ඛුද්දක නිකාය | විමානවත්ථු

පභස්සර විමානය

“සුන්දර දෙව්දුව, ඔබ ප්‍රභාස්වරයි. උතුම් වර්ණයෙන් බබලනවා. තද රතු පාටින් දිළෙන දිවසළු පොරොවාගෙන ඉන්නවා. මහා ඉර්ධිමත්. සඳුන් තැවරුවාක් වැනි සිරුරක් තියෙනවා. මා හට වන්දනා කරන ඔබ කවුද? ඔබේ ඔය ආසනයත් හරි වටිනා එකක්. නානා මැණික් වර්ගවලින් පුදුම විදිහට අලංකාර වෙලා තියෙනවා. ඔබ ඔය ආසනයෙහි වාඩිවෙලා ඉන්න කොට බබලන්නෙ නන්දන වනයෙහි සිටින සක්දෙවිඳු වගේ. සුන්දරී, ඔබ මොන වගේ සුචරිතවත් ජීවිතයක්ද ගත කළේ. මේ දෙව් ලොවදී ඔය අනුභව කරන්නේ මොන වගේ පුණ්‍ය කර්මයක විපාකයක්ද? පින්වත් දෙව්දුව, අපි අහන්නෙ මේකයි. මෙවැනි පුණ්‍ය ඵලයක් ලබන්ට මොන වගේ පුණ්‍ය කර්මයක්ද කළේ?”

“ස්වාමීනි, එදා ඔබවහන්සේ පිණ්ඩපාතෙ වැඩම කළා. එතකොට මං දෑසමන් මල් මාලාවකුත් උක් හකුරු පැනිත්තකුත් ඔබ වහන්සේට පූජා කළා. ඒ කර්මයේ විපාක වශයෙන් තමයි දිව්‍ය ලෝකයේ මේ සැප විඳින්නේ.

නමුත් ස්වාමීනි, මට ලොකු පසුතැවිල්ලක් තියෙනවා. මට වැරදුනා. මගේ අතින් කෙරුනේ වැරැද්දක්. ධර්මරාජයන් වහන්සේ විසින් මැනවින් වදාරණ ලද ඒ ශ්‍රී සද්ධර්මයට මං සවන් දුන්නෙ නෑ.

ස්වාමීනි, ඔබවහන්සේට මං මේ කියන්නෙ. යම් කෙනෙකුට මං ගැන අනුකම්පාවක් තියෙනවා නම් අනේ ඒ කවුරු හරි කෙනෙක් ධර්මය රාජයන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද ඒ ශ්‍රී සද්ධර්මය තුළ මාව සමාදන් කරවන්න. ඇතැම් දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ ගැනත්, ධර්මය ගැනත්, ආර්ය සංඝරත්නය ගැනත් ශ්‍රද්ධාවක් තියෙනවා. අන්න ඒ දෙවිවරුන් ආයුෂයෙන් යසසින් සිරියාවෙන් මාව ඉක්මවා ලස්සනට බබලනවා. අනිත් මහා ඉර්ධිමත් දෙවිවරු වර්ණයෙන් හරි ප්‍රතාපවත්. උත්තරීතරයි. මට වඩා සැප තියෙනවා. “