ඛුද්දක නිකාය | විමානවත්ථු

චන්දන විමානය

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් ඉතා කණ්කළු වූ මනරම් වූ දිව්‍ය නාදයන් නිකුත් වෙනවා. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් මනරම් වූ දිව්‍ය සුගන්ධයන් නිකුත් වෙනවා. නටන ඔබේ සිරුර ලෙලදෙන විට ඔය කේශකලාපයෙහි ඇති සුන්දර පළඳනාවලිනුත් මිහිරි නාදය ඇහෙන්නෙ පංචාංගික තූර්යය නාදයක් වගේ.

ඔබේ හිසේ මුදුන් මල් කළඹක් තියෙනවා. මද සුළඟින් ඒ මුදුන් මල් කළඹ සැළෙද්දි එයිනුත් මිහිරි නාදය ඇහන්නෙ පංචාංගික තූර්යය නාදයක් වගේ. ඔබේ හිසෙහි පැළඳගෙන ඉන්න මල් දම හරිම ලස්සනයි. හරිම සුවඳයි. ඒ සුවඳ පැතිරිලා යන්නෙ පිපී සුවඳ හමන මඤ්ජුස්සක වෘක්ෂයක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනවා නේද? මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනවා නේද? පින්වත් දෙව්දුව, අපි අහන්නෙ මේකයි. ඔබට මේ වගේ සම්පත් ලැබුනේ මොන වගේ කර්මයක විපාකයක් හැටියටද?”

“මං ඉස්සර හිටියේ ගයාවේ. බ්‍රාහ්මණයෙකුගේ නිවසේ දාසියක් වෙලා සිටියා. මට පින් තිබුනෙ නෑ. මං අවාසනාවන්තියක්. මට කවුරුත් කිව්වේ රජ්ජුමාලා කියලා. මට හරියට ආක්‍රෝශ ලැබුනා. වදවේදනා ලැබුනා. තර්ජන ලැබුනා. මට මේ ජීවිතය එපා වුනා. මං කලය අතට ගත්තා. වතුර ගේන්ට යන එකියක් වගේ මං ගෙදරින් නික්මිලා ගියා. යන පාරෙන් ඈතට වෙන්ට කලය තිබ්බා. වන ලැහැබ ඇතුළට ගියා. මම මෙහෙදිම මැරෙනවා. මේ විදියට මගේ ජීවිතෙන් ඇති ඵලේ මොකක්ද? තොණ්ඩුව හිරවෙන්ට ගැට ගැහුවා. ගහක එල්ලුවා. මේ වනයේ පෙනෙන්ට කවුරුත් ඉන්නවා දැයි කියල මම වටපිට බැලුවා.

මං එතකොට දැක්කා. මුළු ලෝකයටම හිතවත් වූ මුනීන්ද්‍රයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ රුක් සෙවණක භාවනා කරනවා. උන්වහන්සේට නම් කොහෙන්වත් භයක් නෑ. ඒ මට හරිම සංවේගයක් හටගත්තා. මටම පුදුමයි. මගේ ඇගේ මවිල් කෙලින් වුනා. වනාන්තරයේ ඉන්න මේ උත්තමයා කවුද? මිනිහෙක් ද? නැතිනම් දෙවියෙක්ද? දුටු දුටුවන් පහදිනවා. ප්‍රාසාදනීයයයි. කෙලෙස් වනයෙන් එළියට ඇවිදින් නිවනට පත් වුනා. උන්වහන්සේව දැක්කට පස්සෙ මගේ හිත පැහැදුනා. මේ උත්තමයා නම් එසේ මෙසේ කෙනෙක් නොවෙයි. ඉඳුරන් රැකගෙනයි ඉන්නෙ. ධ්‍යානයෙහි ඇලිල ඉන්නෙ. නිවන තුළයි හිත තියෙන්නෙ. මුළු ලෝකයටම හිතවත්. මේ නම් බුදුරජාණන් වහන්සේ තමයි. භය තැති ගැනීම් කියන දේවල් උන්වහන්සේට නම් වෙන්නෙ නෑ. ගුහාවක ඉන්න සිංහරාජයෙක් වගේ අතිශයින්ම දුර්ලභ දර්ශනයක්. දිඹුල් මලක් දැක ගැනීමත් ඒ වගේමයි.

ඒ තථාගතයන් වහන්සේ මොලොක් වචනවලින් “රජ්ජුමාලා” කියල මට කතා කරල තථාගතයන් වහන්සේව සරණ යන්න කියල වදාළා. ඒ වචනවල කිසි දෝෂයක් නෑ. හරි ම අර්ථවත්. පිරිසිදුයි. මිහිරියි. බුද්ධිමත්. මොලොක්. රසවත්. හැම ශෝකයක්ම දුරුවෙනවා. මං ඒ වචන අහගෙන හිටියා. ගේ සිත පැහැදුනා. පිරිසිදු වුනා. අවබෝධයට සුදුසු පරිදි සකස් වුනා. ඒ බව දැනගත් සකල ලොවට ම හිතැති තථාගතයන් වහන්සේ මට අනුශාසනා කොට වදාළා. ‘මේක තමයි දුක. මේක තමයි මේ දුකේ හට ගැනීම. මේක තමයි දුක නිරුද්ධ වීම. ඒ අමා නිවන කරා යන මාර්ගය මේක තමයි’ කියල මට වදාළා.

ලෝකානුකම්පා ඇති නිවන් මගෙහි දක්ෂ වූ බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙහි මං පිහිටියා. ඒ ශාන්ත වූ අමරණීය වූ අමා මහ නිවන මට තේරුනා. ඒ මං චතුරාර්ය සත්‍ය දර්ශනය නැමැති අවබෝධය නිසා දැඩි ප්‍රේමයක් ඇති වුනා. අකම්පිත වුනා. මුල් බැසගත්තා. මගේ ශ්‍රද්ධාව ස්ථීර වුනා. මං බුදුරජුන් ගේ ළයෙහි උපන් දෝණි කෙනෙක් වුනා.

දැන් මං සතුටු වෙනවා. කෙළිසෙල්ලම් කරනවා. ප්‍රීති වෙනවා. සතර අපා භයක් ඇත්තේම නෑ. දිව්‍ය මල් මාලා දරනවා. මධුමද්දව නම් නදියෙන් තමයි පැන් බොන්නෙ. මාව ප්‍රබෝධවත් කරන්ට තූර්ය වාදන හැට දහසක් තියෙනවා. ඒ වගේම ආලම්බ, ගග්ගර, භීම, සාධුවාදී, සංසය, පොක්ඛර, සුඵස්ස කියන දිව්‍ය පුත්‍රයනුත් වීණා, මොක්ඛා, නන්දා, සුනන්දා, සෝණදින්නා, සුවිම්භිතා, අලම්බුසා, මිස්සකේසී, පුණ්ඩරීකා, අතිචාරුණී, ඒනිඵස්සා, සුඵස්සා, සුභද්දා, මුදුවාදිනී, ඔය අප්සරාවනුත් දිව්‍ය සංගීතියෙහි ප්‍රශංසා ලබන සිත් පුබුදු කරවන තව අප්සරාවනුත් ඉන්නවා. එයාල සුදුසු වෙලාව බලල මං ළඟට ඇවිත් මෙහෙම කියනවා. හොඳයි අපි නටමු. සිංදු කියමු. අපි ඔයාව සන්තෝෂ කරනවා.

මේ දිව්‍ය විමානය පින් නොකළ උදවියට ලැබෙන්නෙ නෑ. පින්කළ උදවියටමයි මේ ශෝක නැති සිත්කළු තව්තිසාවේ නන්දන වනය ලැබෙන්නෙ. පින් නොකළ උදවියට මෙලොව හෝ පරලොව හෝ සැපයක් ලැබෙන්නෙ නෑ. මෙලොව පරලොව දෙකේම සැප ලැබෙන්නෙ පින්කළ උදවියටමයි.

තව්තිසා දිව්‍ය ලෝකෙ යන්න කැමැති උදවිය වැඩි වැඩියෙන් පින් කරන්න ඕන. පින්කරපු උදවිය විතරමයි ස්වර්ගයෙහි ඉපදිලා සැපසම්පත් ලබාගෙන සතුටු වෙන්නෙ. ඒකාන්තයෙන්ම බොහෝ දෙවි මිනිසුන්ට යහපත් පිණිසමයි තථාගතයන් වහන්සේලා පහළ වන්නේ. මිනිසුන්ගේ දන් පැන්වලට සුදුසු පින් කෙත වන ආර්ය ශ්‍රාවකයන්ගේ ආකාරය කියන්නේ බුදුවරයන් වහන්සේලාටයි. යම්බඳු ඒ උතුමන්ට පුද සත්කාර කරලයි දායකයන් සුගතියේ ඉපදිලා සතුටු වන්නේ.”