ඛුද්දක නිකාය | විමානවත්ථු

විසාලක්ඛී විමානය

“පින්වත් දෙව්දුව, මේ පරසතු රුක හරි මනස්කාන්තයි. සුරම්‍යයයි. ඒ කොබෝලීල මලින් ඔබ දිව්‍ය මල් මාලා ගොතමින් ගී ගයමින් සතුටු වෙනවා නේද? ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් ඉතා කන්කළු වූ මනරම් වූ දිව්‍ය නාදයන් නිකුත් වෙනවා. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් ඉතා මනරම් වූ දිව්‍ය සුගන්ධයන් නිකුත් වෙනවා. නටන ඔබේ සිරුර ලෙලදෙන විට ඔය කේශකලාපයෙහි ඇති සුන්දර පළඳනාවලිනුත් මිහිරි නාදය ඇහෙන්නෙ පංචාංගික තූර්යය නාදයක් වගේ.

ඔබේ හිසේ මුදුන් මල් කළඹක් තියෙනවා. මද සුළඟින් ඒ මුදුන් මල් කළඹ සැළෙද්දි එයිනුත් මිහිරි නාදය ඇහෙන්නෙ පංචාංගික තූර්යය නාදයක් වගේ. ඔබේ හිසෙහි පැළඳගෙන ඉන්න මල්දම හරිම ලස්සනයි. හරිම සුවඳයි. ඒ සුවඳ පැතිරිලා යන්නෙ පිපී සුවඳ හමන මඤ්ජූස්සක වෘක්ෂයක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනවා නේද? මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනවා නේද? පින්වත් දෙව්දුව, අපි අහන්නෙ මේක යි. ඔබට මේ වගේ සම්පත් ලැබුනේ මොන වගේ කර්මයක විපාකයක් හැටියටද?”

“ඒ අසෝක මල් මාලාව හරිම ප්‍රභාස්වරයි. කාන්තිමත්. පැහැයයි සුවඳයි දෙකම එක වගේ. මං ඒ මාලා දාමය බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද කුසල කර්ම තමයි මං කරගත්තේ. ඒ නිසාමයි සෝකයක් නැති ලෙඩ දුක් නැති මේ දිව්‍ය සැප ලබාගෙන මං සතුටු වෙන්නෙ.