සිරිමත් වෙසතුරු දාව

වෙසතුරු නිරිඳුන් මසකට සය වතාවක් තමාගේ දන් හල් බලන්ට යන්නේය. ඔහු එයින් මහත් සතුටක් ලැබීය. තමන් ඉපදුනු වහා මෑණියන්ගෙන් දන් දීමට යමක් ඇද්දැයි ඇසූබව රජ ගෙදර ජනයා සිහිපත් කරද්දී හේ තව තවත් දානයටම සිය සිත යොමු කලේය. සත් හැවිරිදි වියෙහි සිටි තමන් සයනය මත පළඟක් බැඳ වාඩි වී ‘අද මාගේ හෘදය හෝ දෙඇස හෝ මාංශය හෝ කිසිවෙකු අයැද සිටින්නේනම් යෙහෙකැයි’යි සිතද්දී ධරණි තොමෝ ගුගුරා ගියයුරු හේ හොඳින්ම දනී.

දේවදාර කල්කයකට සඳුන් කල්කයක් එක්වූවාක් පරිද්දෙන්, නා නා සුවඳින් පිරිබඩ ගෑ පොළොවක් මත සුවඳ පැන් ඉසූවාක් පරිද්දෙන්, වෛරෝඩි මාණික්‍යයෙන් කල ආභරණයකට රන් ලියකම් දමා තව තවත් ඔප නැංවූවාක් පරිද්දෙන් වෙසතුරු නිරිඳුන් හා සරණ බැඳ ආ මද්දී රජ දූ වෙසතුරු නිරිඳුන්ගේ සියලු දානාද්‍යාශයන් මනාව දැන සිටියාය. ඈ මුළු හදවතින්ම ඊට සෙත් පැතුවාය.

ජයතුරා වාසී ඇති නැති සියලු ජනයා වෙසතුරු නිරිඳුන්ගේ දන් සයුරින් මොනවට යැපුනත් ඇලි ඇතා දන් දුන්කල තත්වය හාත්පසින්ම වෙනස් වී ගියේය. මුළු නුවරම කැළඹී ගියේය. වෙසතුරු නිරිඳුන්ගේ දන් වැටින්ම ජීවිතය යැපීගත් මිනිසුන් ඒ වෙසතුරු නිරිඳුන්ටම දෝශාරෝපණය කරන්ට වන. ගුණමකු වූ ඔවුන් තමාව ජීවත් කරවනා තමාගේම බත් පතට ගරහන්නාක් සේ හැම කල්හිම අඩුවක් නැතිව දන් පුදනා අපගේ මහ බෝසත් වෙසතුරු නිරිඳුන්ටම ගැරහූහ. පරිබව කළහ. තත්වය තවත් දරුණු වී වෙසතුරු නිරිඳුන් මාළිගයෙන් නෙරපිය යුතු’යි තීරණය වන තරමටම ඔවුන් උද්ඝෝෂණය කළහ.

ලෝකයානම් මෙසේමය. මුල අමතක කොට අග ගැන පමණක් සිතයි. පාරුවකින් එතෙර වී පාරුව සාදා දුන් තැනැත්තාටම බැණ වදී. බත්පත ගෙන හොඳ හැටියට සප්පායම් වී උය පිහා දුන් කෙනාටම ගරහයි. රවයි. ඔරවයි.

නමුත් නුවණැත්තන්හට නම් එය වෙස්වලාගත් ආශිර්වාදයක්මැයි. ඔවුන් එවැනි තත්වයන් හමුවේ තමාගේ ගුණයම වඩවා ගනී. පරිසරය කෲරතර වෙන්ට වෙන්ට ඔවුන් තමා තුළ ගුණ වගාව හොඳින් දියුණු පමුණු කරගනී.

අපගේ මහබෝසතාණන් වහන්සේ ගුණදම් වඩමින් පාරමිතා පුරන්නේ එකම සෘජු අදිෂ්ඨානයකින් යුක්තවයි. ඒ සර්වඥතා ඥානය ලබාගනිමින් උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කිරීම පිණිසයි. එහෙයින් ජයතුරාවාසීන්ගේ ආවේගශීලී ප්‍රතිචාරය ඉදිරියේ වෙසතුරු නිරිඳු ඒ සියල්ල උපේක්ෂාවෙන් ඉවසා සිටියේය.

සඳ මහරජු තමාගේ ප්‍රිය පුත්‍ර වෙසතුරු නිරිඳුන්ව රටින් පිටුවහල් කිරීමේ පණිවුඩය වෙසතුරු මාළිගයට යවද්දී වෙසතුරු නිරිඳුන් සිටියේ තමා ඇලි ඇතු දන් දීම ගැන බොහෝ සතුටින් පිනා ගොස්ය. ඔහු මහාමාත්‍යාදීන් පිරිවරා ඒ ගැන උස් හඬින් කියමින් බොහෝ සතුටු වෙවී සිටියේය. රාජ පණිවුඩකරුවා වෙසතුරු නිරිඳුන්ට පණිවුඩය සැළකර සිටියේය. එසැනින් වෙසතුරු නිරිඳුන් හැර අවශේෂ සියළු ජනයා චන්ඩ මාරුතයකින් කඩා වැටුනු රුක් පෙලක් සේ නිරිඳු පාමුල වැටී හඬා වැටෙන්ට වන.

සන්සුන්ව පියොවි ගමනින් මදක් සක්මන්කොට අප මහබෝසත් වෙසතුරු නිරිඳුන් පණිවුඩකරු ඇතුළු රැස්ව හුන් සෙසු මහාමාත්‍යාදීන් අමතා මෙසේ කීය.

“ඕහෝ ඇමතිය! මෙයනම් අපූරු කථාවෙකි. ඔවැනි බාහිර දෙයක් දන් දීම ගැන ඔවුන් කුමටනම් මුසප්පු වෙත් ද? මා හට කළ හැක්කේ ඔපමණක් නොවේ. මට මාගෙ ළය පලා හදවත වුවත් දන් දිය හැකීයි. මේ දෙනයන වුවත් දන් දිය හැකී. එහෙවු කල මේ රත්‍රන් වෛරෝඩි මැණික් ආදිය ගැන කවර කථාද?”

“කිසිවෙක් මාගේ දකුණත ඉල්ලත්නම් මා එයද කපාදෙමි. වමතද එසේමය. දන් දීමනම් මා නොනවත්වාම කරගෙන යමි. මාගෙ සිත සතුටුවන්නේ දන් දීමෙන් පමණමයි. එසේ වූකල දී අවසන් වූ දානයක් පිළිබඳ මා කුමටනම් විපිළිසර වෙම්ද?”

“මේ සිවිරට සියළු සත්වයෝ එක පැහැර මා එලවා දැමුවත් කම් නැත. ඊටත් වඩා ඔවුන් මාගේ හිස කඳින් වෙන් වී යනු දැකීමට කැමැත්තේනම් එයද කම් නැත. මා සත් කඩකොට කීතු කීතු කර දැමීමට ඔවුන් කැමැත්තහුනම් එයටද කම් නැත. නමුත් මා දන් දීමෙන්නම් නොවළකිමි. ඉතින් දුන් දන පිළිබඳ මා කුමක් නිසා විපිළිසර වෙන්ටද?”

මාරපාක්ෂික බලවේගයන්ගේ පෙළඹවීම නිසා සිදු වූ මේ සියළු උද්ඝෝෂණ අනතුරුව රජු නගරයෙන් පිටවී යායුතු මාවතද තීරණය කළේය. අතිශයින්ම දීර්ඝ දුෂ්කර මාර්ගයකින් ‘වංකගිරිය’ නම් වූ වන දුර්ගයට නිරිඳු පළා යා යුතු විය.

සියල්ල සාවදානව අසා සිටි වෙසතුරු නිරිඳුන් මෙසේ කිවේය.

“කම් නැත සගය, කම් නැත. වරදට දඬුවම් ලබන්නෝ යම් මාවතකින් යා යුතුද මම් ඒ මග නොවරදවා යන්නෙමි. නමුත් මා හට එක් දිනයක සමාවක් අවශ්‍යය. ඒ තව මහා දානයක් දෙනු පිණිසය”

මහ බෝසත් වෙසතුරු නිරිඳු වහ වහා කටයුතු සූදානම් කලේය. අමාත්‍යන් ලවා සියලුම දාන වස්තූන්ගෙන් සත්සියය බැගින් සූදානම් කරවීය. එයයි ‘සප්ත ශතක මහා දානය’. එහි නැතැයි කීමට කිසිවක් නොවුනි. ඇතුන්, අශ්වයන්, කිරි දෙනුන්, එළු බැටළුවන්, දැසි දස්සන්, කන්‍යාවන් ඇතුළු පණ ඇති නැති සියල්ල එහි විය. අහාරපානාදී අවශේෂ දාන වස්තූන් ගැන කියනුම කිම. පහුවෙනිදාට දීමට ඇති මහා දානය මෙලෙසින් සංවිධානය කොට නිරිඳු හුදෙකලාවෙම මද්දී බිසවුන් සිටි සිරියහන් ගැබ වෙත ගියේය. එහි ගොස් සිරියහන මත පළඟක් බැඳ වාඩි වී දේවිය ඇමතීය.

“මා ප්‍රිය මද්දී, මවිසින් ඔබට දුන් ධනයත් ඔබගේ මාපියන්ගෙන් ඔබ දායාද ලෙස ලත් ධනයත් බොහෝය. මද්දී, ඔබ මේ සියළු ධනය නිධන් කළ යුතුය. එවිට කිසිවෙකුටවත් ඒවාට අනතුරක් කල නොහැක්කේය”

හැම කල දානය පිණිස අත් සෝදා සිටින තම ප්‍රියාදර ස්වාමි පුත්‍රයාණන් අද කවරදාකවත් නැතිව ධනය නිධන් කල යුතු යැයි කියති. මෙයනම් සාමාන්‍යාකාරයේ නිධන් කිරිමත් නොවිය යුතුය. මෙහි යම් ගැඹුරු අරුතක් තිබිය යුතුමය. මා එය නොවලහා දැන ගත යුත්තේය යැයි නුවණින් සිතූ මද්දී දේවී රජු අමතා මෙසේ කීය.

“මාගේ රාජ පුත්‍රයන් වහන්ස, මා ඒ සියලු වස්තුව නිධන් කරන්නෙමී. නමුත් ඒවා මා නිධන් කලයුත්තේ කොහිදැයි මාහට වදාල මැනවි”

එවිට නිරිඳු මෙසේ පැවසීය.

“මා ප්‍රිය සොඳුර මද්දී, පොළොවෙහි හෝ අටුකොටුවල හෝ අන් තැනෙක හෝ ධනය නිධන්ගත කිරීම ඵල රහිතය. තමා මනු ලොවින් චුත වූකල දමා යන්ට සිදුවෙන්නේය. නමුත් මද්දී, ඔබ ඒ ධනය දානය තුල නිධන් කරන්න. දානයට වඩා උතුම් දෙයක් කිසිකලක නැත්තේය.”

මද්දී බෝසත් සැමියාණන්ගේ වදන් සතුටින් පිළිගත්තීය.

වෙසතුරු නිරිඳු මෙසේද කීය’

“මා ප්‍රිය මද්දී, නුඹ මාගේ දරු සිඟිත්තන් කෙරෙහි සෙනෙහස නොඅඩුව දැක්වුව මනාය. ඔවුන් ආදරයෙන් රැක ගන්න. නැදිමයිලන් කෙරෙහි බැති සිත් උපදවා කුලදෙවියන් පුදන්නා සේ යුතුකම් ඉටු කරන්න. එසේම මද්දී නුඹට තව දෙයක් මා කිව යුතුයි. කවුරුන් හෝ අයෙක් නුඹ ස්වාමියා ලෙස සළකනු කැමැත්තේද, ඔහු කෙරෙහිත් මා හට දැක්වූ ලෙසටම සෙනෙහස දක්වන්න. පතිදම් නොඉක්වමින් ඔහු උදෙසා ජීවත් වෙන්න.”

මුලදී කී සියල්ල සාවදානව අසා සිටියත් පසුව කී කිසිවක් මද්දී හට නොවැටහුනේය. ඈ පියොවින් සිටීමට නොහැකිව විලාප නගන්ට ගතී. තම පෙම්බර සැමියා දැන් තමාට අන්‍ය සැමියෙකු පතන්ටැයි කියයි. ඔහුටද පතිදම් නොයික්වමින් යුතුකම් ඉටුකරන්ටැයි කියයි…. ඇයට මේ කිසිවක් නොවැටහේ. ඇය හඬමින් නිරිඳුන් හට මෙසේ කීවාය.

“අහෝ ස්වාමීනී, මේ කුමක්නම් කියන්නේද? මෙතුවක් කල් මහදට පීඩා දෙන එකඳු වදනක් නොබිනූ නුඹ වහන්සේ දැන් මේ පවසන්නේ කුමක්ද? අහෝ මා අතින් වරදක් සිදුවීනම් මා හට කමා වුව මැනව. මා ගැන අනුකම්පාවෙන් මා කල වරද මට පෙන්වා වදාල මැනව.”

වෙසතුරු නිරිඳු මෙසේ කීය.

“දේවී, නුඹ අතින් සිදු වූ වරදක් නිසා මා කීවා නොවේ. මද්දී නුඹ දනී. මා කලිඟු රටින් ආ බමුණන්ට මාගේ රාජකීය හස්තියා දන් දුන් වග. දැන් එයට සිවිරට වාසීහු කිපී ගති. ඔවුන් මා සිවි රටින් පිටුවහල් කරනු කැමතිව උද්ඝෝෂණය කරති. මා හෙට වංකගිරිය බලා යායුතු බවයි ඔවුන්ගේ තීරණය. මාගේ පියාණන් ඒ බව කියා මා හට එවූ රාජාඥාව මීට සුළු මොහොතකට පෙරයැ මා ලැබුවේ. එනිසා මද්දී, මා නැතිකල නුඹ අනාථ නොවනු පිණිස මා දුන් අවවාදයන් නුඹ ඉටුකල මනායැ.”

එවිට රාජ දියණි මද්දී තොමෝ මෙසේ කිවාහුය.

“අහෝ දේවයිනි, නුඹවහන්සේ හුදෙකලාවේ වන වදින කල මම නුඹ වහන්සේ යනු බලා කරබා සිටිම්ද? ස්වාමීනී, එයනම් ධර්මය නොවේ, අධර්මයමය”

ඈ තවදුරටත් මෙසේ කීවාය.

“හිමියනි, මාගේ දෛවය ඇත්තේ නුඹ වහන්සේ සමග මියයාමට නම් කම් නැත. එසේම වේවා! නමුත් ස්වාමීනී, නුඹ වහන්සේගෙන් තොරව මට දිවි ගෙවීමට සිදුවේනම් ඊට වඩා මට මරණය සත සහස්‍ර ගුණයෙන් වටී.”

“නුඹවහන්සේගෙන් තොරව දිවි ගෙවීමෙහි අරුත කිම? නුඹවහන්සේගේ දේහය දවන සෑයෙහි අවසන් ගිනි දල්වා මාද එයට පැන මියයන්නෙමි. මට එය උතුම්ය.”

“මහා වනයේ සැරිසරායන ඇත් රාජයා පසුපසින් ප්‍රිය අඹු ඇතින්නිය සිටින්නාක් සේ මම්ද නුඹ වහන්සේ අසලින් සිටින්නෙමි.”

“මා හිමියනි, අපගේ දරු සිඟිත්තන්ද ගෙන මා නුඹ වහන්සේ සමග වංකගිරියට යන්නෙමි. සැබවින්ම ස්වාමීනී, මම නුඹ වහන්සේට පෝෂණය කිරිමට අපහසු එකියක් නොවෙමි. මම් ඉතාමත්ම පහසුවෙන් පෝෂණය කල හැකි එකියක්මි”

මෙසේ කියූ මද්දී බිසවු වංකගිරිය ඉතා පුරුදු තැනැත්තියක් සේ එහි රුව ගුණ වනන්නට වී. ඈ සිය හිමි හා දරු දෙදෙනා සමග වන වැදී හිමවතෙහි දිවිගෙවන්ට සැදී පැහැදී සිටින බව මෙලෙසින් සෘජුවත් ව්‍යංගයෙනුත් කියා සිටියාය.

වෙසතුරු නිරිඳුන් හා මද්දී බිසවු කළ කතා සල්ලාපය වෙසතුරු නිරිඳුන්ගේ මවු තුමිය වූ ඵුසතී දේවියට හොඳින්ම ඇසුනි. ඇගේ ළය පැළී යන්නාක් සේ ඈට දැනුනි. ඕ ඉකිබිඳිමින් හඬන්ට ගත්තාය. දරු දුකින් පීඩිතව මෙසේ කීවාය.

“අහෝ… නිර්දෝෂී වූ මා පුතු කුමක් නිසා මේ සිවි රට වාසිහු අප්‍රිය කරත්ද? කුමක් නිසා ඔවුන් මාපුතු මෙසේ පිටුවහල් කරත්ද? අහෝ..දරු වියෝවෙන් නැගෙන දුක් විඳුමට වඩා විෂක් කා නැසී යාම මට උතුම්ය. අහෝ මම් ප්‍රපාතයකට හෝ පනින්නෙමි. ගෙල වැල ලා හෝ මියැදෙන්නෙමි. මට එය උතුම්යැ.”

මෙසේත් තවත් බොහෝ ආකාරයෙනුත් නොයෙකුත් දෑ කියමින් ඵුසති දේවී තොමෝ දරු දුක ඉවසාගත නොහී වැලපුනාහ.ඈ සඳ මහ රජු ඉදිරියෙහි වැටි හඬමින් වෙසතුරු නිරිඳුන් මාළිගයේ රඳවාගන්නැයි ඉල්ලා සිටියාය. ඵුසතී දේවියගේ ශෝකාලාපයන් නොසිඳෙන කල සිවි මහරජු ඈ අමතා මෙසේ කීය.

“මා ප්‍රිය දේවිය, නුඹට සේම දරු පිළිබඳ ස්නේහය මා හදවතද කකියවයි. නමුත් දේවිය. මා හැමකල්හිම සිවි රජදහමට ගරු කළයුතුයි. එනිසාය මපුතු මා මෙසේ රටින් පිටුවහල් කරන්නේ. දේවිය, මාගේ පුතු මාගේ පණටත් වඩා මට ප්‍රියය. ඔහුගේ ජීවිතය මට සියල්ලටම වඩා වටී. එනිසාමය මෙසේ සිවි රට වාසීන් අධිකව කෝප වී සිට කියන්නක් අසා මම් මපුතු පිටුවහල් කරන්නේ.”

“දැන් සිවිරට වැස්සෝ මපුතුට එරෙහිව කිපුණෝයැ. මපුතු වන වාසයට යවන්නේ දණ්ඩනයට නොවේ. හික්මවනු පිණිසය. කිම, මීට පෙර අපගේ පැරණි රාජවංශයේ දරුවන් හික්මවීම පිණිස මහවනයට යවා නැතිද?  මෙයද එබන්දකි. ඵුසතී. මම් මපුතු පිටුවහල් කරන්නේ මාගේ පණටත් වඩා ප්‍රියව සිටිද්දීමය”

සඳ මහනිරිඳුන් මෙසේ කියත්ම ඵුසතී දේවියගේ ශෝකය තවත් දරුණු වී ගියේය. ඈ පියොවින් සිටිය නොහැකිව සැඩ පවනින් ඇදහැලෙනා සුපිපි සල් රුකක් සෙයින් බිම වැටී හඬා වැටුනා ය. ඈ දැකීමෙන් ඇතොවුරේ සියලු රාජකන්‍යාවෝ ද ලෙහි අත් ගසමින් හඬා වැටුනහ.

එදින සඳ මහරජුගේ මාළිගයේත් වෙසතුරු නිරිඳුන්ගේ මාළිගයේත් කිසිවෙක් රැයක් උදාවීමවත්, රැය පහන්වීමවත් දැන නොසිටින තරමට බලවත් ශෝකයෙන් වෙලී සිටියහ.

රැය ගෙවී අළුයම උදා විය. අපගේ මහ බෝසත් වෙසතුරු නිරිඳුන්ගේ මහා සත්ත ශතක දානය උදෙසා සියලු කටයුතු සිතූ අයුරින්ම පිළියෙල වී තිබුනි. වෙසතුරු නිරිඳානන් සක් දෙව් ලීලාවෙන් දන් හල වෙත පැමිණ මහා දානය සියතින්ම දී වදාල සේක් ධරණී තොමෝ තවදුරටත් දරාගත නොහී වේගයෙන් සැලී යන්ට වන. මහ හඬින් උස් හඬින් සැලී යන්ට වන. පොළෝ තලය කම්පා වෙද්දී බොහෝ බියජනක බවක් එහි ඇති විය. ලොමුඩහගැනීම් ඇති විය. මහා චන්ඩ මාරුතයක් සේ රාජ රාජ මහාමාත්‍යාදීන්ද සියළු ජනීජනයෝද එක පැහැර හඬාවැලපෙන්නට වන. ඔවුන් මෙසේ කීහ.

“ස්වාමීනී, වෙසතුරු නිරිඳාණනි, මේ සිවිරටවැස්සෝ නුඹවහන්සේට එරෙහිව දැඩි කෝපයකින් නුඹවහන්සේ සිවිරටින් නෙරපන්නට කටයුතු කරතී. අහෝ! එසේ තිබෙද්දීත් නුඹ වහන්සේ බැම හකුලා අප දෙස නොබලන සේක. පිනාගිය සිතින් සිටින සේක, තව තවත් මහ දන් දෙන සේක”

“අහෝ! අප දැන් අනාථ වී ගියෝය. අප දැන් කාගෙන් ඉල්ලා පැමිණෙන්ටද? අපට දැන් කාගේ පිහිටක්ද?”

මහ දන් දී අවසන් වූ අපගේ මහබෝසත් වෙසතුරු නිරිඳානෝ වංකගිරියට නික්මීමට පෙර මාපියන් වැඳ සමුගැනීමට සිතූහ. එසඳ මද්දී දේවී තොමෝ,

“අහෝ ස්වාමීනී, හුදෙකලාවේ මහ වනයට නොවැඩ මා හා සිඟිත්තන් දෙදෙනාද කැටිව වඩිනු මැනව. මාපියන්ගෙන් අවසර ලබාගැනීමට මම්ද ඔබ වහන්සේ සමග එන්නෙමි” යී කියමින් වෙසතුරු නිරිඳානන් පසුපසින්ම ගියෝය.

සඳ මහ නිරිඳුත් ඵුසතී මව්බිසොවත් වැඳ වෙසතුරු නිරිඳුන් හා මද්දී රජ දූ මහ වනයට නික්ම යනු පිණිස අවසර පතද්දී රාජ මාළිගය තුල පැවැති තත්වය අද අපට සිතාගත නොහැකිය.

බොහෝ දිර්ඝ කාලයක් පිළිවෙත් පුරමින් බොහෝ පැතුම් පතා ලබාගත් වෙසතුරු ළදරුවානෝ සඳ මහ නිරිඳුන්ගේත් ඵුසතී දේවියගේත් ප්‍රාණය සරිය. ඔහු වයසින් මෝරා යන හැටි ඉමහත් ආසාවෙන් බලා සිටියෝ ඔවුන්ම හැර වෙන කවුරුන්ද? නිසි වයස් පැමිණි කල මද්දී රජ දූ හා විවාහ වී ජයතුරා නුවර සියළු සිවි රට වාසීන්ගේ ස්වාමීත්වයට පත් සිවිරට ඔටුනුපළන් අපමහ බෝසතාණන් වහන්සේගේ මේ අන්තිම ආත්බාවයේදී මහ බෝසතුන්ට ආල නොකරන්නෝ කවරහුද? මාර පාක්ෂික බලවේගයන් මෙසේ සිවි රටවාසීන් කුපිත නොකරන්ට ඔවුන් කිසිසේත් අප මහ බෝසතාණන්වහන්සේට ද්‍රෝහි නොවෙනවා ඇත. අවශ්‍යනම් ප්‍රාණය දෙනවා ඇත.

නමුත් සිදු වූ දෙයම යහපත්ය. මාරපාක්ෂික වුවත් ඔවුන් කල දේ නිසා අප මහ බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව පරිපූර්ණ කරගැනීමට අවස්ථාව සැලසුනා පමණක් නොවේ අපගේ උත්තම යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ අනුපමෙය්‍ය ගුණ කඳද වඩ වඩාත් බැබළී ගිය සේක්මය. එහෙයින් නුවණැත්තන්හට ජීවිතයට පැමිණෙන සියළු බාධා, බාධාවන් නොව ගුණදම් වගාවන්ට සරු කෙතක් වන්නේය.

සඳ මහ රජු සහ ඵුසතී දේවිය, මද්දී රජ දූ මාළිගයෙහි නවතා ගැනීමට බොහෝ දෑ කීහ. මහ වනයෙහි භයානක බව ඉස්මතුකරමින් ඔවුන් බොහෝ දෑ කීහ. එවිට මද්දී තොමෝ මෙසේ කීවාහුය.

“මහ රජතුමනි, නුඹවහන්සේ හිමවතෙහි ඇති භයානකබව ගැන යමක් කීවාද එය සත්‍යක්මැයි. නමුත් මා ඒ සියල්ල දරා ගනිමි”

“සුව පහසු යහන්, ඇතිරිලි, කාද්‍ය බෝජන ඇතුළු සියල්ල මම් බැහැර කරමි. මම වෙසතුරු නිරිඳුන් විසින් බලාත්කාරයෙන් අකමැතිව දුකසේ කැඳවාගෙන යන එකියක් නොවෙමි.”

“මේ ලෝකයේ සැමියෙකු පතන කුමරියන් තමාගේ රුව වඩා ගැනීම පිණිස බොහෝ කරදර වෙති. ඔවුන් බොහෝ උත්සාහ කරති. එහෙව් ලෝකයේ වැන්දඹුවක වීම මහත්මැ දුකකි. එහෙයින් මම් මා සැමියාණන් සමග වනයට යමි.”

මෙසේ නොයෙකුත් ආකාරයෙන් ඈ තම නැදිමයිලන් ඉදිරියේ සිහ නද පතුරන්නී මෙසේද කීවාය.

“මහ රජුනි, යම් දිළිඳු ලඳක් තමාගේ දිළිඳු හිමියා හට බැතිව වසන්නීද, ධනයෙන් ආඪ්‍ය වූ ලඳක් සිය ධනවත් සැමියා හට බැතිව වසත් ද ඈ දෙවියන් විසින් පසසන ලද්දීය. ඈ කිරීමට දුෂ්කර දෙයක් කරන්නීය. ඒ නිසායැ.”

“ඒ නිසා මහ රජුනි, මම්ද කසාවතක් පොරවා මහිමියාණන් පසුපස මැ යන්නෙමි. වෙසතුරු මහිමිගෙන් තොරව මුළු මිහිතලය ලද ද ඒ කිසිවකට මම නොකැමැත්තෙමි. “

“යම් ලඳක් සිය සැමියා දිළිඳු යැයි දැන දැනත් තමා සැප විඳින්ට ඇති කැමැත්ත නිසා ඒ වග කියමින් සිය සැමියා පෙළයිද ඇගේ ළය කෙබඳු වීද? එවන් ස්ත්‍රීහු ඒකාන්තයෙන් කෲරතරයහ.”

“මා ලත් සියලු යස ඉසුරු මා හට දුන්නේ මාගේ ස්වාමියාණෝය. මා විඳි සියළු සැප සම්පත් මා හට දුන්නේ මාගේ ස්වාමියාණෝය. නමුත් දැන් මා හිමියාණෝ සියල්ල අතහැර මහ වනයට යද්දී මා මෙහි වසමින් සැප සම්පත් අනුභව කරමී’යී නොසිතුව මැනව. මම් මාගේ වෙසතුරු ස්වාමියාණෝ සමග වන ගත වෙමි. මාද මේ සියළු යස ඉසුරු ඉත සිතින් අත් හරිමි.”

එසේ කී ඈ නැදිමයිලන් ආදරයෙන් වන්දනාකොට වෙසතුරු නිරිඳුන්ටද පෙර ගොස් යානාවේ හිඳ ගත්තීය.

වෙසතුරු නිරිඳුන් සිය රට අතැර වන වාසයට යනයුරු දකිනු පිණිස ජනයා රැස් කමින් මුළු මුළු වී බලා සිටියහ. අප මහ බෝසත් වෙසතුරු නිරිඳානෝ ඔවුන් දෙස බලා මෙසේ කීය.

“අප දැන් අවසන් වශයෙන් තොප සැම අමතා යම්හ.”

“මාගේ ඥාතීහු සුවපත් වෙත්වා!”

මග යද්දී වෙසතුරු නිරිඳුන් යානාවද යානය බැඳි සෛන්ධවයන්ද දන් දුන් සේක. මද්දී දේවී තොමෝ ඒ සියල්ල සතුටින් අනුමෝදන් වෙමින් සාදුකාර දුන්නීය.

ක්ෂත්‍රීයවරු සිව් දෙන වංකගිරියෙහි වනවාසය පටන් ගත්හ. මද්දී තවුස් තොමෝ වෙසතුරු තව්සාණන්ගෙන් වරයක් අයැද සිටියාය.

“ස්වාමීනී, නුඹවහන්සේ ඵලවැල සොයා වනයට නොවදිනු මැනව. මා වනයේ වැද ඵලවැල සොයාවිත් නුඹ වහන්සේවත් සිඟිත්තන්වත් පෝෂණය කරන්නෙමි. මම් ඊට සමර්ථයෙමි. නුඹවහන්සේ මාගේ දරුවන්ට රැකවරණය දෙමින් මෙහි මැ වැඩහිඳ තවුස්දම් පිරුව මනාය. මම් වනයට යන්නෙමි. ඵළවැල නෙලා එන්නෙමි”

එතැන් පටන් ක්ෂත්‍රීය තවුසන් සිව්දෙන තවුසිය විසින් සොයා ගෙනෙනා ඵලවැලින් යැපුනාහ.

අපගේ වෙසතුරු තවුසානන්ද මද්දී තවුසියගෙන් වරයක් ඉල්ලාසිටියේය.

“මද්දී..භවතී…අපි දැන් වනයේ වල් වැද වෙසෙන තවුසන් වෙමු. අපගේ පැවිදි බඹසරට කිළුට වනාහී මාගම බව නුඹ නොදන්නවා නොවේ. එනිසා මා දැක්මට අවේලාවේ නොපැමිණෙන්න. මාගේ කුටිය තුලට නොපිවසෙන්න.”

අපගේ උත්තම මද්දී තාපසිය ඉතා කැමැත්තෙන්ම, සාදුකාර දෙමින් ඒ වරය බෝසත් තව්සාණන් උදෙසා දුන්නීය. ඈ මෙසේ කීවාය.

“ස්වාමීනී, නුඹවහන්සේගේ මේ උතුම් බඹසරට මම් බැතිසිත් ඇත්තෙමි. නුඹවහන්සේ කෙලෙස් තවනා දිවිය සරු කරගත මැනව. ඒකාන්තයෙන් ම මම් ද නුඹවහන්සේට අවනත වැ පිළිපදින්නෙමි”

එවක් පටන් මද්දී තවුසිය හිමිදිරියේ අවදි වන්නීය. වළඳින, පරිභෝගකරන පැන් , දැහැටි දඬු ආදිය සකසා තබන්නීය. අසපු බිම රටා දමා අමදන්නීය. අනතුරුව සිඟිති තවුසන් පියතවුසාණන් වෙත තබා ඕ පැසත්, අල සාරන උලත්, කෙක්කත් ගෙන වනවදින්නීය. සන්ධ්‍යාවේදී ඈ ඵලවැල රැගෙන නැවත අසපුවට එන්නීය. අනතුරුව විලට බැස ස්නානය කොට දරුවන්ද නහවන්නීය. ඉනික්බිති කුටි දොර බිමැ වාඩි වී සිවු දෙන එක්ව ඵලවැල අනුභවයෙන් අහර කිස කරත්. අහර කිස නිම වූකල, ඕ දරුවන්ද ගෙන තමාගේ කුටියට පිවිසෙන්නීය. වෙසතුරු තවුසාණෝ එතැන් පටන් බවුන් වඩන්නේය.

මහ වෙනෙහි ගෙවෙනා දිවිය අතිශයින්ම කර්කෂය. රාජ සුකොමාල ඔවුන්ගේ ශරීර පඬු පැහැ ගත්තේය. ලේ බොන මැසි මදුරුවන්ගේ රුදුරු ප්‍රහාරයන්ගෙන් සියොලඟ ගඩු නැංවී ගියේය. මාරාවේෂී වනමෘගයන්ගේ හඬින් සැලී යන ඔවුන්ගේ කය පරඬැල් හා සම විය. නමුත් ඔවුනතුරෙන් කිසිවෙක් කම්පා වූයේ නොවේ, හැඬුවේ නොවේ, දොස් කීවේ නොවේ, ශාපකළේ නොවේ. ඔවුන් ඉතා සතුටින් සිල් ගුණ දම් වඩමින් බොහෝ දැහැමෙන් එහි වාසය කළෝය.

මෙසේ ඔවුන් වංකගිරි පර්වතය සහිත මහ වෙන තුළ සත් මසක් ගත කළෝය.

දිනක් අළුයම් වේලෙහි මද්දී තවුසිය අමුතුම සිහිනයක් දුටුවාය. ‘කාලවර්ණ රුදුරු පෙනුමැති පුරුෂයෙක් කසාවතක් හැඳ පොරොවා, රත්මල් මාලා ගෙලෙහි පැළැඳ, අසිපතක් අතින් ගෙන ගර්ජනා කරමින් තවුසිය වස්නා කුටියට ආයේය. හේ තවුසියගේ හිස බැඳි ජටාවෙන් ඇද බිම උඩුකුරුව හෙළා, ඇගේ නිල්වන් දෙඇස උපුටා ගත්තේය. ඉන් අනතුරුව ඇයගේ දෑත් සිඳ, ළය පලා ලෙහෙ බිඳු වැගිරෙද්දීම ඇගේ හද උගුලාගෙන පළා ගියේය.’

මේ සිහිනයෙන් ඉමහත් භීතියට පත් තවුසිය වෙව්ල වෙව්ලා වෙසතුරු තවුසාණන් වසන කුටිය වෙත දිවගියා ය. එය අවේලාව බවවත් ඈට නොතේරුණි. දුටු සිහිනයෙන් ඕ එතරම්ම කලබලයට පත්වී සිටියාය. වෙසතුරු නිරිඳාණෝ කුටිය තුළ සිටිද්දීම මෙසේ කීහ.

“කිම මද්දියෙනි, නුඹට අපගේ පූර්ව කථිකාවත අමතක වී ගියේද? කුමක් නිසා නොකල්හි මෙහි පැමිණියේද?”

මද්දී තවුසිය මෙසේ කීවාය.

“ස්වාමීනී. මම් වනාහි ක්ලේෂ වසඟව ආවා නොවෙමි. අනේ ස්වාමීනී, මා රුදුරු සිහිනයකින් පහර කෑවෙමි. අහෝ ඒ සිහිනය එතරම්ම බිහිසුණුය.”

තවුසාණෝ කුටියේ දොර හැර ඈ කැඳවා බිම ඇතිරියෙහි හිඳුවා සිහිනය විමසීය.

සිහිනය පිළිබඳ ඇසුණු විගසම තමන් වහන්සේගේ දාන පාරමිතාව මුදුන් පැමිණීමට ආසන්න බවත් අළුයම නිමා වූ විට ඒ සුබ මොහොත එලඹෙනු ඇති බවත් තවුසාණෝ දැන ගත්හ. නමුත් ඒ වග මද්දියට හෙළි කළේ නැත. හේ තවුසිය අස්වසාලා හරවා යැවීය.

මද්දී උදෑසනින්ම දරුවන් නහවා ආදරයෙන් සිඹ සනහා පිය තවුසාණන් අතට බාර දෙමින් මෙසේ කිවාය.

“ස්වාමීනී, අද උදෑසන මා දුටු රුදුරු සිහිනයෙන් මම් තවමත් කැලැඹී සිටින්නෙමි. ස්වාමීනී, මේ දරුවන් මාගේ ප්‍රාණය සරිය. මාගේ දෑස සරිය. මාගේ හදවත සරිය. ස්වාමීනී, මම් ඵලවැල සොයා නැවත පැමිණෙන තෙක් මේ දරු සිඟිත්තන් රැකගන්නා මැනවි.”

මද්දී තවුසිය කඳුළු පිරි මුහුණින් යුතුව යළි යළිත් දරුවන්ගේ මුව සිඹ සනහා ඔවුන් දෙස නැවත නැවතත් හැරීබලමින් වනය තුළට ඵලවැල සොයා පිටත් වූවාය.

ඈ පිටත් වූ ස්වල්ප මොහොතකින් ජූජක බමුණා වෙසතුරු තවුසාණන් ළඟ පෙනී සිටියේය. දරුවන් ඉල්ලා කිසිවකුගේ පැමිණීම අපේක්ෂාවෙන් මග බලා සිටි වෙසතුරු තවුසාණෝ රන්පිළිමයක් සේ කුටි දොරට මදක් ඔබ්බෙන් අසුන් ගෙන සිටියේය.

වෙසතුරු තවුසාණෝ ජූජකයා හට පැන් දෙවා, ඵලවැලාදියෙන් සතප්පා ඔහු පැමිණි කාරණය පිළිබඳ අසා සිටියේය. හේ මෙසේ කීය.

“පින්වත් බමුණ, තෙපි කවර කාරණයක් නිසා මේ මහ වනයට පිවිස අප සොයා ආවෙහිද?”

ජූජකයා මෙසේ පිළිතුරු දුන්නේය.

“හිමියනි, දන් දීමෙහිලා සැදැහෙන් පිරීගිය සිත් ඇති නුඹ සොයා අන්‍ය වූ කාරණයක් නිසා නොආවෙමි. ඉල්ලාම ආවෙමි. වෙසතුරු නිරිඳාණෙනි, මා විසින් ඉල්ලන ලද තෙපි මේ දරුවන් දෙදෙන මා හට දස්සන් කොට දෙව්’

අපගේ මහ බෝසත් වෙසතුරු තවුසාණෝ ඔද වැඩීගිය සිතින් වංකගිරි පර්වතය පුරා නින්නාද කරමින් මෙසේ පැවසීය.

“එසේයැ බමුණ.. එසේයැ. මම්  මේ දරු දෙදෙන නුඹට පාවා දෙමි. රැගෙන යව. නමුත් ඔවුන්ගේ මෑණියෝ මොවුන් නොදැක බොහෝ කම්පාවනු ඇත. එනිසා ඈ පැමිණි පසු ඇගේ දුක තුනීකර ඔවුන් රැගෙන පළා යව”

එවිට කෛරාටික ජූජකයා මෙසේ කීය.

“මහරජුනි, නාරීහුනම් දානයට පළිබෝධයැ. ඇරත් තොපගේ දානයට කුමක් නිසා මාගමක් ගාවා ගන්ටද? වහා තොපගේ දරු දෙදන කැඳවා මට දී අවසන් කරව. මා දැන්ම පිටත් වන්නෙමි”

දන් දෙන්නා උත්තමයන්ටම තර්ජනය කරමින් අශ්ලීලව හැසිරෙමින් නිගරුකරමින් පරිභව කරමින් මෙසේ දරුවන් ඉල්ලද්දී පවා අප මහබෝසත් වෙසතුරු නිරිඳානෝ ඉතා ඉවසීමෙන් යුතු වූහ. දානයහිම ඇලී සිටි හේ ඉන් පරිබාහිර කිසිවක් ගැන සැලුනේ නොවේ. අහෝ ආශ්චර්‍යක්මැයි. අප මහබෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාවනම් අසිරියක්මැයි. ඒ ඉවසීමනම් අසිරියක්මැයි.

අපගේ වෙසතුරු නිරිඳානෝ ජූජකයා අමතා නැවතත් මෙසේ කී සේක.

“බමුණ, නුඹ මාගේ පතිව්‍රතා ඇති බිරිය දකිනු නොකැමති නම් මේ ජාලී හා කණ්හාජිනාවන් ඔවුන්ගේ මුත්තණුවන් වන සඳ මහරජු ඉදිරියට පමුණවු. එවිට නුඹට බොහෝ ධන ධාන්‍ය කෙත්වතු සහ මහ පිරිවර ලැබෙනු ඇත”

එවිට ජූජකයා මෙසේ කීය.

“නිරිඳුනි. ඒ කවරනම් කථායෙක්ද තොප කීවේ? මරු කටට යන්ටයැයි කියාද නුඹ මට කියන්නේ? දේවේනි, නුඹගේ කිලිටි වූ සිත දැන් මා මනාව හඳුනමි. දරුවන් නොදී ඉන් මිදෙන්ට මගක් දැන් නුඹ සොයයි. අහෝ නුඹවන් චෞරයන්ගේ සැටි!”

ජූජකයා ගැරහුම් පිට ගැරහුම් කරත්. අපගේ බෝසත් තවුසාණෝ ඉතා නිවුනු හඬින් මෙසේ කීය.

“බමුණානෙනි, එසේ නොවේමය. මා සොරෙක් හෝ මුසාබස් තෙපලන්නෙක් හෝ නොවෙමි. මම් දැන්ම නුඹට මාදරුවන් දන් දෙමි”

එසේ පැවසූ අපමහ බෝසත් වෙසතුරු තවුසාණෝ හුනස්නෙන් නැගිට පොකුණු තෙරට ගොස් ජාලිය පුතු ඇමතීය.

“මා ප්‍රිය පුත,  මා වෙත එනු සොඳේ! මාගේ දාන පාරමිතාව මුදුන්පත් කරව මා දරුව. මහද තෙමාලව. මවදන් කරව”

“අදරැති පුත. මේ භව සයුරෙහි මා හට නිසලවැ ගමන් යන නෞකාවක් වව. මම් ද ඉපදෙන මැරෙන සසරෙන් පළමුකොටැ එතෙර වන්නෙමි. දෙව් මිනිස් ලෝවැසියන් ද තොප ද එතෙර කරවන්නෙමි”

බෝසත් තවුසාණෝ කන්හජිනා දෝණිය අමතා මෙසේ කීවේය.

“මා අදරැති මෑණියනි, දූ සිඟිත්තෙනි, මවෙත එව. මාගේ දාන පාරමිතාව මුදුන්පත් කරව. මා ප්‍රිය දූ සිඟිත්තියෙනි, මහද තෙමාලව, මවදන් කරව.”

“අදරැති මා දූ, මේ භව සයුරෙහි මා හට නිසලවැ ගමන් යන නෞකාවක් වව. මම් ද ඉපදෙන මැරෙන සසරෙන් පළමුකොටැ එතෙර වන්නෙමි. දෙව් මිනිස් ලෝවැසියන් ද තොප ද එතෙර කරවන්නෙමි”

තමා සහ නැගණිය ජූජකයා හට දැස්සන් කොට දෙන බව දැන දැනත් සිඟිති ජාලිය කුමරු තම පියාණන් තමාව දෙවරක් අමතනකල් සිටියේ නොවේ. හේ පියාණන් ඇමතූ සැනින් සැඟවහුන් තැනින් එලියට ආයේය. කන්හජිණාවන්ද එසේම කළා ය.

අපගේ මහබෝසත් තව්සාණෝ මෙසේද කීය.

“මපුත ජාලී, ඉදින් දාස භාවයෙන් නිදහස් වනු කැමැත්තෙහි නම් මේ බමුණහුට රන් නික දහසක් දී නිදහස ලබව. තොපගේ නැගණි තොමෝ අතිශය මනහර රූ ඇත්තීය. ඉදින් යම් නීච කෙනෙක් බමුණහුට කිසියම් දෙයක් දී ඈ ලබා ජාතිසම්භේද කරන්නාහුනම් එය සුදුසු නොවේමය. එනිසා මා ඇයගේ මිල නියම කරමි. සෑම දෙයකින්ම සියය බැගින් ඇගේ මිල වන්නේය.” (සියලු දෙයින් සියය බැගින් ගෙවා කණ්හජිනාවන් ගැනීම රජෙකුට හැර අන් කිසිවෙකුටවත් කල නොහැක්කක්ය. එහෙයිනි අප මහබෝසතාණෝ ඇගේ මිල එසේ නියම කරනු ලැබුවේ)

දරුවන් දන් දෙද්දී වෙසතුරු නිරිඳාණන්ගේ තේජසින් මහපොළොව කම්පා වී සැලී ගියේය. සිනේරු පර්වත රාජයා පොළොවට නැවී ගියේය. සියලු දේවතාවෝ ‘සාධු සාධු’ යි හඬ නැගුවෝය. බඹලෝ දක්වා ඒ සාධු නාදය පැවැත්තේය. ක්ෂණික වැස්සෙක් වැස්සේය. නොකල්හි විදුලි කෙටිලි පැතිරැ ගියේය. හිමවත්වැසි සිංහාදී මෘගජාතීහු සකල හිමවත ඒකනින්නාද වන සෙයින් එකපැහැර මහ හඬින් නාද කළෝය. මෙබඳු බොහෝ බියජනක දෑ ඇතිවූයේ ය.

පවිටු බමුණා වනයට වැඩ පරඬැල් කඩාගෙනවුත් සිඟිත්තන්ගේ දෑත් කිටි කිටියේ බැන්දේය. වෙසතුරු තවුසාණෝ බලා සිටිද්දීම දරුවන්ට තලමින් හේ සිඟිත්තන් ගෙන ගියේය. බමුණාගෙන් දරුණු පහර කෑ දරුවන්ගේ සිනිඳු සම පුපුරා ඒ ඒ තැනින් ලේ ගලා ආයේය. නමුත් හේ දිගටම තැලීය.

වැලපි වැලපී තමා දෙස හැරි හැරී බලමින් ඈත යන සිය දරු සිඟිත්තන් දෙස බලාසිටිද්දී එය ඉවසාගනු නොහැකි අප මහබෝසත් වෙසතුරු නිරිඳාණෝ දරු දුකින් පීඩිතව සැණෙකින් කුටියට වැද බැගෑ සිතින් හඬා වැලපෙන්ට පටන් ගත්තේය. නොයෙකුත් ආකාරයෙන් දොඩවමින් හඬා වැලපුනේය. නමුත් හේ ක්ෂණිකව පියොවි සිහිය උපදවා මෙසේ සිතුවේය.

“මාගේ දරු සිඟිත්තෝ යම් කරුණක් නිසා පීඩා විඳිත්ද, දුක් අනුභව කරත්ද මා දරුවන්ට වූ මේ දුක් ඒකාන්තයෙන්ම මා ළය දැඩිවැ කකියවයි. හද සසල කරවයි. නමුත් දාරක දානය වනාහී පෙර බෝසත්වරුන්ගේ පරපුරට අයත් දහමක් නොවේද! ඉදින් මා ඒ ගැන දැන් දුක් ගන්නේ නම් මාගේ උත්සාහය ව්‍යර්ථ වන්නේය. ඵල රහිත වන්නේය. සර්වඥ්ඥතා ඥානය උදෙසා මා දුන් මේ අතිශය දුෂ්කර දානය අන් කිසිඳු සත්වයෙකුට කල හැක්කක් නොවේමය. සිහිනෙකිඳු කලහැක්කක් නොවේමය. එනිසා මා දැන් උකටලී නොවී මාගේ අතිශය දුර්ලභ දානය පිළිබඳ ප්‍රසාද සිතින් යුතු විය යුතුය”

මෙසේ සිතා හේ නැවතත් කුටි දොර ඉස්මත්තෙහි හිඳ බවුන් වැඩීමට පටන් ගත්තේය.

දරු සිඟිත්තන්ගේ වලප අසා ඒ වෙනෙහි දේවතාවෝ දෙව්පුතුන් තිදෙනෙකුට මෙසේ කිවෝය.

“එම්බා දෙව්පුතුනි, තෙපි සිංහ, ව්‍යාඝ්‍ර, දිවි යන වනමෘගයන්ගේ වෙස් ගනිව්. අපගේ මද්දී රාජපුත්‍රී ඵලවැල නෙළා සන්ධ්‍යායෙහි වනයෙන් පිටතට නොපමුණුවව්. ඕ තොමෝ සඳ එළියෙන්මැ යාවා! අප බොජුන් ගන්නා විජිතයෙහි වනමෘගයෝ ඈ නොපෙලත්වා!”

“ඉදින් සිංහයෙක් හෝ ව්‍යාඝ්‍රයෙක් හෝ දිවියෙක් හෝ අනාරක්ෂිත ඈ දිවි තොරකරයි නම් එකල්හී ජාලිය කුමරුගේ දිවි නොපවතින්නේය. කණ්හාජිනාගේ දිවි කිසෙයින් පවතිත්ද! එසඳ බිසව් තොමෝ සිය හිමි, දරු යන දෙපාර්ෂවයෙන් ම අහිමි වන්නීයැ. එහෙයින් තෙපි මැනැවින් ඕ රැක්ක මනායැ”

එසේ වනදෙවියෝ මද්දී තවුසියට සියළු ආරක්ෂාව සැලසූහ.

එදා පුන් පොහෝදා සඳවතුර පොළෝ තෙලෙහි මැනෙවින් ගලාගියේය. යම් දෙයක් සිදු වී ඇතිබව ඉවෙන්මෙන් ඈට වැටහීගියත් ඒ ගැන පිරිසිදු වැටහීමක් ඈ සතු නොවීය. ඈ පෙර පුරුදු තැන සිය දරුවන් නොදැක්කාය. ඇගේ හදවත වේගයෙන් ගැහෙන්ට ගතී. ශෝකයෙනුත් බියෙනුත් සැලෙන කයෙන් යුතු ඕ පන්සල් බිමේ ඒ මේ අත දුවමින් සිය දරුවන් සෙව්වාය. වෙනදා දුටු පමාවෙන් තමන් වෙත දුව එන අදරැති දරුවන් අද නැත. ඈ වැලපෙමින් දරුවන් සොයා දසත දිව්වාය.

“අහෝ මා අදරැති දරුවෙනි, නුඹලා කොහියැ! වෙනදා සියොලඟ දූලි තවරා, වැල්ලෙන් ගැවසීගත් දරු සිඟිත්තෝ මා වටා දිවැ එති. අහෝ අද ඔවුන් කොහියැ!”

“ගොදුරු පිණිස ගිය මුව දෙන නැවත එනතුරු මග බලා සිටිනා මුව පොව්වන් සෙයින් මා දරුවෝ මා එනතුරු මග බලා සිටින්නෝය. අහෝ අද ඒ දරුවෝ කොහියැ!”

“මා දෙතන කිරෙන් පිරී ඇත්තේය. මා ළය ද පැලී යන සෙයින් කකියයි. එහෙත්..අද මා දරුවෝ මට දකින්ට නැත්තෝය”

“අහෝ! කිමැ මේ අසපුව අද වෙනදා මෙන් නොවේ. කිමැ. මේ අසපුව අද ගැඹුරු නිහඬ බවෙකින් වෙලී ගොස්යැ. මා දරුවන් නැතිව මේ බිම ගොළු වී ගොස්යැ”

නොයෙකුත් ආකාරයෙන් දොඩවමින් ඈ දරුවන් සොයා දිවයන්නී බෝසත් තවුසාණන් අසලට දිව ආවාය. ඈ මෙසේ කී,

“අහෝ ස්වාමීනී, කිමැ මේ තුෂ්ණිම්භූතව සිටින්නේ! මා දුටු රුදුරු ස්වප්නය අහෝ සැබෑවක් වූවෙහිද?. මාගේ ආර්‍ය පුත්‍රය, කිමැ! මාගේ දරු සිඟිත්තෝ රුදුරු වන මෘගයන්ට ගොදුරු වූවාහුද? වෙනයම් අනතුරක් හෝ සිදුවීද? නොවලහා මා හට පවසාලනු මැනව”

ඕ ඉකිබින්දාය. එවිට අප මහබෝසත් වෙසතුරු තවුසාණෝ මෙසේ සිතුහ.

‘මෝ දරුදුකින් පිඩිත වූවාහු දරුවන් දුන්නායි දැන්ම කීවොත් එය වාවා ගනු නොහැකි වන්නීය. ළය පැලීයනු නිසැකය. එනිසා මම් රළු බසින් ප්‍රථමයෙන් ඈ කම්පා කළ යුතුය’

එසේ සිතා හේ මෙවදන් බිනූහ.

“මද්දී, නුඹ රාජ පුත්‍රීයැ. මහා යශස්වීයැ. අතිශය මනහර රූ ඇත්තීයැ. වනවැදි මිනිසුන්, සිද්ධවිද්‍යාධරයන් නිරන්තරයෙන් සරනා මේ වෙනෙහි තී මෙපමණ වෙලාවක් ගතකලේ කුමක් නිසාද? වෙනදා එන වේලාව වරද්දා අද බොහෝ පමා වී ආවාහුය තෙපි. දැන් මා දුගී බව දෝසයකැයි සිතා මා වංචාකොට පළායන්ට තැත් කරන්නීද තෙපි? මද්දී, කියව දැන් මා නුඹ ගැන කවරයුරින්ද පිළිපැදිය යුත්තේ?”

මහ බෝසත් තවුසාණෝ ඉන් මතු කිසිවක්ම කථාකලේ නැත. අරුණ නැගෙනා තෙක් අන් කිසි බසෙක් නොදෙඩී යැ. එතැන් පටන් මද්දී තොමෝ ඒ සඳ නැගි රැයෙහි අනෙකප්‍රකාරයෙන් හඬා දොඩා වැලැපෙන්නී මෙසේ කිවාය.

“ස්වාමීනී, මම් හිසැ ජටා ධරා බඹසර රකින්නී වෙමි. දිව රෑ දෙක් හි අනලස්වැ වත්සපන් මාණවකයෙක් සිය ගුරු දෙවිඳුට සෙයින් මා හිමිසඳු හටත් දෙදරුන් හටත් උවැටැන් කළෙමි”

“නුඹ කැමැත්තේ නුඹම පැතීමි. අඳුන් දිවිසම් දරා වනමුල් ඵලවැල ගෙනෙමින් දිව රෑ සරමි”

මද්දී තොමෝ ඉකිබිඳිමින් දහසකුත් අයුරින් කීවත් අප මහබෝසත් තවුසාණෝ සෙල් පිළිමයක් සේ නිහඬවම සිටි සේක. ඒ අන්‍ය වූ දැඩි බවක් නිසා නොවේ. මද්දියගේ සිතින් දුක තුනීවී ගොස් දරු දෙදෙන දන් දුන් පුවත දරාගැනීමට ඇගේ සිත සූදානම් වන තෙක්ය.

මදිදී රාජ දියණිය ඒ රැය ගෙවීයන තෙක් සිය දරුවන් සෙව්වාය. බොහෝ බැගෑ හඬින් හඬමින් වන දෙවියන්ට උජ්ජායනා කරමින් ඕ රැය පහන් වන තෙක් වනය පුරා දිව්වාය. දරු දුකින් වියරු වී ගිය ඕ පවන් බඳු වේගයෙන් වනයේ දිව්වාය. පසළොස් යොදුන් දුර වනයේ දිව්වාය. අරුණ උදා විය. ඕ තවදුරටත් කෙලින් සිටගත නොහී වෙව්ලාගොස් කපා දැමූ සල් රුකක් සේ වෙසතුරු නිරිඳු පාමුල කඩා වැටුනාය. සිහිසුන්ව ඇද වැටුනාය.

මහසත් තෙමේ වහා නැගිට ගතී. මද්දී දෙස මොහොතක් බලා සිට තවදුරටත් ඇගෙන් ප්‍රථිචාරයක් නොවූ තැන හද සසලව ගියේය. අහෝ ඕ මිය ගියාදෝහෝයි සිතා ළය කම්පා වී ගියේය. උපන් බලවත් ශෝකයෙන් ඈ ළයෙහි අත තබා හද ගැහෙනා වේගය අසා ඉක්මනින් පැන් ගෙන ඉස්සේය.

සත්මසක් මුළුල්ලේ මද්දීගේ රන්වන් සිරුරට අත නොතැබූ නමුත් අප මහබෝසත් නිරිඳු තෙමේ, උපන් බලවත් ශෝකයෙන් මඩිනුලදුව තමන් පැවිදි වූ වගත් සිහිකොට ගත නොහී, කඳුළු වැගිරෙන නෙතින් යුතුව ඇගේ හිස ඔසොවා ගත්තේය. සිය කලවා මත තබාගත්තේය. කෙණ්ඩියෙන් පැන් ගෙන ඇගේ මුවද හද ද පිරිමදිමින් හුන්නේය. සුළු මොහොතකින් මද්දී සිහි ලැබුවාය. ඕ සැනෙකින් නැගිට විලියෙන් බරවැ ගොස් වහා එකත්පස්ව හිඳ මහබෝසතුන්ට වන්දනා කළාය. ඈ මෙසේ කීවාය.

“අහෝ ස්වාමීනී, මා දරු සිඟිත්තෝ කොහියැ?”

“දේවී, මද්දී.. එක්තරා බමුණෙක් මෙහි ආයේය. හේ දාස මෙහෙවරට දරුවන් ඉල්ලා සිටියේය. මවිසින් දරු සිඟිත්තෝ දන් දෙන ලද්දාහ”

සිය දරුවන් බමුණහුට දන් දුන් වග අසා මද්දී මෙසේ කීවාය.

“දේවයන් වහන්ස, මා දරු දෙදෙන බමුණහුට දන් දී මුළු රැය පුරා මා හඬා වැලපී දරුවන් සොයමින් ඔබ මොබ ඇවිද ගියෙමි. ඒ බව මෙතෙක් මා හට නොකීයේ මන්ද?”

මද්දී, මුලින්මැ නුඹට දුකක් කරන්ට මම් නොකැමැති වීමි. එනිසා නොකීවෙමි”

සිය ස්වාමියාණන් විසින් දෙනලද දාරක දානය ඕ සතුටින් අනුමෝදන් වන්නී මෙසේ කීවාය.

“දේවයන් වහන්ස, දරුවන් කෙරෙහි පිහිටි නුඹගේ උතුම් දානය මම් මුළු හදින්ම අනුමෝදන් වෙමි. මැනව ස්වාමීනී, දුන් දානය පිළිබඳ සිත පහදාගත මැනව. බොහෝ සෙයින් දන් දෙන්නෙක්ම වුව මැනව”

“මාගේ රාජ පුත්‍රයන් වහන්ස, නුඹ වහන්සේ මසුරුමලින් පීඩා විඳින ලෝකයා අතරේ සිය නෙත් සඟල වන් දරුවන් දන් දුන් සේක. අහෝ! මෙයනම් ඒකාන්තයෙන්ම අසිරියක්මය. අද්භූත දෙයක්මය.”

මෙසේ මද්දී බිසොව හා වෙසතුරු නිරිඳුන් දානය පිළිබඳ සිත් පහන්වන කථාවෙන් යුතුව සිටින සඳ දෙදෙවුලොවට අධිපති සක් දෙවිඳුන් මෙසේ සිතීය. ‘වෙසතුරු නිරිඳාණෝ මිහිකත උන්නාද කරවමින් ජූජකයාට සිය නෙතු සඟලවන් දරුවන් දෙදෙන ඊයේ දන් දුන්නාහුය. ඉදින් දැන් වනාහී කිසියම් හීන පුරුෂයකු පැමිණ මද්දී රජ දුවව ඉල්ලුවහොත් මහරජු ඈවද දන් දෙන්නේය. එසේ වුවහොත් වෙසතුරු නිරිඳුන් මේ වෙනෙහි පිහිටක් නොලබා අනාථවනු ඇත. මා එය දැන්ම වළක්වමි’

සක් දෙවිඳු එසැණින්ම මහලු බමුණකුගේ වේෂයෙන් රජු ඉදිරියේ පෙනී සිටියේය. හේ මෙසේ කිය.

“භවත් වෙසතුරු නිරිඳාණෙනි. මා මාල්ලෙක්මි. තොපගේ ඇඹේණී මද්දී බිසව් පතා මා ආවෙමි. මා හට ඕ දෙනු මැනවි”

වෙසතුරු තෙමේ මද්දී බිසවුගේ අත අල්ලාගත්තේය. පැන් කෙණ්ඩිය ද ගත්තේය. අත පැන් වඩමින් හේ සිය ප්‍රියාදර ඇඹේණිය වන මද්දී රජ දූ මහළු බමුණුහට දන් දුන්නේය. එකල පොළො තොමෝ ගුගුරා ගියහ. සැලී ගියහ. දරුවන් දන් දෙන්නාකල යමක් යම් තැනෙක යම් අයුරකින් සිදු වූයේද මද්දිය දන් දෙන විට ද ඒ සියල්ල ඒ ආකාරයෙන්ම සිදු විය.

මද්දී තොමෝ සිය පණවන් අදරැති වෙසතුරු නිරිඳාණන් තමාව බමුණු මාල්ලෙකුට දන් දෙන සඳ මුහුණ හකුලා නොගත්තාය. නොමනා බවෙක් නොපෙන්නුවාය. සුසුම් නොහෙළුවාය. නොහැඬුවාය. ලොවෙහි යම් උතුම් දෙයක් ඇත්ද එය මහිමියෝ ඒකාන්තයෙන්ම දන්නා සේකැයි පිපී ගිය පියුමක් සෙයින් වෙසතුරු නිරිඳහුගේ මුහුණ බලමින් සිටියාය.  අපගේ මහබෝසත් වෙසතුරු නිරිඳානෝ බමුණු මාල්ලා අමතා මෙසේ කීය.

“එම්බා බමුණ, මේ මද්දී තොමෝ මට අප්‍රිය නොවන්නීය. ඉතා ප්‍රියය. එහෙත් මද්දීටත් වඩා සිය ගුණයෙනුත් දහස් ගුණයෙනුත් සියදහස් ගුණයෙනුත් අධිකතරව මම් සර්වඥතාඥානයම ප්‍රිය කරන්නෙමි. එනිසා මවිසින් දෙන මේ පත්නීදානය සර්වඥතාඥාන ප්‍රතිවේධය පිණිසම වේවා!”

මේ සිද්ධිය පිළිබඳ අපගේ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාල සේක.

“මපුතු ජාලිය කුමරු, දූ කණ්හාජිනා, ඇඹේණිය මනා පතිවෘතා ඇති මද්දී බිසවු සිතින් අත්හැර දන් දෙන කල්හි බුදුබව පිණිස මිස අන් කරුණෙක් මසිතට නොආයේ ය.”

“මා දරු සිඟිත්තෝ මා හට අප්‍රිය නොවෙත්. මද්දී දේවිය ද අප්‍රිය නොවෙත්. වැලිදු සර්වඥ බව ඒ හැමට වඩා මා හට ප්‍රිය යැ. ඉතා ප්‍රිය වූ මා අඹුදරුවන් දන් දුන්නේ එහෙයිනි”

ඉක්බිති මහසත් තෙමේ ‘මද්දී තිට කෙබඳුදැ’ යි අසා ඇගේ මුව දෙස බැලීය. එසඳ ඕ “මාගේ රාජපුත්‍රයන් වහන්ස, කුමක් නිසාවෙන් මදෙස බලනා සේක්ද?’ යි කියා සිනහ පතුරන්නී මෙසේ කීවාය.

“කුමරියක වූ මම් යම් කෙනෙකුන්හට ඇඹේණියක් වීම් ද, ඒ නුඹවහන්සේ මාගේ එකම හිමියාණෝ යැ. අධිපතියාණෝ යැ. ඉදින් නුඹවහන්සේ යෙමෙකු හට මා දන්දෙනු කැමති සේක්නම් ඔහුට මා දෙනු මැනව. ඉදින් හේ මා විකුණන්නේ නමුත් කම් නැත. නසන්නේ නමුත් කම් නැත!”

එසඳ සක්දෙව් තෙමේ ඔවුන්ගේ අතිශය නොකැළැල් පිවිතුරු චින්තාවලිය දැනැ ස්තූති ප්‍රශංසා කළේය. හේ මෙසේ කීය.

“භවත්නී, ලොවෙහි යම් දිව්‍ය වූ සැපයෙක් ඇත්ද, එසෙ මැ මානුෂීය වූ සැපයක් ඇද්ද මසුරුබව නමැති සතුරා විසින් ඒ හැම සැප වළකයි. නුඹ විසින් සිය අඹුදරුවන් දන්දීමෙන් මසුරු සතුරා දිනන ලද්දේය.”

“නුඹ විසින් හඬවන ලද්දී යැ මේ මිහිකත. නුඹේ යශෝරාවය නැඟ ඇත්තේය තවුතිසාව තෙක්. සියළු දෙවු බඹ පිරිස් අන්‍ය කතාවන් හැර නුඹගේ දානය පිළිබඳ කතා සල්ලාපයේම නිරතව හිඳිත්. “

” දිය නොහැකි දේ දෙන්නවුන්, නොකට හැකි දේ කරන්නවුන් අනුකරණය කෙරුමට අසත්පුරුෂයෝ අසමත්යහ. සත්පුරුෂයන්ගේ ධර්මය ඔවුන් හට වටහාගත නොහැක්කේය. එහෙත් සත්පුරුෂයෝත් අසත්පුරුෂයෝත් මනුලොවින් චුතවැ ගිය කල්හි සිය කම්ඵල විසින් වෙන් වෙන් වැ යන්නාහ. අසත්පුරුෂයෝ නිරයට යන්නාහ. සත්පුරුෂයෝ දෙව්ලොව යන්නාහ.”

“මෙසේ මහ වෙනෙහි හිඳ සිය දරුවනුත් ඇඹේණියත් දන් දුන්නෙහි ද, නුඹට එය දෙව්ලොවෙහිමැ විපාක දේවා! විපාකාවසානයේ මේසා ආශා ඇති උතුම් සර්වඥතාඥානයමැ ලැබේවා!’

“භවත් වෙසතුරු නිරිඳුනි, මේ මද්දී රජ දූ තෙපිටම ගැලපෙන්නීයැ. තෙපිත් මද්දී රජ දූටම ගැලපෙන්නාහුයැ. කිරි යම් සේද, දොවාගත් සංඛයද එසේ යැ. දෙකම පිවිතුරුයැ. සම පැහැ ඇත්තේයැ. එසෙයින්ම තෙපිදු මද්දීදු සමසිත් ඇත්තහු යැ. ඉතා මනායැ.”

මහළු බමුණු වේශයෙන් සිටි සක්දෙව් රජ මද්දී බිසව් නැවතත් වෙසතුරු නිරිඳුන්ටම පාවා දී දෙවුලොවට ගියේය.

දේවතානුභාවයෙන් ජුජකයා තමාගේ රට යැයි සිතා සඳ මහරජුගේ මාළිගා පරිශ්‍රයටම ගොස් නැවතුනේය. දරුවන් දෙදෙන නැවතත් සඳ මහරජු බාරයට ලැබුණු අතර මහ පිරිස් පිරිවරාගත් සඳ මහරජුත් ඵුසතී දේවියත් වහා වෙසතුරු නිරිඳුන් නැවත සියරටට කැඳවාගෙන එනු පිණිස මහ පෙරහරින් වංකගිරිය බලා ගියෝය.

ඈතින් දුවඑන සිඟිත්තන් දකිද්දී, මද්දී තොමෝ භූතාවේශ වූ එකියක සේ වේගයෙන් සැලෙමින් දරු වැළඳගනු පිණිස දිව ගියා ය. එසඳ ඇගේ තනයෙන් නික්මැ ගිය කිරි දහරින් දරුවෝ තෙමී ගියෝය. මහ හඬින් වැලැපෙමින් සැලි සැලී සිට සිහිසුන් වැ මිහිතලෙහි ඇදවැටුනාය. දරුවෝත් වේගයෙන් සිය මවු වෙත අවුත් සිහිසුන්වැ මවු මතමැ ඇදවැටුණෝය. එකල්හී මද්දී දෙතනෙන් නැගි කිරි දහර දරුවන්ගේ මුවෙහි වැටුණේය. ඉදින් මෙපමණෙකින් හෝ අස්වැසිල්ලෙක් නොලද්දේ නම්, ඒ දෙදරුහු හද වියැලී නැසී යන්නාහ. වෙසතුරු නිරිඳු ද සිය නෙතු සඟලවන්  දෙදරු දැක උසුලාගත නොහැකි ශෝක දුකින් එහිමැ සිහිසුන්වැ ඇදවැටුණේය. මෙය දුටු මාපියෝ ද උසුලාගත නොහැකි ශෝක දුකින් එහිමැ සිහිසුන්වැ ඇදවැටුණෝය. සැටදහසක් ඇමතියෝ  ද ඒ බැගෑ දුක උසුලාගත නොහැකිව පියොවින් සිටිය නොහැකිව යුගාන්ත සැඩපවනින් පහර ලද සල්වනයක් ඇදවැටෙන්නාක් සෙයින් සිහිසුන්වැ ඇදවැටුණෝය.

එකෙනෙහි වංකගිරියේ සියලු පර්වතයෝ බැගෑහඬ නැංවූහ. මිහිකත ද හඬන්නියක සේ සැලී ගියා ය. මහසමුදුර දැඩි පවනින් කැළඹී ගියේය. සිනේරු පර්වත රාජයා පහතට නැමී ගියේ ය. සදෙවුලොව ඒකකෝලාහල විය. මෙය දුටු සක්දෙව්තෙමේ ‘ක්ෂත්‍රීයයෝ සය දෙනාත් ඔවුන්ගේ සැටදහසක පිරිසත් සිහිසුන්ව වැටුණෝය. ඔවුන් අතරින් එකෙකු හෝ නැගිට දිය ඉසින්ට සමතෙක් එහි නැත්තේය. එහෙයින් මම් මැ ගොස් පොකුරු වැස්සෙක් වස්සවන්නෙමි’යි සිතා ඒ සය ක්ෂත්‍රීය සමාගමෙහි පොකුරු වැස්සෙක් වැස්සවීය.

ඒ වැස්සට තෙමෙනු කැමැත්තෝ තෙමෙත්. අකමැත්තෝ නොතෙමෙත්.

වෙසතුරු නිරිඳුන් වෙතත් මද්දී දේවිය වෙතත් රැස්වූ සියලු රටවැස්සෝ පාමුල්හි වැඳ වැටී මෙසේ ආයාචනා කළෝය..

“මහරජාණෙනි, නුඹවහන්සේ අපගේ අධිපතියාණන් වන සේක. දෙදෙන ම යළි සිවිරට අවුත් රාජ්‍ය විචාල මැනව”

සඳ මහරජු මෙසේ කීය.

“මා අදරැති පුත, නොකට යුත්තෙක් යැ මා අතින් කෙරුණේ. අභිවෘද්ධිය නැසූ බවෙක්යැ මා අතින් කෙරිණේ. අහෝ.. ඒ මම් සිවිරටවැස්සන්ගේ රළු බස් ගෙන නිදොස් තොප පිටුවහල් කළෙමි. “

“මා පුත, දරු විසින් සිය දිවි පරදුවට තබා හෝ මාපියන්ගේ සෝදුක් දුරැලිය යුත්තේයැ නුඹ. එහෙයින් පුත, මා බස් කරව. මේ සෘෂි වෙස් අත්හැර දමව. නුඹට උරුම වූ රාජවෙස් ගනුව”

වෙසතුරු නිරිඳු තෙමේ රජස් දැලි සෝධා හළේය. මැනැවින් ස්නානය කොට පවිත්‍ර වූයේය. පියෙවි වෙස් ගත්තේය.

ඵුසති දේවිය සිය ලෙහෙලිය වෙත අඩුනැතිව සියලු අභරණ, සළුපිළි එව්වාය. සුරළියන් පරදන රුවින් යුතු මද්දිය රාජශ්‍රීයෙන් බබලමින් සිය සිඟිත්තන්ද තුරුළුකරගනිමින් වෙසතුරු නිරිඳුන් අසලින් සිටගත්තීය. දෙවන වරටත් සුදුසේසත් නංවා උතුම් රාජාභිෂේකය ලදින් අපගේ මහබෝසත් වෙසතුරු නිරිඳුන් සිය පතිනිය වූ මද්දී බිසවුන්ද සමග දසරාජ ධර්මයන් මත මනාව පිහිටමින් සිවි රට අනුශාසනාකරමින් සිට මරණයාගේ ඇවෑමෙන් තුසී පුරය වෙත වැඩි සේක.

ඇසුර: ‘සිරිමත් වෙසතුරු දාව’ කෘතිය (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ)