ධම්මදින්නා මහ රහත් තෙරණින් වහන්සේ

මෙ කපින් සුවහස් වන කප්හි සියලු ධර්‍මයන්ගේ පාරයට පැමිණි ලෝකනායක වූ පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. එසමයෙහි මම හංසවතී නුවරැ එක්තරා කුලයෙකැ උපන්නෙමි. නුවණැති ශීලයෙන් සංවර වූ මා දැස්සක් වීමි.

පියුමතුරා බුදුරදුන්ගේ සුජාත නම් අග්‍රශ්‍රාවකයාණෝ වෙහෙරින් නික්මැ පිඬු පිණිස වඩනාහ. එකලැ කළදැස්සක් වූ මම කළයක් රැගෙන යන්නෙම් තෙරණුවෝ දැක ස්වකීය ප්‍රාණපරිත්‍යාගයෙන් ප්‍රසන්න වැ කැවුමක් දුනිමි. තෙරණුවෝ එය පිළිගෙන එහි මැ හිඳ වැළඳූහ. ඉක්බිති ඒ තෙරණුවෝ ගෙට කැඳවා ගෙන ගොස් බොජුන් පිළිගැන්වීමි. එයින් මාගේ ස්වාමි තෙමේ සතුටු වූයේ මා සිය ලෙහෙලිය කෙළේ යැ.

නැන්දනිය සමග අරමට ගොස් සම්බුදු රදුන් අභිවාදන කළෙමි. එකල්හි උන්වහන්සේ ධර්‍මකථික මෙහෙණක ගුණ කථනය කරනසේක් එතදග්‍රයෙහි තැබූසේකැ. එ අසා ප්‍රමුදිත වූ මම් සඞ්ඝයා සහිත ලෝකනායක වූ සුගතයන් වහන්සේ නිමන්ත්‍රණ කොට මහදන් දී ඒ තනතුර ප්‍රාර්ථනා කළෙමි. ඉක්බිති සුගත වූ බුදුරජාණන් වහන්සේ ගැඹුරු නින්නාද සහිත මනා හඬ ඇති වැ මට මෙසේ වදාළ සේක.

“උපස්ථාන කිරීමෙහි ඇලුණු, සඞ්ඝයා සහිත මා වළඳවන, සදහම් ඇසීමෙහි යෙදුණු, ගුණයෙන් වැඩුණු සිත් ඇති භද්‍රාවනි, ප්‍රමුදිත වව, ප්‍රාර්ථනා ඵලය ලබන්නෙහි. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නා හ. ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් ධම්මදින්නා යි ප්‍රසිද්ධ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නෙහි”

ඒ අසා සතොස් වැ විනායක වූ මහාමුනිවරයන් වහන්සේ මෙත්සිත් ඇතියෙම් දිවිහිම් කොට ප්‍රත්‍යයෙන් උපස්ථාන කළෙමි. ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමි.

මේ භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශික මහා යශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ සර්වඥයන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සේකැ. එකලැ මහර්ෂි බුදුරජුනට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කාශිරාජයෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ. මම ඒ රජුට ‘සුධම්මා’ යි ප්‍රසිද්ධ සවැනි දුහිතෘ වූමු. ජිනේනද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා ප්‍රව්‍රජ්‍යාව කැමැති වූමු. පිය තෙමේ මා නො අනුදත්තේ යැ. අපි ගිහිගෙහි අනාලය වූවමෝ විසිදහසක් හවුරුදු අනලස් වැ කුමරිබඹසර සැරුම්හ. මම ඒ කුශල කර්‍මයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද, මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමි. දැන් පශ්චිම භවයෙහි රජගහ පුරවරයෙහි සියලු කම්සැපතින් සමෘද්ධ වූ සිටු කුලයෙකැ උපන්නෙමි.

යම් කලෙකැ රූපයෙන් ගුණයෙන් යුතුවැ පළමු යොවුන් වියෙහි සිටියා වෙම් ද එකලැ පති කුලයට ගොස් සැපයෙන් සමර්පිත වීමි. වෙසෙසින් බුද්ධිමත් වූ මාගේ ස්වාමිපුරුෂ විශාඛ තෙමේ ලෝකනාථයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් අසා අනාගාමී ඵලයට පැමිණියේ ය. එකල්හි ඔහු අනුදන්වා බුදුසසුන්හි පැවැදි වීමි. නොබෝ කලකින් මැ රහත්බවට පැමිණියෙමි.

ඒ උවසු මා වෙතැ අවුත් ගැඹුරු සියුම් පැන විචාළේ යැ. මම් ඒ සියල්ල විසඳා කීමි.

ඒ ගුණයෙහි සතුටු වූ ශාස්තෘන් වහන්සේ “තෙල මෙහෙණ බඳු ධර්‍මකථික අනෙකක නො දක්මි, ධම්මදින්නා යම් හෙයෙකින් ධීර ද මහණෙනි, එසේ ධරවු” යි මා ඒතදග්‍රයෙහි තබාලූ සේක. මෙසේ ලෝකනාථයන් වහන්සේ විසින් අනුකම්පිත වූ මම් නුවණැති වීමි.

මා විසින් ශාස්තෘන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන ලද යැ, බුදුසසුන් කරන ලද යැ, කෙලෙස් බර බහා තබන ලදයැ, තෘෂ්ණාව සමූල කොට නසන ලද යැ. යම් ඵලයක් සඳහා ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවැදි වූවෙම් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ ඵලය මාහ‍ට අනුපිළිවෙළින් පැමිණියේ වෙයි. ශාස්තෘන් වහන්සේගේ අනුසසුන් කරන මම සෘද්ධියෙහි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි. පරසිත් ද දනිමි. පෙර විසූ තඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආස්‍රවයන් නසා වෙසෙසින් මල රහිත වැ විශුද්ධ වෙමි. මා විසින් කෙලෙස්හු දවන ලදී. බුදුසසුන් කරන ලදී.