සෝණා මහ රහත් තෙරණින් වහන්සේ

එකල සැවැත් නුවර දරුවන් දස දෙනකු ඇතිගෘහණියක් වාසය කළාය. ඇයගේ ජීවිතයේ ඇය නිරන්තරයෙන් නියැලී සිටියේ දරු ප්‍රසූතිය, කිරි දීම සහ දරුවන් ඇති දැඩි කිරීම, ඔවුන්ට අධ්‍යාපනය ලබා දීම සහ ඔවුන් සඳහා විවාහ ගිවිස ගැනීම ආදී කටයුතුත් සමග ය. ඇගේ මුළු ජීවිතයම ඇගේ දරුවන් මත කේන්ද්‍රගත වූ අතර, ඇය ‘බොහෝ දරුවන් ඇති සෝණා” ලෙස හඳුන්වනු ලැබුවා ය . එක් පවුලක මෙතරම් දරුවන් සිටීම නූතනයේ අපට තරමක් අමුතු දෙයක් ලෙස පෙනෙනු ඇත, නමුත් අතීතයේ මෙය කිසිසේත් ම අසාමාන්‍ය දෙයක් නොවී ය.

සෝනාගේ ස්වාමිපුරුෂයා බුදුරදුන්ගේ සැදැහැවත් ගිහි ශ්‍රාවකයෙක් විය. ගෘහපතියෙකු ලෙස වසර ගණනාවක් සිල්පද ඉතා ඕනෑකමින් සමාදන් වූ ඔහු පාරිශුද්ධ ජීවිතයකට සම්පූර්ණයෙන් ම කැපවීමට තීරණය කළ අතර, ඔහු පැවිදි බව ලබා ගත්තේ ය. සෝණා ට මෙම තීරණය පිළිගැනීම පහසු නොවූවත් ඇය පසුතැවිල්ලෙන් හා ශෝකයෙන් කාලය නාස්ති නොකර වඩාත් භක්තිමත් ජීවිතයක් ගත කිරීමට තීරණය කළාය. ඇය තම දරුවන් දස දෙනා එක්රැස් කර, ඇගේ සැලකිය යුතු ධනය ඔවුන් වෙත පවරා, ඇයට අවශ්‍ය දේ පමණක් සපයන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා ය.

ටික කලක් මෙම ක්‍රමය හොඳින් සිදු විය: ඇයට ප්‍රමාණවත් සහයෝගයක් දරුවන්ගෙන් ලැබුනු අතර ආගමික කටයුතුවල කාලය ගත කිරීමට ඇයට හැකි විය. නමුත් වැඩි කල් යන්නට මත්තෙන් මහලු කාන්තාව තම දරුවන්ට සහ ඔවුන්ගේ සහකරුවන්ට සහකාරියන්ට බරක් විය. ඔවුන් කිසි දිනක තම පියා පැවිදි බිමට ඇතුළත් වීමට ගත් තීරණය පිළිගෙන නොතිබූ අතර, ඊටත් වඩා අඩුවෙන් ඔවුන් තම මවගේ ආගමික භක්තිය ගැන සැලකූ හ. ඇත්ත වශයෙන්ම, ඔවුන් සිතුවේ ධනයෙන් මිලදී ගත හැකි සැප සම්පත් අත්හැරීම නිසා තම දෙමාපියන් මෝඩයන් ලෙස ය. ඔවුන් ඔවුන්ගේ දෙමාපියන් මානසිකව අස්ථාවර ආගමික උන්මත්තකයින් ලෙස සැලකූ අතර, ඔවුන් මවගේ ආගමික නැඹුරුව කෙරෙහි ගෞරවයෙන් බලනවා වෙනුවට අවඥාවෙන් බැලූ හ.

ඔවුන් මාපියන්ගෙන් ලද සියලු ධනය සහ වසර ගණනාවක් ඇය ඔවුන් කෙරෙහි දැක්වූ සැලකිල්ල වෙනුවෙන් ඔවුන් තම මවට කෙතරම් ණයගැති විය යුතු දැයි ඔවුන් සිතුවේ නැත. තමන්ගේ පහසුව ගැන පමණක් බැලූ ඔවුහු මහලු කාන්තාව කරදරයක් සහ බරක් ලෙස සැලකූ හ.

“…. කතඤ්ඤූ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මි.”

“පින්වත් මහණෙනි, කෙළෙහිගුණ දන්නා වූ, කෙළෙහිගුණ සළකන්නා වූ පුද්ගලයා ලෝකයෙහි දුර්ලභය”

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාල මේ කාරණය සෝණා මාතාවගේ කථාවෙන් මොනවට ප්‍රකට වේ.

තම ස්වාමිපුරුෂයාගෙන් වෙන්වීමට වඩා සෝනාට ඇගේ දරුවන්ගෙන් ලැබුණු නින්දිත සැලකීම වේදනාකාරී විය. ඇය තුළ ජීවිතය ගැන කළකිරුන සිතිවිලි බුර බුරා නැගෙන බවත්, තම දරුවන් කෙරෙහි නින්දා අපහාස සහ චෝදනා ඇගේ මනස තුළ සියුම්ව හටගන්නා බවත් බවත් ඇය දුටුවා ය. පිවිතුරු මව් සෙනෙහස ලෙස තමන් සිතූ දෙය ඇත්තටම සියුම් ලාභාපේක්ෂාවක් සමග මිශ්‍රව තිබුනාදෝහෝයි ඇය සිතුවා ය. ඒ ඇය සම්පූර්ණයෙන්ම තම දරුවන් මත යැපෙමින් සිටි අතර, ඉතා දිඟු කාලයක් තිස්සේ තම දරුවන් උදෙසා ම ඇය කාලය කැප කරමින් මහත් වෙහෙසක් ගත් නිසා තමා මහළු කාලයේ දරුවන් තමාව හොඳින් බලාගනීවී’යි ඇය තුල විශ්වාසයක් තිබූ නිසා ය. ඔවුන් තමා පිළිබඳ කෙලෙහිගුණ ඇතිවේයැයි සහ අනාගතයේ දී ඔවුන්ගේ කටයුතු සඳහා තමාව ඉතා ගෞරවයෙන් සම්බන්ධ කර ගනීවී යැයි ඇය සිතුවා ය. එසේ නම්, සැබවින්ම තම දරුවන් දෙස තමා බලා සිටියේ , මහළු වියේ තනිකම සහ අත්වාරුව සඳහා රක්ෂණයක් , ආයෝජනයක් ලෙස නොවේදැයි ඇය ඇගෙන් ම ප්‍රශ්ණ කළා ය. වස්තුව, බලය සහ රැකියාවන් මත රඳා නොසිට, තම දරුවන් මත පමණක් රඳා සිටීම ස්ත්‍රියකගේ ක්‍රමය බව ඇය එකල සිතුවා ය.

එක් අතකට භික්ෂුණියක් වී පරාර්ථකාමී ආදරය සහ ගුණවත්කම යන ගුණාංග තමන් තුල වර්ධනය කර ගත යුතුයැයි ඇය සිතුවා ය. ඇත්තටම සියල්ල උඩුයටිකුරු වී ගිය විට, සියලු ප්‍රාර්ථනා සුන් වී ගිය විට, තමාගේම දරුවන්ට තමාව එපා වී ගිය විට තවදුරටත් තමා නිවසේ සිටිය යුත්තේ ඇයි? ගිහි ජීවිතයක් ගත කල යුත්තේ ඇයි? ඇය සිතුවා ය. ඇය ගෘහ ජීවිතය කරදර සහිත, රජස් දූවිලි සහිත, පීඩාකාරී තැනක් ලෙස කෙමෙන් කෙමෙන් දකින්නට ගත්තා ය. භික්ෂුණියකගේ ජීවිතය ඒ හැම දේකින්ම මිදුනු දීප්තිමත් එකක් ලෙස ඇය දුටුවා ය. මෙසේ ස්වාමියා ගිය මාර්ගය අනුව යමින් ගෘහ ජීවිතයට සමුදුන් ඇය භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල භික්ෂුණියක් බවට පත් වූවා ය.

නමුත් මහලු කාන්තාවක ලෙස භික්ෂුණී සංඝයා අතරට ඇතුළු වූ ඇයට මේ නව පරිසරය තුළ බාධක හා අපහසුතා මතු වී ඒමට වැඩි කාලයක් ගත නොවී ය. ඇය නිවසේ දී යම් යම් දේවල් කිරීමට පුරුදු වී සිටි ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකින් භික්ෂුණීන් ඒවා කළ හ. එම නිසා ඇය තමාට වඩා බොහෝ ලාබාල අයගේ විවේචනයන්ට සහ අවවාද කිරීම් වලට භාජනය වෙන්ට සිදු විය.

ආර්‍ය වූ ජයග්‍රහණයන් කරා ළඟා වීම එනම්, විමුක්තියට පත් වීම එතරම් පහසු නොවන බවත්, භික්ෂුණියක් ලෙස ඇති වැඩපිළිවෙල තමා සිතූ තරම් පහසු කටයුත්තක් නොවන බවත් ඇය ඉක්මනට වටහා ගත්තා ය. ඇයට තම දරුවන් සමඟ ආරක්ෂා සහිත බවක් නොලැබුණා සේම, භික්ෂුණියක් ලෙස පැවිදි වීමත් සිතට ක්ෂණික සැනසීමක් ගෙන දුන්නේ නැත. ඇයගේ ස්ත්‍රී ස්වභාවය නිසා ම ඇය ඇතැම් දේවල් තවමත් තදින් අල්ලාගෙන සිටින බව ඇය තේරුම් ගත්තා ය. ඇගේ දුර්වලතා, සහජ ස්ත්‍රී දුර්ගුණ ඇයට ම පිළිකුල් සහගත  වූ අතර ඇය තව තවත් පුරුෂ ගුණ සඳහා ආශාවෙන් සිටියා ය. ලාමක ස්ත්‍රී දුර්ගුණ වලින් මිදීමට තමා කළ යුතු දෑ ද ඇය හොඳින් දැන ගත්තා ය. ඒ වන විට ඇය මේ ආකාරයෙන් වසරින් වසර දියුණු වූ චිත්ත සංකල්පනා පවත්වා ගනිමින් හොඳින් මනසිකාර කරමින් විමුක්තිය පිණිස උත්සහවත්ව සිටියා ය. එසේ නොකර, මේ වන තෙක් ඉතා දිඟු කාලයක් තිස්සේ පුරුදු කරමින් ආ ස්ත්‍රී දුර්ගුණ සමග මේ ගමන සාර්ථකව යා නොහැකි බව ඇය පිළිගත්තා ය. ඒ වන විට ඇයට නොතිබූ එකම පහසුකම වූයේ කායික ශක්තිය සහ නිරවුල් වටපිටාවයි. නමුත් සෝනා අධෛර්යමත් වූයේ නැත, මාර්ගය දුෂ්කර යැයි පසුබැස්සේ ද නැත.

ඇයගේ දුර්වල වයස සහ කායික අපහසුතා මත ජයග්‍රහණය ලබා ගැනීමට ඇයට දැඩි සටනක් කළ යුතු බව සෝණාට පැහැදිලි විය. සිහිකල්පනාව සහ ස්වයං නිරීක්ෂණ බුද්ධිය (යෝනිසෝ මනසිකාරය) පුරුදු පුහුණු කිරීම සහ ඇගේ ලාමක ස්ත්‍රී හැඟීම් වලට එරෙහිවීමට ඇය සතු විය යුතු ණුවන ඇගේ ජීවිතය හා බද්ධ කර ගැනීම අවශ්‍ය බව ඇය තේරුම් ගත්තා ය. ඇය ඇගේ හැඟීම්වලට යට වුවහොත්, අතීත මතකයන් තුල කාල් ගෑවෙමින් තවදුරටත් විසුවහොත් මේ දුර්ලභ මනුෂ්‍යත්වය ලැබීමේ, ඊටත් වඩා දුර්ලභ බුද්ධ ශාසනයක පැවිද්ද ලැබීමේ ඇති ප්‍රයෝජනය කුමක්දැයි ඇය දැඩිව සිතුවා ය. දහම් මග දියුණු කර ගැනීමට  සම්පූර්ණයෙන් කැපවීමට ඇය දැඩි සේ අධිෂ්ඨාන කළා ය.

සෝණා මහලු වියේදී ශාසනයට ඇතුළත් වූ නිසා ට බොහෝ දුෂ්කරතා මධ්‍යයේ දහම් මග හැසිරීමට සිදු වූවා ය. ඇය වශයෙන් නිදා ගනිමින් රාත්‍රීයේ සක්මන් භාවනාවෙන් සහ බොහෝ විට හිඳගෙන භාවනා කිරීමෙන් ගත කළා ය. ඇය රාත්‍රියේදී පහළ මාලයේ ශාලාවේ අඳුරේ ම සක්මන් භාවනාව පුරුදු කළා ය. ඇය  අඳුර නිසා පය පැකිලී නොවැටීමට කුළුණක් අල්ලාගෙන ඇගේ පියවර මෙහෙයවූවා ය. මේ ආකාරයෙන් ඇගේ වීරිය අතිශය ප්‍රබල එකක් විය. ධර්මාවබෝධය පිණිස ඇති උත්සාහය වේගවත් විය.

මෙසේ දැඩි වීරියකින් උත්සාහවත් වූ සෝණා තෙරණියෝ එසේ කණුව අලාගෙන සක්මන් කරමින් හුන් එක්තරා සන්ධ්‍යාවක දී සියළු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වූ සේක. ඒ පිළිබඳ ථෙරිගාථාවන්හි සහ අපදානයෙහි මෙසේ සඳහන් වෙයි.

“ඉක්බිති භික්‍ෂුණී අසපුවෙහි භික්‍ෂුණීහු එකලාවූ මා හැර, “දිය හුණු කරව” යි කියා ඔවා ඇසුමට ගියහ.

“එකල්හි දිය ගෙනවුත් සැලියෙහි වත්කොට උදුනෙහි තබා හිඳගත්තී, ඉක්බිතිව සිත එකඟ කෙළෙමි.

“ස්කන්ධයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, අනාත්ම වශයෙන්ද දැක සියළු ආශ්‍රවයන් සිඳ රහත්බවට පැමිණියෙමි.

“එකල්හි භික්‍ෂුණීහු අවුත් දිය විචාළහ. තෙජො ධාතු (කසිණය) ඉටා වහා දිය හුණු කෙළෙමි.

“විශ්මයට පත්වූ එම භික්‍ෂුණීහු බුදුරජුන්හට මෙම කරුණ ඇස්වූහ. එය අසා සතුටුවූ තථාගතතෙමේ මෙම ගාථාව වදාළ සේක.

“කුසීතවූ ලිහිල් විර්‍ය්‍යය ඇති යමෙක් තෙම අවුරුදු සියයක් ජීවත්වන්නේ නමුදු, දැඩිසේ ඇරඹූ වීර්‍ය්‍යය ඇත්තහුගේ එක් දිනක් ජීවත්විමද ශ්‍රේෂ්ඨය.

“මා විසින් මනා පිළිවෙතින් සතුටු කරන ලද මහා මුනිවු තථාගත තෙමේ මා පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇතියවුන් අතුරින් අග්‍රයයි වදාළ සේක.

“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”

— සොණාපදානය —

(අනෙක් භික්ෂුණීන් ආපසු පැමිණි විට උණු පැන් ඉල්ලා සිටියහ, නමුත් සෝණා තවමත් උණු පැන් සකස්කොට නොතිබුණි. එකළ සෝණා රහත් තෙරණියෝ තේජෝ කසිනයට ක්ෂණිකව සමවැදී සෘද්ධි බලයෙන් පැන් පස්සවාලූ හ. සෝණා රහත් තෙරණියෝ ඉක්මනින් ජලය රත් කර අනෙක් භික්ෂුණීන්ට උණු පැන් පූජා කළ හ. ඒ භික්ෂුණීහු මෙය බුදුරදුන්ට වාර්තා කළ අතර, එහිදී ශාස්තෘන් වහන්සේ සෝණා තෙරණියගේ අධික විරිය ප්‍රශංසා කරමින් ධර්මය වදාළ සේක.)

සෝණා තෙරණියගේ ථේරිගාථාවන් හි මෙසේ සඳහන් වෙයි.

“මේ ඇඟක් නිසා ම දරුවන් දහදෙනෙක් ම වදන්ට සිද්ධ වුණා. ඒ නිසා ම යි මං දුර්වල වෙලා ගියේ. අන්තිමේ දී මං භික්ෂුණියක් ළඟට ගියා.

ඒ භික්ෂුණිය මට ස්කන්ධ, ධාතු, ආයතන ගැන ධර්ම දේශනා කළා. දැන් ධර්මය අසා ගෙන මං හිතට ගත්තා. හිස මුඩු කර ගෙන මහණ වුණා.

ඉතින් මං සික්ඛමානාවක් වශයෙන් ඉන්න කාලෙ ම යි දිවැස් නුවණ පිරිසිදු කර ගත්තේ. මං මීට කලින් ජීවත් වුණ තැන් දැනගත්තෙ පුබ්බේනිවාස ඤාණයෙන්.

මං හිත එකඟ කරගෙන විදර්ශනා වැඩුවා. අරහත්වයට පත්වුණා. උපාදාන රහිත ව නිවුණා.

පංච උපාදානස්කන්ධයන් මං පිරිසිඳ දැකගත්ත නිසා, දැන් ඒවා තියෙන්නෙ මුල් නැතිව. ඒයි, ලාමක ජරාව, තිට නින්දා වේවා! දැන් ඉතින් මට නම් ආයෙමත් පුනර්භවයක් නෑ.”

පසු කාලයේ බුදුරජාණන් වහන්සේ සෝණා තෙරණි තොමෝ ඒතදග්ගයෙහි තබමින් මෙසේ වදාල සේක.

“පින්වත් මහණෙනි, මේ පින්වත් සෝණා වනාහී පටන් ගත් වීරිය ඇති භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”