කිසාගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ

තුන්ලොවට නායක වූ සියලු ධර්‍මයන්ගේ පරතෙරට පැමිණි පදුමුත්තර නම් ජිනේන්ද්‍රයන් වහන්සේ ලොවැ පහළ වූ සේක. එකල්හි මම හංසවතී නුවර එක්තරා කුලයෙකැ උපන්නෙම් ඒ නරෝත්තමයන් වහන්සේ කරා එළැඹැ ජිනේන්ද්‍රයන් වහන්සේ සරණ කොට ගියෙමි. චතුසත්‍යයෙන් යුක්ත වූ මධුර වූ පරමාස්වාදජනක වූ ශාන්ති සුඛය එළවන ධර්‍මය ද ඇසුවෙමි. එකල්හි වීර වූ පුරුෂෝත්තමයන් වහන්සේ ඒතදග්‍රයෙහි තබමින් රුක්‍ෂචීවර ධරන මෙහෙණක වර්ණනා කළ සේකැ. මෙහෙණගේ ගුණ අසා අපමණ ප්‍රීතිය උපදවා ශක්ති පමණින් බල පමණින් බුදුරජාණන් වහන්සේට සත්කාර කොට ඒ මුනිවරියන් වහන්සේ ප්‍රණාම කොට ඒ තනතුර ප්‍රාර්‍ථනා කළෙමි. එකල්හි නායක වූ සම්බුද්ධයන් වහන්සේ මෙසේ අනුමෝදනා කළ සේක.

“මෙකපින් සියදහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොව පහළ වන්නාහ. ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්මනිර්මිත වූ නමින් ගෝතමී නම් වූ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නෙහි.”

ඒ අසා මෘදු වැ විනායක වූ ජිනේන්ද්‍රයන් වහන්සේ දිවිහිම් කොට සිවුපසයෙන් උවටැන් කළෙම් ඒ කුශලකර්මයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස්කය හැරපියා තව්තිසාවට ගියෙමි.

මේ භද්‍ර කල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ සර්වඥයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. එසමයෙහි මහර්ෂී බුදුරජාණන් වහන්සේ ට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කසීරජෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ. ඒ රජුට ‘ධම්මා’ යන නමින් විශ්‍රැත වූ පස්වැනි දුහිතෘ වීමි. ජිනේන්ද්‍රයන් වහන්සේගේ ධර්මය අසා ප්‍රව්‍රජ්‍යාව කැමැති වූ මුත් පියතෙමේ අපට පැවිද්ද නො අනුදත්තේ යැ, එකල්හි අප ගෙහි මැ හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වූවමෝ කුමරි බඹසර සැරූම්හ. ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමි.

මෙකලැ අන්තිම භවයෙහි මම දුගී ධන නැති ධනය නැසුණු සිටු කුලයෙකැ උපන්මි. ධන ඇති පති කුලයකට ගියා ද වෙමි. සැමියා තබා සෙ‍ස්සෝ ‘නිර්ධන එකකැ’ යි මට ද්වේෂ කරත්. යම් කලෙකැ සපුත්‍ර වූවා ද එකලැ සියල්ලන්ට ප්‍රිය වීමි. යම් කලෙක්හි මා පුත් තරුණ ද, භද්‍ර ද, කෝමළ අවයව ඇත්තේ ද, සුවසේ වැඩුණේ වේද, සිය පණ මෙන් මට කාන්ත ද, එකල්හි මරු වසඟයට ගියේ ය. සොවින් පෙළුණු මම බැගෑ මුහුණු ඇති වැ කඳුළු පිරුණු නෙත් ඇති වැ හඬන මුව ඇති වැ මළකුණ රැගෙන වැලපෙමින් ඒ ඒ තෙනැ ඇවිද්දෙමි. එවිටැ එකකු විසින් දක්නවු ලදුයෙම් වෛද්‍යරාජයන් වෙතැ පැමිණ “පින්වත් උතුමාණනි, පුතු ජීවත් කරන බෙහෙදක් දෙනු මැනැවැ” යි කීමි.

“යම් ගෙයෙකැ මළාහු නො වෙත් ද, එබඳු ගෙයකින් අබ සුඟක් ගෙන එව” යි හික්මවීමේ උපායෙහි දක්‍ෂ ජිනේන්ද්‍රයන් වහන්සේ වදාළසේකැ. එවිටැ සැවතට ගොස් ඇවිද එබඳු ගෙයක් නො නොලද්දෙම්, ‘අබ සුඟක් කොතැනින් කෙසේ ලබම් ද? සියළු තන්හි කවුරුන් හෝ මළහ!’යි සිහිය ලැබ මළකුණ හැරදමා ලෝකනායකයන් වහන්සේ වෙතැ එළැඹුණෙම් මධුරස්වර ඇති වෛද්‍යරාජයන් වහන්සේ දුර දී මැ මා දැක මෙසේ වදාළ සේක.

“පඤ්චස්කන්‍ධයාගේ ඇතිවීම හා නැතිවීම නො දක්නා යමෙක් හවුරුදු සියයක් ජීවත්වන්නේ නමුදු ඔහුගේ ජීවත් වීමට වඩා ඇතිවීම – නැතිවීම නුවණින් දක්නහුගේ එක් දවසක් ජීවත්වීම උතුම් වෙයි. මේ මරණ දහම එක් ගමකට අයත් ස්වභාවයෙක් නො වෙයි, එක් නියම් ගමකට අයත් ස්වභාවයෙක් ද නො වෙයි, එක් කුලයකට අයත් ස්වභාවයකුදු නො වෙයි, තෙල දහම සදේවක ලෝකයාට මැ අයත් ස්වභාවයෙකි. එනම් අනිත්‍යතාව යි.”

ඒ මම මේ ගාථා අසා සෝතාපත්තිමග්ගඤාණය පිරිසිදු කළෙමි. ඉක්බිති දත් සදහම් ඇත්තෙම් බුදුසසුනෙහි පැවැදි වීමි. එසේ පැවිදි වූවා මැ ජිනසසුන්හි යෙදෙන්නෙම් විදසුන් වඩනුයෙම් නොබෝ කලකින් මැ රහත්බවට පැමිණියෙමි. ශාස්තෘ ශාසනකාරිණී වූයෙම්, සෘද්ධියෙහි ද, දිව්‍යශ්‍රෝත්‍ර ධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දනිමි. පෙර විසූ කඳපිළිවෙළ දිනිමි, දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආස්‍රව නසා අතිශයින් නිර්මල වූයෙම් විශුද්ධ වීමි. ශාස්තෘන් වහන්සේ මා විසින් ගෞරවයෙන් ඇසුරු කරන ලදි. බුදුසසුන් කරන ලදි. මහත් කෙලෙස් බර බහා තබන ලද්දේ වෙයි. තෘෂ්ණාව මුලිනුපුටා නසන ලදි.

යම් අර්‍ථයක් පිණිස ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූවා වෙම් ද, සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ අර්‍ථය මා විසින් අනුප්‍රාප්ත යි. අර්ථ – ධර්‍ම – නිරුක්තියෙහි ද එසේ මැ ප්‍රතිභාණයෙහි ද බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ අනුබලයෙන් මාගේ ඥානය නිර්මල යැ. පිරිසිදු යැ.

කසළගොඩින් ද සොහොනෙන් ද වීර්‍ථියෙන් ද රෙදි කඩ අවුලාගෙන අවුත් එයින් සඟලක් කොට රුක්‍ෂ සිවුරු ධරමි. තමන්හට නායකයකු නැති හෙයින් විනායක වූ බුදුරජාණන් වහන්සේ රුක්‍ෂ චීවර ධැරීම වූ ඒ ගුණයෙහි සතුටු වූ සේක් පිරිස් මධ්‍යයෙහි මා ඒතදග්‍රයෙහි තැබූසේකැ.

මා විසින් කෙලෙස්හු දවන ලදි. බුදුසසුන් කරන ලදි.