මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ

යා මහා පඤ්ඤා පුථුපඤ්ඤා – භික්ඛුණීනං රත්තඤ්ඤූ
සා ගෝතමී මහා පජාපතී – මාතුච්ඡා බුද්ධසෙට්ඨස්ස
සරණං කත්වා භික්ඛුණී සංඝං – පරිනිබ්බුතා මහා ගෝතමී නමාමි

යම් මහා ස්ථවිරාවක් මහා ප්‍රඥාවෙන් යුක්ත වූවා ද, පැතිර ගිය පුළුල් ප්‍රඥාවෙන් යුක්ත වූවා ද, භික්ෂුණීන් අතර චිරාත් කල් පැවිදිව සිටියා ද, ඕ තොමෝ ගෞතමී මහා ප්‍රජාපතී ය. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ පුංචි අම්මා ය. භික්ෂුණී සංඝයාට සරණක් වී පිරිනිවන් වැඩි මහා ගෞතමී තෙරණියට නමස්කාර කරමි.

ලොවට පහනක් වූ සියළු දෙව් මිනිසුන්ගේ ශාස්තෲ වූ බුදුරජාණන් වහන්සේ එක්සමයෙකැ විශාලා මහනුවර මහාවනයෙහි මැනවින් කරන ලද කූටාගාර ශාලායෙහි වැඩ වසන සේකැ. එකල්හි ජිනෙන්ද්‍රයන් වහන්සේගේ සුළුමවු වූ මහා ප්‍රජාපති ගෝතමී තෙරණියෝ ඒ නගරයෙහි කරන ලද රම්‍ය වූ මෙහෙණවරෙහි කෙලෙසුන්ගෙන් මිදුණු රහත් මෙහෙණන් පන්සියයක් සමග වාසය කළහ.

දිනක් දහම් දෙසමින් වැඩ සිටි ලෝකාග්‍රනායකයන් වහන්සේ කිසිවිටෙකැ කිවිසිසේක. එවිට ගෝතමී තෙරණියෝ මෙවැනි වූ ආශිර්වාද වචනයක් කීහ.

“මහාවීරයන් වහන්ස, බොහෝ කල් ජීවත්වන සේක්වා. මහාමුනීන්ද්‍රයන් වහන්ස, කපක් වැඩසිටුනා සේක්වා. මුළුලොවට වැඩ පිණිස අජරාමර වන සේක්වා”

 “ගෝතමීය, නුඹ යම් අයුරකින් වඳින්නාහු ද, ඒ අයුරින් තථාගතයෝ නොවැඳිය යුත්තාහුය.”

"සර්වඥයන් වහන්ස, තථාගතයෝ කිසෙයින් වැන්ද යුතු ද? කිසෙයින් නො වැන්ද යුතු ද? එකරුණ මට වදාරන සේක්වා”

 “මනා වීර්‍යයෙන් යුතුව, නිවනට යොමු කළ සිතින් යුතුව දහම් මගේ හැසිරෙන්නේ නම් හේ තථාගතයන් හට වැන්දා වෙයි.”

ඉක්බිති ගෝතමී තෙරණියෝ මෙහෙණවරට ගොස් එකලාවැ විවේකීවැ හුන් සේක් මෙසේ සිතීය.

“ත්‍රිවිධ භවයාගේ අන්තතයට ගිය නාථයන්වහන්සේගේ ඇසුර බොහෝ පිරිස් රිසිවන සේකැ. මම පිරිනිවෙන්නෙමි. තථාගතයන් වහන්සේගේ පිරිනිවීම මා නොදකිම්වා!

මම බුදුරදුන්ගේ පිරිනිවීම හෝ දෙඅගසව්වන් වහන්සේගේ පිරිනිවීම හෝ රාහුල – ආනන්ද – නන්‍ද ‍තෙරණුවන්ගේ පිරිනිවීම හෝ දක්නට නො ලබමි. ලෝකනාථ වූ මහර්ෂීන් වහන්සේ විසින් අනුදන්නා ලදු වැ කල් ඇති වැ ආයුසංස්කාරයන් හැර පියා නිවීමට යන්නෙම් නම් මැනැවි.”

පන්සියයක් මෙහෙණන්හට ද එබඳු ම විතර්කයෙක් වියැ, ඛේමාදි තෙරණිවරුනට ද තෙල විතර්කයම වූයේ යැ. එකෙණෙහි මහපොළොව කම්පිත වියැ. මේඝගර්ජනා ද වූයේ යැ. මෙහෙණවරට අරක්ගත් දේවතාවෝ ශෝකයෙන් පෙළුණාහු, වැ‍ලපෙමින් කඳුළු වැගිරවූහු. ඒ ගෝතමී තෙරණිය හා මිත්‍ර මෙහෙණෝ ද ගෝතමිය වෙතැ එළැඹැ පා මත සිරසින් වැඳ වැටී මෙවදන් බිණූහ,

 “ආර්‍ය්‍යාවනි, දිය පොදකින් සිරුරු තෙමාගත් අපි එහි එකලා වූම්හ. ඒ අචල වූ පොළොව සැලිණ, මෙඝයෝ ගර්ජනා කළහ, වැලපීම් ද ඇසෙයි, ගෝතමී උත්තමාවනි, ඒ කුමක් නිසාද?”

එවිට ඕ යම් අයුරකින් විතර්ක කරනලද නම් ඒ සියල්ල කීවා යැ. ඒ සියලු මෙහෙණෝ ද තමන් විතර්කකළ අයුරු එලෙසින් ම කීහ.

 “ආර්‍ය්‍යාවෙනි, පරම ශාන්ත වූ නිවන ඉදින් ඔබට රිසි නම් මනා ව්‍රත ඇති උත්තමාවනි, අපි සියල්ලෝ ද බුද්ධාඥායෙන් පිරිනිවෙන්නෙමු.  අපි ඔබ හා එක් වැ ම ගෙයිනුදු භවයෙනුදු නික්මුණෝ වම්හ. උතුම් නිවන්පුරයට එක්වැ ම යන්නෙමු.”

එවිට ගෝතමී තෙරණියෝ  ‘නිවනට යන්නන්හට කුමක් කියම් දැ’ යි පවසමින් සියල්ලන් සමග මෙහෙණවරින් බැහැර වැ ගියාහ. මෙසේ ද කීහ.

“මෙහෙණවර අරක්ගත් යම් දෙවිකෙනෙක් වෙත් නම් උහු තුමු මට ක්‍ෂමා කෙරෙත්වා. මෙහෙණවර මේ මාගේ පශ්චිම දර්ශනයයි. යම් තෙනෙකැ ජරා වේවයි, මරණ වේවයි, අප්‍රියසම්ප්‍රයෝග වේවයි, ප්‍රියවිප්‍රයෝග වේවයි කිසිවක් නැත්ද අසංකත වූ (ප්‍රත්‍යයෙන් සකස් නොවූ) ඒ අමා නිවනට යන්නෙමි.”

නොරහත් බුද්ධපුත්‍රයෝ එවදන් අසා සොවින් පෙළුණාහු ‘අහෝ, අපගේ මඳ පින් ඇතිබවැ’ යි වැලපුනාහ.

ගෝතමී තෙරණියෝ  ඇතුළු මෙහෙණන්ගෙන් වෙන් වැ භික්‍ෂුණී ආරාමය හිස් වීයැ, සූර්‍යයෝදයෙහි තාරකා මෙන් වූ ඒ බුද්ධපුත්‍රී භික්‍ෂුණීහූ අදින් පසු නොපෙනෙත්. ගංගා නදිය පන්සියයක් නදීන් සමග සයුරට වදනා සේ මහා ප්‍රජාපති ගෝතමී තෙරණියෝ  පන්සියයක් මෙහෙණන් සමග නිවනට යන්නාහුය.

වීථියෙහි වඩිනා ඇය දැක සැදැහැ සිත් ඇති උවැසියෝ ගෙයින් නික්මැ භික්ෂුණීහුගේ පා මතුයෙහි වැඳ හෙවැ මහත්සේ හඬ නගා වැලපුනාහ. මෙවදන් බිණූහ.

“මහානුභාවසම්පන්න උත්තමාවනි, අප කෙරෙහි අනුකම්පා කළ මැනවි. අනාථ වූ අප හැරැපියා නුඹ වහන්සේ පිරිනිවන්ට යුතු නැත”

ඔවුනගේ ශෝකප්‍රහාණය සඳහා ගෝතමී තෙරණියෝ  මිහිරි වදන් පැවැසූහ.

“දරුවෙනි, හැඬීමෙන් කම් නැත, තොපට අද මේ සිනාසීමට කාලයයි. මා විසින් දුක පිරිසිඳ දක්නා ලද යැ. දුකට හේතුව දුරු කරන ලද යැ. මා විසින් දුක්ඛ නිරෝධය පසක් කරන ලද යැ. මාර්ගය ද මැනැවින් වඩනා ලද යැ.

මා විසින් ශාස්තෲන් වහන්සේ මැනැවින් ඇසුරු කරන ලද යැ. බුදුසසුන් කොට නිමවන ලද යැ. ස්කන්‍ධාභාරය බහාලන ලද යැ. තෘෂ්ණාව මුලිනුපුටා නසන ලද යැ. යම් අර්‍තයක් සඳහා ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූයෙම් ද සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වූ ඒ අර්‍තය මා විසින් සාක්ෂාත් කරන ලද යැ.”

“අපගේ සම්බුදුරජාණන් වහන්සේත් උත්තම වූ සද්ධර්‍මයත් යම්තාක් සිටුනා සේක් ද ඒතාක් පිරිනිවෙන්නට මට කාලය වෙයි. එනිසා දියණිවරුනි, මා ගැන සෝක නොකරව. කොණ්ඩඤ්ඤ – ආනන්ද – නන්ද ආදී තෙරණුවෝ ද, ජිනපුත්‍ර රාහුල තෙරහු ද තවම සිටුනාහ. සඞ්ඝ තෙමේ සුඛිත යැ. තීර්‍ථකයෝ නැසුණු මාන ඇත්තාහු ය. ඔක්කාක වංසයේ මරුන් මඩනා යශස උස්වැ නැගැ සිටියේ යැ. ඉදින් දැරියනි, නිවන් සඳහා මාහට දැන් කාලය නො වන්නේ ද?

බොහෝ කලෙකැ සිට මා විසින් යමක් පතන ලද නම් එය අද සිදු වෙයි. මේ වනාහි සන්තෝෂජනක හේරිවාදනයට කාලයයි. දැරියනි, තොපගේ කඳුළින් කවර වැඩෙක් ද? ඉදින් මා කෙරෙහි දයායෙක් ඇත් නම් කෘතඥතායෙක් ඇත් නම් තෙපි සියල්ලෝ සද්ධර්මාවබෝධය පිණිස වීරිය ගනුව. මා විසින් අයදනා ලද බුදුරජාණන් වහන්සේ මාගමුන්ට ප්‍රව්‍රජ්‍යාව දුන්සේකැ. එහෙයින් යම්සේ මම් සතුටු වන්නෙම් නම් එසේ ඒ අනුවැ තෙපි දු සිටුව”

ගෝතමී තෙරණියෝ  ඔවුනට මෙසේ අනුශාසනා කොට මෙහෙණන් විසින් පෙරටු කරන ලද්දී භාග්‍යවතුන් වහන්සේ වෙතැ එළැඹැ, වැඳ මෙවදන් පැවසූහ.

 “සුගතයන් වහන්ස, මම ඔබගේ මවු වෙමි, වීරයන් වහන්ස, ඔබ වහන්සේ මාගේ පියා වෙති. ලෝකනාථයන් වහන්ස, ඔබ වහන්සේ මට සදහම් සුව දුන් සේක. ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ වෙතින් මම් උපන්නෙම් වෙමි.

සුගතයන් වහන්ස, ඔබ වහන්සේගේ රූ කය මා විසින් වඩන ලද යැ, මාගේ අනින්‍දනීය දහම් කය ඔබ වහන්සේ විසින් වඩන ලදි. මා මොහොතක් සා පිපාසා සන්හිඳුවා කිරි පොවාලූවෙමි. ඔබ වහන්සේ පෝෂණය කළෙමි. මම ඔබ වහන්සේ විසින් අත්‍යන්ත ශාන්ත වූ දහම් නැමැති කිරි පොවන ලද වෙමි. මහා මුණිවරයාණෙනි, මා විසින් වැඩීමෙහිලා රැකීමෙහිලා ඔබ වහන්සේ ණයගැති නො වෙති. පුතුන් කැමැති යම් ස්ත්‍රීහු වෙත් නම් ඔවුහු නුඹ වහන්සේ බඳු පුතකු ලබත්වා!

මහා මන්ධාතු ආදී රජුන්ගේ යම් මවක් වූ නම් ඕ බව සයුරෙහි ගිලුණා යැ. පුත්‍රයාණෙනි, ඔබ වහන්සේ විසින් මම් භව සයුරෙන් තරණය කරන ලද වෙමි. ‘රාජ මාතා – රාජ මහේසී’ යන නම ස්ත්‍රීන්හට සුලභ යැ. ‘බුද්ධමාතා’ යි යම් නමෙක් ඇද්ද, තෙල නම පරම දුර්ලභ ය. මාගේ ඒ ප්‍රාර්ථනය ද ඔබ වහන්සේ නිසාම මා ලද යැ. කුඩා වේවයි, මහත් වේවයි ඒ සියලු කිස මා විසින් පුරණ ලදි.

මේ කය හැර පියා පිරිනිවෙන්නට රිසියෙමි. වීර වූ දුක් කෙළවර කළ නායකයන් වහන්ස, ඒ සඳහා මට අනුදැන වදාළ මැනැවි. සක් – අකුසු – දද ලකුණින් ගැවැසුණු පියුම් බඳු සියුමැලි පා දිගු කරනු මැනැවි. පුත්‍ර ප්‍රේමයෙන් ඔබ වහන්සේට ප්‍රණාම කරමි. රන්කඳක් බඳු ඔබ සිරුර පෑ මැනැවි. නායකයන් වහන්ස, ඔබගේ කය මැනැවින් දැකීමකොට ශාන්තියට යන්නෙමි ”

ජිනේන්ද්‍රයන් වහන්සේ ද්වත්ත්‍රීංශද්වර ලක්‍ෂණෝපේත සුප්‍රභායෙන් අලංකෘත සන්ධ්‍යා වලායෙන් ඉවත් වූ ළහිරු මඬලක් බඳු ශ්‍රී ශරීරය සුළු මව්තුමියට දර්ශනය කර වූ සේකැ. ඉක්බිති ඕ තොමෝ තරුණ සූර්‍ය්‍යා බඳු ප්‍රභාවත් චක්‍ර ලක්‍ෂණ ඇති ශ්‍රී පාද මතුයෙහි සිරසින් වැඳ වැටුනාහ. මෙසේ ද කීහ.

“සූර්‍ය්‍යවංශයට ධ්‍වජයක් වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ හට මේ පැසුළු මරණයෙහි දී මම් ප්‍රණාම කරමි. මම යළි නුඹ වහන්සේ නො දක්මි. ලෝකාග්‍රයන් වහන්ස, ස්ත්‍රීහු නම් සියලු වරද කෙරෙත්’යි දන්නා ලදහ. ඉදින් මාගේ කිසියම් දොසෙක් ඇත්නම් කරුණාවට ආකර වූ උතුමාණෙනි, එය ක්‍ෂමා කරනු මැනැවි. යම් හෙයෙකින් මම් ස්ත්‍රීනට ද පැවිද්ද පුන පුනා යාඥා කළෙම් ද, ඉදින් එහිලා මාගේ දොසෙක් ඇත්නම් නරොත්තමයාණෙනි, එය ක්‍ෂමා කරනු මැනැවි. වීරයන්වහන්ස, ඔබ වහන්සේගේ ආඥායෙන් භික්‍ෂුණීහු මා විසින් අනුශාසිතයහ. ඉදින් එහිලා වරදවා කළ අනුශාසනයෙක් වේ නම් ක්‍ෂමාධිපතියාණනි, ඊට ද කමා කළ මැනව.”

එවිට අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහා ගුණවන්ත වූ තැනැත්තිය, ක්‍ෂමාවට කරුණු නැති තන්හි ක්‍ෂමා කළයුතු වන්නේ මන්ද? පිරිනිවන සඳහා යන තොපට මත්තෙහි මා කුමක් කියම් ද? පවිත්‍ර වූ අනූන වූ මාගේ භික්‍ෂු සඞ්ඝයා මෙලොවින් නිස්සරණයට යන කල්හි, පහන්වන කල්හි ග්‍රහ තාරකාවන්ගේ ව්‍යසනය දැක චන්‍ද්‍රලේඛාව නික්මැ යන්නා සේ නුඹ පිරිනිවන බලා යන කල්හි මා කුමක් කියම්ද?”

මේරු පර්වතය වටා යන චන්‍ද්‍රානුගත තාරකා සෙයින් ඒ සෙසු භික්‍ෂුණීහු ජිනෙන්ද්‍රයන් වහන්සේ ප්‍රදක්‍ෂිණාකොට පාමුල වැඳ වැටි බුදුරදුන්ගේ මුවග බලමින් සිටියාහ. එවිට ගෞතමී තෙරණි තොමෝ මෙසේ කීවාහු ය.

 “ස්වාමීනී, නුඹ වහන්සේගේ දර්ශනයෙන් අපගේ ඇස් තෘප්ත නොවූ විරූ යැ. නුඹ වහන්සේගේ භාෂිතයෙන් කන තෘප්ත නොවූ විරූ යැ. හුදෙක් මාගේ ඒ එකම සිත ධර්‍ම රසයෙන් තෘප්තියට පැමිණ සිටියි. නරශ්‍රේෂ්ඨයාණනි, අභීත නාද පවත්වන පරවාදී මාන මථනය කරන නුඹ වහන්සේගේ ශ්‍රී මුඛය යම් ඒ කෙනෙක් දකිත් ද, උහු තුමූ මහා පින්වන්තයහ.  සියළු ගුණදරණ උතුමාණෙනි, දිගු ඇඟිලි ඇති, තඹවන් නිය ඇති, දිගු විළුම් ඇති ඒ ශ්‍රී පා යම් කෙනෙක් ප්‍රණාම කෙරෙත් ද, උහු ද මහා පින්වන්තයහ. නරොත්තමයාණනි, මිහිරි ප්‍රීතිය ඇතිකරන ද්වේෂය නසන මෛත්‍රී සහගත වූ හිත වූ ඔබ වහන්සේගේ වචන යම් කෙනෙක් ශ්‍රවණය කෙරෙත් ද, ඔහු ද පින්වන්තයහ.

මහාවීරයන් වහන්ස, ඔබ පා පිදීමෙහි නිරත වූ තරණය කළ සසර කතර ඇති මම් ශ්‍රීමතාණන් වහන්සේගේ අනුකම්පාව නිසාම භාග්‍යසම්පන්න වීමි.”

ඉක්බිති තෙරණියෝ, රැස්වහුන් භික්ෂුණී සංඝයාට අනුශාසනා කොට, රාහුල – නන්‍ද – ආනන්‍ද යන තෙරණුවන් වැඳ මෙවදන් පැවසූ හ.

 “සර්පාවාසයක් බඳු රෝගයනට වාසස්ථාන වූ දුක් කඳක් වූ බොහෝ දුකින් පෙලුණු ජරා – මරණ දෙකට ගොදුරු වූ නොයෙක් කුණු කසලින් ආකීර්ණ වූ තමා සන්තක නොවූ ශරීරයෙහි කලකිරුණෙම් වෙමි. එහෙයින් පිරිනිවෙන්නට රිසියෙමි. දරුවනි, එය අනු දනිවු”.

පහ වූ ශෝක ඇති ආස්‍රව රහිත නන්ද තෙරණුවෝ ද රාහුල භද්‍රයෝ ද නොසැලී සිටින පර්වතයන් සේ තිර වැ සිටියාහු දහම් අනුවැ සිතූහ.

 “ප්‍රත්‍යයෙන් සකැසුණු සැලෙන අසාර කෙසෙල් කඳක් වැනි, මායාවක් බඳු, මිරිඟුවක් බඳු, බොහෝ කල් නොපවතින තිරවැ නොසිටි මේ කයට නින්‍දා වේවා! මෝ තොමෝ වූකලී ජිනෙන්ද්‍රයන් වහන්සේගේ සුළු මව යැ. බුදුරදුන් පෝෂණය කළ ගෝතමී පිරිනිවීමට යෙයි. සියලු‍ සතර දහම් අනිත්‍යයැ.”

එකලැ ආනන්ද තෙරණුවෝ තවමත් සේඛ හෙයින් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ස්නෙහ ඇතිව සොවින් පෙලී ගිය හෙයින් ‘අහෝ! ගෝතමිය ශාන්තියට යෙයි, නොබෝ දිනකින් බුදුරජාණෝ ද  පහනක් නීවී යන සෙයින් නිවීමට යන්නාහ’ යි සානුකම්පිත වැ කඳුළු දරමින් වැලපෙති. මෙසේ වැලපෙන ආනන්‍ද තෙරිඳුන් හට ගෝතමී තෙරණියෝ මෙසේ කීහ.

 “ශ්‍රැතියට සාගර වූ බහුශ්‍රැත වූ, ගැඹුරු ගුණ ඇති බුද්ධෝපස්ථානයෙහි ඇලුණු පුත්‍රයාණනි, ශෝක කරන්ට අයුතු යැ. මේ තුටු වීමට කාලය යැ.”

“පුත, නිවන වෙත එළැඹ සිටුනා මට තොපගේ පිහිටයි. දරුව, තොප විසින් සමාරාධිත බුදුහු අපට පැවිද්ද අනුදත්හ. පුත, දොම්නස් නොව, තොපගේ උත්සාහය සඵලයි.”

“පැරැණි තීර්‍ථක ඇදුරන් විසින් යම් ශාන්ත ප්‍රතිෂ්ඨාවක් නො දක්නා ලද ද, ඒ ප්‍රතිෂ්ඨාව සිවුමැලි සත්හැවිරිදි දැරියන් විසිනුදු දැන් දක්නා ලද යැ. බුදුසසුන පාලනය කරන පුතණුවනි, මේ තොපගේ පශ්චිම දර්ශනයයි. යම් තෙනෙකැ ගියේ නො දක්නා ලැබේ ද, මම එහි යන්නෙමි.”

ඉක්බිති තථාගතයන් වහන්සේ “ගෞතමී, කල් දනුව” යි ගෝතමී තෙරණින්ගේ පරිනිර්වාණය අනුදත් සේක. තෙරණියෝ නැවත වාරයක් මෙසේ ද කියමින් සිංහ රජක්හුගේ අනුජාත වූ සිංහ දුහිතෲ සෙයින් සිහනද පැවැත්වූ සේක.

“මා විසින් ක්ලේෂයෝ දවන ලද්දාහ. සියලු භවයෝ මුලිනුපුටා නසන ලදහ. බැඳුම් සිඳ සරණ ඇත්රැජිනක සෙයින් ආස්‍රව රහිතවැ වාසය කරමි. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙතැ මාගේ පැමිණීමෙන් යහපතෙක් වියැ. ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ. බුදුසසුන් කරන ලද යැ. සිවුපිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂ ද ෂඪ්අභිඥා ද පසක් කරන ලද යැ. බුදුසසුන් කරන ලද යැ”

එවිට තථාගතයන් වහන්සේ,  “මාගමුන්ගේ ධර්‍මාභිසමයෙහි යම් අඥාන කෙනෙක් විමතියට ගියාහු ද, සිත් පහදා නොගත්තහුද ඔවුන්ගේ දෘෂ්ටි ප්‍රහාණය පිණිස, ඔවුන්ගේ සිත්හි පැහැදීම පිණිස ගෝතමිය, සෘද්ධි දක්වන්න.” යී වදාළ සේක. එකලැ තෙරණියෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රී පතුල් මත හිස තබා වන්දනාකොට අහසට පැන නැගැ බුදුරදුන්ගේ අනුදැන්මෙන් නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්‍යන් දැක්වූ සේක.

එක් අයෙක්ව සිට බොහෝ ආකාරයෙන් පෙනී සිටියේයැ. බොහෝ ආකාරයෙන් සිට එක් අයෙක්ව පෙනී සිටියේයැ. පෙනී සිට නොපෙනී ගියේයැ. නොපෙනී සිට පෙනී ගියේයැ. පොළොවෙහි මෙන් දියෙහි ඇවිද ගියේයැ. අහසෙහි ඇවිද ගියේයැ. දියෙහි මෙන් පොළොවෙහි ගිලී ගියේයැ. කිරිල්ලක මෙන් අහසෙහි පර්‍ය්‍යඞ්කයෙන් යුතු වැ ගියේයැ.  බඹ ලොව තෙක් මුළු ලොව කයින් වසඟයෙහි පැවැත්වූයැ. මහමෙර සැත්දණ්ඩ කොට මහ පොළොව සැතක් කොට සහමුලින් පෙරළා නභෝ ගර්භයෙහි සක්මන් කළා යැ. ලොව දුමින් වසාලීයැ. කල්පාන්තයෙහි දී මෙන් ලෝකය අග්නි ජාලායෙන් ආකුල කළා යැ. මුචලින්ද මහා ශෛලය, මේරු – මන්දාර – දද්දර පර්වත යන සියල්ල අබ ඇට සෙයින් එක් මිටකින් ගත්තා යැ. හිරු ඇඟිලි තුඩින් වැසූ යැ. දහස් ගණන් සඳ හිරු මුදුන් මල්කඩ සෙයින් ධැරූ යැ. සිව්  සයුරෙහි දිය එක් අත්ලෙන් ධැරූ යැ. යුගාන්ත මේඝයක් බඳු මහවැසි වැස්ස වූ යැ. සපිරිවරින් යුතු සක්විතිරජකු අහස්තලෙහි මැවූ යැ. ගුරුළකු, ඇතකු ගර්ජනා කරන සිංහයකු මැවූ යැ. එකලාවැ අපමණ මෙහෙණ ගණයා මවා යළි අතුරුදන් කොට එකක් වැ මුනිරජුනට මෙසේ කිවු යැ.

“මහා වීරයන් වහන්ස, මේ ඔබ වහන්සේගේ අනුසසුන් කරන ඔබ වහන්සේගේ සුළුමවයි. ස්වාර්‍තයට පැමිණි මා ඔබ වහන්සේගේ පා වඳිමි.”

ගෝතමී තෙරණියෝ නොයෙක් සෘද්ධි දක්වා අහස්තෙලෙන් බැස ලොවට පහනක් වූ බුදුරදුන් වැඳ එකත්පසෙකැ හුන්නාහු මෙසේ කීහ.

“මහා මුනිවරයාණන් වහන්ස, ඒ මම උපතින් එක්සියවිසි හැවිරිදි වෙමි. වීරයාණන් වහන්ස, මෙපමණකින් සෑහෙයි. නායකයාණන් වහන්ස, පිරිනිවෙන්නෙමි”

අතිශයින්ම විශ්මයට පත් ඒ සියලු පිරිස් තෙරණින් වහන්සේ පා මුල වැඳ වැටෙමින් මෙසේ කීහ.

“ආර්‍ය්‍යාවනි, කෙසේ නම් මෙබඳු අසමාන සෘද්ධි පරාක්‍රම ඇති වූයෙහි ද?”

මහා සෘද්ධි බල ඇති තෙරණියෝ මෙසේ තමන්ගේ පූර්වජාතියෙහි කළ පින් මහිමය ලොවට හෙළිකළ සේක.

සියලු ධර්‍මයන්හි චක්‍ෂුර්මත් වූ ලොවට නායක වූ පදුමුත්තර ජිනෙන්ද්‍රයන් වහන්සේ මෙයින් පෙර ලක්ෂය වන කල්පයෙහි ලොවැ පහළ වූ සේක. එසමයෙහි මම හංසවති නගරයෙහි සියලු උපකරණයෙන් යුත් සමෘද්ධිමත් සර්ව සම්පූර්ණ මහාධන ඇමැති කුලයෙකැ උපන්මි. දිනක් දාසි සමූහයා විසින් පෙරටුකරන ලදු වැ මහ පිරිවරින් පියා සමග ඒ නරශ්‍රේෂ්ඨයන් වෙතැ එළැඹීමි. ශක්‍රදේවේන්ද්‍රයා වැනි ධර්‍මමේඝය වස්වන, ආස්‍රව රහිත, සූර්‍යා බඳු රැස්මාලා ඇති ජිනේන්ද්‍රයන් වහන්සේ දැක සිත පහදවා ගතිමි. ධර්මය ද ඇසීමි. නරශ්‍රේෂ්‍ඨයන් වහන්සේ සිය සුළුමව වූ මෙහෙණ අගතන්හි (එතදග්‍රයෙහි) තබනු අසා ඒ පදුමුත්තර ජිනෙන්ද්‍රයන් වහන්සේ උදෙසා සත්දිනක් මහදන්දී සඞ්ඝයා සහිත නරොත්තමයන් වහන්සේට බොහෝ ප්‍රත්‍යය ද දන් දී ඒ තනතුර පැතුවෙමි. ඉක්බිති සෘෂිශ්‍රේෂ්ඨයන් වහන්සේ මහපිරිස් මැද මෙසේ වදාළ සේක.

 “යම් කාන්තාවක් සඞ්ඝයා සහිත මා සත් දිනක් මුළුල්ලෙහි වැළඳ වූ ද, මම් ඇය පිළිබඳ ප්‍රකාශ කරමි. එසේ කියන මාගේ බස් අසව.

මෙයින් සියක්දහස්වන කප්හි ඔක්කාක කුලය සම්භව කොට ඇති ගෝත්‍රයෙන් ගෝතම නම් වූ ශාස්තෘ තෙමේ ලොවැ පහළ වන්නේ යැ‍. ඕ තොමෝ දහමට හිමි වූ ඖරස පුත්‍රී වූ ධර්‍මයෙන් නිර්මිත වූ නමින් ගෞතමී නම් වූ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නී යැ. ඒ තථාගතයන්ගේ දිවි වඩාලන සුළුමවු වන මෝ චිරරාත්‍රඥ්ඥ  (පැවිදි වැ බොහෝකල් ඇති) මෙහෙණන් අතර අග්‍රබව ලබන්නී යැ.”

 

ඒ අසා ප්‍රමුදිත වූ මම් එකලැ දිවිහිම් කොට ජිනේන්ද්‍රයන් වහන්සේට සිවු පසයෙන් උපස්ථාන කොට ඒ අත්බැවින් කලුරිය කෙළෙමි. සියලු කාමයෙන් සමෘද්ධ වූ තව්තිසා දෙවියන් අතරැ උපන්නෙම් සෙසු දෙවියන් දස කරුණකින් අභිභවා සිටියෙමි. රූපයෙන් ශබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් පහසින් ආයුෂයෙන් වර්ණයෙන් සුඛයෙන් යසසින් හා අධිපතිභාවයෙන් සෙසු දෙවියන් අභිභවා බැබළුණෙම් මම් එහි දෙව්රජුගේ ප්‍රේමණීය මෙහෙසිය වූයෙමි.

සසර සැරිසරන මම් පූර්ව කර්මයාගේ බලයෙන් මෙහෙයන ලදුයෙම් කාසි රජුගේ විජිතයෙහි දාස ග්‍රාමයෙකැ උපන්මි. පන්සියයක් දස්හු විසූ එගම්හි සියල්ලන්ට යමෙක් දෙටු ද, මම් ඔහුගේ භාර්‍ය්‍යා වූයෙමි. දිනක් පන්සියයක් පසේබුදුහු පිඬු පිණිස ගමට පිවිසුණාහ. ඒ දැක තුටු වැ සැමියන් හා සියලු නෑයන් සමග පන්සියයක් කුටි තනා සිවු මසක් මුළුල්ලෙහි උවටැන් කොට තුන්සිවුරු දී ප්‍රසන්න වූයෙමි. සැමියන් සහිත අපි එයින් චුතවැ තව්තිසාවට ගියෙමු.

දැන් මේ අත්බවයෙහිදු දෙව්දහ නුවරැ එක්වැ උපන්නෙමු. මාගේ පිය තෙමේ අඤ්ජන ශාක්‍යරජ යැ. මව සුලක්ඛණා දේවි යැ. ඒ දෙව්දහ නුවරින් කිඹුල්වත් පුරැ සුදොවුන් රජුගේ ගෙට සරණ ගියා වෙමි. එකල මා හා සිටි සෙසු දැස්සෝ මෙකල ශාක්‍ය කුලයෙහි උපන් හෙයින් ශාක්‍ය රජවරුන් හා විවාහ වූහ. සියල්ලන් අතුරෙහි විශිෂ්ඨ වූ මම ජිනේන්ද්‍රයන් වහන්සේගේ පෝෂක මව (කිරි මව) වීමි.

පිරිනීවීම පිණිස භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලත් මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියෝ ඇතුළු පන්සියයක් මෙහෙණෝ ශාස්තෲන් වහන්සේ වැඳ හුනස්නෙන් නැගැ ගියාහ. වීර වූ ලෝකාග්‍රනායකයන් වහන්සේ මහාජන සමූහයා සමග දොරකොටුව තෙක් සුළුමව අනුව වැඩම කළ සේක. එකලැ ගෝතමී තෙරණියෝ සෙසු පන්සියයක් මෙහෙණන් සමග අවසන් පා වැඳුම කෙරෙමින් ලෝකබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේ පා මුල වැඳ වැටුණාහ. ඕ තොමෝ මෙසේ කීහ.

“ලෝකනාථයන් වහන්සේ පිළිබඳ මේ මාගේ අවසන් දැකුම යි, අමෘතයට ආකර වූ නුඹ වහන්සේගේ මුව මඩල මම් යළි නොදකින්නෙමි. වීරයන් වහන්ස, නුඹ වහන්සේගේ සියුමැලි පා සඟළ නැවත වැඳීමෙක් මට නොමැත. ලෝකාග්‍රයන් වහන්ස, ඔබ වහන්සේගේ පා සඟළ මම් ස්පර්ශ කරමි. අද පිරිනිවනට යන්නෙමි”

තෙරණියෝ සෙසු මෙහෙණන්ද සමග සිය මෙහෙණවරට ගොස් අඩ පළඟ බැඳ උතුම් අස්නෙහි හුන්නාහ. එකලැ එහි බුද්ධශාසනමාමක වූ උවැසියෝ ගෝතමී තෙරණින්ගේ පා වඳිනු රිසියෝ වහ වහා මෙහෙණවරට රොක් වූහ. ඔවුහු ළෙහි අත් පැහැර බැගෑ හඬින් හඬමින් සොවින් පෙළුණෝ මුල්සුන් ලියවැල් සෙයින් බිම වැටී ගත්හ. මහා හඬ නගමින් වැළපුනාහ.

“අහෝ සරණ සැලසූ, රැකවරණය දුන්නා වූ උත්තමාවනී, අපි සියල්ලෝ සිරසින් වැඳ වැටී නුඹ වහන්සේ අයැදුම්හ. අප හැරපියා නිවනට නොවඩිනු මැනව.”

තෙරණියෝ ඔවුනතරැ ප්‍රධානතම වූ සැදැහැවත් නුවණ ඇති ‍යම් උවැසියක් වූ ද, ඇගේ හිස පිරිමදිමින් මෙවදන් පැවසූ හ.

 “දරුවනි, මාරබන්ධන අනුව වඩනා සොවින් කම් නැත. හටගත් සියල්ල අනිත්‍ය ය. වෙන්වීම කෙළවර කොට ඇත්තේය. නිරතුරු වෙනස්වනසුලු ය.”

ඉක්බිති තෙරණියෝ ඔවුන් බැහැර යවා උතුම් වූ ප්‍රථමධ්‍යානයට සමවැදුණු සේක්, දෙවැනි, තෙවැනි, සිවුවැනි ධ්‍යානයන්ටත්  එසෙයින් ම පිළිවෙළින් ආකාසනඤ්චායතන යැ විඤ්ඤාණඤ්චායතන යැ ආකිඤ්චඤ්ඤායතන යැ නේවසඤ්ඤා නාසඤ්ඤායතන යැ යන සමවතට ද සමවැදුණ සේක. පළමුවැනි ධ්‍යානය තෙක් ප්‍රථිලෝම වශයෙන් ධ්‍යානයන්ට සමවැදුණ සේක. එයින් නැගී අනුලෝම වශයෙන් සිවුවැනි ධ්‍යානය තෙක් සමවැදුණ සේක. එයින් නැගී සිට තෙල් නැති පහන් සිළක් සෙයින් පිරිනිවී ගිය සේක. එකෙණෙහි මහා භූමිචලනයෙක් වියැ. අහසින් විදුලිධාරා ද පතිත වී. මහාමේඝයෝ ගර්ජනා කළහ. දෙවියෝ වැළපුණහ. අහසින් පොළොවට මල්වැසි  වට. රඟමඬලෙහි නළුවකු මෙන් මේරුපර්වතය කම්පිත වීය. සොවින් දීන වූ සෙයින් සයුරේ ද මහත් ඝෝෂා ඇති වී. එකෙණෙහි දෙවියෝ ද නාගයෝ ද අසුරයෝ ද බ්‍රහ්මයෝ ද සංවේග වැ මෙසේ කීහ.

“එකාන්තයෙන් සංස්කාරයෝ නම් අනිත්‍යහ. යම්සේ මෝ තොමෝ නිවීමට ගියාහු ද, එසේ බුදුවදන් අනු වැ හැසුරුණු යම් මෙහෙණ කෙනෙක් ඕ පිරිවරා සිටියාහු ද ඔවුහු ද තෙල් නැති පහන් සිළු සෙයින් උපාදාන රහිතවැ නිවීමට ගියාහු ය. අහෝ! එක්වීම වෙන්වීම අන්තකොට ඇත්තේ යැ. අහෝ! සියලු සඞ්ඛත ධර්ම අනිත්‍ය යැ. අහෝ! ජීවිතය, විනාශය කෙළවර තොට ඇත්තේ යැ”

එකලැ ශාස්තෲන් වහන්සේ ශ්‍රැතිසාගර වූ (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආනන්ද තෙරණුවන් ඇමැතූ සේක.

“ආනන්ද, යව, මවුගේ පිරිනිවීම භික්‍ෂූන්ට දන්වව”

එවිටැ නිරානන්‍ද (සතුටින් තොර) ආනන්‍ද තෙරණුවෝ කඳුළින් පිරුණු නෙත් ඇති වැ ‘ආයුෂ්මත් මහණෙනි, එක්රැස් වෙත්වයි’ පැකුලුණු හඬින් කීහ.

“මුනින්ද්‍රයන් වහන්සේගේ පශ්චිම ශරීරය යම් මව් තුමියක් ප්‍රයත්නයෙන් වර්ධනය කළා ද, ඒ ගෝතමී තොමෝ සූර්‍ය්‍යයෝදයෙහි තාරකාවක් සෙයින් ශාන්තියට ගියා යැ. පසැස් ඇති නායකයන් වහන්සේ පවා යම් තෙනෙකැ ගිය ඇය නො දක්නා සේක් ද ඕ ‘බුද්ධමාතා’ යන අසම වූ ප්‍රඥප්තිය අප අතර කබා නිවීමට ගියා යැ. සුගතයන් වහන්සේ කෙරෙහි යමෙකුගේ ශ්‍රද්ධා ඇත් ද, යමෙක් ප්‍රිය ද, ඒ බුද්ධපුත්‍ර තෙමේ බුද්ධමාතෘ කෙරෙහි සත්කාර කෙරේවා.”

ඉතා දුර සිටියා වූ භික්‍ෂූහු ඒ අසා බුද්ධානුභාවයෙන් ද ස්ව සෘධියෙන්ද වහා පැමිණියාහු ය. ගෝතමී තොමෝ යම්තෙනෙකැ සැතපී සිටියා ද ඒ මඤ්චකය සියල්ල රනින් නිම වූ රම්‍ය වූ උතුම් කුළුගෙයකැ වඩා හිඳ වූහ. ලෝකපාලක දෙවියෝ සිවුදෙන කුළුගෙය දසරුවෙහි ලා දැරූහ. සෙසු ශක්‍රාදී  දෙවියෝ කුළුගෙවල් ගත්හ. කුළුගෙවල් පන්සියයක් වීයැ. එ සියල්ල සූර්‍යා බඳු වීයැ. විස්කම් දෙව් පුත් විසින් කරන ලද වීයැ. ඒ සියලු භික්‍ෂුණීහු මඤ්චකයන්හි ශයනය කරවන ලද වූහ. දෙවියන්ගේ දසරුවට නංවන ලද්දාහු අනුපිළිවෙළින් ආදාහනස්ථානය වෙතැ ගෙනයනු ලැබූ හ. අහස්තලය හැමදෙසින් වියනින් වසනලද වීයැ. නොයෙක් පතාකයෝ ඔසවන ලදහ. පුෂ්ප කඤ්චුකයෝ පතුරුවා හරින ලදහ. අහසෙහි පද්මයෝ එල්බුණාහ. පොළොවෙන් පුෂ්පයෝ පැන නැංගහ. සඳහිරු දක්නා ලැබෙයි. තාරකා දිලියෙයි. හිරු මධ්‍යාහ්නගත නමුදු සඳ මෙන් කිසිවකු නො තවයි. දෙවියෝ දිව්‍යමය ගන්ධයෙනුදු මනා සුවඳැති මල් දමිනුදු වාදනයෙනුදු නෘත්‍යයෙනුදු සංගීතයෙනුදු පිදූහ. නාගයෝ ද අසුරයෝ ද බ්‍රහ්මයෝ ද පිරිනිවී ගිය බුද්ධමාතාවන්ගේ ශරීරයට ශක්ති පමණින් බල පමණින් පූජා කළෝ ය. පිරිනිවුනු සියලු මෙහෙණහු පෙරටුකොට ගෝතමී තොමෝ සත්කාර කරන ලදුව පසුව ගෙනයනු ලැබූහ.

නාග අසුර බ්‍රහ්ම ගණයා සහිත දෙව්මිනිස්හු පෙරටුව ගමන් කළහ. මවට පූජා පිණිස ශ්‍රාවකයන් සහිත භාග්‍යවතුන් වහන්සේ පසුවැ වැඩම කළ සේක.

ගෝතමී තෙරණියගේ පරිනිර්වාණය යම්සේ අතිශයින් ආශ්චර්‍ය්‍ය ජනක වී ද, බුද්ධපරිනිර්වාණය එසේ ආශ්චර්‍ය්‍යජනක නො වී යැ. කෙසේද යත් බුද්ධපරිනිර්වාණයෙහි භාග්‍යවතුන් වහන්සේ නො දක්නා ලැබෙති. නමුත් ගෝතමී තෙරණියගේ පරිනිර්වාණයෙහි ශාස්තෲන් වහන්සේද ශාරිපුත්‍ර මොග්ගල්ලානාදී මහා තෙරවරු ද ඛේමා උප්පලවණ්නා යසෝධරාදී තෙරණිවරුද දක්නා ලැබෙත්.

ඒ දෙව්මිනිස්හු සුවඳ සුණු බහාලූ සියලු සුවඳ දැයින් යුතු සෑ කරවා ඔවුන් මෙහෙණන්ගේ සිරුරු සහිත රන් දෙන් එහි තැන්පත් කොට දැවූහු. අස්ථිධාතු ශේෂ කොට ඇති ශරීරගත සෙ‍සු කොටස්හු සර්‍වප්‍රකාරයෙන් දැවුණාහ. එවිට අනඳ තෙරණුවෝ සංවේග දනවන මේ වදන් පැවසූහ.

 “ගෝතමී නිවීමට ගියායැ. ඇගේ සිරුර ද දැවිණ, බුද්ධ පරිනිර්වාණය නොබෝ කලකින් වෙතැයි මම සැක කරමි.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙයවන ලද ඒ අනඳ තෙරණුවෝ ගෝතමී තෙරණියගේ අස්‍ථිධාතු ඇයගේ පාත්‍රගත කොට නාථ වූ බුදුරදුන්හට එළැවූහ. ඒ අස්ථිධාතූන් අතින් පිළිගෙන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.

“හර ඇති මහ රුකෙක ඉතා මහත් වූ කඳ යම්සේ අනිත්‍යතා හේතුයෙන් වැනසි යේද, එසේ භික්‍ෂුණී සඞ්ඝයාගේ මහත් කඳ වූ ගෝතමී පිරිනිවියා යැ. අහෝ! ආශ්චර්‍ය්‍යයෙකි, සිරුර පමණක් ඉතුරු කොට මව පිරිනිවිකල්හි දු මට ශෝකයෙක් පරිදේවයෙක් නැති. තරණය කළ සසර සයුරු ඇති, දුරු කළ සන්තාප ඇති, සිහිල් වූ මොනොවට නිවුණු ඕ පිළිබඳ මා ශෝක කටයුතු නො වෙයි.”

“මහණෙනි, මෙසේ දරවු: ඕ පණ්ඩිත යැ, මහාප්‍රාඥ යැ, පුථුප්‍රාඥ (පැතුරුණු නුවණ ඇති) යැ, මෙහෙණන් අතරැ රාත්‍රඥ (පැවිදි වැ බොහෝකල්) යැ. ගෝතමී සෘද්ධියෙහි වශී වූ යැ, දිබ්බසෝතධාතුයෙහි (දිව කනෙහි) ද, චේතෝපරියඤාණයෙහි (පරසිත් දන්නා නුවණෙහි) ද වශී වූ යැ. පෙර විසූ කඳ පිළිවෙළ දතු යැ. දිවැස පිරිසිදු කරන ලද යැ. සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් ඇයට පුනර්භවයෙක් නැති. අර්‍තථ – ධර්‍ම – නිරුක්තියෙහි ද එසේ ම ප්‍රතිභානයෙහි ද (ඇගේ) ඥානය පිරිසිදු වියැ. එහෙයින් ඕ ශෝක කටයුතු නො වෙයි. යකුළින් පහළ පිළිවෙළින් නිවුණු දිලියෙන ගින්න ගිය තැන් යම්සේ නො පැනේ ද, එසේ කෙලෙසුන් කෙරෙන් මොනොවට මිදුණු සංසාර ඕඝය තරණය කළ නිර්වාණ පදයට පැමිණි රහතුන්හට පනවන්නට දෙව්මිනිස් ආදි ගතියෙක් නැති.”

“එසේ හෙයින් තමා පිහිට කොට ඇති වව. සතිපට්ඨානය විෂය කොට ඇති වව. සප්ත බොජ්ඣංග වඩා දුක් කෙළවර කරව”