ඡද්දන්ත ජාතකය
එක් කාලයක, හිමාල පර්වත රාජයාගේ සීතල හදවත බඳු ‘ඡද්දන්ත’ නම් විල් තෙර අහස් ගමන් ඇති මහා ඉර්ධිමත් ඇතුන් අටදහසක් වාසය කළා. ඔවුන් හැමට නායකයා වුනේ අප මහ බෝසත් ‘ඡද්දන්ත’ නම් ඇත් රජුයි. දිගින් යොදුන් සියයකුත් උසින් රියන් අසූඅටකුත් වූ අපගේ බෝසත් ඇත් රජුගේ ශරීරය මුළුමනින්ම සුදු පැහැයෙන් බැබළුනා. ඇත් මුව රතු පැහැයෙනුත් රියන් 58ක් දිග සොඬය රිදී පාටිනුත් බැබළුනා. රියන් 15ක වට ප්‍රමාණයෙන් යුත් දළ යුවල තිස් රියනක් දිගට වැඩී තිබුනා. ඒ දල යුගලයන්ගෙන් සවනක් රැස් විහිදුනා. මෙසේ අතිශයින්ම තේජාන්විත මහානුභාවසම්පන්න ඡද්දන්ත ඇත් රජු චූල සුභද්‍රා සහ මහාසුභද්‍රා නම් අගමෙහෙසි ඇතින්නියන් දෙදෙනෙකුගේ උපස්ථාන ලබමින් අටදහසක් ඇතුන්ට අනුශාසනා කරමින් වැඩ සිටියා.
නායක ඇත් රජු නන්දමූලක පර්වත බෑවුමේ වැඩ සිටි පසේ බුදුරජාණන් වහන්සේලා පන්සිය නමකට නිරන්තරයෙන් බොහොම ආදර ගෞරවයෙන් උපස්ථාන කරමින් රන්වන් ගුහාවක් තුළ ජීවත් වුණා.
දවසක් අපගේ බෝසත් ඇත් රජු ඇත්මුල සමග තමාගේ අගබිසව් ඇතින්නියන් දෙදෙනාත් පිරිවරාගෙන ඡද්දන්ත විල අසල සල් වනයට ඇතුළු වුනා. මුළු වනයම සල් මලින් පිරී ගොස් තිබුනා. සල් මල් සුවඳ වනය පුරාම පැතිරිලා හරියට සක් දෙවිඳුගේ නන්දන වනය වගෙයි. ඉතින් ඇත් රජුට හිතුනා අද සල් මල් ක්‍රීඩා කරන්ට අපූරු දවසක් කියලා. ඇත් රජු ඒ බව දැනුම් දුන්නම ඇත්මුල හරී සතුටින් කුංචනාද කරමින් ඒ අදහස එකහෙලාම පිළිගත්තා. ඇත් පිරිස ඒ මේ අත යමින් කැමති කැමති විදිහට විනෝද වුනා. මේ අතරේ අපගේ බෝසත් ඇත් රජු මුල පටන් අගටම මලින් පිරිල තිබුන සල් ගසකට කුඹෙන් පහරක් දුන්නා. ඒ වෙලාවේ චූල සුභද්‍රා ඇතින්න හිටියේ ඇත් රජුට ටිකක් එහායින් වෙන්ට උඩුසුළඟ පැත්තට වෙන්ටයි. ඇත් රජු සල් රුකට පහර දෙද්දී ඒ සල් රුකේ දිරාගිය අත්තක තිබුන දිමි ගොට්ටක් දිරාගිය අත්තත් එක්කම චූල සුභද්‍රා ඇතින්නගේ ඇඟට වැටුනා. මහා සුභද්‍රා ඇතින්න හිටියේ යටි සුළඟ පැත්තෙයි. ඒ නිසා සුවඳ සල්මල් රේණු මහා සුභද්‍රා ඇතින්නගේ ඇඟට වැටිලා ඈ මල් රේණු වලින් වැහිල ගියා.
හිතා මතා නොකලත් තමාගේ ඇඟට දිමි ගොට්ටක් වැටෙන්ට වලස්වලා මහා සුභද්රාවන්ගෙ ඇඟට මල් රේණු වැටෙන්න සැලසුම් කළා කියල චූල සුභද්‍රා ඇතින්න ගොඩාක් කේන්ති ගත්තා. නමුත් ඇත්තටම ඒක සිතාමතා කළ එකක් නෙවෙයි. නමුත් ඈ ඒ ගැන හිතුවෙ එහෙමයි.
තවත් දවසක ඇත් රජු ඇත් මුල සමග ජලක්‍රීඩා කරන්ට ඡද්දන්ත විලට බැස්සා. තරුණ ඇතුන් දෙදෙනෙක් සැවැන්දරා මුලක් ගෙන හොඳ හැටියට ජල ක්‍රීඩා කරමින් විනෝද වෙන්ට පටන් ගත්තා. ඔවුන් ගොඩට ආ පසු ඇතින්නියෝ දෙදෙනාත් ස්නානය කරලා බෝසත් ඇත් රජු දෙපැත්තෙන් ඇවිත් සිට ගත්තා. ඇතුන් අටදහසම එකතු වෙලා චද්දන්ත විලෙන් නොයෙකුත් සුවඳ මල් කඩන් ඇවිත් බෝසත් ඇත් රජුව සැරසුවා. ඇතින්නියන් දෙදෙනාවත් සැරසුවා. එක ඇතෙන් විලේ තිබුන විශාලම පියුම කඩන් ඇවිත් ඒක බෝසත් ඇත් රජුට දුන්නා. ඇත් රජු ඒ පියුමෙන් පියුම් රේණු ටිකක් තමාගේ කුම්ඹස්තලයට වගුරුවාගෙන ඒ මල මහා සුභද්‍රා ඇතින්නට දුන්නා. චූල සුභද්‍රා ඇතින්න ඒ ගැනත් තරහ ගත්තා. බෝසත් ඇත් රජු ගැන වෛර බැඳගත්තා.
තවත් දවසක බෝසත් ඇත් රජු මිහිරි ඵලවැල, නෙළුම් අල, නෙළුම් රේණුවල පැණි ආදිය එකතුකරගෙන පන්සියයක් පසේ බුදුරජාණන් වහන්සේලා වැළඳෙව්වා. චූල සුභද්‍රා ඇතින්නත් තමාගේ කොටසින් පසේ බුදුරජාණන් වහන්සේලා වැළඳෙව්වා. ඒ පූජාවේ ආනිශංස සිහිකරගෙන ඈ මෙසේ ප්‍රාර්ථනා කළා.
“මේ පූජාවේ ආනුභාවයෙන් මට මෙයින් චුතව මධුරාජ කුලයේ සුභද්‍රා නමින්ව ඉපදෙන්ට ලැබේවා. මම බරණැස් රජුගේ මෙහෙසිය වෙම්වා. මා බරණැස් රජුට ප්‍රිය වෙම්වා. මා සිතන ඕනෑ දෙයක් කර දෙන්ට ඒ රජ කැමති වේවා. වැද්දෙකු ලවා මේ ඇත් රජා විෂ කවපු හීයකින් විද මරා මොහුගේ සවණක් රැස් විහිදෙන ඇත් දළ යුගලය කපාගෙන විත් මා අතට පමුණුවා ගැනීමට මට හැකි වේවා!”
ඈ අතිශය දුෂ්ඨ සිතින් ඇත් රජු ගැන නොසන්සිඳුන වෛරයකින් මේ විදිහේ දැඩි නපුරු ප්‍රාර්ථනාවක් කළා.
එදා පටන් ඈ ගොදුරු ගැනීම වර්ජනය කළා. වැඩිකල් නොගොස්ම ඈ කලුරිය කළා. ප්‍රාර්ථනා කරපු අයුරින්ම ඈ මධුරාජ කුලයේ ඉපදිලා නිසි කාලෙදී බරණැස් රජුගේ අග මෙහෙසිය බවට පත් වුනා.
ඇයට පෙර ආත්මය සිහිකිරීමේ හැකියාව පහළවුනා. ඇයට තමා පෙර කළ ප්‍රාර්ථනාවත් සිහිපත් වුනා. ඒ වගේම අපගේ බෝසත් ඇත් රජු ගැනත් මහා සුභද්‍රාව ගැනත් සිහිපත් වුනා. අළුයට තිබුණ ගිණිපුපුරු වගේ ඇගේ හිතේ වෛරය අළුත් වුණා. ඒ වෛරය තදින්ම හිතට කා වැදුනා. පළිගැනීමේ සිතින් ඈ ඊට අවශ්‍ය සියල්ල සූදානම් කළා.
ඈ තමාගේ සිරුර තෙලින් මැඩ කිළිටි සළුවක් ඇඳ ගත්තා. ඇඳේ වැතිරුණා. තමා බොහෝ ගිලන් බව දන්වලා රජතුමාට පණිවුඩයක් යැවුවා. රජතුමා වහා ඈ අසලට පැමිණියා. ඇගේ පිට ආදරයෙන් පිරිමදිමින් මෙසේ කීවා.
“රත්තරන් පාටින් බබළන මා ප්‍රියාවිය, ඇයි මේ ශෝකයෙන්? ඔබ හොඳටම කෙට්ටු වෙලා. ශරීරය පඬු ගැහිලා. මලානික වෙලා. ඇයි මේ?”
එවිට ඈ මෙසේ කීවා.
“අනේ මගේ හිමි සඳුනි, මට දොළක් උපන්නා. ඒ දොළ ලේසියකට සන්සිඳුවන්ට බෑ. අනේ ඒ හන්දා මම මේ ඉන්නෙ බොහෝම දුකෙන්.”
කපටි ඈ තව තවත් ශෝකී මුහුණක් මවාගෙන මෙසේත් කීවා.
“මහ රජ්ජුරුවන් වහන්ස, මගේ මේ දොළදුක ඉටුකරගන්ට බැරිබව මම හොඳාකාරවම දන්නවා. කමක් නෑ. මම මැරිල යන්නම්. ඔබතුමා දුක්වෙන්ට කාරි නෑ”
දේවියගේ මායාවෙන් හොඳටම අන්ධවෙලා හිටපු රජතුමා මෙසේ කීවා.
“මා ප්‍රිය දේවිය. ඔහොම කථාකරන්ට එපා. මම මේ රටේ රජතුමා. ඉතින් මට ඉෂ්ඨ කරන්ට බැරි දොළක් කොහේ තියෙන්ටද? දේවිය, මම ඔබේ දොළ සන්සිඳුවනවාමයි. තවත් පසුබාන්නේ නැතිව ඉතින් මට කියන්ට.”
“මහ රජ්ජුරුවන් වහන්ස, එහෙනම් ඔබ වහන්සේ මේ රටේ ඉන්න ඔක්කෝම වැදි පුරුෂයන්ව රජ මිදුලට එකතුකරන්ට. මම ඔවුන් ඉස්සරහ මගේ දොල ගැන කියන්නම්”
රජතුමා එකපයින් ඇගේ අදහසට එකඟ වුනා. වහා සියළු වැදි පුරුෂයන් රජ මිදුලට රැස් කළා.
සුභද්‍රා බිසව තමන්ගේ මනදොළ ඉටුගරගන්ට මෙසේ පළමු පියවර තැබුවා.
වැදි පිරිස හැටදහසක් වුනා. ඒ අතර එක වැද්දෙක් කැපී පෙනුනා.
ඔහුගේ දෙපා දෙපසට හැරවී තිබුනා. බත් මුල් වගේ පිම්බුන පා කෙන්ඩා තිබුනා. තඹ පාට දත් පෙළක් ඔහුට තිබුනා. ඔහුගේ පෙනුම හරිම ගොරහැඬී. හරිම පිළිකුල් සහගතයි. ඔහුගේ නම ‘සෝණුත්තර’. ඔහුත් බොහෝ කාලයක පටන් බෝසතාණන් වහන්සේ ගැන වෛරයෙන් ආ කෙනෙක්. දේවිය ඔහු දුටු වහා ‘මොහුටනම් මේ කාර්ය හරියටම කළ හැකියී’ කියල දේවියට සිතුනා. ඈ මහ රජුට දන්වලා ඔහුව කැඳවාගෙන ප්‍රාසාදයේ සත්වෙනි මහලට නැංගා. සී මැදුරු කවුළුවෙන් ඈත හිමාලය දිහාවට අත දිඟු කරගෙන මෙසේ කියා හිටියා.
“මෙයින් උතුරු දිශාවට කෙලින් පර්වත සතක් තිබෙනවා. ඒවා ඉක්ම ගියාම රත්තරන් පාට විශාල පර්වතයක් තිබෙනවා. ඒ පර්වතයේ තමා කිඳුරන් වාසය කරන්නේ. ඒ කිඳුරන්ගේ වාස භූමිය ඇති පර්වතයට නැග හොඳින් පහළ බලව. මහා වළාකුලක් වගේ විශාල නුග රුකක් එහි ඔබට පෙනේවි. ඒ නුග රුක පාමුල එක් ඇත් රජෙක් වාසය කරයි. ඔහුගේ ඇත් දළ යුගලෙන් සවනක් රැස් විහිදෙයි. සුදෝ සුදු ඒ ඇත් රාජයා ඒ නුග රුක මුලමයි වාසය කරන්නේ. ඔහු ලේසියෙන් කාටවත් අල්ලන්ට බෑ. සුළං වේගයෙන් දුව යන රථ රෝදයක් සා විශාල ඇත් දළින් යුක්ත අටදහසක ඇත් පන්තියක් ඒ රාජ හස්තියාට දිවා රෑ රැකවල් දීගෙනයි සිටින්නේ. වේගවත් හුළං ගැනත් කිපෙන ඒ ඇත් පංතිය මනුෂ්‍යයෙක්ව දුටුවොත් දවා අළු කරන තරම් ඉර්ධියකින් යුක්තයි. ඒ ඇත් පංතියට මිනිසෙක් අසු වුනොත් ඔහුගෙ දූවිල්ලක්වත් ඉතිරි වෙන්නෙ නෑ. මට ඒ ඇත් රාජයාගේ රැස් විහිදෙන දළ යුවල ගැනයි දොල උපන්නේ. නුඹ කලයුත්තේ ඇත් රජු මරා මට ඒ දළ යුවල කෙසේ හෝ ලබා දීමයි.”
දේවිය මෙසේ කියාගෙන යද්දී වැද්දා බයෙන් තැති ගත්තා. කිසිලි වලින් දාඩිය වැගිරෙන්ට ගත්තා. ඔහු ගොත ගසමින් මෙසේ කීවා.
“අනේ පින්වත් බිසොවුන් වහන්ස, මේ මාළිගාවේ නුඹවහන්සේට ඕනවටත් වඩා රන්, රිදී මුතු මැණික් තියෙනවා නොවෑ. නැතැයි කියන්ට ආභරණයක් නුඹ වහන්සේ ලඟ නැති තරම් නොවෑ. ඉතින් ඇත් දළින් කල පළඳනා අසවල් දේකටද? ඇත්තටම සවනක් රැස් විහිදෙන ඒ ඇතු මරවන්ටද, නැතිනම් අපව මරවන්ටද නුඹ වහන්සේ මේ සිතා සිටින්නේ?”
එවිට දුෂ්ඨ දේවිය මෙසේ කීවා.
“බොල වැද්ද, අසව. මට ඒ ඇත් රජා ගැන තද ඉරිසියාවක් ඇත. ඔහු නිසා මා බොහෝ දුකට පත්වුනා. මා බොහෝ දුකින් ජීවත් වුනා. මම තොපට ගම්වර පහක් දෙනවා. ඉල්ලන ඉල්ලන දේ දෙනවා. වහා පල. මාගේ දොළ මුදුන් පමුණුවා දෙව.”
වැද්දා ඇගේ වචනය පිළිගත්තා. මෙසේ කීවා.
“බිසවුන් වහන්ස, ඒ ඇතා කොහිද නහන්නෙ? කොහේද නිතරම හැසිරෙන්නෙ? ඔහු යන එන තැන් මං කොහොමද හරියටම දැන ගන්නෙ?”
බිසව මෙසේ කීවා.
“එම්බා වැද්ද, ඇත් රජා සිටින තැන මහා විලක් ඇත. ඇත් රජා, මහා සුභද්‍රා නම් ඇත් රාජිණියත් අට දසක ඇත් සේනාවත් සමග ඔය විලෙයි ස්නානය කරන්නේ. දිය ක්‍රිඩා කරන්නෙත් ඔය විලේමයි.”
නපුරු දේවිය කහවණු දහසක පසුම්බියක් වැද්දාට දුන්නා. මෙසේත් කීවා.
“දැන් නුඹ පල. තව හරියටම සතියකින් නුඹ මා කීව කරන්ට හිමාලයට යා යුතුයි.”
වැද්දා යවා දේවිය කම්කරුවන් කැඳෙව්වා. මෙසේ අණ කළා.
“දරුවෙනි, වෑ, පොරෝ, උදලු, නියන් ඈ එකී මෙකී නොකී සියළු දෑ සකසා ගනුව. වහ වහා කටයුතු සම්පූර්ණ කරව”
ඈ මෙසේත් කීවා.
“නුඹලා, වළං දමා ඔසොවාගෙන යා හැකි තරමේ හයිය ඇති සම් මළු සාදව. සම් යොත්, සම් වරපට, අත් පා ගැට ගසන සම් වළලු, සම් කුඩ ආදියත් ඉක්මන්කොට සාදව. සාදා වහා මාවෙත රැගෙන වර.”
පවිටු දේවිය අණ කළ දෑ ලැබුනු වහා ඒ සියල්ල සම් මල්ලකට දැම්මා. මග වියදමට අවශ්‍ය මාර්ගෝපකරණ ආදියත් ඊට එකතු කළා. වැද්දා ආ පසු ඒ මල්ල ඔසවන්ටැයි අණ කළා. ඒ මල්ල සුළු පටු බරකින් යුක්ත එකක් නොවේ. නමුත් ඇත්තු පස් දෙනෙකුගේ හයිය ඇති වැද්දා ඒ මල්ල බුලත් මඩිස්සලයක් ගන්නක් සේ ඉතා පහසුවෙන් උසුලා ගත්තා. දුෂ්ඨ දේවියට බොහෝම සතුටුයි. ඈ වැද්දාගේ දරුවන්ට තෑගි බෝග දී සතුටු කරවා යැවුවා. වැද්දාව වනයට පිටත් කළා.
අතිශයින්ම දුෂ්කර වනමාර්ගය ගෙවාගෙන වැද්දා අපගේ බෝසත් ඇත් රජු වාසය කරන භූමියට පැමිණුනා. ඒ මාර්ගය කොතරම් දුෂ්කර වූවාද කියතොත් ඔහුට මහබෝසත් ඇත් රජු වසන තැනට එන්ට අවුරුදු සතකුත් මාස සතකුත් දින සතකුත් ගත වුනා. නමුත් එතරම් දුර ගෙවාගෙන ක්‍රෝධ බහුල ඔහු එවැනිම ක්‍රෝධ බහුල බිසවගේ වචන අසා බෝසත් ඇත් රජු මරා දළ යුගලය ගන්ට හිමාලයට පැමිණියා.
වැද්දා ඒ මග ගෙවාගෙන ආවෙත් දුෂ්ඨ දේවිය කියාදුන් ක්‍රමයෙන්මයි. දැන් ඔහු ඇත් රජු මරන්ට උගුලක් අටවයි. එයත් දුෂ්ඨ දේවිය කියා දුන් ක්‍රමයටමයි.
ඔහු වළක් කැණ කසාවතක් පොරොවාගෙන අධික විෂ පෙවූ හීයක් මානාගෙන ඒ වළ ඇතුලට වැදුනා. ඒ අපගේ බෝසත් ඇත් රජු ජල ක්‍රීඩා පිණිස යන මාර්ගයෙයි. වල මතුපිටින් හොඳින් වසා තිබුනු නිසා ඒ වග බෝසත් ඇත් රජුට හඳූනාගන්ට බැරි වුනා. බෝසත් ඇත් රජු ඒ වල මතම පැමිණ සිට ගත්තා. වැද්දා වේගයෙන් හීයක් ඇත් රජුගේ කුස හරහා විද්දා. විත් පහර කත්ම බෝසත් ඇත් රජු ගුගුරා කුඤ්චනාද කළා. ඒ හඬ අසා අටදහසක මහා ඇත් සේනාව හිස් ලූ ලූ අත දිවෙන්ට ගත්තා. හී පහර ආවේ අන් කිසිම දිශාවකින් නොවෙයි තමාගේ කුසට යටින්මයි’ කියා දැනුනු ඇත් රජු බිම බලත්ම වැද්දා පොරවගෙන හුන්නු කසාවත දුටුවා. පසේ බුදුරජාණන් වහන්සේලාගේ සඥ්ඥාව නිසා ඇත් රජු වැද්දාව දැක දැකත් නිශ්ෂබ්දව වේදනාව දරාගෙන සිටියා. අටදහසක ඇත් සේනාව පළා ගියත් මහා සුභද්‍රා ඇතින්න අපගේ බෝසත් ඇත් රජු ළඟින් නොසෙල්වී එතනම සිටියා. තමාගේ ඇත් බිසව වැද්දා ගැන දැන ගත්තොත් ඒකාන්තයෙන්ම ඔහුව මරා දමන බව දන්නා ඇත් රජු උපායෙන් ඈව තමා අසලින් පිටත් කරවා යැවීමට මෙසේ කීවා.
“සුභද්රාවෙනි, නුඹ ඇයි මා ගැන ආලයක් නැතිව ඉන්නෙ? අටදහසක් ඇත් සේනාව මාගේ සතුරා සොයා යද්දී නුඹ විතරක් මෙතන කුමක්ද කරන්නේ?”
එවිට සුභද්‍රා ඇතින්න මෙසේ කිවා.
“දේවයිනි, මම නුඹ වහන්සේගේ දුක උසුලමින් මෙහිම රැඳී සිටියෙමි. මට ඒ ගැන කමා වුව මැනව.”
ඈ තුන් වරක් ඇත් රජුව පැදකුණු කර සිව් තැනක දණ ගසා වැඳ අහසින් පිටත් වුණා. ඈ පිටත් වූ වහා අපගේ බෝසත් ඇත් රජු බිම බැලුවා. සෝනුත්තර වැද්දාට මෙසේ කීවා.
“කෙලෙස් කසටින් පිරී සිටිනා යමෙක්
ඉන්ද්රිය දමනයෙන් හා සැබෑ බසිනුත් තොර නම්
අරහත් ධජය වන කසාවතක් දරයි නම්
ඔහුට එය පොරොවන්ට කිසි සුදුසුකමක් නැත”
“සීලයෙහි පිහිටා, සමාහිත සිත් ඇතිව
විදසුන් නුවණ මෙහෙයවා, කෙලෙසුන් ද වමාරා
ඉන්ද්රිය දමනයත් සැබෑ බසත් ඇද්ද යමෙකුගෙ
අරහත් ධජය වන කසාවත ඔහු දරයි නම්
ඔහුට එය පොරොවන්ට ඉතාමත් සුදුසු ය”
“මිත්‍රයා, ඇත්ත කියාපං. ඇයි නුඹ මට විද්දේ? නුඹ ඇත්තටම නුඹේ උවමනාවකටද විද්දේ? නැත්නම් වෙනත් කෙනෙකුගේ කීමකටද නුඹ මේක කළේ?”
එවිට වැද්දා බරණැස් රාජ දේවිය තමාට මෙය කරන්ට කී වගත් අනෙක් සියලුම කථාත් ඇත් රජුට කියා හිටියා. එවිට ඇත් රජු මෙසේ කීවා.
“මගේ පියවරුන්ගේ මුත්තණුවන්ගේ
බොහෝ උතුම් ඇත් දළ එහි ඇති වග ඈ දනී
ක්‍රෝධ බැඳගත් ඈ අන්ධබාලයි නොවෑ
වෛරයෙන් යුතු ඇයට මා මරාගන්ටයි ඕනෑ”
“නැගී සිටගනු වැද්ද, මෙහි ගෙන එව කියත
මා මැරෙන්ට පෙර මේ දළ යුගල සිඳලව
ක්‍රෝධ බැඳගත් රජදූට නිසැකව ම මෙය කියව
‘ඒකාන්තයෙන්ම ඇත් රජා මැරුණා
මෙන්න ඒ ඇත් රජුගේ දළ යුග”
ඇත් රජුගේ වචනය පිළිගත් වැද්දා වළෙන් එළියට ආවා. නමුත් ඇත් රජු රිදී පර්වතයක් වගේ උසින් යුතු නිසා ඔහුට තනිවම ඇත් රජුගේ දළ යුවල කපා ගන්ට නොහැකි වුනා. අපගේ බෝසත් ඇත් රජු බිම දණ ගසාගෙන හිස පාත් කොට තබා ගත්තා. එවිට වැද්දා රිදී දමක් වගේ හොබනා අපගේ බෝසත් ඇත් රජුගේ හොඬය කකුලෙන් පාගාගෙන ඇත් රජාණන්ගේ කුම්බස්ථලයට නැග මුඛයේ කෙලවර ඇත් දළය ආරම්භවෙන තැන මසට දුනු මිටියෙන් වැරෙන් පහර දුන්නා. ඉන්පසු කුම්බස්ථලයෙන් බැස කියත මුව තුලට දමා, අත් දෙකින්ම තදකරමින් කියත ඔබ මොබ අදින්ට ගත්තා. අපගේ මහ බෝසත් ඇත් රජාණන් ඒ බලවත් වේදනාව ඉවසා සිටියා. ඇත් රජුගේ මුව ලෙයින් පිරී ගියා. වේදනාවෙන් කොතරම් පීඩිත වුනත් ඉවසාගෙනම සිටියා.
වැද්දා එහෙට මෙහෙට පනිමින් උත්සාහ කළත් දළ කපන්ට නොහැකි වුනා.
ඇත් රජු මුවෙන් ලේ බැහැර කොට වේදනාව ඉවසුවා. මෙසේ ඇසුවා.
” ඇයි මිතුර, දළ සිඳින්ට බැරිද? හිටින්ට, මම උදවු කරන්නම්. මගේ සොඬ ඔසවා කියතේ කෙලවරක් දෙන්න. මට තනිවම සොඬය ඔසවාගන්න දැන් හයියක් නෑ.”
වැද්දා ඒ කී විදිහටම කළා. ඇත් රජු කියතේ එක් කොණක් අල්ලා ගත්තා. වැද්දා අනිත් කොණ අල්ලා ගත්තා. දෙපසට අදිමින් දළ කපන්ට පටන් ගත්තා. ඇත් රජුගේ දෙදළ මුලින්ම සිඳී ගියා.
ඇත් රජු තමාගේ දළ දෙක සොඬයේ රඳවා මෙසේ කීවා.
“මිතුර, තොපට මේ දළ දෙන්නේ දළ වලට ඇති ආසාව නැති නිසා නොවෙයි. සක් දෙව් පදවිය හෝ මාර පදවිය හෝ බ්‍රහ්ම පදවිය හෝ පතාගෙනත් නොවෙයි. ඒකාන්තයෙන්ම මේ දළ යුගලයට වඩා සිය දහස් ලක්ෂ කෝටි ගුණයෙන් සර්වඥ්ඥතා ඥානයම මට වටී. මට මේ දළ යුගල දන් දීමේ පින සර්වඥ්ඥතා ඥානය පිණිසම වේවා!”
“මිතුර, නුඹට මෙහි එන්ට කොපමණ කාලයක් ගියාද?”
“අනේ ස්වාමීනී, සත් වසරකුත් සත් මසකුත් සත් දිනක් ගත වුනා”
“එසේනම් ඔය දළ යුගලේ ආනුභාවයෙන් නුඹ සත් දිනක් ඇතුලත නැවතත් බරණැස බලා යාවි. සුභද්‍රා ඇතින්නත්, මාගේ පිරිවර ඇතුන් අටදහසත් එන්ට පෙර නුඹ වහා පිටත්වී යන්ට” යී කියා සෙත් පතා බෝසත් ඇත් රජු වැද්දාව වහා පිටත් කර යැව්වා.
අහෝ අපගේ සුභද්‍රා ඇත් රාජිණියත් අටදහසක ඇත් සේනාවත් දිශා අනුදිශාවන්හි සතුරා සොයා ගියත් සම්බ නොවුනුකළ නැවතත් හැරී ආවා. ඒ එන විටදී අපගේ මහ බෝසත් ඇත් මහ රජු ජීවිතයෙන් සමුගෙන අවසන්. ප්‍රාණය නිරුද්ධ ඇත් කය ලේ විලක් මැද වැටී තිබුණා. දුක වාවා ගත නොහී සුභද්‍රා ඇතින්නත් අට දහසක ඇත් සේනාවත් මහ හඬින් උස් හඬින් අහස ගුගුරන්නාක් සේ පොළොව පැළී යන්නාක් සේ කුන්ඡනාද කළා. අපගේ බෝසත් ඇත් රජු ජීවත්ව සිටිද්දී උපස්ථාන කළ පන්සියයක් පසේ බුදුරජාණන් වහන්සේලා ඇත් රජුගේ දේහය අසළට වැඩම කොට වදාළා. එකෙනෙහි තරුණ ඇතුන් දෙදෙනෙක් තමන්ගේ දළ යුගලෙන් ඇත් රජුගේ සිරුර ඔසවාගත්තා. පසේ බුදුරජාණන් වහන්සේලාට වැන්දෙව්වා. සුවඳ දර රැස්කොට ආදාහනය සිදු කළා. පසේ බුදුරජාණන් වහන්සේලා මුළු රැය පුරා ධර්මය සජ්ජායනා කළා. චිතකය දැවී නිවී ගිය විට අටදහසක් ඇතුන් විලට බැස නා, මහා සුභද්‍රා ඇතින්න පිරිවරා දුකින් පීඩිතව තමන් වසන රන් ගල් ගුහාවට පිටත් වුනා.
සෝනුත්තර වැද්දා සත් දිනක් යන්ට මත්තෙන්ම බරණැසට සේන්දු වුනා. දළ යුගලය බිසවට දෙමින් මෙසේ කීවා.
“අයියෝ, නුඹ වහන්සේනම් හරි අපරාදයක් නොවෑ කරගත්තේ. පෙර ආත්මෙක ඇත් රජු අතින් නොදැනුවත්වම සිද්ද වුන ඉතා සුළු වැරැද්දක් නිසා ආඝාත බැඳගෙන මේ සා දෙයක් කෙරෙව්වා නෙව. ඇත් රජා මට කීවා මං ඇත් රජා මැරූ විට ඔහු මියගිය වග නුඹවහන්සේට කියන්ටැයි කියලා. බිසවුන් වහන්ස, ඒ ඇත් රජු මිය ගිය වග මම මෙසේ දැනුම් දෙමි. මේ තියෙන්නේ ඔහුගේ දළ යුගලයි. මනාව දැක්ක මැනව.”
බිසව අතට පත් වූ දළ යුගලය දෙස ඈ නෙත් දල්වා බලා සිටියා. ඇයට තමා කල අපරාධය තෙරුම් ගියා. සවනක් රැස් විහිදෙන ඇත් දළ යුවල සිය උකුල මත තබාගෙන හඬා වැලපුනා.
“අයියෝ මම කරගත්ත දෙයක්! අයියෝ මම වගේ පව්කාරියක්! මාගේ ස්වාමී වූ ඒ ඇත් රජුව පවිටු මා මරා ගත්තා නෙව. අහෝ මා කළ අපරාදයක තරම!”
ඈට බෝසත් ඇත් රජුගේ ගුණ කඳ සිහිවෙන්ට සිහිවෙන්ට දුක දරාගත නොහැකි වුනා. ශෝකයෙන් වියරු වැටුණු ඇගේ හදවත පැලී ගියා. ඈ ඒ මොහොතේම මරණයට පත් වුණා.