ඛුද්දක නිකාය | විමානවත්ථු

භද්දිත්ථි විමානය

“පින්බර නුවණැති දේවදුව, නිල්පාට, කහපාට, කළුපාට, තැඹිලිපාට, රතුපාට ආදී නොයෙක් නොයෙක් පාටවලින් යුතු මල් රේණුවලින් ලස්සනට පිරිලා තියෙනවා.ඉතින් ඒ මල් රේණු පිරුණු මදාරා මල් මාලාවක් ඔබ හිසේ පැළඳගෙනයි ඉන්නේ. වෙනත් දිව්‍යලෝකවල මෙතරම් ලස්සන සොඳුරු වෘක්ෂයන් දකින්න ලැබෙන්නේ නෑ. යසස් ඇති දෙව්දුව, මොන වගේ පිනකින්ද, ඔබ මේ තව්තිසාවේ උපන්නේ. ඒ කරුණ අසන අපට මොන වගේ පුණ්‍යවිපාකයක්ද කියල පහදල දෙන්න.”

“මගේ නම භද්දිත්ථි. මං කිම්බිලා නගරයේ හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුනා. මම සිල් රැක්කා. හැම තිස්සේම දන් දෙන්නමයි කැමති වුනේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ හිතේ තිබුනේ බලවත් පැහැදීමක්. ඉතින් මම වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාරපාන, සේනාසන, තෙල්පහන් පූජා කරගත්තා.

චාතුද්දසී දවසට, පුන්පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන්වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසථ සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුනා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුනේ.

සතුන් මැරීමෙන් වැළකුනා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි.

චතුරාර්ය සත්‍යය ධර්මය තේරුම්ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුනා. ඒ නිසාමයි පැතුරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුනේ.

තපස්වීන් වහන්සේලා යුගල වන දෑගසව්වන් වහන්සේලා පරම හිතානුකම්පාවෙන් යුක්තයි. මහා මුනිවරු නෙව. ඉතින් මං පිඬුසිඟා වඩින මේ උත්තමයන් වහන්සේලාට සාදරයෙන් දන් පැන් පූජා කරගත්තා. මං යහපත කරගත්තා. පින් කරගත්තා.

මිනිස් ලොවින් චුතවෙලා නන්දන උයනෙහි හැසිරෙන මගේ සිරුරෙන් රශ්මිය විහිදෙනවා.

අප්‍රමාණ සැප ලබාදෙන අෂ්ටාංගික උපෝසථ සීලය මං නිතර නිතර සමාදන් වුණා. මං යහපතත් කරගත්තා. පින් කරගත්තා. මිනිස් ලොවින් චුතවෙලා නන්දන උයනෙහි හැසිරෙන මගේ සිරුරෙන් රශ්මිය විහිදෙනවා.”