අම්බපාලී රහත් තෙරණින් වහන්සේ

රන් පහස් ලද යම් ඵුස්ස නම් මුනිරජාණන් වහන්සේ නමක් වූ සේක්ද, මම් ඒ බුදුරජාණන් වහන්සේට බුහුන වීමි. කැත්කුලෙහි උපන්නෙමි. මුනිරජුන්ගේ දහම් අසා වෙසෙසින් පහන් සිතින් යුක්ත වැ මහදන් දී රූප සම්පත් ප්‍රාර්ථනා කළෙමි. මොබින් එක්තිස්වන කපෙහි ලෝකාග්‍රනායක වූ ලොවට ප්‍රදීප වූ තුන්ලොවට සරණ වූ සිඛී නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. එකල මම් රම්‍ය වූ අරුණ පුරයෙහි බමුණු කුලයෙහි උපන්නෙමි. බුදු සසුනේ පැවිදි වීමි. දිනක් සෑ මළුව හමදමින් සිටියෙම් අසලින් වඩිමින් හුන් එක්තරා රහත් තෙරණියක් කිඹිසි විටදී කෙල ස්වල්පයක් වැටෙනු දැක ඊට කෝප ගත්තෙමි. ‘මනාව හැමද තුබූ මළුව විනාශ කළ මේ ගණිකාව කවුරුන්දැයි’ යි කෝප වේගයෙන් බැණ වැදිමි. මා කළ ඒ බාල කර්මයාගේ විපාකයෙන් මා කොතෙක් සිල්වත්ව සසුන් බඹසර හැසිරුනත් ඉන් චුතව නිරයේ පැසුනෙමි. උප නූපන් ජාතිවල වෙසඟනක්වම ඉපදීමි.

එයින් සැවැ මිනිස් ලොවැ බැගෑපත් වැ උපන්නෙමි. දසදහසක් ජාතියෙහි ගණිකාබව කළෙමි. දුෂ්ට වූ විෂයක් වළඳා මෙන් ඒ පාපයෙන් නො මිදිණිමි. කසුප් බුදුරජාණන් වහන්සේ ශාසනයෙහි බඹසර විසීමි, ඒ කර්‍ම විපාකයෙන් දෙව්ලොවැ උපන්නෙමි.

පශ්චිම භවය පැමිණි කල්හි ඕපපාතිකා වීමි, අඹ අතු අතරැ උපන්නී එයින් මම ‘අම්බපාලී’ නම් වීමි.

බිම්සර රජු නිසා මා කුසින් පුත් රුවනක් වදාපීමි. හේ පැවිදිව අරහත්වය සාක්ෂාත් කළේය. නමින් ‘විමල කොන්ඩඤ්ඤ’ වූවෙහි. කාලයාගේ ඇවෑමෙන් මා ද බුදු සසුනෙහි පැවිදි වූවෙමි.  අචල වූ නිර්වාණ ස්ථානයට පැමිණියා බුදුරදුන්ට ඖරෂ වූ දියණියක් වීමි. දිව්‍යශ්‍රොත්‍රධාතු විශුද්ධියෙන් යුක්ත වැ සෘද්ධීන්හි ද වසී වෙමි, චේතෝපරියඤාණයාගේ ද වසී වෙමි. පූර්වනිවාස දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරන ලදහ, දැන් පුනර්භවයෙක් නැති. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ අනුහසින් අත්ථ ධම්ම නිරුත්තීන්හි ද එසේමැ පටිභානයෙහි ද මගේ ඥානය නිර්මල යැ, පරිශුද්ධ වී. ක්ලේශයෝ දවන ලදහ. බුදුසසුන් කරන ලදී.