ඛුද්දක නිකාය | විමානවත්ථු

දෙවෙනි සුණිසා විමානය

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගෙයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

 ඒ අතීත ජීවිතයේදී මං මනුස්ස ලෝකයේ මනුස්ස දුවක් වෙලා මාමණ්ඩියගේ ගෙදර ලේලිය හැටියටයි හිටියේ. ඉතින් මට ස්වාමීන් වහන්සේ නමක් දැකගන්න ලැබුනා. උන්වහන්සේ කැළඹිලා නෑ. අතිශයින්ම ප්‍රසන්නයි. කෙලෙසුන්ගෙන් තොරයි. මං උන්වහන්සේ ගැන ගොඩාක් පැහැදුනා. මගේ අතින්ම පැණි පිට්ටුවක් පූජා කරගත්තා.

මං මේ නන්දන වනයෙහි සතුටු වෙවී ඉන්නෙ පැණිපිට්ටුවෙන් භාගයක් පූජා කරලයි. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.