලඟට යන්නදැ” යි විචාළේ ය.
“පණ්ඩිතය, වයසින් බාල වූ මා අතහැර නොයන්න. මම ඔබව සතුටු කර සත්කාර කරන්නෙමි” කීය.
පංචාලචණ්ඩිය ද “පණ්ඩිතයෙනි! ඔබ ගියකල්හි අපට වෙන පිළිසරණක් නැත. නොයන්න” කීය.
පණ්ඩිතයෝ ද “මා විසින් රජුට පොරොන්දු වූ බැවින් නොගොස් සිටිය නොහැක” යි මහජනයා හඬා වැළපෙද්දී ම, අමරා දේවිය ද තමන්ගේ උපස්ථායකයන් ද ගෙන නික්ම උත්තරපංචාල නගරයට ගියේ ය.
රජු ඔහුගේ පැමිණීම ගැන අසා පෙරගමන්කොට මහත් ගරු සත්කාරයෙන් නගරයට කැඳවාගෙන අවුත් විශාල ගෘහයක් ඔහුට දී පළමුවෙන් දෙන ලද අසූවක් ගම් හැර අන්කිසිවක් වස්තූන් නොදුන්නේ ය. නමුත් ඔහු ඒ රජුට සේවය කළේ ය.
එකල්හි ‘භේරි’ නම් වූ පරිබ්‍රාජිකාව රජගෙදර වළඳයි. ඇය පණ්ඩිත ය. ව්‍යක්ත ය. ඇය මහා සත්ත්වයන් ව දැක නැත. මහෞෂධ පණ්ඩිතයෝ රජුට සේවය කරති යන හඬ පමණක් අසයි. එසේ ම පණ්ඩිතයන් විසින් ද ඇයව දැක නැත. භේරි නම් පරිබ්‍රාජිකාව රජගෙදර වළඳයි යන හඬ පමණක් අසයි.
නන්දා දේවිය වනාහි, ප්‍රියයන්ගෙන් වෙන්කර අපට පීඩාවට පත්කළේ ය කියා බෝධිසත්ත්වයන් කෙරෙහි නො සතුටු වූවා ය. ඇය සේවිකාවන් පස්දෙනෙකුට මෙසේ අණකළා ය.
“මහෞෂධයන්ගේ එක් වරදක් සොයා ඔහුත් රජුත් අතර භේදයක් ඇතිකරන්නට උත්සාහ කරව්”
මේ කාන්තාවෝ පණ්ඩිතයන්ගේ වරදක් සොයමින් හැසිරෙත්. ඉක්බිති එක්දිනක් ඒ පරිබ්‍රාජිකාව ආහාර අනුභව කොට රජගෙදර නික්ම යන්නී රාජ සේවයට එන බෝධිසත්වයින් රජගෙදර මිදුලේ දී දුටුවා ය. ඔහු ඇයට වැඳ සිටියේ ය.
“මොහු වනාහි පණ්ඩිතයෙකි. ඔහුගේ පණ්ඩිත බව හෝ අපණ්ඩිත බව දැනගන්නෙමියි” ඇය සිතුවා ය. එසේ සිතා හස්ත මුද්‍රාවෙන් ප්‍රශ්නයක් විචාරන්නී බෝධිසත්ත්වයින් බලා අත දිගු කළේ ය. ඇය වනාහි ‘මෙබඳු පණ්ඩිතයන් සියගණනක් රජු වෙන රටවල් වලින් ගෙන්වා දැන් හොඳින් පෝෂණය කරයි ද නැද් ද?’ යන්න සිතින් ප්‍රශ්න කළේ ය. බෝධිසත්ත්වයෝ හස්ත සංඥාවෙන් ප්‍රශ්නයක් විචාරන්නී යැයි දැනගෙන පැනය විසඳන්නේ මිට මෙළවීය. ඔහු වනාහි ‘ආර්යාවෙනි, මගෙන් පොරොන්දු ගෙන කැඳවා දැන් රජු මිට තදකරගෙන මට අමුතු කිසිවක් නොදෙයි’ කියා මනසින් ප්‍රශ්නය විසඳී’ය.
ඇය ඔහුගේ කථාව දැන අත ඔසවා තමන්ගේ හිස පිරිමැදී ය. එයින් මෙය දක්වයි. ‘පණ්ඩිතය, ඉදින් වෙහෙස වන්නෙහිද ? අප මෙන් පැවිදි නොවන්නේ ඇයි?’ එය දැන මහා සත්ත්වයෝ තමන්ගේ කුස පිරිමැද්දේ ය. එයින් මේ බව කියවෙයි. ‘ආරියාවෙනි, මට පෝෂණය කළයුතු බොහෝ දෙනෙක් සිටිත්. ඒ නිසා පැවිදි විය නොහැක’. මෙසේ ඇය හස්ත මුද්‍රාවෙන් ප්‍රශ්න විසඳා තමන්ගේ ආවාසයට ම ගියා ය. මහා සත්ත්වයෝ ද ඇයට වැඳ රාජ සේවයට ගියේ ය.
නන්දා දේවිය විසින් මෙහෙයවන ලද සේවක කාන්තාවෝ ජනේලය ලඟ සිටියාහු මේ ක්‍රියාව දැක චූළනී රජු සමීපයට ගොස් “රජතුමනි. මහෞෂධයෝ භේරි පරිව්‍රාජිකාව සමග එක් වී ඔබගේ රාජ්‍යය ගන්නට අදහස් කරති. ඔබවහන්සේගේ සතුරෙකියි” භේද කළහ. රජු මෙසේ ඇසීය.
“නුඹලා කුමක් ඇසුවේ ද? දුටුවේ ද?”
“මහරජතුමනි, පරිබ්‍රාජිකාව වළඳා මහලෙන් බසින්නී මහෞෂධයන් දැක, අත්ල බලමණ්ඩලය මෙන් සමකොට ‘රාජ්‍යය තමන්ගේ අතට ගන්නට නොහැක්කෙහිදැ’ යි අත දිග හැරියේ ය. මහෞෂධයෝ ද කඩුව ගන්නා ආකාරය පෙන්වමින් ‘දින කීපයක් ගිය තැන හිස සිඳ රාජ්‍යය තමන්ගේ අතට ගන්නෙමියි’ මිට මොළවා ගත්තේ ය. ඇය ‘හිසම සිඳිය යුතුය’ යි තමන්ගේ අත ඔසවා හිස පිරිමැද්දාය. මහෞෂධයෝ ‘ඔහුව ශරීරයේ මැදින් කපන්නෙමියි උදරය පිරිමැද්දේ’ ය. මහරජතුමනි, ප්‍රවේශම් වන්න. මහෞෂධයන් මරා දැමිය යුතුයි”
රජු ඒ කාන්තාවන්ගේ කථාව අසා මෙසේ සිතී ය. “පණ්ඩිතයන් විසින් මා කෙරෙහි ද්වේෂවීමක් සිදුවිය නොහැක. පරිබ්‍රාජිකාවගෙන් අසා බලන්නෙමි”
ඔහු පසුදා පරිබ්‍රාජිකාව වැළඳූ කල්හි එළඹ විචාළේ ය. “ආර්යාවෙනි! කීම, ඔබ විසින් මහෞෂධ පණ්ඩිතයන්ව දකින ලද්දේ ද?”
“එසේය මහරජතුමනි, ඊයේ මෙහි වළඳා යන්නා වූ මා විසින් දකින ලදී”
“කිසියම් කථාබහක් ඇතිවීද?”
“නැත. ඔහු වනාහි පණ්ඩිතයෙකැයි අසා ඉදින් පණ්ඩිතයෙක් නම් මෙය දැනගන්නේ ය යන සිතින් හස්ත මුද්‍රාවෙන් ඔහුගෙන් ප්‍රශ්නයක් අසන්නෙම් ‘පණ්ඩිතය, රජතුමා කෙසේ ද? දිගුකළ අත් ඇත්තේ ද? හකුළන ලද අත් ඇත්තේ ද? කිම සංග්‍රහ කරයි ද නැද් ද?’ කියා අත දිගු කළෙමි. පණ්ඩිතයෝ ‘රජු මගෙන් පොරොන්දුවක් ගෙන කැඳවා දැන් කිසිවක් නොදෙයි’ කියා මිටමොළවා ගත්තේ ය. ඉක්බිති මම, ‘ඉදින් වෙහෙසට, කරදරයට පත්වන්නේ නම් අප මෙන් පැවිදි වන්නයැ’ යි හිස පිරිමැද්දෙමි. හෙතෙම ‘මට පෝෂණය කළ යුතු බොහෝ දෙනෙක් සිටිති. බොහෝ උදරයන් පෝෂණය කළයුතුයි. ඒ නිසා පැවිදි නොවෙමි’. ඒ නිසා තමන්ගේ කුස පිරිමැද්දේ ය”
“ආර්යාවෙනි, මහෞෂධයෝ පණ්ඩිතයෙකි”
“එසේය මහරජ, මහ පොළවෙහි ඔහුට සමාන ප්‍රඥාවන්තයෙක් නැත”
රජු ඇගේ කථාව අසා ඇයට වැඳ පිටත්කර හැරියේ ය. ඇය ගිය කල්හි පණ්ඩිතයෝ පැමිණියහ. ඉක්බිති ඔහුගෙන් ඇසීය. “කෙසේද පණ්ඩිතය, භේරී පරිබ්‍රාජිකාව දුටුවෙහිද?”
“එසේ ය. මහරජතුමනි. ඊයේ මෙතනින් නික්ම යන්නීව දුටුවෙමි. හස්ත මුද්‍රාවෙන් ඇය මගෙන් ප්‍රශ්නයක් ඇසීය. මම ද ඇයට එසේම පිළිතුරු දුන්නෙමි” ඇය විසින් කියන ලද අයුරින්ම කීවේ ය.
රජු එදවස ම පැහැදී පණ්ඩිතයන්ට සේනාපති තනතුර දුන්නේ ය. සියළු කටයුතු ඔහුම පිළියෙල කළේ ය. ඔහුගේ කීර්තිය විශාල විය. රජුගේ යසස අනිකකි. ඔහු මෙසේ සිතීය.
“රජු විසින් එක්වරට ම මට ඉතා උසස් තනතුරක් දෙන ලදී. රජවරු වනාහි මරවනු කැමැත්තාහු ද මෙසේ කරත්. රජු මට හිතවත් ද නැද් ද කියා විමසයි යුතුයි. අන් කෙනෙක් දැනගන්නට අසමත් වෙයි. භේරි පරිබ්‍රාජිකාව ඤාණවන්ත ය. ඕ එක් උපායකින් දැනගන්නේ ය” යි සිතා බොහෝ ගඳමල් ආදිය ගෙන පරිබ්‍රාජිකාවගේ ආවාසයට ගොස් ඇයට පුදා වැඳ “උත්තමාවනි, ඔබ විසින් රජුට මගේ ගුණ කියූ දවසේ පටන් රජු මහත් උනන්දුවෙන් මට මහත් යසඉසුරු දෙයි. එය හොඳ හිතින් දීමක් ද, අහිතකින් දෙන දීමක්දැ’යි මම නොදනිමි. යම්කිසි උපායකින් මා පිළිබඳ රජුගේ අදහස දැනගන්නට හැකිනම් මැනවි”
ඇය යහපතැයි පිළිතුරු දී පසුදා රජ ගෙදරට යන ගමන් ම උදක රාක්ෂස නම් වූ ප්‍රශ්නය ගැන සිතී ය. ඇයට මෙසේ සිතුනි. ‘චරපුරුෂයෙක් මෙන් වී උපායකින් රජුගෙන් ප්‍රශ්නයක් අසා පණ්ඩිතයන්ට හිතවත්ද නැද්ද යන්න දැනගන්නෙමි’
ඇය ගොස් බත්කිස අවසන් කර හුන්නාය. රජු ද ඇයට වැඳ එකත්පසක සිටියේ ය. ඇයට මෙසේ සිතින. “ඉදින් රජු පණ්ඩිතයන් කෙරෙහි අහිතක් ඇත්තේ වන්නේ ද ප්‍රශ්නය ඇසුවිට ඒ අහිතවත් බව මහජනයා මැදදී ම කියන්නේ ය. එය සුදුසු නැත. එක් පැත්තකට වී රජුගෙන් අසන්නෙමි’ යි ඕ තොමෝ “මහරජතුමනි, හුදෙකලාව සිටින්නට කැමැත්තෙමි” යි කීය.
රජු මිනිසුන්ව ඉවත් කළේය. ඉක්බිති ඇය ඔහුට මෙසේ කීවා ය. “මහරජතුමනි, ඔබගෙන් ප්‍රශ්නයක් අසමි”
“උත්තමාවෙනි. අසන්න. දන්නේ නම් කියන්නෙමි”
ඉක්බිති ඇය උදක රාක්‍ෂස ප්‍රශ්නයේ මුල් ගාථාව රජුට කීවා ය.
“ඉදින් නුඹගේ මවත්, නන්දා දේවියත් , මන්ත්‍රී කුමාරයා ද ධනුශේඛර කුමාරයා ද, අග්‍ර පුරෝහිත කේවට්ටයා ද, මහෞෂධ හා ඔබත් යන මේ සත්දෙනා සත්දෙන මහත් වූ ගැඹුරු දියෙකැ ගමන් ගන්නා කලැ මිනිස් බිලි අපේක්ෂාවෙන් එක් දිය රකුසෙක් නැව අල්ලා ගන්නේ නම් අනුපිළිවෙලින් දිය රකුසාට කෙසේ කවුරුන් දී තමා මුදන්නෙහිද?”
එය අසා රජු තමාගේ නියම අදහස කියන්නේ මේ ගාථාව කීය.
“පළමුව වැදු මව් දෙන්නෙමි, දෙවනුව නන්දා දේවිය ද තුන්වෙනුව මලණුවන් ද ඉක්බිති යහළුවා ද දී පස්වෙනිව කේවට්ට බමුණා දෙන්නෙමි. සවැනිව තමාව දෙන්නෙමි. මහෞෂධ පණ්ඩිතයන් නොදෙන්නෙමි”
මෙතෙකින් මේ ප්‍රශ්නය නිමවිය. මහාසත්ත්වයන් පිළිබඳව රජුගේ ඇති සුහදතාවය පරිබ්‍රාජිකාව විසින් දැනගන්නා ලදී. මෙපමණකින් පමණක් පණ්ඩිතයන්ගේ ගුණය ප්‍රකට නොවෙයි. ඒ නිසා ඇයට මෙසේ සිතින. ‘මම මහජනයා මැද මොහුගේ ගුණ කියන්නෙමි. රජු ඔවුන්ගේ නුගුණ කියා පණ්ඩිතයන්ගේ ගුණ කියන්නේ ය. මෙසේ පණ්ඩිතයන්ගේ ගුණය අහසෙහි සඳ මෙන් ප්‍රකට වන්නේ ය’
ඕ තොමෝ සියළු අන්තඃපුර වාසීන් රැස්කරවා මුල පටන් නැවත රජුගෙන් එම ප්‍රශ්නයම විචාරා ඔහු විසින් එසේම කී කල්හි “මහරජ, නුඹ පළමුව මව ව දෙන්නෙමි’ යි කියන්නෙහි ය. මව වනාහි මහා ගුණැත්තියකි. ඔබගේ මව අන් මව්වරුන් හා සමාන නොවේ. ඇය ඔබට අතිශයින් උපකාරි වෙයි. මෙසේ ඇගේ ගුණ කියන්නී ගාථා දෙකක් කීවා ය.
“(තලතා දේවිය) තොපගේ මව තොපට පෝෂණය කළා ය. බොහෝකල් අනුකම්පා ඇත්තී ය. ජම්හී නම් බ්‍රාහ්මණයා තොප කෙරෙහි කිපුණු කල නුවණැති අර්ථදර්ශී මවුතොමෝ අන්‍යයකු ඉදිරිපත් කොට තොප වධයෙන් මිදුවා ය.
එසේ ප්‍රාණය දුන්, ළෙහි හොවා හැදූ දසමසක් කුස දැරූ මෑණියන් කිනම් දොසකින් දිය රකුසාට දෙන්නහුද?”
********************************************
චූළනී රජුගේ පියා මහා චූළ නම් වූයේ ය. ඔහුගේ පුරෝහිතයා ඡබ්බ නම් විය. චූළනී කුඩා කළ තලතා දේවිය පුරෝහිතයා සමග නොකටයුතුකම් කොට ඒ රජුව වස දී මරවා බ්‍රාහ්මණයාට සේසත ඔසවා ඔහුට අගමෙහෙසිය වීය. එක්දිනක් චූළනී කුමාරයා “මැණියනි! බඩගිනි” යැයි කී කල්හි පුත්‍රයාට පැණි සහිත කැවිලි වර්ගයක් දෙවී ය. ඉක්බිති එයට මැස්සෝ එක්රැස් වූහ. හෙතෙම මෙය මැස්සන් නැතිව අනුභව කරන්නෙමි’ යි ස්වල්පයක් ඉවත්කර බිම පැණිබිදු හෙළා තමන් සමීපයේ සිටි මැස්සන් ගසා දමා පන්නා දැමීය. ඒ මැස්සෝ ගොස් අනික් පැණිගොඩට රැස්වුහ. හෙතෙම මැස්සන් නැතිව කැවිල්ල අනුභව කොට අත් සෝදාගෙන මුව සෝදාගෙන යන්ට ගියේ ය.
බ්‍රාහ්මණයා ඔහුගේ ක්‍රියාව දැක මෙසේ සිතීය. ‘මේ තෙමේ දැන්ම මේ උපක්‍රමයෙන් මැස්සන් නැති රසකැවිල්ල අනුභව කරයි. වැඩිවියට පත්ව මට රජකම නොදෙයි. දැන්ම ඔහුව මරවන්නෙමි’.
හෙතෙම ඒ බව තලතා දේවියට පැවසී ය. “ස්වාමීනි, යහපති. මම ඔබ කෙරෙහි සෙනෙහසින් තමන්ගේ ස්වාමියාව ද මැරවූයෙමි. මොහුගෙන් මට කවර ප්‍රයෝජනයක් ද? මහජනයාට නොදැනෙන සේ රහසිගතව ඔහුව මරවන්නෙමි” යි බ්‍රාහ්මණයාව රවටා, උපායක් යෙදිය යුතුයැයි සිතූ ඇය අරක්කැමියා කැඳවා “හිතවත, මගේ පුතා චූළනි කුමාරයා ය. ඔබේ පුත්‍රයා ධනුශේඛර කුමාරයා ය. එක්දිනයේ ම උපන්නෝ ය. එකට ම කුමාර පෙරහරින් වැඩුනාහ. ප්‍රිය මිත්‍රයෝ ය. ජබ්බ බ්‍රාහ්මණයා මාගේ පුත්‍රයාව මරනු කැමැත්තේ ය. ඔබ ඔහුට ජීවිතදානය දෙන්න” යැයි කියා “දේවියනි. එසේය. කුමක් කරන්නෙම්දැ” යි ඇසූකල්හි “මාගේ පුත්‍රයා නිතරම ඔබගේ නිවසෙහි සිටීවා, ඔබ ද ඔහු ද දින කීපයක් සැක නැති වීම සඳහා ප්‍රධාන කුස්සියේ ම නිදාගන්න. එයින් සැක නැතිකොට ඔබ නිදන තැන එළු ඇට තබා මිනිසුන් නිදාගන්නා වේලාවෙහි ප්‍රධාන කුස්සියෙහි ගිනි දල්වා කිසිවකුටත් නොදන්වා ඔබගේත් මගේත් පුත්‍රයන් ගෙන ප්‍රධාන දොරටුවෙන් නික්ම රට ඇතුළට ගොස් මාගේ පුත්‍රයාගේ රාජපුත්‍රභාවය හෙළිදරව් නොකොට ජීවිතය රැකදෙන්න” යැයි කීවා ය.
හෙතෙම යහපතැයි පිළිගත්තේ ය. ඉක්බිති ඇය ඔහුට වටිනා මැණිකක් දුන්නා ය. හෙතෙම එසේ කොට කුමාරයා ගෙන මදුරටෙහි සාගල නගරයට ගොස් රජුට උපස්ථාන කළේ ය. රජු පැරණි අරක්කැමියා ඉවත්කර ඔහුට ඒ තනතුර දුන්නේ ය.
කුමාරවරු දෙදෙනා ද ඔහු සමගම රජගෙදරට යත්. “මේ කාගේ දරුවන්දැ” යි රජු ඇසීය. අරක්කැමියා “මාගේ දරුවන්” යැයි කීය.
“ඔවුනොවුන් වෙනස් නොවේද?”
“රජතුමනි, භාර්යාවන් දෙදෙනෙකුගේ දරුවන් ය”
ඔව්හු කල්ගතවන කල්හි විශ්වාසවන්ත වී මදුරට රජුගේ දියණිය සමග රජගෙදර ම ක්‍රීඩා කරත්. ඉක්බිති චූළනී කුමාරයා ද රජදියණිය ද නිතර දැකීමෙන් ඔවුනොවුන් බැඳුණු සිතැත්තෝ වූහ.
ක්‍රීඩාකරන ස්ථානයෙහි දී රජකුමරු රජදියණිය ලවා පන්දුව ගෙන්වා ගන්නේ ය. නොගෙනෙන විට හිසට පහරදෙයි. ඇය හඬයි. ඉක්බිති ඇයගේ හඬ අසා රජු, “කවරකු විසින් මගේ දියණියට පහරදෙන ලදදැයි” අසයි. කිරි මව්වරු අවුත් අසා බලත්. කුමාරිකාව, ‘ඉදින් මොහු මට පහරදුන්නේ යයි කිවහොත් පියා මොහුට දඬුවම් කරයි’ කියා සිතා ඔහු කෙරෙහි ඇති සෙනෙහස නිසා නොකියන්නී ය. ‘කවුරුවත් මට පහරදුන්නේ නැතැයි’ කියයි.
ඉක්බිති එක්දිනක් මෙසේ පහරදෙන සැටි රජු දුටුවේ ය. දැන ඔහුට මෙබඳු අදහසක් ඇති විය. “මේ කුමාරයා අරක්කැමියාට සමාන නොවේ. රූමත් ය. ප්‍රසාදජනකය. අතිශයින් නිර්භය ය. මේ මොහුගේ දරුවෙක් නොවිය යුතුයි”
රජු එතැන් පටන් සුපරික්‍ෂාකාරී විය.
කිරි මව්වරු ක්‍රීඩාකරන තැනට කැවිලි වර්ග ගෙනවුත් රජ දියණියට දෙත්. ඇය අනිත් දරුවන්ට ද දෙයි. ඔව්හු දණගසා නැමි ගනිත්. චූළනී කුමාරයා හිටගෙන ම අතින් නොසිඳ ගනී. රජු ඒ ක්‍රියාව ද දුටුවේ ය.
ඉක්බිති එක්දිනක චූළනී කුමාරයාගේ පන්දුව රජුගේ කුඩා සයනය යටට ගියේ ය. කුමාරයා එය ගන්නේ තමන්ගේ මහන්තත්වය නිසා හටගත් මාන්නයෙන්, ‘මේ ප්‍රත්‍යන්ත රජකුගේ සයනය යටට නොයන්නෙමි’ යි සිතා දණ්ඩකින් එය ගත්තේ ය. රජු ඒ ක්‍රියාව ද දැන ‘ස්ථිර වශයෙන් ම මොහු අරක්කැමියාගේ පුත්‍රයෙක් නොවෙයි’ සිතා ඔහු කැඳවා “මේ කාගේ දරුවෝදැ” යි විචාළේ ය.
“මගේ ය, දේවයන් වහන්ස” යි කීය.
“මම ඔබගේ පුත්‍රයාවත්, පුත්‍රයා නොවන අයවත් දනිමි. මට සත්‍යය ප්‍රකාශ කරව. ඉදින් නොකියන්නේ නම් තාගේ ජීවිතය නැති කරමි” යි කඩුව එසවී ය.
ඔහු මරණ බියෙන් බියපත් වූයේ “කියමි දේවයන් වහන්ස, රහස හෙළිකරන්නෙමි” යි කී කල්හි, රජු අවසර දුන් කල්හි අභය ඉල්වා ඇති තතු පැවසී ය. රජු ඇති තතු දැනගෙන තමන්ගේ දියණිය සරසා ඔහුට බිරිඳකොට පාවා දුන්නේ ය.
ඔවුන් පැනගිය කල්හි අරක්කැමියා ද, චූළනී කුමාරයා ද අරක්කැමියාගේ පුත්‍රයා ද ප්‍රධාන කුස්සිය ගිනි ගනිද්දී දැවී ගියාහයි මුළු නගරයෙහි ම පැතිරි ගියේ ය. තලතා දේවිය ඒ පුවත අසා බ්‍රාහ්මණයාට දැන්වූවා ය. “ස්වාමීනි, අපගේ බලාපොරොත්තුව සඵල විය. ඒ තුන්දෙනා ම කුස්සියේදී දැවුනාහ”
ඔහු අතිශයින් තුටු පහටු විය. තලතා දේවිය චූළනී කුමාරයාගේ ඇටකටු යැයි එළු ඇට ගෙන්වා බ්‍රාහ්මණයාට පෙන්වා ඇත්ත බව හැඟවිය.
********************************************
මේ කාරණය වෙනුවෙන් පරිබ්‍රාජිකාව, “කවර හෙයින් මෙතරම් උපකාරී වූ මව දිය රකුසාට දෙන්නේදැ” යි ඇසී ය.
ඒ අසා රජු “ආර්යාවෙනි, මම මවගේ බොහෝ ගුණ ද මට කළ උපකාර ද දනිමි. එයිනුත් මගේ ම ගුණ බොහෝයැ” යි මවගේ අගුණ කියමින් මෙසේ කීවේ ය.
“තරුණ කතක සේ නොපැළඳිය යුතු ආභරණ පළඳින්නී ය. දොරටුපල්ලන් හා සෙබළුන් සමග බොහෝ කොට මහහඬින් සිනාසෙන්නී ය. තවද අසල්වැසි රජුනට තොමෝ මැ දූතයන් යවන්නී ය. මම ඒ දෝෂය හේතුකොටගෙන දිය රකුසාට මව බිලිකොටැ දෙන්නෙමි”
ඇය මහළුව සිටත් තරුණියක් මෙන් පළඳියි. දියමන්ති පිරවූ රත්‍රන් මාලයක් පැළඳ, මම ඇමැතියන් සමග විශාල උඩු මහලේ සිටිනා කල්හි එහෙමෙහෙ ඇවිදියි. මේඛලාවේ හඬින් රජගෙදර එකනින්නාද වෙයි. දොරටු සේවකයෝ ද ඇත් ඇදුරෝ ද රජුගේ අංගාරක්‍ෂයෝ ද (මැගේ ඉඳුල්වත් කන්නට තරම් නුසුදුසු ඔවුන්) අමතා ඔවුන් සමග බොහෝ වේලා මහ හඬින් සිනාසෙයි. ‘මාගේ මව කම්සැප විඳින වයසේ සිටින්නී, අසවල් රජු පැමිණ ඇයව කැඳවාගෙන යන්න’ කියා විරුද්ධ රජවරුන්ට මගේ වචනයෙන් තමන් විසින් ලියුම් ලියා දූතයන් යවයි. ඔව්හු, ‘අපි රජුගේ සේවකයෝ ය. කුමක් නිසා අපට මෙසේ කියත්ද?’ කියා පිළිතුරු ලිපි එවත්. ඔවුන් ඒ ලිපි පිරිස් මැද කියනකල්හි මගේ හිස සිඳින්නාක් මෙන් වෙයි. මහත් ම ලජ්ජාවක් ඇති වෙයි.ඒ නිසා ඇයව ජල රකුසාට දෙමි”
“මහරජ, ඔබ මේ දෝෂයෙන්ම මවව දෙන්නෙහි ය. ඔබගේ භාර්යාව වනාහි ගුණවත්ය” යි පරිබ්‍රාජිකාව ඇගේ ගුණ කියත්,
“ස්ත්‍රී සමූහයාට නායක වූ අතිශයින් ප්‍රියවාදී වූ ළදරුකල පටන් අනුව ගියා වූ සිල්වත් වූ සෙවනැල්ල සේ අත් නොහැර පවත්නා වූ ක්‍රෝධ නොකරන සුලු නුවණැති පණ්ඩිත වූ අර්ථදර්ශී වූ උබ්බරිය (නන්දා) දේවිය කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නේද” කියා කීය.
හෙතෙම ඇගේ දොස් කියන්නේ, “කාම සම්භෝගයෙහි ඇලුනු, කෙලෙස් වසඟයට පත් මගෙන් ඕ තොමෝ මගේ දරුවන්ට අයත්, නොඉල්විය යුතු ධනය ඉල්ලන්නී ය. යමක් මා විසින් තමන්ගේ පුතුන්ට ද දූවරුන්ට ද භාර්යාවන්ට ද දෙන ලද ද පැළඳවූයේ ද ඒ නොඉල්විය යුතු දේ ‘මට දෙන්න’ යැයි ඉල්වන්නී ය. ඒ මම අතිශයින් ඇලුනෙම් බොහෝ කුදුමහත් ධනය ඇයට දෙන්නෙමි. නොදිය යුතු දේ දී පසුව දොම්නසින් ශෝක කරමි. ඒ දෝෂය නිසා උබ්බරියව දියරකුසාට දෙන්නෙමි” යැයි කීය.
ඉක්බිති ඔහුට පරිබ්‍රාජිකාව මෙසේ කීය. “ඉදින් ඔබ මේ දෝෂයෙන් ඇයව දෙන්නෙහි නම් ඔබගේ කණිටු සොයුරු ‘තීක්‍ෂණ මන්ත්‍රී කුමාරයා’ ඔබට බොහෝ උපකාරි ය. කුමන දෝෂයකින් ඔහුව දෙන්නෙහි ද?
යමකු විසින් තොපගේ ජනපද වැසියෝ වඩනා ලද්දෝ ද බැහැර සිටි තෙපි රජයට පමුණුවන ලද්දාහු ද බැහැරි රාජ්‍යයන්ගෙන් බොහෝ ධනය හැරගෙන දෙන ලද්දේ ද, ධනුර්ධරයන්ට අග්‍ර වූ ශූර වූ තීක්‍ෂණ මන්ත්‍රී නම් වූ ඒ සහෝදරයා කවර දොසක් නිසා දියරකුසාට දෙන්නෙහිද? “
(ඔහු වනාහි මව, බමුණා සමඟ වාසය කරන කල්හි මහා චූළනී රජුට දාව උපන්නේ ය. ඉක්බිති වැඩිවයසට පත් ඔහුට බමුණා කඩුව අතට දී ‘මෙය ගෙන මා හට සේවය කරව’යැයි කීය. හෙතෙම ‘බ්‍රාහ්මණයා තමාගේ පියාය’ යන හැඟීමෙන් ඔහුට සේවය කරයි.
ඉක්බිති ඔහුට එක් ඇමැතියෙක් “කුමාරය, ඔබ මොහුගේ පුත්‍රයෙක් නොවේ. ඔබ කුසෙහි සිටින කාලයේ තලතා දේවිය රජු මරවා මොහුට ඡත්‍රය එසවූවාය. ඔබ මහා චූළනී රජුගේ පුත්‍රයෙකැ” යි කීය. හෙතෙම කිපී ‘ඔහුව එක් උපායකින් මරවන්නෙමි’ යි රජගෙදරට පිවිසෙමින් ඒ කඩුව එක් සේවකයකුට දි තව කෙනෙකුට මෙසේ කීය. “නුඹ රජ ගෙදර දොරටුව ලඟදී ‘මේ මගේ කඩුව’යැයි ඔහු සමග විවාදයක් ඇතිකරගන්නැ” යි කියා ගියේ ය. ඔහු කෝලාහල කළහ. හෙතෙම, ‘මේ කුමක කෝලාහලයක්දැ’ යි දැනගන්නට එක් පුරුෂයෙකු යැවී ය. ඔහු අවුත් කඩුවක් සඳහා යැයි කීය. බ්‍රාහ්මණයා එය අසා මේ කුමක්දැයි විචාළේ ය.
“ඔබ විසින් මට දුන් කඩුව වෙන කෙනෙකුට අයන්ය’ යි කියයි”
“දරුවෙනි. කුමක් කියන්නහුද? එසේනම් ගෙත්වා ගනිමි. එය ගෙනෙන්න” යැයි ඔහුට කීය.
හෙතෙම එය ගෙන්වාගෙන කොපුවෙන් පිටතට ගෙන “බලව්” යැයි දන්වන්නාක් මෙන් ලඟට ගොස් එකපහරින් ම ඔහුගේ හිස සිඳ තමාගේ පාමුල හෙලුවේ ය.
ඉක්බිති රජ ගෙදර පිරිසිදු කොට නගරය සරසා ඔහුගේ අභිෂේකය සුදානම් කළ කල්හි මව, චූළනී කුමාරයා මදුරටේ සිටින බව කීවා ය. එය අසා රාජකුමාරයා සේනාව පිරිවරාගෙන එහි ගොස් සොහොයුරාව ගෙනවුත් රාජ්‍යය පිළිගැන්වී ය. එතැන් පටන් ඔහුව ‘තීක්‍ෂණ බුද්ධි ඇති’ යැයි හැඳින්වූහ)
පරිබ්‍රාජිකාව, මෙබඳු වූ සහෝදරයකු කවර දෝෂයකින් ජල රකුසාට දෙන්නෙහි දැයි ඔහුගෙන් ඇසී ය.
රජු ඔහුගේ දොස් කියමින් “මොහු, ‘මා විසින් ජනපද වැසියෝ වඩන ලද්දෝ ය. මොහුව රජගෙට ගෙනෙන ලදී. බොහෝ වූ ධනය පිටරටවලින් ගෙනෙන ලද්දේ ය. මම ධනුර්ධරයන්ට උතුම් ය. ශූරයෙමි. තියුණු නුවණ ඇත්තෙමි. මා විසින් මේ රජ සුඛිත කරන ලද්දේයැ’ යි ඒ තරුණ තෙම මා ඉක්මවා සිතයි. ආර්යාවනි, හෙතෙම පෙරසේ මට උපස්ථානයට ද නොඑයි. කලින් උදෑසන ම එයි. දැන් වනාහි එසේ නොඑයි. ඒ දෝෂය හේතුකොටගෙන සහෝදරයා දිය රකුසාට දෙන්නෙමි” යි කීය.
පරිබ්‍රාජිකාව “සොයුරාගේ ද්වේෂය තිබුනාවේ. ධනුශේඛර කුමාරයා වනාහි ඔබ කෙරෙහි සෙනෙහෙ ගුණයෙන් යුක්ත වූයේ බොහෝ උපකාර ඇත්තෙකැයි” ඔහුගේ ගුණ කියන්නී,
“තෙපි ද මේ ධනුශේඛර කුමාරයා ද යන දෙදෙනාම එකමැ රැයෙක මේ නගරයෙහි ම උපත් පංචාලයෝ ය. සම වයස්හි යහලුවෝ වූහ. හේ ජනපද චාරිකාවේ පසුගමන් කළේ ය. තොප හා සමාන සුවදුක් ඇත්තේ ය. දිවා රාත්‍රී උත්සාහවත්වැ සියලු කටයුත්තෙහි නිරත ය. කවර දෝෂයකින් යහළුවා දියරකුසාට දෙන්නෙහිද?”
ඉක්බිති රජු ඔහුගේ දොස් කියමින්,
“ආර්යාවෙනි, මේ තෙම පෙර මා පසුපස එන්නේ අසරණ වූ මා සමග එකට අනුභව කරන්නේ අත් පහරවා මහත් සේ සිනා විය. අද ද එසේම සිනාසෙයි. අයහපත් කාලයේ දී මෙන් මා දෙස බලයි. රහසිගතව නන්දා දේවිය සමග කථාකරමින් සිටින විට මට නො දන්වා වහා පිවිසෙයි. මේ වරදින් ලජ්ජා නැති ආදරයක් නැති ඔහුව දිය රකුසාට දෙන්නෙමි.”
පරිබ්‍රාජිකාව “හුදෙක් මොහුට දෝෂය වේවා, පුරෝහිතයා වනාහි ඔබට බොහෝ උපකාරී කෙනෙකි” යි ඔහුගේ ගුණ කියමින්,
“සියලු නිමිත්තෙහි දක්‍ෂ වූ සතුන්ගේ හඬ දන්නා වූ උගත් ආගම ඇති චන්ද්‍ර සූර්ය ග්‍රහණ උල්කාපාත, දික්දාහ ආදී වූ උත්පාතයන් හා සිහිනයන්හි ඉටු අනිටු ඵල දැනීමෙහි යෙදුනු, ගෙයින් පිටවීමෙහි හා ගෙට ඇතුල්වීමෙහි ශුභ අශුභ තීමෙහි දක්‍ෂ වූ, භූමියෙහි හා අන්තරීක්‍ෂයෙහි ද ගුණදොස් කීමට සමර්ථ වූ නක්‍ෂත්‍ර පාදයෙහි ඵලාඵල දැන්මෙහි දක්‍ෂ වූ පුරෝහිත බමුණා කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නෙහි ද? යැයි කීය.
රජු දොස් කියන්නේ,
“ආර්‍යාවෙනි, මොහු මා පිරිස් මැද දී බලන්නේ නමුදු ඇස් හකුළුවා කිපියාක් මෙන් බලයි. ඒ නිසා මෙසේ ඉක්මවා සිටිය බැම, කෝපයෙන් හකුලන ලද බැමි මෙන් නපුරුය. භයානකය. මම ඔහුව දියරකුසාට දෙමි”
ඉක්බිති පරිබ්‍රාජිකාව “මහරජ, ඔබ මට ආදිකොට මේ පස් දෙනාව දියරකුසාට දෙමියි කියයි. මේ ආකාර වූ ශ්‍රී සම්පත්තියක් ගණන් නොගෙන තමන්ගේ ජීවිතය මහෞෂධ පණ්ඩිතයන්ට දෙමියි කියන්නෙහි. ඔහුගේ කවර ගුණයක් දකින්නෙහිදැ” යි විචාරන්නී මේ ගාථාවන් පැවසී ය.
“ඇමැතියන් විසින් පිරිවරන ලද තෙපි සමුදුර සිසාරා ඇති පොළවට මහා සාගරය නමැති කුණ්ඩලාභරණ වූ සකලවිධ සම්පත්තීන් දරණ පෘථිවියෙහි වාසය කරන්නාහුය. සතර මහා සාගරය හිමිකොට ඇති විශාල රටක් ඇත්තහුය. දිනූ සංග්‍රාම ඇත්තහුය. මහා බල ඇත්තහුය. මුළු ලොවට අසහාය රජ වව. ඔබගේ කීර්තිය මහත් බවට පත්විය. පැළඳි මිණිකොඩොල් ඇති දිව්‍ය කන්‍යාවන් හා සමාන විවිධ ජනපදවලට අයත් යහපත් ස්ත්‍රීහු සොළොස් දහසක් වෙති.
මහරජ, මෙසේ සුඛිතයන්ගේ සර්වාංග සම්පූර්ණ වූ සකලවිධ කාමයන්ගෙන් සමෘද්ධියට පත් ජීවිතය දීර්ඝ වූයේ ද ප්‍රියයැයි පණ්ඩිතයෝ කියත්. එසේ ඇතිකලැ ඔබ කිනම් කරුණක් නිසා කුමක් හේතුකරගෙන පණ්ඩිතයන් රකිමින් හළ නොහැකි ජීවිතය හැරැ පියන්නහුද?”
හෙතෙම ඇගේ කථාව අසා පණ්ඩිතයන්ගේ ගුණ කියන්නේ මේ ගාථාවන් කීය.
“ආර්යාවෙනි. මහෞෂධ පණ්ඩිතයෝ යම් දවසක මා වෙත පැමිණියේ ද, එතැන් පටන් ඒ නුවණැත්තාගේ කුඩා වූ වරදකුදු නොදනිමි. ඉදින් කිසිකලෙක මාගේ මරණය ප්‍රථමයෙන් සිද්ධවේ ද මහෞෂධ පණ්ඩිත තෙමේ මාගේ දරුමුණුබුරන් සුවපත් කරන්නේ ය. වර්තමාන, අනාගත සකල අර්ථයන් හොඳින් දකී. නිරපරාධි ක්‍රියා ඇති තැනැත්තා දිය රකුසාට නොදෙමි. ආර්යාවෙනි! මෙසේ අසහාය වූ පණ්ඩිතයන්ව මම දියරකුසාට නොදෙමි” යි මහාසත්ත්වයන්ගේ ගුණ සඳමඬලෙහි වද්දන්නාක් මෙන් උස්කොට කථා කළේ ය.
ඉක්බිති පරිබ්‍රාජිකාව මෙසේ සිතුවා ය. ‘මෙපමණකින් ම පණ්ඩිතයන්ගේ ගුණ ප්‍රකට නොවේ. සියළු නුවරවැසියන් මැද, සාගර ජලය මතුපිට සුවඳ තෙල් විසුරුවන්නාක් මෙන් ප්‍රකට කරන්නෙමි’ යි රජුව ගෙන ප්‍රාසාදයෙන් බැස රජමාලිගා මිදුලේ ආසනයක් පනවා එහි හිඳ නුවර වැසියන් රැස්කරවා නැවත රජුගෙන් මුලපටන් දියරකුසාගේ ප්‍රශ්නය විචාරා ඔහු විසින් යට කියන ලද ආකාරයෙන්ම කියන ලද කාලයේ නුවර වැසියන් අමතා,
“පංචාල රටවැසියනි, චූළනී රජුගේ මේ වචන අසත්වා! මහෞෂධ පණ්ඩිතයන් රකිමින් හළ නොහැකිතර ජීවිතය අත්හරියි. පංචාල රජු මවගේ ද බිරිඳගේ ද සොහොයුරාගේ ද යහළුවාගේ ද පුරෝහිත බ්‍රාහ්මණයාගේ ද තමාගේ ද යන සය දෙනාගේ ජීවිතයන් පණ්ඩිතයන් සඳහා අත්හරියි. සූක්‍ෂම වූ ප්‍රඥා තොමෝ මෙසේ මහත් අර්ථ ඇත්තී ය. යහපත් චින්තා ඇත්තී ය. මෙලොව හිත පිණිස ද පරලොව සුව පිණිස ද පවත්තී ය”
මෙසේ රුවන්ගෙයක් මාණික්‍ය සමූහයකින් කුළුගන්වන්නාක් මෙන් මහාසත්ත්වයන්ගේ ගුණයන් මහත් සේ අතිශයින්ම මහත් සේ ප්‍රකට කරවමින් භේරී පරිබ්‍රාජිකා තොමෝ රජු ලවා ගුණ කථාව කරවී ය.
“උප්පලවණ්ණා තොමෝ එකලැ භේරි පරිබ්‍රාජිකාව වූවා ය. සුද්ධෝදන රජ පියා විය. මායා බිසව මව ද බිම්බා දේවී අමරා දේවී ද වූවා ය. ආනන්ද තෙරණුවෝ ගිරා පෝතකයාණෝ වූහ. ශාරිපුත්‍ර ස්ථවිර චූළනී බ්‍රහ්මදත්ත රජ විය. මහෞෂධ පණ්ඩිත තෙම මම් ම වූවේයැ” යි වදාරමින් අපගේ ශාස්තෘන් වහන්සේ මේ මහා උම්මග්ග ජාතක දේශනය නිමා කොට වදාළ සේක.
*****************************
පසු කාලීන ග්‍රන්ථයන්හි මෙසේ ද සඳහන්ව ඇත.
කෙවට්ටො දෙවදත්තෙසි තලතා චුල්ල නන්‍දිකා පඤවාලචණ්ඩි සුන්දරි දෙවී වාසි යසස්සිකා
අම්බට්ඨො ආසි කාවින්දො පොට්ඨපාදොව පුක්කුසො
පිළොතිකොච දෙවින්‍ද්‍ර සෙනකොවාපි සච්චකො දෙවිදුන්‍දිරා දිට්ඨමංගලිකා සාළිකාචාපි කුණ්ඩලී වෙදෙහො ලාළුදායී
එනම්, කේවට්ට වූයේ දෙව්දත් ය. තලතා දේවී චුල්ල නන්දිකා ය. පංචාල චණ්ඩී කුමරිය සුන්දරි දේවියයි. කාවින්ද වූයේ අම්බට්ඨයා ය. පුක්කුස වූයේ පොට්ඨපාද ය, දේවින්ද පිළොතික ය. සච්චක සේනක විය. උදුම්බරා දේවිය දිට්ඨමංගලිකාවයි. සාළිකාව වූයේ කුණ්ඩලීය. වේදේහ රජුනම් ලාළුදායී ය.