සෝණා රහත් තෙරණින් වහන්සේ

මෙකපින් සුවහස්වන කප්හි සියලු දහම්හි පරතෙරැ පැමිණි ලොවට නායක වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සේකැ. එකල්හි සිටුකුලෙකැ සුඛිත වැ පූජිත වැ ප්‍රිය වැ උපන්නෙම් ඒ මුනින්ද්‍රයන් වහන්සේ වෙතැ එළැඹැ මිහිරි වදන් ඇසීමි. ජිනේන්ද්‍රයන් වහන්සේ පිරිපුන් වැර (වීරිය) ඇති මෙහෙණන් අතරැ එක් මෙහෙණක අග්‍ර කොට වර්ණනා කළසේකැ. ඒ අසා ප්‍රමුදිත වැ ශාස්තෘන් වහන්සේට සත්කාර කොට සම්බුදුරජාණන් වහන්සේ සකසා වැඳ එවේලෙහි ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළෙමි. මහාවීරයන් වහන්සේ ,

“තොපගේ ප්‍රාර්‍ත්‍ථනාව සමෘද්ධ වේව. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නාහ. ඒ දහම්හි දායාද වූ ලොව්තුරු දහමින් උපන් හෙයින් ධර්‍මනිර්මිත වූ නමින් ‘සෝණා’ නම් වූ ඖරස ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නනු” යි අනුමෝදනා කළසේකැ.

එවිටැ එ අසා සතුටු වැ මෙත්සිත් ඇතියෙම් විනායක වූ ජිනේන්ද්‍රයන් වහන්සේ දිවිහිම් කොට ප්‍රත්‍යයෙන් උපස්ථාන කළෙමි. ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා තව්තිසාවට ගියෙමි.

මේ අන්තිම භවයෙහි ද සැවැත් පුරවරයෙහි සමෘද්ධිමත් මහත් ධන ඇති සිටුකුලෙකැ උපන්මි. යම් කලෙකැ යොවුන්බවට පැමිණියා වෙම් ද, එකලැ මම පතිකුලයට ගොස් සුරූපී දසපුත්කෙනෙකුන් ලද්දෙමි. සුවසේ වැඩුණු ඔහු සියල්ලෝ වෙසෙසින් දනමනනුවන් හරනාහු වූහ. අමිතුරනට ද රිසි වූහු. උහු මට ප්‍රිය වෙත් යනු කවර කථා යැ. ඉක්බිති අකැමැති මා නොතකා දසපුතුන් විසින් පෙරටු කරන ලද මාගේ ඒ ස්වාමිපුත්‍රයා දෙවියන්ට දෙවි වූ බුදුරදුන් සසුන්හි පැවිදි වූයේ හි නොබෝ කලකින් ම අරහත්වයට පත් වූහ.

එකල්හි එකලා වූවා මා මෙසේ සිතීමි.

“සැමියා හා පුතුන් විසින් හැරදමන ලද මහලු ද වූ පින්මද මට ජීවිතයෙන් කමෙක් නැති. යම් තෙනකැ මාගේ ස්වාමිපුත්‍ර පැමිණියේ ද, මම් දු එහි යන්නෙමි.”

මම මෙසේ සිතා බුදුසසුන්හි පැවිදි වීමි.ඉක්බිති භික්‍ෂුණීහු “ජලය රත් කරව යි” යි මෙහෙණවරෙහි එකලා වූ මා හැරපියා භික්ඛුනොවාදය අසන්නට ගියාහු යැ.  එකල්හි දිය ගෙනවුත් සැලෙකැ වත් කොට උදුනෙහි තබා ඉක්බිති හුන්නෙම් සිත සමාධිගත කළෙමි. ස්කන්‍ධ අනිත්‍ය වශයෙන් දුඃඛවශයෙන් අනාත්ම වශයෙන් දැක සියලු ආස්‍රව සිඳපියා රහත්බවට පැමිණියෙමි. එවිටැ භික්‍ෂුණීහු අවුත් හුණුදිය ඉල්ලූහ. මම තේජෝ ධාතුව ඉටා ජලය වහා හුණු කළෙමි. විශ්මයට පත් ඒ භික්‍ෂුණීහු තෙල කරුණ ජිනවරයන් වහන්සේට ඇස්වූහ. එ අසා සතුටු වූ නාථයන් වහන්සේ මේ ගාථාව වදාළ සේකැ.

“වත්පිළිවෙත් ආදියෙහි මැලි හෙයින් කුසීත වූ කායික චෛතසික විර්‍ය්‍ය රහිත යමෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වේ ද, ඔහුගේ ජීවත් වීමට වඩා දැඩි සේ වැරවඩන මහණහුගේ එක්දවසක් ජීවත් වීම උතුමි.”

මාගේ මනා පිළිවෙතින් සතුටු වන ලද මහාවීරයන් වහන්සේ, ඒ මහා මුනිවරයන් වහන්සේ මා දැඩි වීරිය ඇති මෙහෙණන් අතරැ අග්‍ර කොට වදාළ සේක.