ඛුද්දක නිකාය | විමානවත්ථු

කඤ්ජිකදායිකා විමානය

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව් දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින් ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං අන්ධකවින්ද රටේදි තමයි ආදිච්චබන්ධු වූ බුදුරජාණන් වහන්සේට කැඳක් පූජා කරගත්තේ. ඒක හොඳ හැටියට තෙම්පරාදු කරපු බෙහෙත් කොළ කැඳක්. ඒකට මං තිප්පිලි දැම්මා. සුදු ළුෑණු දැම්මා. සැවැන්දරා දැම්මා. සෘජු සිත් ඇති බුදුරජාණන් වහන්සේ ගැන චිත්තප්ප්‍රසාදයෙන්මයි මං ඒ බෙහෙත් කැඳ පූජා කරගත්තේ.

සියලු අඟපසඟින් සුන්දර වූ ස්ත්‍රියක් ඉන්නවා. තමන්ගේ ස්වාමියාට ඇගේ දැක්මත් අලාමකයි. ඇය සක්විති රජුගේ අගමෙහෙසිය බවට පත්වෙනවා. ඒ වුනාට ඒ සම්පත් මේ බෙහෙත් කැඳ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නෙ නෑ. ලක්ෂයක් රන්කහවණු, ලක්ෂයක් අශ්වයන්, අශ්වෙළඹුන් යොදවපු ලක්ෂයක් අශ්වරථ, සුන්දර මිනිකොඩොල් ආභරණවලින් සැරසුණු ලක්ෂයක් කණ්‍යාවන් කියන මේ කිසිදෙයක් බෙහෙත් කැඳ දාන විපාකයෙන් සොලොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නෙ නෑ.

හේමවත කියන වටිනා ඇත්තු ජාතියක් ඉන්නවා. ඒ ඇතුන්ට උතුම් රථරෝදයේ හැඩයට කරකැවී ගිය ඇත් දළ තියෙනවා. රනින් කරපු ආභරණවලින් ඒ ඇතුන්ගෙ බෙල්ල සරසලා තියෙනවා. එබඳු සෝභමාන වූ ඇතුන් සියයක් ලැබුනත් බෙහෙත් කැඳ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නෙ නෑ. මේ ලෝකයෙහි කවුරු හරි කෙනෙක් සිව්මහ දිවයිනට අධිපති වෙලා සක්විති රජපදවියට පත්වෙනවා නම් බෙහෙත් කැඳ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නෙ නෑ.”