ඛුද්දක නිකාය | විමානවත්ථු

අම්බ විමානය

“පින්වත් දෙව්දුව, ඔබේ දිව්‍යමය අඹ වනය හරිම රමණීයයි. මෙහි විමානයත් හරි විශාලයි නෙව. විවිධාකාර තූර්ය වාදන හඬ ඇහෙනවා. අප්සරාවන්ගේ කතා බහ ඇහෙනවා. මෙහි රනින් හැදුනු මහා පහනක් තියෙනවා. ඒක නිතරම දැල්වෙනවා. වටේට තියෙන ගස්වල තිබෙන්නේ දිව්‍ය සළුපිළිවලින් හැදුනු පලතුරු. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං ඉස්සර මනුස්ස ලෝකෙදි මිනිස් දුවක් වෙලා හිටියේ. මං ආර්ය සංඝරත්නයට විහාරයක් කරවලා පූජා කළා. ඒ භූමිය අඹ ගස්වලින් පිරිල තිබුනා. ඒ විහාරයේ වැඩ අවසන් වුනාම විහාර පූජාව සිදුකරන කොට මං ලස්සන රෙදිවලින් පලතුරු ගෙඩි හදවලා ඒ අඹ රුක් සැරසුවා. මං එහි පහනක් දැල්වූවා. උතුම් සංඝයා වහන්සේට දන් වැළඳෙව්වා. මං ඒ විහාරය මේ දෑතින් ම ආර්ය සංඝයාට පූජා කළේ පහන් සිතින්මයි. ඒ නිසයි මේ රමණීය දිව්‍යමය අඹ වනය මට ලැබුනේ. මෙහි විමානයත් හරි විශාලයි තමයි. විවිධාකාර තූර්ය වාදන හඬ ඇහෙනවා තමයි. අප්සරාවන්ගේ කතාබහ ඇහෙනවා තමයි.

මෙහි රනින් හැදුනු මහා පහනකුත් තියෙනවා. ඒක නිතරම දැල්වෙනවා. වටේට තියෙන ගස්වල දිව්‍ය සළුපිළිවලින් හැදුනු පලතුරුත් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. “