සකුලා රහත් තෙරණින් වහන්සේ

මෙකපින් සියක්දහස් වන කප්හි සියලු දහම්හි පරතෙර පැමිණි ලොවට නායක වූ පියුමතුරා නම් සම්බුදු රජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. දේශකයන් අතරැ උත්තම වූ ආජානෙය පුරුෂ වූ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි සියලු සත්නට හිත පිණිස සුව පිණිස වැඩ පිණිස පිළිපන් සේකැ. ජිනේන්ද්‍රයන් වහන්සේ යශසින් අගපත් සේකැ, ශ්‍රීමත් සේකැ, කීර්ති ප්‍රශංසා දැරූ සේකැ, සියලු ලෝකයා විසින් පූජිත සේකැ, සියලු දිශායෙහි සර්වඥහ. ප්‍රකට වූ සේකැ. විචිකිච්ඡායෙන් නැගී සිටි සේකැ, ඉක්මැවූ සැක ඇති සේකැ, පිරිපුන් චිත්ත සංකල්පනා ඇති සේකැ, උතුම් සම්බෝධියට පැමිණි සේකැ.

නරෝත්තමයන් වහන්සේ නූපන් නිවන් මග උපදවාලු සේකැ, අන් ශාස්තෘවරයන් ප්‍රකාශ නො කළ දෑ ප්‍රකාශ කළ සේකැ, නූපන් ලොවුතුරු දහම් උපදවාලු සේකැ. අනාවරණය කළ සේකැ. නරශ්‍රේෂ්ඨයන් වහන්සේ නිවන්මග දත් සේකැ, නිවන් මග අවබෝධ කළ සේකැ, නිවන් මග ප්‍රකාශ කළ සේකැ, නිවන් මගෙහි දක්‍ෂ සේකැ, ශාස්තෘ සේකැ, උත්තම පුරුෂදම්‍යසාරථි සේකැ.

ලෝක නායක ශාස්තෘ වූ මහාකාරුණිකයන් වහන්සේ දහම් දෙසූ සේකැ, කාම නැමැති මඩ වගුරෙහි එරුණු ප්‍රාණින් නඟා සිටුවන සේක.

එසමයෙහි මම හංසවතී නුවරැ ක්ෂත්‍රීය දුවක් වැ ඉපිදැ මනා රූ ඇති ධන ඇත්තක් වීමි, ප්‍රිය ද ශ්‍රීමත් ද වීමි. ආනන්‍ද මහරජුගේ අතිශය ශෝභා ඇති දුහිතෘ වීමි. පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ අන් මවකගෙන් උපන් නැගණි ද වීමි. රාජකන්‍යාවන් සහිත වූවා සර්වාභරණභූෂිත වැ මහා වීරයන් වහන්සේ වෙතැ එළැඹැ ධර්‍මදේශනා ශ්‍රවණය කළෙමි. එකල්හි ඒ ලෝකගුරු තථාගතයන් වහන්සේ දිවැස් ඇති මෙහෙණක  පිළිබඳ ගුණ කථා කරන සේක් පර්ෂද් මධ්‍යයෙහි ඇය අග්‍රස්ථානයෙහි තබාලූ සේකැ. ඒ අසා මම ප්‍රීතිමත් වූවා ශාස්තෘ වූ සම්බුදුරජාණන් වහන්සේට දන් දී පූජා ද කොට දිවැස ප්‍රාර්ථනා කළෙමි. ඉක්බිති ශාස්තෘන් වහන්සේ,

‘නන්දාවතිය, පැතූ දෑ ලබන්නෙහි, ප්‍රදීපදාන – ධර්‍මදානයන්ගේ මේ සුනිශ්චිත වූ ප්‍රතිඵල. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් ශාස්‍තෘහු ලොවැ පහළ වන්නාහ. ඔබ දහම්හි දායාද වූ ධර්‍මනිර්මිත වූ එහෙයින් ම ඖරස වූ නමින් ‘සකුලා’ වූ බුද්ධශ්‍රාවිකාවක් වන්නෙහි’ යි මට වදාළ සේක.

ඒ කුශල කර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමි.

මේ භද්‍ර කල්පයෙහි බ්‍රහ්මබන්ධු වූ මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ ශාස්තෘන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ. එකලැ මම් එකලා වැ හැසිරෙන පිරිවැජියක් වීමි. භික්‍ෂායෙහි හැසිර තෙල් සුඟක් ලදිමි. ඒ තෙලින් පහනක් දල්වා වෙසෙසින් පහන් වූ සිතින් ද්විපදොත්තමයන් වහන්සේගේ සෑයට මුළු රැයෙකැ උවටැන් කළෙමි .මම ඒ කුශල කර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවට ගියෙමි.

යම් යම් තෙනෙකැ උපදීම් ද ඒ කර්‍මවේගයෙන් ඒ ඒ තෙනැ ගිය මට මහාප්‍රදීපයෝ දැල්වෙත්.. මම යමක් දක්නට රිසියෙම් ද, එය පවුර සරසැ යැ, ශෛලය සරසැ යැ පර්වතය ඉක් මැ යැ දක්මි. මේ වූකලි ප්‍රදීප දානයාගේ ඵල යි. මම වෙසෙසින් පහන් නුවන් ඇතියෙම්, යශසින් ද දිලියෙමි, ශ්‍රද්ධා – ප්‍රඥා ද ඇති වෙමි. මේ වනාහි ප්‍රදීප දානයාගේ ඵල යි.

මම මෙකලැ අන්තිම භවෙහි බොහෝ ධන ධාන්‍ය ඇති ප්‍රමුදිත වූ රාජපූජිත බ්‍රාහ්මණ කුලයෙකැ උපන්නෙම්. සර්වාඞ්ග සම්පන්න සර්වාභරණභූෂිත වීමි. මම වා කවුළුව වෙතැ සිටියා යශසින් දිළියෙන, දෙව්මිනිසුන් විසින් සත්කාර කරන ලද අසූ අනුව්‍යඤ්ජනයෙන් හා දෙතිස්මහපුරිස් ලකුණෙන් හෙබි සුගතයන් වහන්සේ නගරයට පිවිසෙන වේලෙහි දැකැ ඔදවැඩී ගත් සිත් ඇතියෙමි. සොම්නස්වැ පැවිද්ද රිසි කළෙමි. පැවිද්ද ලබා නොබෝ කලකින් මැ රහත්බවට පැමිණියෙමි.

ශාස්තෘ ශාසනකාරී වූ මම සෘද්ධියෙහි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි, අනුන්ගේ සිත් දනිමි. පෙරවිසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදි. සියලු ආස්‍රවයන් නසා මොනොවට මල රහිත වැ විශුද්ධ වීමි. මා විසින් ශාස්තෘන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන ලද යැ. බුදු සසුන් කරන ලද යැ, මහත් කෙලෙස්බර බහා තබන ලද යැ, තෘෂ්ණාව මුලිනුපුටා හරන ලද යැ. යම් අර්‍ථයක් පිණිස ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූවා වෙම් ද, සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වූ ඒ අර්‍ථය මා විසින් අනුප්‍රාප්ත ය. ඉක්බිති මහාකාරුණික නරෝත්තමයන් වහන්සේ “සකුලා දිවැස් ඇති මෙහෙණන් අතරැ අග්‍රය” යි මා එතදග්‍රයෙහි තබා වදාළ සේක.