භද්දාකාපිලාණි මහ රහත් තෙරණින් වහන්සේ

සියලු ධර්‍මයන්හි පරතෙරට පැමිණි සියලු ධර්‍ම දත් ලොවට නායක වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේ මෙයින් ලක්‍ෂයක් වන කප්හි ලොව පහළ වූ සේකැ. එසමයෙහි හංසවතී නුවරැ නමින් විදේහ නම් වූ බොහෝ රන්රුවන් ඇති සිටුවරයෙක් වියැ, මම ඔහුගේ භාර්‍ය්‍යා වීමි. කිසියම් දිනෙකැ හේ පිරිවර ජනයා සහිත වැ බුදුරදුන් වෙතැ එළැඹැ නිවන්සුව එළවන බුදුදහම් ශ්‍රවණ කෙළේ යැ. බුදුරජාණන් වහන්සේ ධූතවාදී භික්‍ෂූන් අතරැ එක් ශ්‍රාවකයකු අග්‍ර කොට වදාළ සේක. ඒ අසා සිටු තෙමේ තාදී ගුණ ඇති බුදුරදුනට සත්දිනක දනක් දී දොහොත් මුදුන් නඟා සිරිපා නැමැද ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කෙළේ ය. එවිට නරොත්තම බුදුරජාණන් වහන්සේ පිරිවර ජනයා ප්‍රීතිමත් කරවමින් සිටුහට අනුකම්පා පිණිස මේ ගාථා වදාළසේක.

“දරුව නිවුනෙක් වන්න, පැතූ තනතුර මතු ලබන්නෙහි. මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය සම්භව කොට ඇති ගොතින් ගෞතම නම් වූ බුදුරදුන් ලොවැ පහළ වන්නාහ. ඒ දහමට හිමි වූ දහමින් නිපන් නමින් ‘කසුප්’ වූ සව්වෙක් වන්නෙහි.”

සිටු තෙමේ ඒ අසා ප්‍රමුදිත වැ විනායක ජිනේන්ද්‍රයන් වහන්සේ පිළිබඳ මෙත් සිත් ඇතියේ සිවුපසයෙන් දිවිහිම් කොට උවටැන් කෙළේ ය. ඒ තථාගතයන් වහන්සේ අන්‍යලබ්ධීන් ද අන්‍යතීර්ථකයන් ද මැඩ සසුන් බබුළුවා සව්වන් සහිත වැ පිරිනිවි සේක. ලෝකනාථයන් වහන්සේ පිරිනිවි කල්හි ශාස්තෘ වූ බුදුරදුන් පුදනු පිණිස නෑ – මිතුරන් කැඳවා ඔවුන් සමඟ දිලියෙන සූර්‍ය්‍යයා වැනි පිපුණු ශාල වෘක්‍ෂ රාජයකු වැනි සත් යොත්නක් උස් වූ රත්නමය ස්තූපයක් කරවූයේ යැ. ඒ සෑයෙහි ඇවිලගත් හුණු වනයක් සෙයින් දිලියෙන සත් සියදහසක් පාත්‍රාකෘතීහු සත්රුවනින් මැ කරවූයේ යැ. සියලු සත්නට අනුකම්පා කරන මහර්ෂින් වහන්සේට පූජා පිණිස සුවඳ තෙලින් පාත්‍ර පුරවා එහි පහන් දැල්වූයේ යැ. මහර්ෂීන් වහන්සේට පූජා පිණිස රුවනින් මැ පිරුණු සත් සියදහසක් පුන්කුඹු කරවූයේ යැ. කුඹු මධ්‍යයෙහි අටෙන් අටෙන් රන්ඇගෑහු ඔසවන ලදහ. සරත් කල්හි හිරුසෙයින් ඒවා පැහැයෙන් වෙසෙසින් බබළයි.

සිවුදොරහි රුවන්මුවා තොරණහු හොබිත්, ඔසවන ලද රුවන්මුවා සිත්කලු පුවරුහු ද හොබිත්. සෑය වටා බඳනා ලද මනාසේ නිමවන ලද අවතංසයෝ බබළත්, ඔසවනලද රුවන් පතාක ද බබළත්. ඉතා රතු මොනොවට කළ රුවන්මුවා සෑය සැඳෑ වලා සහිත හිරු සේ පැහැයෙන් වෙසෙසින් බබළත්. ස්තූපයාගේ වේදිකා තුනෙකි. එකක් හිරියෙලින් ද එකක් මනොසිලායෙන් ද, එකක් අඤ්ජනයෙන් ද පිරවි. උත්තමවාදී වූ බුදුරදුනට තෙල බඳු රම්‍ය පූජා පවත්වා සඟනට දිවිහිම් කොට ශක්ති පමණින් දන් දුන්නේ ය.

මම ඒ සිටුහු සමග දිවි ඇති තාක් සර්වප්‍රකාරයෙන් ඒ පුණ්‍යකර්‍ම සිදු කොට එක් වැ මැ සුගතියට ගියෙමි. දෙව් බවෙහි ද මිනිස් බවෙහි ද සැපත් වළඳා සිරුරින් සෙවනැල්ල මෙන් ඔහු සමග මැ සැරීමි.

මෙකපින් එක් අනූවන කප්හි මනහර නුවන් ඇති සියලු දහම් වෙසෙසින් දක්නා ලෝකනායක විදර්ශි බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. එසමයෙහි මේ සිටු තෙමේ බන්ධුමතී නගරයෙහි ධනයෙන් ඉතා දුගී වූ බමුණෙක් වී. එකල්හි දු මම සම අදහස් ඇති ඔහුගේ බැමිණි බිරිය වීමි. ඒ බමුණු උතුමා කිසියම් දිනෙකැ පිරිස් මැද වැඩහුන් අමා දහම් දෙසන මහමුනිඳුන් හමු වියැ. දහම් අසා තුටුපත් වූයේ හැඳ පෙරැ වූ දෙවතින් එක්වතක් මුනිඳුනට දුන්නේ යැ. එක්වතකින් යුතු වැ ගෙට අවුත් තෙල මට කී,

“මහා නුවණැත්ත, මා විසින් බුදුරදුනට සළුවක් දෙන ලදි, එපින් අනුමෝදන් වව”

එසඳ මම් අතිශයින් ප්‍රීතියට පැමිණියා ඇඳිලි බැඳ “හිමියනි, තාදී ගුණ ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පුදනු ලැබූ සළු පූජාව මම ඉත සිතින්ම අනුමෝදන් වෙමි’යී අනුමෝදන් වීමි.හේ සුඛිත වූයේ සව්සැපතින් සැදුණේ කුදුමහත් බෙවෙහි සරනුයේ එක් කලෙකැ සිත්කලු බරණැස් පුරයෙහි රජ වූයේ යැ. එසමයෙහි මම ඔහුට මෙහෙසි වීමි. ඔහුගේ අන්තඃපුර ස්ත්‍රී සමූහයාට උතුම් වීමි. පූර්වජාතිස්නේහ හේතුයෙන් ස්වාමියාට ප්‍රිය වීමි. හේ පිඬු පිණිස හැසිරෙන අට පසේබුදු කෙනකුන් දැක සොම්නස් වැ මහාර්හ පිණ්ඩාහාරයක් දී යළි නිමන්ත්‍රණ කොට රත්නමය මණ්ඩපයක් තනා රන්මුවා සියහත් සැතක් නඟා ඒ සියලු පසේබුදුන් වහන්සේ එහි වැඩම කරවා රන් අසුන්හි වැඩහුන් සියලු පසේබුදුන් වහන්සේට සියතින් දන් දුන්නේ ය. එසඳ මම ඒ දන් ද කසීරජු හා එක් වැ දුන්මි.

යළි මම් බරණැස දොරගමෙකැ උපන්මි. හේ සමෘද්ධිමත් කෙළෙඹි කුලෙකැ බෑයන් සහිත වූයේ සුඛිත වැ උපන්නේ යැ. මම දෙටු බෑයාගේ මනා පතිව්‍රත ඇති භාර්‍ය්‍යා වීමි. පසේබුදු කෙනකුන් දැක මාගේ සැමියාගේ කණිටු බුහුන ඔහුගේ අහර කොටස පසේබුදුනට දී ඔහු ආකල්හි එය කීවා යැ. හේ දානය අභිනන්දන නො කෙළේ යැ (සතුටු නො වියැ). මම ඒ අහර පසේ මුනිඳුන්ගේ පාත්‍රයෙන් උකහාගෙන ඔහුටම දුන්නෙමි. හේ යළි පසේ මුනිඳුන්ට මැ දුන්නේ ය. එකල්හි මම් ද්වේෂිත වූවා එ අහර ඉවතැ ලා පසේ බුදුරදුන්ගේ පාත්‍රය කලලින් පිරුණක් කොට අකම්ප්‍ය ගුණ ඇති පසේ මුනිඳුන්ට දුන්නෙමි. දීමෙහිත් ගැනීමෙහිත් සමසිත් ඇති පසේ බුදුරදුන්ගේ මුහුණ දැක මම බෙහෙවින් සංවේගයට පැමිණියෙමි. නැවත පාත්‍රය ගෙන සුවඳ දියෙන් සෝදා පහන්සිත් ඇති වැ පාත්‍රය පුරා ගිතෙල් සහිත සකුරු දුන්නෙමි. යම් යම් තෙනෙකැ උපදනෙම් ද දාන හේතුයෙන් සුරූපී වෙමි. පසේබුදුනට කළ අපකාර හේතුයෙන් දුගඳ මුව ඇති වෙමි.

යළි කසුප් බුදුරදුන්ගේ සෑය නිමවන කල්හි ප්‍රමුදිත වූ මම රන්මුවා ගඩොලක් දුන්නෙමි. සිවුදෑගඳින් ඒ ගඩොල පුදා දුගඳ දොසින් මිදුණී. මාගේ ස්වාමිපුරුෂ තෙමේ සත්රුවනින් මැ ගිතෙල් පුරාලු පහන් තැටි සත්දහසක් කරවා දහස්ගණනින් වැටි ද බහා ඒ පහන් දල්වා වෙසෙසින් පහන් වූ සිතින් යුතු වැ ලෝකනාථයන් වහන්සේ ට පූජා පිණිස පේලි සතක් කොට තැබූයේ ය. එදවසැ ද මම් ඒ පින්කම්හි වෙසෙසින් සහභාගි වීමි.

යළි ස්වාමිපුරුෂ තෙමේ කසී දනවුහි උපන්නේ සුමිත්‍ර යයි ප්‍රසිද්ධ වූයේ යැ. මම ඔහුට භාර්‍ය්‍යා වීමි. සුඛිත වූවා සර්වාකාරයෙන් සජ්ජිත වූවා ප්‍රිය වීමි. එකල්හි දු ස්වාමිපුරුෂ තෙමේ පසේ පසේ බුදුරදුන්ට ඝන රන් නළල්පටක් දුන්නේ යැ. උතුම් දානය අනුමෝදන් වැ ඒ පුණ්‍යකර්‍මයට ද සහභාගිනී වීමි.

යළිදු ස්වාමිපුරුෂ තෙමේ කසීරට කෝලිය ජාතියෙහි උපන්නේ යැ. එසඳ හේ කෝලිය පුතුන් පන්සියයක් සමඟ පන්සියයක් පසේබුදුන් වහන්සේට උපස්ථාන කෙළේ යැ. තෙමසක් මුළුල්ලෙහි බොජුනෙන් සතප්වා තුන්සිවුරු ද දුන්නේ යැ. එකලැ මම පුණ්‍යකර්‍මපථානුගත වූ ඔහුගේ භාර්‍ය්‍යා වීමි.

හේ එතැනින් ච්‍යුත වූයේ මහා යශස් ඇති නන්ද නම් රජ වූයේ යැ. මම් ද ඔහුට සියලු කාමයෙන් සමෘද්ධ වූ මෙහෙසි වීමි. එකලැ හේ බඹදත් රජ වැ පදුමවතීගේ පුතුන් වූ පන්සියයක් පසේ මුනිඳුන් රාජෝද්‍යානයෙහි නිවාසග්‍රහණ කරවා දිවිහිම් කොට උපස්ථාන කෙළේ යැ. පිරිනිවන් පෑ කල්හි දු පිදුයේ යැ. චෛත්‍යය ද කරවා අපි දෙදෙන පැවිදි වැ අප්පමඤ්ඤා වඩා බඹලොව ගියෙමු.

හේ එයින් ච්‍යුත වූයේ මහාතිත්‍ථ බමුණුගම පිප්‍ඵලායන නමින් උපන්නේ යැ. මවු සුමනදේවි නම් වූ කොසියගොත්ත බමුණු පියා වියැ. මම මද්ද දනවුහි සාගල පුරවරයෙහි කපිල බමුණුහුගේ දුහිතෘ වීමි. මවු සුවිමතී නම් වී. පිය තෙමේ ඝන රන් ප්‍රතිබිම්බයකින් මා පිළිරුව නිමවා කාමාසායෙන් තොර වූ කස්සප ධීරයන් (පිප්‍ඵල මාණවකයන්) හට මා සරණ කොට දුන්නේ යැ.

කිසියම් දිනෙකැ හේ කර්මාන්ත ස්ථානය දක්නට ගොස් කාකාදීන් විසින් කනු ලබන පණුවන් දැක සංවේගයට පත් වියැ. මම් දු එවේලෙහි ගෙහි වූ තල අව්වෙහි ලා වියලන කල්හි කවුඩන් විසින් කනු ලබන කෘමින් දැක සංවේග ලත්මි. එකල්හි ඒ ධීර වූ කාශ්‍යප තෙමේ පැවිදි වූයේ යැ. මම ඔහු අනු වැ පැවිදි වීමි. මම් හවුරුදු පසක් මුළුල්ලෙහි පිරිවැජිවත්හි විසුවෙමි.

යම් කලෙකැ බුදුරදුන් හැදූ වැඩූ මවු වූ මහාපජාපති ගොතමි පැවිදි වූවා ද, එකලැ මම බුදුරදුන් විසින් අනුශාසිත වුවා බුදුරදුන් කරා එළැඹැ පැවිදි වීමි. නොබෝ කලෙකින් ම රහත්බවට පැමිණියෙමි.

කාශ්‍යප ශ්‍රීමත්හුගේ කළ්‍යාණමිත්‍රතාව ආශ්චර්‍ය්‍ය ය. බුදුහු අනුජාත පුත්‍ර වූ එහෙයින් ම බුද්ධදායාද වූ මොනොවට සමාහිත වූ යම් කාශ්‍යප ස්ථවිර කෙනෙක් පෙරවිසූ කඳපිළිවෙළ දනිත් ද ස්වර්ගය හා අපාය හා සිවැසින් දකිත් යැ. අර්හත්වයට පැමිණියාහු ද මාර්ගඥානයෙන් දැන කර අවසන් කළ ඒ ක්‍ෂීණාස්‍රව මුනිහු ත්‍රිවිද්‍යා හේතුකොට ගෙන ත්‍රිවිද්‍යාප්‍රාප්ත බ්‍රාහ්මණ වෙත්. එසෙයින් ම භද්දාකාපිලානී ද ත්‍රිවිද්‍යාප්‍රාප්ත යැ, මරු පලවා හරනාසුලු යැ. සේනා සහිත මරු දිනා පැසුළු කය ධරන්නී යැ. ලෝකයෙහි ආදීනව දැක අපි දෙදෙනා පැවිදි වූම්හ, ඒ අපි ක්‍ෂීණාස්‍රවයම්හ, දාන්තයම්හ, ක්ලේශයෝ දවන ලද්දාහ. බුදුසසුන් කොට නිමවන ලද්දාහ.